මූලික සාධක දෙකක් අහෝසි වී ඇත.
1.ලංකාවේ යටත් විජිත ස්වාමියා ඉදිකරන ලද පශ්චාත්-යටත් විජිත රාජ්‍ය යන්ත්‍රය සහ එහි ක්‍රියාකාරීත්වය. මින් අදහස් වන සංස්කෘතික මානය වන්නේ, ලන්ඩන්-මෙට්‍රෝපොලිටන් ශිෂ්ටත්වය අහෝසි වී ඇති බවයි. 2001 වසරේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ පටන්ගත් ‘ලන්ඩන්’ සඟරාවේ තාර්කික අවසානය ද මින් සලකුණු වෙයි. ඉතාම සමීප අනාගත මොහොතක දී X ඉතිහාසයෙන් සහමුලින් වෙන් වී නව-දේශපාලන ව්‍යාපාරයක් නිම වීමට අවශ්‍ය වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණ වෙමින් පවතියි.
2. 2025 වන විට ලංකාවේ අඹ ගෙඩියේ හැඩයට බස්නාහිර පැත්තෙන් මැංගුස් ගෙඩියක හැඩයක් ‘Port City’ සිටි නමින් එකතු වීමට නියමිතය. 2025ට පසු ලංකාවේ මූල්‍ය නගරය වීමට නියමිත වී ඇත්තේ, මෙම මෙට්‍රෝපොලිටනය යි. දළ වශයෙන්, මෙමඟින් උත්පාද වීමට නියමිත රැකියා ප්‍රමාණය සෘජු සහ වක්‍ර වශයෙන් එක්ව ගත් විට ලක්ෂය ඉක්මවා යයි.
මා ආර්ථික විද්‍යාව සම්බන්ධ උගතෙකු නොවේ. නමුත් මාක්ස්වාදී දේශපාලන-ආර්ථිකය පිළිබඳව මගේ දැනුම තරමක් පුළුල්ය. 77ට පසුව ලංකාවේ වමේ දේශපාලන සංවිධාන වලට අධ්‍යයනය කරන්නට අතපසු වූ කාරණයක් වූයේ, දේශපාලනය සහ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් එකිනෙකින් වෙන් වී ස්වාධීන වීමයි. මෙම ක්‍රියාවලිය පසුගිය දශක හතර පුරා හෙමිහිට සිදු විය. පසුගිය වර්ෂයේ පොහොට්ටු පක්ෂයේ ජයග්‍රහණය සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය පරම මට්ටමින් සහතික විය. එපරිදිම, 2025 දී පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණ වීමත් සමඟ ආර්ථිකය ද වෙනමම ‘පරම’ මට්ටමට ළඟා වීමට නියමිතය.
1948 වර්ෂයේ සිට දශක 7ක කාලයක් ස්වදේශික දේශපාලන බලවේගවල කල්පිතයක් ලෙස ‘අධිරාජ්‍යවාදය’ දෘෂ්ටියක් ලෙස තහවුරු විය. නමුත් බාහිර වශයෙන් සැබෑ අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක වූයේ නැත. 1967 වර්ෂයේ දී ජවිපෙ පිහිටු වීමෙන් පසුව විජේවීර විසින් අධිරාජ්‍යවාදය නම් කඩදාසි කොටියා මවන්නට පටන් ගත් අතර එය 87 දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් අවසන් විය.
1935 වර්ෂයේ සිට දෙවන ලෝක යුද්ධය අවසන් වනතුරු ‘සමසමාජ පක්ෂය’ ලංකාව විජිතයක්ව පැවති යුගයේ සිට සටන් කරන ලද්දේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ය. මැලේරියා මර්දනයට සහ සූරිය මල් ව්‍යාපාරය හරහා අධිරාජ්‍යවාදයට එරෙහි වූයේ, අධිරාජ්‍යවාදය නම් සන්දර්භය තුළ ය. නමුත් 1948ට පසුව අධිරාජ්‍යවාදය සැබෑ බලවේගයක් තැනින් දෘෂ්ටිවාදී කඩදාසි කොටියෙකු තැනට විස්ථාපනය විය. ‘සමසමාජ පක්ෂය’ වමේ ව්‍යාපාරයක් ලෙස විනාශ වී ගියේ, එහි නායකත්ව මණ්ඩලය මධ්‍යම පන්තියෙන් සෑදී තිබුණු නිසා බවට විශ්වාසයක් තවමත් වමේ ඊනියා මනස තුළ හොල්මන් කරයි. මෙසේ කියන අයට බොල්ෂෙවික් නායකත්ව සංයුතිය ගැන කියන්නට දෙයක් නැත. මූලික ගැටලුව අප වටහාගත යුත්තේ, ගඳ ගහන ශරීරයක් තුළ සුගන්ධවත් විප්ලවවාදී විඥාණයක් හට නොගන්නා බව පමණි.
අපි මුඛ්‍ය ගැටලුවට එමු.
