[dropcap color=”red”]ශ්‍රී [/dropcap]ලංකාව මේ වන විට හැදින්වීමට හැකි වඩාත්ම සිත් ගන්නා සුළු නම මෙලෙස සටහන් කළ හැක. ‘දකුණු ආසියාවේ බර්ලුස්කෝනිලන්තය ’ මන්ද යත් ඉතාලියේ  හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි යනු තමන්ගේ පුද්ගලික රාත්‍රී ජීවිතයේ අශ්ලීල අන්තර්ගතයන් ප්‍රසිද්ධ මාධ්‍යවල විවෘතව සාකච්ඡා කළ නිසාය. ඔහුගේ කැබිනට් සාමාජිකාවන් විශාල සංඛ්‍යාවක් සමග ඔහු නිදා ගෙන ඇති බව ප්‍රසිද්ධියේම පවසන ලදි. නිල නිවසට විශාල දුරකින් පැවති අග්‍රාමාත්‍ය නිවාඩු නිකේතනවලට ඔහු කැමති ස්ත්‍රීන් ගෙන්වා ගැනීම සදහා ඔහු ඉතාලි ගුවන් හමුදාවේ ජෙට් යානා යොදා ගත්තේය.

පසුගිය වසර හය හතක කාලය පුරා ලංකාවේ බාල්දු වූ ‘සමාජ චරිත’ අතරින් වඩාත්ම බාල්දු වූයේ ‘පක්ෂ නායකයා ‘නම්’ චරිතයයි. මෙය පටන් ගත්තේ කරුණා මගින් වන අතර එය පසුව විමල් වීරවංශ හරහා මේ වන විට දයාසිරි දක්වා පල්ලම් බැස ඇත. මේ අය පක්ෂ නායකයන්ට මඩ ගසන්නේ පුද්ගලික කරුණු නිසා බව තොත්ත බබාලා පවා දනිති.නමුත් අප අවධානය කළ යුතු වෙනත් පැත්තක්ද මෙම ප්‍රශ්ණයේ ඇත. පුතෙකු විසින් පියෙකුට ලියන ලද ලිපි අතරින් විශේෂ වැදගත්කමක් ඇති ලිපියක් ඇත. ඒ ෆ්‍රාන්ස් කෆ්කා නම් සාහිත්‍යකරුවා විසින් තම පියාට ලියන ලද ලිපියයි. පක්ෂ නායකයන්ට විශාල චෝදනා එල්ල කරන අයගේ ආත්මීය ගැටළුව කුමක්ද කියා වටහා ගැනීමට දැන් කාලය එළඹ ඇත. එබැවින් අපි කෆ්කා විසින් තම පියාට ලියන ලද ලිපියේ කොටස් කිහිපයක් කියවමු.

ඉතාම ආදරණීය තාත්තේ (අප්පච්චි)!

ඔබ ලගදී දිනෙක මගෙන් ඇහුවා,මා තවමත් ඔබට බියෙන් පසු වන්නේ ඇයිද යන පැනය.සුපුරුදු ලෙසම ඔබගේ පැනයට කිසිදු පිලිතුරක් සිතා ගන්නට මට නොහැකි විය.ඊට හේතුව වුනේ ඇත්තෙන්ම මා ඔබට බිය වීමයි. දෙවනුව, මේ බියට හේතු පැහැදිලි කිරීමක් කෙටියෙන් කරන්නට අසීරුවීමයි. දැන් මා ලිඛිතව පිලිතුරක් දෙන්නට තැත් කලද එයද බෙහෙවින් අසම්පූර්ණ එකක් වනු ඇත.මන්ද යත් ලියන විට පවා ඒ බිය සහ එහි ප්‍රතිඵලයන් මට බාධා කරන බැවිනි.

