ස්ත‍්‍රීන්ගේ අයිතිය පිරිමි නීතිය එසේත් නැත්නම් පුරුෂ බලාධිකාරය විසින් කප්පාදු කර ඇති බව ආසියානු රටවල ස්ත‍්‍රීන් හඳුනා ගත් ඔවුන්ට ඇති ප‍්‍රධානම ගැටලූව බව සඳහන් වෙනවා. 1985 දී සුනිලා අබේසේකර විසින් ආරම්භ කරන ලද ස්ත‍්‍රී කතිකාවෙන් මූලිකත්වය ලද ලංකාවේ ස්ත‍්‍රීවාදය අද වන විට වෙනස්ම ස්වරූපයක් ගෙන ඇත. මේ වන විට ස්ත‍්‍රීවාදය සැබෑවට නොපවතී සහ එය පවතින්නේ හුදෙක් සංකේත ලෝකය තුළ පමණක් බව අපට වටහාගත හැකිය. එයින් ලංකාවේ ස්ත‍්‍රීන්ට ප‍්‍රශ්න නොමැති යැයි අදහස් කරන්නේ නැත. එහෙත් සංවිධානාත්මක ලෙස ස්ත‍්‍රීවාදීන් ලෙස පෙනී සිටින මධ්‍යම පාංතික ගැහැනු සහ ස්ත‍්‍රී සංවිධාන මෙහෙයවන ඉහළ පාංතික ගැහැනුත් තමන් ස්ත‍්‍රීවාදීන් යැයි හඳුන්වා දෙන සාහිත්‍යකරුවන් හා කවියන් සියල්ල මේ වන විට පෙනී සිටින්නේ කුමක් උදෙසාද? ඔවුන් හඳුනාගෙන ඇති පශ්චාත් නූතන ස්ත‍්‍රිය යනු කවරෙක්ද? අපි මෙහි දී කතා කිරීමට උත්සාහ ගන්නේ ලංකාවේ ස්ත‍්‍රීවාදයේ සහ ස්ත‍්‍රීවාදීන්ගේ විපරිත භූමිකාවයි.
මේ කාලයේ ස්ත‍්‍රීන්ගේ ගැටලූ යනු නදීශා හේමමාලි, පබා, පියුමි හංසමාලි ආදීන්ගේ ස්වරූපයේ ගැටලූ ය-
ශ‍්‍රම සූරාකෑම, ස්ත‍්‍රී ප‍්‍රචණ්ඩත්වය, කාන්තා නිදහස, කාන්තා අයිතිවාසිකම් යන ගැටලූ පැරණි සමාජයේ ගැටලූ බවත් නූතන විනෝද සමාජය තුළ ඇති ස්ත‍්‍රී ගැටලූ හාත්පසින්ම වෙනස් ස්වරූපයක් දරන බවත් අපට පිළිගැනීමට සිදු වෙයි. මේ කාලයේ ස්ත‍්‍රීන්ගේ ගැටලූ යනු නදීශා හේමමාලි, පබා, පියුමි හංසමාලි ආදීන්ගේ ස්වරූපයේ ගැටලූ ය. ස්ත‍්‍රිය සැබවින්ම නොපවතී යන ලැකානියානු අධ්‍යයනය අපිට මෙහි දී නැවතත් සිහිගන්වා ගැනීමට සිදු වේ. මේ හිස්තැන එසේත් නැත්නම් මම කවුද කියන ගැටලූව ඉතා සංකීර්ණ ලෙස නූතන ගැහැනිය තුළ ඇත. ලංකාවේ ඇමැතිවරු, නළුවන්, කාර්යාල ප‍්‍රධානීහු, නිවේදකයන්ගේ අනියම් ආදරවන්තියන් වන නූතන ස්ත‍්‍රියට තවදුරටත් ඇත්තේ අහිමි වූ අයිතිවාසිකම් හෝ පුරුෂ බලාධිකාරයෙන් පාලනයක් වීම යනාදී ගැටලූ නොවේ. තමන් කවුදැයි යන මූලික ස්ත‍්‍රී ගැටලූව පැරණි සමාජය තුළ ජීවත් වූ ගැහැනුන්ට නොතිබුණා නොවේ. නමුත් එකී සමාජය තුළ සංකේතීය පියාගේ නීතිය තුළින් පාලනය වීමක් සිදු වූ නිසා ස්ත‍්‍රීන් තුළ පැවති ගැටලු මෙතරම් විවෘතව විපරිතව නිදහස්ව මතු වූයේ නැත. නූතන ධනවාදී සමාජය තුළ ස්ත‍්‍රිය තමා දෙස කිසිවෙකුත් බලන්නේ නැත යන කාරණය දනී. තහනමක් නැත. මෙහි දී විවාහය, පවුල යන සංකල්ප තවදුරටත් පවතින්නේ ද නැත. අපි වටහාගත යුතු වන්නේ නූතන ස්ත‍්‍රීන්ගේ ගැටලූ සංකේතීය සමාජය තුළ පවතින ඒවා නොව ඒවා මනෝමය එහෙමත් නැත්නම් මනෝ මූලික ඒවා බවයි.
