ලංකාව වැනි දූපතක ‘චින්තනය’ පවතින්නේ, ඉතාම දරිද්‍ර ස්ථානයක ය. මේ හේතුව නිසාම දේශපාලන චින්තනය පවතින්නේ, ඉතාම පහත් අවදියක ය. ලංකාවට මාක්ස්ව හඳුන්වා දුන්නේ කව්ද යන්න පිළිබඳව අදටත් පර්යේෂණයක් කර නැත. අප දැනට දන්නේ, ‘මාක්ස්වාදය’ ලංකාව නම් දූපතට ආනයනය කළේ ‘සමසමාජ පක්ෂය’ කියා පමණි. එන්.එම්. පෙරේරා තමන් කොමියුනිස්ට්වාදීයෙකු නොවන බව සම්මුඛ සාකච්ඡාවක දී එළිපිට කියන ලදී. ඔහුට අනුව, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ස්ටාලින්වාදී නිසා ඔහුට කොමියුනිස්ට්වාදියෙකු වීමට හිත දෙන්නේ නැත. මේ මෑතකදී, ‘මාක්ස්වාදය’ පිළිබඳව පැවති සංවාදයක දී ද කියවුණේ, එන්.එම්. පෙරේරාට මාක්ස්වාදය ගැන ගැඹුරු අවබෝධයක් නොතිබුණු බවයි.
මාක්ස්වාදයට අදාළ ඉදිරි න්‍යායික වර්ධනයන් (1935 සිට 70 දශකය දක්වා වූ දශක හතරක කාලය තුළ ලංකාවේ පැවතියේ පරිණත උද්ඝෝෂණ සහ ප්‍රායෝගිකතාවාදී ව්‍යාපාරයන් මිස න්‍යායික මාක්ස්වාදී ව්‍යාපාරයන් නොවේ) 70 දශකය වනතුරු නො පැවති අතර 70 දශකයේ ආරම්භ වූ ‘දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරය’ නිසා ඒ දක්වා ලංකාවේ පැවැති වාමාංශික අරගලවල සාර්වත්‍රික ස්වභාවය අභියෝගයට ලක් විය.
70 දශකයේ අග සිට 80 දශකය මැද දක්වා අවධියේ ද්‍රවිඩ ජාතිකවාදය නිසා වාමාංශය පිරිහීමකට ලක් වූ අතර එම අභියෝගය න්‍යායිකව ජය ගන්නට මැදිහත් වූ ඇකඩමික බුද්ධිමතා වූයේ, ආචාර්ය නිව්ටන් ගුණසිංහ ය. ඔහු ‘අන්තෝනියෝ ග්‍රාම්ස්චි’ මඟින් ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථය නව අර්ථකතනයකට ලක් කරන ලදී. ඔහුගේ කෘති සහ ලිපි ලේඛන සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් පළ කරන ලදී. ඔහුගෙන් වූ දායකත්වයට පසුව මාක්ස්වාදයට න්‍යායිකව දායකත්වය සපයමින් එය ස්ත්‍රීවාදය පැත්තට චලනය කළේ, රොහාන් පෙරේරා විසිනි. මේ සියල්ල 1995 පමණ වන විට අවසන් විය. ලංකාවේ චින්තන ඉතිහාසයට අදාළ ඉතාම කෙටි අදහස් දැක්වීමට පසුව අපි දැන් අපගේ න්‍යායික දායකත්වයේ ඉතිහාසය කෙටියෙන් කියවමු.
නිව්ටන්ගේ සිට රොහාන් දක්වා වූ චින්තකයන්ගේ සමාජ බුද්ධියේ ‘සුසමාදර්ශී ගැටලුව’ වූයේ, ඔවුන් න්‍යාය ‘තර්කයේ සහ බුද්ධියේ සීමාව’ තුළින් පමණක් වටහා ගැනීමයි. සරලව කිවහොත්, ඔවුන් ‘දේශපාලනය’ සිහිය නැතහොත් සතියේ (සතිය) සීමාවට ඌනනය කරන ලදී. නමුත් ‘ජාතිවාදය’ යනු, දේශපාලනයේ සිහිය සමතික්‍රමණය කොට අවිඥාණය කරා ගමන් කළ ප්‍රථම පියවරයි. නලින් ද සිල්වාගේ ‘සිංහල ජාතිවාදය’ නිව්ටන්ට හෝ රොහාන්ට න්‍යායගත කිරීමට නො හැකි වූයේ, මේ නිසා ය.
1995 වර්ෂයට පසුව ‘ස්ලාවෝජ් ජිජැක්’ යොදාගෙන සහ මගේ ප්‍රායෝගික අත්දැකීම් ද පදනම් කොටගෙන දේශපාලනය නම් ක්‍රියාව තුළ අඩංගු ”අවිඥාණය” නම් සාධකය මා විසින් මතු කරන ලදී. මෙමඟින්, ලංකාවේ දේශපාලන චින්තනයේ එක්තරා සුසමාදර්ශී විතැන්වීමක් සිදු විය. ඒ දක්වා ලෝකය වටේ පමණක් කැරකැවෙමින් සිටි දේශපාලන ක්‍රියාකාරිකයාට තමන් වටේ ද කැරකැවෙන්නේ නැතිව ‘සත්‍යය’ අවබෝධ කර ගත නො හැකි බව සෛද්ධාන්තිකව සහ ඇකඩමික නොවන ආකාරයකට මා විසින් පෙන්වා දෙන ලදී. මෙමගින්, වාම දේශපාලනයේ යෙදුණු ගැමියන් සහ නාගරික පාදඩයන් කුපිත විය. දේශපාලනය පුද්ගලික කුණුකන්දල් ඇවිස්සීමට ඌනනය කරනවා යැයි ඔවුනට දැනෙන මට්ටමින් අපට එරෙහිව කටයුතු කරන ලදී. න්‍යාය තබා නූතන ධනවාදය නිසා මේ අයගේ දවසේ ජීවිතයට වී ඇති නස්පැත්තියවත් සූත්‍රගත කිරීමට ඔවුනට නොහැකි ය.
