ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම දේශපාලනිකව පාලනය කිරීමට පහත සඳහන් කල්ලි කණ්ඩායම් උත්සාහ කරනු ලැබේ. (අනන්‍යතා කණ්ඩායම්)

 

1. භූ දේශපාලනික බලවේග – චීනය, ඉන්දියාව සහ යුරෝපය. මේ වන විට, මිනිසුන්ට බෙදා දීමට වෙන් කර ඇති රුපියල් 9000 ක් වටිනා ආහාර මල්ල ලබා දුන් දේශපාලන පක්ෂවල නාම ලේඛනය චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

2.මාධ්‍ය කල්ලි – මේ දක්වා පවතින සමාජ-ක්‍රමය නිර්මාණය කළ, සදාචාරාත්මක වශයෙන් රටේ සංස්කෘතිය විනාශ කළ Sirasa,දෙරණ, හිරු, සියත වැනි නාළිකා ජාතියේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටීම අරඹා ඇත. රටේ සදාචාර පරිහානියේ සහ සමාජ වියමනේ හිදැස් නිර්මාණය කළ ප්‍රසිද්ධ චරිත මහජන නැගිටීමේ ප්‍රකාශයන් වීම. GotaGoHome [#gotagohome] යූටියුබ් හැෂ්ටෑගයේ නිර්මාතෘවරුන් පවා මහජන නැගිටීම ගසා කා මුදල් හම්බ කරන්නන් බවට පත්වීම.

 

3.රට මේ තත්වයට ඇද දැමීමට මූලික වූ රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් තලයකට හිමිකම් කියන විශ්වවිද්‍යාල ගුරුවරු නම් සමාජ කණ්ඩායම් ද අරගලයේ ප්‍රකාශයන් බවට පත්වීමට උත්සාහ කිරීම.[Ideological displacement] වැස්සට තෙමුණු මේ කුකුළන් සමූහය ලක්ෂ 4 1/2ක පඩියක් හරහා පීඩිත ජනයාගේ ඩොලර් ගසා කයි. රාජපක්ෂලාට වඩා ඩොලර් විනාශ කරන්නේ, රාජ්‍ය නිලධාරි තන්ත්‍රය (සිවිල් නිලධාරීන්ගේ සිට ග්‍රාමසේවක දක්වා) බව අප අවබෝධ කරගත යුතුය. රාජපක්ෂ එපා තරමටම මේ රාජ්‍ය යන්ත්‍රය ද ප්‍රතිසංස්කරණය කළ යුතුය.

 

4.මුළුමහත් සමාජයම වාණිජකරණය වන සහ මූල්‍යකරණය වන තත්ත්වයක් තුළ (භාණ්ඩවල මිල පමණක් නොව මුදල්වල මිල පවා වෙළෙඳපොළ බලවේග මගින් තීරණය වීම) පීඩිත පන්තියේ පවුල පමණක් නොව මැද පන්තියේ පවුල පවා සදාචාරාත්මකව පිරිහීම.

 

5.දේශපාලන පක්ෂ [Professional Left Politicians]- ටිල්වින් සිල්වාට විදර්ශන කන්නන්ගර හෝ සේපාල් අමරසිංහ හෝ රැට්ටා හෝ වටහා ගැනීමේ ඥාණ විභාගයක් නැති වීම. මේ නිසා, දේශපාලන පක්ෂ මේ අර අදින්නේ ගාලුමුවදොර අරගලයට හිමි මාධ්‍ය අවධානය වෙනතකට යොදා ගැනීමට ය. එවිට, අරගලයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීමට නියමිත අතර දූෂිත වෘත්තීය සමිති නිලධාරීන් අරගලයේ අන්තර්ගතය ඩැහැ ගනු ඇත.

