ආගම පිළිබඳව ජිජැක්ගේ මතය කුමක්ද යන්න පිළිබඳ මහේෂ් හපුගෙඩ සමග කරන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: සතුරකු සොයන දිශාවකට අපි යොමුකිරීමට අවශ්ය මූලික දෘෂ්ටිවාදය සපයන්නේ ද නලින්ද සිල්වාගේ කෘතිය තුළින් බව අවධාරණය කරමිනි. එමෙන්ම අධ්යාත්මයක් නැති අපිට ඕනෑම දෙයක් දෙස නිරපේක්ෂව බලා සිටිය හැකි වන්නේ ද එය ඉහත නිරපේක්ෂ නපුරේ ම කොටසක් බව ද එහි දි අවධාරණය කළේ ය.
අද එතැන් සිට
ෆ්රෙඩ්රික් ජෙම්සන් පවසන ආකාරයට අප ජිවත් වන්නේ පාර ගෝලීය තත්ත්වයක ය; පාරජාතික තත්ත්වයක ය. පාර ජාතික තත්ත්වයක ජිවත්වන්නා ජාතිකත්වයක් පිළිබඳ කතා කළ යුතු නැත. ජාතික සීමා පිළිබඳව ද කතා කළ යුතු නැත. පූර්ණ වශයෙන් ධනවාදය පැමිණ නැති බව සැබෑවකි. නමුඳු එම ප්රාග්ධනය සහ එම අවකාශය අපිව ම නිර්මාණය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ය. නමුඳු මේ වන විට පවතින්නේ එවන් තත්ත්වයක් නොවේ. අපි සිටින්නේ නලින් කළ දේ ඊටත් වඩා නරක අන්දමින් කරමිනි. නලින් සූදානම් වූවේ එක්තරා ආකාරයක ස්වාමිකත්වය ලබාගැනීම සඳහා වෙහෙස වීම ය. අපි එය අමතක නොකළ යුතු ය. හෙතෙම විඥානවාදය තුළට ගමන් කරමින් බෞද්ධාගමේ චතුෂ්කෝටිකය යනාදි වටිනාකම් තුළට ගමන් කිරීමට උත්සාහ කරන අභිනය (gesture) වැදගත් වේ. සත්යය වශයෙන් ම ජාතිවාදයක් ප්රචලිත කිරීමට ඔහු අදහස් නොකරන්නට ඇත. ඔහු එකී විඥානවාදය තුළට ගමන් කරන්නේ එම නව ස්වාමිත්වය පිළිබඳ හැඟීම දරාගෙන ය; යටත් විජිත සුදු ස්වාමිත්වයට වඩා ස්වාමිත්වයක් ලබාගන්නේ කෙසේද යන අදහස පෙරදැරිව ය. එහිදී ඔහු වාමවාදයේ සාර්වත්රික ය වෙනුවට ජාතිකවාදය නම් ඒ වනවිට පැවති එකම විකල්පය වෙත පසුගමන් කරයි. ‘ජාතිකත්ව සුවිශේෂය’ වෙත ගමන් කරයි. එම අර්ථයෙන් ගත් විට නලින්ද සිල්වා සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම ද වැදගත් කරුණකි.
දැන් මෙම ක්රියාවලියේ ම තවත් මානයක් වෙත ප්රවේශ වෙමු.
අපි බොහෝ විට මෙවන් ක්රියාවකට යොමු වන්නෙමු. එනම් සුවිශේෂය සහ සාර්වත්රික බව අතර ඇති අප මිට පෙර සඳහන් කළ සම්බන්දය ගැන අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වේ. එනම්, සාර්වත්රික බව පවතී. එමගින් සුවිශේෂ නිර්මාණය කරනු ලබයි.
