පහත පල වන ලිපිය පල කරන මෙන් ඇය අපෙන් ඉල්ලා සිටියි.
එය ඇගේ ආශාවයි.

අප පහත පළ කරන දීර්ඝ ලිපිය 2004 වර්ෂයේදී ‘මනෝවිශ්ලේෂණ අධ්‍යයන, ගවේෂණ සහ සම්ප්‍රේෂණ පදනම‘ ජනමාධ්‍යයට නිකුත් කළ එකකි. මෙය X කණඩායමේ දේශපාලනය පිළීබඳ යානිස් ටාව්රකාකිස් ගේ න්‍යාය ගැන්වීම ඇසුරෙන් කෙරෙන විග්‍රහයක් අඩංගු කරගනියි. සිංහල ලිපියට පෙර ඇති කෙටි ඉංග්‍රීසි ලිපිය ජනමාධ්‍ය ආයතන වෙත ලිපියේ අරමුණ පැහැදිළි කරමින් ලියා ඇත.

09-12-04

Dear …………..

We are forwarding herewith an article by one of our members. This is a Sinhala translation of an article by one of our members.

As we have pointed our earlier, the present socio-political condition is a result of rapid globalization and the increasing influence of capitalism. This condition is causing a new trend in politics. We have argued, time and again, that many political groups today are only a reaction to this situation, and not really attempts to counter this the existing social order. Following the theorizations of Yannis Stavrakakis, we argue that a demand for a return to a totalitarianist system, which is a demand for a guaranteeing Other, is the logical outcome of the chaos caused by capitalist social relations. This article discusses how the new demand for a ‘father’ and the establishment of order’ – probably the most powerful and popular political slogan in Sri Lanka today- is in fact a continuing demand for a totalitarian system.

We have taken the writings of the X Group as our point of departure, because they are the man proponents of this political slogan. However, we wish to emphasize, that the X Group is only the symptom of the real problem and they are not really the problem itself. The question that anybody would with to ask today is ‘where will our country end up?’ We don not even pretend to answer this question. But we feel that recent studies in psychoanalysis point the way towards totalitarianism, and we can already see its emergence in small groups that are organized around a central primordial figure.

We feel that this is an important contribution to the study of politics in Sri Lanka, and at the same time a study that has very practical implications. The way it points is a serious warning and if unheeded, this tendency can have dire consequences. Realizing the gravity of this situation, we have tried to theorize this problem and look at a very practical example that is available to everybody in writing. We have pointed out many times that our society is in search for a ‘master’. However, it is difficult to show this at a practical level, unless it is available in writing (we wish to remain clear of personal clashes because we are not interested in the individuals’ shortcomings) and the writings of the X group provide a very good example.

We sincerely hope you will publish this article in your newspaper, opening the possibility of a public discussion on this issue.

Thank you,
Yours truly,

Ruwan Basnayake ,
General Secretary,
FEITP

පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය

1989 යනු බර්ලින් තාප්පය බිඳ වැටුණු වර්ෂය පමණක් නොවේ. අඳුරු නොවැම්බරයේ වැසි පිරුනු සන්ධ්‍යාවල රතු ධජ මගින් යටපත් කිරීමට උත්සාහ දැරෙන, මියගිය සගයන්ගේ සිහිනය මිහිදන් කළ වර්ෂයයි. එක් උදෑසනක සියල්ල මිය ගිය වර්ෂයයි. සිහිනය මිහිදන් කළ වර්ෂයයි. වසර පහළවකට පසු ආපහු හැරී බලන විට අප විසින් අත්පත් කරගෙන ඇත්තේ මොනවාද? ලාංකීය සමාජය වේගයෙන් ධනවාදයට යටත් වන විට, දරිද්‍රතාවය, සූරාකෑම එහි හිණිපෙත්තටම ලඟා වී ඇති මොහොතක දෘෂ්ඨිවාදීමය තලයේදී අප සමාජය ‘පියෙකු’ සොයමින් සිටින්නේ මන්ද? “තමාගේ දරුවාට ආදරය කිරීම දේශපාලනය” යයි යන සටන් පාඨයට අත්පො‍ළසන් දෙන අවාසනාවන්ත මාක්ස්වාදීන්ගේත්, සමාජ ප්‍රතිවිරෝධතා වලට හේතුව ව්‍යාජ මානසික රෝග තුළ සොයන ජනතාවකගේත් යුගය තුළ එක් මිනිසෙක් අපට ස්ථිරසාර ලෙස මෙසේ කියයි: “ආදරය යනු ඔබ සතුව නැති දෙය දීමයි.” සමාජය පරිපූර්ණ පියවරුන් සොයා යන මොහොතක, “තමා සතුව නැති දෙය” දීමේ දේශපාලනය සොයා යාමට අපි ඔබට ආරාධනා කරමු. මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ” දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට බුද්ධික බන්ඩාර යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් X කණ්ඩායමේ සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ X කණ්ඩායම බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය ඔවුන්ගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු X කණ්ඩායම විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

1) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:
“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
– බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37

2) සමාජය තුළ සංකේත පියා විනාශ වීම:
2-1 “සංකේත පියා – එනම් භාෂාවේ හා සංස්කෘතියේ පිළිවෙල – නිකම්ම මිනිසුන් විසින් සමාජයීයව ප්‍රචලිත කරනු ලබන අදහස් මත පමණක් රඳා නොපවතියි. එම අදහස් ඓයින්ද්‍රීයව දරාගත් ශරීර, එනම් සමාජ ආයතන, ශික්ෂණ ව්‍යාපාර, සමාජ පරමාදර්ශ යනාදිය නොමැතිව යථාර්ථයට පැවතිය නොහැකිය. සංකේතීය පියාගේ මෙම භෞතික රූපකාය ඒ අනුව සමාජීයව නිෂ්පාදනය කරන ලද්දකි… යුරෝපයට අදාලව ගතහොත් අද අප හඳුනා ගන්නා යථාර්ථයෙන් සංකේතීය පියා ගොඩනැගුනේ කාර්මික නිෂ්පාදනය සමාජීයව සංවිධානය කිරීම මගින්ය.” (උපුටා දැක්වීම -2)
– සුමිත් චාමින්ද, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. 44

2-2 “අද මාධ්‍ය විසින් කරනු ලබන්නේ, මිනිසාට හුස්ම ගැනීමට ඉඩ දෙන මෙම සංකේතීය අවකාශය විනාශ කිරීමයි. නූතන මාධ්‍ය මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම සතුරා බව අප මතක තබා ගත යුතුය. 80 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟ නගර වලට රිංගාගත් ග්‍රාමීය මැට්ටන් හා පාරවල් අයිනේ ගංජා ගැසූ ලක්ෂපති වැනි නාගරික ලුම්පනුන් වැනි අය විනාශ කරමින් සිටින්නේ ඉංග්‍රීසි පියා විසින් අමාරුවෙන් ශික්ෂණය කර ගොඩනගා ගිය අපගේ සංකේත විශ්වයය.” (උපුටා දැක්වීම -3)
– ශාම්, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. පි 44

2-3 “තවද, ඉහත නීතිය හා සංස්කෘතික පිළිවෙල ප්‍රධාන වශයෙන්ම කාර්මික නගරවල නිදහස් සමාජ පංතීන් විසින් නායකත්වය දී ගොඩනගන ලද්දකි… කෙසේ වුවද මෙහි අදහස නම්, මෙම සංකේත පිළිවෙල යථාර්ථයක් වන්නේ එය හුදෙක් අදහස් තුළ ප්‍රකාශයට පත් වන නිසා නොවේ. එම යථාර්ථය දරාගත් භෞතික ශරීර ලෙස නූතන නාගරික දේශපාලන ව්‍යාපාර, ආයතන, ශික්ෂණයන් යනාදිය තහවුරු වීම නිසාය. යුරෝපීයයන් තම ජීවන පරමාදර්ශය නගරය තුළ දකින්නේ සහ එයට ගරු කර්න්නේ නිෂ්පාදනය (දේශපාලන ක්‍රියාව) මගින් භෞතිකව නගරය විසින් ගම පරාජය කිරීම නිසාය.” (උපුටා දැක්වීම -4)
– එම, පි 45

2-4 “යුරෝපයට අදාලව ගතහොත් ඉහත පරිවර්තනය (කාර්මීකරණය නිසා ඉහත සංකේතීය පිළිවෙල ගොඩනැගීම) ලංකාවේ සිදු වී නැත‍. . . නමුත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේදී යුරෝපීය නූතනවාදී යථාර්ථය කැඩපත කරගත් රාජ්‍ය ආයතන ලංකාවේදී ස්ථාපිත කෙරිනි… ලංකාවේ නූතන පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, පාසැල් සහ පොදු සුභසාධන ආයතන, කලාව, ජාතිය, කොළඹ කේන්ද්‍රීය බුද්ධාගම, නීතිය සහ පොලීසිය යනාදී සියල්ලම යටත්විජිත පාලනයේ නිර්මිතයන් ය. මෙම සමාජ – දේශපාලන පිළිවෙල දරාගෙන සිටි භෞතික ශරීරය අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ නූතනවාදී දේශපාලනයයි.” (උපුටා දැක්වීම -5)
– එම

3) ලංකාවේ සංකේතීය පියා නැති බැවින් සිටින්නේ දෙබිඩි මිනිසුන්ය:
(මෙම කරුණ සාධනය කරන X කණ්ඩා‍යමේ ලියවීම් ඉතා බහුලය. එපමණකුදු නොව මේවා විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටියි. අප මෙහිදී කරන්නේ ඉන් කිහිපයක් උපුටා දැක්වීම පමණි.)

3-1) ඒත් ධම්මගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. අපිත් එක්ක හිටපු ධම්ම දැන් ඉන්නේ අපේ මානසික ලෝකයේ මිසක් කඩවත ඉඳන් කොළඹ විශ්ව විද්‍යාලයට එන ශරීරය ඇතුළෙ නෙවෙයි. කැමති නම් ප්‍රශ්න අහන්න. එතකොට ඒ ශරීරය තුළින් බට්ටි උත්තර දෙයි. කාරෙක උත්තර දෙයි. (උපුටා දැක්වීම -6)
දේශපාලනයේ හුදෙකලාව, LONDON, 2002, April-May

3-2 X එකට තැන් තැන්වල සෙට්වෙලා බනින කට්ටිය ගොඩක් ඉන්නවා. .. මේ ගොල්ලෝ එකට එක් වෙලා මොන මොන දේ කථා කළත් මේ ගොල්ලෝ එකිනෙකාට නොකියන දෙයක් තියනවා. ඒක තමයි “අරුන් මගේ නියම තැන දන්නවා” කියන එක … අපිට පුළුවන් වෙලා තියනවා අනිත් අය තුළ අපි ගැන මේ වගේ අදහසක් ඇති කරවන්න. .. ලාංකිකයාගේ සැඟවුණු මනස සෙවීමේ ක්‍රමවිද්‍යාව හැමෝටම කියලා දෙන්න ඕනි කියලා අපි තීරණයකට ආවා… ලාංකීයත්වය මනෝ විශ්ලේෂණාත්මකව හිස්ටරිකයි. සමාජ විද්‍යාත්මකව පාදඩයි. (උපුටා දැක්වීම -7)
ශ්‍යාම්, LONDON Oct – Nov, 2002
(මෙම ලිපියේ ඉතා සිත් ගන්නාසුළු කොටසක් නම්, මෙහි ‘ස්වාමියා’ සහ ‘කැප කිරීම’ පිළිබඳව ගෙනෙන අදහසයි. සත්‍යය ඇත්තේ පිටත, සැමටම පෙනෙන ලෙස යයි ලැකාන් පවසන විට ඔහු කෙතරම් නිවැරදිද?)