2025 න් පසුව ලංකාව නම් දූපත තුළ සිදු වීමට යන ‘දේශපාලන-ආර්ථික’ ඛණ්ඩනය ගැන අවබෝධයක් ඇමරිකාවට, යුරෝපයට සහ ඉන්දියාවට ඇත. සිංහල ජනතාව මහා පරිමාණයෙන් රාජපක්ෂලාට කඩේ යාම ආරම්භ කළේ, 2009 වර්ෂයේ යුද්ධය අවසන් කළ පසු රට ගලවා ගත් වීරයන්ට ප්‍රණාම කිරීමක් ලෙසින් ය.
2010 – 2015 යුගය තුළ නිදහසින් පසු ප්‍රථම වතාවට බේරේ වැව විධිමත් ව ප්‍රතිසංස්කරණය කළේ ය. මහා මාර්ග පද්ධතිය නවීකරණය කළේ ය. යුධ හමුදාව ව්‍යාපාර කළමනාකරණයට සහ රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කළේ ය. දිලිත් ජයවීර, අසෝක් පතිරගේ, කුමාර් ස්ටීකර්ස්, මේජර් නෙවිල් වර්ගයේ අලුත් ව්‍යාපාර පැලැන්තියක් බිහි කළේ ය. මෙම චිත්‍රය මහජනයාට වැටහුනේ, තමන්ව ‘සුරපුරයට’ යවන මහාමාර්ගය කියා ය. නමුත් රාජපක්ෂ ව්‍යාපෘතිය සම්පත් යළි බෙදා දීමක් හෝ නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීමක් නො කළේය. නව රැකියා උත්පාදනයක් ඔවුනට කළ නොහැකි විය. රාජ්‍ය යන්ත්‍රයේ වියදම වැඩි කරමින් බොහෝ දෙනෙකුගේ යැපුම් ආර්ථිකය රජයේ රැකියා මඟින් තහවුරු කරන ලදී. නිලධාරීන්ට දොළ පිදේනි දී සනසන්නට පටන් ගත් අතර ඔවුන් මහජනයාගේ ස්වෛරී බලය ප්‍රශ්න කරන්නට ගත්තේ ය. සියල්ල ව්‍යාකූලත්වයකින් අහවර විය. ස්වර්ගයට යන යතුර හරහාම අපායේ දොර විවෘත විය. ගත් ණය ගෙවීමට සිදු විය.
2025ට පසුව ලෝකයේ විවිධ කලු සල්ලි ජාතික රාජ්‍යයේ පාලනයකින් තොරව ලංකාවට ගලා ඒමට පටන් ගන්නා බව ඇමරිකාව හොඳින් දනියි. මෙම නව තත්වය තුළ ‘දෙමළ ජනයා’ ලංකාව පාලනය කිරීමේ ලීවරයක් ලෙස මතු නොවනු ඇත. වැඩියෙන්ම කලු සල්ලි ඇත්තේ ද දෙමළ ඩයස්පෝරාව තුළ ය.
කිසියම් මූල්‍ය වෙලඳපොළක් පාලනය කළ හැක්කේ, තවත් මුල්‍ය වෙළදපොළක් හරහා ය. මට ලැබෙන තොරතුරුවලට අනුව ලංකාවේ ‘මූල්‍ය ප්‍රාග්ධනය’ බටහිර දේශපාලන අධිකාරියට අවශ්‍ය අයුරින් පාලනය කිරීමට නම් රටේ ප්‍රධාන වානිජ මුදල් සැපයුම පාලනය කරන ‘ලංකා බැංකුව’ සහ ‘මහජන බැංකුව’ සතු කොටස් බටහිර මූල්‍ය ප්‍රාග්ධන හිමියෙකුට පැවරිය යුතු ය. යහපාලන යුගය තුළ එක්සත් රාජධානියේ නෙරන්ජන් දේවාදිත්‍ය සහ රනිල් වික්‍රමසිංහ අතර මේ සඳහා ආරම්භක එකඟතාවයක් ඇති වී ඇත.
ඇමරිකාව මේ වනවිට උත්සාහ කරන්නේ, ‘රොත්ස්චයිල්ඩ්’ නම් යුදෙව් බැංකුකරුවන් හට ඉහත කී බැංකු දෙකේ වැඩි කොටස් පැවරීමටය. ‘රොත්ස්චයිල්ඩ්’ යනු, නැපෝලියන් පරාජය කිරීමට බ්‍රිතාන්‍ය රාජකීයන්ට මුදල් සැපයූ පවුලයි.
ලංකාවේ Port City ආරම්භ කළ විට පළමුවෙන්ම සිදු වන්නේ, රට තුළ ඇති මූල්‍ය ප්‍රාග්ධන වෙළදපොළ හැකිළී යාමයි. එවිට, කොළඹ කොටුව ව්‍යාපාරික ස්ථානයක් ලෙස හිස් වීම ඇරඹෙයි. ප්‍රාග්ධනය තම ද්‍රවශීලතාවය වැඩි කර ගැනීමට සීමා අඩු තැන් කරා පියඹා යයි. ඉන්පසු, ලංකාවේ ජාතික රාජ්‍යය සතු මූල්‍ය ප්‍රාග්ධනයේ රුපියල් ආර්ථිකය ගැටලු සහගත තැනකට ගමන් කරන අතර අපගේ මූල්‍ය වෙළදපොළ කොටුවෙන් චීනයට විතැන් වෙයි. එවිට, තනි රටක් සහ මූල්‍ය නීති දෙකක් බිහි වනු ඇත.