අප දෙදෙනා සසදා බලන්න. ලුහු සැසදුමක් කරනවා නම් -මා බෙහෙවින් බයාදු වැඩකට වෙසෙසින් පෙළඹිවිය යුත්තා වූ එහෙත් බොහෝ කාර්යන්හිදී අසාර්ථක වන්නා වූ කෆ්කා කෙනෙකි. එහෙත් ඔබ, මනාශක්තියෙන්,සෞඛ්‍යයෙන්,උස් කට හඩින්,ව්‍යක්ත කතිකත්වයෙන්, ආත්ම තෘප්තියෙන් දරා සිටීමේ හැකියාවෙන්,මනුෂ්‍ය ස්වභාවය පිළිබද අවබෝධයෙන් හා කාර්යයන් මනා ලෙස ඉටු කිරීමේ හැකියාවෙන් යුත් නියම කෆ්කා කෙනෙකි….

සෘජු ලෙස මගේ මතකයේ ඇති,මුල් අවුරුදු කිහිපයෙන් එක් සිදුවීමක් මෙසේය.ඔබටද මෙය මතක ඇතැයි සිතමි.දිනක් රාත්‍රියේ මම වතුර ඉල්ලා හඩන්ට විමි. සැබැවින්ම ඒ මට පිපාසයක් ඇතිවූ නිසාම නොව,ඔබට හිරිහැරයක් කිරීමෙන් මට විනෝදයක් ලැබීමේ වුවමනාවෙනි.

බලවත් ලෙස තරවටු කිරීම් කිහිපයකට පසු ඉන් ඵලයක් නොවන නිසා ඔබ මාව ඇදෙන් බස්සවා එළියට ගෙන ගොස් දොර වසා රාත්‍රී ඇදුම පිටින්ම ටික වෙලාවක් තනියම එළියේ ඉන්නට සැලැස්සුවේය. එය වැරදි ක්‍රියාවක් යැයි මම නොකියමි…. එහෙත් මා අවධාරණය කරන්නේ ළමයින් හැදීම සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන පිළිවතේ ඇති කෝන්සර්වේටිව්භාවය සහ එයින් මට ඇති වූ බලපෑමයි. ඒ සිද්ධියට පසු මා යම් පමණකට කීකරු වූ නමුත් මගේ සිත තුවාල විය. හැගීමකින් තොරව ජලය ඉල්ලීමත්,ආකාරුණිකව එළියට ඇද දැමීමත් යන සිදුවීම් දෙක කිසිදා මට එකට ගලපා ගත නොහැකි විය. ඒ දැවැන්ත මිනිසා-මගේ පියා-ඉහළම බලවතා ලෙස කිසිදු හේතුවකින් තොරව මා යළිත් රාත්‍රියේ එළියට ඇද දමනු ඇත යන පීඩාකාරී සිතිවිල්ල වසර ගණනක් යනතුරු මා සිත පෙළීය. මගේ කිසිදු වටිනාකමක් ඔබට නැතැයි මට හැගිණි.

ශිරාල් විසින් ලියා දෙවනුව,දයාසිරි විසින් පාර්ලිමේතුවේ කියවන ලද ලිපිය කෆ්කාගේ ලිපියේ ආත්මීය අවධාරණයන්ට ඉතා සමීපවීම අහම්බයක්ද?කෆ්කාගේ ලිපියේ අඩංගු ඉහත කරුණු ගැන සැලවී පසුව ඔහුගේ පියා වූ හර්මන් කෆ්කා මවිත වූයේය. මන්දයත් කරුණාවන්ත පුද්ගලයෙකු වූ ඔහු ගැන තම පුතා කියන බහුබූත කතා වටහා ගැනීමට ඔහුට නොහැකි වීම නිසාය. එබැවින් ලිපියේ අන්තර්ගතය කෆ්කාගේ ෆැන්ටසියක් බවට විවාද නැත.

නමුත් පුතෙකු තම පියා ගැන එවැනි ෆැන්ටසි ගොඩනගන්නේ මන්ද?

