දේශපාලන සංවිධානයක් ලෙස ස්ත්‍රී සමානාත්මතාවය වෙනුවෙන් සංවිධාන ආකෘතිය තුළ සහ ඉන් පිටත රැඩිකල් ලෙස පෙනී සිටීම නිසා වඩාත්ම ලැජ්ජාවට පත් වූ පිරිසක් ඇත්නම්, ඒ අප ය. අනිකුත් දෘෂ්ටිවාදයන් සේම ස්ත්‍රීවාදයත් ලංකාවට පැමිණියේ, බටහිර සමාජ දෘෂ්ටියෙනි. ලංකාවේ ස්ත්‍රීවාදී ඉතිහාසයට ඇති කාලානුරූපය සැකවින් පහත පරිදි ය.
-
සමාජවාදී ස්ත්‍රීවාදය.
-
ලිබරල් ස්ත්‍රීවාදය.
-
රැඩිකල් ස්ත්‍රීවාදය.
-
ලිංගික ස්ත්‍රීවාදය- French Feminism.
-
අනන්‍යතාවාදී ස්ත්‍රීවාදය.
ලංකාවේ කිසිදා පහළ නො වූයේ, මාක්ස්වාදී ස්ත්‍රීවාදය යි. මෙම කෙටි සටහනේ අරමුණ වන්නේ, මාක්ස්වාදී ස්ත්‍රීවාදයක් බිහි නොවීමට තුඩු දුන් දෘෂ්ටිවාදී ඉතිහාසය කෙටියෙන් සාකච්ඡා කිරීමයි.
‘අරගලයට’ සාපේක්ෂව ලෝක ස්ත්‍රීවාදී ව්‍යාපාරය, ‘ජූලියා ක්‍රිස්තීවා’ නම් ස්ත්‍රීවාදිනියට අනුව අවධි තුනකට බෙදිය හැකිය.
1.ස්ත්‍රීන් පොදු සංකේත ලෝකය තුළ (යථාර්ථය ලෙස ගත හැකි ය) සමානාත්මතාවය වෙනුවෙන් සටන් කළ අවධිය. (ලිබරල් ස්ත්‍රීවාදය)
2.‘ලිංගික වෙනස’ අවධාරණය කරමින් ‘පුරුෂ සංකේත පද්ධතිය’ ප්‍රතික්ෂේප කිරීම. එහිදී, පුරුෂ මූලික විඥාණ බල රටාවම නිෂේධනයට ලක් කෙරේ. අරගලය වෙන්වීමක්, බෙදුම්වාදයක් දක්වා ‘ෂුලාමිත් ෆයරෙස්ටන්’ මඟින් විද්‍යාමාණ වෙයි. (රැඩිකල් ස්ත්‍රීවාදය)
3. තෙවන සහ අවසාන අවධිය. මෙහිදී, ස්ත්‍රී-පුරුෂ භේදය යනු ම පාරභෞතික ගොඩ නැංවීමක් ලෙස සලකා නිශේධනය කිරීම. (ක්‍රීස්තීවාගේ ස්ථාවරය- මෙය මනෝවිශ්ලේෂණ න්‍යාය මත පදනම් වෙයි)
ලංකාවේ වාම ව්‍යාපාරය පටන් ගත්තේ 1935 දී සමසමාජ ව්‍යාපාරයෙන් කියලා නිගමනය කළහොත්, විවියන් ගුණවර්ධන සහෝදරියගේ සිට කුමාරි ජයවර්ධන සහෝදරිය දක්වා සහෝදරියන් සටන් කළේ, අධිරාජ්‍යවාදයට එරෙහිව ය. දෙවන ලෝක යුද්ධයට පසුව සහ 48 ට පසුව ජාතික ධනවාදයට රට නිරාවරණය වන විට සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ස්ත්‍රීන් විරුද්ධ වූයේ, ධනවාදයට ය. ඔවුන් කළේ, පන්ති සටන සමඟ කරන අරගලයකි.
