පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු

ඒ දිනය ඉතාමත්ම මතකයේ රැඳුනු දවසක් වූවා යැයි කිව හැකියි. නෙළුම් යාය උළෙලට එන ගමන්ම පොතේ වැඩෙත් කරලම යන්න අජිත්” කියල කිව්වේ ආදරණිය චූලානන්ද සමරනායකයන්ය . මේ ගැන මම කලින් ලිපියකද  සඳහන් කළෙමි.  ඔහු,  නිශාන්ත පරණගම මල්ලි හා  එකතුව,  මා නෙළුම් යාය උළෙලේ සංවිධාන වැඩ කටයුතු අතරේ සිරවී සිටිද්දී පොතේ ලිපි තෝරා  පොත  මුද්‍රණය කිරීම ආදිය  සංවිධානය කළේය. ධර්මසිරි බණ්ඩාරනායක නමැති සිනමා කලාවේ ප්‍රබලම පෙරටුගාමියෙකු ගේ සහයෝගය ලබා දී පොත එළි දැක්වීම සඳහා  ස්ථානයක් සොයා ඒ කටයුතු කළේද චූලාමය.

මට තිබුණු වෙලාවේ මදකම දැනගෙනදෝ එදා දවස ගැන සහෘදයන්ට දැනුම්දෙමින් බ්ලොග් ලිපියක් ලීවේ කල්‍යාණ මිත්‍රයා  සුමිත් කලනසිරිය.  මේ පොඩි පහේ උත්සවය මෙහෙයවන්නට  ඉදිරිපත් වුනේ අපේ ආදරණිය මිත්‍ර ඉවාන්  පව්ලුෂා හෙවත් ප්‍රගීත් අනුරාධයි. සැබවින්ම එම කාර්යය ඔහු මැනවින් ඉටු කළේය.

ප්‍රගීත් අනුරාධ

මේ සියල්ල වීඩියෝගත කළේ බිබිසියේ චමී මල්ලි නමින් අපි හඳුන්වන චමී දිසානායකය.  වීඩියෝව මෙතනින් බලා  ගත හැක.  උත්සවයේ සියළුම ඡායාරූපයන් දක්ෂ ලෙස කැමරාවට හසුකර ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව මල්ලිය. හඳුනා අවුරුද්දක් වත් ගත නොවුණු  බ්ලොග් සහෘදයන් බොහෝ දෙනෙක් එතනට පැමිණ සිටීම මා දිරි ගන්වන්නක්ම විය. ඔබලා සැමගේ නම් මෙහි සඳහන් නොකලත් ඔබලාට මම හදවතින්ම ස්තූති කරන බව ඔබලා දන්නවා ඇතැයි සිතමි.

සුමිත් කලණසිරි

මුලින්ම හැඳින්වීම කළේ සුමිත් කලනසිරියි.   ගමේ සිට කොළඹ පැමිණි අජිත් ගම තවම හිතේ තබාගෙන ජිවත් වන බව කොළඹ ගමයා කියන නම භාවිතා කිරීමෙන්ම පැහැදිලි වෙනවා යයි  ඔහු පැවසීය. මට සිතෙන්නේ මට එයට එකඟ  විය හැකි බවයි. කුඹුක්කන් ඔයේ දියබුං ගසමින් නෑ හැටි,  කමතක “සම්බෝලේ” සෙල්ලම් කරපු හැටි කවදාවත් අමතක වන දේවල් නොවේ.  සම්බෝලේ සෙල්ලම් කරනවාට  කියන තවත් නමක් නම් පොල්කටු කැඩීමයි.  පොල් කටු ටික එක උඩ  එක තබා බෝලෙන් ගසා  කැඩීමෙන් පසු සියල්ලෝම  දිව යති.  තරඟයෙන් ඉවත් කිරීමට බෝලෙන් ඇඟට ගහන පාර ඉතා සැරය. සම්බෝලේ දෙනවා කියන්නේ මෙයටය. කොළඹ  ළමයි මේ සෙල්ලම හැඳින්වුයේ ටින් කැඩීම ලෙසය. කොළඹ වඩා  ලෙහෙසියෙන් සොයාගැනීමට හැකි හිස්  ටින් වන නිසා විය හැක.  දවා ලීමට ඇඟට ගහන පාරට කීවේ  සබ්බුව දීම වැන්නකි.

