[dropcap color=”red”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ  කළ කතාවේ මූලික හරය වන්නේ ලංකාව කාන්තාවන් රට පටවන ආර්ථිකයක් ඇති රටක් බවත් මේ වන විටත් සිංහග බෞද්ධ විස්තෘත පවුල විනාශය කරා ගොස් ඇති බවත්ය. ඒ නිසා අතීතයේ පැවති මව,පියා,සීයා,ආච්චි ඇතුලු පවුලේ සාමාජිකයන් ගෙන් සමන්විත ආදරය,සෙනෙහස පිරුණු පවුලක් කරා අප යළි ගමන් කළ යතු බව ඔහු කියයි. ඔහු යෝජනා කරන පවුල කියන්නේ ඉන්දියානු ටෙලි නාට්‍යවළ (මහගෙදර) පෙන්වන පවුලයි. නමුත් ඇත්තටම ලංකාවේ වර්ථමාන පවුල කියන්නේ කුමකටද? අනිත් අතට ඔහු යෝජනා කරන්නේ මුලින්ම පවුල් සංස්ථාව යහපත් ආකාරයෙන් ගොඩනංවා පසුව සමාජය වෙනස් කළ යුතු බවයි. අනුර දිසානායක මහතා නොදන්නා යථාර්ථය වන්නේ හේගල් විසින් මෙහි විලෝමය පිළිබදව සාකච්ඡා කර ඇති බවයි. එනම් රාජ්‍ය ශක්තිමත් වන තරමට සිවිල් සමාජය ශක්තිමත් වන බවත් සිවිල් සමාජය ශක්තිමත් කිරීම මගින් පවුල ශක්තිමත් වන බවත්ය.

අනිත් අතට අනුර කුමාර මහතා ලංකාව විසින් මැද පෙරදිග කළාපයට රැකියා සදහා කාන්තාවන් සහ පිරිමන් යැවීම පිළිබදව චෝදනා නගන්ගේ රජයටයි. ඔහුට අනුව අප රටේ ජීවත්වන අහිංසකයින් රාජ්‍ය මැදිහත්වීම මත බලහත්තහාකරයෙන් මැදපෙරදිග පැටවීම සිදු කරයි. ඒත් ඇත්තටම සිදු වන්නේ මෙයද? මැද පෙරදිග යන්නට මුළු ජීවිත කාලයම සිහින දකින මිනිසුන් ගේ ඇත්තම ආශාව සහ අනුර දිසානයකගේ ෆැන්ටසිමය ආශාව අතර පරතරයක් ඇත. මේ සම්බන්ධයෙන් සරළ අවබෝධයක් ලබා ගැනීමට ත්‍රිමාන සගරාවේ පසුගිය ( 2013 ජූලි) කළාපයේ පළවූ “ගෝලීයකරණය සන්දර්භය විසින් පන්ති අරගලය ගැන උගන්වන්නේ කුමක් ද?” යන ලිපියේ කොටසක් උපුටා දක්වන්න අදහස් කළ අතර මේ ගැන වැඩි දුරටත් කරුණු දැන ගැනීමට අවශ්‍ය අයට එම කළාපය කියවන්නට පුලුවන.

ඉහත රූප සටහනට අනුව (සගරාව ඇත්තම් රූපසටහන නරඹන්න) අනුක්‍රමයෙන් විශාල වන වෘත්තයන් 3ක් ඇත. පළමු වෘත්තය (A) තුළ පවතින්නේ තට්ටු තුනක නිවසකි. එම නිවසේ සාමාජිකයන් ගණන හතරකි. ගෘහ මූලිකයා 80 දශකයේ සිට විවිධ මැදපෙරදිග රටවල ගෘහ රියදුරෙකු ලෙස සේවය කළ තැනැත්තෙකි. වසර විසි ගණනක අනවරත අරගලයකට පසුත් ඔහුට කළ හැකිව තිබුනේ පර්චර්ස් 15 ක පමණ ඉඩමක් මිළට ගැනීමත් එහි වැඩ නිම නොකළ නිවසක් ඉදිකිරීමත්ය. නිවසේ ගෘහ මූලික කාන්තාව හමුදා සොල්දාදුවෙකුගේ දියණියකි. රැසියානු සාහිත්‍ය දේශපාලන නිවරදිභාවයකින් කියවූ අයෙකුට ගෘහ මූලික කාන්තාව දිරිය මවකි. ඇය වසර විස්සක් පුරා තම සැමැයාගේ විදේශ රැකියා ආදායම සමග ඔට්ටු සෙල්ලම් කරමින් තම අනෙකාට තදබල විනාශයක් අක්පත් කරදෙන ලද්දියකි. යුද්ධය නිසා අදුරු වී ගිය රටේ අනාගතයත්,ආර්ථික වශයෙන් ලද අනාරක්ෂාවත් නිසා ගෘහ මූලික කාන්තාව තම පවුලේ එකම පිරිමි දරුවාව උපයෝගීතා දෘෂ්ටියකින් වර්ධනය කරන ලදි. ඇය ඔහුව යොමු කරන ලද්දේ වැඩිපුර අධ්‍යාපනය දෙසට නොව පිටරට රැකියාවක් සදහා අවශ්‍ය කරන ඉංගීසි කතා පුහුණුවටයි.මෙම මූලික පුහුණුව අවසන් වූ වහාම ගෘහ මූලික කාන්තාව විසින් තම පුත්‍රයාව මැදපෙරදිග රටක් වන ඩුබායි දේශය කරා යනව ලදි.