ලංකාවේ ‘කම්කරු පන්තියේ ඉතිහාසය’, ‘නිකමුන් සමහරුන් වීම’ සහ තවත් තීක්ෂණ පන්ති විශ්ලේෂණ කරනු ලැබුවේ, පිරිමියෙක් නොව කාන්තාවක් වන කුමාරි ජයවර්ධන ය. මතක තරමින්, එස්.බී.ඩී. සිල්වාගේ ‘ඌණ-සංවර්ධනයේ දේශපාලන-ආර්ථිකයේ’ පොතෙහි මුල් අත් පිටපත යතුරු ලේඛනය කළේ, සුනිලා අබේසේකර ය. වර්තමානයේ ඉඳලා අතීතය විශ්ලේෂණය කරන විට, ‘පන්ති අරගලය’ සහ ආර්ථිකය ගැන න්‍යාය ගොඩනඟලා තිබෙන්නේ, ලංකාවේ ස්ත්‍රීන් ය.
1978 දී J.R ගේ දේශපාලන මැදිහත් වීම මඟින් ඒ දක්වා ලංකාවේ පැවති ‘එංගලන්ත ධනවාදය’ (ඉංග්‍රීසි ධනවාදය- English Capitalism) අවසන් වෙලා ඒ වෙනුවට ‘ඇමරිකන් ධනවාදය’ (American Capitalism) ආදේශ විය. අතීතාවලෝකනයක් ලෙස ගතහොත්, මම ‘London’ සඟරාවට ඒ නම තිබ්බේ, ඒ ඛණ්ඩනය ලකුණු කිරීමට ය. එතකොට, ‘පන්ති අරගල න්‍යාය’ අහෝසි වෙලා එතනට ‘අනන්‍යතා දේශපාලනය’ (Identity Politics) සහ ‘ජනප්‍රිය සංස්කෘතිය’ ආදේශ වෙනකොට, (මෙහි ම අතුරු ඵලයක් තමයි NGO හරහා මාක්ස්ට විකල්පයක් ලෙස සිවිල් සමාජය සහ ග්‍රාම්ස්චි ආදේශ වීම.) ස්ත්‍රීවාදී අරගලයත් ‘පන්ති සටනින්’ ලිංගික අනන්‍යතා අරගලයට මාරු වෙයි.
80 දශකය මැද වෙනකොට, සුනිලා අබේසේකර සහෝදරිය ජනතා විමුක්ති පෙරමුණෙන් කේලී සේනානායක සමඟ ඉවත් වෙලා, ”පන්ති න්‍යායට” අනන්‍යතා න්‍යාය ආදේශ කරන ලදී. සරලව කිවහොත්, ‘පන්ති අරගලය’ වෙනුවට සුවිශේෂයන්ගේ අරගලය නැතහොත් ‘නව-සමාජ ව්‍යාපාර න්‍යාය’ ආදේශ කරන ලදී. ඒ කියන්නේ, ස්ත්‍රීන් තමන්ගේ විමුක්තිය සෙවිය යුත්තේ පන්ති අරගලයේ ඌනිතවාදය තුළින් නොව ජනප්‍රිය මහජන අරගලයේ ප්‍රකාශනවාදය තුළිනි. ‘වෝල්ටර් බෙන්ජමින්’ කියන්නේ, යුරෝපයේ ජාතිවාදය ”පන්තිය” අහෝසි කර සියලු දෙනාට මහජනයා හැටියට ප්‍රකාශ වෙන්න ඉඩ දෙනවා කියලා. ඒ අනුව, ස්ත්‍රීවාදය 80 දශකය අග වෙනකොට සහ 90 මුල වෙනකොට, වාර්ගික දේශපාලනයට ඉතාම සමීප වෙයි. නමුත් 90 දශකයේ රැඩිකල් ස්ත්‍රීවාදය වාර්ගික නොවුණත්, එහි ගතිකයන් වර්ගවාදයට ඉතා සමීප ය.
90 දශකය අවසන් වෙනකොට, සුනිලා අබේසේකර රටේ තවත් සුවිශේෂී අරගලයක් වූ ‘දෙමළ ජාතික විමුක්ති අරගලය’ සමඟම ඇති වන ‘රාජ්‍ය නොවන සංවිධාන’ සංස්කෘතිය මඟින් අධිනිශ්චය වූ ‘මානව හිමිකම්’ නම් නව ප්‍රපංචය වෙතට ප්‍රවේශ වන ලදී. ‘ස්ත්‍රීවාදී අරගලය’ පෝෂණය කරන එක එතැනින් පසුව සුනිලාගේ පැත්තෙන් නවතිනවා. ඊට පස්සේ, රොහාන් හරහා රැඩිකල් නාගරික ස්ත්‍රීවාදය අධිනිශ්චය වෙයි. සාරාත්මක ස්ත්‍රීවාදය කියලා ප්‍රපංචයක් අපට ඉන්පසු මුණ ගැසෙයි.