ඉහත අප පැවසුවේ, ප්‍රාග්ධනයට සිදු වන ව්‍යුහාත්මක විපර්යාසය යි. ඊළඟට, අපි බලමු ශ්‍රමයට මොකද වෙන්නේ කියලා. ලංකාවේ කෘෂිකර්මයෙන් යැපෙන ප්‍රමාණය GDP එකට අනුව 48% පමණ වෙයි. Port City තුළ බිහිවන මූල්‍ය ප්‍රාග්ධනයේ අධික ද්‍රවශීලතාවය නිසා ලංකාවේ කෘෂිකාර්මික ශ්‍රමයේ බලය තීව්‍ර ලෙස අඩු වනු ඇත. කාන්දම් බලයකින් මෙන් රට පුරාම පවතින පුහුණු-නුපුහුණු ශ්‍රමය Port City මූල්‍ය ආර්ථිකය විසින් ආකර්ෂණය කරනු ඇත. එවිට, කොළඹ කොටුව බෝඩිම් නගරයක් වනු ඇත. ගම්වල ස්ත්‍රී ශ්‍රමය ප්‍රවේගකාරී ලෙස කැසිනෝ ආර්ථිකය විසින් අදිනු ඇත. එය අප මෙතෙක් නොදුටු සදාචාර විප්ලවයක් බිහි කරනු ඇත.
ඇමරිකාව උත්සාහ කරන්නේ, චීනය විසින් ලංකාව තුළ මෙහෙය වීමට නියමිත ‘මූල්‍ය ප්‍රාග්ධනයේ’ ඒකාධිකාරය ‘රොත්චයිල්ඩ්’ වැනි බටහිර මූල්‍ය ධනපතියන් හරහා වක්‍රව පාලනය කිරීමට ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තෝරාගෙන ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ය. බැසිල් රාජපක්ෂට මෙම ව්‍යාපෘතිය තුළ කිසිදු ඉඩක් ඇමරිකාව වෙන් කර නොමැත. මෙහි අර්ථය වන්නේ, යළිත් ජනාධිපති වීමට ගෝඨාභයට අවස්ථාවක් දීමට ඇමරිකාව සූදානම් බව ය. ‘මානව හිමිකම්’ වාර්තාව යනු, ඉහත අභිලාෂයන් ඉටු කර ගැනීමට ඇමරිකාව යොදන උපයෝගීතා උපායක් පමණි.
දැන් ගැටලුව වන්නේ, ඉහත පුළුල් චිත්‍රය තුළ ලංකාවේ දේශපාලන පක්ෂ ව්‍යුහගත වන ආකාරය යි. පළමු බෙදීම හට ගනු ඇත්තේ, ඇමරිකාවට හිතවත් සහ චීනයට හිතවත් ආදී වශයෙනි. ඉන්දියානු ජෙට් ගුවන්යානා යතුරුපැදිකරුවන්ගේ කණ ළඟින් පියාඹා යාම අහම්බයක් නොවේ. සැබවින්ම, ලංකාවට අධිරාජ්‍යවාදීන් ඉදිරියට ගොඩ බැසීමට නියමිතය. LTTEය විනාශ කර ස්වර්ගයට යෑමට ගමයන් දරණ ලද උත්සාහය නිසා ඔවුන්ට දැන් අධිරාජ්‍යවාදය නම් අපායට යන දොරටුව හමු වී ඇත. මේ කඩදාසි කොටියෙකු නොවේ. වැරදීමක් සිදු වුවහොත් අප නතර වන්නේ, සිරියාව, සුඩානය, ලිබියාව, බුරුමය, ඉරානය නම් ලැයිස්තුවේ ඊළඟට ය. මන්ද, අප දැන් අභ්‍යන්තර වශයෙන් තියුණු ලෙස බෙදී ඇති නිසා ය. තත්වය දරුණු වන විට, එවකට ලිබියානු නායක ගඩාෆිට ඔහුගේ වැඩිමහල් පුතා කී දේ මතක් කිරීම වැදගත් ය. ‘තාත්තේ අපේ රාජ්‍යය රකින්න ඉන්නේ සිවිල් යුද්ධ විතරක් කරපු හමුදාවක්. ඇත්ත යුද්ධය ආපු දවසට මේ අයට දුවනවා හැර වෙන කරන්න දෙයක් නැහැ’. ලංකාවටත් මේ සූත්‍රය මෙලෙසම වලංගු ය.
Deepthi
++++++++++++++++++++++++++++++++++++++++++++
Click below.