ඩුබායි දේශය කරා ගිය පුත්‍රයාට එහිදී ලැබුණු රැකියාව වූයේ කොම්පියුටර් උපාංග අලෙවි කරන වෙළෙද සේවක තනතුරයි. රැකියාවේ ප්‍රධාන අංගය වූයේ විවිධ කොමිපියුටර් උපාංග විවිධ ස්ථාන වලට වාහනයකින් ගෙනගොස් වෙළෙදාම් කිරීමයි. මෙම ක්‍රියාවලිය ඔස්සේ යන විට ඔහුට විවිධ විදේශිකයන් ද හමුවිය. එහි ප්‍රතිඑලයක් ලෙස මෙම පුත්‍රයාට ඩුබාහි හී පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට ඇතුලු වීමට හැකිවිය. එහිදී ඔහුට මැදපෙරදිග කළාපයේ විහිද විසිර සිටින හමුදා නිළධාරීන් සහ ඔවුන්ගේ බිරිදන්දෑවරුන් ද හමුවිය. එහි ප්‍රතිඑලයක් ලෙස ඔහු වෙළෙද සේවකයෙකුට අමතරව තායි සම්බාහන සේවා සපයන්නෙකු බවටද පත් විය.

ඩුබායි හී ඉතා පහසුවෙන් ඉතිරි කළ හැකි අතිරික්ත මුදලක් මෙම පුත්‍රයා සතුවිය. එය මසකට රුපියල් ලක්ෂ දෙකක් පමණ විය. වසර තුනක් වැනි කෙටි කළක් තුළ ගෘහ මූලික කාන්තාව විශාල මුදලක් ඉතිරි කර ගන්නා ලදි. අප ඉහත රූප සටහනේ නිරූපණය කොට ඇති නිවස වන්නේ මේ අතිරික්තයේ අවසාන එලයයි. එම නිවසේ කාමර හයක් ඇති අතර මේ සෑම කාමරයකටම LED රූපවාහිනියක් ඇත. නිවසට අවශ්‍ය සෑම ගෘහ උපකරණයක්ම එහි ඇත. තට්ටු තුනට අදාළව අංග සම්පූර්ණ නාන කාමර තුනක් ද ඇත. නිවසේ කණිෂ්ඨ දරුවා දියණියක් වන අතර ඇය අපොස උසස් පෙළ විභාග‍යෙන් සමත්ව විශ්ව විද්‍යාලයට තේරී පත් වූයේ රුහුණු විශ්ව විද්‍යාලයටය. හදිසි තීරණයක් ගත් දෙමාපියන් ඇයව වැඩිදුර අධ්‍යපනය සදහා යොමු නොකරවන ලද්දේ මුදල් නාස්ති කිරීම පාපයක් නිසාය. ඒ වෙනුවට ඔවුන් ඇයව පුද්ගලික බැංකුවක ලිපිකාරිණියක් ලෙස පත් කරන ලදි. මෙයට වසර තුනතට පෙර දුප්පත්කමේ අන්තිම අගාධයකට වැටි සිටි පවුලක් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ප්‍රාතිහාරයයකින් මෙන් පොහොසත් බවට පරිවර්තනය විය.

