කුරුළු හදවත නවකතාවට ප්‍රවේශයක් ලෙස තමා මෙබඳු පොතක් ලියන්නේ මන්දැයි ලේඛකයා විසින් ම හකුළුවා දක්වන විස්තරයක් මෙම පොතෙහි ඇත. කතුවරයාගේ එම ප්‍රකාශය ඇරඹෙන්නේ මෙසේය.

“මගේ ම පරම්පරාව සමීපව වටහා ගැනීම පිණිස මා ලියන ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකි මේ නවකතාව කාලයක් පුරා මා දන්නා පසුබිමක පිහිටුවා ගවේෂණය කළ ද මෙහි එන ලෝකය ගොඩ නැංවීමේදී බොහෝ දෙනෙකුගේ උදව් හා පර්යේෂණ සහය අවශ්‍ය විය.”

ලේඛකයාගේ මෙම ප්‍රකාශයේ අවංක භාවය ගැන එකඟ නොවී සිටීමට කිසිදු හේතුවක් මට පෙනී නොයයි. එහෙත් එය එහි ඇති සංකීර්ණ අර්ථ ව්‍යාකූලතාවයෙන් (ambiguity) ගලවා ගැනීමට නම් එය පහත සඳහන් පරිදි නැවත ලිවීමට‍ සිදුවේ. එවිට එය කියවෙන්නේ මෙසේ ය.

“මම මගේ ස්වයං චරිතාපදානය ලියමි. එහෙත් මා එය ලියන්නේ ප්‍රබන්ධ කතාවක් ලෙස ය. මීට පෙර මෙහි එක් කොටසක් මත අටවක පුත්තු නමින් ලියා ඇත. මේ එහි දෙවන කොටස ය.”

දැන් මෙහි ගැටලුව වන්නේ තමාගේ පරම්පරාව වටහා ගැනීම පිණිස මෙම ලිවීම කරන බවට ලියනගේ අමරකීර්ති මෙහි කර ඇති සඳහන අර්ථ දක්වන්නේ කෙසේද? යන්න ය. සැබවින් ම ඔහු මෙහිලා පැහැදිලි කරන්නේ තමා මෙම නවකතාව ලියන ආකෘතිය (Form) පිළිබඳව ය. ඔහු තම ආත්ම චරිත කතාව දෘෂ්ටාන්තයක් (allegory) ලෙස‍ නැවත ලියයි. එවිට ඔහු තමා දෙස තමාගෙන් ම පිටස්තරව සිට බැලීමට අවකාශයක් නිර්මාණය කර ගනී.

කවර වූ හෝ කලා කෘතියක් පිළිබඳ විශ්ලේෂණයක දී වැදගත් වන ප්‍රධාන දේ නම් ෆැන්ටසිමය ක්‍රියාකාරිත්වය එම කලා කෘතිය තුළ අනුශීලනය වන ආකාරයයි. ස්ලැවෝජ් ජිජැක්ට අනුව එම ෆැන්ටසිය කළ නිර්මාණයේ ප්‍රකාශිත සංකේතීය වියමනට (symbolic texture) දුරස්ථව ව්‍යංගමානව පැවතිය යුතු කිසිවකි. එම ෆැන්ටසිය ක්‍රියා කරන්නේ සංකේතික වියමන නිසගවම ආක්‍රමණය (transgression) කරමිනි. කලා කෘතියක ප්‍රකාශිත සංකේතිය වියමන සහ එහි ෆැන්ටසිමය පසුබිම අතර පරතරයක් පවතී. කලාකරුවාගේ ප්‍රතිභාමය ශක්‍යතාවය පළවන්නේ මෙම පරතරය නැතහොත් අඩුව (lack) තම වාසිය පිණිස යොදා ගැනීම තුළ ය.