3-2 ඔවුන්ගේ වීරයා, එනම් සුවාරිස්ට මෙවර උදවු කරන්නේ තමන්ගේ ඔළු ගෙඩිය මුළු මහත් ලෝකය මැනීමට අඩි කෝදුවක් කරගත් අසමාජ විද්‍යාඥයෙක් සහ NGO ගණිකා වෘත්තීය නිසා වැසිකිළි වලට කොන්ක්‍රීට් ලෑල්ලක් දමාගත් දෛව ස්ත්‍රියකි. (උපුටා දැක්වීම -8)
– LONDON 2003 ජූනි-ජූලි, පි.37

4) ස්ත්‍රිය සහ සංකේත පියා:
4-1 “සංකේත පියෙකු නිර්මාණය කිරීමට තරම් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති හේතුවෙන් ලාංකික පිරිමියාට ගැහැණිය වෙනුවෙන් වෙස් මුහුණක් නිර්මාණය කිරීමට නොහැකි වීම හා ඒ පොළොව තුළ රොහානියානු කථිකාව අධිනිෂ්වය වීම.” (උපුටා දැක්වීම -9)
– බුද්ධික බන්ඩාර, පි. 37

4-2 ඒ වගේම “ස්ත්‍රිත්වය යනු වෙස් මුහුණක්”, යන ප්‍රවාදයත් “ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයක්” යන ප්‍රවාදයත් මෙතනදී අපට වැදගත්. වේෂනිරූපණයත්, දුකත් පීතෲ භූමිකාවේ ගැටළු සහගත පරාවර්තනයත් බව අප සාඛච්ඡා කළා. එවන්නෙකුට ස්ත්‍රියකට වෙස් මුහුණක් තනා දෙන්නට සමත්වන සංකේතීය ඛණ්ඩාංකයක් නොමැති වීම අනිවාර්යතාවයක්‍. මෙහි ප්‍රතිඵලය තමයි ස්ත්‍රිය හිස්ටෙරික විශ්වයයක් තුළට ගමන් කිරීම. හිස්ටෙරිකයෙකු අනිකෙකු තුළින් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ පිරිමියාය. හිස්ටෙරිකයෙකුගේ අතෘප්තිමත් ප්‍රශ්න කිරීම ඉදිරියේ පරිපූර්ණ පුරුෂත්වයක් අත් කර ගැනීමට නම් අයෙකුට විශාල සංකේත විශ්වයක් තිබිය යුතුය. හිස්ටෙරිකයා වෙනුවෙන් වන පරිපූර්ණ පිරිමියා සඳහා වඩාත් උචිත වන්නේ පූර්වජ පියාය. (උපුටා දැක්වීම -10)
– මහින්ද ප්‍රියදර්ශන, ඇපල් මලක් රගර් ක්‍රීඩකයෙකුට ආදරය කරන්නේ කෙසේද?, LONDON, Nov-Dec 2003

අප උත්සාහ කරන්නේ X කණ්ඩා‍යමේ ඉහත අර්ථකතනයන්ට වඩා වෙනස් අර්ථකතනයක් ඉදිරිපත් කිරීමට නොවේ. එයට වෙනස්ව X කණ්ඩායම තුළින් මෙවැනි අර්ථකතනයක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම අපගේ අරමුණයි. අපට අනුව ලැකානියානු මනෝවිශ්ලේෂණයේ සංකල්පයන් X කණ්ඩායම අතින් ඉහත ආකාරයට අර්ථකතනය වන්නේ ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතිය මූලික පරිකල්පනීය ගොඩනැංවීම් කිහිපයක් මත පදනම් කර ගන්නා නිසායි. ඉන් ප්‍රධානම එකක් වන්නේ “සංකේත පියා නැවත ගොඩනැගීම” යි. අන් තැන් වලදී ඉතා සියුම් විශ්ලේෂකයන් වන ඉහත කතුවරුන්ට, දේශපාලනය යනු ධනාත්මක සංකේතීය අර්ථ ගැන්වීමක් නොවන බව පෙනී නොයාමේ දේශපාලනය විග්‍රහ කිරීම අප මදකට කල් දමා, මනෝවිශ්ලේෂණ න්‍යාය දෙසට යොමු වෙමු.

“සංකේතීය පියා” පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහය:
මනෝවිශ්ලේෂණ විෂය තුළ සංකේත පියා යන්න තේරුම් ගනු ලබන්නේ කෙසේද? ෆ්‍රොයිඩ් විසින් පියා පිළිබඳව ගෙනෙන ලද මූලික ප්‍රවාදයන් ගණනාවක් පවතින අතර, ඒ එක් එක් ප්‍රවාදය සාධනය කිරීම සඳහා වෙන වෙනම මිත්‍යා කතා නිර්මාණය කරන ලදී. මෙහිදී මූලික අදහස සංෂිප්ත කර ගැනීම සඳහා අපි පෝල් වර්හාගේ නමැති මනෝවිශ්ලේෂකයා දෙස හැරෙමු:
ෆ්‍රොයිඩ්ට අනුව මෙම ජීව විද්‍යාත්මක සහ එම නිසාම සැබෑ (real) වන මූලික මූලධර්මය වෙත ආධාරය සපයන්නේ ඔහුගේ පූර්වජ (primal) රංචුව සහ එහි නායකයා පිළිබඳ මිත්‍යා කථාව විසිනි. ඔහුට මෙම මිත්‍යා කථාව මිත්‍යාවක් වනවාට වඩා ඓතිහ‍ාසික යථාර්ථයක් විය. ඔහු මෙම කාථාවේ ස්වරූපයන් දෙකක් නිර්මාණය කළ අතර ඒවා සංසන්දනය කිරීම සිත් ගන්නා සුළු කාර්යයකි. Totem and Taboo හි හමුවන කථාව තුළ අපට සියළුම ස්ත්‍රීන් හිමි කරගත් පූර්වජ පියා හමුවේ. පුතුන්ගේ කුමන්ත්‍රණයක් විසින් ඔහුව මරා දමනු ලබන්නේ ස්ත්‍රීන් ලිංගිකව තමා වෙත ලබා ගැනීම සඳහාය. මෙහි ශුද්ධ ප්‍රතිඵලය පුදුම සහගතය: ඔවුන් පොදු වැරදිකාරී හැඟීමකින් පෙලෙන සහෝදරයන් බව ඔවුන්ට වැටහෙන අතර, මනුෂ්‍ය සමාජයේ මුල් ගල වන ව්‍යාභිචාර තහනම ඔවුන් විසින් ස්ථාපනය කරනු ලැබේ. මෙම ලක්ෂ්‍යයේ සිට පීතෲ රූපය දර්ශනය අරක් ගනියි; ඔහු ගෞරවයට පාත්‍ර විය යුතු සහ පිලිපදිනු ලැබිය යුතු කෙනා (යනාදී වශයෙන්) බවට පත් වේ.
Verhaeghe, P., Sexuation, p.133-134

ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම මුල් කතාවෙහි හිදැස් ගණනාවක් පැවති බැවින් Moses and Monotheism තුළ ඔහු වඩාත් සවිස්තරාත්මක පැහැදිළි කිරීමක් කරයි.
මෙවර ෆ්‍රොයිඩ් අදියරයන් ගණනාවක් පැහැදිළි කරයි. මින් පළමුවැන්නෙහි ඇතුළත් වන්නේ පූර්වජ පියා සහ ඔහුගේ ස්ත්‍රීන් පමණි: මව්වරුන් නොමැති අතර භාෂාව ද නොපවතියි. දෙවැනි අදියර තුළ පූර්වජ පියා ඝාතනය කෙරෙන අතර අනපේක්ෂිත ලෙස මේ නිසා මාතෲමූලික සමාජයක් නිර්මාණය කෙරේ. තුන්වැනි අදියර ෆ්‍රොයිඩ්ට බොහෝ සෙයින් කරදර පැමිණවීය. පරිවර්තනීය යුගයක් ලෙස ඒ තුළ මාතෲමූලිකත්වය, මව් දෙවිවරු, සහෝදරයන්ගේ ගෝත්‍ර සහ මතුවෙමින් පැවති ටෝටම්වාදයක අමුතු සම්මිශ්‍රනයක් දැකිය හැකිය. සිව්වැනි සහ අවසාන අදියර, මැදිහත්වන චරිතයකට පින්සිදු වන්නට නැවත වරක් පූර්වජ පීතෲමූලික පියා හඳුන්වා දෙයි. මෙම චරිතය නම් පුතාය. එක් හෝ වෙනත් ආකාරයකින් පුතා විසින් පියාගේ ගූඨකන්ඩායම් (cults) සහ පීතෲමූලික බලය නිර්මාණය කරයි.
– එම

සියළු ඒකදේවවාදී ආගම්වල ආරම්භයද ෆ්‍රොයිඩ් මේ තුළ හඳුනා ගනියි.
ෆ්‍රොයිඩ්ගේ කතාවේ දෙවැනි ආකාරය සැලකිල්ලට ගතහොත් පැහැදිළිවන දෙය නම් පුතාට පියා අවශ්‍ය වන්නේ ස්ත්‍රීත්වයේ තර්ජනය සහ බලය වශයෙන් ඔහු බියවන දෙයින් ඔහුව ආරක්ෂා කිරීමටය. පූර්වජ ඊඩිපල් කාංසාව දිශානත වන්නේ පියා දෙස නොවේ; මීට ප්‍රතිපක්ෂ ලෙස මවගෙන් ආරක්ෂා වීම සඳහා පියාව අවශ්‍ය වේ.
– එම

මනුෂ්‍ය සමාජය තුළ පියාගේ බිහිවීම පිළිබඳව ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරනු ලබන (සහ බොහෝ දෙනා විසින් අවඥාවෙන් බැහැර කරනු ලබන) මෙම කතාවන් අපට මනුෂ්‍ය සමාජය පිළිබඳව කියා දෙන්නේ කුමක්ද? මිනිසාට පියෙකු අවශ්‍ය වන්නේ ඇයි?
මෙම බලපෑම් තේරුම් ගැනීම සඳහා මුලින්ම අප පියාගේ කාර්යභාරය විසින් විසඳුම් ලබා දෙන ගැටළු මොනවාද යන්න තේරුම් ගත යුතුය. ෆ්‍රොයිඩ්ට අනුව යමින්, සෑම කතාකරන විෂයකගේම ගැටළුව කණ්ඩනය (spaltung) බව, එනම් ඔහු හා ඇය සවිඥාණකත්වය සහ අවිඥාණකත්වය, අහමය සහ ඉඩි අතර, සත්‍ය සහ ව්‍යාජ ආත්මය අතර බෙදී ඇති බවයි. මෙම බෙදීම සෑම විටම එකම මොහොතකදී නැවත නැවත මතු වෙයි. විෂයකට ඔහුගේ හෝ ඇයගේ පැවැත්ම සඳහා විසඳුමක් හඳුනා ගත යුතු මොහොතේදී එය මතු වෙයි. ෆ්‍රොයිඩ් විසින් මෙම නිමේශයන් ඒවායේ වර්ධනීය අවස්ථාවේදී, වෙනත් වචන වලින් කියන්නේ නම් දරුවන්ට ඒවා හමු වූ මොහොත තුළ ඒවා හඳුනා ගන්නා ලදී. මේවා තෙආකාරය: පළමුව ලිංගික වෙනස්කම්, විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අනන්‍යතාවය; දෙවනුව, පියාගේ භූමිකාව, විශේෂයෙන් විෂයේ සම්භවයට අදාලව; තෙවනුව දෙමාපියන් අතර ලිංගික සබඳතාවයට අදාලවයි. මෙම ෆ්‍රොයිඩියානු පැහැදිළි කිරීම ලැකාන් විසින් ව්‍යුහාත්මක ආකාරයකට නැවත නිරිවචනය කරන ලදී: විෂය සෑම විටම ඛන්ඩනය වූ විෂයක් වන අතර, එසේ වන්නේ සංකේතීය පිළිවෙල තුළ පවතින ව්‍යූහාත්මක අඩුව නිසයි. මෙම බෙදීම සෑම චරිතලක්ෂණාත්මක නිමේෂයකදීම මතු වෙයි; ස්ත්‍රී අනන්‍යතාවය, අධිකාරත්වය සහ ලිංගික සබඳතාවය. ලැකාන් විසින් මෙය S(A) යන සූත්‍රය තුළ සාරාංශගතකොට, විසංවාදී ප්‍රකාශයන් තුනක් තුළ එය මතු කලේය: ගැහැණිය නොපවතියි, අනෙකාගේ අනෙකා නොපවතියි, ලිංගික සබඳතාවය නොපවතියි. මෙය ව්‍යූහාත්මක ගැටළුවකි: සැබෑව (real) තුළ මෙම තුන පැවතියද, සංකේතීය පිළිවෙල තුළ ඒවාට සුදුසු පිළිතුරක් හමු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විෂයට පරිකල්පනය තුළ විසඳුම් සෙවීම දක්වා ගමන් කිරීමට සිදු වේ.
– එම, පි.135-136

