නූතන ස්ත්‍රිය 
වර්ථමාන සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ කතිකා,සංවාද වගේම කෘති නිර්මාණයන් විශාල වශයෙන් පසු ගිය දශකයට වඩා වැඩි වීමක් අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.ඒ කතා බහ සහ සංවාද දෙස ඉතා හොඳින් අවධානය යොමු කළ විට අපිට තේරුම් යනවා මේ සංවාද එකම වට රවුමක ගමන් ගන්නා ආකාරයක්.ඒ කියන්නේ ස්ත්‍රීවාදීන් කතා කරනවා කාන්තා නිදහස ගැන.ඊට පස්සේ එයාලම කතා කරනවා ස්ත්‍රීත්වයට එරෙහි ස්ත්‍රීන්  ගැන.
ඒ අතරේ සමහර වාමාංශික පක්ශ ආයෙත් කතා කරනවා ස්ත්‍රී නිදහස හා ගැටළු ගැන.ඒ අතරේ  සාහිත්‍යකරුවන් කතා කරනවා අතීත ස්ත්‍රිය ගැන.මේ එකම ආකාරයේ සංවාද රවුමට රවුමට කැරකැවෙනවා එකම තැන.මේ ඔක්කොම අතරෙ කේ. කේ සමන් කුමාර වගේ අය කෑ ගහගෙන මැද්දට පනිනවා මම ස්ත්‍රීවාදියෙක් කියලා.එතකොට ස්ත්‍රීවාදිනියො ටික උත්තර දෙනවා නෑ ඔයා ස්ත්‍රීවාදියෙක් නෙමේ.අපිට පිළිගන්න බෑ කියලා.එතකොට සමන් උත්තර දෙනවා නෑ නෑ මම ස්ත්‍රීවාදයට සහය දෙනවා මාව බාරගන්න වගේ එකක් කියලා.මේවා විකාරයි නේද?ඒ කියන්නේ මේවා වෙන්න පුළුවන් හාස්‍යජනක චිත්‍රපටි වල විතරයි නේද? එතකොට ඇයි කාටවත් ප්‍රශ්ණයක් නොවන්නේ කෝ දැන් මේ සමාජේ ස්ත්‍රීන් කියලා. අවාසනාවකට ” ස්ත්‍රීන්” කියන්නේ ඩයිනෝසෝරයන් වගේ නූතන සමාජෙන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියපු පිරිමි ෆැන්ටසියක්.දැන් ස්ත්‍රීන් නෑ.
සංයුක්ත ස්ත්‍රී ෆැන්ටසිය 
යටත්විජිත සමයෙන් පස්සේ බිහිඋන එක පරම්පරාවකටත් පස්සේ අපිට ස්ත්‍රිය කියන ෆැන්ටසිය සම්පූර්ණයෙන්ම අහිමි උනා.ඒ කියන්නේ සුද්දා ගියේ ස්ත්‍රියවත් අරගෙන. එතකොට ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහෙද මේ ස්ත්‍රිය හිටියේ කියලා. අපි හිතනවා මේ ස්ත්‍රිය ඉන්න ඇත්තේ ගම් වල කියලා.නැත්තන් නුවර වගේ අතිශ්‍රයෙන් බෞද්ධාගමික හා ඉහළ කුල පංතීන් තිබුනු ප්‍රදේශ වල කියලා.ඇත්තටම ස්ත්‍රිය හිටියේ කොල්ලුපිටිය,කොටහේන,කොටුව අවට,කාර්ගීල්ස් මිල් සාප්පුව,ගෑන්ඩ් ඔරියන්ටල් හෝටලය,නෙක්ටා කැෆේ එක වගේම කොළඹ කොටුව වටේ .ඉංග්‍රීසීන් ජීවත් උන ස්ථාන වටේ.ඒක අපිට පුළුවන් තවත් සරළව කතා කරන්න. බටහිර රටවල ස්ත්‍රිය නිර්මාණය වෙන්නේ සාහිත්‍ය තුළ.ජේන් අයර්,ඇනා කැරලිනා,රෝමියෝ ජුලියට් වගේ කෘති හරහා.එතකොට ඉංග්‍රීසීන් ගියාට පස්සේ පැවතුන ඊළඟ මධ්‍යම  පාංතික පරම්පරාව ඇරුනු කොට ඊට පසු පරම්පරාවේ යටත් විජිත පිරිමියාට ස්ත්‍රිය පිළිබඳ ෆැන්ටසිය අහිමි වෙනවා.බටහිර සාහිත්‍ය ඇසුරු නොකරනකොට සිද්ධ වෙන්නේ පිරිමියාට ස්ත්‍රිය පිළිබඳව මනසට සංඥාවක් නොදැනීම.ඒ කියන්නේ අපේ අවිඥානය තමයි ස්ත්‍රියව අදුරන්නේ.ඒක සවිංඥානික නෑ.
