මම කවි පොතක් පිළිබඳව ලිවීමට සැරසෙමි. මසිතට නිරායාසයෙන්ම කිසියම් බියක් ඇතුල් වෙයි. ලංකාවේ සිටින්නේ තමාගේ කවි විවේචනය කරන්නවුන්ට එරෙහිව නඩු පැවරිය හැකිදැයි කනි පින්දම් ගසමින් නීතිඥවරුන් පස්සේ දුවන වර්ගයේ මහා කවීන්ය. එපමණක් නොව තමාගේ කවි විවේචනය කිරීම නිසා විචාරකයා ගේ බඩ රස්සාවට කෙලවීමට ඔහුගේ රාජකාරි ප්‍රධානීන්ට යැවීම සඳහා කුනු පෙත්සම් අස්සන් ගැනීමටත් මේ කවීන් ප්‍රසිද්ධය.

මෙම ලියුම්කරු මීට බොහෝ තලකට පෙර වත්මන් සිළුමිණ ප්‍රධාන කතුවරයා කතුකම් කළ වෙනත් පුවත්පතකට සතිපතා සාහිත්‍ය විචාරයක් සැපයුවේය. අවුරුදු හතරකටත් වැඩි කලක් තිස්සේ එය ලිවීමෙන් වෙහෙසට පත්ව මමම, එම ලිවීම නතර කළෙමි. අපගේ නිරුවත් දෙවිවරුන් සහ කවීන් මහත් සේ උදම්ම, කාලකන්නියාගෙන් දුරු වූයෙම් වේදැයි සතුටු වන්නට ඇත. එහෙත් ටික කලකට පසු එක්තරා දිනපතා පුවත්පතක සාහිත්‍ය පිටු සංස්කාරකයෙක් ඔහුගේ පිටුවට තීරු ලිපියක් ලියන්නැයි මට ඇරයුම් කළේය. ෆැන්ටසීන් ගැන වූ එම ලිවීම මම පටන් ගතිමි. වහාම අර පිටු සංස්කාරකවරයා හමු වූ ඉහත ඡේදයේ සඳහන් කළ අප මහා කවීන්ද්‍රයා ඔහුට පවසා තිබුණේ මෙවැන්නකි.

“අපි එයා මරල වළලල ඉවරයි! ආයෙ, මොකටද ඔය මළ කඳන් ගොඩ ගන්න හදන්නෙ?”

ඉදින් කවි පොත් ගැන ලිවීම කවර නම් වූ බියජනක කාර්යයක් දැයි දැන් ඔබටම වැටහෙනවා ඇති. ඒ අනුව කවින් යනු ලංකාව ඇතුළත බියකරු සත්ත්ව කොට්ඨාසයකි. මෙම ඇනුම්පද හැම කවියකුටම අදාළ නැහැ තමයි. හැබැයි අර මා ඉහත කී කවීන් නම් මළගිය ප්‍රාණ කාරයින් සමූහයකි. ඔවුන්ගෙන් එකෙකු කට අරින විටම මට සිතෙන්නේ මළ සිරුරක් කතා කරන බවය. මෙම මියගිය කවීන්ගේ අවතාර බිය ජනක ලෙස අප අවට හොල්මන් කරයි.

මා ලියන්නට යන්නේ එබඳු අවතාර කවියකුගේ කවි පොතක් ගැන නොව වර්තමාන පරම්පරාවේ අහිංසක කවියකුගේ කවි ගැනය. එම කවි කියවාගෙන යද්දී මා විශ්මයට පත් කළ දේ නම් මේ මළ කවියකු ගේ මෘත ශරීරයක් අප කවියාට හමු වී තිබීමය. බාග විට කවියා මනසින් දකින්නේ එබඳු කවියකු මළ විට ඔහුගේ මෘත දේහය කෙබඳු වේ ද යන්න විය හැක. පිළිගත් සියලු කාව්‍යමය ආකෘතීන්ට පයින් ඇන ලියන එම කාව්‍යාත්මක ගැදි ලියවිල්ල මෙම පොතෙහි 65 වන පිටුවේ “එක්තරා ජීවයකු ගේ මරණ පරීක්ෂණය” යන මැයින් දැක්වේ. ඔබගේ පහන් සංවේගය පිණිස මම එය පහත උපුටා දක්වමි.