මේ, ඒ සඳහා නිදසුනකි. මෙම දිනවල දඹුල්ලේ සිතුවම් විනාශ වෙමින් පවතී. මෙම ස්ථානය සංචාරක මධ්යස්ථානයක් වන අතර ලෝක උරුම නගරයකි. යුනෙස්කෝව විසින් කිසියම් නගරයක් හෝ වෙනත් ස්ථානයක් ‘ලෝක උරුමයක්’ වශයෙන් නම් කරන්නේ එම ස්ථානය ‘අපිට පමණක් උරුමයි’ යන අර්ථයෙන් නොවේ. එය බෞද්ධ ඓතිහාසික හෝ පූජනීය ස්ථානයක් බව සැබැවි. නමුඳු එහි අන්තර්ගත මානව වංශ කතාව එක් මානව වංශයකට පමණක් අදාළ වන කතාවක් නොවේ. එය මානව පරිණාමය පිළිබඳ කතාවකි. එසේ නම් මානව පරිණාමය පිළිබඳ කතාවක් එක් ජාතියකට පමණක් අයත් යැයි පැවසිය නොහැකි ය. මන් ද එය සමස්ත මානව වංශයට ම අයිති වස්තුවකි. නමුත් දඹුල්ල විහාරපාලක පාර්ශ්වය පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ මෙය ලෝක උරුමයක් ලෙස හැඳින්වුව ද මෙය බෞද්ධ ස්ථානයකි; ජීවමාන බෞද්ධ ස්ථානයකි යනුවෙනි. එමනිසා ජීවමාන තතවයන්ට අනුරූපව භෞතික තත්වය වෙනස් කරන බවයි. නමුඳු එවැනිම තවත් ජීවමාන ස්ථානයක් ලෙස ගාලු කොටුව ද හැඳින්විය හැකි ය. මහනුවර නගරය ද එබඳු ස්ථානයකි. මෙබඳු බොහෝ ස්ථාන ලෝක උරුම ස්ථාන වේ. එවන් ස්ථාන නිරන්තරයෙන් ම සුවිශේෂි තැනක් ලෙස සඳහන් කරනවා, සලකනවා සේ ම එම සුවිශේෂීතාව නැවත සාර්වත්රික බව සමග සංසේචනය විය යුතු ය. අදාළ ස්ථානයේ පවතින විශ්වීය සෞන්දර්ය ආරක්ෂා කරග ගත හැකිවන්නේ එවිට ය. ඒ සඳහා සාර්වත්රික යේ නිරීක්ෂය (gaze of the universal) අවශ්යය නමුත් අද්යතනයේ සිදුවන්නේ එය නොවේ. එම් ස්ථාන බාරව සිටින පිරිස් තම තමන්ට අවැසි පරිදි එවන් ස්ථානවල ප්රතිසංස්කරණ කටයුතු කරති (එක එක පන්නයේ බුදු පිළිම, බුදු මැදුරු, කෞතුකාගාර, රේඩියෝ නාලිකා එම ලෝක උරුම ස්ථානය වෙත හදුන්වා දී තිබේ). එය එසේ කළ නොහැකි ය. එසේ කළ නොහැකි වන්නේ ඇයි දැයි දැන් ඔබට ගැටලුවක් පැන නැගෙනු ඇත. එසේ තම තමන්ට අවැසි අවැසි ආකාරයෙන් අත්තනෝමතිකව අදාළ ස්ථාන ප්රතිසංස්කරණය කිරීමේ දී එහි පවත්නා යථාභූතතාව (authenticity) සම්බන්ද සුවිශේෂිතා පළුදු වන්නට ඉඩ තිබේ. යුනෙස්කෝ ආයතනය විසින් එය ආරක්ෂා කරනු ලබන්නේ එහෙයිනි (මෙය බටහිර නිරීක්ෂය සඳහා අප රඟපෑම වැනි තත්වයක් නොවේ). ජේම්සන් සඳහන් කරන පරිදි නව පසු-ගෝලීය තත්වය තුල සිදුවෙන්නේ සුවිශේෂතාවය (particular) වෙනුවට කේවලත්වය (singularity) ආදේශ වීමයි. ඔහු එය An American Utopia (2016) නම් කෘතියේදී පහත පරිදි රුප සටහන් ගත කරයි.
