මගේ ආදරණීය යක්ෂණී – මංජුල වෙඩිවර්ධන
මගේ ආදරණීය යක්ෂණී නවකතාවට එරෙහිව නැඟුන මුල්ම චෝදනාව වූයේ එය කිසිවකුට නොතේරෙන කෘතියක් බවය. කතුවරයා ප්‍රංශයේ වසන්නකු වුවත් එය ලියැවී තිබුණේ සිංහලෙනි. ගුණදාස අමරසේකර මහතාට එය තේරී තිබිණි. පොත් ප්‍රකාශකයින් වූ දයාවංශ ජයකොඩි සහ ගෙවිඳු කුමාරතුංග යන මහතුන්ට එය තේරී තිබිණි. සේන තෝරදෙනිය නමැත්තාට ද එය අපභ්රංසයක් නොවීය. එසේ නම් එය නොතේරෙන නවකතාවකැයි යන කෙප්පය අවලංගුවී ඇත.
මෙතනදී අපූරු දෙයක් සිදුවේ. නවකතාවක් කියවා වටහාගැනීම සහ වටහා නොගැනීම අතර පරතරයක් දැන් නිර්මාණය වී ඇත. අප මෙම නවකතාව කියවන්නේ එම පරතරය තුළයි. මේ දෙපිරිසම කරන්නේ නවකතාව ප්‍රතික්ෂේප කිරීමය. පළමු කී පිරිස මෙය අපට නොතේරෙන නවකතාවකැයි ප්‍රතික්ෂේප කිරීම සහ දෙවැනි කණ්ඩායම මේ නම් ජාතිද්‍රෝහී නවකතාවකැයි හරහා පිටු දැකීම අතර වෙනසක් නැත. මේ කණ්ඩායම් දෙකම නවකතාව කියවති. එහෙත් යට කියවීම වූ කලී නොකියවීමකි. එසේත් නැත්නම් වරදවා කියවීමක් (misreading)
ඇත්ත. මගේ ආදරණීය යක්ෂණී වූ කලී කියවන්නියට ගෙදර වැඩ සපයන ඉවසිල්ලෙන් කියවිය යුතු නවකතාවකි. එහෙත් එය කෙසේවත් ජේම්ස් රොයිස්ගේ Ulysses Finnegans Wake කියවීම තරම් දුෂ්කර නැත. උම්බර්තෝ එකෝ ගේ Foucault’s Pendulum හෝ The Mysterious Flame of Queen Loana වැනි නවකතා අහලකටවත් යක්ෂණීට සමීප විය නොහැක. ආඛ්‍යානික ශෛලිය පැත්තෙන් මෙම නවකතාවේ ආරම්භය බොහෝ දුරට අජිත් තිලකසේන ගේ රාත්‍රියේ පූර්වභාගය කෙටිකතා පොතට සමානකමක් දක්වයි. (මා රාත්‍රියේ පූර්ව භාගය මුල්වරට කියෙව්වේ ගැටවර පාඨකයකු ලෙසය. දැන් මම හැට පැන්න විශ්‍රාමිකයෙක්මි. කෙටියෙන් කිවහොත් මෙම නවකතාව සඳහා කියවීම පුහුණු කළ පාඨකයකු ඉල්ලා සිටී.
මෙම නවකතාව වූ කලී ඉතිහාසය නැවත ලිවීමකි. උම්බර්තෝ එකෝ එය හඳුන්වන්නේ ඉතිහාසයට නැවත පිවිසීමක් (Re-visit) වශයෙනි. හැබැයි අපගේ නවකතාකරුවාගේ එම ඉතිහාසය කියවීම එක්තරා විදියකින් පශ්චාත් නූතන කියවීමකි. එය කිසිසේත් නූතන වාදී පෙරටුගාමී (avent – garde) කියවීමක් නොවේ. පෙරටුගාමීන්ගේ (නැත්නම් නූතනවාදී ලේඛකයින්ගේ) කියවීම තුළ ඉතිහාසය අවලංගු වී යයි. ඉතිහාසයට වටිනාකමක් නොසපයයි. එහෙත් පශ්චාත් නූතන වාදය නූතනවාදීන්ගේ එම ඉතිහාස විරෝධයට දෙන පිළිතුර නම් අතීතය යනු විනාශ කළ යුතු දෙයක් හෝ නිහඬ කළ යුතු දෙයක් නොව යළි සොයා ගත යුතු වූ කිසිවක් ලෙස ගැනීමයි.