අද න්‍යාය සහ දේශපාලනය ගැන පොර ටෝක්ස් දෙන බබාලා ඉහත ඓතිහාසික සන්දර්භය නො දනියි. නැතහොත්, තක්කඩිකමට එය මඟහැර යමින් සිටිති. ‘ස්ලාවෝජ් ජිජැක්’ ලංකාවට හඳුන්වා දුන්නේ, ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල බුද්ධිමතෙකු විසින් නොවේ. අද වන විට, ඒ ගැන විශාල හීනමානයක් දැනෙමින් පවතින බව ඔවුන්ගේ රෝග ලක්ෂණවලින් කිවීමට හැකි ය. ජවිපෙ සහ කුමාර්ගේ ස්ත්‍රී විරෝධී පෙරටුගාමීන් මෙම ඉතිහාසය දැනුවත්ව විකෘති කරමින් සිටිති.
අපි දැන් ජිජැක්ව ඉතිහාසය සන්දර්භය තුළ තබමු.
ජිජැක් යනු, සීතල යුද්ධය අවසානයේ හටගත් වාර්ගික යුද්ධයක් නිසා හටගත් ප්‍රපංචයකි. සමාජවාදය බිඳ වැටුණු පසු මතු වී ආවේ ලිබරල්වාදය නොව ජාතිවාදය යි. ගෝලීය මට්ටමින්, දෘෂ්ටිවාදී නාභිගත වීම නැගෙනහිර යුරෝපයෙන් මැදපෙරදිගට මාරු විය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ යුගොස්ලෝවියාව ද බෙදී ගිය රටක් විය. ඉන්, ස්ලෝවේනියාව ඇදී ගියේ ලිබරල්වාදයට වන අතර 1990 දී ජිජැක් ඡන්දය ඉල්ලුවේ ද ලිබරල් පක්ෂයෙනි. ‘පොළොන්නරුවේ සිරිසේනට’ පාදඩ පාට් දාන හද්දා සිංහල ගැමියන් ජිජැක් ලිබරල්වාදයට සහ නැටෝවේ යුද්ධයට පක්ෂපාතී වූ බව නොදනිති. මා විසින් හඳුන්වා දුන් චින්තකයෙකු තම පුද්ගලික අභිලාෂයන්ට විකුණන තක්කඩියන්ට මේ ඓතිහාසික සන්දර්භය නොපෙනී යාම පුදුමයට කරුණක් නොවේ.
1989 ට පසුව සිදු වූ මූලික දෘෂ්ටිවාදී ඛණ්ඩනය වූයේ, පශ්චාත්-කාර්මික සහ පශ්චාත්-දෘෂ්ටිවාදී අදහස් විසින් නිදහස් වෙළඳපොළ පිළිබඳ තර්කනය ප්‍රාථමික කිරීමයි. තවදුරටත්, සමාජවාදය ගැන පසු විපරම් කිරීමට කෙනෙකුට අවශ්‍ය නො වූයේ භාණ්ඩ හිඟය පිළිබඳ කතා සමාජයෙන් අතුරුදහන් වූ නිසා ය. ජිජැක් විසින් මෙම නිදහස් වෙළදපොළ තර්කයට අභියෝග කරමින් පැවසුවේ, අප සිටින්නේ ”පශ්චාත්-දෘෂ්ටිවාදය” තුළ නොව දෘෂ්ටිවාදය- ideology- තුළ බවයි.
මා විසින් ජිජැක්ව ලංකාවට හඳුන්වා දීම නිසා සුනිල් විජේසිරිවර්ධනගේ පශ්චාත්-සෝවියට් අධ්‍යයන, අර්ජුන පරාක්‍රමගේ පශ්චාත්-යටත්විජිතවාදය, සමානතා පක්ෂයේ ට්‍රොට්ස්කි-ස්ටාලින් අනවරත විවාදය, ජවිපෙ උද්ඝෝෂණ කේන්ද්‍රීය ශිෂ්‍ය දේශපාලනය, රොහාන් පෙරේරාගේ ආසියානු ස්ත්‍රීවාදය, නිහාල් පීරිස්ගේ ජනප්‍රිය සංස්කෘතික විවාදය යන සමාජ සංවාද සියල්ල අභියෝගයට ලක් විය.
ජිජැක් විසින් සිය ප්‍රථම කෘතිය වන ‘Sublime Object of Ideology’ තුළ කළ න්‍යායික පෙරළිය සැකවින් මෙසේය. ඔහුට අනුව, ලුවී අල්තූෂර්ගේ ‘දෘෂ්ටිවාදය’ පිළිබඳ න්‍යායගත කිරීමේ දෝෂයක් පවතී. අල්තූෂර්ට අනුව දෘෂ්ටිවාදයක් යමෙකුට ඇමතූ විට ඔහු/ ඇය හැරී බලයි. එමගින්, අදාළ පුද්ගලයා දෘෂ්ටිවාදයට පොලා පනියි. නැතහොත්, අනන්‍ය වෙයි. නමුත් සිග්මන් ෆ්‍රොයිඩ්ගේ අවිඥාණය පිළිබඳ අදහස යොදා ගනිමින් ජිජැක් පවසන්නේ, මිනිසුන් යම් දෘෂ්ටිවාදයක් දෙස හැරී බලන්නේ හෝ අනන්‍ය වන්නේ එම දෘෂ්ටිය තමන්ට අර්ථයක් ලබා දෙන නිසා නොව වේදනාත්මක සතුටක් ලබා දෙන නිසා බවයි. එනම්, අපි දෘෂ්ටිවාදයට අනන්‍ය වන්නේ අප තුළ අශ්ලීලව ප්‍රමෝද වන සත්වයෙකු සිටින නිසා මිස සිහියෙන් වැඩ කරන මිනිසෙකු සිටින නිසා නොවේ යන්නයි. ඒ අනුව, දෘෂ්ටිවාදීහරණයක දී වඩා වැදගත් වන්නේ තාර්කික උත්තර නොව අවිඥාණය විශ්ලේෂණය කිරීමයි. ඉහත පොතේ කෙටිම සාරාංශය ලෙස ගත හැක්කේ, ඉහත අන්තර්ගතය යි.
