වම – දකුණ බේදයකින් තොරව ලංකාවේ මිනිසුන්ගේ චින්තනය වැඩ කරන්නේ කෙසේද? දශක කිහිපයක දේශපාලනය තුළ නිරතවන මිනිසුන් වශයෙන් අප සමාජය හෝ පුද්ගලයා වෙනස් නොවන්නේ ඇයි ද යන්න තවමත් පරණ වාමංශිකයින්ට අභිරහසකි. යථකි. මේ අභිරහස විසඳීමට තමයි දීප්ති තම විද්‍යානුකූල අධ්‍යාපන රටාව කාඩර්වරයාව පුහුණු කිරීමට යොදා ගනු ලබන්නේ. අප කොහොමත් දන්නවා පක්ෂ ව්‍යුහයකදි පමණක් නොව සමාන්‍ය ජන සමාජයේදි සාමාන්‍ය මිනිසුන් තමන්ගේ තීරණ ගත්තේ, වටහා ගත්තේ කතා බහ කළේ, විචාරය කළේ, මතවාදී ගැටුම් ඇති කර ගත්තේ සොබාවික පංචේන්ද්‍රීය සංජානනය මත කියන එක. නැතිනම් ඔවුන්ගේ අත්දැකීම් මත.

ඕනම කෙනෙක් කතා කරත්දි එහි දිශානතිය බවට පත්වුණේ එක්කො තමන් ගැන, නැතිනම් අනුන්ගේ අත්දැකීමක්. උදාහරණයක් විදිහට මේ දවස්වල ස්ත්‍රීවාදීන් යයි කියා ගන්නා පිරිස යොමුවී තිබෙන්නේ මධ්‍යසාර භාවිතය සහ අලෙවියට කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් සහ සමානාත්මතාවය ප්‍රශ්න කරමින් සිටීම දැක්විය හැකිය. ඒ සඳහා පාදක වන්නේ රජය විසින් විදේශිකයින් ඉලක්ක කරගනිමින් වයින් ස්ටෝස් විවෘත කරන වේලාව සහ වසා දමන වේලාව සංශෝධයනක් කරමින් සහ 50 දශකයේදී මෙරට ස්ථාපිත නීතියක් වූ කාන්තාවන්ට මධ්‍යසාර අලෙවිය තහනම් කරමින් තිබූ නීතිය සංශෝධනය කිරීමයි. මේ නීතිය නොබෝදා සංකේතනයට ගේන තුරුම අප රටේ කැරෝකේ ඇතුළු සමාජ ශාලා තුළ තරුණ ස්ත්‍රීන් කිසිදු බියක් සැකක් නැතිව මධ්‍යසාර භාවිත කිරීමටත්, අලවි කිරීමටත් නොපසුබට වූහ. ඒ අනුව ඉතාම පහසුවෙන් මෙම ආරෝවට මිනිසුන් ආශත්ත වූයේ එතෙක් ලාංකිය ස්ත්‍රිය සම්බන්ධයෙන් පැල පදියම්ව තිබෙන සිංහල බෞද්ධ කතිකාව යාවත්කාලීන කරමිනි.

ඒ අනුව අපට මෙම සිදුවීම, අත්දැකීම සහ පංචේන්ද්‍රීය සංජානනයක් ලෙස ස්ථාන ගත කළ හැකි සිදුවීමකි. මේ නිසා තමයි ලංකාවේ මිනිස්සු එකම වරද යළි යළිත් කරන්නේ සහ දේශපාලනයට උකටලී විදිහට ක්‍රියා කරන්නේ. ඔවුන් මහින්ද රජපක්ෂට නැවත නැවත කැමති කියන්නේත් ඒ නිසා ය.

තත්වය මෙසේ නම් දීප්ති කියන දේශපාලඥයා මේ සමාජයට ගෙනාපු වැදගත් වෙනස කුමක්ද? ඔහු සිදු කළේ අත්දැකීම් කියන තැනින් ‘සිතීම’ [thinking Onto-logically]කියන තැනට අපව ගෙන ගිය එකය. පංචේන්ද්‍රීය සංජානනයට හුරු වූ අප ඒ වෙනස ‘වෙනසක්’ ලෙස තේරුම් ගන්නටත් අපට හැකියාවක් තිබේද? දීප්ති ගෙනා ‘සිතීම’ කියන කාරණය වටහා ගන්නට අප සිනමා කෘතියක් පාදක කර ගනිමු. එම සිනමා කෘතිය සාමාන්‍ය ලෙස ඉහත ප්‍රකාශ කළ ආකාරයට පංචේන්ද්‍රීය සංජානනයෙන් විචාරකයෙක් සාරාංශ කරන අන්දම පහත දැක්වේ.

“ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ‘නිධානය’ චිත්‍රපටයට අප අවධානය යොමු කරමු. එම චිත්‍රපටයේ ඉන්නවා බංකොලොත් භාවයට පත්වුණු ප්‍රභූ පුද්ගලයෙක්. ඔහු තම බංකොලොත් භාවයෙන් මිදෙන්න තෝරා ගනු ලබන්නේ, ජ්‍යොතිෂ්‍ය කරුණු පාදක කර ගනිමින් සොයා ගත් එක් තරුණ කාන්තාවක යොදාගෙන නිධානයක් ලබා ගැනීමයි. මේ අරමුණ සඳහා මේ කාන්තාව ඔහු විසින් විවාහ කර ගන්නවා. නිධානය ගැනීමට ඇයව යොදා ගනිද්දි ඔහු අතින් ඇය මිය යනවා. මේ තමයි නිධානය කතාවේ සාරංශය වගේම විචාරක ආකෘතිය”

දීප්තිගේ නව ‘සිතිම’ නම් නව දැනුම උපයෝගීකොටගෙන මෙම සිනමා පටය පිළිබඳව විග්‍රහයකට ගියොත්…… අප මෙම නිධානය සිනමා කෘතිය තිරය ඉදිරිපිටට ගොස් නැරඹීමට පෙර මෙම කතාවේ චරිත අප තුළ නිර්මාණය වීමක් සිදුවන්නේ නැහැ. එම චරිත මතුවෙන්නෙම අප නරඹන විටයි. එනම් අප විසින් එම චරිත අර්ථවත් කරනවා, නිර්මාණය කරනවා, කියවනවා, ඒ අනුව තමයි විලී අබේනායක කියන ප්‍රභූ චරිතය රිදී තිරයේ උත්පාද කරවන්නේ, ඔහුව පණ ගන්වන්නේ අපයි. කොටින්ම විලී අබේනායක තිරය ඉදිරිපිට ක්‍රියාකරන විධිය ප්‍රාණවත් කරන්නේ අපේ සිතිවිලි තුළිනුයි. ඒකෙදි අපේ ආශාවන් සහ ෆැන්ටසීන් පිළිබඳව යම් උපන්‍යාසමය අකාරයකට ඉව කරන අධ්‍යක්ෂවරයා එම රූප රාමු ඇතුළත් කර පෙළ ගස්වනවා.

ඒ අනුව පැහැදිලි වෙන්නට ඕනි, චිත්‍රපටය පිළිබඳව විචාරකයන් ලියන විලී අබේනායකත්, නරඹන තමනුත් යනු මෙහිදී දෙන්නෙක් බවත්, විලී කියන්නේ ඔවුන්ට අනුව ‘පිටත’ චිත්‍රපටයක නිරූපිත චරිතයක් පමණක් බවත්.

නමුත් දීප්තිගේ දැනුම ඇතුළෙ චිත්‍රපටය නරඹන්නා සහ චිත්‍රපටයේ විලී අබේනායක යනු එක්කෙනෙක්. විලි කියන්නේ නරඹන්නාගේ සිතුවිලි වලින් උපදින්නෙක් බව මා කළින් කිව්වා. ඒ නිසා අප දන්නවා මේ අනුව චිත්‍රපටය මම නරඹනවා නොවෙයි. මාව චිත්‍රපටය විසින් නරඹනවා කියා. මේ චිත්‍රපට උදාහරණයෙන් පැහැදිලි කරන්න මා උත්සහ කළේ දීප්ති විසින් සමාජය ‘සිතීම’ කියන තැනට ගෙන යන්නට ඔහු විසින් දරන වෙහෙසයි. සිනමා කෘතීය අත්දැකීමෙන්, ‘සිතීම’ කියන ස්ථානයට රැගෙන ගියේ දීප්ති පමණයි. තමන් අත්විඳින දේවල් අත්දැකිම් හැටියට නැතිව සිතීමේ ගැටළුක් හැටියට අප තේරුම් ගැනීම අවශ්‍යයි. අත්දැකීම් බහුල වුණත් සීතිමක් නැතිනම් එතන නව නිර්මාණයක් හෝ නව්‍ය අකාරයන් නිර්මාණය වන්නේ නැහැ. දැන් අපට වැටහෙනවා තිරය මත ප්‍රක්ෂේපිත අලෝකයෙන් විතරක් නෙවී අපගේ සිතුවිලි වල ප්‍රක්ෂේපනයෙන් තමයි චිත්‍රපටයේ විලී අබේනායක කටයුතු කරන්නේ. ඒ අනුව ඔහු කරන සියලුම කාර්යයන් වලදි අපේ සිතිවිලිත් ඔහුට අනන්‍ය වෙලා ස්ත්‍රියව මරණයට පත්කරනවා. ස්ත්‍රිය මරණයට පත්වුණාම විලී මෙන්ම අපත් කණස්සල්ලට පත්වෙනවා. මොකද මරණය සිදු කරන වෙලාවේ විළී වගේම අපත් හිටියේ ඔහු හා තදාත්මික වෙලා. අවිඥාකවයි අපරාධය සිදු වුණේ. මෙහිදී වෙනත් විචාරකයින් පවසන්නේ විලී අබේනායක නිධානයක් ගන්න ස්ත්‍රියක් බිල්ලට දුන්නා වැනි අනෙක් අයගේ අත්දැකීම් පිළිබඳවයි. දීප්ති එහිදී පවසන්නේ විලී අබේනායකගේ සිතිවිලි යනු මගේම සිතිවිලි බවයි. විචාරකයින් බාහිරට ප්‍රක්ෂේපනය කරන දෙය දිප්ති ඇතුළට නැතිනම් අභ්‍යන්තර ගතිකයක් – Ontology- විදිහට යොදා ගන්නවා.