2008 වර්ෂයේ ඇමරිකානු බැංකු පද්ධතියේ කඩා වැටීම, එක්සත් යුරෝපය යන අදහස බිඳ වැටීම, චීනයේ ධනවාදය නැඟී ඒම, ලංකාවේ ද්‍රවිඩ ජාතික විමුක්ති අරගලය පරාජය වීම, ලිංග භේදයේ පාරභෞතික මානයන් හෙළිදරව් වීම වැනි සාධක නිසා ලොව පුරාම ‘නව-සමාජ ව්‍යාපාරවල’ – New Social Movements – පරාජයන් සටහන් වීම ඇරඹිලා තිබේ. ග්‍රීසියේ සිරීසා ව්‍යාපාරය, ස්පාඤ්ඤයේ පොඩෙමෝස් ව්‍යාපාරය, එංගලන්තයේ ජෙරමි කෝබීන්ගේ නව පන්ති ව්‍යාපාරය, එක්සත් ජනපදයේ ස්ටීව් බෙනන්ගේ තෘනමූල ජාතික ව්‍යාපාරය, බර්නි සෑන්ඩර්ස්ගේ සමාගම් ආධිපත්‍යයට එරෙහි පන්ති අරගලය වැනි ව්‍යාපාර විශාල ගණනක් අත්හදා බලමින් සිටින්නේ, අනන්‍යතා දේශපාලනයට පසු අලුත් දේශපාලනයක් නිපදවීම ගැන ය.
ගැටලුව මෙසේ සාරාංශගත කළ හැකි ය. යළිත් පන්ති දේශපාලනය පටන් ගන්නේ කෙසේ ද? මෙය කෙතරම් දුෂ්කර කර්තවයක් ද යන්න නිදර්ශනය කිරීම සඳහා 68 වර්ෂයේ ශිෂ්‍ය අරගලයට පසුව ස්ත්‍රීවාදයට සිදු වූ දෙය සලකා බලමු.
Butler.
ස්ත්‍රීවාදයන් කෙතරම් පැවතියත් 90 දශකය වන විට, අනෙක් ස්ත්‍රීවාදයන් අභිබවමින් ‘අනන්‍යතා ස්ත්‍රීවාදය’ ලෝකය පුරා පහළ සහ මැද පන්තියේ කාන්තාවන් අතර ජනප්‍රිය විය. ස්ත්‍රීත්වය යනු, පුරුෂයා සමඟ බිහි වන පසමිතුරුභාවයක් (Antagonism) නොව ස්ත්‍රිය සහ පුරුෂයා යනු, හුදු සංකේත අනන්‍යතාවයක් යන සංකල්පය බිහි වන්නේ, ජුඩීත් බට්ලර් (Gender Trouble-1990) නම් ලෙස්බියන් ස්ත්‍රීවාදිනිය මඟිනි. මිචෙල් ෆූකෝගේ ‘බලය’ නම් අදහස සේම ජුඩීත් බට්ලර්ගේ ‘ජෙන්ඩර්’ (Gender) නොහොත් ස්ත්‍රී-පුරුෂ සමාජීයභාවය යන අදහස ද දේශපාලනික තලයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ න්‍යායක් බිහි කරන ලදී. මෙමඟින්, ඇමරිකානු දේශපාලනික නිරවද්‍යභාවය (Political Correctness) නම් අදේශපාලනික අදහස ස්ත්‍රීවාදයට කේන්ද්‍ර විය. ‘කෝකා කෝලා’ වලට පසුව ඇමෙරිකාව ලෝකයට දායාද කළ වඩාත්ම දෘෂ්ටිවාදී වචනය වන්නේ, ජෙන්ඩර් යන අදහසයි. ලංකාවේ ද සමකාලීන NGO කාර්යාල ආශ්‍රිත පරිසරය තුළ පුරුෂ ලිංගය කෙළින් කර ගත් පිරිමින් පවා ස්ත්‍රීවාදීන් වූයේ ජෙන්ඩර් නම් දෘෂ්ටිවාදී තිරය නිසා ය.