ලංකාවේද ඇතුලත්ව පසුගිය වසර තිහක පමණ කාලයක සිට පීතෘ ආධිපත්ත්‍යයේ උභයාවේගය ප්‍රකාශ වෙමින් පවතියි. එක පැත්තකින් එය අවශ්‍යය.නැතිනම් අපට පැමිණිලි කිරීමට කෙනෙකු හමු නොවනු ඇත. අනෙක් පසින් පියාගේ අධිකතරභාවය,අධික පෙනී සිටීම සහ විවිධ නියෝග දීම අපගේ නිදහස පාලනය කර අපගේ ස්වාධීනත්වය අහිමි කරයි.

පියාගේ තර්ජන ගර්ජන ගැන ඕනෑවට වඩා සටහන් කරන අය නොදන්නා කාරණයක් ඇත.එය නම් මෙම තර්ජන ගර්ජන යොමු වන්නේ තමාට අදාලව පමණක් බවයි. ඒ නිසා එය ආත්මීය ගැටළුවකි. එය පසුව සමාජ අර්බුදයක් නිර්මාණය කරයි. පියා පිළිබදව පුත්‍රයාට ඇති වී තිබෙන මෙම ආකල්පමය ගැටළුව වටහා ගන්නේ කෙසේද?මෙය සෘජු ලෙස පියාගේ ‘නම’(Name) සමග සම්බන්ධය. කෆ්කා ද ඇතුළුව ඇඩාර්නෝ හරහා හිටිලර් දක්වා පුත්‍රයන් තමන්ගේ මවගේ නම ආදේශ කරගන්නට උත්සාහ කළේය.

පියාගේ නමෙහි කාර්යය කුමක් ද?

පියාගේ ‘නම’ මගින් කරන්නේ (බණ්ඩාරනායක,සේනානායක,වික්‍රමසිංහ,විජේවීර,ප්‍රභාකරන් ගුණරත්නම්) පියාගේ විනෝදය ප්‍රතික්ෂේප කර (පියා රහසින් විදිනවා යැයි සිතන අශ්ලීල විනෝදය-ස්ත්‍රීන් හෝ තරුණ කොල්ලන් ) පියාගේ නම පමණක් පුත්‍රයා උපුටා ගැනීමයි. අපි එයට සැබෑ පියාගේ ඝාතනය කියා ද කියන්නෙමු. ‘සංකේත පියා’ යනු ඊට පූර්වයෙන් සිටියා යැයි අනුමාණ කරන (ෆැන්ටසිකරණය කරන) පූර්වජ පියාගේ (ඔහු සියළු ගැහැණුන් සමග රමණයේ යෙදෙමින් අත්තනෝමතිකව ජීවත් වන පියාය-පසුව සහෝදරයන් විසින් මෙම පූර්වජ පියාව ඝාතනය කර සමාජයේ මධ්‍යය(center) හිස් කරන අතර ඒ තැනට ස්ථානගත වන්නට ඇති සමානාත්මතා මූලධර්මය සහතික කරයි.) පරිපූර්ණ විනෝදය අත්හිටුවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නාය. ‘සංකේත පියා’(Name-of-the-Father) යනු නමක් නිසා එයට ලිංගයක් නැත-උදා:-චන්ද්‍රිකා බණ්ඩාරනායක

පියාගේ පවුලෙන් පුත්‍රයා පිටතට යාමට නම් ‘පියාගේ නිදන කාමරය’ අමතක කර ඔහුගේ නම පමණක් රැගෙන පුත්‍රයා පාරට බැසිය යුතුය. යමිකිසි කෙනෙකු මෙම කර්ත්‍යවය නොකරන්නේ නම් එවැනි කෙනෙකු සිටින්නේ මුල් පවුලේ දෙමාපියන් ගේ නිදන කාමරය තුලය. එවැනි අය කෙතරම් සමාජය විචාරය කරත් ලුබ්ධිමය වශයෙන් මෙම ක්‍රමය පවත්වාගෙන යාමට රහසින් උදව් කරයි.

