ලෙස්ටර් නිර්මාණය කළ දුෂ්කරම චිත‍්‍රපටය වශයෙන් ‘අහසින් පොළොවට’ (1978) සැලකිය හැකිය. චිත‍්‍රපටයට භෞතීෂ්ම කොට ඇති නම මඟින්ම වුවත් ගම්‍යමාන වන්නේ භෞතිකවාදී අදහසකි. නැවත වරක් මෙම චිත‍්‍රපටය ගැන ද අමරසේකර පවසන්නේ විඥානවාදී අදහසකි. ඔහු මෙසේ පවසයි.

            ”අහසින් පොළොවට නිසරු කෘතියක් වන්නේ එය මෙරට නාගරික මැද පන්තිය සතු නිසරු ජීවිතය පිළිබිඹු කරන නිසා නොවේ. එය ව්‍යාජ පුවතක් බැවිනි. මෙරට මැද පන්තිය තුළට බලෙන් රිංගවීමට තැත් කරන ලද බොරුවක් බැවිනි. ඒ කෙප්පය – කල්පිතය ඒ මැද පන්තියේ ඉන්නා බොළඳ ගැහැනුන්ගේ කල්පනා ලෝකයට අයත් එකක් බව නම් සැක කළ හැක. මැද පන්තියේ බොළඳ ගැහැනුන් සහ පිරිමින් අහසින් පොළොවට බලා රසයෙන් මුසපත් වන ආකාරය මේ සැකය තහවුරු කරන්නකි. මෙවැනි කල්පනා ලෝක – කෙප්ප තුළින් ශිල්පීය ඥාන ප‍්‍රදර්ශනයක් සහ සරඹ දැක්වීමක් විනා ගැඹුරු මානුෂික වින්දනයක් ලබා දීමක් නම් කිසි විටෙක සිදු විය නොහැක. එම කෙප්පය යථාර්ථයෙන් මිදුණු තරමට ශිල්පීය හරඹය සඳහා පස සකස් වෙයි”

            අමරසේකරට අනුව ‘අහසින් පොළාවට’ චිත‍්‍රපටය යනු මහ පොළොවේ යථාර්ථයෙන් සමුගෙන අහසේ ලඹ දෙන විචිත‍්‍ර චින්තාවකි. නමුත් චිත‍්‍රපටයට පදනම් වූ නවකතාකාරිය වූ අයිලීන් සිරිවර්ධන ‘දෙසතිය’ පුවත් සඟරාවට (78/11/30) මෙසේ අදහස් දක්වයි.

            ”අද අපේ රටේ බිහි වෙලා තියෙන හුඟක් නවකතාවලට පසුබිම හදල තියෙන්නෙ අපේ රටේ පරිසරය, ගති සිරිත්මයි. අර මතයක් තියෙනවනෙ; කලා කෘතියකින් ඒක බිහි වූ රටේ සංස්කෘතික ලක්ෂණ, සමාජ රටාව, ඒ රටේ ජීවත් වන මිනිසුන්ගේ ඔවුන්ට ආවේණික ගති-සිරිත්, පොදු ලක්ෂණ මේ හැම දෙයක්ම පිළිබිඹු කරන්න  ඕනි කියලා. ඉතින් නවකතාවෙනුත් ඒක ඉෂ්ට වෙන්න  ඕනෙ. මොකද නවකතාවක් පාඨක හදවතට කතා කරන කලාත්මක මාධ්‍යයක්… නමුත් කලක් තිස්සේ අපේ රටේ බිහි වුණු හුඟක් නවකතා නියෝජනය කළේ සමාජයේ එක ජන කොටසක් විතරයි… යොවුන් පේ‍්‍රමය ගැන, එහි සුන්දරත්වය, ගැමි ජනතාව, ආර්ථික පීඩනය, සමාජ අසාධාරණත්වය, 71 කැරැුල්ල… මේව තමයි ලංකාවේ නවකතාවේ වස්තු විෂය…

