අති බහුතර දෙනා රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අවසන් නොවන විවාදයක පැටලී සිටින විට බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ මිය යාම දේශපාලනිකව අපට වඩා වැදගත් වන්නේ මන්ද? බ්‍රිතාන්‍යයේ දේශපාලන සැකසුම සකස් වී ඇත්තේ, රැජිණ හෝ රාජ්‍යයත්වය කේන්ද්‍ර කොටගෙනය. බ්‍රිතාන්‍යයේ ආර්ථික ක්‍රමය වූ ධනවාදය නිසා එහි සමාජ-ව්‍යුහය සහ පවුලේ අන්තර්ගතය ඛාදනය වී ඇති මුත් එහි සමාජ ආරක්ෂණ දැල වන්නේ, බ්‍රිතාන්‍ය කිරීටය යි. බ්‍රිතාන්‍යයේ බල පිරමීඩය සකස් වී ඇත්තේ, සාමිවරුන්, මහජන මන්ත්‍රීවරු සහ ජනමාධ්‍ය වලිනි. අධිකරණය හුදු ආකෘතියක් පමණි. රාජකීයත්වය නිරූපණය වන්නේ, සම්ප්‍රදායෙනි. ධනවාදය නිසා බ්‍රිතාන්‍ය සමාජයේ අධිකාරීත්වය ‘අන්තර්ගතයක් නැති හුදු ආකෘතියක්’ බවට ඌනනය වී ඇත.

         ඇමරිකාවේ දී “සම්ප්‍රදාය” (Tradition) යන්න ආරක්ෂා වන්නේ, ව්‍යවස්ථාවෙනි. එහි ‘සම්ප්‍රදාය’ ව්‍යවස්ථාපිත එකකි. එහි බල පිරමීඩයේ ඊළඟ ව්‍යුහය වන ජනාධිපතිවරයා, සෙනෙට් සභාව සහ කොංග්‍රස් මණ්ඩලය යනු, ධනවාදය නිසා විඛාදනය වූ ආයතන පද්ධතිය යි. ඇමරිකාවෙදී, ‘සම්ප්‍රදාය’ අධිකරණ බලයක් කොට ඇත්තේ ඒ රටේ පදනම දැමූ පියවරුන් විසිනි.

           බ්‍රිතාන්‍යයේ රජ පවුලට වසර 1000 ක පමණ ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් ඇත. මෙම රජ පවුලේ චාරිත්‍ර-වාරිත්‍ර වලට ද, අලිඛිත නීතිවලට ද වසර 500 ක පමණ ඉතිහාසයක් ඇත. ‘දෙරණ’ නාලිකාවේ ‘සංඛ’ ඇතුළුව මානව-විද්‍යා පාදඩයෙකු, බ්‍රිතාන්‍ය ජාතික නරුමයෙකු වූ නන්දන වීරරත්න වැනි මැද පන්තිකයන් රජ පවුලට ඊර්ෂ්‍යයා කරයි. බුර්ෂුවා පවුලේ පියා යනු, ‘වර්තමානය’ අදහමින් අතීතය සහ අනාගතය නිශේධනය කරන්නෙකි. බුර්ෂුවා පන්ති සාමාජිකයා යනු, රජ පවුලේ ආධිපත්‍යයට ප්‍රංශ විප්ලවයට පෙර යටත් වූ සාමාන්‍ය වැසියා (Commoner) ය. ඔවුහු සෑම විටම තමන්ගේ ලැජ්ජා සහගත අතීතය අමතක කරන්නට උත්සාහ දරති. රාජකීය බලය සහ පල්ලියේ බලය බුර්ෂුවා පන්ති සාමාජිකයාට අපුලය. මන්ද, තමන්ගේ පාලන-තන්ත්‍රය වාණිජවාදය මත ස්ථාපිත එකක් මිස පිතෘ සාධකය මත පිහිට වූ එකක් නොවන නිසා ය. පාලන බලයක් තුළ ‘පීතෘ සාධකය’ නිශේධනය කිරීම නිදහසට පමණක් අදාළ කරුණක් නොවන අතර එය විප්ලවකාරී ද වෙයි.