අපි මෙය මදක් සවිස්තරාත්මකව විමසමු. මිනිස් විෂයට තම පැවැත්ම පිළිබඳව සැබෑවේ (real) ලක්ෂ්‍යයන් මුණගැසෙන මොහොතේදී, එම ලක්ෂ්‍යයේදී සංකේතය අසමත් වන බැවින්, සෑම විෂයකටම තම අති මූලික ඛන්ඩනය/ හිස්බව හමු වෙයි.
1) සෑම කතාකරන විෂයක්ම සවිඥාණක සහ අවිඥාණක විෂය වශයෙන් ඛන්ඩනයට ලක් වී ඇත.
2) මෙම ඛන්ඩනය නිසා විෂයට තම පැවැත්ම පිළිබඳ ගැටළුව ආකාර තුනකින් මතු වෙයි. “ස්ත්‍රිත්වය යනු කුමක්ද?” “පියාගේ කාර්යය යනු කුමක්ද?” “ලිංගික සබඳතාවය යනු කුමක්ද?”
3) මෙම ඉහත සඳහන් කරන ලද ස්ත්‍රිය, අධිකාරීත්වය සහ ලිංගික සබඳතාවය සැබෑව තුළ පැවතියද, එය සංකේතීයත්වය තුළ සටහන් වී නොමැත. එනම් සැබෑව පිළිබඳ මෙම ප්‍රශ්න යනු සංකේතීය පිළිවෙල අසමත් වන මොහොතයි. (මෙය දියුණු, නොදියුණු සෑම සමාජයකටම අදාළය)
4) සංකේතනයේදී මතුවන මෙම ගැටළුව, අසමත්භාවය හමුවේ විෂයට තමාගේම හිස්බව, ඛන්ඩනය මුණ ගැසෙන බැවින් මීට පරිකල්පනීය පිළිතුරක් සොයා ගනියි. මෙම පිළිතුර පියා ය. මිනිසාට පියාගේ කාර්යය අවශ්‍ය වන්නේ සංකේතනයෙහි අසමත් බවෙහි මොහොතින් පරිකල්පනීය ලෙස තමාගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහාය. (පියාගේ මෙම පරිකල්පනීය කාර්යය X කණ්ඩායම තේරුම් ගන්නා ඉතා සීමිත ආකාරය මාලිමාව අහිමිවීම සහ සදාකාලික ළමාවිය යන බුද්ධික බන්ඩාරගේ ලිපිය කියවන්න)
දැන් මෙම න්‍යායගත කිරීමෙහි නොවිසඳුනු ගැටළුවක් වෙත හැරෙමු. පියාගේ කාර්යය විෂයේ පැවැත්ම පිළිබඳ ගැටළුවට පරිකල්පනීය පිළිතුරු සැපයීම නම් ‘සංකේතීය පියා’ යනු කුමක්ද? පැහැදිළි ලෙසම සංකේතීය පියා යනු සමාජයේ භෞතිකව හමුවන පියවරුන් වර්ගයක් නොවේ. එනම් එක් පියෙකු සංකේතීය පියෙකු වී, තවත් පියෙකු පූර්වජ පියෙකු වී, ඔබේ පියාට වඩා මගේ පියා හොඳ (ශිෂ්ඨ, උගත්, සංස්කෘතික, උසස්….) යයි පැවසීම න්‍යාය විරෝධීය. අපට සංකේතීය පියා යන සංකල්පය තේරුම් ගැනීම සඳහා පූර්ව නූතන සමාජ වෙත ගමන් කිරීමට සිදු වේ. (පූර්ව නූතන සමාජවල සංකේතීය පියා නොසිටියේ යයි සලකමින් සංකේතීය පියා පිළිබඳ ලාංකීය සංවාදය ආරම්භ වීම කෙතරම් උත්ප්‍රාසයක්ද?) පූර්ව නූතන සමාජ තුළ පියාගේ සංකේතීය භූමිකාව සහ සැබෑ පියා වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබිණි. ලැකාන්, සිසැක්, සහ ලීඩර් පෙන්වා දෙන අන්දමට, මෙම පැරණි සමාජවල ස්ත්‍රියක් ගැබ් ගන්නා විට ඇයව ගැබ් ගැන්වූයේ කිසියම් භූත බලවේගයක් විසින්ය යැයි පැවති විශ්වාසය යනු, ඇත්ත වශයෙන්ම ගැහැණිය ගැබ් ගන්නේ සැබෑ පිරිමියෙකු සමඟ පවත්වන ලිංගික සබඳතාවය නිසා යයි ඔවුන් නොදන්නා නිසා ඇතිවන විශ්වාසයක් නොවේ. ඒ වෙනුවට එය සැබෑ පියා සහ පියාගේ සංකේතීය භූමිකාව වෙන් කොට හඳුනාගැනීමකි. කිසියම් ස්ත්‍රියක් විවාහ වීමේදී ඇය තම පළමු ලංගික සබඳතාවය තම ස්වාමිපුරුෂය‍ා සමඟ පැවැත්වීමට පෙර එම සමාජයේ වැඩිහිටි පිරිමියෙකු මගින් හෝ වැඩිහිටි කාන්තාවක් විසින් භාවිතා කරනු ලබන උපකරණයක් මඟින් ඇයගේ කන්‍යාභාවය විනාශ කරනු ලැබීම ද, විවධ දරුවෙකු සමාජයට ඇතුළත් කරතැනීම පිළිබඳ චාරිත්‍රයද මේ හා බැඳී ඇත. මෙය වූ කලී සමාජයීය තලයක ගැහැණිය හා පිරිමියා වශයෙන් පවතින සංකේතීය අනන්‍යතාවයන් විසින් ඇති කරන කැපුමක් යැයි රෙනෙටා සැල්කන් පෙන්වා දෙයි. (“පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” ලිපියේ කතුවරයා මෙම න්‍යායික පදනම ලෙස ගන්නේ මෙම ලිපියයි)

මනෝවිශ්ලේෂණය තුළ පියා පිළිබඳ සාකච්ඡාවේ මූලය වන්නේ ඉහත අප සඳහන් කළ පූර්වජ පියා පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ අදහස වුවද, සංකේතීය පියා – පියාගේ නම (name-of-the-father) යනු නිශ්චිත ලෙසම ලැකානියානු අදහසකි:
සංකේතීය කාර්යයෙහි ආධාරකය අප හඳුනාගත යුත්තේ පියාගේ-නම තුළ වන අතර, ඉතිහාසයේ අරුණෝදයේ සිටම මෙම කාර්යය විසින් නීතියේ රූපය සහ ඔහුගේ (පියාගේ) පුද්ගල රූපය එකක් වශයෙන් හඳුනාගෙන තිබිණි. මෙම තේරුම් ගැනීම විසින්, රෝග විශ්ලේෂණයක් තුළ එම කාර්යයෙහි අවිඥාණික බලපෑම සහ එම කාර්යය මූර්තිමත් කරන පුද්ගලයාගේ රූපය සහ ක්‍රියාවන් සමඟ විෂය පවත්වා ගන්නා නාසීස්මික සහ, ඇතැම් විටෙක සැබෑ සබඳතාවන් අතර වෙනස පැහැදිළිව හඳුනා ගැනීමට අපට ඉඩ ලබා දෙයි.
– Lacan, J., Ecrits p.67

ඉහත උපුටා දැක්වීම කරන ෆ්‍රොන්සුවා රෙනෝ මෙසේ පෙන්වා දෙයි:
මෙයින් අදහස් වන්නේ අප, හැඟවුම්කාරකය තුළ සොයා ගතහැකි පියාගේ සංකේතීය කාර්යය, පියා සහ දරුවා අතර පරිකල්පනීය සම්බන්ධයෙන් වෙන් කොට හඳුනා ගතයුතු බවය.
– Froncoise Regnault, Reading Seminar XI, p.66

මෙහිදී අපට අවධාරණය කිරීමට අවශ්‍ය කරුණ වන්නේ පියාගේ-නම හැඟවුම්කාරකයක් බවයි. එහෙත් එය කිසියම් ධනාත්මක අන්තරගතයක් නියෝජනය කරන හැඟවුම්කාරකයක් නොවේ. ඒ වෙනුවට එය අනෙකාගේ අඩුව හැඟවුම්කරණය කරන හැඟවුම්කාරකයකි. එනම් පියාගේ-නම යනු හුදෙක් සැබෑ පුද්ග‍ලයෙකු හෝ නමක් නොවේ. ඒ වෙනුවට එය සංකේතීය අඩුව (මහ අනෙකාගේ ඛන්ඩනය) නියෝජනය කරන හැඟවුම්කාරකයයි. එය අත්‍යවශ්‍යයෙන්ම මිය ගිය දෙයක්, එනම්, හිස් ආකෘතියක් මිස ධනාත්මක අන්තර්ගතයක් නොවේ:
ඒ ආකාරයෙන්ම ආදේශකරණයක් වන පියාගේ-නම යනු අසාමාන්‍ය හැඟවුම්කාරකයකි. එහි හැඟවුම්කරණය (signification) නම් හැඟවුම්කාරක සමූහයේ, එනම් අනෙකාගේ ක්ෂේත්‍රයේ නොමැති හැඟවුම්කාරකයකි.
– එම, පි.70

වෙනත් වචන වලින් කියන්නේ නම් පියාගේ-නම විසින් හැඟවුම්කරණය කරන්නේ (මහ) අනෙකාගේ ඛන්ඩනයයි. එනම් එය හැඟවුම්කාරකයක ‘නොමැති බව’ හැඟවීම සඳහා ඇති හැඟවුම්කාරකයකි. මහ අනෙකාගේ මෙම රැඩිකල් ‘නොමැති බව’ මතුවන ලක්ෂ්‍යය අප දැනටමත් සාකච්ඡා කර ඇත. මෙහිදී පැහැදිළි කරුණ නම් ‘සංකේතීය පියා’ සහ සැබෑ පියාගේ පුද්ගලභාවය හෝ සමාජීය තත්ත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

පීතෲ අධිකාරත්වයෙහි බිඳ වැටීම:

අප ඉහත දුටු ආකාරයට පියාගේ පුද්ගලභාවය සහ ඔහුගේ සංකේතීය භූමිකාව අතර ලැකාන් හඳුනා ගන්නා වෙනස ධනවාදයේ මෙම යුගය තුළ සමාජ විවේචනයට අත්‍යාවශ්‍ය න්‍යායික අධාරයක් සපයයි. වර්තමානය තුළ පවුල තුළ පියාගේ බලාධිකාරිය අර්බුදයට යාම වෙනුවෙන් ලාංකීය කතිකාව තුළ තේරුම් ගනු ලබන ‘සංකේතීය පියා බිඳ වැටීම’ යන්නෙහි න්‍යායික අර්ථය නම්, සම්ප්‍රදායික සමාජ තුළ කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව සහ අදාල පියාගේ පුද්ගල දුර්වලකම් නොතකා පිළිගන්නා ලද පියාගේ මෙම සංකේතීය අධිකාරත්වය සාමූහික ලෙස ප්‍රතික්ෂේප වීම ඇරඹී ඇති බවයි. මෙය සිදු වන්නේ කෙසේද? අපට සංකේතීය පියාගේ බිඳ වැටීම සහ ධනවාදය අතර සම්බන්ධය හමුවන්නේ මෙහිදී ය.

