අප විසින් පළ කරන ලද විවාදයට ප්‍රවේශයක් නම් ලිපියට නිර්මාල් විසින් පිළිතුරක් දී ඇත. එහිදී ඔහු නැවත නැවතත් පසන්නේ කෙනෙකුගේ අදහස් වලට ඇති ජීවමානමය මූලාශ්‍රය වන්නේ කටහඩ බවයි.(Voice) මෙයට ඩෙරීඩා කියන්නේ ශබ්ද කේන්ද්‍රීයවාදය කියාය. අපට අනුව නම් අපගේ සංවාදය දිගටම මෙහෙය වන්නේ ලිවීම හරහය. මන්ද යත් ලීවීම හරහ පාරභෞතික මැකී යන නිසාය. දීප්ති නිර්මාල් ගෙන් ඇසූ සංයුක්ත ප්‍රශ්ණයට පිළිතුරු  ඔහුගේ ලිපිය තුළ ගැබ්ව ඇත. අප මේ ජීවත් වන යුගයේ දේශපාලනය යනු අර්ථය (meaning)  මත රදා පවතින්නක් නොවේ. එය පදනම් වන්නේ අනෙකා විදිතැයි අනුමාන කරන විනෝදය එක්කෝ පැහැර ගැනෙයි.නැතහොත් තර්ජනයට ලක් වෙයි. මිනිසුන් අතින් පයින් ගහ මරා ගැනීමට පසුව ඇති වු ශාලාචාර ක්‍රියාව වන්නේ විචාරයයි. එබාවින් දීප්ති යනු කිසිදා චණ්ඩියෙකු නොවේ. ඔහු මේ යුගය ස්ත්‍රීකරණය කරන ස්ත්‍රියක්ද නොවේ. නිර්මාල්ම කියන පරිදි ඔහු පොන්නයෙකි.
අවසානයේ දී දීප්ති කුමාර ගුණරත්න මහතා ඒ මහතා විසින්ම යෝජිත (කල්‍යාට අනුව නම් කොහොමටත් කිසිදා සිදු නොවීමට කලින්ම නියමිතව තිබූ) විවාදය පිළිබඳව අපව කරකවා අතහරින ප‍්‍රකාශයක් කරනු ලැබ තිබේ. තමන්ගේ අනුගාමිකයින්ට Facebook ප‍්‍රජාව ඉදිරියේ ලැජ්ජාවෙන් ගැලවීමට පමණක් ඉවහල් වන බොරු දාර්ශනික හෑල්ල අතහැර දැමූවිට එහි ඇත්තේ මෙයයි.
 ”නිර්මාල් X සංවිධානයෙන් ඉවත් වූයේ සමාජ අරමුණක් වෙනුවෙන් නොව අවිඥානක ආශාවක් වෙනුවෙන් යැයි පිළිගත් දිනට මේ සංවාදය අවසන්ය…. සංවාදයට මයික්, මේස, පුටු අවශ්‍ය නැත. අවශ්‍ය ලිවීම පමණි. මන්ද යත් ලිවීම හරහා ලේඛකයා මිය යන බැවිනි.”
මේ නොකියා කියන්නේ විවාදයට එන්නේ නැති බවයි. ගුණරත්න මහතා චණ්ඩියෙකුසේ විවාදයට අභියෝග කරන විට ඔය දාර්ශනික කතා තිබුනේ නැත. ඒ මහතාට ඒ වෙලාවේ ‘ලේඛකයා මියයාම’ ගැන අමතක වී තිබූ හැඩයි. එහිදී ඒ මහතා අපට මතක්කර දුන්නේ ‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ පිළිබඳව නොව ජිජැක් වැනි අය සංවාද කරන හැටියි. (‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ ගැන ජිජැක් නොදන්නා හැඩයි) ඒ අවස්ථාවේ ඒ මහතා කීවේ මෙසේය.