ජෙන්ඩර් අදහසට අනුව පිරිමියෙක් සහ ස්ත්‍රියක් බිහි වන්නේ, සමාජය තුළ එම චරිත රඟ දක්වන ලීලාව අනුව ය. ඒ අනුව, ලිංගය ස්වාභාවික නොවන අතර එය ප්‍රාසාංගිකත්වයකි. ඔබ අඩුවෙන් ස්ත්‍රී නම් වෙළෙඳපොළ කියන ලෙස කොණ්ඩය Tint කරන්න; වැඩියෙන් දෙහි බී කෙට්ටු වෙන්න; ආණමාලු කෙසෙල් ගෙඩි මෙන් කකුල් හදා ගන්නට අවශ්‍ය නම් ජිම් එකකට යන්න; සුරතාන්තය දිග කර ගැනීමට තන්ත්‍රයානය හදාරන්න; තනපුඩු පහළට බැස ඇත්නම් මී මැස්සෙකු ලවා කවාගෙන ඔබේ පෙම්වතා හමුවන්න. දේශපාලනික නිර්වද්‍යතාවයට අනුව ස්ත්‍රියක් වනවා යනු, Shopping List එකකට අනුව බඩු ගැනීමක් පරිදි ය. ඔබ NGO එකක වැඩ කරන ස්ත්‍රියක් නම්, එහි Boss ලාන්තරස් පිරිමියෙක් නම් ඔහුව රවටා, කකුල සහ මයිල් බාන ලද කිහිල්ල පෙන්වා සල්ලි තොගයක් ගසා කා පහසු ජීවිතයක් ගත කළ හැකි ය. එපමණක් නොව, තමන්ට හිමි ජෙන්ඩර් එකට වූ හානිය ගැන මහා ස්ත්‍රීවාදී ‘කුමාරි- කාලී- කුමාරගමගේ’ ට පැමිණිලි කිරීමට ද හැකි ය. සරලව කිවහොත්, මා මේ කීවේ, කල්පනාව සහ කපටිකම ඇත්නම් ස්ත්‍රීවාදීන් වී ගසා කෑමට හැකි ආකාරය යි. ජෙන්ඩර් න්‍යායට අනුව ඔබ ස්ත්‍රී හෝ පිරිමි වී ඇත්තේ, ස්වභාවිකත්වය/ රසායනයට අනුව නොව සමාජය තුළ ඔබ එම භූමිකා දෙක රඟපාන ගුණාත්මක හෝ ප්‍රමාණයට අනුව ය. ලිංග භේදය පිළිබඳ බට්ලර්ගේ මෙම අදහස සෘජු ලෙස නිදහස් වෙළඳපොල සමඟ සම්බන්ධ අතර ඇය ද මිචෙල් ෆූකෝ පරිදි අවිඥාණය , ඒ නයින් මනෝවිශ්ලේෂණය දෘෂ්ටිවාදයක් ලෙසින් ප්‍රතික්ෂේප කරයි. 2004 වර්ෂය අග දී ‘බණ්ඩාර-ප්‍රභා ලෙස්බියන් ජෝඩුව’ අප වෙතට ප්‍රහාර එල්ල කළේ, දේශපාලන නිරවද්‍යභාවය නම් ඇමරිකානු දෘෂ්ටිවාදී අදහසිනි. ස්ත්‍රීන්ට හිස්ටීරියාව තිබෙනවා යයි අප කියනවා යැයි කෑ ගැසූ මේ ගොන්ගාලේගොඩ බන්ඩා තදින් ප්‍රතික්ෂේප කරන ලද්දේ, ඔහුටත්, ඇයටත්, අපටත් අවිඥාණය යනුවෙන් දෙයක් නැති බවයි. අවිඥාණයට බිය සියලු දෙනා අත්පුඩි ගසා මෙම දෘෂ්ටිවාදය බදා වැළඳ ගත්තෝය.