“හුස්ම හිර කළ බවට ගෙලෙහි ලකුණු නැත. එහෙත් දකුණ’තෙහි තොණ්ඩුවක් තිබී ඇත. වමත පිහිටා නැත. මුඛය හොඳින් විවෘතව තිබී නැත. දිවෙන් දැවෙනසුලු ද්‍රාවණයක් වැස්සෙත. දෑස් පියවී තිබීම සාමාන්‍ය ලක්ෂණය වී ඇත. එහතේ වර්ෂාවත් උපැස් යුවළ රැසක් භාවිත කර ඇත. පපුව පැලී ඇත. හෘදය වස්තුවක් පිහිටා නැත. පෙණහලුව අධි ක්‍රියාකාරීව තිබී ඇත. ඉන් මුදා හැරෙන වාතය සමනලුන්ට අන්තරාදායකය. විසක් ශරීරගත වී නැත. නහරවල ලේ කළුව ඇත. මොළය මහත් බරය. සෛල නැත. එහි නොසෙවුණා වූ තන්තු වෙසෙසකින් ගැටම සෑදී ඇත. වසුරු බැක්ටීරියා තැවරී ඇත ද පතුල් පොළොවෙහි ස්පර්ශ වී නැත. කනෙහි සිට මොළයට විවෘත වූ මගෙහි අපද්‍රව්‍ය සිරවීමෙන් අවසාන මොහොතේ දේවාරාධනාව නො ඇසීමට හේතු වී ඇත.

දෙණ පොළොවෙහි නොවළලනු!”

ඒ හැරුණ විට මේ පොතේ කවි කියවාගෙන යද්දී කවිය යනු කිමෙක් ද. යන පැරණි ප්‍රශ්නය යළි යළිත් වර නගන ලෙස එම කවි අපට බල කරයි. කවිය යනු අන් කිසිවක් නොව හැඟවුම් කාරකයකැයි මා කියන විට හැඟවුම් කාරකයක් යනු කුමක්දැයි ඔබද පෙරළා මගෙන් ප්‍රශ්න කරන බව දනිමි. හැඟවුම් කාරකය යනු විෂය (Subject) නැතහොත් පුද්ගලයා තවත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් නියෝජනය වන තැනය. එය සංඥාව (Sign) නොවේ. සංඥාව හැම විටම පෙනී සිටින්නේ තවත් දෙයක් වෙනුවෙනි. එහෙත් හැඟවුම්කාරකයක් නියෝජනය කරන්නේ තවත් හැඟවුම්කාරකයක්මය. අප එය නම් කරන්නෙ කතිකාව (discourse) ලෙසය. කවිය යනු එම කතිකාවයි. කවියක් කියවමින් (හෝ නාට්‍යයක්, සිනමා පටයක් නරඹමින්) අප කරන්නේ එම කතිකාව තුළ අප නැවත නැවතත් සොයා ගැනීමය. කවියක් නිර්මාණාත්මක යයි අප කියන්නේ මෙම සෙවීමේ විභවය එහි තීව්රව මතුවන විටය.

නිදර්ශනයක් ලෙස මෙම කවි අතර ඇති “පොත් කියවන්නකුගේ චාරිකාව” කියවා බලන්න. මෙම කවියෙන් කියවෙන්නේ පොත් කියවීමෙන් දැනුම ලබා ගැනීමේ ආශාවෙන් පෙලෙන පාඨකයකුගේ ෆැන්ටසියයි. තමාට පොත් මිලදී ගැනීමට හැකි වුවහොත් එම කවියේ කියවෙන ස්ථාන මනසින් ස්පර්ශ කළ හැකි වෙතැයි මේ අසරණ පාඨකයා සිහින දකී. ඔබගේ වැටහීම පිණිස එම පෙළෙහි පළමු කවිය උපුටා දක්වමි.

“සකුරා උයනක හිඳගෙන
ගිලිහුණ අත ගෙන සිඹින්න
ස්ටෙප් බිම පසුකර ගොස්
පොප්ලර් ගස් දෙක බලන්න”

මේ කවි පෙළ කියවන පාඨකයා කවරෙක් ද? ඔහු වූ කලී දෛනිකව පුවත්පත්වල පළවන භාවාතිෂය වූ කවි, කෙටිකතා, නවකතා ආදිය කියවීමෙන් ගිලන් වූ මනසකින් යුතු කෙනෙකි. ලැකාතියානු අර්ථයකින් හඳුනා ගත්තෙ නම් ඔහු දැනුම නම් වූ හැඟවුම් කාරකයේ ආධිපත්‍යයට යටත් වූවෙකි. (ලැකාත් මෙය හැඳින්වූයේ සරසවි කතිකාව (Discourse of the University) යනුවෙනි. එනම් මෙම කතිකාව මඟින් දැනුමේ හෙජමොනික බව නියෝජනය කරන බවය.)