යම්කිසි පුත්‍රයෙකු දිගින් දිගටම පියෙකු ගැන පැමිණිළි කරන්නේ නම් නිසැකවම ඒ තැනැත්තා ඒ පැමිණිළි කරන්නේ ‘යථාර්ථය’ ගැන නොව ඊට පූර්ව තත්ත්වයක් ගැනය. එනම් පරිපූර්ණ ලෙස විනෝද වන පියෙකු ගැනය.එවැනි විවේචනයක් පාර්ලිමේන්තුව තුළ කරත් එය අයත් වන්නේ දේශපාලනයට නොව අදාල තැනැත්තාගේ ලුබ්ධි-ආර්ථිකයටය.එවැන්නෙකු කියන දේවල් මෙලෙස දෛනික භාෂාවට පෙරළිය හැක. ‘ඔබ කැමති දෙයක් ඔබ කරන්න! මට ඔබට දෙන්න කිසිම අදහසක් නැහැ. ඇති පදම් විනෝද වෙයන්. සමාජය වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න එපා ’ එබැවින් මේ අය මේ ඉල්ලා සිටින්නේ සුපිරි-අහම(Superego) නියෝජනය කරන පීතෘ රූපයකි. එනම් විපරිත නමක් සහිත පියෙකි.-උදා:-බර්ලුස්කෝනි,පුටින්,කැමරන්….

කෆ්කා ගේ ලිපිය කල්පනාවෙන් කියවන කෙනෙකුට වැටහිය යුත්තේ තම පියා ඉදිරිපිට කෆ්කා අසූච් බෙට්ටක් වන විට ඊට අදාලව පියා වඩ වඩා පිරිසිදු,ආධ්‍යාත්මික,චරිතයක් වෙයි. එබැවින් පියා ගැන වඩ වඩා පැමිණිලි කරන අසූච් බෙට්ටක් මගින් නිර්මාණය වන්නේ එහි විලෝමය වූ පිරිසිදු ආත්මයයි. අසූචි බෙට්ටක් වූ පුත්ත්‍රයෙකු ගේ අවසාන ඉල්ලීම අප හිතනවාට වඩා රැඩිකල්ය.ඔහු කියන්නේ තමන් රමණයේ යෙදෙන විට තම පියා ඊට බාධා කරන බවයි. මෙම ‘පරිකල්පනීය පියා’ සංකේත පියා මෙන් නොව පුත්‍රයාගේ නිදන කාමරයට රිංගා ඔහුට ලිංගික අඩන්තේට්ටම් ද කරයි. මෙම අඩන්තේට්ටම් පුත්‍රයාගේම ෆැන්ටසි බව දැනට දන්නේ දෙවියන් වහන්සේ පමණි. අවසාන වශයෙන් අපට කිව හැකි දෙය මෙලෙස සාරාංශ ගත කළ හැක. ශිරාල් විසින් දයාසිරි හරහා පියාට යොමුකර ඇති ලිපිය (ලැකාන් කී පරිදි) අනාගතයේ දී ඔහුට ලැබෙනු ඇත. මන්දයත් එය අමතා ඇත්තේ ඔහුටම නිසාය. ‘ස්වයං-බාධාව’ හමු වන්නේ පටතින්ය.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ඔබගේ වෙබ් අඩවියෙ ලිපි හතරකට වඩා නොබැලු අයකුට අනිත් නොබැලු ලිපි සොයා ගැනිම තරමක් අපහසුයි.

    • කරුණාකර all article තීරුව වෙත යන්න එම තීරුවේ සියළුම ලිපි මුලසිට අගට සොයා ගැනීමට පුලුවන.