යම් අදහසක් මිනිසුන් අතරට ගිය විට, එය භෞතික තත්වයක් ආරෝපණය කර ගනිතැයි පැවසුවේ, මාඕ සේතුං ය. ජෙන්ඩර් යන අදහස න්‍යායිකව නොදන්නා අය පවා අද දවසේ වෙළෙඳපොළ හරහා එම අදහස රඟ දක්වමින් සිටිති.
ස්ත්‍රී හෝ පුරුෂත්වය අපට එන්නේ, සමාජය තුළ අප එම භූමිකා රඟ දක්වන තාක්ෂණයට අනුව යැයි සිතන අයව භ්‍රාන්ත කරවන සිදුවීමක් මේ මෑතක දී ජනප්‍රිය සංස්කෘතිය තුළ සිදු විය. 2020 වර්ෂයේ විවාහක රූ රැජින වූ ‘කැරොලයින් ජූරි’ විසින් විවාහක ස්ත්‍රියක් විය යුත්තේ කවු ද යන්න නිර්වචනය කරන ලදී. ඇයට අනුව විවාහක රූ රැජින විය යුත්තේ, යහපත් පවුල් ජීවිතයක් ගත කරන; සැමියාව පවුලේ කටයුතු වලට සහභාගි කරවා ගන්නා; බොරුවට අනුන්ට පෙනෙන්නට පවුල් ජීවිත ගත නොකරන අය බවයි. නමුත් ඇගේ එම කිසිදු නිර්ණායකයකට ඇතුල් නොවන ස්ත්‍රියකට එම ඔටුන්න හිමි විය. එපමණක් නොව, ඇගේ ඔටුන්න ද ගැල වී ගියේ ය. මින් අදහස් වන්නේ, ධනවාදී සමාජයක අනන්‍යතාවය ධනාත්මකව භාර ගැනීම ම අදේශපාලනික බවයි. සරලව කිවහොත්, පිටතින් මොන කණ්නාඩි දමා බැලුවත් ‘ස්ත්‍රීන්’ ධනේශ්වර සමාජය විසින් ඇයට උරුම කරන ‘වේසිය’ යන නිශේධනාත්මක වෙස් මුහුණට රුචි ය. ඇයට අවිඥාණයක් නැත කියා හිතන බහුතරයට මේ අදහස දිරවා ගැනීමට අපහසු වනු ඇත. කැරොලයින් ජූරීට අනුව ඇය හිතන්නේ, ස්ත්‍රියට ධනවාදය තුළ ‘ධනාත්මක අනන්‍යතාවයක්’ (Positive Identity) ඇත යන්න ය. නමුත් ධනේශ්වර බල රටාව ඇයට පෙන්වා දුන්නේ, එවැන්නක් නැති බවයි.
අපි, දැන් ස්ත්‍රීවාදයට අදාළ දෘෂ්ටිවාදය වූ ජෙන්ඩර් නම් සංකල්පයෙන් 20 වැනි සියවසේ නිර්මාණය වූ ‘වැඩකරන පන්තියේ සමාජ ව්‍යාපාරවලට’ සිදු වූයේ කුමක්දැයි විභාග කරමු. එම ව්‍යාපාරවලට ධනවාදය සමතික්‍රමණය කිරීමට නො හැකි වූයේ මන්ද?
ධනේශ්වර සමාජයක දී නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන මර්ධනය, පරාරෝපණය, අසහනය, නිස්සාරත්වය වැනි ප්‍රපංචයන්ගෙන් ‘දේශපාලන ආත්මයක්’ – political Subject- නිදහස් කළහොත් (මාක්ස්වාදීන් මෙන්) ඒ වහාම සිදු වන්නේ කුමක්ද?
