ලිංගික ආලයට සීමා විරහිත නිදහසක් ඇති යුගයක මාටින් වික්‍රමසිංහ විසින් රචිත “විරාගය”  නවකතාවේ ප්‍රධාන චරිතය වන අරවින්ද ගැන සාකච්ඡාවක් අවශ්‍ය වන්නේ ඇයි? 1956 වර්ෂයේදී ප්‍රකාශයට පත් වූ විරාගය නවකතාව පසුව සිනමා නිර්මාණයකටද පදනම් විය. සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය තුළ ජීවත් වන බහුතර දෙනා අරවින්දගේ චරිතය සමඟ අනන්‍ය වෙයි. ගැටළුව වන්නේ ඒ මන්ද යන කාරණයයි.

“විරාගය” නව කතාව සමඟ තදින් බැඳීමක් ඇති කරගත් පළමු ලේඛකයා ගුණදාස අමරසේකරය සාහිත්‍යධරයා ය. කෘතිය පිළිබඳ මේ ඔහුගේ අදහසයි.

                                       “විරාගය එක් වරක් නොව නැවත නැවතත් කියවීමෙන් මා                    ලත් රසාස්වාද, මා මෙතෙක් ලබා ඇත්තේ පොත් අතලොස්සකින් පමණී.  කලකිරීමෙන් සහ හුදෙකලාවෙන් පීඩිතව ගිය සිත් ඇති ඇතැම් මොහොතක මම එය රැගෙන කුමන පිටක් වුවද පෙරළා කියවීමෙන් මහත් අස්වැසීමක් ලද්දෙමි….. මිනිස් සිත ධර්මයට නොව අධර්මයට ආකරයකැයි මට සිතේ. ධර්මය උපදින්නේ ඒ අධර්මය ආශ්‍රයෙනි.අරවින්ද සහ සරෝජිනී සහ බතී අතර පැවැති සම්බන්ධය කුමක් දැයි වටහා ගැනීම අරවින්දගේ ගූඪ චරිතය වටහා ගැනීම කදිම මාර්ගයකැයි මට සිතේ. ඒ ස්ත්‍රීන් දෙදෙනා ඔහුගේ සිත් සතන් නැමැති ඇතුළු ගර්භයට වැදීමට කදිම යතුරකි. මාටින් වික්‍රමසිංහ විසින් අරවින්ද නම් චරිතය හඳුන්වා දෙන්නේ මෙසේය. ‘ගිහියකු මෙන් ජීවත් වී මියගිය  එකකු වුවද ඔහු ළං වන්නේ ථෙරගාථාවෙන් තමාගේ අධ්‍යත්මය සෘජු හෙළි කළ පැරණි තවුසෙකුටය’’.

                            Face book සහ නිල් සිනමාව ඇති තරම් සමකාලීන මිනිසා වටා ගොනුවී ඇත. මුහුණු පොත සහ නිල් සිනමාව නිසා වර්තමාන තරුණ පරපුරේ බහුතර දෙනාගේ ආශාව (Desire) මියගොස් ඇත. අප යමකට අනුරාගික වන්නේ ඒ දෙය අපට දුරින් පවතිනවා නම් පමණි සමකාලීන ප්‍රේමයේ මුඛ්‍ය ගැටළුව වී ඇත්තේ එය විසින් අතීතයේ ඈතින් පැවැති උත්කර්ෂවත් වස්තූන් අති සමීපයට  රැගෙන ඒමයි. ජංගම දුරකතනය සහ මුහුණු පොතේ අධිකතර  සුඛනම්‍ය විවෘතභාවය නිසා ඔබට අවශ්‍යනම් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සෑම මොහොතකම සමීපව ජීවත් විය හැක.  මේ සමීප බව කෙතරම් දරාගත නොහැකි අන්තයක් කරා ම -Facebook-           මුහුණු පොත විසින් රැගෙන යනවාද යත්, ඵලය වන්නේ යම් දුරස් බව සිත විසින්ම ඉල්ලා සිටීමෙනි. අප තව කෙනෙකුට ආදරය කරන්නේ ඒ කෙනා අප නොවන නිසාය. නමුත් මුහුණු පොත  සහ අන්තර්ජාලය හා බැඳුණු ජංගම දුරකතනය නිසා අප සහ ඇය/ඔහු අතර පරතරය බිඳ වැටෙයි.  සෑම මොහොතකම ලබගත හැකි වස්තුවක් වූ විගස එම වස්තුව කෙරෙහි භක්තිය බිඳ වැටෙයි. ආදරය කරන වස්තුව හෝ ලිංගිකව අපව තෘප්තිමත් කරන වස්තුව ඕනෑවට වඩා කිට්ටු වූ  විට බිහි වන්නේ යම් අසහනයකි. මේ අසහනයෙන් ගැලවීමට අපට නැවත වස්තුව හා අප අතර යම් පරතරයක් නඩත්තු කළ යුතුය.

