රිප්ලිගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සාකච්ඡා කරන විට, ඔහුට පුටුව, බංකුව,  මේසය වැනි බාහිර වස්තුවක් මිස අනෙකා යනු, හැඟීම්, දැනීම් සහ ඉතිහාසයක් ඇති පුද්ගලයකු ලෙස සංජානනය නොවේ. එබැවින්, රිප්ලිට අනෙකාව කියවීමට නොහැකි ය. අනෙකා තුළ ‘යමක්’ දකින්නේ නැත. සරලව කිවහොත්, රිප්ලි වැනි සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු තමන්ට බාහිරින් ආදර වස්තුවක් හෝ උත්කර්ෂවත් වස්තුවක් දකින්නේ නැත. රිප්ලිට අනෙකා තුළ ඇති අතිරික්තය කියවීමට නොහැකි ය. අප කෙනෙකුට ආදරය කරන විට, ඒ තැනැත්තා තුළ ඔහුට/ ඇයට වඩා කෙනෙක්ව අනුමාන හෝ සමපේක්ෂණය කරයි. අනෙකා තුළ ඇති මේ වඩා වැඩි දෙය, ලැකාන් වැනි මනෝ විශ්ලේෂකයෙකු හඳුනා ගන්නේ object A වශයෙනි. මෙම වස්තුව අනුභූතිය ඉක්මවා යන දෙයකි. අනෙක් පසින්, විඥාණය ද ඉක්මවා යයි.

                රිප්ලි වැනි සයිකෝටිකයන්, අනෙකා තුළ වෙනත් මිනිසුන් දකින ‘සාරය’ දකින්නේ නැත. ඔහුගේ ආශාව දල්වන හේතුවක් අනෙකා තුළ නැත. මෙම තත්වාරෝපිතය නිසා රිප්ලි අනෙකා දෙස බලන බැල්ම හිස් එකකි.

             ‘ජීන් පෝල් සාත්‍රේ’ නම් ප්‍රංශ සාංදෘෂ්ටික දාර්ශනිකයා , ‘අනෙකා’ කවුද යන්න පැහැදිලි කිරීම උදෙසා විචිත්‍ර උදාහරණයක් අපට සපයයි. ඔහු තමන්ගේ “Being and Nothingness” (සත්තාව සහ ආකිංචන්‍යය) නම් පොතෙහි පහත අදහස පළ කරයි.

                “කිසියම් නැරඹුම්කාමියෙක් කාමරයක දොරෙහි පවතින යතුරු සිදුරෙන් කාමරය තුළ සිදු වන ක්‍රියාව නරඹමින් සිටියි. මෙම තත්ත්වය නැරඹුම්කාමයකි. මේ නරඹන්නා හුදෙකලා පුද්ගලයෙකි. ඔහු නිදහසේ තමන් නරඹන දෙය නරඹමින් සිටියි. එක්වරම, ඔහුට තමන්ගේ පිටුපසින් අඩි ශබ්දයක් ඇසෙයි. එවිට, ඔහු ඒ දෙස හැරී බලයි. එවිට, ඔහු දෙස බලා සිටින වෙන කෙනෙක් ඔහු දකියි. ඔහුට ක්ෂණයකින් ලැජ්ජාවක් ඇති වෙයි.”

                 යතුරු සිදුරෙන් කාමරය තුළ සිදුවන දෙය නරඹමින් සිටින පුද්ගලයා සාත්‍රේට අනුව මම (I) ය. තමන් නරඹමින් සිටියදී ‘තමාව’ දුටු අනෙකා යනු, මා (Me) ය. මෙතැනදී, පුද්ගලයා ‘මම’ සහ ‘මා’ යනුවෙන් දෙකට පැලෙයි. නරඹමින් සිටින ‘විඥානය’ මම නම් ( අත්දැකීම විඳින කෙනා) මාව නරඹන පරාවර්තිත අනෙකා යනු ද මගේම විඥාණයේ ආවේදනයකි. ඒ ‘මා’ ය. ‘මා’ යනු ද මගේම විඥාණයකි.