ලැකානියානු මනෝ විශ්ලේෂණයට අනුව මිනිසෙකුගේ බාහිරත්වයට අදාළ ‘මර්ධිත යථාර්ථයන්’ හෝ ‘මර්ධිත ව්‍යුහයන්’ ඉවත් කළාට වැඩක් නැත. ‘නිශේධනය’ (Negation) යන්නට අවිඥාණක තලයේ ඇත්තේ, ධනාත්මක සහ සංස්කරණාත්මක පැවැත්මකි. ඒ නිසා, බාහිරින් මර්ධනයන් ඉවත් කළාට අභ්‍යන්තර එනම්, ආත්මීය වශයෙන් ‘නිශේධනය’ ඉවත් කිරීමට ආත්මය ‘දේශපාලනයට’ ඉඩ දෙන්නේ නැත. මෙම කියවීම දෛවවාදය තහවුරු කිරීමක් නොවේ. මින් අදහස් වන්නේ, ධනවාදය විසින් විගාමික කරන සමාජ පන්තීන් වලට අනුභූතික අනන්‍යතා යෝජනා කිරීම ධනවාදය ප්‍රතිපෝෂණය කිරීමක් බවයි. සැබවින්ම, ධනවාදය තුළ බිහි කළ හැකි රැඩිකල්භාවය වන්නේ, එමඟින් නිරූපණය වන නිශේධනය (වේසි) වැළඳ ගැනීම ය. වරක් ඩිල්ෂාන් කී පරිදි, ‘වේසිය’ ධනවාදයට අභියෝගයක් ය.[ඔව් මම ගණිකාවක් | Sharmi Kumar]
20 වැනි සියවසේ පහළ වූ බහුතර කම්කරු ව්‍යාපාරවල මුඛ්‍ය ගැටලුව වුයේ, එහි නායකයන් තම කම්කරු සාමාජිකයන්ට ‘ධනාත්මක අනන්‍යතා’ යෝජනා කිරීමයි. ධනවාදයෙන් පිටතට හෙලන සමාජ පන්තීන් එක්සත් කිරීමේ දී ඔවුන්ව බද්ධ කරන න්‍යාය නිශේධනය මත පදනම් විය යුතු ය. මන්ද, ‘ප්‍රාග්ධනය’ මිනිස් ආත්මය සූරා කන්නේ, අනන්‍යතා මතින් නොව වේදනාවෙන් සතුටු වන ආත්මයන් හරහා වන නිසා ය. පැරණි ස්ත්‍රීවාදය ස්ත්‍රීන්ව එකතු කරන විට රැගෙන ආ සටන් පාඨයන් වූයේ, ආදරවන්තිය, ප්‍රේමවන්තිය, ආදරය හඳුනා ගන්න මේ පාරෙන් එන්න වැනි සටන් පාඨ ය. අනාගත මාක්ස්වාදී ස්ත්‍රී ව්‍යාපාරය මෙසේ සටන් පාඨ වෙනස් කළ යුතු ය. “වේසියනි, එක්සත් වේව්! ඔබ මගේ මුහුණට කෙළ ගසනවාට මම කැමතියි; මගේ තට්ටම් වලට වේවැලකින් පහර දෙන්න, තිත්ත කුණුහරුපයෙන් මට බනින්න!” යන ආදී සටන් පාඨ ය.
ධනවාදය පදනම් වන්නේ, කිසිදු උදාරත්වයත් හිමි නොවන මිනිසුන් මත ය. විමුක්ති ව්‍යාපාර මේ මිනිසුන්ට යළිත් දෘෂ්ටිවාදීව උදාරත්වයක් සැපයිය යුතු නැත. එය ඔවුන්ව සිහින ලෝකයකට රැගෙන යාමකි.
බටහිර දී සිදු වූයේ, කාර්මිකකරණය තුළ දී කම්කරු ව්‍යාපාර විසින් කම්කරුවන්ට උරුම කළ ‘උදාරත්වය’ කාර්මිකහරණය සිදු වූ විට වැඩකට නැති දෙයක් බවට පත්වීමයි. ලෙනින් ව පුදුමයට පත් කළේ ද මේ කාරණය යි. එනම්, ෆැසිස්ට් විප්ලවය විසින් කම්කරුවන්ව ‘ජාතිකවාදීන්’ බවට පත් කළ ප්‍රාතිහාර්ය යි. (උඹලා ජර්මන් පිරිමි)
දේශපාලනය සහ අවිඥාණය නම් ක්ෂේත්‍රවල දී මනෝවිද්‍යාත්මක සහ පුද්ගලභාවයන් නැත. ධනවාදය නම් විප්ලවකාරී සමාජ-ක්‍රමය ‘පුද්ගලයා සහ මනෝභාවය’ යන ප්‍රපංච දෙකම එක් මොහොතක දී වාෂ්ප කරයි. සමාජ විද්‍යාවන්ට සහ මානුෂික විද්‍යාවන්ට මැනිය හැකි ධනාත්මක ජීවියෙක් අපට සමාජ විප්ලවයක දී හමු නොවේ. ආත්මය යනු, නිශේධනයකි. බාහිරින්, අප ස්ත්‍රීන්ට පහර දෙන පිරිමින්ට විරුද්ධ වන විට, පහර කන ස්ත්‍රීන් සහ පහර දෙන පිරිමින් පහර දීම නම් ක්‍රියාව හරහා විමුක්තියක් ලබයි. මෙය හුදු ෆැන්ටසියක් නොවේ.