චූලානන්ද සමරනායක

ප්‍රධාන දේශනය කළේ. චුලානන්ද සමරනායකයන් විසිනි.  ඔහු මුළු පොතම කියවා ඇති බව මට වැටහුනේ පහේ පන්තියේ කතාව  මෙන්ම සෝවියට් දේශය ගැන ලියු අදහස් හා අත්දැකීම් ගැන ඔහු කළ අගය කිරීමෙනි.

පොල් කට්ටෙන් එපිටට පොත පිලිබඳ මුල්ම විවේචනය පැමිණියේ මගේ වැඩිමහලු සොහොයුරිය ගෙනි. ඈ  පැවසුවේ ඉන්දියාවේ දී මියගිය දෙදෙනා ගැන මා  සානුකම්පිතව ලියා නැති බවයි. මගේ අදහස වූයේ එතන තනිකරම තිබුනේ තරාතිරම් වාදයක් නිසා ඒ ගැන ලිවීමේදී සිදුවූ මරණය ගැන අනුකම්පාව අදාළ  නොවන බවයි. ඇගේ දෙවැනි නිරීක්ෂණය මා රාජකීය විදුහලට යාමට  අකමැති වූ  බව දෙතැනක කියා ඇති බවත් එදා මම එතරම් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැති බවත්ය. මා රාජකීය විදුහලට අකැමති වූයේ නැති අතර විරුද්ධ වූයේ සිටි  පාසැලෙන් අස්  කර ගැනීම ගැනය. ඇත්ත වශයෙන්ම මා රාජකීය විදුහලට ආදරය කරමි. එය මා ඉගෙන ගත් විදුහලයි. මා ලියන්නේ විදුහල ගැන නොව එහි සිටි අය (ගුරුවරු ආදීන්) ගැන  හා ඔවුන් මගේ ජිවිතයට බල පෑ අන්දම ගැනය.