මෙය සිදු වන්නේ සැබෑ පියා සහ පියාගේ සංකේතීය භූමිකාව යන දෙක අතර පවතින මෙම වෙනස නූතන ධනවාදයේ වර්ධනය සමඟ බිහිවන න්‍යෂ්ටික පවුල් ආකෘතිය සහ එහි පුද්ගලවාදී ගතිකයන් විසින් මකා දමනු ලබන නිසාය:
තමාගේ complexes familiaux (පවුල් සංකීර්ණ) පිළිබඳ මුල් ලියවීම්වල සිටම ලැකාන් ඊඩිපස් සංකීර්ණයේ සහ ෆ්‍රොයිඩ් විසින් එය සොයා ගැනීමේ ඓතිහාසිකත්වය වෙත සිය අවධානය යොමු කරයි. නූතන බුර්ෂුවා න්‍යෂ්ටික පවුල තුළ, කලින් වෙන්ව තිබූ කාර්යයන් දෙක, එනම් වෙනස් පුද්ගලයන් තුළ මූර්තිමත්ව තිබූ කාර්යයන් දෙක, (එනම් සමනය කරනසුළු අහම-ආදර්ශනය (ego-ideal), ආදර්ශ අනන්‍යකරණයේ ලක්ෂ්‍යය – සහ කෘර උපරි අහමය – රුදුරු තහනමෙහි නියෝජිතයා වශයෙන්, totem හි සංකේතීය කාර්යය සහ taboo හි භයංකාරත්වය) එකම පුද්ගලයා තුළ ඒකීයත්වයට පත් වෙයි. (මෙම කලින් පැවති වෙන් කිරීම ඇතැම් ඇබොරිජිවරුන්ගේ ‘මුග්ධත්වය’ ලෙස පෙනෙන දෙයට හේතුව පැහැදිළි කරයි. එනම් ඔවුන් දරුවන්ගේ සැබෑ පියා ගලක්, සත්වයෙක් හෝ භූතාත්මයක් යයි විශ්වාස කළහ. මව ගැබ් ගන්නේ සැබෑ පියා නිසා බව ඔවුන් දැන සිටියහ. ඔවුන් කළේ හුදෙක් පියාගේ සංකේතීය කාර්යය සැබෑ පියාගෙන් වෙන් කිරීමය.) බුර්ෂුවා න්‍යෂ්ටික පවුල තුළ මෙම කාර්යයන් දෙක එක් වීම නිසා පීතෲ චරිතය සමඟ ඇතිවන අපැහැදිළි පරිකල්පනීය සතුරුකාරීත්වය විසින් නූතන බටහිර නිර්මාණශීලී පුද්ගලභාවයෙහි ගතිකත්වයන් සඳහා අවශ්‍ය මාතසික තත්ත්වය නිර්මාණය කළේය. එහෙත් ඒ අතරම එය විසින් පසුව ඇතිවූ ඊඩිපස්ගේ අර්බුදයට (හෝ වඩාත් සාමාන්‍යයෙන් කියන්නේ නම් අධිකාරීත්වයේ රූපය, 19 වන සියවසේ අගභාගය තුළ ඇති වූ නිල වශයෙන් බලය පැවරීමේ අර්බුදයට) හේතුවන මූල බීජය වැපිරීය: සංකේතීය බලය වඩවඩාත් අසභ්‍යත්වය විසින් අඳුරු කරනු ලැබ, ඇතුළතින් බිඳවැටීමකට ලක් කරනු ලැබුවාක් මෙන් විය. ලැකාන් ගෙනෙන කරුණ නම් පැහැදිළි ලෙසම මෙම අනන්‍යතාවය යනු ඊඩිපස් සංකීර්ණයේ සත්‍යය බවයි: එයට ‘සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වී දරුවාව සංකේතීය පිළිවෙල තුළට අන්තර්ග්‍රහණය කළ හැක්කේ මෙම අනන්‍යතාවය සඟවා තැබෙන තාක් පමණි. එය ඒ ආකාරයෙන්ම පිහිටුවනු ලබන මොහොතේදී පීතෲ අධිකාරය අසභ්‍ය ප්‍රමෝධ්‍යකයාගේ ස්වරූපයට පත් වන අතර, (ජර්මන් වචනය LUDER) ඔහු තුළ ලිංගික බෙලහීනත්වය සහ ප්‍රමාණාධික කෝපය එක්ව පවතියි. ඔහු තම පුතා සමඟ පරිකල්පනීය සතුරුකාරීත්වයක පැටළුණු නින්දාවට ලක් කරනු ලැබූ පියෙකි.
Zizek, S. , The Ticklish Subject, p.313

මෙහිදී සිසැක් විසින් කරනු ලබන සංකීර්ණ න්‍යායගත කිරීම සවිස්තරාත්මකව විමසා බලමු. ඔහු මෙහිදී මතුකර පෙන්වන්නේ අප ඉහතින් සාකච්ඡා කළ පියාගේ සංකේතීය කාර්යය සහ පූර්වජ ප්‍රාමෝද්‍යකයා වශයෙන් මතුවන පියා යන දෙදෙනාම න්‍යෂ්ටික පවුල් ආකෘතිය තුළ එකම පුද්ගලයෙකු හරහා නියෝජනය වීම ඇරඹි බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පියාගේ මෙම අසභ්‍ය ප්‍රාමෝද්‍යකයාගේ ස්වරූපය දෘෂ්‍යමාන වීම ඇරඹීම නිසා පියාගේ සංකේතීය බලය ‘වඩ වඩාත් අඳුරු කරනු’ ලැබීය. එනම් මෙහිදී නිශ්චිත ලෙසම සිසැක් පෙන්වා දෙන කරුණක් වන්නේ සංකේතීය පියාගේ බිඳ වැටීමෙහි මූල බීජය පවතින්නේ ‘න්‍යෂ්ටික පවුල් ආකෘතිය තුළ’ ය යන්නයි. ඉතාමත් සිත් ගන්නාසුළු ආකාරයට X කණ්ඩායමට මඟ හැරී යන්නේ මෙම කරුණයි. මෙය අපට මෙම ලිපියෙහි පසුව සාකච්ඡා කළ හැකිය. X කණ්ඩායම විසින් ගෙනෙන ‘සංකේතීය පියා නැවත ගොඩනැඟීමේ’ ව්‍යාපෘතියේ න්‍යායික සීමාකම් විග්‍රහකිරීමට ඉහත කරුණු දැනට ප්‍රමාණවත් වන අතර අප විසින් ඉහත උපුටා දක්වන ලද ආකාරයට, ‘සංකේතීය පියා’ පිළිබඳ X කණ්ඩායමේ න්‍යායගත කිරීම්වල මූලික ගැටළු කිහිපයක් දැන් හඳුනාගත හැකිය.

සංකේතීය පියා පිළිබඳ X කණ්ඩායමේ න්‍යායගත කිරීම්වල සීමාවන් කිහිපයක්

1) සංකේතීය පියා යනු මනස විශාල කරගත් පියෙකු බව:
(බලන්න – උපුටා දැක්වීම -1)
මෙම න්‍යායගත කිරීමෙහි මූලික ගැටළුව නම් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා උසස්ය යන උපකල්පනයේ සිට එම නිර්ණායකය මත පිහිටා එක් සමාජයක සංකේත පිළිවෙල වෙනත් සමාජයක සංකේත පිළිවෙලට වඩා උසස් යයි තීරණය කිරීමයි. එම තර්කයට අනුව ‘බටහිර සංස්කෘතිය’ ලාංකීය ‘සිංහල සංස්කෘතියට’ වඩා උසස් වන අතර වඩා ශිෂ්ඨ පියා සිටින්නේ එංගලන්තයේය. මෙය දේශීය සංස්කෘතිය පරමත්වයට නැගීමට උත්සාහ කරන ව්‍යාජ දේශීයවාදයේම අනෙක් පැත්තයි. අප ඉහත දුටු ආකාරයට මනෝවිශ්ලේෂණය තුළ සංකේතීය පියා යනු එක් සමාජයක ‘හොඳ/උසස්’ වී තවත් සමාජයක ‘නරක/පහත්’ වන දෙයක් නොවේ. ලැකාන් අනුව යමින් සිසැක් හා වර්හාගේ සංකේතීය පියා තේරුම් කිරීමට ගන්නා උදාහරණයම ගන්නේ X කණ්ඩායමේ නිර්ණායකයනට අනුව ‘අශිෂ්ඨ’ ‘නොදියුණු’ සමාජයකිනි. ඉහත කතුවරයා ‘වඩා පුළුල් මනසක්’ යන්නෙන් අදහස් කරන්නේ X කණ්ඩායම නිතර පවසන පරිදි ශිෂ්ට පියෙකු පිළිබඳව නම් අපට දිය හැකි එකම පිළිතුර නම් මනෝවිශ්ලේෂණය යනු අන්තර්ගතය පිළිබඳ වර්ගවාදී වන විෂයක් නොවන බවයි.

2) සංකේතීය පියා දරා සිටින “සත්‍ය” පියෙකු සිටිය යුතු යැයි සිතීම:

මෙම න්‍යායගත කිරීමෙහි දෙවන වරද පවතින්නේ සංකේතීය පියා යනු සැබෑවටම ජීවමානව සිටින හෝ ජීවමාන කරවිය යුතු “සත්‍ය” පියෙකු යයි සිතීම තුළය. ඉහත කතුවරුන් පියාගේ මෙම ඛන්ඩනය සලකුණු කිරීමට යම් උත්සහයක් දැරුවද, එම ඛන්ඩණය සළකුණු කෙරෙන්නේ ජීව විද්‍යාත්මක පියා සහ පියාගේ සංකේතීය භූමිකාව ඉටු කරන්නා වශයෙන් ඌනිත ආකාරයකටයි. (මාලිමාව අහිමිවීම සහ සදාකාලික ළමාවිය) නමුත් ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ මෙම ඛන්ඩණය සලකුණු වන්නේ ජීව විද්‍යාත්මක පියා සහ පියාගේ සංකේතීය භූමිකාව නියෝජනය කරන්නා වශයෙන් පමණක් නොව ආදර්ශ අනන්‍යකරණයේ සංකේතීය ලක්ෂ්‍යය සහ එහි උපරි අහමීය නියෝජිතයා ලෙසය (බලන්න ඉහත සිසැක්ගේ උධෘතය). X කණ්ඩායම පැත්තෙන් බලන කල ඉහත න්‍යායික ඌනිතකරණය ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය විසින් ඉල්ලා සිටින අනිවාර්යතාවයකි. මෙය නිවැරදි කරගැනීමට උත්සාහ කලහොත් ඔවුන් විසින් නිර්මාණය කල ‘ශිෂ්ඨත්වය’ පිලිබඳ මුළු සංවාදයම කඩා වැටෙයි. පවුලේ ජීව විද්‍යාත්මක පියා මානසිකව බලවත් කලයුතු යයි, ශිෂ්ඨ කල යුතු යයි ඔවුහු කියති. පවුලේ “ශිෂ්ඨ පියවරුන්” නොමැති නිසා දරුවන් අසාර්ථක වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මෙහිදී චෝදනාවට ලක් කරනු ලබන්නේ පවුලේ සිටින සැබෑ පියාය. ළමයින් ඉදිරියේ, මව ඉදිරියේ විහිළුවට ලක් නොවීමට විශාල මනසක්, සංස්කෘතියක් අත්පත් කර ගන්න යයි ඔවුහු මෙම පියාට අණ කර සිටිති. පුතාව මවගෙන් වෙන් කළ හැකි වන්නේ මෙවැනි විශාල සංකේත ලෝකයක් සහිත පියෙකුගේ භාෂාව ඇත්නම් පමණක් යයි ඔවුහු කියති. අප මීට කලින් ද දුටු ආකාරයට මෙම ලාංකීය පියාට තරඟ කිරීමට සිදු වී ඇත්තේ (ඔවුන්ට අනුව) එංගලන්තයේ ‘ශිෂ්ඨ පියා’ සමඟය. එහෙත් ඉහත දක්වන ලද පරිදි සිසැක්ට අනුව මෙම ගැටළුව ලංකාවේ ‘අශිෂ්ඨ පියාට’ මෙන්ම එංගලන්තයේ ශිෂ්ඨ පියාටද එකසේ අදාළය. සිසැක් පවසන ආකාරයට ඊඩිපස්ගේ අර්බුදය, එසේත් නැතහොත් සංකේත පියාගේ බිඳවැටීම ආරම්භ වන්නේම ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙසට ඇතිවන න්‍යාෂ්ටික පවුල තුළ, පියාගේ ද්විත්ව කාර්යයන් එකමත අතිපිහිත වීම නමැති කාරණයෙනි. මෙම නිසා X කණ්ඩායමේ ශිෂ්ඨ කිරීමේ ව්‍යාපෘතිය යනු ගැටළුවම පිළිතුර ලෙස යලි ඉදිරිපත් කිරීමකි. මෙය ධනවාදයට පිළිතුර ලෙස ධනවාදයම ඉදිරිපත් කිරීමේ ජනප්‍රියවාදී දේශපාලනයකි. සමාජ විප්ලවය නිර්ධන පංති සහෝදරත්වය තුළ නොව ශිෂ්ඨ ලස්සන පවුල්වල ඉපදුන, ස්ත්‍රීන් ශික්ෂණය කිරීමට සමත් සුන්දර පුතුන් අතින් සිදුවන දෙයක් බවට පවසන X කණ්ඩායමේ හාන්ස් ක්‍රිස්ටීන් ඇඩර්සන් වර්ගයේ සමාජ න්‍යායට පදනම වැටෙන්නේ ඉහත අප සඳහන් කල න්‍යායික වරද තුළය.