ජිජැක් ඉතා හොඳින් ‘පශ්චාත්-සෝවියට් යුගය’ තුළ දී ඇකඩමික වශයෙන් වඩා වැදගත් වන ”පාරිභෝගික භාණ්ඩය” දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම බව වටහා ගන්නා ලදි. නොදියුණු බෝල්කන් දේශයේ ඇවිලී ගිය ඊනියා අශ්ලීල වාර්ගික යුද්ධයේ මදය ඉගෙන ගැනීමට බටහිර ඇකඩමියාව සොයා ගියේ, ජිජැක්ව ය. මෙම වාර්ගික යුද්ධය මඟින් මනෝවිශ්ලේෂණයේ අවිඥාණය හරහා ජිජැක් උගත් විශ්ලේෂී උපකරණ නිසා ‘දේශපාලනය’ ගැන දේශපාලන අදහස් (Meta-political Discourse) දැක්වීමට ජිජැක්ට හැකි විය. ජිජැක්ට අනුව, ජාතිකත්වය යනු ධනවාදයේ පැතිර යාම හරහා සංකෝචනය වන සාමූහික ආකල්ප අහිමි වීමේ භීතිය මතුපිටින් ප්‍රකාශමාණ වන ආකෘතිය (Fear of Castration) යි.
මෙම සංස්කෘතික අහිමි වීම පිළිබඳ කතන්දරය- ජාතික චින්තනය – ඊළඟට වාර්ගික අනෙකෙකුගේ තර්ජනය ලෙසින් හඳුනා ගැනේ. මෙම වාර්ගික අනෙකාගේ ජීවන දර්ශනයට හානි කිරීම ඊළඟට ඇරඹෙයි. ජිජැක්ට අනුව, ‘බෝල්කන් මිනිසා’ (ලංකාවේ නම්, දෙමළා සහ මුසල්මානුවා) යනු, ශිෂ්ට බටහිර ලෝකයේ අවිඥාණය යි. මේ ගැන විවේචනය කරන අය කියන්නේ, මෙය වාර්ගික න්‍යායක් බවයි. මා විසින් ගැමියාට සහ ස්ත්‍රියට හිස්ටීරියාව ඇතැයි කරන අවලාද යනු ද විශ්ලේෂණයට අදාළ නැතැයි යනුවෙන් සමහරුන් කීවේ ඒ ගැන ඇති නො දැනුම නිසා ය. දෘෂ්ටිවාදී විශ්ලේෂණයට ෆැන්ටසි න්‍යාය අදාළ කළ විට, අප සියලු දෙනා අපගේ අශ්ලීල ෆැන්ටසි අන්තර්ගතයත් තල්ලු කරන්නේ අපට සමීප අනෙකා (ස්ත්‍රිය, දෙමළා, අසල්වැසියා, මුසල්මානුවා, බටහිරයා) වෙතට ය. අප අපගේ අවිඥාණය මර්ධනය කරන්නට කරන්නට යළිත් අප වෙතට එය නැවත පරාවර්තනය වන්නේ, රෝග ලක්ෂණ හැටියට ය.
ඉහත න්‍යායික අධිනිශ්චය නිසා ජිජැක් පිළිබඳ ඓතිහාසික කතන්දරය බොහෝ දෙනෙකුට අමතක වී ඇත. ජිජැක්ගේ දෘෂ්ටිවාදී විශ්ලේෂණයට අදාළ දේශපාලන දර්ශනය වාර්ගික දේශපාලනයට ඇති සම්බන්ධය බහුතරදෙනා මකා දමති. ජිජැක් විසින් දෘෂ්ටිවාදී විශ්ලේෂණයට ‘ෆැන්ටසිය’ නම් සංකල්පය ඉදිරිපත් කිරීම දෘෂ්ටිවාදයට අදාළ ඉතිහාසයේ ඛණ්ඩනීය ස්ථානයකි. අල්තුෂර්ගේ දෘෂ්ටිවාදී පොලා පැනීමට ජිජැක් එකතු කළ අතිරේකය නිසා දෘෂ්ටිවාදයන්ට සහයෝගය දෙන ‘මනෝවිශ්ලේෂණ ආත්මය’ පිළිබඳ අදහස බටහිර දර්ශනය තුළ නැවත මතු විය. (හෛඩර්ගේ සත්තාව වෙනුවට ‘ආත්මය’ යන්න යෝජනා කිරීම)
අල්තුෂර්ට අනුව රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ සමාජයේ හාත්පස පැතිරී පවතියි. (පාසල, පවුල, පන්සල, ජනමාධ්‍ය) ඒවා විසින් විවිධ ආත්මයන් සමාජයේ නිෂ්පාදනීය භූමිකා බවට (පියා, ගුරුවරයා, චින්තකයා, පූජකයා ආදී වශයෙන්) පත්කරන අතර ඔවුන් ඉන්පසු ක්‍රියා කරන්නේ සහ යමකට අනන්‍ය වන්නේ, අධිපති දෘෂ්ටිවාද අදහස් වලට අනුකූල ලෙසිනි. ජිජැක්ට අනුව දෘෂ්ටිවාදය පිළිබඳ මෙම අල්තූෂරියානු තිසීසය තුළ හැලී යන්නේ, මිනිසාගේ අවිඥාණය (Unconscious) යි. ඉහත සංකේත පොළා පැනීමෙන් , එහි ග්‍රහණයෙන් මිදී යන ‘ආත්මයක්’ (Subject) නැතිනම් අතිරේකයක් පවතී. මෙම දෘෂ්ටිවාදී අර්ථයෙන් ඉවතට පැන යන අවිඥාණක ආත්මයේ (පූජකයා පන්සලේ ඇබිත්ත කොල්ලා දූෂණය කිරීම, විශ්වවිද්‍යාල ගුරුවරයා ශිෂ්‍යාව දූෂණය කිරීම) දෘෂ්ටිවාදී පදනම හදන්නේ, ‘ලුබ්ධි-ආර්ථිකය’ විසිනි. ”දේශපාලන ෆැන්ටසීන්” නිර්මාණය කරන්නේ, අසිහිය, හැඟීම් රහිත අවිඥාණක ආත්මය යි.