                     සාත්‍රේගේ නැරඹුම්කාමය යනු, පුද්ගලයෙකු රහස් කවුළුවකින් අඳුරේ සිදු වන දෙයක් නැරඹීමයි. එය බාහිරින් සිටින අනෙකෙකු දුටු විට, නැරඹුම්කාමියා තදබල ලැජ්ජාවකට පත් වෙයි. ‘අයියෝ ඔහු/ ඇය මාව දැක්කා නේද? මම කපෝතියි.’ ලැජ්ජාව නම් ඵලය සාත්‍රේගේ නැරඹුම්කාමියාට එන්නේ පිටතිනි. සාත්‍රේ අනෙකා යනු, අපාය ලෙස හඳුන්වන්නේ මේ නිසාය. (Other is hell).

                   නමුත් ලැකාන්  විසින් සාත්‍රේගේ ඉහත දර්ශනයේ ඥාන-විභාගය, රැඩිකල් පරිවර්තනයකට ලක් කර එය නැරඹීම පිළිබඳ සද්භාවවේදයක් (Ontology) බවට පරිවර්තනය කරයි. ලැකාන්ට අනුව, මාව දුටු අනෙකාගේ සර සර ගාන අඩි ශබ්දය උත්පාද වන්නේ, අනෙකා තුලින් හෝ පිටතින් නොවේ. (මනෝවිශ්ලේෂණයට අනුව, අප සිහිනවලින් ඇහැරෙන්නේ බාහිර බාධාවක් එන නිසා නොව සිහිනය තුළම අත්විඳින ක්ෂතිය දරාගත නොහැකි නිසා ය.) මින් අදහස් වන්නේ, මම රහස් කවුළුවෙන් නැරඹු අශ්ලීල අන්තර්ගතයේ විනිශ්චයකරුවා යනු, බාහිර අනෙකෙක් නොවේ. ලැකාන් විසින් අර්ථකථනය කරන සාත්‍රේව අපට මෙසේ පැහැදිලි කළ හැකිය. එනම්, දාර්ශනිකයන් අතින් මඟහැරෙන ‘සැබෑව’ මනෝ විශ්ලේෂණය කියවයි. මම නම් පුද්ගලයා විසින් මාව දුටුවා යැයි සමපේක්ෂණය කරන ‘අනෙකා’ යනු, මගේම ස්ව නිර්මාණයකි (ෆැන්ටසියකි). ඒ වනාහි, මගේම ආත්ම-මූලිකත්වය යි (Subjectivity). බාහිර අනෙකෙක් මම නරඹමින් සිටී අසභ්‍ය දේ දුටුවා යැයි මා විසින් සමපේක්ෂණය කළ විට, ‘ලැජ්ජාවට පත් වූ පුද්ගලයෙකු’ –moral shame– මා තුළම බිහි වෙයි. මෙම ක්‍රියාකාරීත්වයට ලැකාන් කියන්නේ, දැක්ම (Gaze) කියා ය. ඉන් අදහස් වන්නේ, මගේ නැරඹීම තුළ ඇති පින්තූරය සර්ව සම්පූර්ණ එකක් නොව,එහි මට නොපෙනෙන ( හරියටම කිවහොත්, අවිඥාණක පැල්ලමක්) තැනක් පවතින බවයි. මේ නොපෙනෙන තැන ගැන සවිඥානක වන මම සිතන්නේ, ඒ වෙනත් කෙනෙක් –other-බවයි. නමුත් ඒ මම ම ය. මට පහර කෑමට අනෙකෙකුට මා විසින් කරන ආරාධනයක් ලෙස එය සැලකිය හැකිය. ‘දැක්ම’ යනු, මම දකින දෙයක් නොවේ. දැක්ම යනු, අනෙකා තුළින් පරිකල්පනය කරන මගේම දැක්මකි. මම ඉතාම ආසයි බාහිර වස්තු දෙස බලනවාට වඩා ඒ වස්තුව විසින් මාව නරඹනවාට. අපගේ ආත්මය රුචි කරන්නේ, දෘශ්‍ය ක්ෂේත්‍රය තුළ නරඹන්නට නොව ‘මම’ මාව ම දකින්නට ය. මට එය අන්ධ ය.