 

 

                පළමුව කිව යුත්තේ, අප දේශපාලන සංවිධානයක් බවයි. ගාලු මුවදොර පවතින්නේ, මහජන නැගිටීමකි. එවන් නැගිටීමක, කර උඩ නැඟ ලකුණු දමා ගන්නන් අතර අප නැත. අපි ඊට ඉහළින් හෝ පහළින් නො සිටින්නෙමු. එවැනි අරගලවලට ඉගැන්වීමට ද අපට නොහැකි ය. ඊජිප්තු අරගලයේ සිට හොංකොං අරගලය දක්වා මෙවන් අරගල ආකෘති වලින් අප උගත් දේ විශාල ය. අපි ඒ උගත් දේ පහත ආකාරයට සාරාංශගත කරන්නේමු.

            මහජන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් පසුගිය වසර 250 ක පමණ කාලය තුළ රාජ්‍ය බලය ලබා ගැනීමට ඉතිහාසය තුළ උත්සාහ දරා ඇත. මින් පළමුවැන්න, රොබෙස්පියර්ගේ නායකත්වයෙන් උත්සාහ කළ ‘ප්‍රංශ විප්ලවය’ යි. එයට ආයුෂ පැවතියේ, දින 72 කි. ඉන්පසු, ලෙනින්ගේ නායකත්වයෙන් 1917 දී ලෝකයේ විශාලම මිනිස් අත්හදා බැලීම වූ ‘රුසියන් විප්ලවය’ ජයග්‍රහණය කරන ලදී. එයට, ආයුෂ වසර 62 ක් පමණ විය.

            ලෙනින්ගේ විප්ලවයට පසුව ඇති වූ සියලුම මහජන අරගලවල තේමාව වූයේ, ලබා ගත් සාමූහික ජයග්‍රහණ සදාතනිකව තහවුරු කර ගැනීමයි. ඒ අනුව, ගැටලුව වන්නේ, ‘බලය ලබා ගැනීම’ නොව බලය තහවුරු කර ගැනීමයි. ධනවාදය වෙනුවට ‘කොමියුනිස්ට්වාදය’ ස්වාභාවික සමාජ බන්ධනය බවට පරිවර්තනය කිරීම අපගේ නූතන ගැටලුවයි.

            1918 දී, ස්පාටකස්වාදීන් ජර්මනියේ දී දරන ලද උත්සාහය, නවසිය තිස් ගණන් අග දී අරාජකවාදීන් ස්පාඤ්ඤයේදී දරණ ලද උත්සාහය, 1959 දී කියුබාව, 1975 දී වියට්නාමය, 1979 දී නිකරගුවාවේ හි සැන්ඩිනිස්ටාවරුන් ආදී වශයෙන් ‘මහජන බලය’ රාජ්‍ය බලය ලෙස ස්ථාපිත කිරීමට දරණ ලද ඉතිහාස අත්දැකීම් ය. බලය ලබා ගැනීම සංස්කෘතික ගැටලුවක් නො වූවත්, බලය පවත්වාගෙන යාම සංස්කෘතික ගැටලුවකි. චීන සංස්කෘතික විප්ලවය අසාර්ථක වූයේ, මේ මංසන්ධියේ දී ය. මේ බොහෝ අරගලවල දී ජනප්‍රිය ජනයා (Popular Masses) එක පැත්තක සිටින අතර, අනෙක් පැත්තේ සිටින්නේ බලයේ සිටින ‘පක්ෂ රාජ්‍යය’ (Party State) යි. නමුත්, දේශපාලන දයලෙක්තිකය සඳහා පද තුනක් අවශ්‍ය ය. අප යෝජනා කරන්නේ, එම තුන්වැනි පදය න්‍යායික සංකල්ප යන්නයි.

            ඊජිප්තුවේ මහජන නැගිටීම සහ එහි බිඳ වැටීම අරබයා දේශපාලන විශ්ලේෂකයන් ඉදිරිපත් කළ මූලික න්‍යායික කරුණු තුනක් පහත පරිදි ය.