මෙහිදී අප නැඟිය යුතු ප්‍රශ්නය නම් අර පාඨකයා මත අධිකාරිත්වය පතුරුවන්නේ කවර නම් වූ දැනුමක් ද (හැඟවුම්කාරකයක්) යන්නය. මවිසින් ඉහත උපුටා දක්වන ලද පළමු කවියම ගන්න. එහි සකුරා උයනක් සහ ගිලිහුන අතක් (නොරිකෝ ගේ අහිමි වූ ප්‍රේමය ද?) ස්ටෙප් බිම සහ පොප්ලර් ගස් දෙකක් ආදී වූ සංඥාවන් මඟින් නියෝජනය කරන්නේ අද්‍යතන පොත් කියවන්නාය. වෙසෙසින්ම ස්ටෙප් බිම සහ පොප්ලර් ගස් දෙක දුයිෂෙන් සහ අල්තිනායි මැදි කරගෙන නිරන්තරව තොරොම්බල් වන භාවාතිෂය කතාන්තරය අපට සිහි ගන්වයි. ඇත්ත කතාව නම් අයිත්මාතව් යනු සෝවියට් සාහිත්‍යයේ පිරිහීමේ ලකුණ බවය. පොප්ලර් ගස් දෙකක් නිතර උත්කර්ෂයට නැංවීම තුළ පළ වන්නේ අද්‍යතනය පාඨකයාගේ භාවාතිෂය වූ කියවීම් විලාසිතාව බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔබට ම කියන බස් දැන් වැටහිය යුතුය. මේ කවිය තුළ අපට හමුවන්නේ හෙජමොනික ලෙස අප යුව ජනයින් මත පැටවෙන ඊනියා දැනුමයි. දෘෂ්ටිවාදීමය ලෙස පසුගාමි වූ මේ පාඨකයාට මුදල් ලැබී පොත් මිලට ගෙන කිය වූවත් සමාජය වෙනස් වන්නේ නැත. කවිය කතිකාවක් ලෙස ගතහොත් ඒ තුළ අප (සමාජය) නැවත නැවතත් සොයා ගැනෙන්නේ ය යන්න අර්ථවත් වන්නේ එලෙසය. මෙම තරුණ කවියා‍ ගේ කදිම කවි සිතිවිලි අතර ඔබ සිටින තැන සොයා ගන්නැයි මම ඇරයුම් කරමි. ඔහුගේ එක්තරා කවියක මේ රටේ මියගිය (රූපිකාව) මහා කවියකුගේ මෘත ශරීරයක් මට හමු විය.

සමන් වික්‍රමාරච්චි

silumina

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සමන් සිංහල නරියන්ට බයෙන් බයෙන් ලියනවායයි කියන මේ ලිපිය කියවූ පසු මාගේ කාලය කා දැමීම ගැන සමන් වග කිය යුතුය. පිටරටක නම් මා සමන්ට නඩු දමන්නේ මෙවැනි පල්ලහෑලි ලියා පාඨකයාගේ වේලාව කා දැමීම නිසාය.

    මාගධී සහ පාලි ප්‍රාකෘතවලින් සිංහල සකස් කරන ලද්දේ ගණින්නාන්සේලා විසින් බව සමන් මීට වඩා අධ්‍යයනය කල යුතුය. ඒ මන්ද යත් සිංහල බෞද්ධ විචාරක ශෛලියකින් තම ලිපි බේරා ගැනීමට යුරෝපීය දාර්ශනිකයන්ගෙන් අහුලාගත් කෑලි යොදාගැනීම පමණක් නොසෑහෙන බැවිනි. ඒ කෙසේද යක් කුරක්කන් තලපවල රබර් කෑලි තිබීම වැනි කලවමකි. සමස්ත ලිපියම බලන විට හැගී යන්නේ මේ විචාරකයා උපාසක මහත්තයෙක් බවයි. ආත්මය, අහිංසක බව, කරුණාව, දයාව වැනි බෞද්ධ සම්ප්‍රදාය විසින් සකස් කරන ලද භාෂාව සමග දෘෂ්ටිවාදය, පසුගාමී, හැගවුම්කාරක, සංඥා පැටලී තිබේ. ඇත්තටම සමන් මෙවැනි පල්ලහෑලි ලියන්නේ ඇය? 3මාන ඒවා පළ කරන්නේ ඇයි?

Comments are closed.