            අපේ රට සමාජ පන්ති කිහිපයක් (ජන වර්ග කිහිපයක්)ම තියෙන රටක්. ඒත් මේ එකම නවකතාවකින්වත් කියවුණේ නෑ ඉහළ, මැද, මධ්‍යම පන්තියේ ජනතාවගේ සිතුම්-පැතුම්, ඔවුන්ගේ ජීවන රටාව, ගති සිරිත් මොකක්ද කියන එක. චිත‍්‍රයක් කැන්වස් එකක අඳිනව වගේ මට උවමනා කළා ඒ සමාජ පසුතලය මගේ නවකතාවෙන් නිරූපණය කරන්න”

අයිලීන් සිරිවර්ධන ද ගුණදාස අමරසේකර මෙන් තමන්ගේම නවකතාව බාහිර යථාර්ථයට තුල්‍ය කරයි. ඇය තම නවකතාව යථාර්ථයට සමීප කරවීම පහත ආකාරයට සුජාතකරණය කරයි (තවදුරටත්).

            ‘අහසින් පොළොවට’ නවකතාවේ එන දොස්තර සරත්ගේ චරිතයට හිමි දුර්වලතා අද අපේ සමාජයේ ජීවත් වන බොහෝ සැමියන් සතු දුර්වලතා වෙනවා. ස්වාමියා හුඟක් වෙලාවට බිරිඳගේ සියුම් සිතුම් පැතුම් තෝරා බේරාගන්න සමත් වන්නේ නැහැ. ඉතාම සුළු කරුණකින් පවා ගැහැනිය හුඟක් දුරට වේදනාවට පත් වෙන බව නොහිතන ඔවුන් ගැහැනුන්ගේ බොළඳ ආශාවල් සැහැල්ලූවෙන් ඉවත දමනව. සරත්ගේ බිරිඳ විනීතා දැඩි ශික්ෂණයකින් සහ විනීතාචාරවලින් මෙහෙයවනු ලැබූ ගැහැනියක්. ඒ නිසා සැමියා සියුම් ලෙස තමා නොතකා හැරි අවස්ථා ඇය වේදනාවෙන් එහෙත් නිසලව ඉවසා ගන්නව. කෑම බීම, ඇඳුම් පැලඳුම් වගේම විවාහ ජීවිතයේ දී ගැහැනියකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මානසික තෘප්තිය. සරත් විනීතාගේ සියුම් හැඟීම් වටහා ගන්නට සමත් වුණේ නැහැ.

a-dangerous-method

            සිග්මන් ෆ්‍රොයිඞ් කියන විශ්ලේෂකයා අවුරුදු 30 ක් විතර එක විෂයක් ගැන පර්යේෂණ කළා. ඒ තමයි ස්ති‍්‍රිය. ඒත් ඔහුට තේරුම් ගන්න බැරි වුණු එකම දේ ගැහැනු සිත තෘප්තිමත් වන්නේ මොන දේකින්ද කියන එකයි. තවත් එකක්, මේ අත්දැකීම ඉහළ පන්තියට විතරක් සුවිශේෂී නැහැ. ගැමි සමාජයේත් මේ තත්ත්වය තියෙනවා. මේ අත්දැකීම විශ්ව සාධාරණ අත්දැකීමක්”