මධ්‍යම පාංතික සුනිලාගේ ස්ත‍්‍රී භාවිතාව මූලික වී තිබුණේ ස්ත‍්‍රී ලිංගිංකයන්ගේ ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටීමයි. එනිසාම සුනිලා තම අවසාන කාලයේ දී ද ලංකාවේ සමලිංගික, ද්විලිංගික සහ සංක‍්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින NGO සංවිධානයක ප‍්‍රබල භූමිකාවක නිරත විය. ලංකාවේ ඇති මෙවැනි සංවිධානවලට විදේශයෙන් අධික මුදලක් මාස් පතා ගලා එයි. එහි දී මෙකී සංවිධාන හරහා ස්ත‍්‍රීන් විසින් තමන්ව හඳුනා ගන්නා ආකාරය අප අධ්‍යයනය කළ යුතුය. මෙවැනි සංවිධාන මෙහෙයවනු ලබන්නේ රාත‍්‍රී ජීවිතය දහවල් ජීවිතයෙන් සම්පූර්ණ වෙනස් වූ ඉහළ පාංතික ගැහැනුන් විසිනි. බොහෝ විට විවාහය සමාජය ඉදිරියේ පෙනී සිටීමට පමණක් භාවිත කරන ගැහැනුය. තම ලිංගිකත්වය පිළිබඳව බරපතළ අවිඥානික ගැටලූ සමඟ සිටින ස්ත‍්‍රීන් මෙම සංවිධාන හරහා තම ලිංගිකත්වය හඳුනා ගන්නා අතරම එය සැබෑවක් නොවන නිසා පසුකාලීනව දරුණු ලෙස මොළේ අවුල් ඇති කර ගනී. මෙම ස්ත‍්‍රී සංවිධාන තුළ සිටින ස්ත‍්‍රීන් සංකේතීය සමාජයේ ස්ත‍්‍රිය නම් වූ භාවිතාවයට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. ඔවුන් පදින්නේ හීරෝ හොන්ඩා මෝටර් බයික් ය. සිගරැට් පෙට්ටිය ලයිටරය ඩෙනිම් සාක්කුවේය. හොඳට බොන්නට පුළුවන් බව පෙන්නීමට කැමැතිය. ඉහළ පාංතික මැදි වයසේ ගැහැනු බොහෝ විට මෙවැනි සංවිධාන මඟින් තම ගැටලූ විසඳා ගැනීමට අනුරාධපුර, දෙණියාය යනාදී ප‍්‍රදේශවලින් පැමිණෙන ළාබාල තරුණියන් මිත‍්‍ර කරගෙන ඔවුන්ට කොළඹ රාත‍්‍රී ජීවිතය පෙන්නයි. අවසානයේ මෙම තරුණියන්ට තම ලිංගිකත්වය පිළිබඳව වඩාත් සංකීර්ණ ලෙස අවුල් වී අසරණ වීමට සිදු වේ. ඔවුන් නැවතත් ගමට යන්නේ නැත. ඈත ගම්වලින් පැමිණෙන තරුණියන් තමන් සමලිංගික යැයි හඳුනා ගන්නේ ද මෙවැනි සංවිධාන හරහාය. ඔවුන් සිතන මේ ඉහළ පාංතික ගැහැනුන්ගේ විනෝදය හුදෙක් පීඩාවක් බව ඔවුන් වටහා ගන්නේ නැත. මේ ස්ත‍්‍රීවාදයේ නූතන ස්වභාවයයි.