 ”විශ්ව-විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව අප ඔහුට එරෙහිව යොදා ගන්නේ මඩ ප්‍රචාර පමණි. ඒවාට කිසිදු සත්‍යවාදී හෝ න්‍යායික පදනමක් නැත. අපට අනුව මිනිසාගේ සවිඥාණික ක්‍රියාවලියට යටිනේ අවිඥාණික විශ්වාසයන් පවතියි. මිනිසාගේ සදාචාර ක්‍රියාවන් සිදු වන්නේ හේතුව මත පදනම් වූ සවිඥාණිකත්වය තුළින් නොව අවිඥාණික අවස්ථාවාදී උපයෝගිතාවාදී විශ්වාසයන්ගෙනි.
තමන්ගේ තර්කය නිවැරදි බවට නිර්මාල්ට තර්ක කළ හැකි අතර එහි විලෝමය සත්‍ය බවට දීප්තිට තර්ක කළ හැක. මේ සදහා අප අභියෝග කරන්නේ ඒ සදහා ප්‍රසිද්ධ විවාදයක් කරමු යන්නය.
පහත පළ වන්නේ ඔස්ට්‍රේලියාවේ ශීලාචාර රූපවාහිනි නාලිකාවක බුද්ධිමතුන් කිහිප දෙනෙක් අතර වූ විවාදයකි. අපගේ පූර්වාදර්ශය එමගින් ලබාගත හැක. තැන, වේලාව, ස්ථානය නිර්මාල්ට තීරණය කළ හැක.”

 

ඉන්පසුව ඒ මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතා ෆේස්බුක් හරහා මට ප‍්‍රකාශ කලේ ඔවුන්ට සතියක් කල් අවශ්‍ය බවයි. මේ කල් අවශ්‍ය වූයේ ‘ලිවීමේ දී ලේඛකයා මිය යාම’ ගැන මතක් කරගැනීමට නොවිය යුතුය. කෙසේ වෙතත් මුල් අභියෝගය අනුව කටයුතු කිරීම මගේ තීරණයයි. ගුණරත්න මහතා මට අභියෝග කලේ වේලාව සහ ස්ථානය මට තීරණය කළ හැකි බවයි. ඒ අනුව මා තීරණය කළ දිනය වේලාව සහ ස්ථානය මෙසේය:
දිනය        : 2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා

 

වේලාව      :සවස 3.00 ට

 

ස්ථානය     :මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රය (CSR)
කෙසේ වෙතත් ගුණරත්න මහතා මේ විවාදයට නොපැමිනෙන බව ඒ මහතා පිළිබඳව ඒ මහතාටත් වඩා හොඳින් දන්නා මම දනිමි. ඒ මගේ අතීත අත්දැකීම් නිසාය. ඒම මහතා කිසි දිනෙක සියයට සියයක්ම තමන්ට පාලනය කළහැකි කොන්දේසි යටතේ විනා විවෘත මණ්ඩපයකදී ප‍්‍රතිවාදියෙකුට අභිමුඛ වන්නේ නැත. කෙසේ වෙතත් මගේ ප‍්‍රාර්ථනාව වන්නේ මා වැරදි වේවා යන්නයි. කෙසේ වෙතත් මගේ ඉහත විනිශ්චයට පාදක වූ ඇතැම් අතීත තොරතුරු මෙසේය
පශ්චාත් නූතනවාදය පිළිබඳව ගුණරත්න මහතා ලියූ දෙවල් ගැන අර්ජුන පරාක‍්‍රම විස්තරාත්මක විචාරයක් ICES සිදු කලේය. ඒ 1995 අගොස්තු 26 දිනය. ගුණරත්න මහතාට ඔහුගේ කිසිදු විවේචනයකට ප‍්‍රතිචාර සැපයීමට හැකිවූයේ නැත. ඒ වෙනුවට අර්ජුන ‘විගඩංකාරයින්ට දැනුම දෙනවා වැනි’ ගුණරත්න මහතා ගේ වචන වලින්ම කියනවා නම් ‘ගොන් කතාවක්’ පමණක් කීවේය.
