පශ්චාත් නූතන ස්ත්‍රිය හමුවන්න!

ඇත්ත. කියවන්නියට සුමිත්‍රාගේ තුරු සමුදා නවකතාව තුළ පළමුවරට හමුවන්නේ නැටුම් කලාව පිළිබඳ බරපතළ අධ්‍යයනයක් කළ නවකතාකාරියකි. එහෙත් නවකතාවක් ලෙස තුරු සමුදා වැදගත් වන්නේ ඒ නිසා නොව සමකාලීන පශ්චාත් නූතන ස්ත්‍රිය අපට එහි මුණ ගැසෙන බැවිනි. ඇත්තට ම නම් මෙහිදී සිදුවන්නේ තම කුල පරම්පරාවට එරෙහිව කැරලි ගසන නූතනවාදී වීරවරියගේ පසු ධනවාදී සන්දර්භයක නැවත කියවීමය.

නවකතාව ආරම්භ වන්නේ නැටුම්කලාව මතු නොව එය නිරූපණය කරන ශිල්පියා ද නගරය වෙත ගෙන ගොස් ඉහළ මිලකට අලෙවි කිරීමට කල්පනා කරන වන්‍යා නම් වසඟකාරී ස්ත්‍රිය සම්මුඛ වෙමිනි. ඇය කිවිඳාට කරන ආලය සම්බන්ධ වන්නේ ඇගේ ම ආත්මරාගී (narcissistic) සංතෘප්තියටය. ඇගේ ආදරයේ වස්තුව (object of love) ඇගේම අහමාද්ගෙයේ (Ego Ideal) පිළිබිඹුවකි.

වන්‍යා නැතහොත් වන්නා තුළ අප දකින්නේ සියල්ල ප්‍රේමය වෙනුවෙන් කැප කිරීම තුළ ප්‍රේමය ඊට වඩා වූ දෙයක් ලෙස ගන්නා ස්ත්‍රියක් නොවේ. ඇය ප්‍රේමයේ නාමයෙන් තමාගේ ආදරයේ වස්තුව යළි යළිත් නිර්මාණය කරයි. අප නැගිය යුතු ප්‍රශ්නය නම් මෙබඳු පෙම් පලහිලව්වකදී සම්ප්‍රදායික නූතනවාදී ස්ත්‍රියගේ හැසිරීම කෙබඳු විය හැකි ද? යනුවෙනි. එම නූතනවාදී ස්ත්‍රිය පෙම් කරනු ඇත්තේ කිවිඳුගේ උස රූපකාය මැඬ මතුවන අහිංසක ගැමිකමට විය හැක. ඇය ඔහුගේ නර්තන හැකියාව ඉවසා සිටිනු ඇත‍්තේ ප්‍රේමයේ නාමයෙනි. සැබවින් ම එම නූතනවාදී ප්‍රේමය කිවිඳා සහ වන්නා අතර නිරූපිත ප්‍රේමයට වඩා සංකීර්ණය.

වන්නා නම් වූ නූතනවාදී ස්ත්‍රියට කිවිඳා සහ නර්තනය කෙරේ වූ ඔහුගේ කැපවීම අතර කැපවීම අතර ගැටුමකට මැදිවීම අනිවාර්ය වේ. එතනදී ඇයට කිවිඳා දිනා ගැනීම සඳහා සටන් කිරීමට සිදුවන අනෙකා නර්තන කලාවය. කිවිඳා දක්ෂ නර්තන ශිල්පියකු සේම හොඳ ප්‍රේමවන්තයකු ද වනු දැකීම එම නූතනවාදී ස්ත්‍රියගේ අපේක්ෂාවය. එහෙත් එම සන්දර්භය තුළ එය එසේ සිදුවීමට අවකාශ නැත. කිවිඳා එකවිටම හොඳ පෙම්වතකු සේම ශූර නර්තන ශිල්පියකු ද වන්නේ නම් ඔහු පරදාර සේවනයේ යෙදුනේ වෙයි. මන්ද එය සිදුවන්නේ ඔහු වන්නා නමැති ස්ත්‍රියට පෙම් කරද්දීම තම අනේක ප්‍රේමවන්තිය වූ නර්තනයට ද ප්‍රේම කිරීමෙනි. නූතනවාදී නවකතා ප්‍රේමය සංකීර්ණ වන්නේ එබැවිනි.

එහෙත් පශ්චාත් නූතනවාදී ස්ත්‍රියට ප්‍රේමය සම්බන්ධයෙන් එබඳු ගැටලුවක් නැත. කිවිඳු ඇගේ බසට අවනතව සම්ප්‍රදායික නර්තනය අතහැර කොළඹට පැමිණ තමාම විකිණෙන තැනකට පත් නොවන්නේ නම් වන්නාට ඔහු අතහැර දැමීම සිල්ලර දෙයකි. ඔහුගෙන් තමා අපේක්ෂා කරන විදියේ නර්තන ශිල්පියකු නිර්මාණය කර ගත නොහැකි නම් ඇය ඔහුට තවදුරටත් ආලය කරනු ඇත්ද?

මෙය කියවීමේ දී ඉතා පැහැදිලි කාරණය නම් වන්නා යනු උන්නතිකාමී (ambitios) ස්ත්‍රියක බවයි. ඇය තම විදෙස් අධ්‍යාපන කටයුතු කර ගන්නේ විවිධ ආකාරයේ බැල මෙහෙවර කරමිනි. විටෙක ඇය මුදල් ඉපයීම සඳහා තමා නොදන්නා නර්තනය අන් අයට උගන්වන්නීය. අවසානයේදී ඇය කිවිඳාගේ සැබෑ නර්තන හැකියාව විකිණීම සඳහා මං සොයයි. වන්නා නිවැරදිව කියවීම සඳහා නවකතාකාරියගෙන් ම අත්වැලක් සපයා ගනිමු.