3) සංකේත පියාගේ බිඳවැටීම:

මෙම මාතෘකාව සම්බන්ධයෙන් X කණ්ඩායම පරස්පර විරෝධී ප්‍රවාදයක් ඉදිරිපත් කරයි:
1) ලංකාවේ සංකේත පියා ගොඩනැගී නැත.
2) ලංකාවේ තිබූ ඉංග්‍රීසි සංකේත පියා විනාශ වී ඇත.

ඉන් අනතුරුව මෙම පරස්පරයන් මඟහැරීම පිණිස ඔවුන් ලංකාවේ සංකේත පියා පිටතින් පැමිණ ඇති බැවින්, එනම් එය ලංකාවට ඓන්ද්‍රීය නොමැති බැවින් ලාංකිකයන් දෙබිඩි මිනිසුන් වී ඇති බවත් ඔවුන් විසින් එය විනාශ කරනු ලබන බවත් පවසති. ඔවුන්ගේ න්‍යායික වංකගිරියේ අතරමංවනු වෙනුවට අපි ‘සංකේතීය කාර්යක්ෂමත්වයෙහි බිඳවැටීම’ යනුවෙන් සිසැක් හඳුන්වන දෙය තේරුම් ගැනීමට උත්සාහ කරමු.

ඉහත අප උපුටා දැක්වූ දීර්ඝ උධෘතයේ සඳහන් වන පරිදි, පියාගේ සංකේතීය භූමිකාවෙහි විනාශයට අවශ්‍ය මූලබීජ වැපිරෙන්නේ නූතන ධනේශ්වර න්‍යෂ්ටික පවුලෙහි ආරම්භය සමඟමය. කලින් වෙනස් පුද්ගලයන්, සමාජ ආයතන තුළ වෙන්වෙන්ව පැවති භූමිකාවන් දෙකක් න්‍යෂ්ටික පවුල තුළ එකම පුද්ගලයෙකු තුළට කේන්ද්‍ර විය. පූර්ව නූතන සමාජවල දරුවාගේ සංකේතීය සමාජ අන්තර්ග්‍රහණය රඳා පැවතුනේ පොදු සමාජ ආයතන, දේව හෝ වෙනස් ආගමික විශ්වාස ආදිය තුළ නම්, දරුවාගේ සැබෑ පියා මෙම කාර්යභාරයෙන් වෙන්වූ කෙනෙකු ලෙස හඳුනා ගන්නා ලදී. නමුත් නූතන බුර්ෂුවා න්‍යෂ්ටික පවුල තුළ වැඩෙන ඊඩිපස් දරුවාව සංකේතීය පිළිවෙල තුළ ස්ථානගත කිරීමේ කාර්යය දරුවාගේ සැබෑ පියාට පැවරෙයි. අනිත් අතින් උපරි අහමීය පූර්වජ පියාගේ කාර්යයද, (දුර්දාන්ත තහනමෙහි කාර්යය) මෙම සැබෑ පියාටම පැවරෙයි. එවිට කලින් වෙන්ව පැවති භූමිකා දෙකක් එක් පුද්ගලයෙකු තුළ කැටි වෙයි. වර්තමාන ධනේශ්වර සමාජයෙහි පවතින තරඟකාරී පුද්ගලවාදී ගතිකයන්ගේ මානසික පදනම පවතින්නේ ඊඩිපස් පවුල තුළ යයි පවසන විට සිසැක් ලැකාන් අනුව යමින් ඊඩිපස් පවුල එහි ඓතිහාසිකත්වයේ මානය තුළ පිහිටුවනවා පමණක් නොව, එය නූතන ධනවාදය සමඟ දක්වන සම්බන්ධය ද හොඳින් පැහැදිළි කරයි.

මෙහිදී සංකේත පියාගේ බිඳවැටීමෙහි මූලය අපට නූතන ධනවාදයේ මූලික ඒකකය වන න්‍යෂ්ටික පවුල බව පෙනී යන අතර, සංකේතීය පියා බිඳවැටෙන්නේ (ගොඩනැගෙන්නේ) ලංකාව කාර්මීකරණය වී නොමැති නිසා බව පැවසීම න්‍යායිකව සාවද්‍ය බව පෙනී යයි. එපමණක් නොව, දේශපාලන ව්‍යාපාරයක් විසින් ‘සංකේත පියා ගොඩනැඟීමට යාම’ යන සටන් පාඨය ඉදිරිපත් කිරීමම ගැටළුකාරී වෙයි. සංකේත පියාගේ බිඳවැටීම පැහැදිළි කරනු පිණිස X කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන දෙවන හේතුව නම් ‘පරමාදර්ශ වලට ශරීරය සපයන’ පුද්ගලයන් හෝ සමාජ ආයතන නොමැතිය යන්නයි. මෙම ප්‍රවාදයට අනුව සමාජ පරමාදර්ශ (සංකේතීය පරමාදර්ශ) ගොඩනැගෙන්නේ ඒවා තමාම බවට පත්කරගන්නා මිනිසුන් සිටින තාක් දුරටය. මෙය ඉහත දක්වන ලද න්‍යායික වරදට එහා ගිය ගැටළුවකි. මනෝවිශ්ලේෂණයේ පදනම පිළිබඳවම මේ පිළිබඳව ලියන කතුවරුන්ට අවබෝධයක් නැති බව අපට මෙහිදී පෙනී යයි. අප මෙය න්‍යායික තලයක සාකච්ඡා කරමු.

මනෝවිශ්ලේෂණයේ මූලික පදනම නම් භාෂාවට ඇතුළු වූ සියළුම මිනිසුන් ඛන්ඩනය වී ඇති බවයි. කිසියම් පුද්ගලයෙකු සමාජ පරමාදර්ශයක් සමඟ අනන්‍ය වන විට ඔහුගේ/ඇයගේ අනන්‍යතාවය තුළ ඔහුටම/ඇයටම පරාරෝපණයක් පවතියි. එනම් කිසිවෙකුටත් කිසිවිටෙකත් පරිපූර්ණ අනන්‍යතාවයක් අත්පත් කරගත නොහැකිය. සෑම කෙනෙකුගේම සැබෑවේ (real) පැවැත්ම සහ ඔහුගේ/ඇයගේ සංකේතීය භූමිකාව සමඟ ගැලපිය නොහැකි හිදැසක් පවතියි. මෙයට මනෝවිශ්ලේෂණය තුළ සපයන ජනප්‍රිය උදාහරණය නම් දූෂිත නඩුකාරයා පිළිබඳ උදාහරණයයි. පුද්ගලයෙකු සැබෑ ජීවිතය තුළ කෙතරම් දූෂිත පුදගලයෙකු වුවද, ඔහු/ඇය නඩුකාර ලෝගුව පැලැඳගන්නා මොහොතේදී උසාවිය ඔහු ඉදිරියේ නැගිටින්නේ එම ලෝගුව විසින් සංකේතවත් කරනු ලබන සංකේතීය පරමාදර්ශය නිසාය. මෙම සංකේතීය පරමාදර්ශය යනු අත්‍යවශ්‍යයෙන්ම මියගිය දෙයකි. යම්කිසි කෙනෙකු මෙම අනන්‍යතාවය තුළ තමා පරිපූර්ණ යයි පවසන්නේ නම් (තමා අතිපාරිශුද්ධ නඩුකාරයෙකියි පවසන්නේ නම්) එයින් අදහස් වන්නේ, ඔහුට/ඇයට මෙම හිදැස, ඛන්ඩනය නොමැති බවයි. එම නිසා ලංකාවේ මිනිසුන්ට ‘දෙබිඩ්ඩා’ යනුවෙන් නිග්‍රහ කරන විට X කණ්ඩායම දෙවරක් සිතිය යුතුය. සමාජ පරමාදර්ශ, සමාජ නීතිය යනුම මිය ගිය දෙයකි. එවැනි පරමාදර්ශයක් තුළට යම් පුද්ගලයෙකු අනන්‍ය වන විට ඔහු/ඇය තුළින් මිය ගිය සංකේත විශ්වය ලියවෙනවා මිස, ඔහු එම සංකේතීය පරමාදර්ශයේ සැබෑ නියෝජිතයා බවට පත් නොවේ. සෑම පියෙක්ම අසාර්ථක වීමට නියමිත යයි මනෝවිශ්ලේෂණය තුළින් දක්වන්නේ එම නිසාය. අසාර්ථක නොවන පියා යනු පූර්වජ පියෙකි.

3) දෙබිඩි වූ මිනිසුන්:

X කණ්ඩායමේ ලියවීම් වල මුල් කාලයේ සිටම දැකිය හැකි ලක්ෂණයක් නම්, ඒවා ලාංකික මිනිසුන් ‘දෙබිඩි’ යැයි තර්ක කිරීමයි. මෙවර ලන්ඩන් සඟරාව ප්‍රචලිත කිරීම සඳහා අලවන ලද පෝස්ටරය යනු ඉහත ප්‍රවණතාවයෙහි අනිවාර්ය තාර්කික අවසානයයි.