‘සාර්වත්රිකබව සහ සුවිශේෂයන් අතර වූ හෙගලියානු සංස්ලේෂණය (Hegelian synthesis) පුර්ණ වශයෙන් අහෝසි වී අද වන විට සුවිශේෂයන් ගේ ස්ථානය කේවලත්වයන් විසින් අත්පත් කරගෙන ඇත’ යනුවෙන් ජෙම්සන් පවසයි. මෙය ඉතාමත් වැදගත් කාරණයකි. මන්ද, සාර්වත්රිකයේ නිරීක්ෂය සමග අපේ සෞන්දර්ය බද්ධ වී පවතින බැවිනි. අද ඉහත සංස්ලේෂණය අමතක කරන කේවල පුද්ගල චරිත විසින් තමාට කැමති කැමති දේවල් කරමින් සිටියි. තමාට කැමති කලාකෘති, විචාර, ප්රචාරණ ක්රම යනාදී දේ තමාගේ ම ‘විනෝදයේ අතිරික්තය’ පිණිස කරමින් ඇත. ජේම්ස් ජොයිස්, ඩොස්ටවුස්කි වැනි සුවිශේෂී විශිෂ්ටයන් (genius) කල පරිදි සාර්වත්රික බව හා සම්භන්ද වීම මුරණ්ඩු (obstinate) ලෙස ප්රතික්ෂේප කරයි. මේ තත්වය රෝග ලක්ෂණයකින් ඔබ්බට ගොස් සින්තෝමයක හැඩය ගනිමින් ඇත (විනෝදය තුළ ඝණිභවනය වන මෙම සින්තෝමික චරිත අවම වශයෙන් වෙනස් වීම පවා ප්රතික්ෂේප කරයි). නමුත් සාන්දෘෂ්ටික අරුතකින් ගත්විට ඉහත සුවිශේෂතා ඉතාම වැදගත් තැනක් ගනී. නමුඳු මේ මොහොත වන විට එකී සුවිශේෂතා අප විසින් ම අමතක කර දමනු ලැබ ඇත. එමෙන් ම එම සුවිශේෂය යැයි සිතන ව්යාජ හඳුනාගැනීම (misrecognition) ඔස්සේ ම අපි කිසියම් කේවල අන්තයකට ද ගමන් කරන්නෙමු. එහි කෙළවරට ගමන් කරන විට සිදුවන්නේ විනාශය යි. මෙය අත්තනෝමතිකත්වයට ගමන් කිරීමකි. අපි දැන් සාකච්ඡා කරමින් සිටින නලිනියානු අපගමනය අවසානයේ සම්බන්ධ වන්නේ විශ්වීයත්වයෙන් කණ්ඩනය වූ අත්තනෝමතිකත්වයට ය; අතාර්කිකත්වයට ය. මෙම නලිනියානු ප්රපංචය තුළ අපිට පසුගිය දශක දෙක තුන පුරා දකින්නට ලැබුණේ කේවලත්වයන් සාමාන්ය වූ – එම සාමාන්යත්වයන් රජවූ ඉහත කී අතාර්කිකත්වය යි. ෆ්රෙඩ්රික් ජෙම්සන් පවසන අදහසට මෙය ඉතා සීරුවට සම්බන්ධ වේ (එමනිසා කිසිදු සුවිශේෂ බවක් හෝ ප්රතිභා සම්පන්න සුධිමත් බවක් නැති සාමාන්යයන් ගෙන් ඉහත X හිඩැස ජේම්සන් පුරවයි).
මෙහි දී තවත් වැදගත් කරුණක් අපිට සම්මුඛ වේ. එනම්, මේ මොහොතේ අපි ලෝකය දෙස බැලිය යුත්තේ කෙසේ ද යන්න ය. සාර්වත්රිකය යන කරුණේ දී පවතින ප්රශ්න කිහිපයකි. එනම් සුවිශේෂතා අවශෝෂනය කරගැනීමට- කේන්ද්ර කරගැනීමට- නොහැකි වීම, සුවිශේෂතා මත පමණක් රැඳී සිටිමින් පොදු වටිනාකම් සහිත සුවිශේෂතා ගොඩනැගිය නොහැකි ය යන්නය. මෙම තත්ත්වය සමග අපි ඥාන විභාගාත්මක කණ්ඩනයකට (ontological break) ලක්වන්නේ යැයි Living in the End Times (2011) කෘතියේ ජිජැක් පවසයි.
