පසුබිම් සටහන-

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ බහුජන ව්‍යාපාරයක් වූ ‘ජාතික ජන බලවේගය’ මූලිකත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී අපගේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් විවෘත ලෙස එහි දේශකයෙකු විවේචනය කරයි. විවේචනය කාටත් විවෘත විය යුතුය. නමුත් එහි  කියවෙන කරුණු අසත්‍යය. ජනතා විමුක්ති පෙරමුණේ මනෝභාවයන්හි සිටි පුද්ගලයන් ටික කලක් X කණ්ඩායමට පැමිණ පසුව යළි තමන් සිටි තැනටම ගොස් ඇත. ගැටලුව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ අලුතින් මෙලෙස නයි නටවන්නන් පිරිසක් සොයාගෙන ඇත්තේ මන්ද යන්නය. යළිත්, සුවිශේෂී හේතුවක් නැතිව නාගරික හා ග්‍රාමීය ගරිල්ලා ව්‍යාපාරයක් බවට පත්වීමට ජවිපෙට නොහැකිය. ‍ක්‍රමක්‍රමයෙන් පවතින තත්වයට අනුව හැඩගැසීම හොඳය. නමුත් ඒ ක්‍රියාවලිය අතරේ බයියන් විසින් ටෝයි ගේම් ගහන්නට යන්නේ නම් ඊට අපි ද ප්‍රතිචාර දක්වන්නෙමු. සමහරවිට, ඉන් නරක තත්ත්වයන් උදා වීමට හැකිය. ප්‍රථම වතාවට, ජවිපෙ තමන් නොදන්නා පිරිසක් සමඟ දේශපාලනය කරන්නට පටන්ගෙන ඇත. බයියන් පාලනය කරන හැටි අප දන්නා අතර ඒ සඳහා උදව් කරන්නන්ගේ  වගතුග ද එළියට ඒමට හැකිය. මේවා සම්බන්ධීකරණය කරන සිවිල් නිලධාරීන්ගේ වගතුග ද එළියට ඒමට හැකිය. ප්‍රියන්ත කළුආරච්චි වැනි පුද්ගලයන් විමුක්ති ජයසුන්දරට කළ දේවල් ද එළියට ඒමට හැකිය. 

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]

ධනවාදය සහ ප්‍රාග්ධනය එහි පාලන ආකෘතිය වූ ප්‍රජාතන්ත්‍රවාදය නව අභියෝග හමුවේ අත හරිමින් සිටින්නේ ඇයි? ඒ වෙනුවට, අනෙකා  විඳිතැයි අනුමාන කරන ‘විනෝදය’ අභියෝගයට ලක් කිරීම නව පාලන ආකෘතිය බවට පත් වන්නේ මන්ද?

               වසර 70ක් පමණ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විසින් හඳුන්වා දුන් ආකෘතිය වූයේ, ද්විපාක්ෂික ක්‍රමවේදයයි. මෙම ද්විපාක්ෂික සටන් ශෛලියට එරෙහි විකල්ප බලවේගය වූයේ,වාමාංශික දේශපාලනයයි. මෙම වාමාංශික දේශපාලනය කොටස් දෙකකින් සමන්විත විය. මින් එකක් වෘත්තීය සමිති මත පදනම් වූ සම සමාජ-කොමියුනිස්ට් දේශපාලනයයි. මෙය පැරණි වාමාංශය ලෙස හැදින්වීය.70 දශකයේ සිට අලුත් තරුණ වමක් බිහි වූ අතර එය පූර්ණකාලීන දේශපාලනයේ නියුතු කාඩර්වරුන්ගෙන් සමන්විත විය. මෙම දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ නමින් අභිෂේක විය. මීට අමතරව, ලංකාවේ වාමාංශය න්‍යායික වර්ගීකරණයකට ලක් කරන්නේ නම් එය මෙසේය. එක කට්ටියක් අධික්‍රියාකාරී උද්ඝෝෂණවාදීන් වූ අතර අනිත් කට්ටිය න්‍යායික බොලද ට්‍රොස්කිවාදී මාක්ස්වාදීන් විය.                                                          