එහෙත් ඔවුන් එම ඉතිහාසය කියවීම කරන්නේ බයාදු (innocent) ලෙස නොවේ. ඔවුන්ගේ කියවීම හැමවිටම උත්ප්‍රාසනීය (ironical) වේ. එකෝ ඔහුගේ Reflections on the Name of the Rose කෘතියේ උත්ප්රාසය (irony) හඳුන්වන්නේ පාර භාෂාමය (Meta Lingustic) ක්‍රීඩාවක් ලෙසය. එය පෙරටුගාමීන් ද අනුදත් කියවීමකි. එහෙත් කල කෘතියේ පාර භාෂාමය අර්ථ කියවා ගත නොහුන සහෘදයා (නූතනවාදය තුළ) කළේ එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමය. එහෙත් පශ්චාත් – නූතනය තුළ කෙනෙකුට එබඳු උත්ප්‍රාසනීය කතිකාවත් තේරුම් නොගෙන වුවත් බරපතළ ලෙස බාර ගැනීමට පිළිවන. මගේ ආදරණීය යක්ෂණී ජාති ද්‍රෝහී නවකතාවකැයි හංවඩු ගසන්නන් කරන්නේ එයයි. ඔවුහු එකල අජිත් තිලකසේනගේ නවකතා ප්‍රතික්ෂේප කළ අයුරින් නොව එහි බරපතළ බව (Seriousness) සලකුණු කරමින් එය ප්‍රතික්ෂේප කරති.
මෙම නවකතාව කියවීම තුළ අපට නවකතාකරුවකු බවට රූපාන්තරණය වූ කියවන්නකු හමුවේ. එය හරියට අල්තුෂර් ඔහුගේ Reading Capital ලියමින් මාක්ස් තුළ වූ අපූර්ව කියවන්නා සොයාගැනීම මෙනි. එතනදී නවකතාකරුවා මහානාම හිමියන් ලියූ ඉතිහාසය කියවන්නේ බයාදු (innocent) ලෙස නොවේ. එය මාක්ස් රිකාඩෝ සහ ස්මිත් කියවූ ශෛලියේ විතැන්වීමකි. එම කියවීම සඳහා අවුරුදු 900ක ඉතිහාසයක් ලිවීමට මහානාම හිමියන්ට තිබූ අයිතියට නොදෙවෙනි අයිතියක් ඔහුට ඇත. මෙම අයිතිය නවකතාකරුවා තමා පිට පවරා ගත්තේ මෙලෙස ලියමිනි.
“උන්වහන්සේ මහා වනයක් මැද්දෙ අශෝක මල් මවල… ඒකට අශෝක වනය කියල නමකුත් මවල… ඒක මැද්දෙ මාලා කියල නිර්වස්ත්‍ර සුරංගනාවකුත් මවල… ඇයට කැරලි කැරලි කොණ්ඩයකුත් මවල… ඒ කොණ්ඩෙට අශෝක මල් මාලයකුත් මවල… අතුරුදහන් කරවපු සාලියවත් ඒ කෙල්ල ඉස්සරහ මවල… ඔන්න ඔය විදිහට මවාගෙන මවාගෙන ගිහිල්ල… ඔන්න ඉතිහාසෙ. ඔන්න ඔයාකාරෙට ප්‍රේමයට පුළුවන් ඕනම ඛේදවාචකයක් වහගෙන ඉහළ මතුවෙන්න. ඕකට ඉතිහාසෙ නොවෙයි සාහිත්‍යය කියල නම් කියන්න පුළුවන්.”
-පිටුව 290
මෙම ලිවීම වූ කලී ඉතිහාසය උත්ප්රාසය
නම් වූ පාර භාෂාමය ක්‍රීඩාව තුළට කැඳවීමකි. නවකතාව තුළ මෙය කියන වේගා නම් වූ කථකයා සහ ඔහුගේ පෙම්වතිය අතර මේ පිළිබඳ මතුවන සංවාදය මෙයයි.
