ලංකාවේ ‘කවිය’ දශක කිහිපයක සිට පවතින්නේ ධනවාදය නම් සමාජ ප්‍රපංචයට එරෙහිව නොව ඊට හිතවත් ආකෘතියෙනි.
අප එසේ කියන්නේ මන්ද? ලෝකයේ පවතින පරස්පරයන් එකිනෙකට සම්බන්ධිතය. විවිධ ප්‍රතිපක්ෂයන් එකට පවතින්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම අපෝහවාදයේ න්‍යායයි. ඒවා ඒකීය විය හැක්කේ කෙසේද? එකක් අනෙක් දෙයෙහි පැවැත්ම සඳහා අවශ්‍යය. නමුත් යම් මොහොතකට පසුව ඒවා එකිනෙක බවට පරිවර්තනය වෙයි. නිශ්චිත තත්ත්වයක් මෝරා ගිය කල යමක් එහි ප්‍රතිපක්ෂය බවට පරිවර්තනය වෙයි.
අප මේ ජීවත් වන සමකාලීන ධනවාදය තුළ කවිය සහ ධනවාදය අතර ඇති සමාජ සම්බන්ධය කුමක්ද? කවියේ කෙටි බව හදවත කරගත් සමකාලීන සංවේදී කවියෙක් වන ලක්ශාන්ත අතුකෝරලගේ ‘සුසුමකින් සුළි සුළඟ’ කාව්‍ය සංග්‍රහයේ පහත කවිය කියවමු.
“ඇය එකල
මලක් බව
සමනල්ලු
මට කියති.’’
ඉහත කවියට සමකාලීන පිරිමි මනස එන්නත් කරන්නේ නම් එය නැවත අපට මෙසේ ලිවිය හැක.
“ඇය එකල
බඩුවක් බව
බඩුකාරයන්
මට කියති.’’
චූලානන්ද සමරනායක විසින් ලක්ශාන්තගේ පහත කවිය ද තම දේශනයේදී උපුටා දක්වන ලදී.
“වැඩ ඇරී
වැඩට යති
ගැහැනු’’
21 වැනි සියවසේ දී මිනිසෙකුට ස්ත්‍රීවාදියකු වීම පහසු නැත. ලිංගිකත්වය (ලිංගික දෘෂ්ටිවාදය) ඩිජිටල්කරණය වූ යුගයක තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත. අසංග සායක්කාරගේ නාට්‍යයක (සංඝදාසගේ චූටි කලිසම) හෙදියකගේ චරිතයට පන පොවන ලංකා බණ්ඩාරනායක වැනි ධනේශ්වර පරිවාරයේ උපත ලත් ස්ත්‍රියක් තවමත් සිතන්නේ පුරුෂ ෆැන්ටසියකින් හෝ පුරුෂ කතාන්දරයකින් තොරව ස්ත්‍රියකට අනන්‍යතාවයක් ඇති බවය. පුරුෂයාගේ සම්බන්ධයෙන් ස්ත්‍රිය සහමුලින් ඉවත් කළ විට අපට හමුවන්නේ ස්ත්‍රියක් නොව පිරිමියෙකි. මෙය මෙසේ වන්නේ ඇයි? “ස්ත්‍රිය යනුවෙන් කෙනෙක් නොපවතීය’’ යන ප්‍රවාදය පුරුෂාධිපත්‍යයික සමාජයේ මර්දනයේ ප්‍රතිඵලයක් නොවේ. ඒ වෙනුවට පුරුෂාධිපත්‍යයික සමාජය යන්නම ස්ත්‍රිය යනුවෙන් කෙනෙක් නොපවතීය යන ප්‍රවාදය එළිපත්තට පැමිණීම වැළැක්වීමට දරන ලද වෑයමකි. මෙම ප්‍රවාදයේ සත්‍යයතාවය සහතික කිරීම සඳහා ‘ශ්‍රමය’ අපි ලිංගිකකරණය කරමු.
