[dropcap color=”green”]80[/dropcap] දශකයේ සිට අද දක්වා ගෙවී ගිය දශක තුනක කාලය තුළ නිව්ටන් ගුණසිංහ නම් මාක්ස්වාදයා හැර අනිත් සියළු දෙනා ( ඇකඩමියාව සහ දේශපාලන සංවිධාන ) තමන්ට පිටතින් දේශපාලනය කිරීම සදහා “සැබෑ මිනිසුන්” (Real Man ) සොයා ඇත. 80 දශකයේ දී තමන්ගේ ජීවිතයට පිටතින් සොයා ගිය මේ මිනිසා අපට හමුවූයේ “සත්‍යවාදියා” යන නමිනි.එය සොයා ගත්තේ සුනිල් මාධව විසිනි.
ඇකඩමික ජීවිතය තුළ හෙම්බත් වී සිටින ඇකඩමික බුද්ධිමතෙකු රූපවාහිනි නාළිකාවක ප්‍රචාරය වන මැයි දින රැළි නරඹමින් සිටියි. සමානාත්මතාවය, සහෝදරත්වය, සාධාරාණත්වය වැනි වචන ලියා ඇති බැනර අතැතිව උද්ඝොසණය කරමින් යන මිනිසුන් දකින මෙම ඇකඩමික බුද්ධිමතාගේ ප්‍රතිචාරය කුමක් ද? නිසැක ලෙසම පෙළපාළි යන උද්ඝොෂකයන් සමග ඔහු අනන්‍ය වනු ඇත.
පැරණි ඇකඩමික බුද්ධිමතෙකු අනන්‍ය වුයේ තම ඇකඩමියාවේ සාමාජිකයන් සමගය.තමන්ගේ ප්‍රවාදයක වරද-නිවරදිභාවය ඔහු පරීක්ෂා කළේ තම ඇකඩමික ප්‍රජාව ඇතුළතය. නමුත් සමකාලීන පශ්චාත්-නූතන ඇකඩමික බුද්ධිමතෙකු සුනිල් මාධව සේම අවංක,ජීවමාන,අව්‍යාජ,සැබෑ මිනිසෙකු සොයා ඇකඩමියාවේ ගේට්ටුවෙන් පිටතට ගමන් කරයි. පැරණි ඇකඩමික සාමාජිකයා තමන්ගේ තාප්ප වලට පිටතින් ජීවත් වන ධනාත්මක ජීවමාන මිනිසෙකු ෆැන්ටසිකරණය කළේ නැත. ඔවුන් සමාජ විද්‍යාවට, මනෝවිද්‍යාවට බාහිරින් පවතින-පුළුල් අර්ථයෙන් ඇකඩමික් නොවන -අමතර යථාර්ථයක ජීවමාන මිනිසෙක් සිටින බව නිගමනය නොකළේය.
නමුත් සමකාලීන ඇකඩමික් බුද්ධිමතා තම දේශණ ශාලාව සහ කියවීමේ කාමරය අතහැර දමා මහපාරට පැමිණෙන්නේ “සැබෑ මිනිසා” බලාපොරොත්තුවෙනි. ඇකඩමියාවෙන් පිටත පවතින මෙම “සැබෑ මිනිසා” සොයා යෑමද ඇකඩමික වැඩකි. එය දෘෂ්ටිවාදයේ වැඩබිමකි. ඇකඩමික බුද්ධිමතා මහපාරට පැමිණ උත්සහ කරන්නේ “සැබෑ මනුෂ්‍යත්වය” හමුවන්නටය. පශ්චාත්-නූතන විවාදය කියන්නේ මෙම තත්ත්වයටයි. අප එසේ කියන්නේ මන්ද? ඇකඩමියාවෙන් පිටත “ධනාත්මක ස්ථානයක්” ( positive place ) නැති නිසාය.
ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු ඇකඩමියාවෙන් පිටත සැබෑ මිනිසුන්, සැබෑ ස්ත්‍රීන් ගවේෂණය කිරීම බහුතර දෙනෙකුගේ දේශපාලනය විය. “සැබෑ මිනිසෙකු” සොයා යන මේ ගවේෂණය ටික කළකට පසු ජනප්‍රිය සංස්කෘතික විවාදය බවට පත් විය. මහගමසේකරගේ අවමගුලට වඩා එච්.ආර් ජෝතිපාලගේ අවමගුලට දහස් ගණන් මහජනයා සහභාගීවීම ඇකඩමික ගැටළුවක් කළේ සරත් අමුණුගමය. සාම්ප්‍රදායික වාම භාවිතාවට පිටතින් විජේවීර ඉක්මවා යන චේ ගෙවාරා වැනි ප්‍රතිරූපයක් දයාන් ජයතිලක සොයා ගත්තේ විජය කුමාරතුංග හරහාය. ‘සිත්තර’ පත්තරය හරහා සිරිවර්ධනට (ඇත්ත) එරෙහිව චින්තනය ජයසේන සොයා ගන්නා ලදි. පසුව මෙම සොයා ගැනීම් වැල නොකැඩී එන්නට විය. සරත් මධු- ඉතිං ඊට පස්සේ ජනක රත්නායක- ජේ.ආර් ට කලින් ජනක රත්නායක එයාගේ චිත්‍රකතා වල නවීන වාහන, නවීන ඇදුම් පැළදුම් නවීන ජීවන රටා අදින්නට පටන් ගත්ත. ඕෆ් සෙටි සිනමා පත්තර පුරෝගාමියා බන්දුල පද්මකුමාරය. වෙනස් වෙමින් පැවති සාමාන්‍ය ලංකිකයාට ජීවන පැවැත්මේ නව පරමාදර්ශයක් (ජීවිතය කොයි දෙසට ගියොත් ලස්සණ ද?…) විහිදුවන ප්‍රකාශන ගණනාවක් බන්දුල ගේ ‘සමාධි’ නිවසෙන් එන්නට පටන් ගත්ත. ‘කුමරි’,- ‘සරසි’ -‘සත්සර’ -‘පතිපතිනි’ නළු නිළියන්ගේ ප්‍රේම කතා, විලිසිතා, ලිංගිකත්වයන් හරහා සමාන්‍ය මහජනයාගේ හුරු -පුරුදු ඇබ්බැහියන් රාශියක් මෙම ච්ත්‍රකතා පත්තර මගින් වෙනස් කරා.
ඊළගට ටැබ්ලොයිඩ් දේශපාලනයේ පුරෝගාමියා තමයි වික්ටර් අයිවන්. සුනිල් මාධව ‘ලක්මිණ’ කරන කාලේ ‘යුක්තිය’ කියන්නේ පුංචි පත්‍රිකාවක්. අයිවන් ‘රාවය’ පත්තරය පටන්ගන්න කොට කිසිම ජාතික පුවත්පතකට හයිය තිබුනේ නැහැ කවරයට පාට නැතිව ප්රවෘත්ති එල කරන්න. කොල්ලෝ ලක්ෂයකගේ මරණ පිළිබද දේශපාලනයේ මානවවාදී පුවත්පත තමයි ‘හිරු’ කියන්නේ. සමහර අය බලොපොරොත්තු වුණා පත්තර නිසා දේශපාලන කණ්ඩායම් හැදේවි කියල.
1996 දී අලුත් ආකෘතියකින් පටන් ගත්තු ‘මාතොට’ සගරාවත්, වසර 2000 දී ආරම්භ වූ ‘ලන්ඩන්’ සගරාවත් හරහා ඇකඩමියාවට පිටතින් “සැබෑ මිනිසා” සොයා යන අලුත් දේශපාලන ව්‍යාපාරයක් මතු වුණා. ඉහත පළ කරපු හුරු-පුරුදු ඇබ්බැහියන් රාශියකට අමතරව 1989 ට පසු ප්‍රේමදාස පාලනය හරහා ලංකාවට ආනයනය වූ “නිල් සිනමාවත්” “සැබෑ මිනිසාට” සම්බන්ධ වුණා. දැන් මෙතන තියෙන වසර 2500ක අඛණ්ඩ සිංහල බෞද්ධ ඉතිහාසයක් නෙවි. 80 දශකයට පසු ඇකඩමියාවට පිටතින් සිටින “සැබෑ මිනිසා” හරියට පාරට බැස්සේ 2005 වර්ෂයේ මැයි දින පෙළපාලියක් හරහාය. එහි සටන් පාඨය පූර්ව එකක්. ඇකඩමියාවේ සිටින කිසිවකුට තේරෙන භාෂාවක් නෙවි ඒක.ඒකේ නම තමයි “ඔබේ වීරයා ඔබම ගෙනියන්න”.