ජිජැක් මේ සඳහා දක්වන එක් නිදසුනක් නම් වදරින් හයිට්ස් (Wuthering Heights) නවකතාව ය. එහි කතා නායකයා වූ හීත් ක්ලි‍‍ෆ් අතුරුදහන්ව අවුරුදු ගණනාවකට පසු ධනවතකු ලෙස ආපසු පැමිණීම අතර පරතරය නවකතාවේ හිස් ය. එම කාලය තුළ ඔහු කරමින් සිටියේ කුමක්ද? සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ නවකතාවේ පවා දෙවෙන්දොරා සං අපට එක්වරම හමුවන්නේ චිත්‍ර ශිල්පියකු ලෙස ජපානයේදීය. හීරලුවකු වූ ඔහුගේ ළමා කාලය අප ඉදිරියේ නැත. මළගිය ඇත්තෝ නවකතාවේ දෙවෙන්දොරා සං ගේ ජීවිතය භ්‍රමණය වන්නේ මෙම හිස් බව වටා ය.‍ (මේ පිළිබඳ මීට වඩා ව‍ූ විස්තරයක් මවිසින් ලියන ලද මළගිය ඇත්තෝ යළි උපදිති ග්‍රන්ථයේ සඳහන් ය)

කුරුළු හදවත නවකතාවේ එම පරතරය තිබෙන්නේ කොහේද? ජිජැක් කියන පරිදි ම එය ව්‍යංග මානව පවතින කිසිවකි. නවකතාවේ කතා නායකයා වූ දිනසිරි කුරුළු ගංගොඩ අවුරුදු හතක් තිස්සේ ගුවන් විදුලියෙන් ගීත ඉල්ලුම් කරයි. මෙම කාලය තුළ ඔහු කරන්නේ තමාගේ නම නිර්මාණය කිරීම ය. නැතහොත් තමා තමාවම නිර්මාණය කිරීම ය. තම නියම නම වෙනුවට වෙනත් නමක් නිර්මාණය කිරීමෙන් තමාගේ නියම අනන්‍යතාවය ඔහු සඟවයි. සත් වසක් දුක් ගෙන එලෙස නිර්මාණය කළ තම නම නැතහොත් අනන්‍යතාවය ව්‍යාජයකි. මේ සත් වස ඇවෑමෙන් ඔහුට සිදුවන දේ නම් එලෙස තමා නිර්මාණය කළ ව්‍යාජ අනන්‍යතාවය (False identity) තම සැබෑ අනන්‍යතාවය ලෙස විශ්වාස කිරීමට වීම ය. එවිට ඔහු තමාගේ ව්‍යාජයට‍ තමා ම අනන්‍ය වේ.

මේ කතාව අවසානයේදී දිනසිරි මිය යයි. එය බොහෝ විට අහම්බ මරණයක් නොව දිවි නසා ගැනීමක් බව නවකතාකරුවා අපට ඉඟි කරයි. අත්තටම නම් ඔහු අවුරුදු හතක් තිස්සේ ම මියගොස් සිටි පුද්ගලයෙකි. දිනසිරිගේ මරණය අප කියවන්නේ ඔහු තමාගේ නම (අනන්‍යතාවය) නිර්මාණය කරමින් සිටි එම සත් අවුරුදු සන්දර්භය තුළ ය. අවසානයේ දී ඔහුට ඇත්ත මම හමුවේ. එනම් සත් වසක් තිස්සේ මරා දමා තිබූ ඔහුගේ ආත්මය (self) ඔහුට හමු වූ බවය. තමා තවදුරටත් ජීවත්වන පුද්ගලයකු නොවන බව ඔහු වටහා ගනී. එතනදී නවකතා කරුවා නිවැරදි ය. දිනසිරිගේ මරණයේ ගුප්ත බව සංග්‍රාමය ප්‍රකාශනයක් ලෙස කියවිය හැකි වීම නවකතාකරුවාගේ පරිකල්පන ශක්තිය විශද කරන්නකි.