                                     සාරාංශ කළහොත් තත්වය මෙසේය. මුහුණු පොත සහ නිල් සිනමාව නිසා අප ආදරය කරන අනෙකා (ස්ත්‍රිය හෝ පිරිමියා) අපට දරාගත නොහැකි තරම් සමීපයට පැමිණ ඇත. කලින් අප පුරෝකථනය කළේ මෙම තත්වය සාරවත් වනු ඇත කියා ය. නමුත් අප රුචි කරන අනෙකා අපට වඩා කිට්ටු වු විට  සිදු වන්නේ පොරොත්තු වූ ආකාරයට සහනයක් ලබා දෙනවා වෙනුවට අසහනය නිපදවයි.  මෙවිට සිදු වන්නේ අදාළ සම්බන්ධය හේතුවකින් තොරව බිඳ වැටීමයි. එවිට වැරදිකාර හෘද සාක්ෂියක් හදවත තුළින් මතු වෙයි .මෙම තත්වය තුළ දි යම් පරතරයක් තබාගෙන ආදරය කරන අරවින්ද යම් විකල්පයක් නිපදවයි.

“ඈ නිසා මා තුළ හටගත්තේ රාගයක් නොව අත්භූත හැඟීමකි. විරාග රාගයකි.”

“කසාද බඳින්න මගේ කිසිම අදහසක් නැහැ. මට කිසිවෙකුට ආලය කරන්න බැහැ. වෛර කරන්නත් බැහැ. මම සරෝජිනීට ආලය කළාදැයි මම දන්නේ නැහැ. ඒ නිසා මම ප්‍රීති වෙන්නේ නැහැ. සෝක වෙන්නෙත් නැහැ”

“අරවින්දට ගෑණියෙකුට  ආලය කරන්න බැහැ. අරවින්ද ආලය කරන්නේ දුරින් ඉඳගෙන”

                                                    අද දවසේ මුහුණු පොත හරහා මානව සබඳකම් ඇති කරගන්නා ඕනෑම කෙනෙකුට ඉහත ආකාරයේ හැඟීම් පහළවීම පුදුමයට කාරණයක් නොවේ. මුහුණු පොත හරහා හටගන්නා මිනිස් සබඳතා එක දුරකට වඩා ගමන් කරන විට හේතුවකින් තොරව වැරදිකාර දෘෂ්ටියක් හට ගනියි.  මුහුණු පොත අප වෙතට අනෙකාගේ අරගෙන එන්නේ තොරතුරු (Facts) මිස අශාව නොවේ. මේ හේතුව නිසා මුහුණු පොත දීර්ඝ කාලයක් ඇසුරු කරන අයට අලුත් ලෙඩක් බෝ වෙයි. එනම් සැකයයි. මුහුණු පොතේ සියළු දෙනා තමන්ගේ මිතුරු මිතුරියන් දෙස බලන්නේ සැකයෙනි.  මේ හේතුව නිසා සිංහල මුහුණු පොත තුළ නිර්නාමිකයන් අධික වෙයි. මන්දයත් මුහුණු පොතට එබෙන බහුතරය අනෙකා තුළ සොයන්නේ අර්ථයක් නොව අශ්ලීල අඩංගුවක් නිසාය. මුහුණු පොත සහ නිල් සිනමාව මෙතැනතදී සමපාත වෙයි.