‘නිධානය’ මගින් ලැබූ මේ නව දැනුම තුළ තිබෙන දේශපාලන කාරණය තමයි අප හැමවිටම බාහිරකරණය කරන දේ නෙවී ඇත්ත. අපගේ අභ්‍යන්තරයෙයි ඇත්ත උපදින්නේ කියන කාරණයයි. දැන් තේරෙන්න ඕන ලංකාවේ මිනිස්සු වෙනස් නොවෙන්නේ ඇයි කියල. දීප්තිගේ දැනුම කුහක විදිහට ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා. මොකද අපට හරිම පහසුයි තමන්ව අමතක කරලා හැම විටම හැමදේම බහිෂ්කරණය කරන්න. දීප්ති සිතිම් (Thinking) කියන කාරණයෙන් කියන්නේ , වෙනස් වෙන්න ඕන නම් ‘මම’ ඉන්නවා කියන කාරණයට එන්න ඕනි බව. ‘විචාරය’ කියන එකේ නියම අර්ථය එන්නේ එවිටයි. විචාරය කියන්නේ එළියේ ඉන්න කෙනා වෙන කවුරුත් නොවෙයි “මම” යි, නැතිනම් “මගේම ප්‍රක්ෂේපණයක්” කියන කාරණයයි වැදගත්. එවිටයි මාව විචාරය වෙන්නේ.

සිනමාකරුවා තිරය මත කරන ප්‍රක්ෂේපනය හරහා අපේ සිතිවිලි එළියට ගැනීමක් සිදුවෙනවා. උදාහරණයක් විදිහට ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක එහි රඟපාන නිලියගේ ‘කලවාය’ පෙන්වන රූපරාමුවක් තිරය මත පෙන්වනවා. අධ්‍යක්ෂ දන්නවා ‘කලවයක්’ තිරය මත පෙන්නුවොත් සෙනඟ ඇදිලා එන බව. එතකොට අපි දන්නෙම නැතිව ඇගේ වෛරය සිනමා කෘතිය බලද්දි අපේ සිතිවිලි එළියට එනවා. එතකොට මට පිළිගන්න වෙනවා මේ මගේ සිතිවිලි කියල.

මෙහි දේශපාලන මානය තමයි, අප වඩ වඩා ආශක්ත වෙන්නේ අපිව ‘ප්‍රක්ෂේපනය’ කරන පුළුවන් තැනට. වඩා ජනප්‍රිය වෙන්නේ එවැනි චිත්‍රපට. මම වඩ වඩා ඇසුරු කරන්න හදන්නේ මාව ප්‍රක්ෂේපණය කරන්න හැකියාව ඇති අයව. මම වඩා තරහ වෙන්නේ මාව ප්‍රක්ෂේපණය නොකරන අය සමඟ. මම දන්නේ නැ ඒක. ඒ කියන්නේ අවිඥානය තමයි එතන වැඩ කරන්නේ.

මේ අර්ථයෙන් ගත්තම දීප්තිගේ දේශපාලනය තුළ ඔහු මේ රටට හඳුන්වා දුන්න දේ සාරංශ ගත කළොත් මේ වගේ … අපි මෙච්චරකල් අපේ ජීවිතය කියලා හඳුනා ගත්තේ පංචේන්ද්‍රියන්ට අදාළ අත්දැකීම් සමුහයක්. මේ දැනුමින් පසුව ජීවිතය කියලා කියන්නේ මගේම පර්යාවලෝකණයක්. නැතිනම් මගේ සිතිවිලි පිළිබඳ මම නැවත හිතන එක තමයි සිතීම කියලා කියන්නේ. මෙතෙක් කල් අප හිතන් හිටියේ මගේ නිදහස යනු අනෙකාගේ නිදහස බවයි. මේ දැනුමින් පසුව මගේ නිදහස මටම අත්වීදිය හැකියි. නිදහස යනු මට සිතීමට බිය නොවන නිදහසයි.

හැමෝම කතා කරන්නේ ටෝච් එකේ එළිය ආවට පස්සේ එළියේ ආලෝකයේ පෙනෙන්නට තිබෙන දේවල් ගැනයි. නමුත් දීප්ති කථා කරන්නේ ටෝච් එකට එළිය එන්නේ කොහොමද කියලයි. ඒකයි “සිතීම -මම” කියන තැනින්ම නතර වුණේ.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.