වසරකට වරක් නිවාඩුවට ලංකාවට පුත්‍රයා පැමිණි විට ගමන් යාම සදහා පවුලේ ගෘහ මූලිකයා වූ පියා විසින් ටික ටික ගෙවන පදනම Toyota වෑන් රථයක් මිලට ගන්නා ලදි. ඔවුහූ සමහර රාත්‍රි දිනවල food city  නම් ජනප්‍රිය සුපිරි වෙළෙදසැල් කරා යයි. පියාත් පුතාත් එවන් ගමන් වලදී අදන්නේ තුන්කාලේ කලිසම සහ කිඹුලා ටී ෂර්ටයයි. මව සහ දියණිය හැද සිටින්නේ Dialog TV සේවාව සහිත ගෙවල්වල නිරන්තරයෙන් නරඹන ඇමරිකානු ටෙලි නාට්‍ය වලට අනුකූලවය.

මෙම සුපිරි වෙළෙද පොළ ඇතුලත ඉබාගාතයේ ඇවිදින නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකුට අනුව මෙම පවුලේ පන්ති ස්වභාවය කුමක් ද? නිසැක ලෙසම මෙම නිරීක්ෂකයා ඉතා ඉක්මනින් තීරණයක් ගනු ඇත. ඔහුට/ඇයට අනුව මෙම කුඩා පවුල ඉහළ මැද පන්තිකයන්ය. ඔවුන් මිලදී ගත් භාණ්ඩ ලැයිස්තුවත්, ඒ සදහා ගෙවීම් කරන ක්‍රමයත්, ඔවුන් පැමිණි වාහනයත් දුටු විට අපට නිරීක්ෂකයා ගේ නිගමනයට එකග වෙනවා හැර විරුද්ධ වීමට හේතුවක් නැත.

නමුත් ඩුබායි නගරයේ සුපිරි වෙළෙදසැලක් තුළ ඉහත පවුලේ පිරිමි දරුවාව දකින එක්සත් ආරාබි එම්ර් රාජ්‍යෙය් පුරවැසියෙකු කුමක් සිතනු ඇත්ද? ඔහුගේ දෘෂ්ටියට අනුව මෙම සාමාජිකයා තම රටේ වහලෙකි.

අපි තවදුරටත් ගමන් කරමු. ගෝලීයකරණ ක්‍රියාවලිය ඇතුලත ලෝක ගෝලයේ සෑම තැනකම එකතු වන ප්‍රාග්ධනය අවසාන ගමනාත්තය ලබා ගන්නේ නිවියෝර්ක් නගරයේ වෝල්ස්ට්‍රීට් මාවතේදීය. එම මාවතේ පවතින මහා බැංකුකරුවෙකුට අනුව ඉහත පවුලේ පිරිමි දරුවා කවුද? අප එවැනි ප්‍රශ්ණයක් එවැන්නකුගෙන් ඇසුවහොත් පෙරළා මෙවැනි පිළිතුරක් ලබා දෙනු ඇත. එහෙම මිනිස්සු කට්ටියක් මේ ලෝකේ පවතිනව කියල මම දන්නෙ නැහැ.

ලෝක ගෝලයේ කොළඹ නගරයේ සිට දකින්නෙකුට බුර්ෂුවා සාමාජිකයෙක් ලෙස පෙනෙන තරුණයෙක්ව ඩුබායි අගනුවර සිට නැරඹු විට දෘෂ්‍යමාන වන්නේ වහල් සේවකයෙක් ලෙසය. එම තරුණයා දෙසම නිවියෝක් නගරයේ සිට නැරඹු විට එවැන්නෙකු නොපෙනෙන අතර පෙණුනත් පෙනෙන්නේ අවතාරයක්,මළගිය ප්‍රාණියෙකු ලෙසය. ( ත්‍රිමාණ-2013-ජූලි පිටුව 07-08)

අප ඉහත සදහන් කළ කරුණු අනුව බොහෝ විට අනුර දිසානායක මහතාගේ දෘෂ්ටිය වැඩ කරන්නේ මෙම සුපිරි වෙළෙද පොළ ඇතුලත ඉබාගාතයේ ඇවිදින නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකයා ගේ දෘෂ්ටියට අනුවය. ඒ අනුව ඔහු යථාර්ථය යැයි කියා සිතන දෙය සහ යථාර්ථය අතර ඇති පරතරය ගොඩ නැගෙන්නේ පවුල සම්බන්ධයෙන් ඇති ඔහුගේම දෘෂ්ටිවාදයකට අනුවය.