            ‘ව්‍යවස්ථාපිත නීතිය’ සහ විනිශ්චකරුවාගේ බලය උත්පාද වන්නේ, රජතුමාගේ හිස කඳෙන් වෙන් කිරීම සහ ප්‍රංශ විප්ලවයට පසුව ය. ගැටලුව වන්නේ, බුර්ෂුවා විප්ලවයට පසුව ඉතිහාසයේ අවසානය සටහන් වීමයි. එපමණක් නොව, එමගින් නීයට්ෂේ දාර්ශනික අදහසක් ලෙස පළ කළ ‘අවසාන මිනිසා’ (Last Man) ද බිහි වෙයි. අවසාන මිනිසා යනු, දෙන ලද තත්වය භාර ගෙන ඔහේ ජීවත් වන මිනිසා ය. ඔහු/ ඇය හේගලියානු අර්ථයෙන් ඉන්ද්‍රියයන් පමණක් ආධ්‍යාත්මික කරණය කළ තිරිසනෙකි.[post-historical animal-man] එවැනි අය දැඩි අවධානයක් යොමු කරන්නේ, ආහාර වලට සහ ලිංගිකත්වයට ය.

          බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය සහ පවුල් ආරක්ෂා කරන්නේ, බ්‍රිතාන්‍යයේ මහජනතාව විසින්ම ය. ඊට අදාළ සුවිශේෂී ඓතිහාසික හේතු පවතින සේම, ඊට බලපාන පාරභෞතික හේතූන් ද ඇත.

          සද්භාවය නැතහොත් සත්තාව හදාරන විෂයට දාර්ශනික සිතීම තුළ කියන්නේ, සද්භාවවේදය නැතහොත් Ontology යනුවෙනි. මෙම සංකල්පීය අදහසට අදාළ අන්තර්ගතය වන්නේ, සැබෑ ලෝකයේ පැවැත්මක් නැති දෙයකට මිනිසුන් විසින් පැවැත්මක් තිබේ යැයි කියා සිතීමයි. උදාහරණයක් ලෙස, මකරුන් කටින් ගිනි දැල් පිට කරයි. ඇත්තටම, මකරුන් යනුවෙන් දෙයක් නැත. නමුත් චින්තනය තුළ මිනිසුන් විසින් මකරුන් යනුවෙන් සත්ත්ව කොට්ඨාසයක් සිටිනවා යැයි විශ්වාස කරන අතර, ඔවුන්ට පැවැත්මක් තිබෙනවා යැයි සිතයි. මා විසින් පාරභෞතිකය යන දර්ශනයේ එක කොටසකට පර්යාය පදයක් ලෙස ‘මනස්ගාත’ යොදන්නේ, මෙම සන්දර්භයනි. බ්‍රිතාන්‍යය රජ පවුල යනු ද සත්භවවේදයකට අයිති කලාපයකි. එසේ නම්, බ්‍රිතාන්‍ය මහජනයාට රැජින දේශපාලනිකව අවශ්‍ය වන්නේ මන්ද? මෙතැන දී, අප එක් දෙයක් අමතක කළ යුතු නැත. මාක්ස් ‘ප්‍රාග්ධනය’ කෘතිය ලීවේ, තම මව් රට වූ ජර්මනියේ දී හෝ බුර්ෂුවා දේශපාලනයේ අධිපති වූ ප්‍රංශයේ දී හෝ නොව ආර්ථික සමපේක්ෂණය දවසේ ජීවිතයේ දී යථාර්ථය වූ එංගලන්තයේදී ය. මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය බිඳ වැටෙන්නේ, ඔවුන් ආර්ථිකයේ දී සමපේක්ෂණය කරන භෞතික ලෝකය තම තමන්ගේ දෛනික ජීවිතය සමඟ අසම්පාත වන විටදී ය. ඒ අර්ථයෙන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බුර්ෂුවා අසංගතභාවයක පැටලී ඇති මොහොතක රැජින මිය යාම බ්‍රිතාන්‍ය ජනයාට අස්වැසිල්ලකි. රැජින ඔවුන්ගේ අධ්‍යාත්මය යි.