“අපි අපේ ගෙදර යමු” වන්නා නිත්‍ය සුන්දරට යෝජනා කළා.

“අපොයි බෑ”

“නෑ බෑ කියන වචන අද ඉඳල ඔයාට තහනම්” වන්නා නියෝග කළා.

“ගුණවරුනි නෝනයි, සෝමදේව මහත්තයයි මාව සම්බෝලෙට ගනීයි.”

“බලහත්කාරයෙන් හරි මම ගෙදර පදිංචි වෙනවා. අපි දෙන්නා අපේ ගෙදරින් කලායතනය පටන් ගන්න ඕන.”

“මොන කලායතනයක් ද?”

“නිත්‍ය වන්නා කලායතනය”

“මට ඔය යුද්ධ වලට පැටලෙන්න බෑ.”

“මට යුද්දෙ බාර දෙන්න. ඔයා හිත සන්සුන් කරගෙන පාඨමාලාව හදන්න.”

“මොන පාඨමාලාවක්ද?”

“අපි දෙන්නම එකතුවෙලා ඒක හදමු. උඩරට නැටුම් කථකලි, මනිපුරි, බැලේ ඕන එකකට හරියන්න පාඨමාලාව හදනකොට අප්පච්චිගෙ උදව් ඉල්ලමු.

114 පිටුව.

ඇගේ සැබෑ සටන කවරකු සමඟද? ඇය සටන් වදින්නේ ඇගේ පියා සමඟය. ඈ කිවිඳා නැතහොත් ඇය පසුව නම් කරන පරිදි නිත්‍ය සුන්දර වූ කලී ඇගේ පියාගේ සමානයාය. (double) වන්නාට තම පියා සමඟ ඇති සබඳතාවයේ සුවිශේෂි බව කිවිඳා බඳු පෙම්වතකු සොයා ගැනීමට පොළඹවයි. මුලදි වන්නාගේ පියා කිවිඳාට අකමැති වෙයි. බැලූ බැල්මට පෙනී යන්නේ ඇය පියාට එරෙහිව කැරලි ගසන බවකි. එහෙත් එහි පිටු පස තිබෙන්නේ තම පියා පොළඹවා ගැනීම සඳහා වන්නා තුළ වන ආශාවයි. අවසානයේදි පියා විපරිත ලෙස වන්නා හා කිවිඳා අතර සබඳතාවය අඛණ්ඩව තැබීමේ මැදිහත්කරුවකු වෙයි. කිවිඳා ආපසු ගමට ගිය විට පියා ඇගෙන් මෙසේ අසයි.

“ඇයි වන්නා ඒ ළමයට යන්න ඇරියෙ?” සෝමදේව ඇහුවෙ දවසක් දෙකක් ගතවුණාට පස්සෙ.

මෙම ප්‍රශ්න කිරීම තුළ සෝමදේව (වන්නාගේ පියා) එක අතකින් කිවිඳාගේ තරඟකරුවා සේ ම අනෙක් අතට ඔහුගේ සමානයා (double) වන බව ද පෙන්වා සිටී.

සාමාන්‍යයෙන් ප්‍රේමය පවතින්නේ අනෙකා තුළ වේ යයි විශ්වාසයට ගන්නා එහෙත් කිසිවිටෙක හමු නොවන කිසිවක් සෙවීම තුළය. වස්තුව (object) විෂයයාගේ (subject) ආශාව දල්වයි. එය ආශාවේ හේතුවය. (cause of desire). එනම් පෙම් කරන්නිය අනෙකා තුළ ඔහුට වඩා වූ කිසිවක් වේ යයි ගනිමින් එය ගවේෂණය කිරීමයි. ඇගේ ආශාව සචලව තිබෙන්නේ එකී අනෙකාගේ ආශාව විසිනි. එහෙත් වන්නාගේ සුවිශේෂය වන්නේ ඇය ප්‍රේම කරන්නේ ඔහු තුළ වූ කිසියම් අඩුවකට (lack) වීමය. ඇය කිවිඳා ශාන්ති නිකේතනය දක්වා රැගෙන යන්නේ ඔහුගේ එම අඩුව පුරවා සම්පූර්ණ මිනිසකු බිහි කර ගැනීමටය. අර පශ්චාත් නූතන ස්ත්‍රියගේ භූමිකාව වෙත ඇය පිවිසෙන්නේ එතැනිනි. මෙහි කූට ප්‍රාප්තිය සලකුණු වන්නේ කිවිඳා නැතහොත් නිත්‍ය සුන්දර බරන පුත්‍ර ලියූ නර්තන කෘතිය වන්නාගේ ද සම කර්තෘත්ව‍යෙන් කළ බව සඳහන් වීමය. ඒ පිළිබඳ වන්නා විමසන කිවිඳාට ඇගෙන් ලැබෙන පිළිතුර මෙයයි.

‘දැන් ඔය තමුසෙ කාල ඇඳල හොඳ සැප පහසුවට මගේ ම තැන ලැගලා ඉන්නෙ? ඒව තමුසෙ හම්බ කරපු දේවල් ද? තොවිල්වල නැටුව තොවිල් නැට්ටුවො ගෙට දාගත්තට මට හොඳ වැඩේ.’

මෙම සමකාලීන හිස්ටරික ස්ත්‍රිය යළි යළිත් හමුවීමට නම් ටිකක් හිස හරවා වටපිට බලන්නැයි මම ඔබට ඇරයුම් කරමි.

සමන් වික්‍රමාරච්චි

silumina

ඔබේ අදහස කියන්න...