සුසන්තිකාව දකින පිරිමියෙක්ගේ අවිඥානයට සංඥාවක් එන්නේ නෑ ඇය ස්ත්‍රියක් කියලා.ඒ කාරණේ නන්දා මාලනීටත් අදාළයි.ඒත් අපි කතා කරන්නේ ශාරීරික ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් එහාට ගිහින්.අපි කතා කරන්නේ ස්ත්‍රිය පිලිබඳ පිරිමියගෙ ෆැන්ටසිය නිශේධනය වූ විට තවදුරටත් ස්ත්‍රීන් නොපවතී කියන කාරණාව. එතකොට දැන් ඉන්නේ ඔක්කොම පිරිමි. ඒ නිසයි මේ සමාජේ මේ තරම් අර්බුධයකට ලක් වෙලා තියෙන්නේ. එතකොට ස්ත්‍රී නිදහස වගේ ඒවා කතා කරන එක මේ වගේ කාලෙක තේරුමක් නෑ. හේතුව පිරිමින් ස්ත්‍රිය පිලිබඳ ඔරිජිනල් ෆැන්ටසියක් නැති වීමෙන් අර්බුධයකට ළක් වෙලා.අනික් පැත්තෙන් ස්ත්‍රිය පිරිමියා තමන් දෙස නොබැලීමෙන් ඇති වෙන අනන්‍යතා අර්බුධයක හිර වෙලා.ඇත්තටම අවසානයෙන් කියවෙන්නේ අපි ඔක්කොම අසරණ වෙලා කියලා.
සාහිත්‍ය තුළ ස්ත්‍රිය 
80 දශකයෙන් පසු බිහි උන ලංකාවේ සිනමා සහ සාහිත්‍ය නිර්මාණ තුල මේ අර්බුධය පැහැදිලිවම පේන්න තියනවා.මුලින්ම ඉන්දියානු සහ ජපන් කාන්තා වීර චරිත ලංකාවට එන්න ගන්නෙත් මේ අර්බුධය නිසාමයි.  ඔශින්, ශාන්ති,ප්‍රවීනා,මහගෙදර වගේ ෆීමේල් සුපර් හීරෝ ගනයේ කතා ලංකාවට අවහම අපි හිතුවේ ඒවා මාර්කට් උනේ ගෙවල් වල ඉන්න ගෑනුන්ට කියලා. ඇත්තටම ලංකාවේ පිරිමින්ට අහිමි උන ස්ත්‍රී ෆැන්ටසි රාමුව ඇතුලට තමයි මේවා ආවේ.ඊටත් පස්සේ ලංකාවේ අධ්‍යෂවරුන් ගමට ගියා.එයාලා හිතුවා ගමේ තමයි ස්ත්‍රිය ඉන්නේ කියලා.මලී වගේ ටෙලි නාට්‍ය හැදුනා.ඒවලින් උනේ පිරිමින්ගෙ ස්ත්‍රී ෆැන්ටසිය තවත් වියවුල් උන එක.අනික් පැත්තෙන් ස්ත්‍රිය හෙම්බත් උන එක.හේතුව ශාන්ති පෙන්නනකොට ලංකාවේ ගෑනු සල්වාර් අදින්න ගත්තා.මලී පෙන්නනකොට මල් වැටුනු චීත්ත ගවුම් අදින්න ගත්තා.චංගුමී ආවහම ඔලුවෙ චංගුමී කට්ට ගහන්න ගත්තා.මේක විශාල අනන්‍යතා අර්බුධයක්.ගැහැනිය තමා වඩ වඩාත් උත්කෘෂ්ට වස්තුව බවට පත් වෙන්න අරගල කරන්න ගත්තා.