නූතන ධනේශ්වර සමාජය පීතෘ මූලික නැත. අප ජීවත් වන්නේ මාතෘ මූලික සමාජයකය. මෙහි දී ලංකාවේ වාමවාදීන්ට නූතන ස්ත‍්‍රිය ප‍්‍රහේළිකාවක් වන නිසා ඔවුන් තවදුරටත් ඇලී සිටින්නේ පැරණි සමාජය තුළ තිබූ ස්ත‍්‍රී අයිතිවාසිකම් ඉල්ලීමේ අරගලය සමඟය. කොන්ඩය පාට කළ, චයිනීස් අයි ෆෝන් සික්ස්වලින් සෙල්ෆි ගසනා, ටේක් අවේ කෑම කන, බස්වල නොයන, විවාහ සංකල්පය පසෙක දැමූ, බලය හා මුදල් පමණක් ඇති පිරිමින්ට ආදරය කරනා මධ්‍යම පාංතික ස්ත‍්‍රියන්ට පිරිමින්ගෙන් අරගල කර ඉල්ලීමට කිසිවක් තවදුරටත් නැත. ධනේශ්වර ආර්ථික ක‍්‍රමය තුළ අප දකින ස්ත‍්‍රීවාදිනියෝ යනු පිටත සමාජය ඉදිරියේ රංගනයේ යෙදෙන්නියෝ පමණි. මේ ස්ත‍්‍රීවාදිනියෝ නිරන්තරයෙන් නගරයෙන් ගමට යති. ගමේ සැබෑ ස්ත‍්‍රීන් සිටින්නේ යැයි ඔවුන් සිතයි. එසේත් නැත්නම් නගරයේ මාර්කට් කිරීමට නොහැකි කිසිවෙක් මිලදී නොගන්නා ඔවුන්ගේ ස්ත‍්‍රීවාදයට ගම තුළ වටිනාකමක් පිළිගැනීමක් ලැබෙන්නේ යැයි ඔවුන් සිතයි. එසේත් නැත්නම් මේ ස්ත‍්‍රීවාදිනියන්ට නගරයේ පියුමි හංසමාලිගේ නදීශා හේමමාලිගේ මනෝමූලික ස්ත‍්‍රී ප‍්‍රශ්න වැටහෙන්නේ නැත. මේ කාලයේ රැුඩිකල් ස්ත‍්‍රීවාදිනි යනු තමන්ට අහිමි වී ඇතැයි සිතන තම අනන්‍යතාව ප‍්‍රචණ්ඩකාරී ලෙස හිමි කරගැනීමට සමාජය තුළ උත්සාහ කරගන්නා ස්ත‍්‍රීහු ය. පිරිමින් සිය දිවි නසා ගන්නේ මෙවැනි ස්ත‍්‍රීවාදිනියෝ ඔවුන්ගේ සහන පෙත්ත යැයි වටහා ගන්නා නිසාය.
මේ කාලයේ ස්ත‍්‍රීවාදී කාන්තාවන්ට වඩා ස්ත‍්‍රීවාදී පිරිමි භයානකය. ඔවුන්ගේ ස්ත‍්‍රී භාෂාව ඉදිරියේ ස්ත‍්‍රීන් වසඟ වෙයි. බොහෝ කවියෝ සාහිත්‍යකරුවෝ තමන් ප‍්‍රසිද්ධියේ ස්ත‍්‍රීවාදීන් යැයි කියා ගනිමින් තම විපරිත ලිංගිකත්වය සමාජය ඉදිරියේ සඟවා තබා ගනී. කවි ලියන්නට ගාල්ලෙන් කොළඹට එන කැම්පස් තරුණියන්ගේ මොළේ අවුල් කිරීමට මේ ස්ත‍්‍රීවාදී කවියන් දක්ෂය. ප‍්‍රසිද්ධ සභාවල ”මා ස්ත‍්‍රීවාදිනියක් වන්නේ ඇයි” යනුවෙන් පැය ගණන් දේශන පවත්වන සාහිත්‍යකරුවෝ මාධ්‍ය ආයතනවල සේවය කළ තරුණියන්ට බලහත්කාරකම් කරපු අවස්ථා අතීතයේ ඇත. මේ පුන පුනා ඔප්පු වන්නේ නූතන සමාජය සහ ස්ත‍්‍රිය වටහා ගැනීමේ අපොහොසත්කමකි. ආයතන ප‍්‍රධානීන්ට, කවියන්ට, නාලිකා ප‍්‍රධානීන්ට, සාහිත්‍යකරුවන්ට, ෆේස්බුක් පොරවල්වලට නොවැහෙටෙන්නේ නූතන ස්ත‍්‍රියට බලහත්කාරකම් කිරීමට අවශ්‍ය නැති බව සහ නූතන ස්ත‍්‍රියගෙන් ඍජුව ඔබට අවශ්‍ය දේ ඉල්ලීමට හැකි බවය. තවදුරටත් ඇයව සිහි නැති කිරීමට හෝ මෝහනය කිරීමට අවශ්‍ය නැත. මේ සමාජයේ සියල්ල කරකැවෙන්නේ ඇය වටා ය යන සැබෑව ඔබ වටහාගත යුතුය. එහි දී ස්ත‍්‍රීවාදය හුදෙක් පාරභෞතිකයකි. ස්ත‍්‍රීවාදි පිරිමි, ගැහැනු යනු සමාජ සංදර්ශන පමණි. මෙය ආසියාතික රටවල පමණක් නොව මේ වන විට යුරෝපය තුළ ද බිඳ වැටී ඇති සංකල්පයකි. මේ වන විට යුරෝපයේ බහුතරයක් ස්ත‍්‍රීන් අරගල කරන්නේ පොදු ස්ථානවල මව්කිරි දීමේ අයිතිය සඳහාය.
