Darkness

‘‘ජපන් මනසේ සාරය විශිෂ්ට සංවේදනයන් ඔස්සේ ප‍්‍රකාශ කිරීමේ ආඛ්‍යාන කෞශල්‍ය වෙනුවෙන මෙවර නෙබෙල් ත්‍යාගය කවබත යසුනරි හට පිරිනැමේ’ යනුවෙන් 1968 වසරේ නොබෙල් සම්මාන පිරිනැමීමේ කමිටුව විසින් කවබත යසුනරී නම් කර ඇති අතර සෙන් බුද්ධාගමේ ආලෝකය තුළින් විමුක්තිය කරා ගමන් කරන්නේ කෙසේද යන්න ස්වභාවිකත්වයේ සෞන්දර්ය ඔස්සේ චිත‍්‍රණය කිරීම ඔහුගේ සාහිත්‍යය කෘතිවල හරය ලෙස විචාරක සම්භාවනාවට පාත‍්‍රව තිබේ. කවබත විශ්වාස කළ දෙය සරල ය. එනම් සරල බවෙහි ඇති අලංකාරය යි.  චිත‍්‍රයක සිතුවම් කර ඇති දෙයට යටින් ඇති සිතුවම් කර නැති දෙයෙහි හිස් බව සෙන් බුද්ධාගමේ විශ්වීය සංකල්පය සමග බද්ධ කර ගන්නා කවබතා මිනිස් විමුක්තිය උදාකර ගැනීමේ එක් විශිෂ්ට මාවතක් ලෙස හඳුනාගත්තේ පුද්ගල හුදෙකලාවයි. දිනකට පැය ගණනක් බාහිර ලෝකයෙන් පසුබැස අත් කරගන්නා හුදෙකලාව ඔස්සේ සෞන්දර්යය වෙත ගමන් කළ හැකි යැයි ඔහු නිමග්න විශ්වාසය වනාහී ප‍්‍රබල සාන්දෘෂ්ටික අත්දැකීමක ප‍්‍රභවය සනිටුහන් කරයි. ඔහුගේ ‘හිම රට’, ‘දහසක් කොක්කු’ සහ ‘පැරණි නගරය’ යන කෘති වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහුට හිමි වන්නේ ඒ අයුරිනි. කවබත ලාංකික සන්දර්භයක හඳුන්වා දීමේ ගෞරවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිය.”

 

කවබතට සහ  ඕයි කෙන්සබරෝට පසු ජපන් සම්භවයක් ඇති ලේඛකයකු හට නොබෙල් සම්මානය ලැබුණේ වී නම් ඒ කසුවෝ ඉෂිගුරෝටය. ඉෂිගුරෝගේ කෘතිවල ද ජපන් මනසේ අභාෂය සනිටුහන් වී ඇත. නිශ්චිත අවසානයක් හෝ විසඳුමකින් තොරව සිද්ධීන් අවසන් වීම මෙන්ම මෙලන්කොලික පසුබැසීම යන්න සහ මානසික සාංකා තත්ත්වය ඔහුගේ කෘති තුුළ ද දක්නට ලැබේ. 2017 නොබෙල් සම්මාන කමිටුව මෙසේ කියයි. ‘අප ලෝකය හා සම්බන්ධ කරන මායාමය සංවේදනයන් යට ඇති ආගාධය නිරාවරණය කිරීමේ නවකතාවල ඇති දැවැන්ත හැඟුම්බර බවේ බලවේගය ඉස්මතු කළ ලේඛකයෙක් ලෙස ඉශිගුරෝ වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමේ’. ඉශිගුරෝ ලෝකය දැකීම වෙනුවෙන් භාවිතා කරන්නේ තම දෙමව්පියන්ගෙන් ලද ලෝකය දැකීමේ ජපන් ඇසයි. මිනිස් පැවැත්මේ අනෙකා සම්මුඛ වීම තුළ ඇති නොවිසඳුන අසරණ කම ඔස්සේ මිනිසා අත්දකින අක‍්‍රිය බව ඔහුගේ නවකතාවල චරිත විදාරණය කරයි. මෙය කවබතාගේ ලෝක දෘෂ්ටියට බෙහෙවින් සමානය. සුවපත් නොවුණ මිනිස් සන්තානයේ තුවාලය අවසානයේ දී සුවපත් වන්නේ කඳුළු ගංගාවක් පිට කිරීමෙන් පසුවය. එයින් පසුව උදාවන්නේ ආලෝකයේ නිමේෂයයි. කවබතාගේ වචනයෙන් කියන්නේ නම් ස්වයං – අවබෝධයේ නිමේෂයයි. ඒ ඔස්සේ සමකාලීන අවිනිශ්චිත ලෝකය වෙත, එම මිනිසත්කම වෙත, ආලෝක කදම්භයක් තම නිර්මාණ ඔස්සේ එම රචකයන් දෙදෙනාම එල්ල කරයි.