මෙන්න ඒ සංවාදය;
දීප්ති:
ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිලි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.
අර්ජුන:
ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති.
දීප්ති:
ඔයා වැරදිලා වත් ඒ ගොල්ලන්ට විගඩම්කාරයෝ කියලා කිව්වොත් ඔයාගේ වේදිකාව ඉවරයි. අපේ වේදිකාව ඉවර කරලා තියෙන්නේ අන්න ඒ කට්ටිය. මෙතන ගොඩාක් චරිත ඉන්නවා. ඒ ගොල්ලෝ පශ්චාත් නූතනවාදය ගැන මෙලෝ දෙයක් කියවලත් නැහැ. දන්නෙත් නැහැ. ඔයාගේ දේවල් ටික අර ගෙන ගිහිල්ලා හෙට අනිද්දා වෙන කොට මොන මොනවා හරි කියන්න ගන්නවා. අන්න එතකොට තමා ඔයා මෙතන අද කරපු අදේශපාලනය දේශපාලනයක් වෙන්නේ.
අර්ජුන:
දීප්ති ප්‍රශ‍්න තුනක් තියෙනවා. එකක් තමයි මෙතනදි මම කියපු දෙයට උත්තරයක් නො සැපයීමට ඔයාට හේතුවක් දක්වන්න ඕනෙත් නැහැ. ඒක ඔයාගේ අයිතිය. හැබැයි මං හිතන‍ නේ හේතු දැක්වීමෙදීත් අපි පිළිගත හැකි, නොහැකි හේතු කියලා තියෙනවා. මම ඒ හේතුව පිළි ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක නිදහසට කරුණක් කියලා දීප්ති. මං එයාට කිව්වා. මං මේ දේශනය කරනවාය. මේක තුලදී ඔයාට එරෙහි වෙනවාය කියලා. මං හිතන්නේ ඒක ඉතා වැදගත්. ඒ එරෙහිවීම. ඒ එකක්. අනික, මේ ඉන්න කට්ටිය, මං අඳුරන කට්ටිය බොහොම කීප දෙනයි. ඒගොල්ලෝ එක එක දේවල් කියනවා. මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක තගක්නේ.
අර්ජුන පරාක‍්‍රමගේ දේශනය සඳහා මේ සබැඳියාවට යන්න
2.
ස්ත‍්‍රීවාදය පිළිබඳව ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් පිළිබඳව සංවාදයකට එන ලෙස ‘කාන්තාව හා මාධ්‍යය සාමුහිකය’ ගුණරත්න මහතාට ආරාධනා කලේය. ජිප්සීස් ගීතයක තියෙන ආකාරයට 15 ක පමණ පිරිවරක්ද රැගෙන ‘සිංහ රජෙක් විලස’ ගුණරත්න මහතා සංවාදයට ගියේය.
‘කාන්තාව හා මාධ්‍යය සාමුහිකය’ පැත්තෙන් සංකල්පීය කරුණු ඉදිරිපත් කරනු ලැබූවේ ෂර්මාල් විජේවර්ධන විසිනි. ඇයගේ කිසිදු තර්කයකට ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කිරීමට ගුණරත්න මහතාට නොහැකි විය. කීමට හැකිවූයේ ‘ඕවට අපිට උත්තර තියෙනවා’ යන්න පමණී. උත්තර මොනවාදැයි කීවේ නැත. ඒ උත්තර කිසිදාක දුන්නේත් නැත. මෙය සිදුවූයේ 2004 දී පමණ විය යුතුය.
3.