ඉහත විග්‍රහයට අනුව ෆැන්ටසිය පවතින්නේ, යථාර්ථයට එරෙහිව නොව එම පැත්තටම ය. ෆැන්ටසිය අපට සහයෝගය දෙන්නේ අපගේ දරාගත නොහැකි ක්ෂතිමය යථෙන් ගැලවීමට ය. ෆැන්ටසිය අපට යථාර්ථයක් නිපදවා දී අපගේ අවිඥාණක ආශාවේ හෙළිදරව් වීම වළකාලයි. අපගේ අවිඥාණක ෆැන්ටසිය අනාවරණය වන්නේ, මනෝවිශ්ලේෂණ කතිකාව ඉදිරියේ පමණි. ලංකාවේ මා හැර, ජිජැක් ගැන බොළඳ කතා ගොතන බහුතරදෙනා තම ලියවිලි තුළ තමන්ගේ ලිංගිකත්වය ගැන වචනයක්වත් ලිවීමට උත්සාහ නොකරති. මේ අනුකාරකවාදී සිංහල-බෞද්ධ ජිජැක්වාදීන් ඒ අනුව, ජිජැක්ගේ මූලික විශ්ලේෂණ උපකරණය වූ අවිඥාණය මගහැර යයි. ඒ නිසා, ඔවුහු වස්තූන්ගේ හරය තුළම ඇති ප්‍රතිවිරෝධය අධ්‍යනය කිරීම මඟ හරිති. ජිජැක් ගැන ලිපි පළ කරන ඇකඩමික ‘ප්‍රවාද’ සංස්කාරකවරුන්ටත් ‘අවිඥාණය’ මඟහැරී යයි. ෆැන්ටසිය මත පදනම් දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම වෙනුවට ඔවුහු යථාර්ථය මත පදනම්ව විශ්ලේෂණ කරගෙන යති. අප ඔවුන්ගේ අවිඥාණය මතක් කළ වහාම ‘අම්මෝ මෙන්න පුද්ගලික කුණු අවුස්සනවෝ’ කියා බියෙන් බෙරිහන් දෙති. අවිඥාණය ස්වභාවික වී ඇති ඔවුන් එය සංස්කෘතිකකරණය කිරීමට එරෙහි වන්නේ, ස්වභාවික ආශාවන් යනුවෙන් දෙයක් ඔවුන් විශ්වාස කරන නිසා ය.
ජිජැක් විසින් අපට යෝජනා කරන්නේ, පෙරදිග/ බටහිර භේදය ඉවතලා ”මහ අනෙකා” වෙතට හැරෙන්න කියා ය. එනම්, ගෝලීයකරණය හරහා ලෝකය දෙකට පැලී ඇත. මේ පැළුණු ලෝකය වටහා ගැනීමට අපට ජාතික, සංස්කෘතික නොවන සාර්වත්‍රික වටිනාකම් (ප්‍රංශ විප්ලවය, හේගල්, ලැකාන්, මාක්ස්, ලෙනින්) අවශ්‍ය වෙයි.
ලංකාවට ‘සමසමාජය’ සේම ‘එක්සත් ජාතික පක්ෂය’ ද ලැබුණේ ඉහත සාර්වත්‍රික වටිනාකම් හරහා ය. නමුත් ජවිපෙ ඇතුළු වාර්ගික දේශපාලන පක්ෂ නැවතත් මූලයන් කරා ගමන් කිරීමේ ෆැන්ටසියක් යෝජනා කරමින් සිටිති. අප රටේ පුරවැසියන් ඉහත අන්ත දෙකට භේද වී සිටිති.
ජිජැක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අප සංවිධානය තුළ හටගත් විවාදය අපගේ පාඨකයන්ට ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු. මා නිසා ලංකාවේ බොහෝ තැන්වල ජිජැක් අනුකාරකයන් බිහි වී ඇති අතර ලංකාවට යටත්විජිත වැසියෙකු වන මාව ඔවුන්ට සහමුලින්ම අමතක වී ඇත. අද වන විට, ජාතික චින්තනවාදීන් පවා ජිජැක් චින්තකයෙකු ලෙස සලකන අතර ඔවුන්ට ද සුද්දා අධිනිශ්චය වී යටත්විජිත වැසියා හෝ නිර්ප්‍රභූ මිනිසාව අමතක වී ඇත. අප මෙතෙක් වේලා සාකච්ඡා කරන ලද්දේ, ස්ලාවෝජ් ජිජැක්ට අදාළ ගෝලීය ඓතිහාසික සන්දර්භය යි. මීට අමතරව, පුෂ්පජිත් ජයසිංහ විසින් ජිජැක්ට අදාළව අලුත් න්‍යායික විවේචනයක් පහත සිදු කර ඇත. ඔහුගේ න්‍යායික අපගමනය පිළිබඳ අපගේ මෙම විග්‍රහය ඉදිරි අපගේ වැඩ කටයුතුවල දී තීරණාත්මක වනු ඇත. ලංකාවේ ජිජැක්ගේ අනුකාරකයන්ට ද මෙම නව මංසන්ධිය දේශපාලනිකව වැදගත් වනු ඇත.