සුජීව ප්‍රසන්නඅරච්චි කළේ ගැමි ගැහැනියව  ” ස්ත්‍රිය” විදියට එළියට ගෙනාපු එක.කිරිහොදියි පොල් සම්බෝලයි කැකුළු බතුයි කන්න ආස නගරෙ පිරිමියෙක් ගමේ දුප්පත් පොල් අතු පැලක ඉන්න ගැමි කෙල්ලකට ප්‍රේමකරන ෆැන්ටසියක් ඔහු නිර්මාණය කළා.ඒ ෆැන්ටසිය රස උනේ පිරිමියා සහ ගැහැනිය අතර නිතරම සමාජීය හෝ ආර්ථිකමය නොගැළපීමක් ඔහුගේ නිර්මාණ තුළ තිබුනු නිසා.සුජීවගේ පොත් වලින් ගැහැනියට නැවුම් බලාපොරොත්තුවක් ලැබුනා තමන්ගේ ස්ත්‍රීත්වය ගැන. විශේෂයෙන් මැද පෙරදිග ලාංකික කාන්තාවන්ට හා ලංකාවේ ඇඟලුම් කම්හල් තරුණ තරුණියන්ට . මේ සුජීවගේ සාහිත්‍ය යුගය තමයි නගරෙ පිරිමින්ට ස්ත්‍රිය හොයාගෙන ගමේ පොල් අතු පැලවල් පීරන්න බල කෙරුනු යුගය.  
එතකොට මොහාන් රාජ් මඩවල වගේ පිරිමි ලේඛකයින් සාහිත්‍ය තුළට ගෙනාවේ ඉතිහාස ස්ත්‍රියව. රැජින, වික්ටෝරියා කියන නවකතා වලින් ඒ උත්සාහ කරේ හිස් වුනු පිරිමියගේ ස්ත්‍රි ෆැන්ටසිය ඓතිහාසික ස්ත්‍රියගෙන් පුරවන එක.
දැන් පිරිමින්ට ඒ ෆැන්ටසිය පුරවගන්න තියෙන්නේ කේ කේ සමන් කුමාරගේ නවකතා. ඒ කියන්නේ මෙතනින් එහාට පිරිමියට ස්ත්‍රිය පිළිබඳව ෆැන්ටසියක් නෑ.ඉතිරි වෙලා තිබ්බ එකත් කුඩු වෙලා වාශ්ප වෙලා යනවා. සමන් ඍජුවම ඔහුගේ පිරිමි ලෝකයේ අර්බුදය එළියට ගෙනල්ලා දානවා.එතනින් හැදෙන ෆැන්ටසි ස්ත්‍රිය සම්පූර්ණ විකෘතියක්.  