2002 දී පමණ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාව හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් වන පාලිත සිල්වා ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කලේය. ඊට පදනම් වූයේ පාලිත සිල්වා සහ ගුණරත්න මහතා අතර නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධව ඇතිවූ යම් යම් සිදුවීම්ය. ඒම ප‍්‍රහාරය අතිශයින්ම චණ්ඩි වාග් ප‍්‍රහාරයන් විය. මේ ප‍්‍රහාරයට පසු දිනෙක හැව්ලොක් පාරේ ප්‍රෙෂස් වීඩියෝ සාප්පුවේදී ගුණරත්න මහතාට පාලිත සිල්වා හමුවිය. ඒ අවස්ථාවේ මට මතක ලෙස ගුණරත්න මහතා සමඟ සිටියේ මමත් ඒ මහතාගේ බිරිඳ අනූෂාත් ය. ගුණරත්න මහතා පාලිත සිල්වා මගහැර යාමට උත්සාහ කලත් පාලිත ඊට ඉඩ දුන්නේ නැත. කවුන්ටරය අසලට පැමිණ පාලිත ‘දීප්ති මට උඹව හම්බවෙන්න  ඕනෙ. යන්න එපා‘ කීවේය. එහෙත් ගුණරත්න මහතාට පාලිත මග හැර යාමට අවශ්‍ය විය. නමුත් අප පසුපස හඹා ආ පාලිත සාප්පුවෙන් පිටතදී ගුණරත්න මහතාව අල්ලා ගත්තේය. ගුණරත්න මහතාගේ වචන වලින්ම කියනවා නම් ඔහු එහිදී කලේ පාලිත ඉදිරියේ හොඳටම ‘ඇඹරීමයි’. පාලිත මුලික වශයෙන්ම කලේ ගුණරත්න මහතා ලන්ඩන් සඟරාවේ බොරුකීවේ මන්දැයි විමසීමය. ගුණරත්න මහතාට කට උත්තර නැතිවිය. ගුණරත්න මහතාය හැකිවූයේ බහ් … බහ් … ගෑමට පමණි. අවසානයේ පාලිත සිල්වා, ගුණරත්න මහතාට පිටට තට්ටුවකුත් දමා අනූෂාටත් යන්නං කියා යන්නට ගියේය.
මා ගාමිණි සමරනායක විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති වූ අවස්ථාවේ මෙන් කක්කුස්සියට ගිහින් තනියම හිනා වුනේ ගුණරත්න මහතා ගෙදර පැමිණ අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කල දේ ඇසීමත් සමගයි.
 ගුණරත්න මහතා අනිල් චන්ද්‍රසිරි මහතාට ප‍්‍රකාශ කලේ‘තමන්ට පාලිත සිල්වා මුණ ගැසුණු බවත් තමා ඉදිරියේ ඔහු ඇඹරුණු බවත්ය. ගුණරත්න මහතා සම්බන්ධයෙන් මට විචාරාත්මක ඇසක් තිබෙන බවක් ඒ මහතා දැන සිටියේ නැත. ඒ මහතාගේ තද විශ්වාසය වූයේ මං බබෙක් කියාය. පාලිත ඉදිරියේ තමා ඇඹරුණු හැටි මා දුටු බව ඔහුට තේරුණේ නැත.
4.
නලින් ද සිල්වා ගුණරත්න මහතාට විවාදයක් සඳහා අභියෝග කළේය. උත්ප‍්‍රාසජනක ලෙස ගුණරත්න මහතා විවාදය සංවිධානය සඳහා ඒ මහතාගේ නියෝජිතයා ලෙස මා පත් කලේය. හැබැයි කොන්දේසියක් සහිතවයි. එනම් විවාදයට අපේ පැත්තෙන් ගුණරත්න මහතා සමඟ මා ද පැමිණිය යුතුය. නමුත් නලින් ද සිල්වා ගේ පාර්ශවයෙන් පැමිණි නෙම්සිරි ජයතිලක මහතා ඒ කොන්දේසියට එකඟ වූයේ නැත. ඒ අවස්ථාවේ සිදු වූ අනෙක් දේවල් කල්‍යා මීට පෙර ලියා ඇත. කෙසේ වෙතත් වැදගත් වන්නේ මෙහිදී    ගුණරත්න මහතා 90 දශකයේ සිට ඉගැන්නුවාය කියන ‘ලිවීම හරහා ලේඛකයා මිය යන’ කතා කීවේ නැත.
ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට නොහැකි බව පෙන්වීමට තවත් සුළු සුළු අවස්ථා  ඕනෑ තරම් දැක්වීමට පුළුවන. නමුත් ගුණරත්න මහතාගේ සෙල්ලම කුමක්ද යන්න කෙනෙකුට ඇත්තටම දැනගැනීමට මා ඉදිරිපත් අවස්ථා ප‍්‍රමාණවත් යැයි මම සිතමි
ගුණරත්න මහතා මට අභියෝග තරමින්  ඕස්ටේ‍්‍රලියානු රූපවාහිනියේ ජිජැක් ද සහභාගීවූ Q&A වැඩසටහන බැලීමට මට ආරාධනා කලේ මන්දැයි මට සිතාගත නොහැක (එක් අතකට සිතාගත නොහැක්කේමත් නොවේ).  ගුණරත්න මහතාට විවෘත සංවාද අවකාශයකදී සිය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට කිසිසේත් හැකියාවක් ඇත්තේ නැත. එසේ නොහැකි හේතු දෙකක් අවම වශයෙන් මට තේරුම් ගත හැක.
පළමුවැන්න ඒ මහතාගේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයකි. ඒ මහතා කිසියම් චින්තකයෙකුගෙන් අදහසක් උපුටා ගන්නේ සාමාන්‍ය ශාස්ත‍්‍රීය ලෝකය තුළ පිළිගෙන ඇති ආකාරයට නෙවේ (මෙහි දී තමාගේ ප‍්‍රවේශය ශාස්ත‍්‍රීය එකක් නොව දේශපාලන එකක්’ වැනි බයිලා මෙහි දී අදාළ නොවන බව ගුණරත්න මහතාට මතක් කරමි.). ඉතාම අවස්ථාවාදී, ප‍්‍රයෝජ්‍යතාවාදී හා පාර්ශවීය ලෙසටයි. ඒවා එම පටු අවශ්‍යතාවයේ සංදර්භයෙන් පිටත සාධාරණීකරණය කිරීම අපහසු බව ගුණරත්න මහතා හොඳින් දනී.
එම නිසා ගුණරත්න මහතා දේශකයෙක් (preacher) මිස සම්භාෂකයෙක් (interlocutor) නොවේ. මා සමඟ ෆේස්බුක් සංවාදයකට එක්වූ ගුණරත්න මහතාගේ අනුගාමිකයෙකු වන තුෂාර දස්කොන් මහතාට මම වරක් යමක් ගැන ‘ඔයාගේ දෙවියන්වහන්සේට කියන්න’ යැයි උපහාසයෙන් ප‍්‍රකාශ කලෙමි. ඔහු කිවේ ‘දීප්ති තමාට දෙවියන් වහන්සේ නොවන බවත් තමාගේ සටන් සගයෙක් පමණක් බවත්ය’. මට කියන්න තියෙන්නේ ‘මමත් ඔහොම කිව් හැටි මතකයි’ කියාය. එය එසේ නොවූ බවට මම උදාහරණ දෙකක් පමණක් දෙමි. ගුණරත්න මහතා තමා වටේ සිටින පිරිස් වටකරගෙන පැය ගණන් නිෂ්ඵල දේශනා කරන රටාව මම වරක් තදින් විවේචවය කලෙමි. මට මතක විදිහට ඒ 1999 දී පමණ වේ. ඔහුගෙන් මට අපූරු පිළිතුරක් ලැබිණි. ඒ මෙසේය. ”උඹ ඔහොම කියන්නෙ උඹට හොඳ පවුලක් නැති නිසා. හොඳ පවුලක් හදා ගනින්. එතකොට උඹට පුළුවන් උඹටම කියල දේවාලයක් දාගන්න. එතකොට උඹේ වටෙත් මිනිස්සු එකතු වෙයි.” මට මඩ ගැසීමට අතීත මතක පොත හාරා බලන මගේ පැරණි හැඟීම්බර මිතුරා අනිල් චන්ද්‍රසිරිට මේ අවස්ථාව අමතක නැතැයි සිතමි. තුෂාර දස්කොන් මහතාට මට නැවත කිව හැක්කේ ඔබ දේශපාලන සංවිධානයක් කියා දේවාලයකට රැවටී ඇති බවයි.