       පිරිමියකුට සම්බන්ධ වන  ඕනෑම බොළඳ ස්ති‍්‍රයක් හොඳින් හඳුනා ගන්නා අදහසක් මෙලෙස සාරාංශගත කළ හැකිය. ස්ත‍්‍රිය හොඳින්ම දන්නව ඇයට පුරුෂ සංකල්පයෙන් පිටත පැවැත්මක් නැහැ කියලා. යථාර්ථය සහ පුරුෂයා අතරමැද තියෙන ඉතිහාසයේ වඩාත්ම ඝන වූ සංකල්පය තමයි ස්ත‍්‍රිය. ඉතිහාසයේ දී බොහෝ විට බහුතරය උත්සාහ කරන්නේ ස්ත‍්‍රියව අවබෝධ කරගන්න. තවදුරටත් පැහැදිලිව කිවහොත් හරියට අයිලින් වගේ – ස්ත‍්‍රියව බහුතර මනස වටහා ගන්නේ කිසියම් වූ මනෝවිද්‍යා අන්තර්ගතයක් සහිතව. නමුත් දාර්ශනිකව ගත්තත්, මනෝ විශ්ලේෂණයට අනුව ගත්තත්, රැුඩිකල් විප්ලවවාදී දේශපාලනයට අනුව ගත්තත් ‘ස්ත‍්‍රිය’ කියන්නෙ හිස් බවක් විතරයි. අවසාන විග‍්‍රහයක දී ස්ත‍්‍රිය යනු වස්තුවක් නෙවි ආත්මයක් (Subject) මේ නිසා අපට දාර්ශනිකව මෙහෙම කියන්න පුළුවන්. ස්ති‍්‍රයට ඇත්තේ වෙස්මුහුණක්. ඊට පිටුපසින් කිසිවක් නැහැ. දේවාලයේ පිරිමි තිරයට එහා දෙවියෙක් නැහැ. ෆැලික කපුවා නම් මහා අනෙකා විසින් තමයි තිරයේ පිටුපස දිව්‍යමය සාරය උත්ථානය කරන්නෙ. දෙවියන්ගේ සාරය නැතහොත් සන්ථවය ‘බහිසංසේචනයක්’ (Extimacy) කියල මහාචාර්ය මහේෂ් හපුගොඩ කියන්නේ මේ හින්දයි. මෙය ස්ත‍්‍රියටත් එක සේ අදාළයි. තිරයට පිටුපස ස්ත‍්‍රී සාරය පෙන්වන්නේ ස්වපීඩක විනෝදය ලබන පිරිමි කපුවෙක්. තමන් මේ තිරයට එහායින් ගොඩනගන ප‍්‍රබන්ධමය ස්ත‍්‍රී සාරය තමන්ගේම නිර්මාණයක් බව ඒ අය දන්නව. කරෝකේ අවන්හල් තුළ පිරිමින්ගේ ඔඩොක්කු මත ඔවුන්ට ‘සකස්කඩ’ කියවමින් බණ කියන ස්ත‍්‍රිය දන්නව තමන්ට තියෙන්නෙ රැඩිකල් බාහිර පුරුෂ සංකල්පීයතාවක් (අන්කර්ගතයක්) විතරයි කියලා. ඒ අර්ථයෙන් කිව්වොත් පුරුෂ ඔළු ගෙඩිය ඇතුළේ නිෂ්පාදනය වන අභ්‍යන්තර ස්ත‍්‍රී ශුන්‍යත්වයට බාහිර භෞතික භෞතීෂ්මය ලබා දෙන්නෙ බාහිර ස්ත‍්‍රී ශරීර. පිරිමියාට නැති රැඩිකල් නිදහස ස්ත‍්‍රියට තියෙන ආකෘතිය ඉහත සංකල්පීය බහිෂ්කරණය හරහාම වටහා ගන්න පුළුවන්. ස්තී‍්‍රවාදය කියන්නෙ පුරුෂ සංකල්ප (පුරුෂාර්ථ)වලින් විටක ස්ත‍්‍රී නිදහස සෙවීමක් නම් එය අවසන් වන්නේ වහල්භාවය තවදුරටත් තහවුරු කරමින් රැඩිකල් නිශේධනය හෙළා දැකීමක්.

            ‘අහසින් පොළොවට’ චිත‍්‍රපටය කියන්නේ බාහිර ලෝකයේ, යථාර්ථයේ ඉන්න ස්ත‍්‍රියක් ගැන කරන විවරණයක් නෙවි. දොස්තර සරත් කියන්නෙ දරු ප‍්‍රසූතියකින් මිය ගිය තම බිරිඳ ගැන අතීතාවර්ජනය කරනා මනෝරාජිකයෙක් නෙවි. ඊළඟට එම අතීත ක්ෂතියෙන් ගැලවෙන්න තම බිරිඳගේ නැගණියට කිට්ටු වන අසරණයෙකුත් නෙවි. ස්ත‍්‍රිය ‘හිස්’ කියල දන්න කෙනෙක්. 

