Jean Francois Lyotard

 

90 දශකයේදී වාමාංශික දේශපාලනයට “Xකණ්ඩායම” පිවිසීමට පෙර පැවතියේ වෘත්තීය සමිති දේශපාලනයයි. එනම් ෆැක්ටරියක කම්කරුවන් සමඟ සිදු කළ දේශපාලනය වේ. 1977 විවෘත ආර්ථිකය ඇරඹීමෙන් පසුව එය නිදහස් වෙළඳ කලාප වලට විතැන් විය. වෘත්තීය සමිති ‍දේශපාලනයේදී කම්කරුවාට බාහිර විඥානයක් අවශ්‍ය නොවේ. එනම් සංවිධානය වූ වෘත්තීය සමිතියක් පලනාධිකාරිය සමඟ කේවල් කිරීමේ මූලික අවශ්‍යතාවය මත එය පදනම් විය. ශ්‍රී ලංකාව තුළ වසර 40ක් පමණ සම සමාජ පක්ෂය නිරත වූයේ මෙම කේවල් කිරීමේ දේශපාලනයේ ය.

                                 දීප්ති දේශපාලනයට පැමිණෙන විට 1935 න් ඇරඹි මෙම කේවල් කිරීමේ දේශපාලනය දුර්වල වෙමින් පැවතිණ. රාජ්‍ය බලය ලබා ගැනීමේ නිරත වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. එතෙක් කලක් වෘත්තීය සමිති පිහිටවා තිබුණේ මෙරට ස්ථාපිත වාමාංශික පක්ෂ වන අතර, පසු කාලීනව ප්‍රධාන ධාරාවේ රාජ්‍ය බලයට කේවල් කරන ප්‍රධාන පක්ෂ දෙකත් තම පක්ෂ තුළ වෘත්තීය සමිති පිහිටුවන ලදී. එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රධානතම වෘත්තිය සමිතිය ජාතික සේවක සංගමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ – නිදහස් සේවක සංගමයත් බිහිවුණේ ඒ ආකාරයටය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය බිහි කිරීමට මූලික වුණේ ජේ.ආර්. ජයවර්ධනය.

                                        මෙම වෘත්තීය සමිති අප පෙර සාකච්ඡාකළ  වාමාංශික වෘත්තීය සමිති කේවල් කිරීමේ ආකෘතියෙන් වෙනස් විය. ඒහි ස්වරූපය බවට පත් වූයේ  රැකියා ලබා ගැනීමට හා උසස් වීම් ලබා ගැනීමේ  ක්‍රම වේදයන් සඳහා විශාල බලපෑම් කරන වෘත්තීය සමිති දෙකක් බවටය. යම්කිසි විදිහක රාජ්‍ය බලය හොබවන බැවින් යම් තැරැවුකාර බලයක්ද මොවුන් තුළ ඒ සඳහා තිබිණ. මේ නිසා එවකට පැවැති සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති දුර්වල විණි. 

                                  මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය බෙහෙවින්ම දුර්වල වන්නේ 1980 ජූලි වැඩ වර්ජනයේ පරාජයත් සමඟිනි. එම පරාජයත් සමඟ කම්කරුවන් විශාල පිරිසකට රැකියා අහිමි වීම සිදුවුණු අතර එහි අතුරු ඵලයක් වශයෙන් රැකියා අහිමිවුණු කම්කරුන් මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා යොමුවිය. එහිදී සිදුවුණු ක්‍රියාවලිය වූයේ 80 ජූලි වැඩ වර්ජනයෙන් විදේශගත ශ්‍රමිකයන් මෙම විදේශගත වීමත් මුදල් හම්බකිරීමේ ත් සමඟ ඔවුන් මෙය, “පරාජයේ ජයග්‍රහණයක්” ලෙස  සලකන ලදී. 80 වැඩ වර්ජනයෙන් පසුව කම්කරුවන් රැකියා  සඳහා විදේශගත නොවුණේ නම් ඔවුන් විසින් නව විකල්ප සෙවීමට අවකාශයක් නිර්මාණය වීමේ සම්භාවිතාව තිබුණි. සවුදිය, බහරේන්, ආදී රටවල සේවයට ඔවුන් පිටත්වුණු අතර, එම රටවලින් මුදල් සොයාගෙන නැවත මෙරටට පැමිණි විට එම කම්කරුවන්ගේ අදහස වූයේ  තමන් “සාර්ථක මිනිසුන්” බවයි. එම හේතුව නිසා වෘත්තීය සමිති විඥානය මත පදනම්වුණු වාමාංශික දේශපාලනය අවසන් වී ගියේ ය.