            අපි දැන් ලංකාවේ ගැටලුවට ප්‍රවිශ්ට වෙමු. ලංකාවේ ‘අර්බුදය’ අර්බුදයට (Crisis of crisis) යමින් පවතියි. මේ අර්බුදය කුමක්ද?

          ලංකාවේ අර්බුදයට ගොස් ඇත්තේ, ආධිපත්‍යය යි. යම්කිසි ජන සමාජයක ‘ආධිපත්‍යය’ අර්බුදයට ගිය විට දී ඉතුරු සියල්ල අර්බුදයට යයි. සමහරුන් මෙම අර්බුදය නායකත්වයේ අර්බුදය ලෙසින් ද හඳුනා ගනියි. ඇත්තටම ලංකාවේ අර්බුදයට ගොස් ඇත්තේ, ‘ආර්ථිකය’ නොව ‘ආධිපත්‍යය’ යි. ඉතාම සරලව කිවහොත්, මේ ඓතිහාසික මොහොතේ දී කිසිවෙකු තමන්ව වෙනත් කෙනෙකු පාලනය කරනවාට කැමති නැත. මෙම ආධිපත්‍යය පිළිබඳ ගැටලුව ආර්ථික අර්බුදයකට වඩා සංකීර්ණ එකකි.

Hanna.

          ‘ආධිපත්‍යය’ (Authority) පිළිබඳව දාර්ශනිකව ලියන ලද මූලික ලිපි දෙකක් ඇත. එකක්, ‘හැනා අරෙන්ඩ්’ විසින් ලියා ඇති “ආධිපත්‍යය යනු කුමක්ද?” ලිපිය යි.[What is Authority? Hannah Arendt.]

අනෙක, හර්බට් මාකූස විසින් ලියන ලද “ආධිපත්‍යය පිළිබඳ අධ්‍යයන” යන පොත යි. මෙම කෘති මඟින් සාකච්ඡා වන්නේ, ආධිපත්‍යය මගින් ප්‍රකාශයට පත්වන මර්දනය, පීතෘ මූලිකත්වය සහ සාම්ප්‍රදායික අදහස් ය.

          ආධිපත්‍යය යන්න අරෙන්ඩ් සහ මාකූස ඉදිරිපත් කරන්නේ, සමාජ-විද්‍යාත්මක වශයෙන් නිශේධනාත්මක ප්‍රපංචයක් ලෙසිනි. නමුත්, ”ඇලෙක්සැන්ඩර් කොජෙව්” විසින් ආධිපත්‍යය ගැන ඉදිරිපත් කරන්නේ ධනාත්මක අදහසකි. එය කලින් කී දෙදෙනාගේ අදහස් වලට වෙනස්ව දාර්ශනික එකකි. ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිත ආධිපත්‍යයක්ව පැවති නිසා අපට ආධිපත්‍යය ගැන ඇත්තේ නිශේධනාත්මක සහ සුදු ජාතියට එරෙහි වාර්ගික අදහසකි. බ්‍රිතාන්‍යයෙන් මිදී වසර 75 ක් පමණ ගත වීත්, අපට ආධිපත්‍යය ගැන ධනාත්මක අදහසක් තනා ගැනීමට තවමත් නොහැකි ය. ‘ආධිපත්‍යය’ ගැන අපට ඇත්තේ, අතාර්කික වාම අදහසක් පමණි. ආධිපත්‍යයට ප්‍රතිවිරුද්ධ අදහසක් ලෙස නිදහස යන්න ලංකාවේ වහරයි. නමුත්, ආධිපත්‍යය ඓන්ද්‍රීය ලෙස නිදහස මවන තැනයි.

         අපි පළමුව හැනා අරෙන්ඩ්ගේ ආධිපත්‍යය පිළිබඳ නිශේධනාත්මක අදහස පිළිබඳව සලකා බලමු.