දීප්ති කුමාර ගුණරත්න
මගේ කොළඹ ගමයා බ්ලොගය පටන් ගැනීමේදී ඒ සඳහා  මුල් හේතුවක් වූයේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ ප්‍රතිචාරයකි. මගේ නමින්ම පැමිණ බ්ලොග් ලිවීමට මා සිතුවේ එවිටය. මා බොහෝ කලක සිට මගේ පාසැල් මිතුරකු වන අමර හඳුන්වා දුන් X  –   කණ්ඩායමේ ලිපි කියවූ අයෙක්මි. බොහෝ විට දීප්ති කුමාර ගුණරත්නගේ ලිපි හා පොත් දර්ශනවාදය හා මාක්ස්වාදය  පිලිබඳ පසු කාලීනව මගේ අදහස් වලට එල්ල කලේ දැඩි බලපෑමකි.  ඒ නිසාම ඔහුට පෙරවදන ලියන්නටද ආරාධනය කලෙමි. එහි ඇති විවේචනාත්මක අදහස් මට පිළිගත හැකිය. ඔහු සඳහන් කළ ඇතැම් ලිපි පොත දිග වැඩි වෙන නිසා ඉවත් කර තිබේ. එක ලිපියක් මෙහි තිබේ.
මාහට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ අවුරුදු 28 කට පමණ පසු මා මුලින්ම රුසියන් භාෂාව අධ්‍යනය කල මොස්කව් හි මාදි (මාර්ග හා සිවිල් ඉංජිනේරු)  විශ්ව විද්‍යාලයේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවෙකු හා ආදරණිය මිතුරෙකු ගේ පැමිණීමය. ඔහු මට බොහෝ කලාත්මක චිත්‍රපටි ගැන විස්තර කළේය. මොස්කව් වල හිම වලින් පිරි මාවත් ඔස්සේ එම චිත්‍රපටි ගැන සාකච්චා කරමින් ගමන් කල සුන්දර ඉතිහාසයක් අප අතර තිබේ.   පොතේ ජපන් ජාතික සිසුවකු ගැන වූ ලිපියේ ඔහුගේ නම මට මතක් කර දුන්නේ ද ඔහුය. කසාක්ස්ථානයේ සිවිල් ඉන්ජෙන්රුවකු ලෙස සේවය නිම කර ලංකාවට  හදිසියේ පැමිණ සිටි ඔහුගේ සහභාගිත්වය  හා ඔහුට පොතක් ප්‍රධානය කිරීමට හැකි වීම මහත් ප්‍රීතියට හේතුවක් වුනි.
හේමාලි සෙනෙවිරත්න
මා සෝවියට් දේශයේ  මොස්කව් හි විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සිටි අවධියේ ජේෂ්ඨ ශිෂ්‍යාවක් හා හොඳම මිතුරියක් වූ හේමාලි සෙනෙවිරත්න (පෙර – කරුණානායක )  ගේ පැමිණීමද දැඩි සේ අගය කරමි. ශ්‍රී  ලංකාවේ ක්‍රමයට ආහාර ඉතා රසට පිසින්නට මෙන්ම හොඳින්  ඉගෙනීම කරන්න ටද එකසේ දක්ෂ වූ නිහතමානී ජ්‍යෙෂ්ඨ සිසුවියක වූ   ඇය දැන්  ලංකා විදුලිබල මණ්ඩලයේ සෞඛ්‍ය  හා ආරක්ෂාව පිලිබඳ  සාමාන්‍යාධිකාරී වරියයි. මා  එදා දුටු නිහතමානී ගතියෙන්ම යුතු ඇගේ පැමිණීමද ඉමහත් සතුටට කරුණකි.
ධර්මසිරි බණ්ඩාරනායක නමැති විශිෂ්ඨ සිනමාවේදියා හා කලාකරුවාණන්  ගැන හඳුන්වන්නට අවශ්‍ය නැත. හංස විලක් සිට තුන්වෙනි යාමයෙනුත් එපිටට කල ඔහුගේ විශිෂ්ඨ නිර්මාණ නිසාම ඔහුගේ නම සිතේ කෙටී  තිබේ.ත්‍රිකෝණය සංස්කෘතික මධ්‍යස්ථානයේ  ස්ථානය මේ උළෙල සඳහා නොමිලේ  ලබා දුන්නේද ඔහුය. පොතක් එළි දක්වන්නට පැමිණි මට ඔහුගේ මේ කාරුණික භාවය ඉමහත් පිටිවහලක් විනි.
මගේ පොතේ කොකාකෝලා , ස්ප්‍රයිට් වැනි බිම වර්ග වලට  වඩා සෝවියට් සංගමය වැනි රටවල තිබු පලතුරු යුෂ පානය දැන් බටහිර රටවල වඩා ජනප්‍රිය බව කීවෙමි.  එනමුදු වඩා  ලෙහෙසි යයි පවසා එදින සභාවෙන් පසු පානය සඳහා සැපයීමට මට අවවාද ලැබුනේ  එවැනි (කොකාකෝලා වැනි ) බිම වර්ග සපයන ලෙසය. මා ගත් දොඩම් යුෂ කාර්ටන් එක කිසිවෙක් බී තිබුනේ නැත.
ඔබ සියල්ලන්ගේම උදව් වලටත් එදා සහභාගිවීමටත් මගේ හෘදයංගම ස්තුතිය නැවත  පල කරමි.
 මගේ මිත්‍ර  සරෝජ් පතිරණ සමග ඔහු ලියූ ද්‍රෝහියාගේ දියණිය ” පොතත්  මගේ “පොල්කට්ටෙන් එපිටට ” පොතත් ලන්ඩනයේ අපේ සහෘදයන්ට හඳුන්වා දීමට සැරසෙමි.
මේ එහි විස්තරයයි.
පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.
 
සරෝජ් පතිරණ – “ද්‍රෝහියාගේ දියණිය සමග “
 
විජිත ගුණරත්න – පොල්කට්ටෙන් එපිටට ගමනක්   
 
අජිත් ධර්මකීර්ති – කොළඹ ගමයා සමග පොල්කට්ට 
 
 
විජිත ගුණරත්නයන්  ගේ   “වලා  පටල ” 
 
සංවාදය හා චිත්‍රපටිය 
 
 
මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 

ඔබේ අදහස කියන්න...