                 ‘සිනමාව’ පිළිබඳ මගේ කියවීම සහ මගේ ව්‍යාජ අනුකාරකයන් අතර වෙනස බිහි වී ඇත්තේ, ඉහත අන්ධ ස්ථානය නිසාය. ඔවුන් චිත්‍රපට නැරඹීමේ දී, බලන්නේ තමන් දෙස මිස සිනමාව දෙස නොවේ. ඒ නිසා, ‘දැක්ම’ පිළිබඳ අනුකාරක මතය වඩා සමීප වන්නේ සාත්‍රේගේ මතයට ය.

             රිප්ලි වැනි සයිකෝසිකයන්ට අනෙකා පිළිබඳව ‘හිස් තැන’ නම් ආකෘතියක් නැත. ඔවුන් අනෙකා පිළිබඳව සියල්ල දනියි. එහි කිසිදු අඩුවක් නැත. රිප්ලි වැනි චරිතවලට අනුභූතිය සමතික්‍රමණය කරන ක්‍රමවේදයක් නැත. ඔවුන් දකින දෙය සදහටම විශ්වාස කරති. ඔවුහු එක අතකින්, ඉන්ද්‍රිය ගෝචර ‍ප්‍රත්‍යක්ෂතාවයෙන් සෑහීමකට පත් වෙති. ‘දැක්ම’ ගැන සාත්‍රේ සහ ලැකාන් විසින් ඉදිරිපත් කරන අන්තර් පුද්ගල සබඳතාවය රිප්ලි වැනි චරිත නොකියවයි. මේ හේතුව නිසා, ඔවුහු තමන් කරන කිසිදු දෙයක් අනෙකෙකු දුටුවා කියා ලැජ්ජාවට පත් නොවෙති. ඩිකී නම් චරිතය ඝාතනය කළාට පසුව රිප්ලිට කිසිදු මනෝ විද්‍යාත්මක හානියක් සිදු වන්නේ නැත. ඒ සඳහා, කිසිදු වගකීමක් ඔහු භාර ගන්නේ නැත. ඉන්පසුව, ඔහුට හොඳින් නින්ද යන්නේ සැප පහසු ජීවිතයක් මෙම ඝාතනයට පසුව ඔහු වෙත පැමිණෙන නිසා ය. ධනවාදී ආර්ථිකයේ පරිවාර ආර්ථිකයන්හි සිටින රිප්ලිලාට ධනවාදය පහසු ජීවිතයක් උරුම කරයි. හොල්මන් වලට තම ප්‍රතිරූපය කැඩපත්වලින් පෙනෙන්නේ නැත. මන්ද යත්, ඔවුන්ගේ කැඩපත් රූපයට සිදුරක් නැති නිසාය.

                      ඔබගේ ද කැඩපත් ප්‍රතිබිම්භය මත හිලක් නැතිනම් ඔබට ඔබගේ අනෙකා වෙතට මිනිස් මාවතක් වැටී නැත. X කණ්ඩායම තමන් විනාශ කළා යැයි පාරම්බාන රිපලිලාට තමන් කළ දෙය ( තමන් විනාශ කළ මිනිස් දෙය) ගැන ලැජ්ජාවක්, දොම්නසක් හෝ පරාවර්තනයක් නැත. මැදිරිගිරියෙන් කොළඹ එන ගැමියෙක් ටෙලිකොම් සභාපතිගේ හිසට පොරෝ පහරක් දීම ගැන මවිතයට පත්විය යුතු නැත. එය වෙළඳ දැන්වීමකි.

                 අවසානයි-

-දීප්ති කුමාර ගුණරත්න-   

ඔබේ අදහස කියන්න...