           ඇයට අනුව, ආධිපත්‍යයට නූතන සමාජයක පැවැත්මක් නැත. සම්ප්‍රදාය, ආගම, මිත්‍යාවන් අතුරුදහන් වන ලෝකයක ආධිපත්‍යය යනු, යල්පැන ගිය අදහසකි. සම්ප්‍රදාය නැති වී ඇති බැවින් නූතන ලෝකයේ මිනිසාගේ පැවැත්ම හිල් වී ඇත. ස්ථාවරත්වය, විශ්වාසය, නිශ්චිතභාවය වැනි විපාකයන් නූතන සමාජයක මූලික ලක්ෂණයන් ය. සම්ප්‍රදායෙන් රැඩිකල් ලෙස බිඳී නැති සමාජයක මිනිසුන් නූතන සමාජ සබඳතා ඉදිරිපිට තිගැස්සෙන අතර පුරා-ආධිපත්‍යයන්ට අත වනයි. එබැවින්, අරෙන්ඩ් අසන්නේ ආධිපත්‍යය යනු කුමක්ද යන්න කියා නොව ආධිපත්‍යය පැවතියේ කෙසේද යන්න කියා ය. ඇය මෙම ගැටලුව ග්‍රීක යුගය දක්වා පසුපසට තල්ලු කරයි. ආධිපත්‍යයේ පැරණි ආකෘතිය වන්නේ, කැමැත්තෙන් පිළිගැනීමයි. උදාහරණයක් ලෙස, දෙමාපියන්ගේ ආධිපත්‍යය සැලකිය හැකිය. දේශපාලන ලෝකයේ දී, ආධිපත්‍යයට එරෙහිව හඬ නඟන බහුතරයක් දෙනා දෙමාපිය ආධිපත්‍යය තර්කයකින් තොරව පිළිගනියි. ලිබරල්වාදය ආධිපත්‍යය, අත්තනෝමතිකත්වය සහ සර්වාධිකාරය එක හා සමාන ලෙසින් සලකයි. නමුත් අරෙන්ඩ්ට අනුව, ආධිපත්‍යය නිදහසට සීමා පනවන අතර අත්තනෝමතිකත්වය පොදුජන නිදහස අත්හිටුවයි. සර්වාධිකාරයන් ඇයට අනුව, නිදහස මකා දමයි. ප්ලේටෝ වැනි දාර්ශනිකයෙකු ‘දාර්ශනික සත්‍යය’ යන සංකල්පය මඟින් ඒත්තු ගැන්වීම ආදේශ කරයි. නමුත්, සොක්‍රටීස්ගේ මරණයෙන් පසුව මහජනයාට ඒත්තු ගැන්වීම සහ තාර්කික සංවාද මඟින් නිවැරදි තීන්දු ගන්නවා යන විශ්වාසයෙන් ඔහු මිදෙන ලදී.

         ඇරිස්ටෝටල්ට අනුව, ආධිපත්‍යයට පිළිතුර වන්නේ, යටත් වීම හෝ ඒත්තු ගැන්වීම හෝ නොව අධ්‍යාපනය යි.[Education] සම්ප්‍රදාය සමඟ තදින් ගැට ගැසී ඇති, අධ්‍යාපනය විසින් ආධිපත්‍යය විචාරය කිරීමේ ගුණය මිනිසාට ලබා දෙයි. ‘හැනා අරෙන්ඩ්’ සකච්ඡා කරන්නේ, සාම්ප්‍රදායික ආධිපත්‍යයන් බිඳ වැටුණු සමාජයක අපි දේශපාලනය කරන්නේ කෙසේ ද යන ගැටලුවයි. මන්ද, එවන් සමාජයක අපාය යන අදහස ද අතාර්කික ප්‍රබන්ධයක් වන නිසා ය.