පවුල ඉතාමත් සරල හා වඩාත් ස්වභාවික සංරචකය වේ. විවාහය අවිචාරාත්මක ආයතනයකි. එසේ වන්නේ ස්වාමියා සහ බිරිද තම තමන්ගේ පුද්ගලික ආත්මීය ආශාවන් හා අධිෂ්ඨානයන් විවාහයේ හා පවුලේ යහපත සදහා යටපත් කිරීම නිසාය. හොද යන්න පවුලට හොද දේ වේ. පවුලේ ඒකමිතිය රැදෙන්නේ යම් වියුක්ත මූලධර්මයකට අනුව පවුල ක්‍රියාත්මක වීමෙන් නොව ආදරය පිළිබද හැගීම හරහාය. ආදරය මගින් ස්වාමියා සහ බිරිද තම තමන්ගේ පුද්ගලික හැගීම් හා අශාවන් සමස්ථයේ හොදට යට කරනු ලැබේ. පවුල් මගින් ව්‍යුක්ත යුක්තියේ පුද්ගලවාද ඉක්මවා යයි. පවුල තුළ පුද්ගලයන් දෙදෙනෙකු (ගැහැනිය හා පිරිමියා) තම තමන්ගේ පුද්ගලික ආශාවන් හා අවශ්‍යතාවයන් ඉවත හෙලා වඩාත් පුළුල් සමස්ථයක් ගොඩ නංවනු ලබයි. ආචාරාත්මක ජීවිතය තුළ හොද යන්න වස්තුකරණය වන්නේ පවුල ලෙසිනි. හේගල්ට අනුව අචාරාත්මක ජීවිතයේ වඩාත් මූලික හා සංයුක්ත ප්‍රකාශණය වන්නේ පවුලය. එමෙන්ම පවුල යනු ආචාරාත්මක යුතුකමකි. පවුල කුඩා ප්‍රමාණයෙන් යුතු සමාජයකි.( Miniature Society ) එය අනෙකුත් සමාජයන් මෙන් ධූරාවලියකින් යුක්තය. එහි ඉහළම සිටින්නේ දෙමාපියන්ය. විශේෂයෙන්ම පියාය. සමාජිකයන් අතර බැදීම ලේ සම්බන්ධතාවය හා ආදරය මත තීන්දුවේ. යම් පුද්ගලයෙකු මුල් වතාවට අධිකාරය, පාලනාධිකාරය,බැදීම යන ඒවා අත් විදින්නේ පවුල තුලිනි. කෙසේ නමුත් යමෙකුට ස්වාධීන පුද්ගලයෙක් ලෙස තම තත්ත්වය පරිපූර්ණ වශයෙන් දියුණු කර ගත යුතු නම් හා තම ධාරිතාව අවබෝධකර ගත යුතු නම් ඔහු හෝ ඇය පවුලේ සීමාවාන් ඉක්මවා යා යුතුය. ඔහුට නිදහස අත්විදීම අවශ්‍ය නම් පවුල නම් සිමාවෙන් එළියට පැනිය යුතුය. එසේ එළියට පැනීමෙන් ආචාරාත්මක ජීවිතයේ ඊළග අවධිය වන සිවිල් සමාජය මුණ ගැසේ.