Deepthi
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජිජැක් මඟින් විනෝදවීම
ලැකාන් Psychoanalysis යන පදයෙහි “psycho” යන කොටස ප්‍රබන්ධය (fiction) හා සමාන ලෙස සලකයි. මන්ද යත්, ඔහුට අනුව මනෝවිශ්ලේෂණය සම්බන්ධ වන්නේ අයථාර්ථයට (unreality) ය. මානසික යථාර්ථය මඟින් ගොඩනඟන ෆැන්ටසි හා ප්‍රබන්ධ ආදිය කරුණුමය හා වාස්තවික දේට වඩා වැදගත් දේ ලෙස මනෝවිශ්ලේෂණය බාර ගනියි. එසේ නම්, ඒවා විශ්ලේෂණය කළ හැක්කේ කෙසේ ද? ඒ සඳහා ලැකානියානු භාවිතාව විශ්ලේෂී කතිකාව (Discourse of the Analyst) හෙවත් සායනික ප්‍රවේශය යි.
මෙහි දී සිදු වන්නේ ආත්මය යථට ඇති සම්බන්ධය නිරාකරණය කිරීම යි. යථ- real – ආලෝකයට පැමිණෙන්නේ විශ්ලේෂණය තුළ දී වචන මඟිනි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් මගේ ජීවිතය අවුලක් බවට පත් වීම සඳහා මගේ ඇති සම්බන්ධය කුමක් ද? එයට වගකිව යුත්තේ අනෙකෙකු නො ව මා ද? මගේ අවුල සඳහා වන මගේ වගකීම මට පාරාන්ධ ය. මගේ මෙම පාරාන්ධභාවය ප්‍රශ්න කළ යුතු ය. විශ්ලේෂණය ආරම්භ වීම හෝ කෙනෙකු වෙනස් වන්නට පටන් ගන්නේ ඉහත ආකාරයේ අවබෝධයකට පැමිණි පසු ය. එනම්, මෙහි දී විශ්ලේෂණය ආරම්භ කිරීමට මූලික වන්නේ විශ්ලේෂකයා (analyst) නො ව විශ්ලේෂිතයා (analysand) ය. විශ්ලේෂී කතිකාවේ සුවිශේෂත්වය වන්නේ එය යි.
ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුව දෙදෙනෙකු අතර විවාදයක දී ජයග්‍රහණය කරන්නේ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු නො ව ඔවුන් සේවය කරන කතිකාවන් දෙකෙන් එකකි. එබැවින් අප වටහා ගත යුතු වන්නේ අපගේ ආත්මය හසු වී සිටින කතිකාව කුමක් ද යන්න යි. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව මූලික කතිකා 4ක් ලෙස ස්වාමි කතිකාව (Discourse of the Master), විශ්වවිද්‍යාලයීය කතිකාව (Discourse of the University), හිස්ටෙරික කතිකාව (Discourse of the Hysteric) හා විශ්ලේෂී කතිකාව (Discourse of the Analyst) නම් කළ හැකි අතර පාර කතිකාවක් ලෙස ධනවාදී කතිකාව (Discourse of the Capitalist) පවතියි. මනෝවිශ්ලේෂණයට අනුව කතිකාවකින් තොරව යථාර්ථයක් නො මැත. මෙම කතිකාවලින් එකක් සෑම විටම ස්වාමි කතිකාව බවට පත් වේ. එනම්, අධිපති දෘෂ්ටිවාදය බවට පත් වේ. වර්තමානයේ ස්වාමි කතිකාව බවට පත් ව ඇත්තේ ධනවාදී කතිකාව යි. ධනවාදී කතිකාව හැරුණු විට අනෙක් මූලික ලැකානියානු කතිකා හතරෙන් සිදුවන්නේ සමාජ බන්ධනයක් ගොඩ නැඟීමකි. එවිට කතිකාව යනු සමාජ බන්ධනය ගොඩනැගුණු හා ආත්මයේ විනෝදය සංවිධානය කර දෙන ව්‍යුහයේ ප්‍රතිඵලයක් ලෙස නම් කළ හැකි ය.
මනෝවිශ්ලේෂණය පිළිබඳ ආචාර්යය උපාධියක් ලබන්නෙකු මනෝවිශ්ලේෂකයෙකු නො ව මනෝවිශ්ලේෂණය පිළිබඳ ශාස්ත්‍රාලයීය උගතෙකි. මනෝවිශ්ලේෂකයාට සම්බන්ධ වන්නේ විශ්ලේෂී කතිකාව (සායනය) නම්, මනෝවිශ්ලේෂණය පිළිබඳ ශාස්ත්‍රාලීය උගතාට සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාලයීය කතිකාව (මනෝවිශ්ලේෂණය නමැති දැනුම) ය. මෙම විශ්වවිද්‍යාලයීය කතිකාව, විශ්ලේෂී කතිකාවට විරුද්ධව පිහිටයි. ධනවාදී කතිකාවට එදිරිව මනෝවිශ්ලේෂණයේ දේශපාලනික මානය මූලිකව ම ඇත්තේ විශ්ලේෂී කතිකාව තුළ මිස මනෝවිශ්ලේෂණය දැනුමක් ලෙස භාවිතා කරන විශ්වවිද්‍යාලයීය කතිකාව තුළ නො වේ. මන්ද යත්, කෙනෙකු වෙනස් කළ හැක්කේ මනෝවිශ්ලේෂකයෙකුට මිස මනෝවිශ්ලේෂණය පිළිබඳ උගතෙකුට නො වේ. එසේ නම්, දැනුම, විද්‍යාව (විශ්වවිද්‍යාලයීය කතිකාව) හා මනෝවිශ්ලේෂණය අතර පවතින වෙනස කුමක් ද? දැනුම විශ්වීය (universal) වන අතර මනෝවිශ්ලේෂණය ඒකවාචික (singular) වේ. දැනුම පුනර්නිෂ්පාදනය කළ හැකි වුව ද මනෝවිශ්ලේෂණ සායනය එක් අයෙකුට පමණක් සුවිශේෂ බැවින් එය පුනර්නිෂ්පාදනය කළ නො හැක. එමෙන් ම දැනුමේ වැරදි පෙන්වා දෙමින් දැනුම ප්‍රතික්ෂේප කළ හැකි වුව ද මනෝවිශ්ලේෂණයේ දී විශ්ලේශිතයා (රෝගියා) සත්‍ය පැවසුවත්, අසත්‍ය පැවසුවත් එය ප්‍රතික්ෂේප නො කරමින් බාර ගත යුතු ව ඇත.