“ඔයා කොහොමද මේ දේවල් ඔහොම ටක්කෙටම කියන්නෙ”
“ඔන්න ඕකනෙ අපි කිව්වොත් ප්‍රබන්ධ , මහා වංශක්කාර මහානාම හාමුදුරුවො කිව්වොත් කිරිගහට ඇන්න වගේ. ඕකනෙ කිසිදෙයක් කියන්න බැරි.
මේ ලිවීම ඉතිහාසය යනු කුමක්දැයි අපෙන් ප්‍රශ්න කරයි. එහෙත් මට පිළිතුරු ලැබෙන්නේ ඉතිහාස කාරයකුගෙන් නොව මනෝ විශ්ලේෂකයකුගෙනි. ෆ්‍රොයිඩ් ලියනාඩෝ ඩාවින්සි පිළිබඳ ලියූ චරිතාපදානයේ මෙසේ ලියයි. (මෙය උපුටා ගැනෙන්නේ මවිසින් පරිවර්තනය කළ ‘ෆැන්ටසි මිනිසා’ ග්රන්ථයෙනි.)
“ජාතියක් දුර්වල නම් සහ කුඩා නම් එහි ඉතිහාසය ලියන්න කල්පනා කරන්නේ නැහැ. මිනිසුන් තමන්ගේ භූමිය සරු කරනවා. තමන්ගේ පැවැත්ම සඳහා අසල්වැසියන් සමඟ සටන් වදිනවා ඔවුන්ගේ භූමිය අල්ලාගෙන ධන සම්පත් උපයා ගන්නවා. ඒ වූ කලී වීරයින්ගේ යුගය මිසක ඉතිහාසකරුවන්ගේ යුගය නොවේ. අනතුරුව වෙනත් යුගයක් උදාවෙනවා. ඒ අවලෝකන යුගයයි. මිනිසුන්ට තමන් බලවත් බවත් ධනවත් බවත් දැනෙනවා. දැන් තමයි ඔවුන්ට ඕන වෙන්නේ තමන් ආවෙ කොහේ සිටද? තමන් වර්ධනය වුණේ කොහොමද? කියල දැනගන්නට. වර්තමානය ගැන වාර්තා නිරන්තරව තැබීමට පටන්ගත් ඉතිහාස ලිවීම දැන් අතීතය දෙසවත් ආපසු බැල්මක් හෙළනවා. සම්ප්‍රදායන් සහ ජනකතා එකතු කර චාරිත්‍ර සහ ව්යවහාරයෙත් තුළ රැකී තිබෙන පුරාතන යුගයේ සලකුණු නිර්වචනය කරනවා. අතීතය පිළිබඳ ඉතිහාසයක් නිර්මාණය වන්නේ ඒ විදිහටයි.
-ෆැන්ටසි මිනිසා – ලියනාඩෝ ඩාවින්සි
ෆ්‍රොයිඩියානු කියවීමක්
ඉතිහාසය පිළිබඳ ෆ්‍රොයිඩියානු කියවීම වන්නේ එය හැම විටම ප්‍රබන්ධයක් වන බවයි. මංජුල වෙඩිවර්ධන කරන්නේ එම ප්‍රබන්ධය මත තමාගේම වූ ප්‍රබන්ධයක් ගොඩනැඟීමය. අප විමසිය යුත්තේ එම ප්‍රබන්ධය තුළ වර්තමානය කවර තරමින් ප්රක්ෂේපණය වන්නේ ද යන්නයි.
මෙම ප්‍රබන්ධයේ සන්දර්භය පිටුවහල්බව විසින් නිර්මාණය කරන ඔහුගේ ජීවිතයේ හිස් බවයි. එය අපට නම් කළ හැක්කේ සංස්කෘතික ක්ෂතියක් (Cultural trauma) ලෙසය. එරික් ඉලයප්පාරච්චි සුනාමිය විසින් සංකේතික ක්‍රියාකාරකම් (Symbolic activities = භාෂාමය සහ සංස්කෘතිකමය ක්‍රියාකාකරකම්) අත්හිටවනු ලැබූ ක්ෂතිමය සන්දර්භයක් (traumatic context) තුළ පාද යාත්‍රා ලිවීම මීට සමානය.
සමන් වික්‍රමාරච්චි