මෙහිදී අප ඉහත දැක්වූ උධෘතයේ (සහ අන් බොහෝ තැන් වල) ගෙනෙන තර්කය වන්නේ කෙනෙකු ‍එකක් කියමින් වෙනකක් කරමින් සිටියි යන්නයි. එසේත් නැතහොත් ඔවුන්ගේ සමාජ පරමාදර්ශ සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිතය එකිනෙකට නොගැලපෙන බවත්ය. අප සමාජයේ නිලධාරීන් දූෂිත බවත්, බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් විවිධ සොරකම්වල යෙදෙන බවත් සියළු දෙනා දන්නා කාරණයක් වන අතර මෙය පැවසීම සඳහා ලැකානියානු න්‍යාය අවශ්‍ය නොවේ. ඉහත උධෘතයන් තුළ සඳහන් පරදි, මිනිසුන්ගේ ‘හරි තැන’ ඇල්ලීම යනු මෙම පුද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය අතර වෙනස පෙන්වීම නම් එය දිවයින පත්‍රයේ සමාජ විවේචනයට එහා නොගිය සමාජ විවේචනයකි. එහෙත් X කණ්ඩායම ඒ වෙනුවට මේ සමඟම මනෝවිශ්ලේෂණ න්‍යාය ද යොදා ගනියි. අප මෙහිදී තර්ක කරන්නේ මෙම වෙනස නොපවතින බව නොවේ‍. ඒ වෙනුවට අප තර්ක කරන්නේ මෙය ප්‍රමාණවත් මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහයක් නොවන බවයි. මනෝවිශ්ලේෂණය ඛන්ඩනය වූ විෂයක් ගැන කතා කරයි. ඉහත උපුටා දැක්වීම් වලින් පැහැදිළි වන ආකාරයට X කණ්ඩායමේ බොහෝ සමාජ විවේචන අවසන් වන්නේ කිසියම් ස්ත්‍රියක් ලඟින් හෝ පිය‍ාගේ අධිකාරත්වය ලඟිනි. මෙහිදී සෑම පිරිමියෙකුගේම ගැටළුව ගැහැණියක ළඟත් සෑම ගැහැණියකගේම ගැටළුව හිස්ටීරියාව ළඟත් නතර කිරීමේ මනෝවිශ්ලේෂණාත්මක සන්දර්භය දෙසට හැරෙමු. (මෙවැනි අපරිණත විග්‍රහයන් සාධාරණීකරණය කිරීම සඳහා X කණ්ඩායම නිතර භාවිතා කරන නිදහසට කරුණක් වන්නේ, මෙය මනෝවිශ්ලේෂණය දේශපාලනීකරණය කිරීමක් බවයි: ගැහැණුන් ශික්ෂිත වීමද, පිරිමින් රැවුළ කැපීමද, දරුවා පියාට බිය වීමද, බිරිඳ ස්වාමියාට ගරු කිරීමද, පා‍රේ දකුණු පැත්තෙන් යාමද ඔවුන්ට අනුව දේශපාලනයයි.)

මනෝවිශ්ලේෂණය තුළ අප දන්නා සහ අප විසින් නැවත නැවත තහවුරු කරනු ලැබූ කරුණක් නම් සියළුම මිනිසුන් ඛන්ඩනය වී ඇති බවයි. සියළුම පුද්ගලයන් තමා තුළම පරාරෝපණය වී ඇති බව අපි දනිමු. එනම් ඕනෑම කෙනෙකු තමාගේ අනන්‍යතාවය කෙරෙහි කිසියම් දුරස්ථභාවයක් පවත්වා ගනියි. එනම්, මෙම දුරස්ථභාවය යනුම මිනිස් පැවැත්මෙහි මූලික කොන්දේසියක් බවයි. X කණ්ඩායමෙහි ‘සමාජ විවේචනයන්ගේ’ මූලික ගැටළුව පවතින්නේ මේ තුළයි. ඔවුහු, ඕනෑම පුද්ගලයෙකු තුළ පවතින මෙම ඛන්ඩනය විවේචනය කරති. එහෙත් මෙවැනි විවේචන යනු මිනිස් පැවැත්මෙහි මූලික කොන්දේසියක් වෙත එල්ල කරන විවේචන විනා සමාජ සම්බණ්ධතාවයක් පිළිබඳ විවේචනයක් නොවේ.

මෙය විශේෂයෙන් අදාළ වන්නේ අප විසින් ඉහත දක්වන ලද, මිනිස් පැවැත්ම පිළිබඳ මූලික ගැටළු තුන සම්බන්ධයෙනි. කෙනෙකුට එම යථමය ගැටළු තුන එනම් ස්ත්‍රිය, අධිකාරත්වය සහ ලිංගික සබඳතාවය සම්බන්ධයෙන් සංකේතීය පිළිතුරු ලබා දිය නොහැකිය. මෙම ගැටළුවල ස්වභාවයම නිසාම කතා කරන ලෝකය ඒවා ඉදිරිපිටදී අසමත් වෙයි. X කණ්ඩායම මිනිසුන්ගේ මෙම අනිවාර්ය මූලික නොහැකියාව විදහා දැක්වීම තම දේශපාලන ව්‍යාපෘතිය ලෙස තෝරා ගැනීමේ හැඟවීම් මොනවාද?

පළමු කොටම, මෙම භාවිතාවම න්‍යාය විරෝධී වේ: අප සියළුදෙනාම ඛන්ඩනය වී ඇතැයි පිළිගන්නා න්‍යායක් මත පදනම් වී මිනිසුන්ට තම ඛන්ඩනය පිළිබඳව චෝදනා කිරීම එතරම් ප්‍රගතිශීලී න්‍යායික භාවිතාවක් නොවේ. අනෙක් අතින් මිනිස් මානසික ආර්ථිකයේ අනිවාර්යතාවයක් දේශපාලන දුර්වලතාවයක් ලෙස පෙන්වීම තුළ අපට පෙනී යන්නේ ඔවුන්ගේ දේශපාලනය යනුම ගැටළුවට හේතුව පවතින අනිවාර්යතාවයක් මත ස්ථාපිත කරන්නක් බවයි. එනම් X කණ්ඩායමේ භාවිතාව යනු ඛන්ඩනය වූ මහ අනෙකා‍ෙග් ස්ථානයේ සිට කරන්නක් නොව, ඛන්ඩනය නොවූ ස්වාමියෙකුගේ ස්ථානයේ හි කරන්නක් බව පෙනී යයි.

මෙහිදී අප විසින් තේරුම් ගතයුතු කරුණක් නම් මෙසේ මිනිසුන්ගේ ඛන්ඩනය හෝ “දෙබිඩි බව” සෙවීමට යාම, එනම් වෙස් මුහුණ පිටුපස ඇති දෙය සෙවීමට යාම යනුම X කණ්ඩායම විසින් අන් තැන්වල බලවත් ලෙස උත්කර්ශයට පත් කරනු ලබන ධනවාදී වර්ධනයේම අනිවාර්ය ප්‍රතිඵලයක් බවයි. පූර්ව නූතන සමාජවල සහ නූතන සමාජයේදී මිනිසුන් මහ අනෙකාගේ නොහැකියාව, එනම් මහ අනෙකා නොපවතින බව දැනගෙනම, හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වී මහ අනෙකාගේ පැවැත්ම විශ්වාස කළේය. අප විසින් ඉහත ද පෙන්ව‍ා දෙන ලද ආකාරයට ධනවාදයේ වර්ධනයේ එක් ප්‍රධාන ප්‍රතිඵලයක් නම් මිනිසුන් විසින් මෙසේ කලින් කොන්දේසි විරහිතව පිළිගනු ලැබූ මෙම මහ අනෙකාගේ අධිකාරත්වය ප්‍රශ්න කිරීම ඇරඹීමයි: මෙය එක් ආකාරයකින් මිනිස්සුන්ට ‘සිතීමට’ සහ තමන්ගේ අනන්‍යතාව පිළිබඳ කේවල් කිරීමට හැකියාව ලබා දෙයි. නමුත් ඒ අතරම, එම හැකියාව විසින්ම එම තෝරා ගැනීම බලහත්කාරී තෝරා ගැනීමක් බවට පත් කරන්නේ සමාජ අධිකාරත්වයට එරෙහි ප්‍රවනතාවයේ පදනමම වන මෙම සමාජ අධිකාරත්වය විනාශ කරමිනි.

පශ්චාත්නූතන විෂය, තමාගේ අනන්‍යතාව සකස් කිරීම සඳහා ආයතන හෝ සමාජයට ඇති බලය තව දුරටත් පිළිනොගන්නා අතර, ඇතැම් විටෙක ස්වයං-නිර්මාණයට ඇති හැකියාව පිළිබඳව විශ්වාස කරයි. මෙය තමන්ගේ ලිංගික අනන්‍යතාවය සමඟ ක්‍රීඩා කිරීම, හෝ තමාව කලා කෘතියක් ලෙස ඉදිරිපත් කිරීම වැනි ස්වරූප ගත හැකිය. එහෙත් මහ අනෙකාගෙන් විෂය නිදහස් කිරීමේ ක්‍රියාවළිය තුළම, මහ අනෙකාගේ අධිකාරත්වය සම්බන්ධයෙන් විෂය දක්වන කේන්තිය සහ බලාපොරොත්තු කඩවීම කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. මෙහිදී පෙනෙන්නේ ‘මහ අනෙකා නොපතියි’ යන්න සහ එහි අධිකාරත්වය යනු වංචාවක්ය යන්න හඳුනාගනු ලැබුවේ විෂය විසින් නොවන සෙයක් පෙනී යයි… කෙසේ වුවුද විෂයක් ලබා ගන්නා නිදහස ලෙස පෙනෙන දෙය විෂය, අධිකාරත්වයේ බෙලහීනභාවය පිළිගන්නා මොහොතේදී විෂය මත ‘බලහත්කාරයෙන් පටවනු ලබන’ තෝරා ගැනීමක් ලෙසද තේරුම් ගත හැකිය.
Salecl, R, (Per)versions of Love and Hate

මහ අනෙකාගේ ඛන්ඩනයේ ප්‍රතිඵලයක් වන විෂයේ ඛන්ඩනය දුර්වලතාවයක් වශයෙන් ගෙන විවේචනය කිරීමේ දේශපාලනික සීමිතභාවය දැන් පැහැදිළිය. අනෙක් අතින් සමාජ ගැටළු වලට හේතුව පුද්ගල මානසික ව්‍යූහයන් තුළ ස්ථානගත කිරීම සිසැක් විසින් මෙසේ ප්‍රතික්ෂේප කොට ඇත:

පැහැදිළි ලෙස පළමුවෙන්ම කළයුතු දෙය නම් මෙම තලයන් දෙක අතර බෙදුම් රේඛාවක් ඇඳීමයි. ස්ටැන්ලිවාදී ක්‍රමය විපරීත යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වූ බව සත්‍යයක් වුවද එයින් ස්ටැන්ලිවාදී පුද්ගලයන් බොහෝ කොට විපරීතයන් වූයේ යයි නිගමනය කිරීම වැරදිය. දේශපාලනික-දෘෂ්ඨිවාදාත්මක ගොඩනැංවීමත් ලෙස ස්ටැන්ලිවාදය ව්‍යූහගතව තිබූ ආකාරය පිළිබඳ මෙම පොදු නාමකරණය විසින් ස්ටැන්ලිවාදී පුද්ගලයන්ගේ පුද්ගල මානසික ආර්ථිකය පිළිබඳව කිසිවක් නොකියයි. ඔවුන් විපරීතයන් හිස්ටරිකයන් පැරනොයිකයන් ග්‍රස්ථික නිරෝසිකයන් යනාදී ලෙස ඕනෑම කෙනෙකු වීමට ඉඩ තිබේ.
Zizek, S, The Art of the Ridiculous Sublime p.26

අප ජීවත්වන යුගය තුළ කෙනෙකුට මෙම දේශපාලන අවබෝධය ඉතාම වැදගත්ය. X කණ්ඩායමේ පුද්ගල විවේචන, සමාජ විවේචන, විවිධ න්‍යායික සම්ප්‍රදායන් ගැන ඇති විවේචන ආදී සියල්ල ඛන්ඩනය නොවූ පරිපූර්ණත්වයක් පිළිබඳ ෆැන්ටසියක් මත පදනම් වෙයි. ඔවුන්ගේ ලිවීම් තුළ තැනින් තැන ඛන්ඩනය වූ විෂය, සංකේතීය සමස්තයේ අසමත්කම වැනි මනෝවිශ්ලේෂණ සංකල්ප විසිරී පැවතුනද එම සමස්ථ දේශපාලන ව්‍යාපෘතිය සියුම් ලෙස පරීක්ෂා කළ විට පෙනී යන්නේ එය පරිපූර්ණ සංකේත ලෝකයක් ගොඩනැගීමේ අසාර්ථක උත්සාහයක් බවයි. ධනවාදය විසින් සමාජය නොවැලැක්විය හැකි ලෙස කැබලි වලට ඛන්ඩනය කරන විට පරිපූර්ණ සමස්ථයක් පිළිබඳ ෆැන්ටසියක් ඒ සමඟම නිර්මාණය කිරීම බලාපොරොත්තු විය යුතු දෙයකි. සමාජය පූර්ණ ලෙස රැඩිකල් වෙනසකට භාජනය නොකර ඉහත කී පරිකල්පනීය පූර්ණත්වයේ අනිවාර්ය අසාර්ථක වීමට වග කියන ව්‍යාජ සතුරන් නිර්මාණය කිරීම (ගැමියා, ස්ත්‍රිය, පහළ පංතිකයා, ලාංකිකයා, වාමාංශිකයා) මේ අනුව ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියෙ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාර්යයකි.