මනෝවිශ්ලේෂණය දැනුමක් ලෙස භාවිතා වන විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී එම දැනුම ලබා දෙන්නා එම කතිකාවේ නියෝජිතයා ලෙස කටයුතු කරන නමුත් තමන් ස්වාමි හැඟවුම්කාරකයක් ලෙස ද උපකල්පනය කරයි. එමෙන් ම, තමන් සිදු කරමින් සිටින්නේ ඓතිහාසික අවශ්‍යතාවයක් ලෙස අනෙකාට ඉදිරිපත් කරනු ලබයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් තමන් ඓතිහාසික අවශ්‍යතාවයේ උපකරණයක් ලෙස තමන් විසින් ම පිහිටුවා ගනියි. එය විපරීත ස්වාමි කතිකාවක් ලෙස නම් කළ හැක්කේ ද එ නිසා ය. ඒ ආකාරයට මනෝවිශ්ලේෂණය දැනුමක් ලෙස න්‍යායික හෝ උපයෝගීතාවාදී භාවිතාවක දී (උදා – මේ මොහොතේ දිගින් දිගට ලිපි ලියමින් විනෝදවීම මඟින්) සිදු වන්නේ අධිපති කතිකාව (වර්තමානයේ නම්, ධනවාදී කතිකාව) පුනර්නිෂ්පාදනය වීමකි.
අද දේශපාලනය එක තැන පල්වීම නිසා ලෝකය වෙනස් කිරීමට තවත් මූලික ප්‍රවේශ දෙකක් භාවිතා කරනු දැකිය හැකි ය. ඒ ආගම හා විද්‍යාව ය. ආගම බොහෝ විට ජාතිකත්වය හා සම්බන්ධ වී පවතින අතර විද්‍යාව මූලිකව ම ලිබරල්වාදය සමඟ සම්බන්ධ වී පවතියි. මනෝවිශ්ලේෂණයට අනුව ආගම සිතින් මවා ගැනීමට ඇති දෙයක් (imaginary) සංකේත (symbolic) ඇසුරින් සාක්ෂාත් (real) කරවයි. නිදසුනකට කතෝලික ආගමේ දිව්‍යසත්ප්‍රසාදයේ දී පාන් හා වයින් ක්‍රිස්තුන්ගේ ශරීරය හා රුධිරය සංකේතවත් කරයි. ආගම බොහෝ විට වර්තමාන ධනවාදයට එරෙහි ප්‍රවේශයක් ලෙස පෙනුනත් ඒ තුළ පවතින පරිකල්පනය සාක්ෂාත් කර වීමේ විභවය නිසා ආගමික විශ්ලේෂණ බොහෝවිට මතිභ්‍රම, කුමන්ත්‍රණ, අදෘශ්‍යමාන හස්ත වැනි අදහස් නිසා මෙහෙයවෙන ප්‍රචණ්ඩ සයිකොටික අන්ත කරා ගමන් කරමින් පවතින බව දකින්නට ලැබේ.
මනෝවිශ්ලේෂණයට අනුව විද්‍යාව (science) යනු, යථක් (real) යැයි පවතින අදහස (රූපය) (imaginary) සංකේතනයට (symbolic) ගෙන ඒම ය. නිදසුනකට කොරෝනා වෛරසය නමැති යථ යනු කුමක්දැයි අපට පැහැදිලි කර දෙන්නේ විද්‍යාව මඟිනි. මෙහි දී පවතින්නේ යථ සංකේතනයට ඌනනය කිරීමේ ආශාව ය. එය දත්ත, වගු, සූත්‍ර ආදී විවිධ ආකාරයට දැක්විය හැකි ය. එය අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව විවිධ අය වෙත යොමු කළ හැකි ය. එය වාස්තවික ආකාරයෙන් සිදු වන නිසා ආත්මීය පිහිටුමක් ඒ තුළ නො පවතියි. එනම්, එය තුළ තවදුරටත් ප්‍රකාශනයේ ආත්මය (subject of enunciation) නො පවතියි. ”බෘස් ෆින්ක්ට”- Bruce Fink- අනුව මනෝවිශ්ලේෂණය සහ විද්‍යාව අයත් වන්නේ එකම ආකෘතියකට ය. නමුත් ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව එය සදොස් ය.
ආගම හා විද්‍යාවට වෙනස් ව මනෝවිශ්ලේෂණය යථ (විනෝදය, පීඩාව) (real) ‘සංකේතනයට’ (symbolic) ගෙන ආ හැකි බව පරිකල්පනය (imaginary) කරයි. මෙහි දී ආත්මය හිස්තැනක් වටා සංවිධානය වී ඇති බව සහතික කරයි. එවිට ආත්මය අතිමූලික ලෙස ගොඩනැගීම සංකේතනයට පමණක් නො ව යථට ද සම්බන්ධ බව අවබෝධ කරගත හැකි ය. ඉහත සඳහන් කළ හිස් තැන විවිධ සාරයන්ගෙන් පිරී පවතින අතර ඒවාට ද්‍රව්‍යාත්මක මානයක් නො පවතියි. එමෙන් ම අනෙක් ප්‍රවේශ දෙකට සාපේක්ෂව අපට අත්දැකීමට වඩා භාෂාව මූලික ය යන අදහස ලබාදෙන්නේ ද මනෝවිශ්ලේෂණය යි. අප යථාර්ථය යැයි අත් දකින දෙය භාෂාත්මක යථාර්ථයක් මඟින් නිර්මිත වී ඇති බව අප වටහා ගත යුතු ය.
