මිනිස් ඉතිහාසයේ සෑම ගැඹුරු වෙනස් වීමක් විසින්ම මිනිස් සවිඥානය තුළ ගැඹුරු වෙනසක් සනිටුහන් කරයි. නූතනත්වය මෙතරම් ප‍්‍රබල සමාජ අත්දැකීමක් බවට පත්ව ඇත්තේ එය විවේචනය සහ විශ්ලේෂණය ඔස්සේ මිනිස් චින්තනය බරපතළ ලෙස වෙනස් කළ හෙයිනි. මෙතෙක් මිනිසා තම නිවහන ලෙස සිතා සිටියේ දෙවියන් තමන් වෙනුවෙන් නිර්මාණය කර දුන් පෘථිවියයි. නමුත් නිකොලස් කොපර්නික්ස් විසින් පෘථිවි කේන්ද්‍රවාදය වෙනුවට සූර්ය කේන්ද්‍රවාදය හඳුන්වා දුන් පසු අර ඉහත කී මිනිසාගේ ‘නිවහන’ තුළම මිනිසා ආගන්තුකයෙකු බවට පත් විය. අප කේන්ද්‍රය යැයි සිතා සිටි දෙය මින් පසුව කේන්ද්‍රය නොවී අප ද සෞරග‍්‍රහ මණ්ඩලයේ තවත් එක් ග‍්‍රහ ලෝකයක් විය. විශ්වය තුළ අප කුඩාම කුඩා තිතක් පමණි. අප කොතරම් කුඩා අංශුවක්දැයි අපට මෙම දැවැන්ත විශ්වය පෙන්වා දෙයි. අප දැනුම්වත් යැයි සිතා සිටි දෙය විසින් අප කොතරම් නොදන්නේද යැයි අපට පැහැදිලි කර දෙයි.

අප අප ගැනම සවිඥානික යැයි අප සිතා සිටියත් අප නොදන්නාම කලාපය ලිංගිකත්වය යැයි ෆ්‍රොයිඞ් අපට අවබෝධ කර දෙන ලදී. ‘නොදන්නවා’ යන වචනය වෙනුවට ඔහු රැගෙන ආවේ ‘අවිඥානය’ යන වචනයයි. එයද විශ්වය සේම පරක් තෙරක් නැති ආගාධයක් බව ඔහු අපට ඒත්තු ගන්වන ලදී. මෙතැන් පටන් අපගේ සවිඥානික නිවහන වෙනස් වී ගොස් එය අවිඥානික නොදන්නා විශ්වය විසින් විතැන් කරන ලදි. අපගේ නිවහන අපට නැවත වරක් අහිමි විය. මෙය දෙවැනි කොපර්නීඩියානු විප්ලවයයි. සිදුවෙමින් යන මෙම ‘අහිමි වීම’ යනු නූතනත්වයේ අර්ථයෙත් නරක දෙයක් නොවේ. එය නූතනත්වයේ අත්‍යවශ්‍ය ගතිකයකි. සම්ප‍්‍රදායික කෘෂි ආර්ථිකයක සිටි අපට යුරෝපීය සුදු ස්වාමියා විසින් හඳුන්වා දුන් වැවිලි භෝග ආර්ථිකය යනු නරක දෙයක් නොවේ. සිංහල හෝ දෙමළ පමණක් දැන සිටි අපට ඉංග‍්‍රීසි භාෂාව හඳුන්වා දීම ඔස්සේ අපට පැවැත්මේ නව මානයන් කරා ගමන් කිරීමේ ශක්‍යතාව ඔහු අපට උදාකර දී ඇත. නමුත් යුරෝපීය ස්වාමියාගෙන් පසුව අපට මෙම අහිමි වීමේ ගතිකය ඔස්සේ නව තත්ත්වයන් විකසිත වන්නේද යන්න අප නැවත සිතා බැලිය යුතු දෙයකි. ඔහු ශේෂ කර දී ඇති දෙය තුළින්වත් රැුඩිකල් යමක් අපට තවදුරටත් නිෂ්පාදනය කර ගැනීමට හැකි නොවීම බරපතළ අසමත්භාවයකි.

තිබෙන තත්ත්වයන් ‘නිෂේධනය’ වීම අපට ‘බිය’ ගෙන දෙන කරුණක් ද යන්න පිළිබඳව අප නැවත සිතිය යුතුය. සුදු ස්වාමියා දෙන ලද කිසිවක් වෙත අත තැබීමට පශ්චාත් යටත්විජිත අපි බිය වෙමු. ඔහු හැදූ දුම්රිය පාර දශමයකින්වත් අප වෙනස් කරන්නේ නැත. දුම්රිය අංගණ වෙනස් කරන්නේ නැත. පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට බියය. ඔහුගේ විශ්ව විද්‍යාල ව්‍යුහයත් ඔවුන්ම ලෝක බැංකුව හරහා උපදෙස් දුන්නොත් හැර අප වෙනස් කරන්නේ නැත. පාඨමාලා වෙනස් කිරීම කරනු ලබන්නේ ඔවුන් වෙනස් කරනවානම් පමණි. ඒ සඳහාද සුදු ස්වාමියාගේ හෝ ඔහුගේ ඒජන්තයන්ගේ උපදෙස් අවශ්‍යය. වඩා දියුණු දේවල් දෙස බැලීම කිසිසේත් නරක දෙයක් නොවන නමුත් රටක අවශ්‍යතා අනුව රැඩිකල් වෙනස්කම් කිරීමට අප බිය විය යුත්තේ ඇයි? තවත් වසරක් ගෙවී නව වසරක් ලැබුවද අප තුළම සිදුවන කොපර්නීසියානු විප්ලවයක් නැතිනම් අපට අනාගතයක් නැති බව පැහැදිලිය.

පසුගිය වසර පුරාවට අප වමේ දේශපාලනයට දුන් පණිවුඩය නම් ‘පැරණි වම විසි වැනි සියවසේ අර්ථයෙන් අවසන්’ බවයි. එය කොපර්නීසියානු ඛණ්ඩනයකි. වමේ මුරණ්ඩු අහම ඉහත සංකේතනය විසින් කප්පාදුවට ලක් වන්නේ නම් ඔවුන්ට අනාගතයක් ගැන සිහින දැකිය හැකිය. X කණ්ඩායමේ ඛණ්ඩනයෙන් පසු අපට වමට කිව හැක්කේ එපමණකි.

ඔබේ අදහස කියන්න...