අනෙක් උදාහරණය කල්‍යා දැනටමත් ලියා ඇත. ඒ 2004 දෙසැම්බර් මාසයේ අප අතර ඇති වූ මත වෙනස්කම් පිළිබඳව ඉතාම සුහදව හා මිත‍්‍රශීලීව කතා කිරීමට මා උත්සාහ කල මොහොතේය. ඒ මොහොතේ ගුණරත්න මහතාගේ හැසිරීම ගැන හොඳම සාක්ෂිකාරිය අනූෂාය. දස්කොන් මහතා (සහ අනෙක් අය) තමා සහ ගුණරත්න මහතා අතර සම්බන්ධය ධුරාවලිගත එකක් නොවන බව අපට යෝජනා කරනවා සේ පෙනේ. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි කීවා සේ සබඳතාවල නියම ස්වරූපය පෙනෙන්නේ අර්බුදකාරී අවස්ථාවලය.
දෙවෙනි ගැටලූව ගුණරත්න මහතාගේ මානසික ව්‍යුහයේ ගැටලූවකි. ගුණරත්න මහතාගේ (වෙනත් කෙනෙකුගේ) මානසික ව්‍යුහය විශ්ලේෂණය කිරීමට මම නොදනිමි. එසේ කිරීමට මට උනන්දුවකුත් නැත. නමුත් ඔහු වගකීම් සහගත සමාජයීය ක‍්‍රියාකාරකම්වලට සුදුසු මට්ටමේ මානසික සමතුළිතතාවයක් නම් නැත්තෙක් බව නම් මම හොඳින් දනිමි. ඒ මහතාගේ ඊගෝ එක අති විශාල එකකි. තව කෙනෙක් ඉදිරිපිට කිච වීමෙන් මේ ඊගෝ එකට තුවාල කරගැනීම ගුණරත්න මහතාට විඳදරා ගැනීමට අපහසුම දෙයකි. තමාට පැපොල හැදුනු අවස්ථාවේ තමා බැලීමට නොපැමිණිම පිළිබඳව සිරිමලී සහ අරවින්ද සහ අනිල් සමඟ ඇතිවූ කෝපය ඔවුන් සංවිධානයෙන් ඉවත් කිරීම දක්වා ගමන් කලේය. ‘පාපොච්ඡාරණය කොට පුනරුත්ථාපනය වීමට’ එකඟ වීම නිසා අනිල් (සහ සුමිත්) සංවිධානයේ ඉතිරිවුවත් ඒ නින්දිත ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සිරිමලී සහ අරවින්දට ඉවත් වීමට සිදුවිය. (මේ නින්දිත ඉල්ලීම ගුණරත්න මහතා වෙනුවෙන් සිරිමලී සහ අරවින්දගෙන් කිරීමට සිද්ධ වූයේ ද මා හටමය. පාපොච්ඡාරණය අයත් වන්නේ විප්ලවීය දේශපාලනයටද, දෙවියන්වහන්සේගේ ලෝකයටද යන්න තීරණය කිරීම තුෂාර දස්කොන් මහතාට භාරය).