වර්තමානයේ දී ‘ස්ලැවෝයි ජිජැක්ගේ’ සිට බොහෝ ලේඛකයින්ගේ ලිවීම් විමර්ශනය කරන විට පෙනී යන්නේ ඒවා ස්වාමි කතිකාව, හිස්ටෙරික කතිකාව හෝ විශ්ලේෂී කතිකාවට අයත් නො වී දැනුම සම්බන්ධ ලැකානියානු කතිකාව වන ”විශ්වවිද්‍යාලයීය කතිකාවට” අයත් වන බව ය. නමුත්, දැනුම මඟින් වාස්තවික ලෝකය විග්‍රහ කළ පමණින් කිසිවක් වෙනස් වීමට නියමිත නො මැති බවත් එය ධනවාදී කතිකාව පුනර්නිෂ්පාදනයට දායක වන බවත් අපි ඉහත දී පැහැදිලි කර ගත්තෙමු. අද වන විට ස්ලැවෝයි ජිජැක් ලියන ලිපි පරික්ෂා කිරීමේ දී හා “Pandemic” කෘතිවල දී පවා පැහැදිලි වන්නේ ඔහු ලිවීම චාරිත්‍රයක් කර ගෙන ඇති බවකි. එය යමක් නො ලියා සිටීමේ නො හැකියාවක් බඳු ය. ඔහුගේ ලිපි තුළ ලියැවෙන “our media…”, “science is telling us…” වැනි දේ මඟින් ඔහු අධිපති කතිකාව විවේචනය කරනු වෙනුවට එයට අනුකූල වී ඇති බවක් දැකිය හැකි ය. මෙහි දී අපගේ පරීක්ෂාවට ලක් වන්නේ ඔහුගේ ආත්මය පිහිටන ස්ථානය යි. මනෝවිශ්ලේෂණය අනුව අප වටහාගත යුත්තේ කොරෝනා වෛරසය යනු යථ බවත් කොරෝනා වසංගතය යනු දෘෂ්ටිවාදයක් බවත් ය. මනෝවිශ්ලේෂණය අනුව අප කළ යුතු වන්නේ එම දෘෂ්ටිවාදය විවේචනයට ලක් කිරීම ය.
ජිජැක් මෙයට පෙර වරක් සඳහන් කර තිබුණේ ස්වාමියාගේ මූලික ක්‍රියාකාරීත්වය තාර්කික විචාරය, මූලික තර්ක ඉදිරිපත් කිරීම නො ව අප මෙතෙක් එල්බගත් මතයන්ට එරෙහිව හිතුවක්කාර ලෙස ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් අප මවිත කරවීම බව ය. අපගේ පදනම් දෙදුරුම් කන්නේ එවිට ය. පවතින තත්වය වෙනස් වීමට මඟ පාදන්නේ එවැන්නකි. එය අවදානම් සහගත ක්‍රියාවකි. මන්ද යත්, ඒවා අතේ පත්තු වීමට ඉඩ ඇති බැවිනි. එහෙත්, යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් එවැන්නක් කිරීමේ අභීත බවක් ඔහුට තිබිය යුතු ය. එවැන්නෙක් සුවිශේෂ වූ පුද්ගලයකු වන්නේ ඔහුගේ එම ක්‍රියාව නිසා නො ව ඔහුගේ දුෂ්කර ව්‍යායාමය අනුගමනය කරන පිරිසක් මඟින් හා එම ක්‍රියාව මඟින් ගොඩනැගෙන ලෝකය මඟිනි. එහෙත් තමන් ම යෝජනා කරන එම ස්වාමි ආස්ථානයෙන් පවා ජිජැක් වර්තමානයේ විතැන් වී ඇත. ඒ වෙනුවට දැනුම හා විද්‍යාවේ ඒජන්තයෙක් ලෙස විශ්වවිද්‍යාලයීය කතිකාවට පසුබැස ඇත.