විප්ලවවාදී දේශපාලනය බාහිර යථාර්ථයට රැවටිය යුතු නැත. මනෝවිශ්ලේෂණ ‘ආත්මය’ පිහිටන්නේ, බාහිරින් පෙනී සිටින ස්ත්‍රීවාදියා සහ ඇයම රහසින් විනෝද වන ගුටි කෑම/ කුණුහරප හරහා නින්දා කිරීම නම් ක්‍රියාවන් අතරමැද ය. මෙය ඔබට ප්‍රහේලිකාවක් විය හැකි ය. ඒ අවිඥාණයේ හැටි ය. බාහිර ලෝකයේ තම නිර්මල ස්ත්‍රීභාවය වෙනුවෙන් සටන් වදින රැඩිකල් ස්ත්‍රිය සම්භෝගයේ දී ‘මට හයියෙන් ගහන්න’ යැයි මුර ගායි. අර්ථය ඉක්මවා ඇයට ඇත්තේ, වේදනාවෙන් සතුටු වීමකි. එබැවින්, ජෙන්ඩර් දේශපාලනයට එරෙහිව කෙනෙක් ස්ත්‍රියක් වන්නේ පිරිමියා පසමිතුරෙකු (යාලුවෙක් කරගන්නවා නිඳි ඇඳේදි) කර ගැනීමෙනි. මනෝවිශ්ලේෂණය විමුක්ති දේශපාලනයට යොදා ගන්නවා යනු, මෙම පහර කෑමේ ෆැන්ටසිය තරණය කිරීමයි. මන්දයත්, ධනවාදය ඔබට උරුම කරන ‘ස්ත්‍රීවාදීයා’ නම් ධනාත්මක අනන්‍යතාවය එහි රැඩිකල් නිශේධනය වන නිසා ය. සැබැවින්ම, ඔබ ධනවාදයෙන් විමුක්තිය ලබන්නේ, ක්‍රමය ඔබට එන්නත් කරන වේදනාවෙන් විමුක්තිය අපේක්ෂා කරන විට ය.
ධනවාදය සමතික්‍රමණය කරන විමුක්ති දේශපාලන ව්‍යාපාරයක් සිය පළමු පියවර තැබිය යුත්තේ, අනන්‍යතාවය බොරුවක් බව වටහා ගැනීමෙනි. ‘කැරොලයින් ජූරි’ හරහා කියන්නේ නම් ස්ත්‍රියට ධනවාදයෙන් විමුක්තිය ලැබිය හැක්කේ, ‘ඇය’ තමන්ව වේසියක් යන නිශේධනයට පත් කර ගත් විගස ය. “මම හරි ආසයි වේසියක් වෙන්න!” 21 වැනි සියවසේ මාක්ස්වාදී ස්ත්‍රී ව්‍යාපාරයේ ආරම්භක සටන් පාඨය එය යි. තමන් වේසියක් නොවන්න අවශ්‍ය නම් ධනවාදය සමතික්‍රමණය කරන්න අවශ්‍යයි. එසේ නැතිනම්, සහෝදරිය ඔබ ප්‍රේමවන්තියක් කියන පිරිමියා දෘෂ්ටිවාදියෙකි. ස්ත්‍රිය ප්‍රජාතාන්ත්‍රික වනවා යනු, අන්තර්ගතයෙන් ආකෘතියට මාරු වීමයි.
පිරිමින්ට අවවාදයක්- ඔබ නිකං ඉන්න- Lao Tzu.
Deepthi kumara Gunarathne.
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
සමබිම පක්ෂය
ඔබේ අදහස කියන්න...
Can you translate to English the above article?
You can do it.
Comments are closed.