ඉහත සන්දර්භයට අමතරව උතුරේ සන්නද්ධ ජාතික විමුක්ති අරගලයට (උතුරේ පීඩිත පන්තිය) සාපේක්ෂව දකුණේ දේශපාලනය තුළ ජාතික ගැටලුව සන්දර්භ කොටගෙන වාමාංශික ප්‍රවණතා දෙකක් බිහි විය. එකක්, හිරු කණ්ඩායමයි. අනෙක, විප්ලවවාදී අධ්‍යයන පන්ති සහ කාඩර්වරුන් සිටින X කණ්ඩායමයි. X කණ්ඩායම තුළ දී ජවිපෙ තුළ සිටි පූර්ණ කාලීන කාඩර්වරයාව ගුණාත්මක වෙනසකට ලක් කරන ලදී. එමඟින් ප්‍රකාශ වූයේ, පරිණත මාක්ස්වාදී ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට දරන ලද තැතයි. ධනවාදය සූත්‍රගත කිරීම සම්බන්ධයෙන් නව න්‍යායික පර්යාවලෝකනයක් අත්‍යාවශ්‍ය බව කොන්දේසි විරහිත සත්‍යයකි. නමුත් මෙම කටුක සත්‍යය පැරණි වම්මුන් මෙන්ම සමකාලීන වම්මුන්ද මඟ හැර යති.

පසුගිය දිනෙක මැතිවරණ කොමසාරිස් සමසමාජ පක්ෂයේ නම හඬ ගෑ විට නැඟිට සිටියේ වයස 85ක කෙළින් සිට ගත නොහැකි මහල්ලෙකි. ශ්‍රී ලංකාවේ චින්තනය සහ යථාර්ථය අතර පරතරය එතරම් පුළුල් ය. පසුව අප සමඟ කළ කතාබහේ දී ඔහු කීවේ තමන් තවමත් පන්ති අරගලය සඳහා සූදානම් බවයි. පොත් නොකියවන සහ හදාරන්නේ නැති ගොන්නට ජවිපෙ සහ ඔවුන්ගේ ඛණ්ඩනය වූ පෙරටුගාමී සමාජවාදීන් ද එකතු වී ඇත. මේ නිසා, ඔවුන් තමන්ගේ වැඩය කරවා ගැනීමට එලියෙන් පුද්ගලයන් හයර් කරමින් සිටිති. 2013 වර්ෂයේ සිට නොනවතින ලිපි මාලාවන් ලිවීමට -තුවාල පටි- අතිදක්ෂ පුද්ගලයකු හරහා පෙරටුගාමී සමාජවාදීන් තමන්ගේ ඉදිරි දැක්ම ටින්කරින් කිරීමට උත්සාහ කළෝය. ලිවීමට වඩා වාචාල ලිවීම මහත් හානිකර දේවල් සිදු කරයි. මින් සිදුවූයේ 2018 පමණ වන විට මුළු පක්ෂයම වාචාලයන් පිරිසකගේ ගුබ්බෑයමක් වීමයි. අපගේ සංවිධානය තුළ සිටියදී කිසිදු සාමූහික ක්‍රියාවකට කැමැත්තෙන් සහභාගි නොවූ පුද්ගලයෙකු තවත් පක්ෂයක ඉදිරි දර්ශනයක් තැනිය හැකි යැයි සිතීම කෙතරම් අලුගුත්තේරුකමක්ද? එම පක්ෂය විනාශ කිරීමෙන් පසුව දැන් මේ මගමරුවන් ‘ජනතා විමුක්ති පෙරමුණට’ ඇතුල්වී එයට සීතල මරණයක් අත්පත් කර දෙමින් සිටිති.[JVP පරාජයේ පසුවිපරම VIDEOව නරඔන්න] තමන්ගේ මුදල් වියදම් කොට, කන ලඟට FM මයික් හයි කර, දේශපාලන කැපකිරීම් යනු මොන මෝඩකමක් දැයි උමතු දේශන ශාලා තුළදී අසා වදාරයි. මෙම වාක්‍ය නිසා ජවිපෙ තුළ සිටින බෝල්ෂෙවික් න්‍යෂ්ටියට කුමක් වේදැයි කීමට තවම කාලය වැඩිය. ඇත්තටම අපගේ පාර ශුද්ධ කර දීමට මැදිහත්වීම ගැන අපගේ වාචාල නෝනා මහත්වරුන්ට අපි නැවත ස්තුති කරන්නෙමු. සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ”කරන-කැපකිරීම්” යනු මානසික රෝගයක් යැයි කියන පුද්ගලයකු උපුටා දක්වමින් නැවත නැවත කියන්නේ නම් එමඟින් ජවිපෙ මළගම සිදුවනු ඇත.             

ළඟදී දිනෙක ‘ලංකාදීප’ පුවත්පතේ ‘දෙයියෝ සාක්කි’ කොලමේ මෙලෙස සටහන් වුවහොත් අප පුදුම විය යුතු නැත. “දරුණු ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙකු තමන්ගේ ආරාධනාවකින් තොරව තම බිරිඳගේ sex-අවශ්‍යතා බාහිර පුද්ගලයකු සලසන්නට යාම නිසා ඇතිවී ඇති පවුල් ආරවුලට මැදිහත් වන්න යැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියි”.