පොදු භාෂාවක් නැති මෙම මොහොත දයලෙක්තිකයේ මැදිහත්වීම අපොහොසත් වන මොහොත යනුවෙන් ජිජැක් සිය Parallax View (2006) ග්රන්ථයේ පෙන්වා දෙයි. යමක් නිරීක්ෂණය කල යුතු නිෂ්ක්රිය ස්ථානයක් (neutral venue) මෙම යුගය තුළ නොමැති බැවින් ඒ සඳහා අසමපාත නිරීක්ෂණ (parallax view) ස්ථානයක් ජිජැක් යෝජනා කරයි මේ මොහොත වන විට අප වෙත නිරීක්ෂණ දෙකක් අවශ්යව ඇත; නැරඹුම් ස්ථාන දෙකක් අවශ්යව ඇත. ඒ, ලෝකය දෙස බැලීම සඳහා ය. මේ නැරඹුම් ස්ථාන දෙක කුමක්ද? පළමු වැන්න නම් නරඹන නැරඹීමට තබා ඇති වස්තුව විසින් ම නරඹන්නා තීරණය කරනු ලැබීම ය. උදාහරණයක් ලෙස ගතහොත් කෙටි ඇඳුමකින් සැරිසී ගත් කාන්තාව නම් වස්තුව තමන් දෙස බලන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ය. එමෙන් ම දඹුල්ල යන ස්ථානය විසින් ම එය නැරඹිය යුත්තේ කවුද යන්න තීරණය කරනු ලැබ තිබීම ය. අපි එදෙස බලන බව අපි සිතුව ද එම වස්තුව ද (එම පෞරාණික වස්තුව) තමන් දෙස අපි බලන බව තීරණය කර තිබේ. නිරීක්ෂණ දෙකක් ඔස්සේ අපි බැලිය යුත්තේ එබැවිනි. එකක් අපේ දැක්ම ය; අනෙක එය අනෙකා දකින්නට කැමති ආකාරය යි. එනම්, අපි බලන ආකාරය සහ එය නැරඹීම සඳහා ම එය සකස් කර ඇත්තේ කෙසේ ද යන්නය. මෙම ප්රපංච දෙක සංසේචනය විය යුතු ය.
මෙහි දී අපි වස්තුව දෙස බැලීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි ය. වස්තුව එය පෙනීමට සලසා ඇති ක්රමයක් ද පවතී. මෙම කොටස් දෙක ම අපේ ඥානවිභාගයට ලක් විය යුතු ය. මෙහි දී ඥාන විභාගයේ වෙනසක් සිදුවන බව දැන් ඔබට වැටහෙනු ඇතැයි විශ්වාස කරමි. මීට පෙර ඥානවිභාගය පැවතියේ මෙවන් ස්ථානයක ය. එනම්, වස්තුව තිබේ. වස්තුව නරඹන නිරීක්ෂකයෙක් සිටී. ඒ අනුව නිරීක්ෂකයාගේ නැරඹීම අනුව බාහිර වස්තුව නිර්මාණය කෙරේ. වර්තමාන තත්ත්වය ඊට සපුරාම වෙනස් ය. නව තත්ත්වය යටතේ මෙම දෙපාර්ශ්වයෙන් පමණක් නිරීක්ෂණය කළ නොහැකි ය.
මේ අනුව ගත් විට ආසියාතික බෞද්ධාගමික රූපය ම මේ මොහොතේ බාහිරට දකින්නට සලස්වා ඇති ක්රමයක් පවතී. උදාහරණයක් ලෙස ගතහොත් ඔබ බෞද්ධාගමික භාවනා මධ්යස්ථානයකට ඇතුල් වන්නේ හුදෙක් එය බෞද්ධ මධ්යස්ථානයක් ම නිසා නොවේ. එදෙස බලන්නැයි එය කරන ආරාධනාව හේතුවෙන්ම ය. එය ඇත්තේ ඔබ සඳහාම ය. ඔබ කාන්තාවක් දෙස බලන විට ‘තව තවත් ම’දෙස බලන්න’ යන ආරාධනය එ’තුළ පවතී. විලෝමයන්ගේ අරගලය (struggle of opposites) වෙනුවට අද ඇත්තේ විලෝමයන්ගේ දුරස්ථ (polarization of opposites) බවයි. එසේනම් තනි නිරීක්ෂකයකු ලෙස යමක් දයලෙක්තිකව තීරණය කිරීමේ හැකියාව අප සතුව නොපවතී. මෙයින් පිළිබිමු වන්නේ අප මේ මොහොතේ බෞද්ධාගම දෙස බැලිය යුතු ආකාරය මේ හරහා යම් අසමපාතයක් තුළ සංසේචනය වී ඇති බවයි.
මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන
ජයසිරි අලවත්ත m.j.al