 

‘ජපන් මනසේ සාරය’ යනුවෙන් කවබත හඳුන්වන තත්ත්වය කවබතාගේ  නිර්මාණ ලංකාවට හඳුන්වා දීමට උත්සාහ කළ පේරාදෙණිය ගුරුකුල නිවැරැුදිව තේරුම් ගත්තේ ද යන්න පැහැදිලි නැත. ස්වභාවධර්මය තුළට පසුබැසීම, එම පසුබැසීම ඔස්සේ තම ආත්මයේ පාරිශුද්ධ බව ගවේෂණය කිරීම. නිශ්ශබ්දතාවය සහ ගැඹුරු ආත්ම අවබෝධය යන ප‍්‍රපංච ගවේෂණය කිරීම යන කවබතාගේ මාර්ගය තුළට පිළිපන් මහැදුරු සරච්චන්ද්‍ර ලාංකික සිංහල බෞද්ධ ආත්මයේ සාරය සොයා යයි. නමුත් කවබතගේ චරිත දෙස අවධානය මදකට යොමුකරන්න. නගරයෙන් ගමට පැමිණෙන විගලිත චරිත කබවත විසින් කිසිවිටක ගම තුළ සිරගත නොකරයි. කුඩා ඉශු නළඟනෙහි ටෝකියෝවේ සිට එන තරුණයා ඉශු නළඟන ඔස්සේ තම ආත්මය සම්මුඛ කරගෙන ආපසු ටෝකියෝ වෙත යන ගමනේ දී ඇගේ මතකය කඳුළු කැට අස්සේ දියකර හරිමින් තම ආත්ම අවබෝධය වෙත ළඟාවේ. නගරය වෙත නැවත පිය නගන්නේ ආත්ම අවබෝදය ලැබූ වෙනස් මිනිසෙකි [ඉශු නළගන වරෙක ඔහුට කියන්නේ ‘ඔබ හොඳ මිනිසෙක්’ යනුවෙනි. එයින් නගරය වෙතින් ඔහු ලැබූ අනන්‍යතා අර්බුදය ඇය විසදා දෙයි. මෙම අධ්‍යාත්මික බව ම ඔබට අද්විතීය ඇමෙරිකානු කවියෙක් වන රොබට් ෆ්‍රොස්ට් හරහාද අත්දැකිය හැකිය] ඔහු තම අහිමිවීම ශෝකය ඔස්සේ අභ්‍යන්තරකරණය කරගනිමින් සදාකාලික මෙලන්කොලියාවකට නොගොස් සාමාන්‍ය ජීවිතය වෙත ගමන් කරවයි. කිසිදු විටක ඇයව ඔහුට ලිංගිකව සම්මුඛ නොවේ. එම නො – හමුවීම ඔස්සේම ඔහු අවබෝධය කරා සපැමිණේ. ‘උදය වලාකුළු’ කෙටි කතාවේ ද නගරයෙන් එන නව ගුරුවරිය තමාට පණටත් වඩා ආදරය කරන සිසුවිය ලිංගිකව අපයෝජනය නොකරයි. එක දිගට ඇයගෙන් එන හසුන් පත්වලට පිළිතුරු නොදෙන ඇයගේ ඒකපාර්ශ්වික නිශ්ශබ්ද බව ඔස්සේ සිසුවියට ආත්ම අවබෝධය ලබන ආකාරය උගන්වයි. නො- හමුවීම ම සත්‍යය හමුවීමක් බවට පත් කරයි. හිම රටෙහි අත්දැකීම ද මෙයට සමාන ය. භෞතික ශරීර හමුවීමට වඩා සෙන් බුද්ධාගම තුළ ඉගැන්වෙන අධ්‍යාත්මික හමුවීම කවබතා විසින් ඉතා ප‍්‍රබල ලෙස උත්කර්ෂණය කරයි. නමුත් කිසිවිටක නාගරිකත්වයෙන් ගමට පසුබසින කිසිම චරිතයක් ග‍්‍රාමීය බව තුළ ඔහු සිරගත කරන්නේ නැත.