         නූතන ලෝකය තුළ අප සම්ප්‍රදාය, ආගම, අධ්‍යාපනය යන අතීත ලෝකයෙන් මිදෙන විට දී දේශපාලන ආධිපත්‍යය සංකල්පගත කරන්නේ කෙසේද? අරෙන්ඩ්ට අනුව, එය කළ හැක්කේ නිරන්තර මහජන සංවාදයෙනි. දූෂණයට ලක් වූ නූතන ලිබරල් රෙජීමයන්ගේ ආධිපත්‍යයන් විසංයෝජනය කළ හැක්කේ, ප්‍රංශ විප්ලවය මෙන් හිංසනීය විප්ලවයකින් නොව අවිහිංසාවාදී හර පද්ධතියක් ආදේශ කිරීමෙනි. ඒ සඳහා නිදර්ශනයක් ලෙස, අරෙන්ඩ් සලකන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයට පසුව ඇමරිකානු දේශපාලන අත්තිවාරම සංකල්පගත කළ පියවරුන්ගේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙනි. එනම්, ආධිපත්‍යය ‘අධිකරණය’ වෙත මාරු කිරීමෙනි. එය, ව්‍යවස්ථාව මඟින් තහවුරු කරන නිදහසකි. අරෙන්ඩ් උත්සාහ දරන්නේ, විප්ලවයකින් තොරව ‘ආධිපත්‍යය’ ස්ථාපනය කරන ආකාරය පහදා දීමට ය.

Kojeve

          නමුත්, ඇලෙක්සැන්ඩර් කොජෙව් නම් රුසියානු දාර්ශනිකයා විසින් ආධිපත්‍යය ගැන දාර්ශනික අදහස් පද්ධතියක් යෝජනා කරයි. කොජෙව් විසින් ආධිපත්‍යය ගැන ඉදිරිපත් කරන්නේ, හේගල්ගේ දර්ශනය මත පදනම් වූ ධනාත්මක නැතහොත් සමපේක්ෂණ අදහසකි. ඔහු හැනා අරෙන්ඩ්ට වෙනස්ව ආධිපත්‍යය යන්න නිර්වචනය කරයි. කොජෙව්ට අනුව, ආධිපත්‍යයක් යනු ප්‍රතිචාර නො දක්වා තහවුරු කරන පිළිවෙතකි. ආධිපත්‍යයක් වන්නේ, එයට අනෙකා ප්‍රතික්‍රියා නොකරන තතු යටතේය. එහි දී වඩා වැදගත් වන්නේ, එසේ ප්‍රතික්‍රියා කිරීමට අනෙකාට හැකියාව තිබියදීත් එසේ නොකරන තත්වය යි. ඒ අනුව, සැබෑ ආධිපත්‍යයට විරුද්ධත්වයක් හට ගන්නේ නැත.

         කොජෙව්ගේ විග්‍රහයට අනුව ආධිපත්‍යය ප්‍රවර්ග හතරකට බෙදිය හැකි ය. ඒවා නම් පියාගේ ආධිපත්‍යය, මාස්ටර්වරයාගේ ආධිපත්‍යය, නායකයාගේ ආධිපත්‍යය සහ විනිශ්චයකරුවෙකුගේ ආධිපත්‍යය. මේ එක එක ආධිපත්‍යයන්ට ඒවාටම ආවේණික පාරභෞතික තලයක් ඇත. ලැකාන්ගේ කතිකා විශ්ලේෂණය පවා සම්භව වන්නේ, කොජෙව්ගේ ආධිපත්‍යය පිළිබඳ සංකල්පගත කිරීම් මතින් ය.

[1.] ආධිපත්‍යයන්ගේ පළමු ආකෘතිය වන්නේ, දිව්‍යමය ආධිපත්‍යය යි. මෙම ආධිපත්‍ය මධ්‍යතන යුගයේ දී උත්පාද වී ‘ශාන්ත තෝමස් ඇක්වයිනාස්’ සිට ‘ශාන්ත පෝල්’ දක්වා විකරණය වී ඇත. මෙහිදී සාකච්ඡා වන්නේ, පුද්ගලයා මත ක්‍රියාත්මක වන දෙවියන්ගේ පාලනය යි. එය පියෙකුගේ ආධිපත්‍යය දරුවෙකුට බලපාන අයුරින් සමක ය. මින් අදහස් වන්නේ, පියාගේ ආධිපත්‍යයට දේවධාර්මික සන්දර්භයක් ඇති බවයි. දෙවියන් මිය යාම සමඟ මෙය ලෞකික පීතෘ බලයකට හුවමාරු වෙයි. රාජ්‍යත්වය මෙහි සංකේතය යි.