සිවිල් සමාජය වනාහි පවුලේ ප්‍රතිවාදයයි. එහි මූලික බැදීම ක්‍රියාත්මක වන්නේ ආදරය හරහා නොව තරගය නම් බේද බින්න වන සුළු සබදතාවන් මගිනි. සිවිල් සමාජය වනාහි පුද්ගලයන් තමන්ගේ ස්වාධීනත්වය අත්පත් කර ගන්නා ක්ෂේත්‍රයක් නිසා හේගල් සිවිල් සමාජයෙයන් සදහා  ‘ධනවාදී සමාජය’ යන යෙදුම පාවිච්චි කර ඇත. සිවිල් සමාජය තුල පැන නැගෙන ගැටලුව කුමක්ද? සිවිල් සමාජයේ පොදු ආත්මගත බව හා අභිප්‍රේරණයට ලක් කරන්නේ ආත්මාර්ථකාමී බවෙනි. ආත්ම ආශාවෙනි. මේ නිසා හේගල් තර්ක කරන්නේ මහජනයා එකිනෙකා බැද තැබීම සදහා වඩාත් පුළුල් සමස්ථයක් අවශ්‍ය බවය. මෙම සමස්ථය මගින් පුද්ගල ආත්ම ආශාවන් ඉක්මවා යා යුතුය. මේ සම්ස්ථය වෙන අන් යමක් නොව රාජ්‍යයය. රාජ්‍ය මගින් මිනිසුන්ව එක්සත් කරන්නේ ජාතියේ ආත්මය මූර්තිමත් කරමිනි. ජාතියේ සම්ප්‍රදායන්,ජාතියේ චාරිත්‍ර වාරිත්‍ර හා ජාතියේ ව්‍යවහාර මූර්තිමත් කරමිනි. ආචාරාත්මක අර්ථයෙන් ගතහොත් සිවිල් සමාජයට වඩා රාජ්‍ය උසස්ය. එසේ වන්නේ රාජ්‍ය මගින් පොදු පුරවැසිභාවය පිළිබද හැගීමක් හා සමස්ථයට ඇති බැදීමක් ගොඩනගන නිසාය. රාජ්‍ය මගින් මිනිසුන්ව එක්සත් කරනවාට අමතරව එය මගින් පවුල හා සිවිල් සමාජයට රැකවරණයක් ලබා දෙයි. වඩාත් පෞද්ගලික කේෂත්‍රයන් මහජන අවකාශයකට ගෙන එන්නේත්, ඒවා නෛතික අවකාශයකට ගෙන එන්නේත්, ඒවා පිළිවෙල ගත ආරක්ෂා කරන්නේත් රාජ්‍ය මගිනි. පවුල හා සිවිල් සමාජය තුළ ප්‍රකාශයට පත්වන එකිනෙකට වෙනස් නිදහස් භාවයන් සංරක්ෂණය කරන්නේත් රාජ්‍ය මගිනි. නිදහස ඇත්ත වශයෙන්ම යථාර්ථයක් බවට පත් වන්නේ අප අපගේ ප්‍රජාව සමග අනන්‍ය වන තැනේදී ය. වෙනත් ලෙසකින් කිවහොත් නිදහස යථාර්ථයක් බවට පත්වන්නේ රාජ්‍යෙය් සාමාජිකයන් බවට පත් වීමෙන්ය.

ඉහත විග්‍රහය අප මුලින්ම සාකච්ඡා කළ ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාර මහතා ගේ ආත්මමූලික ප්‍රකාශණය   සමග කෙලෙස සමපාත වනු ඇත්ද? අනාගතයක් නැති වමට පවතින ගෝලීයකරණය ඇතුලත දේශපාලන වැඩසටහනක් දැකිය දැක්කේ කොතැනද? කල්පනාවෙන් විමසිලිමත් වුවහොත් මිනිසුන්ට ඇතුලු විය හැකි දොර ඇත්තේ ඔවුන් ගේම ආත්මමූලිකත්වය තුළමය. මන්ද යත් ඔවුන් ගේ දුර්වලම ස්නායුව ඇත්තේ ආර්ථිකය තුළ නොව ආත්මමූලිකත්වය තුළ නිසාය. අප ඉහතින් සාකච්ඡා කළ උදාහරණයට අනුව කිවහොත් තට්ටු ගෙදර පවුලේ අභ්‍යන්තරික ප්‍රතිඵලය ශෝකාන්තයකි. සියල්ල ඔවුන්ට හමු වූ විට මාක්සියානු ආර්ථයෙන් ඔවුන්ට සියල්ල අහිමි වී ඇත. ඇසුරු කරන්නට කිසිවකුත් නැති අතර අලුතින් කිසිවකුත් හා මිතුරු වීමද බියකරුය. ඒ අර්ථයෙන් දරුවන් දෙදෙනාගේම අනාගතය බියකරුය. යම් කෙනෙකුට ඔවුන්ව රැවටිය හැක. සංශයවාදය ඔවුන්ගේ දහමයි. හුදකලාව,පශ්චාත්තාප වීම,විශාදය, දොමිනස ඔවුන් ගේ ආත්ම මූලිකත්වයේ මූලික ලක්ෂණය. අනාගවාදී වමේ වැඩ පිළිවෙලක් රැඩිකල් ලෙස ඇමතිය යුත්තේ පශ්චාත්-නූතන මිනිසාගේ මෙම ශෝකජනක ඉරණමටයි.

 

ඔබේ අදහස කියන්න...