අප ඉහත උපුටා දැක්වූ සියළුම X කණ්ඩායමේ කතුවරුන්ම පාහේ එක් හෝ තවත් තැනක ධනවාදයත්, මාධ්‍ය තාක්ෂණයත් නිසා සංකේතීය පියා විනාශ වන බව සඳහන් කර ඇත. එහෙත් ඔවුන්ට ධනවාදයේ මූලික ඒකකය වන න්‍යෂ්ටික පවුල සමඟ මෙම ක්‍රියාවලිය දක්වන සම්බන්ධය මඟහැරී යන නිසා වඩා හොඳ පවුලක් නිර්මාණය කිරීමේ දේශපාලන ෆැන්ටසියෙහි ඇති සීමිතභාවය නොපෙනී යයි. මෙහිදී ගැටළුව වන්නේ මෙය හුදෙක් එක් න්‍යායික වරදක් පමණක් නොවීමය. ඒ වෙනුවට එම න්‍යායික වරද නිසා ඔවුන්ගේ සමස්ථ දේශපාලන ව්‍යාපෘතියම ධනවාදයේම අවශ්‍යතාවක් සපුරමින් ඒකාධිපතීත්වය දෙසට දිශානත වූ සමාජ ව්‍යාපෘතියක් බවට පත් කරයි. (විද්‍යාවක මූලධර්ම පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව වෙනස් කිරීමට ය‍ාම දේශපාලනය නොවන බවත්, එවැනි වෙනස් කිරීම් නිසා ඇතිවන වැරදි දේශපාලනයේදී තීරණාත්මක බවත්, පාඨකයාට දැන් පැහැදිළි වනු ඇත.) මෙය එක් පැත්තකින් ධනවාදයේ පැවැත්ම සමාජය තුළ තහවුරු කරන අතර අනෙක් පැත්තෙන් සමාජයට සිය සැබෑ ගැටළුව වන ධනවාදය මඟහැර යාමට අවශ්‍ය ව්‍යාජ සතුරන් නිර්මාණය කර දෙයි. ධනවාදය විශ්වීයකරණය වන මොහොතේ ජාතිකත්වය විසින් එහි පරිපූර්ණත්වය ඛන්ඩනය කරන බව ලැකාන් විසින් මීට කලකට ඉහතදී පුරෝකථනය කර ඇත. X කණ්ඩායමේ නවතම පෝස්ටරය විසින් විදහා දක්වා ඇත්තේ එය ලාංකිකයාගේ ගැටළුවක් ලෙසය. ධනවාදයේ මෙම යුගය තුළ මතුපිටට පැමිණෙන මෙම අනිවාර්ය ඛන්ඩනය ලාංකිකයාගේ ගැටළුවක් බවට ප්‍රතිස්ථාපනය කිරීම තුළ සඟවාලනු ලබන්නේ ධනවාදයම මිස වෙන කුමක්ද? (මේ සම්බන්ධයෙන් බලන්න පත්‍රිකා අංක 06: ගෝලීයකරණය තුළ ජාතිකවාදයේ පුනරුප්පත්තිය)‍.

4) සංකේතීය පියා සහ ස්ත්‍රිය:

දැන් අප විසින් ඉහත උපුටා දක්වන ලද X කණ්ඩායමේ කතුවරුන්ගේ න්‍යායගත කිරීම්වල සීමාසහිත භාවය පාඨකයාට පැහැදිළි ඇතැයි අපි විශ්වාස කරමු‍. අපට ඉතිරිව ඇත්තේ ස්ත්‍රිය සහ සංකේත පියා පිළිබඳ සංවාදය අතර සම්බන්ධය පැහැදිළි කර ගැනීමයි. මෙහිදී X කණ්ඩායම විසින් ගෙනෙනු ලබන ප්‍රවාදය නම් ගැහැණියට සංකේතීය වෙස් මුහුණක් සැපයිය යුත්තේ පිරිමියා විසින් බවත්, ලාංකීය පිරිමියා මෙම වෙස් මුහුණ සැපයීමට අසමත් වී ඇත්තේ සංකේත පියා ශක්තිමත් නැති නිසා බවත්ය. ඔවුන් ලාංකික ස්ත්‍රිය හිස්ටෙරික යැයි පවසන්නේ මෙම පදනම මත පිහිටාය.‍

X කණ්ඩායමට අනුව පිරිමියා යනු ගැහැණියට අනන්‍යතාවයක් ලබා දිය හැකි පුද්ගලයාය. එනම් ඔවුන්ට අනුව ගැහැණිය මම කවුද? යනුවෙන් ප්‍රශ්නයක් අසන විට එයට පිළිතුරු දිය හැකි කෙනා ‘සැබෑ පිරිමියෙකු’ බවට පත් වේ. ඔවුන්ට අනුව මෙය කළ හැක්කේ විශාල සංකේත ලෝකයක් සහිත පිරිමින් යයි ඔවුන් හඳුන්වන පිරිමින්ටය. මෙම ප්‍රශ්නයට පිලිතුරු දිය හැකි පිරිමින් නිර්මාණය කිරීම සිය දේශපාලන කාර්යභාරය යයි ඔවුන් සිතයි. එහෙත් ‘ඇපල් මලක් රගර් ක්‍රීඩකයෙකුට ආදරය කරන්නේ කෙසේද’ උධෘතයේ කතුවරයා පෙන්වා දෙන පරිදිම එසේ කලහැකි වන්නේ පූර්වජ ස්වාමිවරුන්ට බව අපි දනිමු. ගැටළුව වන්නේ මෙය දැනගෙනත් ඔවුන් ඉහත දේශපාලන ව්‍යාපෘතියේ නියැලෙන්නේ මන්ද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම් අප මෙවන් දේශපාලන ව්‍යාපෘතියක් මතු වීමේ සන්දර්භය සලකා බලමු.

අප මෙම සංවාදය විශ්ලේෂණය කිරීම සඳහා ඉහත දක්වන ලද වර්හාගේ උපුටා දැක්වීම වෙත නැවත යමු. ඔහු පවසන පරිදි පියා විසින් විෂයට පිළිතුරක් නැති ප්‍රශ්න තුනකට පරිකල්පනීය පිළිතුරු සපයයි. මින් පළමුවැනි ප්‍රශ්නයම ස්ත්‍රිය යනු කව‍ෙරක්ද යන ප්‍රශ්නයයි. සාම්ප්‍රදායික සමාජ තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා ඒ ඒ සමාජ විසින් නිර්මාණය කරගත් පිළිතුරු පැවතින. එහෙත් අප ඉහතින් දැක්වූ පර්දි වර්තමානයේ ගතික පුද්ගලවාදය තුළ, පුද්ගලයාව තවදුරටත් පැරණි වර්ගයේ සමාජ අනන්‍යතා තුළ සිරකර නොහැකිය. මෙය ලිංගිකත්වයටද එක ලෙස අදාල වේ. ලිංගික වෙනස යනු අවසාන විග්‍රහයේදී හැඟවුම්කාරකයේ ලෝකය තුළ පවතින්නක් නොවේ. මනෝවිශ්ලේෂණයට අනුව එය සැබෑව තුළ පවතින්නකි. (බලන්න, අපට ඇත්තටම පියෙකු අවශ්‍යද? පත්‍රිකා අංක 05) සංකේතීය තලයේදී පවතින්නේ සැබෑව තුළ හමුවන මෙම විසඳුමක් නොමැති ප්‍රශ්නයට සාමූහික පරිකල්පනීය සිතුවිලි නිර්මාණය කර ගැනීමකි. නමුත් නූතන නිදහස් පුද්ගලිකත්වයේ සමාජය තුළ එවැනි ඝනීභූත වූ ලිංගික භූමිකා එක් එක් විෂයන්ට පැවරීමට නොහැකිය. මෙම පශ්චාත් නූතන නිදහස විසින් බිහිකර ඇති තත්ත්වයක් නම් ස්ත්‍රිය පිළිබඳ කලින් පැවති අර්ථ සමූහය ප්‍රශ්නයට ලක් කිරීමයි. පැහැදිළි ලෙසම මෙය සමාජ පරිනාමයේ අනිවාර්යතාවයක් මිස ඒ ඒ සමාජයේ දියුණු නොදියුණු බව හෝ හොඳ නරක පිළිබඳ මිණුම් දණ්ඩක් නොවේ. අනෙක් අතින් මෙම පිළිතුරු තනි තනි ස්වාමිවරුන් විසින් නිර්මාණය කළ හැකි අත්තනෝමතික පිළිතුරු නොවේ. මෙම සිදුවීම් දාමයෙහි අවසාන සමාජ ප්‍රතිඵලය කුමක්ද?

අනෙක් අතින් විසි වන සියවසේ දෙවැනි භාගය තුළ මෙම මූල ධර්මය සෙලවෙමින් පවතියි. පැරණි දෙවිවරුන් හා ඔවුන් පිළිබඳ කතා දේවාලයෙන් බස්වනු ලැබ ඇති අතර ඔවුන් වෙනුවට කිසිදු පිළිගත හැකි යමක් පැමිණ නැත. මෙයින් අදහස් වන්නේ දැන් අපට ෆ්‍රොයිඩ්ගේ මිත්‍යාව අනෙක් පැත්තට කියවිය හැකි බවයි: එනම් ඒකදේවවාදී පීතෘමූලික සංකීර්ණයට පෙර පැවති තත්වයට ආපසු යාමක්, සාමූහික නැවත හැරීමක් දැකිය හැකි බවයි.
Love in a Time of Loneliness, Paul Verhaeghe

වර්හාගේ විසින් සඳහන් කරනු ලබන මෙම ‘ආපසු හැරීමේ’ ප්‍රතිඵලය නම් අප ඉහතින් උපුටා දැක්වූ ආකාරයට සම්ප්‍රදායික සමාජය තුළ ස්ත්‍රිත්වය, අධිකාරත්වය සහ ලිංගික සබඳතාවය යන කරුණු පිළිබඳව පියා විසින් සපයනු ලබන පරිකල්පනීය පිළිතුරු අර්බුදයට යාමයි. මෙයට මුහුණ දීම සඳහා සමාජය නැවත වරක් පියා වෙත හැරෙමින් පවතියි:

මිත්‍යා කතාවෙහි සම්භවය වෙත නැවත යමින් අපට සැබෑ පූර්වජ පියා හමුවේ. තමාගේ, එය තුළම අධිකාරත්වය අහිමි වීම නිසා පුතුන් කණ්ඩායම් වශයෙන් එක්ව සබෑ (real) අධිකාරත්වය සෙවීම අරඹයි. මෙහි ප්‍රතිඵලය නම් විවිධ වර්ගයේ ප්‍රාථමික පූර්වජ පියවරුන් මතු වීමයි. ඔවුනට ඔවුන්ගේම පූර්වජ රංචුව හිමිවී පවතින අතර ඔවුන් ආරක්ෂිත ස්ථානයක් සපයන ලෙසක් පෙනෙයි. මෙම පුතුන් විශාල බල‍ාපොරොත්තු කඩවීමකට මුහුණ දී සිටියි: මක් නිසාද යත් මෙබඳු පූර්වජ පියවරුන් අවස‍ානයේ සොයමින් සිටින එකම දෙය නම් – සෑම පූර්වජ පියෙකු මෙන්ම – තමාගේම සතුට බව ඉක්මණින් පැහැදිළි වීමයි.
එම