නමුත් විචාර බුද්ධියෙන් ඌන ලාංකේය ඊනියා බුද්ධිමතුන් විසින් ජිජැක් කෝකටත් තෛලය ලෙස තවමත් භාවිතා කරමින් සිටිනු දැකිය හැකි ය. ජිජැක් යනු ද පරිපූර්ණ සමස්තයක් නො ව අසම්පූර්ණත්වයක් සහිත බව අප වටහා ගත යුතු ය. මනෝවිශ්ලේෂණය අපට කියා දෙන එක් පාඩමක් වන්නේ ද අඩුව හා අනෙකාගේ අසංගතභාවය පිළිබඳව ය. එබැවින් වර්තමානයේ දී යමක් විග්‍රහ කිරීමේ දී ජිජැක්ගේ මෑත කාලීන ලිවීම් අනු යාම හෝ ජිජැක් මත පරායත්ත වීම ජිජැක්ගේ ගැටලුවක් නො ව මනෝවිශ්ලේෂණය යනු කුමක් ද යන්න පිළිබඳ ගැටලුවකි. ජිජැක්ට වඩා වැඩි යමක් “ශිෂෙක්“ තුළ පවතින්නේ ය යන්න “ශිෂෙක්“ යනුවෙන් ලියන්නන්ගේ ම ෆැන්ටසියකි. විචාරාත්මක සිතීමකින් තොර ව අන්ධ ලෙස ජිජැක් සරණ යෑමෙන් ක්‍රමය පුනර්නිෂ්පාදනය වීම හැර අන් කිසිවක් සිදු නො වන බව අප වටහා ගත යුතු ය. ජිජැක් “Pandemic” ග්‍රන්ථය රචනා කළ අවධියේ ඇතැම් විදේශ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වූ හාස්‍ය නිර්මාණයක් වූයේ “ඕනෑම ඛේදවාචකයක් විකුණන් කන දාර්ශනිකයා“ යන්න යි. එහෙත් එම ග්‍රන්ථය මෙරට පරිවර්තනය කළ අවස්ථාවේ දී එය බැරෑරුම් කෘතියක් ලෙස මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් හා වෙබ් මාධ්‍ය බාර ගත්තේ ඇයි? අප යෝජනා කරන්නේ මෙරට ලියන, කියවන බොහෝ දෙනෙකුට මාලිමාව අහිමී වී ඇති බව ය. මනෝවිශ්ලේෂණය ක්‍රියාකාරීව (විශ්ලේෂී කතිකාවට අදාළ ව) පැවැතීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී නීතිය සහිත රාජ්‍ය පැවතිය යුතු ය යන යුරෝ කේන්ද්‍රීය බමුණු දෘෂ්ටිවාදයට ගෝලීය ධනවාදයේ පර්යායේ පවතින අප වැනි රටවල් මග හැරේ. (ජිජැක් පවා න්‍යායිකව එම දෘෂ්ටිවාදයට එරෙහි ය.) නමුත් යුරෝ කේන්ද්‍රීය මනෝවිශ්ලේෂකයෙකුට හෝ මනෝවිශ්ලේෂණ ශාස්ත්‍රාලයීය උගතෙකුට (ජිජැක්ට පවා) අභිමුඛ නො වන “කතා කරන සත්වයින්“ (මනෝවිශ්ලේෂණයේ සායනික අදහස අනුව මිනිසෙකුට වඩා සිටින්නේ කතා කරන සත්වයෙකි.) අප වැනි රටවල්වල නො සිටිනු ඇත් ද? එසේ නම් සමාජය වෙනස් කිරීම යනු මාලිමාව අහිමි ඔවුන් විශ්ලේෂණයට ලක් කිරීම නො වන්නේ ද?
ඉහත ජිජැක් පිළිබඳ මාගේ හිස්ටෙරික ආස්ථානය සඳහා ජිජැක් නමැති ස්වාමියා මට ද අවශ්‍ය වී ඇත. තමන්ව ද විවේචනය කර ගනිමින් ජිජැක් විචාරය කිරීම පිළිබඳ භාවිතයක් ලාංකේය විශ්ලේෂණ තුළට පැමිණිය යුතු ය. ලැකානියානු විශ්ලේෂී කතිකාව අවශ්‍ය වන්නේ ඒ නිසා ය. එවිට ජිජැක්ගේ මෑත කාලීන ලිවීම් තම තමන්ගේ අනන්‍යතා ගැටලු විසඳා ගැනීම සඳහා නො ව සැබෑ සමාජ උවමනාවක් ලෙසින් භාවිතා කළ හැකි ද යන ගැටලුව අභිමුඛවීමට නියමිත ය. මනෝවිශ්ලේෂණයේ අර්ථයෙන් විප්ලවය (revolution) යන්නෙහි අර්ථය තාරකා විද්‍යාවේ පෙන්වා දෙන ග්‍රහයින් හා කක්ෂ ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය. විප්ලවය (revolution) යනු ග්‍රහයන් මෙන් තම අක්ෂය වටේ භ්‍රමණය වෙමින් (තමන් වෙනස් වෙමින්) අනෙකා වටා භ්‍රමණය වීම (අනෙකා වෙනස් කිරීම) ය. අල්තුෂර් පවා මනෝවිශ්ලේෂණය සත්‍යය ස්පර්ශ කර ඇති බව සඳහන් කරයි. එබැවින් මනෝවිශ්ලේෂණය උදාසීන කිරීමේ අනතුරක් ද පවතින බව ඔහු සඳහන් කරයි. ඔහු එහි දී බාහිර සාධක කෙරෙහි අවධානය යොමු කළ ද දයලෙක්තික කියවීමේ දී මනෝවිශ්ලේෂණය උදාසීන කිරීමේ එම ප්‍රයත්නය මනෝවිශ්ලේෂණය තුළ ම පවතින බව මනෝවිශ්ලේෂණය විසින් ම පෙන්වා දී ඇත. එය නම්, අද වන විට ජිජැක්ට ද අදාළ, ලාංකේය “ශිෂෙක්“ලාට ද අදාළ විශ්වවිද්‍යාලයීය කතිකාව යි.
වාස්තවිකත්ව විශ්ලේෂණ (විශ්වවිද්‍යාලයීය කතිකාව) වෙනුවට ආත්මමූලිකත්වය විශ්ලේෂණය කිරීම (විශ්ලේෂී කතිකාව) සඳහා අප යොමු විය යුතු ය. අප දකින යථාර්ථය භාෂාව මඟින් අධිනිශ්චය වී ඇති බව ලිපිය ආරම්භයේ දී අප පෙන්වා දුන්නෙමු. වචන මඟින් රවටන, බලය වෙනුවට වචන හා වසඟය නිසා රෝගාතුර වූ සමාජයක් විඳින වේදනාව (suffering) සඳහා පිළිතුරු සපයාගත හැක්කේ එම වේදනාව (වචන) විශ්ලේෂණය කරන විශ්ලේෂී කතිකාව මඟිනි.
පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ.
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
https://forms.gle/tC36JnAV3s6wBAND6
// අද වන විට, ඒ ගැන විශාල හීනමානයක් දැනෙමින් පවතින බව ඔවුන්ගේ රෝග ලක්ෂණවලින් කිවීමට හැකි ය. // ඒක ඇත්ත
Comments are closed.