දිනසිරි තමාගේ ගම කුරුළු හොටක හැ‍ඩයෙන් යුතු බව සොයා ගැනීම ඔහු තම අනන්‍යතාවය ගොඩ නැඟීමේ ව්‍යාපෘතිය පරිපාකයට පත් අවස්ථාවයි. ඔහු ගොඩ නගන්නේ තමාගේ ම ෆැන්ටසි ගම සහ ‘මම’ ය. රාජ්‍ය නායකයින් පවා මීට වඩා ඕලාරික ලෙස තම අනන්‍යතාව අලුතින් සොයා ගත් අවස්ථා වාර්තා වී ඇත.

උපුල් ශාන්ත සන්නස්ගල මීට වෙනස් ය. තමාගේ දුක්බර ළමා විය ඔහු උත්කර්ෂයට නංවයි. මන්දපෝෂණය නිසා තමා ආබාධිතව සිටි බවත් තම දෙමාපියන් සාමාන්‍ය ගැමියන් වූ බවත් තම නිවස තහඩු සෙවිලි කළ කුඩා නිවසක් වූ බවත් ඔහු පුවත්පත්වලට නිතර කියයි.‍ ලියයි. සන්සස්ගල මීට වඩා වෙනස් කතාවක් තම ළමා විය අරබයා නිර්මාණය කළත් ඔහු දැනට කියමින් සිටින කතාව සහ එය අතර වෙනසක් නොමැත. ඔහු කියන්නේ ඇත්තක් වුවත් එය කියා අවසන් වූ වහාම ඔහු එයින් බහිෂ්කරණය වේ. තව දුරටත් එය ඔහු අරබයා ඇත්තක් නොව නිර්මාණයකි.

ගැටලුව නම් සන්නස්ගල දිනසිරිගෙන් වෙනස් වන්නේ කෙසේද? යන්න ය. උපුල් ශාන්ත සන්නස්ගල මහතා නිතර කියන කතාවක් නම් කෙනකු තමාට අසූචි ගැහීමට එන්නේ නම් තමා වහාම කරන්නේ අසූචි බාල්දියක් තමාගේ හිසේ සිට වත්කර ගැනීම බවයි. එවිට ඔහුට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණෙන තැනැත්තා මුළුමනින් ම අසරණ වේ.

අහිංසක දිනසිරි සන්නස්ගල මෙන් ශූර ව්‍යාපාරික ඥානයක් හෝ ඉවක් නොමැති බැවින් තමාම වියාගත් පිරිසිදු සුදෝ සුදු ඇඳුමින් සැරසී සමාජය තුළට ප්‍රවිෂ්ට වේ. ඔහු සඳහා අසූචි බාල්දියක් අවශ්‍ය නැත. යන්තම් කුණු පොදක් ඉහිරුණ පමණින් ඔහු අසූචි වළක කර වටක් ගිලී ගියාක් සේ කඩා වැටීමට නියමිත ය. දිනසිරි කුරුලු‍ ගංගොඩගේ මරණයෙන් කෙළවර වන ජීවිතයේ අවසානය ඔහු අවුරුදු 7 ක් තිස්සේ නියැළී සිටි තම අනන්‍යතාවය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ අස්වැන්නයි.

ඇත්ත. මෙය මීට වඩා දිගට ලිවිය යුතු බවත් ලිවිය හැකි බවත් මම පිළිගනිමි. එහෙත් මෙම තීරුව සඳහා ලැබී තිබෙන කුඩා වපසරිය තුළ අතපය හකුළුවා ගැනීමට මට සිදුවේ.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. නවකතාවක් තුල පුද්ගල චරිතවල ඇති සෑම සියලු දෙයක්ම ඇතුලත් කිරීම කල නොහැකි වේ. එය තුල අපට හැකිවන්නේ කතාවට අදාල වන කොටස් පමණක් එකතු කොට කුඩා නිපැයුමක් කිරීම පමණකි. නවකතා චරිතයක පමණට වඩා චරිතයක ඇති ස්වභාවයන් විස්තර කිරීමට ගිය විට එය චරිත කතාවක් මට්ටමට වැටේ.

Comments are closed.