“වැඩ ඇරී
රාත්‍රියට වැඩට යති
ගැහැනු’’
යම් පුද්ගලයෙකු පිළිගන්නවා නම් ‘ස්ත්‍රිය යනුවෙන් කෙනෙක්’ මේ ලෝකයේ නොපවතිනවා කියා; එසේ නම් සැබෑ පිරිමියෙක් යනු කවුද? පිරිමියෙක් යනු ස්ත්‍රියක් සැබැවින්ම පවතිනවා යැයි සිතන මෝඩයෙකි. (මනුෂ්‍යයෙකි)
එසේ නම් කවිය සමග ධනවාදයට ඇති සම්බන්ධය කුමක්ද? චූලානන්ද සමරනායක නම් කාව්‍ය විචාරකයා තම දේශනය ආරම්භයේදී හද සසල කරමින් විවාදයට ලක් කරන ලද්දේ වාම දේශපාලන සංස්කෘතියේ මුඛ්‍ය විරුද්ධාභාසයයි. එනම් සතුරා/ මිතුරා භේදයයි. දේශපාලනය සද්භාවාත්මක තලයකට වර්ධනය කළ කාල් ෂ්මිට් නම් ජර්මානු දේශපාලන දාර්ශනිකයාගේ මාර්ගයට අවතීර්ණ වෙමින් චූලානන්ද මහතා අදහස් කරන ලද්දේ වාම සංස්කෘතියේ අභ්‍යන්තරික කුලල් කා ගැනීමයි. මරා ගැනිල්ලයි.
ධනවාදය සූත්‍රගත කිරීමේදී කවියන් සිටින්නේ නිසඟයෙන් ධනපති විරෝධී කඳවුරේය යන අදහස සෑම කවි හමුවකදීම විද්‍යමාන වෙයි.සාමාන්‍යයෙන් බොහෝ කවි සංවාදවල දී ධනේශ්වර විරෝධය සමග ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සමපාත කිරීමට විචාරකයන් උත්සුක වෙති. මගේ අවබෝධයට අනුව 21 වැනි සියවසේ ධනවාදය සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය අසමපාතය. කාව්‍ය විචාරකයන් ලංකාවේ තෙම්පරාදු වූ පහළ මැදපන්තික අදහස් ධනේශ්වර විරෝධය සමග පෑස්සීමට උත්සාහ කරති. මෙම ක්‍රියාව අද දවසේ න්‍යායිකව සහ ප්‍රායෝගිකව දෝෂසහගතය.
තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ධනේශ්වර විරෝධය උදෙසා ප්‍රදීපාගාරයක් නොවේ. මීට දශක හතරකට පමණ පෙර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන කීර්ති බාලසූරිය පහත අයුරින් නිර්වචනය කර ඇත.
“මන්ද පෝෂණයෙන් සහ පීඩන බරින් පෙළෙන ‘ලක් මවගේ දරුවන්’, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් සහ රැකියා නැති තරුණයන් ආදී සිංහල සුළු ධනේශ්වරයේ දුක් වේදනා සත්තකින්ම ජනතා විමුක්ති පෙරමුණ තුල වෙයි.’’
චූලානන්ද සමරනායක සහ සමන්ත විද්‍යාරත්නට වඩා දයා නෙත්තසිංහ කවියා ගැන විමල් කැටිපෙආරච්චි විචාරකයා දැනුවත්ය. ‘සත්හඬ’ පුවත්පතේ කතු මණ්ඩලයේ දෛනක ව්‍යවහාරය ගැන දන්නා විමල්, දයා නෙත්තසිංහ හුදු කවියෙක් පමණක් නොව සුළුවට ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් ද බව ද දන්නේය. පන්ති සමාජයක (එවැන්නක් තිබේ යැයි විශ්වාස කරන්නේ නම් පමණක්) තිබෙන්නේ යම්කිසි පන්තියකට ආවේණික වූ මනුෂ්‍ය ස්වභාවයක් පමණකි. පන්තිවලට උත්තරීතර වූ මනුෂ්‍ය ස්වභාවයක් නැත. අපි, වැඩ කරන පන්තියේ ද, මහජනතාවගේ ද මනුෂ්‍ය ස්වභාවය එළිපිට ප්‍රකාශ නොකරන මුත් (කවියන් මෙන්) ධම්මික පෙරේරා වැනි අය උසස් මනුෂ්‍යයන් යැයි ඔවුන් සලකති. කවි හමුවකට යන කෙනෙක් ධම්මික පෙරේරාගේ දේශන අසන්නට යන්නේ නැත. එපරිදිම චූලානන්ද, විමල්, සමන්ත යන මැදපන්තික බුද්ධිමතුන් උස්සා පෙන්වන උසස් මනුෂ්‍ය ස්වභායක් ලංකාවේ කවියන්ට නැත.
Deepthi kumara Gunarathne
Lankanewsweb