 

අනෙකාගේ ශරීරය මුණගස්වනවාට වඩා කවබතට අවශ්‍ය වන්නේ මිනිසාට ඔහුගේ ආත්මය මුණගැස්වීමටයි. එනයින් තමාට තමා මුණගැසීම සත්‍යය මුණගැසීමක් බව අපට ඒත්තු ගැන්වීමටත් ය. කොතරම් අති සමීප රූප ඔස්සේ, කැමරා කෝණ ඔස්සේ, ක්ෂුද්‍ර කැමරා ශරීරය තුළට ඇතුළත් කර, අනෙකාගේ ශරීරය අප විනිවිදීමට උත්සාහ කළත් අපට අනෙකාගේ සාරය මෙන්ම අනෙකාගේ යථාව ගවේෂණය කළ හැකිද?  අනේකත්වය විෂාදය හරහා ගවේෂණය කිරීමට ලාර්ස් වොන් ටි‍්‍රයර් යොදා ගන්නා උපක‍්‍රමය ලිංගිකත්ව යයි. නමුත් ඔහුගේ Anti-Christ (2009) යන චිත‍්‍රපටවලට අනේකත්වයේ කළු අගාධය ස්පර්ෂ කළ හැකි වීද යන්න ගැටලූවකි. අනෙකාගේ ආත්මයේ ශූන්‍යතාව ට අප බිය විය නැති වුවත් අනෙකා හරහා අපට අප ම සම්මුඛ වේ නම් එය ද අප අද දවසේ ගතකරන අර්ථ ශූන්‍ය මොහොතට අර්ථයක් ගෙන එනු ඇත යන්න අපට කවබතා හරහා තේරුම් ගත හැකි දෙයයි.  Anti-Christ හි දරුවා අහිමිවීමේ වරදකාරි මානසිකත්වයෙන් විෂාදය වෙතටත් විෂාදය හරහා බෙලහීනතාවය වෙතටත් බෙලහීන බවේ ආතතිය හරහා පරපීඩක සහ ස්වපීඩක මරණය වෙතටත් ගමන් ගන්නා වොන් ටි‍්‍රයර් ගේ විෂය මුලික සවාරිය මිනිසාගේ අධ්‍යාත්මය පෝෂණය නොකරන විට කවබතා අනුදක්නේ වෙනස්ම මාර්ගයකි. වොන් ටි‍්‍රයර් යථාවේ මාර්ගය හරහා සංකේතනයට ගමන් කරන්නේ කෙසේද යන්න අපට නිරූපණය නොකරන මුත් කවබතා ජපන් අධ්‍යාත්මය හරහා අපට සංකේතනයේ දුෂ්කර මාර්ගය පෙන්වා දෙයි.  

 