  2. මිනිස් ජීවිතය අසුචි බෙටි මට්ටමට වැටෙන බර්ලුස්කානියානු සංධර්භය න්‍යායාත්මකව පැහැදිලි කිරීම පිලිබදව ඔබේ මහන්සියට බෙහෙවින් ස්තුතියි!මා මෙයට යමක් එකතු කිරීමට උත්සාහ කරමි.සංකේත පියාගේ මිය යෑමේ ආනිශංශයක් ලෙස අසුචි බෙටි මට්ටමට වැටෙන මිනිස් ජීවිතය තවතවත් ගදගස්සවන ලාංකීය බර්ලස්කෝනයානු රූපවාහීනී චැනලයන් ලාංකීය සමාජය නැත්තටම නැතිකර දමයි.සිරස රූපයවාහිනිය දයාසිරි ජයසේකර ගේ u.n.p යෙන් වෙන් වීම ,ලාංකීය සමාජයේ දැවෙන පුරශ්නයක් ලෙස මතුකරයි,සාමන්‍යය ජනතාව සමග විපරිත ආකරයට දුක සැප බෙදා ගනියි.ඊට අමතරව මාධ්‍යය සාකච්චා වලදී අහන මෝඩ පරශ්න උත්තර රූපවාහිනිය හරහා පෙන්වයි උදා:හිටපු පක්ෂය තුල ඔහුට ලිංගික කැපිලි ඇති බව කියයි.මේ දයාසිරි ජයසේකර තමන් ගැන හිතාගෙන සිටින හැටිය.මා දන්නා තරමින්,එ.ජා.ප..යේ නායකත්වය ඉහල මධ්‍යම පන්තිය නියෝජනය කරයි,ඔවුන්ට අවශ්‍යය නම් හුරුබුහුටි කොල්ලන් කෙල්ලන් කොලඹින්ම හොයාගැනීමට හැකි තත්වයක් යටතේ.පඞුවස් නුවර මැදිවියේ පිරිමින්ට ලිංගික ඊර්ෂ්‍යා කිරීමේ පදනම කුමක්ද?ඇත්තටම,මොවුන් සේනානායකලාගේ දේශපාලන දරුවන්ද? මෙයට අමතරව සිරස සහ දෙරණ නාලිකාවේ ඊට සමාන්තරව ලාංකියානු බර්ලුස්කානු වීරයා වන මර්වින් සිල්වා තමාගේ පුතරයාට පහරදීම සම්බන්ධයෙන් කුපිත වී,ඔහුගේ අතීත චන්ඩි කම් පිලිබදව කරන කථාවක් විකාශණය කරයි.ඒත් සමගම ,1988-89 කාලයේ ඔහුගේ ඥාතීන්ගෙ ඝාතනයන්ට සම්බන්ධ ජ.වි.පෙ ,එ.ජා.ප කිසිම කෙනක් ජීවත්වනාවාදැයි බලන්න කියා මාධ්‍යයන්ට කියයි.ඒ සමගම දෙමළ ජනතාවට දෙන රෙඩිමේට් විසදුම හොදින්ම දන්නා , යුද්ධය සදහා ආන්ඩුවට කඩේ ගිය සහ යුධවාදී සරත් fonseka ට හිටගෙන කඩේ ගිය මාක්ස් ටත් වඩා මාක්ස්වාදී, පක්ෂයේ සහොදරයන්ට අනුව ටිල්වින්වාදී අනුර කුමර දිසානායක කට අරයි.මොවුන් බංඩාරනයකලාගේ හෝ රෝහණ විජේවීර සහොදරයාගේ දේශපාලන දරුවන්ද?එදිනම දෙරණ නාලිකාව විසින් අනුගරහය දැකවු,2012 වසරේ ලෝක රූප රාජනිය වු චෙක් ජාතික සුද්දියක් විශේෂ අමුත්තිය හැටයට සහභාගි වූ, පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යය මොරාල් වැඩිකර ගැනිමටයි කියාගත් උත්සවයකට ,පරමාදර්ශී බෙද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට හීන දකිමින් සිටින ,ධනවාදය පිලබදව කිසිම සවිඥානක කමක් නැති උදය ගම්මන්පිල දෙරණට පාඩු නැතිව විකුනුනේය.මොවුන් නලින් සිල්වලාගේ දේශපාලන දරුවන්ද?බර්ලුස්කානු වසංඝතය ලෝකයේ සියලු මහද්වීපයන් තුල සැරිසරයි,ලාංකිකයන් සදහා එය වලක්වා ගැනීමට අවශ්‍යය එන්නත හොයගෙන ඇති බවත් පැහදිලියි.එසේනම් එන්නත් කිරීම පටන් ගමු !

Comments are closed.