                         මුහුණු පොත හරහා අප අනෙකා තුළ සොයන්නේ හුදු නැරඹීමක් පමණී. අප මුහුණු පොතේදී අපගේ අනෙකාට කියන්නේ අසරණ වාක්‍යකි. අප දෙස බලන්න!” නමුත් කිසිවෙකු මුහුණු පොතේදී අප දෙස බලන්නේ නැත. මුහුණු පොත තුළ ඊට සහබාගී වන්නන් හැර හැරී බලන අය නැත.

                                 ඉහත දේශපාලන පසුබිම නිසා මුහුණු පොත් සහ නිල් සිනමා යුගයකදී අපගේ ආශාව යළි උත්පාද කර ගැනීමට නම් අප ආදරය කරන වස්තුව අපට තරමක් ඈතින් පැවතිය යුතුය යන අදහස නැවතත් තාර්කිත වෙයි. 1956 යුගයේ රචිත අරවින්ද ගේ ආශාව අනුකරණය කරන අය යළිත් බිහිවීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත.

                              එක් පැත්තකින් සමකාලීන පරපුරට ස්ත්‍රිය ගැන විද්‍යාත්මක සහ දාර්ශනික  දැනුමක් නැත. තව පැත්තකින් ගොලීය ධනවාදය හරහා තාක්ෂණයේ දියුණුම මෙවලම් හමුවී ඇත.  මේ පැති දෙකේ ක්‍රියාකාරීත්වය ගැන විශේෂ දැනුමක් කිසිවෙකුට නැත. තාක්ෂණය බොහෝ දෙනා වටහා ගන්නේ දියුණුව සහ සංවර්ධනය යන වචන සමඟය. නමුත් “නූතන ආත්මය” පිහිටන්නේ නොදැනුම සහ තාක්ෂණය අතරමැද තැනකය. මේ හේතුව නිසා නූතන ආත්මයට ජීවත් වීමට සිදුවී ඇත්තේ 56 යුගයකය. අපගේ විකල්පය ලෙනින් වෙනුවට අරවින්ද වීම අහම්බයක් නොවේ.  තාක්ෂණය අපව රැගෙන යන්නේ අනාගතයට නොව අතීතයටය. අද දවසේ ආදරය කරන කෙනෙක්තම අනෙකාව යම් පරතරයක් තබා ඇසුරු කිරීම අනිවාර්ය සාධකයකි. ඒ නිසාම ඒ පුද්ගලයා ධනවාදී සමාජ ක්‍රමය සමඟද පවත්වාගෙන යන්නේ යම් පරතරයකි.

Deepthi Kuamra Gunarathne

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. /මේ සමීප බව කෙතරම් දරාගත නොහැකි අන්තයක් කරා ම -Facebook- මුහුණු පොත විසින් රැගෙන යනවාද යත්, ඵලය වන්නේ යම් දුරස් බව සිත විසින්ම ඉල්ලා සිටීමෙනි// මේක ඇත්ත. නමුත් බටහිර සමාජයේ පුද්ගලික කම වැඩි නිසා මේ ප්‍රශ්නය අඩුයි. ඒ කියන්නේ බටහිර ගැහැණිය සහ මිනිසා තමන්ගේ පුද්ගලිකත්වය නිවසේදී පවා ආරක්ෂා කරනවා. මේකේ ප්‍රශ්නය තියෙන්නේ ආසියානු අයට. ඔවුන් සීමාව දන්නේ නැහැ.
    මම ඵස්බුක් එකේ ඉන්නේ මගේ නමින්.අන්වර්තව නොවේ. හේතුව මට පල කරන්න අවශ්‍ය දේ මිස හැමදේම මමදාන්නේ නැහැ. එසේම කාටද ඒවා පෙන්වන්නේ කියන සීමාව පවා තබාගෙන ඉන්නේ. මගේ ජීවිතය වෙනස්. එනිසා ෆේස්බුක් වල පාලනය අඩු කර ගණන් පුළුවන්. නමුත් සම්පුර්නයෙන්ම නොවේ. ෆේස්බුක් නිකන් වොලන්ටරි බිග් බ්‍රදර් වගේ

Comments are closed.