මනෝ විශ්ලේෂි අර්ථයකින් ගතහොත් කවබත චිත‍්‍රණය කරන්නේ විගලිත නාගරිකත්වය සහ ජපන් අධ්‍යාත්මිකයේ සරල බව අතර ඇති ‘බහි සංසේචිත’ තත්ත්වයි. ඒ අනුව ඔහුට විෂය වන්නේ ජපන් චරිතය තුළ ඇති නූතනත්වය සහ සම්ප‍්‍රදාය අතර දෝලනය වන වි-කේන්ද්‍රීය බවයි. ගමේ ලස්සන තුළට නැවත රිංගනු වෙනුවට එය සම්මුඛ කර තම අධ්‍යාත්මය පොහොසත් කර ගෙන නැවත නගරයට යෑඹ ඔහු අනුදත් මාර්ගයයි. මෙය කාටේසියානු කොගිටෝ තත්ත්වයකි. ෆෙඞ්රික් ජෙමිසන් විසින් පෙන්වා දෙන ‘විගලිතභාවයෙන් පසුබැස සාන්දෘෂ්ඨික ඇසි පිය ගැසීමක්’ මේ තුළ දක්නට ඇති අතර ජිජැක් පෙන්වා දෙන එනිනෙදා ජීවිතයෙන් විගලිත වීමේ දාර්ශනික මොහොතක් ද කවබතා හරහා අපට ව්‍යුත්පන්න කරගත හැකිය. නමුත් ශරීරය මුණගැසීම නම් යථාව නිරූපණය නොකිරීම කවබතාගේ සම්ප‍්‍රදායික සීමාව වන විට නූතන ජපන් තරුණ්‍යය ශරීරය විනිවිදීමේ බටහිර නිමේෂයට මේ වන විට ගමන් කරමින් ඇත. එවන් පශ්චාත් -කවබතා යනු ප‍්‍රපංචයක් අපට හිරෝෂි අන්දෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද Blue (2002) (LGBT ෂානරය) චිත‍්‍රපටය හරහා දැකගත හැකිය. නව යොවුන් වයසේ පසුවන උසස් පාසල් අධ්‍යාපනය හදාරන සිසුවියන් දෙදෙනෙකු එකිනෙකා හරහා තම තමාගේ අනේකත්වය දර්පණය කර ගනිමින් ජීවිත පරිඥානය ලබන අන්දම චිත‍්‍රපටය පුරා ඉතා සෙමින් – කාලය ගනිමින් කැමරාව රැුගෙන යන චිත‍්‍රපටකරු ඔවුන් වටේ සිදු වන නාගරික අලකලංචිවලින් පේ‍්‍රක්ෂක මනස පූර්ණ ලෙස ගලවා ගනී. ඔවුන් දෙදෙනාගේ චරිත නිරූපණයට අවශ්‍ය සීමිත අවස්ථා – සිද්ධි පමණක් චිත‍්‍රපටකරු අප වෙත ගෙන එයි. පශ්චාත් – යටත් විජිත ලෝකයේ අප අත්දක්ෂිණ හූ හඬවල්, සටන් පාඨ, රතිඤ්ඤා හඬවල් කන පැළෙන පන්සල් පිරිත් දේශනා, අල්ලාගෙන් ගැල වී ගත නොහී දිනකට පස් වරක් මරහඬ තළන ලවුඞ්ස් පීකර්, පපර බෑන්ඞ් ත‍්‍රීවිලර් සංගීත සන්දර්ශන, වගා සංග‍්‍රාම සතිපධ්ඨාන, මහා නගර චම්පිකගේ දේශනා හෝ රාජිතගේ හතරවරං වැනි මිල්ලෙ සොයා පන්නයේ අගක් මුලක් නැති අවුලෙන් එම තරුණියන් දෙදෙනා නිදහස්ය.