අනුන්ගේ ශ්‍රමයේ මහන්සියෙන් පත්තිරිප්පුවට නැඟ තමන් ඉදිරිපත් කරන ව්‍යක්ත න්‍යායික අදහසේ විමර්ශකය ලෙස ගන්නේ දියවැඩියා රෝගියෙකු කාම බියෙන් සන්ත්‍රාස කරන පුද්ගලයකුවය. එහිදී , එම අදහසට සිනහ වන සියලු දෙනා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර කරන රෝගියා ගැන කිසිවක් දන්නේ නැත. එතරම් දැන් අදේශපාලන මතයට මිනිස්සු පුරුදු වී ඇත. යථාර්ථයට වඩා සංකල්පය ප්‍රාථමිකය. මේ අදහස හේගල්ගේ ය.

උදයගේ සහ ටෙරල්ගේ මුහුණු රතු වනු දැන් අපට පෙනෙයි. යථාර්ථයේ තැන් දෙකක (එකක් ජවිපෙ පරාජය පිළිබඳ පසු විපරම සහ අනික දියවැඩියා රෝගියාව බියගැන්වීම) පවතින සිදුවීම් දෙකක් එක ළඟ තැබූ විට, දේශපාලනය සතු සාම්ප්‍රදායික ඥාන-විභාගය බිඳ වැටේ. ස්ලාවෝජ් ජිජැක් වැනි මාක්ස්වාදී දර්ශනිකයකු මේ පරතරය පැහැදිලි කිරීමට Parallax Gap යනුවෙන් සංකල්පගත කිරීමක් කරයි. එක පැත්තකින්, පුටුවක වාඩිවී දේශකයන්ගේ කතා වලට සවන් දෙන පුද්ගලයකුට එකම පසුබිමක මහා දේශකයන් තිදෙනෙක් කථා පවත්වති. එම පසුබිම එලෙසම තිබියදී ඒ එක් එක් දේශක වස්තූන් 3න දෙස වෙනත් රාමුවකින් නරඹන්නට අපි ඔබට යෝජනා කරන්නෙමු. මෙසේ කළ විට, නිශ්චලව ඔබ ඉදිරියේ ඇති වස්තු තුන පුටු සමඟම, මයික් සමඟම, ආත්ම රාගය සමඟම චලනය වන්නට පටන් ගනී. (වාඩි වී සිටින තිදෙනාට අදාළ රාමු වෙනත් තැන් වල ලියා ඇති නිසා මෙතැනදී ඔවුන්ව බලවත් අපහසුතාවයට පත් නොකරන්නෙමු.) ඉහත දාර්ශනික පසුබිම් කතාවට අනුව අපගෙන් ස්වාධීන වූ හෝ අපගෙන් කෙළෙසීමක් නොවූ යතාර්ථයක් නැත. තමන්ගෙන් ස්වාධීන යථාර්ථයන් සොයන්නේ තමන් අතින් කුමන හෝ නොමිනිස් කැත වැඩක් කාටහරි භයානක ලෙස කළවුන්ය. දැන් මේ ලියන තත්ත්වය අපට අදාළ නැතිද? නිශ්චිතව අදාළය. ගැටලුව වන්නේ, කිසියම් මිනිසෙකුට හෝ දේශපාලන සංවිධානයකට පුද්ගලික වාසි සඳහා අප දේවල් කර ඇත්ද? යන්නයි. අප ගැන ලිවීමේ අපහසුව එන්නේ මෙතැනින්ය. අප මේ යෝජනා කරන්නේ, වමේ ව්‍යාපාරයකට අවම සදාචාරය අවශ්‍ය බවයි. සමහරවිට, අපගේ ජීවිත කාලය තුළ මේ සටන දිනන්නේ නැති වීමට පුලුවනි. මේ හේතුව නිසා තමයි දිලිත් ජයවීර වැනි තක්කඩි අප සමඟ මාධ්‍ය සෙල්ලම් නොකරන්නේ. එසේ නම්,ගැටලුව ඇත්තේ ඥානවිභාගය පැත්තේ ද නැතහොත් සද්භාව විචාරය -Ontology- පැත්තේ ද? මේ වචන දෙකේම අර්ථ මේ වන විට උන්මත්තකයින් විසින් අසනීප වනතුරු කෙලෙසා ඇත.                         

කෙනෙකු ඥාණ විභාගය පැත්තේ සිට යමක් විචාරය කරන විට සැලකිල්ලට ගන්නේ ආකෘතිය (Form) පමණි. පහත පළ වන්නේ 70 වසරේදී විකොස ලේකම් කීර්ති බාලසූරිය විසින් ජවිපෙ ආකෘතිය විශ්ලේෂණය කරන අයුරුයි.

“ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ, ඔවුන් ජනතාව යැයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනේශ්වර පන්තියේ දුක්වේදනා තුළින්ම ය. මන්දපෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ‘ලක් මවගේ දරුවන්’, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන් සහ රැකියා නැති තරුණ තරුණියන් (දැන් මෙයට මෙසේ එකතු විය යුතුය- විශ්වවිද්‍යාල තනතුරු බාල්දු වූ ගුරුවරුන්) ආදි සිංහල සුළු ධනේශ්වරයේ සියලු දුක්ඛ දෝමනස්සයන් සත්තකින්ම ජවිපෙ තුළ වෙයි. නමුත් ඔවුන් තුළ නැත්තෙ කම්කරු පන්තිය සහ පන්ති අරගලය යි.”    

                                  දැන් ගැටලුව වන්නේ,70 දශකයේ දී වාමාංශික දේශපාලනය තුල දැනුම වූ දෙය 90 දශකයට පසුව ‘සත්තාව’ (Being) බවට පත් වූයේ මන්ද? නැතහොත් අතීතයේ ගුරුත්ව කේන්ද්‍රය වූයේ යථාර්ථය නම් සමකාලීන යුගයේ දී එය යථ[යට] වී ඇත්තේ මන්ද? අප කෙනෙකුට ඕනෑවට වඩා කිට්ටු වූ විට එම අනෙකාගේ විනෝදය අපට හමුවෙයි. මේ අනෙකාගේ අතිරික්ත ජීවිතයේ නොඉවසීමයි. 90 දශකයේ දී X  කණ්ඩායමේ සටන් පාඨය වූයේ, අනෙකාට හැකිතාක් කිට්ටු වන්න යන්නයි. එහි විපාකය අප එදින දැක තිබුණේ නැත. අනිකාට කිට්ටු වීමට ඇති තව නමක් නම් ආදරයයි. එය වැරදුනොත් අනෙකා ඔබගේ රෝග ලක්ෂණය (යථාර්ථය) වෙයි.

තමන්ගේ සැමියා සෑම අතකින්ම චපලයෙකු -Con Artist- සහ නරුමයෙකු බවට තමන්ටම සාක්ෂි තිබියදී දීප්ති ගැන පැරණි X කණ්ඩායම් සාමාජිකාවක් මෙසේ ලිවීම අහම්බයක් නොවේ.  

  “දීප්ති යනු අනුන්ගේ ජීවිත දිහා බල බලා සංසන්දනය කරලා…. තමන්ට නැති දේවල් ගැන ඇතිවන ඊර්ෂ්‍යාව හේතුවෙන් ඒ අයට කුණු කතා කියන, එහෙම අයගේ කුණු හොය හොයා ඒකෙන් ආතල් ගන්න, දුප්පත් මානසික තත්ත්වයක් තියෙන, කිසිදු පෞරුෂයක් නැති මිනිහෙක්. අඩුම තරමින් , තමන්ට ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්ක කෙලින් කතා කරලා විවෘතව විසඳගන්නවත් හැකියාවක් නැහැ…. ඒක පෞරුෂය පිළිබඳ ගැටලුවක්”.                                     

උදයට සහ ටෙරල්ට අභ්‍යාසයක් ලෙස කීර්ති බාලසූරියගේ විෂයමූලික යථාර්ථය සහ ඉහත කාන්තාවගේ සටහන – Subjectivity- අතර පවතින ‘අසම්පාතය’ ගැන ප්‍රවාද ගොඩනඟන්න යැයි අපි යෝජනා කරමු. නලින් ද සිල්වා ගේ ජාතික චින්තනයට ගහන්නෙ නැතිව-critique of ideology- හොරකම් දූෂණ ගැන කතා කරන ජවිපෙටත් ඉන් අභ්‍යාසයක් ලැබේවි. මොකද ‘සත්‍යය’ උඩුයටිකුරු වී (උඩුයටිකුරු-ජාතිවාදය ; අනෙකාගේ අතිරික්ත ජීවිතය නොඉවසීම, විචාරය තර්ජනයක්, කප්පාදුවක් ලෙස ගැනීම) යන්නේ ඉහත අසම්පාත පරතරය හරහා ගමන් කරන විටය. සමාජය වෙනස් කිරීමට අවශ්‍ය නම් මේ මඩගොහොරුව තරණය කළ යුතුය. විද්‍යාව හෝ දර්ශනය දැනුමක් නොව දේශපාලන භාවිතාවකි. 

මනුෂ්‍යත්වයේ අර්බුදය මේ මොහොතේදී දේශපාලන නායකත්වයේ අර්බුදයට සම්පාතය.

           -අපගේ සාමුහික ප්‍රයත්නයකි-   

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.