                  ජනතා විමුක්ති පෙරමුණ පදනම් වී ඇත්තේ “පීඩිතයා” වන අතර ඔවුන්ගේ ව්‍යාපාරයේ පදනම වෘත්තීය සමිති දේශපාලනය නොවේ. ජවිපෙ තම මතවාදී අරගලයේදී පවසන්නේ පැරණි වාමාංශික පක්ෂ අහෝසි වන්නේ තම පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය හේතුවෙන් බවය. නමුත් සැබෑ ලෙසම සම සමාජ පක්ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ මතවාදී අරගලය අසමත් වන්නේ මුලින් කී උපරි ව්‍යුහයේ ඇති වුණු සංකීර්ණ තත්වය හේතුවෙන් මිස ජවිපෙ දේශපාලනයට අවතීර්ණ වීම නිසා නොවේ. නමුත් ජවිපෙ දේශපාලනය පදනම් වුණේ ගැමියන් ගෙන් සහ ශිෂ්‍යයන් මතය. එය කලින් කී වෘත්තීය සමිති දේශපාලනයට බෙහෙවින් වෙනස් ස්වරූපයක් ඉසිලීය. ජවිපෙ දේශපාලනය කාඩර්වරයා මත පදනම් වුණු දේශපාලනයක් විය.

            ලෙනින් කියු දෙයක් වූයේ වෘත්තීය සමිති විඥානය පංති විඥානය බවට පරිවර්තනය විය යුතුයි කියාය. පංති විඥානය පැමිණිවිට මිනිසුන් අරගල කරා යොමුවීමක් සිදුවෙයි. නමුත් සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හෝ ජවිපෙ තුළදී ලෙනින් කියු කාඩර්වරයා ගේ විඥානය උසස් කිරීමක් සිදු නොවුණි.

         නමුත් දීප්ති තම දේශපාලනය ඇරඹි යුගයේදී මේ දේශපාලනය පංති විඥානයට වඩා ධනවාදයට විරුද්ධව ජාතික විඥානයක් නිර්මාණය කිරීම සඳහා සංවිධානය තුළ න්‍යාය ගත කිරීම් සිදු කරන ලදී. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ මූලය තුළ එම කාරණය ගැබ්ව තිබේ.

සරළව පැහැදිලි කළොත් සංස්කෘතිය” නැවත නිර්වචනය කිරීම, සංස්කෘතිය ස්වභාවික දෙයක් විදිහට සලකන්නේ නැතිව එක පැත්තකින් සංස්කෘතිය විවේචනය කරන්නේ සහ අනිත් පැත්තෙන් ප්‍රතිජනනාත්මකව සංස්කෘතිය විද්‍යාවක් ලෙස ගන්නේ පරස්පරවයි. එක පැත්තකින් සංස්කෘතිය දෘෂ්ටිවාදයක්, තව පැත්තකින් අලුත් විඥානය හරහා අලුත් ලෝකයක් පිළිබඳව යුතෝපියාවක් නිර්මාණය වීම… ඔන්න ඔය දේ තමයි අපේ පක්ෂය නිර්මාණය කළ උරුමය. මේ දේ  ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ.”

(දේශපාලන පක්ෂයක් ලෙස අපගේ දේශපාලන පක්ෂය ලංකාවේ ක්‍රියාත්මක අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂයකින් වෙනස් වන්නේ කෙසේද යන්න පිලිබඳ විවරණයක්  අප පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා සමඟ 2017.11.11 සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගනිමින් ඉහත ලිපිය සකස්කොට ඇත.)    

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.