බහුතරයක් චිත‍්‍රපට විචාරකයන් මෙම චිත‍්‍රපටය පිළිබඳව නිශේධනාත්මක ස්ථාවරයන් පළ කර ඇත. ලාංකික පේ‍්‍රක්ෂකයකුට මෙම චිත‍්‍රපට බෙහෙවින් නීරස විය හැකිය. භෞතික යථාර්ථයේ කිසිවක් සිදු නොවන බැවින් අයෙකුට මේ සඳහා පැයක කාලයක් මිඩංගු කළ ද නොහැකිය. භද්‍ර යෞවනය තුළ ම ලිංගිකත්වය අත්විඳින එන්දෝ නම් තරුණිය සම්බන්ධ කිසිදු ලිංගික දර්ශනයක් චිත‍්‍රපටකරු රැුගෙන එන්නේ ද නැත. එන්දෝ වෙනුවෙන් කිරිෂිමා තම භද්‍ර යෞවනයේ කුලූදුල් ආදරය පිරිනැමීම තුළ ගොඩනැගෙන සමලිංගික ආදරය සම්බන්ධව ද කිසිදු ලිංගික දර්ශනයක් නැත. කොටින්ම කිවහොත් ඔබට ද අත්විඳීමට ලැබෙන්නෙ සංවාදය පමණක් වන අතර වොන් ටි‍්‍රයර්ගේ යථාව වෙත දිවෙන ලිංගික සංචරණය හිරෝෂි අන්දෝ විසින් කණපිට ගසා ඇත. ජපන් අධ්‍යාත්මය සහ නූතනත්වය අතර කවබතායනු හිඩැස මනා ලෙස සබුද්ධිකකරණය කරන චිත‍්‍රපටකරු කතාබහ ඔස්සේ කිරිෂිමා සහ අන්දෝ තම සාන්දෘෂ්ඨික  අරගලය විසඳා ගන්නා අන්දම සාර්ථකව අප වෙත ගෙන එයි. කවබතාගේ අධ්‍යාත්මික දෘෂ්ටි කෝණය සාර්වත‍්‍රිකය විසින් අගය කරන්නේ යම්සේ ද එසේම නව ලෝකයේ ලිංගික විප්ලවය විසින් අර්බුදගත කර ඇති නව පරපුරේ අධ්‍යාත්මය නිරූපණයට අන්දෝ ගන්නා උත්සාහය ද අප අගය කළ යුතුය. ජන සමාජයක අධ්‍යාත්මික අන්තර්ගතයේ ඇති මටසිලූටු සංවේදී බව වෙත (ජිජැක් ගේ වචනයෙන් පවසන්නේ නම් ජන සමාජයක ඇති සෞඛ්‍ය සම්පන්න අන්තර්ගතය) කවබතා මෙන්ම සවිඥානික චිත‍්‍රපටකරු වර්තමාන ලාංකික සන්ධර්භයක මෙන් ගුරු ගෝල සම්භන්දයක ඇති සංකේතිය බව මදන මෝදක ගුළිවලට සමපාත කරන්නේ හෝ (එක්කෝ කවබත ගේ ‘උදය වලාකුළු’ කතාව කියවන්න නැත්නම් ඬේවිඞ් ක්‍රොනන්බර්ග් ගේ A Dangerous Method (2011) චිත‍්‍රපටයේ ෆ්‍රොයිඞ්ගේ ඉතිහාසයෙන් ගැලවියාම කොතරම් කාල් යුන් හට දුෂ්කර සහ නියුරෝටික වී දැයි සලකා බලන්න) පන්සල්වල ඇති පිං පෙට්ටි කඩා නාට්‍ය හදමු වැනි යෝජනා හෝ කරන්නේ නැත. සත්‍යය වශයෙන් කවබත ලෝක පුජිත වුවේ තමාගේ සංස්කෘතියේ ඇති අද්විතීය ලක්ෂණ සාර්වති‍්‍රකයේ අවධානයට පාත‍්‍ර කිරීම වෙනුවෙනි.