 

            ‘අහසින් පොළොවට’ යනු භෞතිකවාදයේ ප‍්‍රථම පියවර බව සනිටුහන් කරමින් ඔහු ස්ත‍්‍රිය යනු පිටසක්වළ පවතින හුදෙකලා භෞතික තරුවක් බව වටහාගෙන ඇත. පිරිමියා ස්ත‍්‍රිය ගැන තම අවිඥානික ආශාවන්, එනම් විවිධාකාරයේ ෆැන්ටසි තමන්ගෙන් පිටත භෞතික වස්තුවකට ආදේශ කරයි. එය විටෙක තරුවක් විය හැකිය. තවත් විටෙක එය ගංගාවක් විය හැකිය. නමුත් එය අහසක් නොවේ. එය පොළොවකි. දොස්තර සරත්ගේ විනීතා යනු බාහිර ලෝකයේ ජීවත් වන සම්, මස්, ඇට, නහර සහිත බිරිඳ වන විනීතා නොවේ. පේ‍්‍රමය යනු ගැඹුරෙන් (විවාහය මෙහි ආයතනගත ස්වරූපයයි) ස්වාමි-සේවක සම්බන්ධයකි. පිරිමියා එහි දී ස්ත‍්‍රියට කියන තේරි ගාථාව මෙසේය. ”මම මගේ ශරීරය ශරීරය ලෙස පාවිච්චි කරනව. කරුණාකර මම පාවිච්චි කරන ඔබේ ශරීරය ඔබේම කියල (මගේ නෙවි කියල) මට ඔප්පු කරන්න”

     90f639c0e8d5119c8f3e7bb1d6119d93

  ‘අහසින් පොළොවට’ යනු ස්ත‍්‍රිය පිළිබඳ අහස් මාලිගා බිඳදමන චිත‍්‍රපටයකි. සරත් ස්ත‍්‍රිය ගැන සිතන විට අහස නොබලයි. ඔහු බලන්නේ පොළොවයි. දරු ප‍්‍රසූතියෙන් කෑගසන ස්ත‍්‍රියගේ වියරු වේදනාව ඔහුගේ ස්ත‍්‍රිය පිළිබඳ ආරම්භක ප‍්‍රතිසන්ධියයි. ඔහු වෛද්‍යවරයෙක් වුවත් ස්ත‍්‍රිය උපදින්නේ ගර්භාෂයේ නොව (ස්ත‍්‍රිය පිළිබඳ සොබාදහමේ ආධිපත්‍යයෙන් ගැලවීම) සංකල්පීය ගර්භය, එනම් මොළයෙන් (මොළය පදාර්ථයකි) බව ඔහු වටහාගෙන ඇත. මේ අවබෝධය මඟින් ස්ත‍්‍රියට මාවත් දෙකක් විවර වී ඇත. ඇය සංකල්පයක් නම් එය දයලෙක්තික චලනයට භාජනය විය යුතුය. ඉතිහාසයේ යම් මොහොතක ස්ති‍්‍රය මේ යැයි කියන්නේ – සාරියක් ඇඟ වටකර ගත් අහිංසක යුවතිය – පුරුෂයාය. නමුත් ස්ත‍්‍රිය පිළිබඳ මේ ආකල්පයට ස්ත‍්‍රී ශරීරය පයින් ගසයි. යමක හරය තුළින්ම එහි පරස්පරය මතු වෙයි. මයික්‍රෝ සායකින් සැරසෙන ඇය වඩා ශෘංගාරකරණය වෙමින් ස්ත‍්‍රිය පිළිබඳව එතෙක් පැවැති සාම්ප‍්‍රදායික මතය කඩා බිඳදමයි. පිරිමියකු ශරීර කූඩුවක හිර වන විට ස්ත‍්‍රිය සංකල්ප ලෝකය නම් සංසාර චක‍්‍රය වෙනස් කරමින් තමාගේ ආකෘතියත්, පිරිමියාගේ ආකෘතියත්, ලෝකයේ ආකෘතියත් යන ත‍්‍රිත්වයම වෙනස් කරයි. පිරිමියා ලෝකය අවබෝධ කරගන්නා මුණිවරයෙක් වන විට ස්ත‍්‍රිය සමාජ යථාර්ථයේ තාර්කික ව්‍යුහය වෙනස් කරයි. පුරුෂයාගේ පාපය ඔළු ගෙඩිය ඇතුළෙන් එළියට ගෙන එය ලෞකික ලෝකය තුළ දී වනසා දමා, තමාත් විනාශ වී පුරුෂයාට ඔහුගේ සත්‍යය පෙන්වා දීමට හැකි වී ඇත්තේ ස්ත‍්‍රිය පුරුෂයාට වඩා තාර්කික නිසාය. පිරිමියකුට ඔහු වටා සිටින ‘මාක්ස්වාදී දේශපාලන මිතුරන්’ හුදු නළුවන් බවට පෙරළන්නට ස්ත‍්‍රියක් කරන්නේ තමන්ගේ කිහිල්ල පෙන්වීම වැනි සරල ක‍්‍රියාවකි. එවිට අදාළ පිරිමියාගේ පම්පෝරිසහගත මුළුමහත් දේශපාලන අට්ටාලයම මහ මුහුදට ගසාගෙන යාමට ගත වන්නේ නිමේෂයකි. ස්ත‍්‍රියකට මේ සියල්ල කිරීමට හැකි වන්නේ ඇගේ පැවැත්ම සංකල්පීයතාවයත්, එනයින් සද්භාවාත්මක (Ontological) නිසාය. පුරුෂයාගේ සැබෑ ස්ත‍්‍රිය පවතින්නේ යථාර්ථයේ නොව ඔහුගේ ෆැන්ටසි මානය තුළය.