නලින් ද සිල්වා නම් ගණිතය පිළිබද ඇකඩමික් මහාචාර්යවරයා 80 වැඩ වර්ජන පාරාජයෙන් පසුව පක්ෂයට (party) පිටතින් සිටින සැබෑ,ජීනමාන, ඓන්ද්‍රීය මිනිසෙකු සෙවිය.ඔහු පමණක් නොව දේශපාලනය කළ-නොකළ බොහෝ දෙනෙක්ද මෙම සැගවුණ අමුත්තා සෙවීම පිණිස සංගීත පුටු තරගයකට සහභාගී විය. ජ.වි.පෙ සහ එල්.ටී.ටී.ඊ යද සහභාගි විය. අවසානයේ පුටුවේ වාඩි වූයේ මහින්ද රාජපක්ෂය. ඔහු වසර 2500ක අඛණ්ඩ ඉතිහාසයක නිර්මාණයක් නොව බන්දුල පද්මකුමාරලාගේ, සුනිල් මාධවලාගේ, ගාමිණි සුමනසේකරලාගේ,විමල් වීරවංශලාගේ නිර්මාණයක් බව වටහා ගන්නා විට සංගීතයත්, පුටුවත් දෙකම අතුරුදන් වී ඇත. ලැම්බෝගිණි බදාගත් නාමල්ලා සහ B.M.W, බදාගත් සජින්වාස්ලා සැබෑ මිනිසුන් ලෙස සම්මුඛ වී ඇත. උකුණන්ගෙන් ගල් ඇද්දවිය නොහැකි බව දැන් අප නොව නලින් ද සිල්වා දනියි.
දැන් නැවත ශිරාල් ලක්තිලක මහතා උත්සහ කරන්නේ පටු,යාන්ත්‍රික,විදග්ධ, කල්ලිවාදී රනිල්ට එරෙහිව සැබෑ,ජීවමාන,ස්වභාවික, කුඹුරේ මඩ සුවද හදුනන,ගොයම් කරල් අතරින් මතුවන,තාත්වික මිනිසෙකු සොයා ගන්නටය. මෙය ෆැන්ටසියක් බවට කිසිදු විවාදයක් නැත. මෙම ෆැන්ටසි භූමිකාව රගපාන්නට පසුගිය දශක තුන තුළ උත්සහ කළ අනන්තවත් අය නතර වූයේ කොළඹ කනත්තේය. විජේවීර යනු එම පාරේ ගමන් කළ ප්‍රසිද්ධම පුද්ගලයාය. නොදැන එම පාරේ ගමන් කළ ජනප්‍රිය පුද්ගලයා විජය කුමාරතුංගය. ඇකඩිමියාවට පිටතින් සිටින සැබෑ මිනිසා යනු සාමාන්‍ය මහජනතාවය. බොහෝ විට මෙම මූලික අදහස සියල්ලන්ටම අමතක වෙයි. “සැබෑ මිනිසා” සොයායාම අවසන් වන්නේ මහජනයාට ඔවුන් තුළින්ම ප්රකාශවන්නට ඉඩදීමෙනි. මෙම පාරේ ටික දුරක් අපද ඇතුළුව ගිය අය අනිත් සියළුදෙනාට අවසානයට හමු වූයේ “දේදුණු-කැළුම්” නොව ‘නෝමන් බේට්ස්’ සහ ‘මාරියන් ක්රෙන්ය’. මෙම ක්‍රියාවලියට බටහිර දී කියන්නේ ෆැසිස්ටිවාදය කියාය.