කේ කේ සමන් කුමාර කොයිතරම් මනෝ විශ්ලේෂණික මූලාශ්‍ර කියෙව්වත් ඔහු අපොහොසත් නූතන ස්ත්‍රියගේ අනන්‍යතා ගැටළුව අවබෝධ කරගන්න.ඔහු උත්සාහ දරන්නේ ස්ත්‍රීන්ගේ දෙවියා වෙන්න.ඔහු උත්සාහ දරන්නේ කෑලි කැඩිලා ගිය ස්ත්‍රියව එකතු කරළා මහලා ඔහුගේ පිරිමි ලෝකය ඇතුළෙ හිස් වුනු ෆැන්ටසි රාමුවට ඒ  ස්ත්‍රියව ගේන්න.ඒ කියන්නේ පශ්චාත් යටත් විජිත ලංකේය පිරිමි ලෝකය ඇතුලේ ස්ත්‍රියව අලුතින් උපද්දවන්න. 
නව වහල්බාවය 
පුරුෂයින්ගේ  භාෂා ලෝකය ඇතුලේ තමන්ව ප්ලේස් වෙන්නේ කොහොමද කියලා ස්ත්‍රීන්ට වටහා ගන්න බැරි වීමත් සහ ස්ත්‍රියව හඳුනා ගන්නේ කොහොමද කියන ගැටළුවත් එක්ක ලංකාවේ පිරිමි නිල් චිත්‍රපටි බලන්න ගත්තා.ඊටත් පස්සේ කාලයක් ඒ ෆැන්ටසිය එක්ක MC එක ඇතුලේ වැට ලඟ පෝළිමට හිටන් ඉන්න ගත්තා.ඔන්න ඔය විදියට සංයුක්ත ස්ත්‍රී ෆැන්ටසියේ අහිමි වීමෙන් පිරිමි වේදනාත්මක විදියට පිස්සු නටන්න ගත්තා.
සමහරු එක දිගට ලේ දෙන්න ගත්තා. ස්ත්‍රීන් පිළිකා රෝහලට හිසකේ පරිත්‍යාග කරන්න ගත්තා.නළු නිළියෝ සිල් ගත්තා. පිරිමි ස්ත්‍රීවාදියෝ උනා.ගෑනු අබ්බගාත පිරිමින් කසාද බඳින්න ගත්තා.යුද්ධයෙන් අබ්බගාත උන සොල්දාදුවො තමයි මේ ස්ත්‍රීන්ගේ අනන්‍යතා අර්බුධවලට වැඩියෙන්ම ගොදුරු උනේ. අපි මේකට කියන්නේ නව වහල්බාවය කියලා.
නව වහල්බාවය කියන්නේ තමන් කාටද යටත් කියන එක නොදන්නකම.උදාහරණයකට ෆේස්බුක් කියන්නේ නව වහල්භාවයකට.ඒ වගේම ස්ත්‍රී ලිංගික විපලවයත් අපිට නව වහල්භාවයක් කියලා හඳුන්වන්න පුළුවන්.එතකොට වර්තමානයේ ස්ත්‍රීවාදිනියන් කරන්නේ මේ නව වහල්බාවය සමරන එක.ලැකාන් ,ජිජැක් ගැන කතා කරන වාමාංශිකයෝ කරන්නේ මේ ස්ත්‍රීවාදීන්ට අන්න්‍යතා අර්බුධය ඇතුලේ සියදිවි නසා ගන්න මාර්ගය හදන එක. 