මේ තත්වය කෙනෙකුට හොඳින්ම තේරුම් ගැනීමට හැකිවූ අවස්ථාව නම් 2002 දී රොහාන් පෙරේරාට විරුද්ධව එල්ල කළ ”දැවැන්ත ප‍්‍රහාරය” සහ එහි ”ජයග‍්‍රහණය” ප‍්‍රකාශයට පත්කිරීමේ උදාන වාක්‍ය ලෙස ලියූ ‘සටනින් අද මා දිනුවා‘ ලිපියයි. ගුණරත්න මහතා ඒ ලිපිය පටන් ගන්නේ   ”මගේ නම දීප්ති කුමාර ගුණරත්න, මට දැන් මගේ නම කියන්න පුළුවන්”කියල. මම හිතන්නේ එතනින් පස්සෙ දීප්ති කුමාර ගුණරත්න ගේ දේශපාලනය ඉවර වුනා කියල.
ගුණරත්න මහතා ලිවීම උඩ දාන්නේ ලිවීම හරහා ලේඛකයා මිය යන නිසා නොවේ. ඒ හරහා ප‍්‍රතිවාදියාට මුහුණ නොදී ප‍්‍රතිවාදියාට රිසි සේ මඩ ගැසීමට හැකි නිසාය. අවශ්‍ය නම් කෙනෙකුට ගුණරත්න මහතාගෙන් මෙසේ විමසිය හැක (ප‍්‍රයෝජනයක් නොවුනත්). මයික් මේස පුටු නැතුව ‘සංවාදයට ඔය තරම් ප‍්‍රිය නම් තමාගේ ප‍්‍රතිවාදීන්ට අභිමුඛ විය නොහැකි අයුරින් පැවැත්වෙන ඊනියා සම්මන්ත‍්‍රණ වල පැය ගණන් කතා කොට ඒවා යේ ශබ්ද පිටපත් පවා අන්තර්ජාලය හරහා මුදා හරින්නේ මන්ද යන්නයි.තමාට මුළුමනින්ම පාලනය කළහැකි කොන්දේසි සපුරාගෙන ඒ කොන්දේසි අභියෝගයට ලක්නොවෙන බව හොදින් දැනගෙන තමා ඉදිරිපිට සිටින අනුගාමිකයින්ට දේශනා පවත්වන්නන් (දේවගැතියන් වේවා භික්ෂූන් වේවා), ප‍්‍රසිද්ධ කථිකයින් (orators) වේවා කරන්නේ තමන් ඇසීමට ආශාකරන දේ තමාගේ කටින් පිටකොට තම කනින් අසා තමන්ම ප‍්‍රීති වීමයි. ගුණරත්න මහතා ලබන්නේද ඒ ප‍්‍රීතියයි (එය මා නොලබන ප‍්‍රීතියක් ද!).
මේ ප‍්‍රීතියට බාධාකළ විට සිදුවන දේ දැකගැනීමට The Wind That Shakes the Barley චිත‍්‍රපටියේ දේවස්ථානයේ දර්ශනය මතක්කර ගන්න (මේ චිත‍්‍රපටිය මතක් කිරීමට සිදුවීම උත්ප‍්‍රාසජනක නෙවේ ද?) දේවගැතියා ඩේමියන්  ඕ’ඩොනොවන්ට get out කියන්නේ ඩේමියන් ඔහුගේ සතුට විනාශ කළ නිසාය. ගුණරත්න මහතා අපට කීවේ 2004 දෙසැම්බර් වලින් පසු තම සාමාජිකයින්ගේ ධෛර්යය පවත්වාගෙන ගියේ මේ විත‍්‍රපටියේ ඩේමියන්ගෙන් බවයි. (මේ චිත‍්‍රපටය තිරගත වූයේ 2006 මැයි වලය. එනම් 2004 දෙසැම්බර් වල නැතිවූ ධෛර්යය 2006 මැයි වනතුරුත් ඇති කරගැනීමට නොහැකිවී ඇත.) ප‍්‍රශ්නය එය නොවේ. 2004 දෙසැම්බර් වල දේශපාලන ගැටලූවක් සාකච්ඡා කිරීමට මා ගුණරත්න මහතාගේ කාමරයට ගිය අවස්ථාවේදීත්, මෑතක මාතර පැවැති රැස්වීමකදී මාධව, ගුණරත්න මහතාගෙන් ප‍්‍රශ්න ඇසූ අවස්ථාවේදීත් ගුණරත්න මහතාගේ පිළිතුර වූයේ get out යන්නයි. ඒ අවස්ථාවලදී දේවගැතියා කව්ද? ඩේමියන් කව්ද?