 

1. මුස්ලිම් සහෝදරත්වයේ පැරණි ආකල්ප. (Conservatism).

 

2. විප්ලවවාදී ඉදිරි දර්ශනයක් නොමැති වීම.

 

3. ව්‍යාපාරයේ අභ්‍යන්තර ගතිකයන් තුළ එකතැන පල්වීම; නූතන රාජ්‍ය යන්ත්‍රය සහ එහි නිලධාරීන් මෙහෙය වීමට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් මුස්ලිම් සහෝදරත්වයට නොමැති වීම.

 

            භූමියෙන් අපට ලැබෙන තොරතුරු අනුව, ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට ඉහත කරුණු තුන අදාළ ය. ඔවුන් විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ ඉල්ලීම් සමූහයෙන් වැඩි කොටසක් ගම්බද ජනයාට හෝ රටේ 60% ක් වන අවිධිමත් ආර්ථිකයේ යැපෙන්නන්ට අදාළ නැත. ජනාධිපති තනතුරේ අන්තර්ගතය මිස ආකෘතිය වෙනස් කළ යුතු නැත. ජනාධිපති තනතුර අහෝසි කර පාර්ලිමේන්තුවට යළි බලය පැවරීම යනු ‘මහජන බලය’ සමාජයේ වෘත්තිකයන්ට සහ විදග්ධනයන්ට යළි බලය පැවරීමකි. 1978 ට පෙර ලංකාවේ රාජ්‍ය යන්ත්‍රය පාලනය කළේ, වම-දකුණ භේදයකින් තොරව ”සමාජයේ ප්‍රභූ කොටස්ය”. ජේ. ආර්. ජයවර්ධන 1978 දී පරාජය කරන ලද්දේ, මෙම ප්‍රභූවාදය යි. අප මෙතැන දී, මාධ්‍යවාදී කතිකාවන්ට සහ ‘දේශපාලන විද්‍යාව’ වෙනුවට මධ්‍යම පන්තික සදාචාරය දෙසන විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් ප්‍රවේශම් විය යුතු ය.

            අපගේ පැත්තෙන්, අපි ගාලු මුවදොර අරගලයට සුබ පතන අතර එහි නිර්නාමික නියමුවන්ට යෝජනා කරන්නේ, (එහි වාඩි වී සිටින අන්තර්ශ් විශ්ව-විද්‍යාල ශිෂ්‍යයන්ට අප යෝජනා කරන්නේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ප්‍රතිසංස්කරණය කරනු යන සටන් පාඨය අතට ගනු යන්නයි) නව-අරාජිකවාදීන්ගෙන් (ඉතිහාස මතකය නැති අය) සහ පාදඩවාදී විපරිතයන්ගෙන් ප්‍රවේශම් වන ලෙසයි. ඔබගේ නිරන්තර ප්‍රශ්න කිරීම් සහිත හිස්ටීරියාවට අපි යළිත් සුභ පතන්නෙමු!


– සමබිම පක්ෂය –       

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ABSOLUTELY FANTASTIC!

    I have been talking to SEVERAL academics (of the University of Peradeniya) and also getting views of some others through indirect sources and I also have been talking to some upper Middle Class Non-Academic Professionals. NONE of them has a CLUE on what’s going on but they think they are being a part of a Great Revolution! Its So PATHATIC! I think they are caught up in a HYSTERIA that is due to a psychotic condition common to all of them, namely, “Hatred towards the Rajapaksha Family”. There is NOTHING that EVEN COME CLOSE to what can be even vaguely called a “Political Vision” for anybody that participates and/or supports this HYSTERICAL SPECTACLE.

    This article on 3 MANA is the MOST INTELLIGENT ANALYSIS of what is going on I ever found. THANK YOU SO MUCH Deepthi and 3 MANA TEAM! YOU HAVE DONE IT ONCE AGAIN! WELL DONE!

Comments are closed.