ඉහත පිං පෙට්ටි කැඩීමේ යෝජනාව සම්භන්ද මතය කවබත හරහා අපට තේරුම් ගත හැක්කේ කෙසේද? කවබත පෝෂණය කරන්නේ සම්ප්‍රධායික ජපන් සෙන් සංස්කෘතිය තුළ ඇති අන්තර්ගතය නුතන තාරුණ්‍ය වෙත සබුද්ධික කරණය කිරීමයි. එය ජිජැකියානු- හබමාසියානු අර්ථයකින් පශ්චාත් නුතන ක්‍රියාවක් ද විය හැකිය. නමුත් ඔහු සම්ප්‍රදායික වටිනාකම් නුතන කාන්ටියානු ආචාර ධාර්මික සන්ධර්භයක් තුළ තාර්කික කරයි.  ඔහුගේ A Sunny Place (1923) කෙටි කතාව කැත්රින් මැන්ස්ෆිල්ඩ් ගේ Miss Brill (1920) කෙටි කතාව සමග සංසන්දනය කරන්න. පෙරදිග කවබත කියන්නේ අනෙකාගේ මුහුණට එබී බැලීම නැත්නම් අනෙකාගේ මුහුණ දෙස දිගට බලාසිටිම නරක පුරුද්දක් වියහැකි බවයි. අනෙකා අපහසුවට පත්විය හැකි බවයි (ජපන් ජාතිකයන් පොදු ස්ථානවලදී අනෙකාගේ මුහුණ දෙස බලාගෙන ඉන්නේ නැත). තරුණිය තම මුහුණ දෙස බලා සිටින තරුණයාට මෙසේ කියයි , ‘මගේ මුහුණේ තියෙන නැවුම් බව හැම දහවලක් රාත්‍රියක් ගානෙම නැතිවෙලා යනවා. කමක් නෑ ඔයා බලාගෙන ඉන්න’. එසේ කියමින් ඔහුගේ වරදකාරි බව ඇය විසින් සමනය කරයි. ඔහුට තම ශරීරය වෙනුවට ආත්ම අවබෝධය ලබා දෙයි (බටහිරට වඩා බටහිර බව). නුතන බව යනු එම අනෙකත්වයයි. අපරදිග මැන්ස්ෆිල්ඩ් අනුව අනෙකා ගේ සිනහව හෝ සතුට දෙස අප බලාසිටින්නේ අප විගලිතව නොසතුටින් සිටින නිසා බවයි. මෙය සමකාලින මනෝ විශ්ලේෂණයේ යතුරු සිදුරේ නිරීක්ෂයේ ඇති විපරිත බවට බෙහෙවින් සමානය. පෙරදිග අපරදිග භේදයකින් තොරව කාන්ටියානු විශ්වයක දෙදෙනාම තම නිර්මාණ මිනිසාගේ සදාචාරය වෙනුවෙන් මෙහෙයවයි. කවබත හට ආගම මෙහිදී ශක්තිමත් මාර්ගෝපදේශකයෙකි. විනාශ කල යුතු දෙයක් නොවේ. සාහිත්‍යයේ නියැලෙන අය හැටියට අපගේ ඉතිහාසයේ ඇති සීගිරි ගී, කව් සිළුමිණ, අමාවතුර විසිකර දැමිය යුතුද? ධර්ම ප්‍රදීපිකාව, ගුත්තිලය, සැළලිහිණිය ඔස්සේ සහ පැරණි සාහිත්‍යයේ යතිවරුන් (ඒ හිමිවරුන් වැඩ වාසය කළේ පන්සල් වලය. ඒද ගිහියන්ගෙන් ලද දාන මාන පදනම් කරගෙනය) විසින් කිසිවක්ම අපට ශේෂ කර නැත්ද? නාට්‍ය චිත්‍රපට බැලීමට නොඑන මිලියන ගණනක් මිනිසුන් පන්සල් යන්නේ ඇයි? ඔවුන් මුදල් පිං පෙට්ටිවලට දමන්නේ නාට්‍ය හැදීම පිණිසද? නාට්‍ය වලට පමණක් මිනිස් අධ්‍යාත්මය ට කතාකළ හැකිද? ඉතිහාසයෙන් කැඩීයාමේ එකම මග ඇත්තේ එය සබුද්ධිකකරණය කිරීමේ මාවත ඔස්සේ නොවේද ?

නැවත අප චිත්‍රපටය වෙත යමු. විවාහක පිරිමියෙක් සමග හාද වී ඒ නිසාම ගර්භණී වන එන්දෝ කාටත් රහසේ එම දරු ගැබ විනාශ කර ගැනීම, එම විවාහක පිරිමියාගේ බිරිඳට මළ දරු උපතක් වන විට ඔහුගේ ආතතිය මකාදීමට තම නව යොවුන් ශරීරිය ලබා දීම, තම මිතුරිය වන කිරිසිමා තමා හට ආදරය ප‍්‍රකාශ කළ විට තම ආදරය ඇයට ලබා දීම, ඇය අස්වැසීම, පාසල මඟහැරීම, මේ සියල්ල සිදු වෙමින් පැවතෙද්දී කිසිවක් සිදු නූවා සේ පි‍්‍රයමනාප මුහුණකින් සිටීම ආදී කි‍්‍රයා හරහා ඇය අපව ගෙන යන්නේ මිනිස් පැවැත්මේ අඳුරු අගාධය තුළටය. යථාව වෙතටය. එම යථාව තුළට ඇය ගමන් කරන්නේ තම අධ්‍යාත්මය විනාශ කරගෙන නොවේය. එම අධ්‍යාත්මය හරහාම ඇය ජීවිත පරිඥානය ලබා ගත්තේ සුපැන්ජිත්ගේ වචනයෙන් කිවහොත් යථාව තුළට ඇති ආචාර ධර්මය ඔස්සේය.

මහේෂ් හපුගොඩ

ඔබේ අදහස කියන්න...