       ‘අහසින් පොළොවට’ යනු ස්ත‍්‍රියගේ මෙම ෆැන්ටසි මානය, නැතහොත් අභ්‍යාවකාශ මානය හඳුන්වා දීම හරහා පිරිමි භෞතිකයේ පාරභෞතික මාන හෙළිදරව් කිරීමයි. පිරිමින්ගේ සන්ථවය (Intimacy) අධ්‍යාත්මය ලෙස සරුංගලයක් මෙන් අහස ඉහළට යන්නේ නැත. අහසේ ගමන් කරන කල්පිත ගුවන් යානයකට පිරිමින් ස්ත‍්‍රිය පිළිබඳ තමන්ගේ ෆැන්ටසි, අවිඥානික ආශා ප‍්‍රක්ෂිප්ත කරයි. බාහිරින් සිටින ස්ත‍්‍රිය ඒවා තහවුරු කරන තුරු ‘අදහස’ අහසේ ලඹ දෙයි. වෙනස්කම්වලට සහ පසමිතුරුභාවයට භාජනය වන ස්ත‍්‍රිය පිරිමින්ගේ අහසේ ලඹ දෙන, ඇගේ හිස් ආත්මය පුරා වන මනස්ගාතවලට සහයෝගය දීම අතහැර දමන පළමු නිමේෂයේම අර කී ගුවන් යානය ගුරුත්ව බලය යටතේ පොළොවට කඩා වැටෙන්නට පටන් ගනියි. දොස්තර සරත් වැනි අය (පිරිමින්) මේ නිසා අභ්‍යාවකාශයේ රඳවන ස්ත‍්‍රී අභ්‍යාවකාශ යානා නිපදවා ඇත. ඒවා ගුරුත්ව බලයෙන් නිදහස් නමුත් කෘති‍්‍රම ගුරුත්ව බලයකින් පාලනය වන ඒවාය. එබැවින් ඒවා පොළොවට කඩා වැටෙන්නේ නැත.

rear-window-georgine-darcy-4

            ‘ලිංගික සබඳතා යනුවෙන් දෙයක් නැත’ යන ලැකානියානු ආප්තයේ සැබෑවෙන් ගැලවෙන්නට පුරුෂයා ගොඩනගන ෆැන්ටසි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස (දෘෂ්ටිවාදය) ‘අහසින් පොළොවට’ සැලකිය හැකිය. චිත‍්‍රපටයේ නමින් අදහස් වන භෞතිකවාදය යනු පදාර්ථ රහිත ආකෘතියයි. එනම් පදාර්ථය රහිත භෞතිකවාදයයි.

මේ භෞතිකවාදය අපට දැන් ‘ගොළු හදවත’ කරා ද තල්ලූ කළ හැක. ආදරයට හිමි සන්ථවය අපට ගොළු හදවත තුළ තරම් පෙන්විය හැකි වෙනත් චිත‍්‍රපටයක් නැත. ලෙස්ටර් ‘ගොළු හදවත’ නවකතාව විවරණය කරන ආකාරයම භෞතිකවාදීය. අපි දැන් ලෙස්ටර් උපුටමු. 