අප මෙතෙක් විමසා බැලූ, අප සමාජය නැවත පියෙකු සොයමින් සිටින්නේ මන්ද යන ප්‍රශ්නයට සංයුක්ත පිළිතුරක් අපට මෙහිදී හමු වේ. ධනවාදී ක්‍රමය තුළ කඩා වැටුණු සාම්ප්‍රදායික බල අධිකාරය විසින් සපයනු ලැබූ ආරක්ෂාව අහිමි කරවනු ලැබූ පුතුන් විසින්, බලාපොරොත්තු විය හැකි ආකාරයටම, ‘පියෙකු සොයමින්’ පිරිමින්ගේ රංචු නිර්මාණය කරගනිමින් සිටියි. ඔවුන්ට හමු වන්නේ ඔවුන් සොයන ‘සංස්කෘතික ශිෂ්ඨ පියා’ වෙනුවට සැබෑව තුළ මතුවන පූර්වජ පියාගේ අවඥාසහගත කෲර සිනහවයි. ඔහු සිනාසෙමින් අපට මෙසේ අණ කරමින් සිටියි: ‘ප්‍රමෝද වන්න’. එහෙත් මෙම අණ කිරීම යනුම පුතාට ප්‍රමෝදවීමට ඇති හැකියාව නැති කර ඔහුව බෙලහීනතාවයට පත් කරන්නකි. මෙහි සැබෑ අර්ථය නම් ‘ප්‍රමෝද වන්න, එහෙත් ඔබට එය කළ නොහැකියි’ යන්නයි. මෙම සන්දර්භය තුළ ස්ත්‍රිය තර්ජනයක්, පිරිමින් ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස මතු වීම පුදුමයක් නොවේ. ලෝකයේ මතු වෙමින් පවතින බොහෝ මූලධර්මවාදී ව්‍යාපාර ස්ත්‍රිය පාලනය කිරීම, ශික්ෂණය කිරීම වෙත නැවත යොමු වීම අහම්බයක් නොවේ. එක් හෝ ‍ෙවනත් ආකාරයකින් මේ හැම ව්‍යාපාරයක්ම මඟ පාදමින් සිටින්නේ කෲර ඒකාධිපතිත්වය දෙසටයි.

මෙහි වඩාත් භයානක කරුණ නම් මෙවැනි ව්‍යාපාර විසින් සපයනු ලබන පිළිතුර යනුම ඔවුන් අමතන ‘ජනතාව’ ඉල්ලා සිටින පිළිතුර වීමයි. දැන්, හිස්ටීරියාව පිළිබඳ, X කණ්ඩායමේ ව්‍යාජ මනෝවිශ්ලේෂණ විග්‍රහයට පසුව, පළා යන පියවරුන්ටත් අසරණ වුනු පුතුන්ටත් ධනවාදය වෙනුවට හිස්ටීරියාව සහ ස්ත්‍රිය හමුවෙයි. ලංකාවේ දේශපාලනය පැරදුනේ ධනවාදය නිස‍ා නොව ස්ත්‍රීන්ගේ මානසික රෝග නිසා බව ඔවුන්ට සිතිය හැකිය. හිස්ටීරියාව පිළිබඳව ඉතා බරපතළ ප්‍රකාශයන් කරන සේ පෙනෙන X කණ්ඩායමට මඟහැරෙන සත්‍යය වන්නේ, විෂයේ පවතින ව්‍යුහාත්මක ඛන්ඩනයට බාහිරින් පරිකල්පනීය සතුරෙකු සොයා දීම ස්වාමියාගේ කාර්යය බවයි. අද ස්වාමියෙකු ලෙස ඔබට ඔටුනු පළඳන ජනතාව හෙට ඔබව ගිලටීනය වෙත ගෙන යන බව ඔබ දන්නවාද?

වර්තමාන ශ්‍රී ලංකාව තුළ දේශපාලනයට එළඹෙන්නෙකු විසින් තේරුම් ගතයුතු පළමු සමාජ යථාර්ථය මෙය යයි අපි විශ්වාස කරමු. සැබෑ සතුරා ධනවාදය වන විට එහිම ක්‍රියාවළියේ අත්‍යාවශ්‍ය උපාංගයක් ලෙස නිර්මාණය වන මෙම සංවිධාන කරමින් සිටින ‘දේශපාලනය’ නොවටහාගන්නා තාක් දුරට අප විසින් කරමින් සිටින්නේ අපගේ මිනී වළ අප විසින්ම නිර්මාණය කර ගැනීමයි – සමාජය ඒකාධිපතිවාදය වෙත ගමන් කරමින් සිටින මොහොතකදී එම ගමන නිහඬව බලා සිටීමයි. නැතහොත් එම ගමන විප්ලවවාදී දේශපාලනය යයි වැරදියට වටහාගෙන එය වඩාත් වේගවත් කිරීමයි.

ස්ටාව්රකාකිස්ට අනුව මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි:
ප්‍රජාතන්ත්‍රවාදයට පවතින මෙම තර්ජන දෙක විෂම චක්‍රයක් ගොඩනඟන්නේය යන කරුණින් පුදුම නොවී සිටීමට කෙනෙකුට නොහැකිය. සම්ප්‍රදායික ඒකමිතීන් විසම්බන්ධ වීම බිඳී විසිරී යාමේ තර්ජනයන් විසින් විශ්වීයවාදී සහ ඒකාධිපතිවාදී ප්‍රවනතාවයන් ව්‍යාප්ත කරවන ස්වභාවයකට මග පාදයි‍; ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් සිදුවන දෙය නම් ඒකාධිපතිවාදයන්ගේ සාර්ථකත්වයට පසුව ඒ සමාජ බිඳී විසිරී යාම් සහ අවුල් සහගත යුගයක් බිහි වීමයි.
Yannis Stavrakakis, Lacan and the Political, p.125

ඒකාධිපතිවාදයේ දරුණු ග්‍රහණයෙන් මිදෙන සෑම මොහොතකම මිනිසුන් වඩා නිදහස්කාමී අවුල් සහගත බවක් ඉල්ලා සිටින අතර එවැනි නිදහස්කාමී සමාජයක් නිර්මාණය වන මොහොතේදී බිහිවන අනාරක්ෂිතභාවය ඉදිරියේ නැවතත් සියළු ප්‍රශ්නවලට පිළිතුරු දෙන ස්වාමියෙක් සහිත ඒකාධිපති ක්‍රමයක් ඉල්ලා සිටින බව ස්ටාව්රකාකිස් මෙහිදී තර්ක කරයි. ධනවාදය තුළ අප ඉහත සඳහන් කළ වර්ගයේ මූලධර්මවාදී සහ ඒකාධිපති ස්වරූපයන්ගෙන් යුත්, ප්‍රාමෝද්‍යය තහනම් කරනසුළු හුදෙකලා පූර්වජ කණ්ඩායම් බිහිවීමේ සන්දර්භය මෙයයි. මෙම විශ්ලේෂණය වඩාත් පුළුල් කරන්නේ නම් අපට පැවසිය හැක්කේ වර්තමාණය තුළ නැවත මියගිය සම්ප්‍රදායිකත්වය මරණයෙන් නැගිටුවිය නොහැකි නිසා ඉතිරි වී ඇත්තේ අප ඉහත සඳහන් කළ වර්ගයේ පූර්වජ පියවරුන්ගේ ඒකාධිපතීත්වයට මුහුණ දීම යන්නයි. සියළු බලාපොරොත්තු සහ සිහින, ලාංකීය සමාජයේ වෙනසක් පිළිබඳව පැවති දේශපාලන විශ්වාසය කෲර ලෙස මාවත අසළ මිය ගිය ඒ අඳුරු නොවැම්බරයේ මතකය අතරින් මේ මතු වෙමින් සිටින්නේ, එහි ප්‍රතිඵලය වන පූර්වජ පියවරුන්ගේ අවතාර නොවේද?

මනෝවිශ්ලේෂණය යනු ‘හොඳ පියෙකු වන්නේ කෙසේද?’ ‘ලස්සන පවුලක් නිර්මාණය කර ගන්නේ කෙසේද?’ යන්න උගන්වන පවුල් අත්පොතක් නොවන බව පාඨකයාට දැන් පැහැදිළි ඇතැයි අපි විශ්වාස කරමු. මීට ප්‍රතිපක්ෂ ලෙස මනෝවිශ්ලේෂණය යනුම මිනිස් විෂයේ හිස්බව පිළිබඳ විද්‍යාවයි. (මෙය, මනුෂ්‍ය විෂයේ අර්ථයක් නැතැයි යන බෞද්ධ ශුන්‍යවාදී අදහස නොවේ). මෙම හිස් බව තුළින්ම මතුවන දේශපාලනය පිළිබඳ විද්‍යාවයි. ධනවාදයේ ක්‍රියාත්මක වන මානසික ව්‍යූහය පිළිබඳ විද්‍යාවයි. එය විසින් අපට බලකර සිටින්නේ මිය ගිය පියවරුන් නැවත මරණයෙන් අවදි කිරීමට හෝ පළා යන පුතුන්ට තාවකාලික අනාථාගාර සැපයීමට නොවේ. ඒ වෙනුවට අපට එය ඉඟිකර සිටින්නේ නිහඬ නොවැම්බරය පුපුරුවා මතුවන දේශපාලන ක්‍රියාවේ මොහොත පිළිබඳවය: ධනවාදය විසින් අප තුළම, අප ලවාම තද කෙරෙන අපගේම මානසික යදම් පුපුරුවා මතු වීමට කාලය එළඹිලා නොවේද? මාක්ස් පැවසූ පරිදිම,

“අළුත් අපරාධකරුවන් සැපයීමට ඉඩ ලබා ගැනීම සඳහා අපරාධකරුවන් පෝරකයට යවන වධකයා උත්කර්ශයට පත් කිරීම වෙනුවට, මෙම අපරාධ ජනනය කරන ක්‍රමය වෙනස් කිරීමේ මාර්ගයක් පිළිබඳවකල්පනා කිරීමේ අවශ්‍යතාවය බිහිවී තිබෙනවා නොවේද?”
– මරණීය දණ්ඩනය, කාල් මාක්ස්, 1853

Prof Bandara and Prof Manuratne.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මුලදී බැන්ද ආදරයක මිහිර දැන්
    සැනසීම සොයමි මගේ පපුවට තද කරන්
    සෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන්

    අසරණ මා අමතක කෙරුවත් ඔයා
    සිතුවාද ඔබව මට අමතක වෙයි කියා //
    එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
    හමුවෙන්නේ ඔබට මේ මගේ මල කඳ තමා //

    සෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාල යන්නේ නෑ මගේ සුදු රත්තරන්

    මුලදී බැන්ද ආදරයක මිහිර දැන් …

    මල් කුමරියෝ සිටියත් කොතරම් කැලේ
    ඒ සැවොම පරාදයි පැහැයට ඔබේ තොලේ //
    එක් වෙන්නට නොහැකි උනොත් රන් කඳේ
    සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ //

    මුලදී බැන්ද ආදරයක මිහිර දැන් …

  2. රජයේ ඉහල රැකියාවක් කරනා විවාහක ස්ත්‍රියක් සමග මම සම්බඳ තාවයක් පවත්වාගෙන යමි. නමුත් මට ඇති ප්‍රශ්නය නම් යෝනි මාර්ගික සංසර්ගයට වඩා ඇය වඩාත් ඇලුම් කරනුයේ මාගේ ශීෂ්නය උරා බීමට සහ ඊට අදාළ වෙනත් ක්‍රියාවලටය. නමුත් මා වඩාත් කැමැත්තක් දක්වන්නේ යෝනි මාර්ගීය සංසර්ගයටය. ඒ පිළිබඳව ඇය පවසා සිටින්නේ ශීෂ්නය සූප්පු කිරීමෙන් ඇය ඉමහත් තෘප්තියක් ලබනවා යන්නත්, ඇයට එහි සුවිශේෂී රසයක් ඇත යන්නත්, ඇයගේ යෝනි ප්‍රදේශය තෙත් වන්නේ එම ක්‍රියාව කරන විටදී යන්නත්ය. මෙය මට වටහා ගත නොහැකිය. මේ පිළිබඳව මනෝවිශ්ලේෂනාත්මක පැහැදිලි කිරීමක් කරනා මෙන් ඉල්ලා සිටිමි.

Comments are closed.