[2.] දෙවැන්න, මාස්ටර්වරයාගේ ආධිපත්‍යය යි. මෙය අර්ථකතනය වන්නේ, හේගල්ගේ ‘ස්වාමි-සේවක’ දයලෙක්තිකය හරහා ය. ආධිපත්‍යය ගැන වඩාත්ම දියුණු සංකල්පගත කිරීම කර ඇත්තේ, හේගල් ය. මෙහි දුර්වලතාවය වන්නේ, මෙම වහල්-ස්වාමි සම්බන්ධය අනෙකුත් සියලු ආධිපත්‍යයන් වල ප්‍රමිතිය [Norm] ලෙස හේගල් සැළකීමයි. එම නිසා, ස්වාමි-සේවක සම්බන්ධය විසින් පියා සහ නායකත්වය ගැන සුවිශේෂී න්‍යායක් නිම වන්නේ නැත. වහල්-සේවක සම්බන්ධයේ දී වඩා වැදගත් ප්‍රපංචය වන්නේ, ජීවිතය අවදානමට හෙලීමයි. එහිදී, මරණය සහ සමාජ පිළිගැනීම අතර දයලෙක්තිකයක් හට ගනියි. ඉන් අදහස් වන්නේ, මෙම ගැටුමේ දී ජීවිතයට වඩා මරණය අදාළ වීමයි.

(3)   තුන්වැන්න වන්නේ, නායකයාගේ ආධිපත්‍යය යි. එය, වහල්-ස්වාමි සම්බන්ධයක් නොවේ. එය දිශාණත වී ඇත්තේ, අනාගතය අරමුණු කොටගත් ව්‍යාපෘතියකට හෝ පුද්ගලයෙකුගේ අදහසකට ය. නායකයා යනු, මේ අදහස ප්‍රවර්ධනය කරන්නා ය. මෙම නායකයාට බලය එන්නේ, මැතිවරණ ක්‍රියාවලියක් මගිනි. මෙහිදී, ආධිපත්‍යය යනු, මැතිවරණය හරහා තෝරා ගැනීම නොව එයට ඉදිරිපත් වීමේ බලය යි. ආධිපත්‍යය යනු, බාහිර ලෝකයේ සංඥා වලට සහ සමාජ පිළිගැනීමට අදාළ ප්‍රපංචයක් නොවේ.

 

(4)    හතරවැන්න වන්නේ, විනිශ්චයකරුවාගේ ආධිපත්‍යය යි. මෙය, ප්ලේටෝගේ සාධාරණත්වය පිළිබඳ න්‍යායට අනුකූල ය. බොහෝ දෙනා ආධිපත්‍යය යන්න ‘රාජ්‍යය’ සමඟ පටලවාගෙන වටහා ගැනීමට උත්සාහ දරති. ඉන් අදහස් වන්නේ, රාජ්‍යය යනු, ජීන්-ජාක් රූසෝ ඉදිරිපත් කරන තාලයේ සමාජ ගිවිසුමක් නොවන බවයි. සමාජ ගිවිසුම් වාදය පදනම් වන්නේ, ආධිපත්‍යය මත නොව ගනුදෙනු සබඳතා නොහොත් ආර්ථිකය සමඟය. ආධිපත්‍යය යනු, රාජ්‍යයෙන් පාරභෞතික වුවමනාවන් ඉෂ්ට කර ගැනීමට යාමේ දී හමුවන බලයකි. සිංහල මිනිසාට මහින්ද රාජපක්ෂ හමු වන්නේ, මෙම මංසන්ධියේ දී ය. දැන්, අපට ලංකාවේ අර්බුදයේ අර්බුදය වටහා ගැනීමට අදාළ ඥාණ-විභාගයක් නිමවා ගත හැකිය.

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here