ලංකාවේ ෂෝසල් මීඩියා ස්ත‍්‍රීවාදය වෙනම එකකි. ඒවා නිකං මේ මෑතක දී ෆේස්බුක් තුළදී වාසලමුදලිට කෑල්ල කියා කමෙන්ට් කළ පිරිමියෙකුත් ඒ පිරිමියාට විරුද්ධව දිගින් දිගටම අරගල කරමින් නදීව බේරාගැනීමට දැඟලූ පිරිමි කණ්ඩායමකුත් අතර ඇති වූ ෆේස්බුක් අරගල වගේ ඒවාය. දැන් ඒ පිරිමින් පාරේ යන විට තවත් පිරිමියෙකු ගැහැනියකට ”කෑල්ල, බඩුව” කියා කිවහොත් අනිවාර්යයෙන් අතින් පයින් පහර දෙනු ඇත.
ඒ අතර කවියන් අතින් ස්ත‍්‍රීන් ගැන මේ කාලයේ ලියවෙන්නේ අප්පිරියා හිතෙන බඩ දඟලන ආකාරයේ කවිය. මේ අතරින් පීඩිත පංතිය වෙනුවෙන් පමණක්ම කවි ලියන නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් විශේෂය. ඔහුගේ ෆැන්ටසි තුළ තවමත් ඉන්නේ චීත්ත ගවුම් ඇඳ රබර් සෙරෙප්පු දෙක දමාගෙන ගාමන්ට් ගොස් ජීවිතය ජයගන්නා ස්ත‍්‍රීයන් ය. එයටත් වඩා මේ කවියන් ස්ත‍්‍රීන්ගේ ප‍්‍රශ්න ගැන ලියන කවි බඩ දඟලන ජාතියේ විපරිත ඒවාය.
”ඇත්තමයි ඔයා මට පෙනුණේ
අටවක හඳට නැම්ම දුන් තරුදාර වාගෙයි
ගාමන්ට් එකේ රෙදි කෑලි අහුරත් අරන්
වැසිකිළියේ දොර වහද්දි ඇස් පියන්
රෙදි කෑලි අතර සිටි මාපිලා නොදුටුවේ
කොහොමදැයි කියන එක පවසන්..
ඉතිං යටි බඩ කොර වුණාටත් වැඩිය රිදුමක්
ඒ අසලටම ගෙනාවම සර්පයෙක්
මින් පසුවවත් තියනවද මහත්තයෝ
මගේ සහෝදරියන්ට ටොයිලට් එකේ
සනීපාරක්ෂක තුවා හතළිහක් පනහක්..”
අප ජීවත් වන්නේ මොළේ කොලොප්පං වෙන ජාතියේ සමාජයකය. සිටින්නේ නූතන ස්ත‍්‍රිය හා ධනවාදී සමාජයේ හැසිරීම වටහාගත නොහැකිව පිස්සු කෙළිනා ස්ත‍්‍රීන් සහ පුරුෂයන් මෙන්ම ”ෆේස්බුක් පොරවල් ය” ඉතින් මේ ස්ත‍්‍රීවාදී කානිවල්, කවි වෙනුවට වමනය කරන කවියන්, පිස්සු වාමවාදීන්, ෆේස්බුක් පොරවල් සියල්ල සමඟ අපට හෙටත් ජීවත් වීමට සිදුවීමම දරාගත නොහැකි කම්පනයක් නොවේද?
රමේෂා සිරිවර්ධන