            ”මේ කතා වස්තුව මුලින්ම මගේ සිත් ගත්තේ එහි ඇති ද්විත්ව ආඛ්‍යානය නිසාය. එකම සිදුවීම දෙවරක් කියන මේ කතාව සිනමා භාෂාවෙන් කියන්නේ කොහොමද? ඇත්තෙන්ම එය සිනමාකරුවකුට හොඳ අභියෝගයක්.

            ඉතා සුළු සිදුවීම් කිහිපයක් මත ජීවය ලද ළාමක ආදරය වියපත් ජීවිතය දක්වා පැතිර යන අවස්ථා බොහෝය. (උදා:- කුප්රින්ගේ රන්මිණි වළල්ල, චෙකොව්ගේ බල්ලා කැටුව යන කාන්තාව) මෙබඳු සිදුවීමක් ස්ත‍්‍රීන් සහ පුරුෂයන් චෛතසික මංජුසාවක රහසිගතව බහා තබා ගන්නා ආකාරය ද ඉන් උනුන් විඳින ප‍්‍රහර්ෂය (වේදනාවෙන් සතුටු වීම?) මෙන්ම පීඩාව ද ජීවිතාවබෝධයට හේතු වන හැසිරීම් ද ‘ගොළු හදවත’ තුළ නිරූපිතය”

            ‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ ප‍්‍රධානතම ලක්ෂණය වන්නේ එහි ඇති ආදරය පිළිබඳ විරුද්ධාභාසයයි. එහි එක කතාවකින් සුගත්ගේ ෆැන්ටසි ආදරය කියවෙයි. අනෙක් කතාවෙන් දම්මිගේ ආශාව (මං පොඩි බොරුවක්/ විහිළුවක් කරේ) නිරූපිතය. ගැටලූව වන්නේ සම්මතය තුළ ඉහත කතා දෙකෙන් කුමක් සත්‍යයද යන්නය. දෘෂ්ටිවාදය මගින් ‘ආදරය’ ගොඩනැගෙන්නේ ලිංගික පසමිතුරුභාවය විසින් ඇති කරනා ක්ෂතිය නිසාය. සරලව කිවහොත් ලිංගික සබඳතා ෆැන්ටසි තුළ හැර ඉන් පිටත නැති නිසා, දෘෂ්ටිවාදය ආදරය නිපදවා ඇත. නමුත් දම්මිගේ ස්ත‍්‍රී ආශාව විසින් ආදරයේ මායාව (පිරිමි* හෙළිදරව් කරයි. ගොළු හදවතේ අකුටිල බව බිහි වන්නේ මේ නිසාය. සිංහල පිරිමියා බාහිර ස්ත‍්‍රී ශරීරය හරහා ෆැන්ටසි නළය මඟින් ගමන් කරන විට එක තැනක දී හිර වෙයි. සරලව කිවහොත් සිංහල පිරිමියා ෆැන්ටසිකරණයේ දී (නෛෂ්ක‍්‍රමණය) එක ලක්ෂ්‍යයක දී බිය වී නතර වෙයි. ඉන් පසු ගොළු වෙයි. ඊටත් පසු මේ බිය වීම පිටත ලෝකයේ බාහිර බාධාවකට (තව පිරිමියකුට) පවරයි.

බොහෝ විට දේශපාලනයේ දී නිහඬව පක්ෂ නායකයන් පිරිමින්ගෙන් මෙසේ අසනු ඔබ දැක ඇතිවාට සැක නැත. ”ඇයි ඔබ මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කළේ” දැන් අපට දම්මි – සුගත් පටලැවිල්ල ප‍්‍රභාකරන් – කරුණා පටලැවිල්ලට මාරු කළ හැකිය. අප සිතනවාට වඩා ලෙස්ටර් ත‍්‍රස්තවාදීය. ඔහු ලිබරල්ද?

අවසානයි –

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දිප්ති ඔයා කියන දේවල් දෑන් මට සීරියස් නෑ, මම දන්නෙ නෑ හේතුව…Elisabeth roudinesco ගේ පොත සින්හලට පරිවර්තනය කරන්න හිතන් ඉන්නෙ the key-note speach will be given by Deepthi. that’s why he was provoked me.

Comments are closed.