අපගේ යෝජිත විවාදය පිළිබඳ සාකච්ඡාව කෙරෙමින් පැවතියදීම ගුණරත්න මහතාගේ 3මාන වෙබ් අඩවියේ ‘සයිබර් අවකාශයේ දේශපාලන ගැටලූව’ නමින් ලිපියක් පළවිය. උත්ප‍්‍රාස ජනක දෙය වන්නේ මෙහි දී ගුණරත්න මහතා තර්ක කරන්නේ හරයාත්මකව එකිනෙකා අභිමුඛවන දේශපාලනයක් වෙනුවෙනි. නැවතත් උත්ප‍්‍රාසය වන්නේ ඔහුගේ ක‍්‍රියාකාරිත්වය හරියටම එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තයි.
මේ ලිපියේ දී ගුණරත්න මහතා ‘තමාටම ආදරය කරන නාසිස්මික පුද්ගලයා’ විවේචනය කරයි. මා දන්නා අය අතුරින් මේ සඳහා අඩුවෙන්ම සුදුසුකම් සහිත අයෙක් සිටී නම් ඒ දීප්ති කුමාර ගුණරත්නය. වරක් ඔහු ප‍්‍රකාශ කලේ තමා ශිෂ්ටාචාරය තුළ සිටින මානසික වශයෙන් නිරෝගීම පුද්ගලයා බවයි. ඒ කියන්නේ තමා පරිපූර්ණ බවයි.
2013 සැප්තැම්බර් 17 වන අඟහරුවාදා සවස 3.00 ට මරදානේ සමාජීය හා සාමයික කේන්ද්‍රයට යන තෙක් මා මෙතැනින් පසු මේ විවාදය පිළිබඳව කිසිවක් නොලියමි.

නිර්මාල් රංජිත් දේවසිරි

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්ති නිර්මාල්ට බයයි. ඒකයි වාදෙන් පැනලා යන්නෙ. නිර්මාල් ඊට වඩා බයයි. ඒකයි දිගටම කතා කරන්නේ ඒත් අන්තිමට මේ විවාදයට ගියොත් දීප්තිට වෙන්නේ අර මඩ නාගෙන ආපු ඌරා එක්ක සටනට ගිහින් පැරදුන සිංහයාට උණ දේ තමයි. ඒනිසා ඌරන් එක්ක විවාදයට යන්න එපා දීප්ති

  2. දැන් නිර්මාල්ට තියෙන්නේ මේ ගාල ගෝට්ටිය අමතක වෙන්නත් එක්ක තව මොකෙක් හරි අරගලයක් හඳුන්වල දෙන්න. චිත්‍රපට කිහිපයක් ගැන කතා කරන්න, එතකොට කසුන් කල්හාරගේ සංගීතය ගැන මොනවා හරි කියන්න…. ඒවම කරගෙන යන එක හොඳයි… වැරදිලාවත් කවුරු අභියොග කළත් භාරගන්න නම් එපා…දීප්තිගෙන් කාපු පෝරියල් එක විතරක් ජීවිතේට මතක තබා ගෙන කාටවත් කුණු කතා නොකියා තමන් කියන මලදානයක් කියාගෙන ජීවත් වෙන්න මේ මනුස්සයා දැන්වත් හිතනවානම් හොඳයි… අධ්‍යපන අරගලය වෙනුවෙන් සියට හයක් ඉල්ලන් ගිහිල්ලා තිබුනු තුනෙන් දෙකක් නැති කර ගත්ත මේ මනුසයා අනිතිමට දීප්ති නිසා ඉතුරු එකත් නැතිකර ගත්තා. පැහැදිලිද දන්නෑ

Comments are closed.