ලැකානුයානු අධ්‍යනයන් තුළ පැහැදිලිව කියනවා ” අනෙකා මා දෙස නොබලන නිසා මා කව්දැයි දන්නේ නැත” කියලා.ඒ අර්ථයෙන් ගත්තොත් යටත්විජිත සමයෙන් පස්සේ ස්ත්‍රියට සංඝත අනන්‍යතාවයක් නෑ. දැන් ස්ත්‍රිය තමන්ගේ ස්ත්‍රීත්වය හඳුනාගන්නේ වේදනාව,පීඩාව තුළින්.අනෝමා ජනාදරී කියන්නේ ඒකට ඉතා පැහැදිලි උදාහරණයක්.ඇය ඉල්ලා සිටින්නේ වේදනාව.ඇයව සැනසීමට පත් කරන්න පුළුවන් පීඩාවකට පමණයි.ඒ කියන්නේ ඇය පිරිමින්ට කියනවා ” මා දිහා බලන්න.නොබලන්නේ නම් අඩුමතරමේ මට පහර දෙන්න” . මේක අතින් පයින් පහර දීමක් නෙමේ. භාෂාත්මක පහරදීමක්. අනෝමා දුහුල් නයිටිය ඇඳලා කකුල් දෙක ,පියයුරු  පෙන්නුවත් පිරිමින්ගේ අවිඥානය ඇයව ස්ත්‍රියක් ලෙසට හඳුනා ගන්නේ නෑ. මේ නොසළකා හැරීම ඇයට වටහා ගන්න බෑ.අනික් පසින් ලංකාවේ ස්ත්‍රීවාදී සාහිත්‍ය ඇතුලෙත් තියෙන්නේ මේ අර්බුධයමයි. ස්ත්‍රීවාදී කිවිඳියක් කියලා මාධ්‍ය විසින් හඳුන්වාදෙන සුරේඛා සමරසේකර කතා කරන්නේ කුස්සියේ ලිප ලඟ ඉන්න  , කාර්‍යාලයේ පිරිමි එක්ක තරඟ කරන , බස් එකේ ලිංගික හිංසනයට ලක් වෙන සහ පිරිමින්ට උපත දෙන ගැහැනු ගැන. එතකොට නදීකා බණ්ඩාර  වැඩිපුරම  කතා කරන්නේ ගැහැනියගේ ලිංගික නිදහස ගැන.රතු සපත්තුව කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඇය නිරුවත් උනා.ඒක ඇයට සහ ස්ත්‍රීවාදීන්ට අනුව උදාරත්වයක්.ස්ත්‍රීන් වෙනුවෙන් පෙනී සිටීමක්.ලංකාවේ ස්ත්‍රීවාදයේ ප්‍රබල හැඟවුමක්.  ඒ නිරුවත් වීම අපරාදයක්. ඒක නිකං මහාමායා, විහාරමහාදේවි, , මාලනී, නදීශා හේමමාලී, ඇන්ජලීනා ජොලී , මියා කලීෆලගෙන් ෆැන්ටසි රාමුව පුරවගෙන ඉන්න පිරිමි රොත්තක් ඉස්සරහට ඇවිල්ලා ටී ෂර්ට් එක උස්සලා පෙන්නලා දුවපු 16 කෙල්ලෙක්ගේ වැඩක් වගේ.කාටවත් ගානක් උනේ නෑ.කවුරුත් බැලුවේ නෑ. අඩුමතරමේ ලංකාවේ ස්ත්‍රීවාදී කතිකාව ඇතුලේ වෙනසක් උනේ නෑ. ලංකාව හරි පසුගාමී රටක් කියන එක නෙමේ ඒකෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ ස්ත්‍රියට අන්න්‍යතාවක් දෙන්න, ස්ත්‍රියට ස්ත්‍රීත්වය ලබා දෙන්න ලංකාවේ පිරිමියාගේ අපොහොසත් වීම
අවසානය 
ලංකාවේ ඉන්නේ ඔක්කොම පිරිමි.ස්ත්‍රීන් නෑ.ස්ත්‍රීන් කියලා අපි අපිව හඳුන්වලා දුන්නත් අවිඥානිකව අපි කියන්නේ අනන්‍යතාවයක් නැති ආත්ම.ඒ නිසා ස්ත්‍රීන් වෙනුවෙන් වර්තමානයේ ගොඩනැගෙන සංවාද සියල්ල අර්ථ ශූන්‍යයි. අපි  අවිඥානිකව බලාපොරොත්තු වන්නේ පිරිමියාගේ බැල්ම (gaze). ඒත් පිරිමියා ගොළු වෙලා.හරියට මලීකා ඉස්සරහා සනත් ජයසූරිය ගොළු උනා වගේ.

Ramesha Siriwardana

 

ඔබේ අදහස කියන්න...