‘ජනරජයක්’ වෙනුවෙන් නිදහස සහ හමුදා ආචාර අහෝසි කරමු !

ලංකාවේ සමාජ ක්ෂේත්‍රයේ යටින් ගහන ගේම් වලට භූගෝලීය අධිනිශ්චයක් බිහි වී ඇත. 20 වැනි සියවසේ වාණිජ ධනවාදය ශ්‍රී ලංකාවේ වර්ධනය වන විට (සිල්ලර කඩ ආර්ථිකය), දකුණේ මිනිසුන්ගේ කපටි ඥානය කොළඹ වාණිජ නගරය තුළ අධිනිශ්චය විය. ‘බෙන්තර ගඟෙන් එහා සිට ගෙනෙන පූස් පැටියෙක්වත් විශ්වාස කරන්න එපා’ යන සටන් පාඨය තහවුරු වූයේ 20 වැනි සියවසේ වාණිජ ගනුදෙනු වලදී ය. එපමණක් නොව, ලංකාවේ වාණිජ ධනවාදයේ පතාක යෝධයන් බිහිවූයේ ද දකුණු පළාතෙන් ය.

                   21 වැනි සියවසේ,  ධනවාදයේ ගෝලීය ව්‍යාප්තිය සමඟ දකුණු ප්‍රදේශයේ ජනතාව පිළිබඳව පැවැති ෆැන්ටසිය ක්‍රම ක්‍රමයෙන් ඛාදනය විය. 21 වැනි සියවසේ අධිපති ප්‍රාග්ධනය වන්නේ, ‘වාණිජ ප්‍රාග්ධනය’ හෝ ‘කාර්මික ප්‍රාග්ධනය’ හෝ නොව මූල්‍ය ප්‍රාග්ධනය යි.මූල්‍ය ප්‍රාග්ධනයේ සමාජ සබඳතා බෙහෙවින් ද්‍රවශීලිය. එබැවින්, නූතන මූල්‍ය ප්‍රාග්ධනයේ සමුච්චකරණය තදින් සන්නිවේදනය සමඟ බද්ධ වී ඇත. මූල්‍ය ප්‍රාග්ධනය අධිපති වූ සමාජයක භාෂාව තවදුරටත් සන්නිවේදන උපකරණයක් නොවේ. ඒ වෙනුවට, භාෂාව මිනිසුන් නොමග යවන උපකරණයක් වී ඇත.

            21 වැනි සියවසේ දැනට ගෙවී ගිය දශක දෙකක කාලය තුළ, ධනවාදී ආත්ම මූලිකත්වයේ භූ දේශපාලනික කලාපය දකුණු ප්‍රදේශයෙන් වයඹ ප්‍රදේශයට ඛණ්ඩනය වී ඇත. විවිධ සමාජ ව්‍යුහවල වැඩකාරයන් බවට පත් වී ඇත්තේ, කුරුණෑගල මධ්‍යය කොටගත් වයඹ පළාතෙන් පැමිණි පිරිමින්ය. උදාහරණයක් ලෙස, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ වර්තමාන ජනාධිපති ලේකම් P.B. ජයසුන්දර වයඹ පළාතෙන් පැමිණි ගොවි පුතෙකි. දෙරණ නාලිකාවේ ලක්සිරි වයඹ පළාතෙන් පැමිණි කෙනෙකි. දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් හුළුගල්ල සහ ශාන්ත බණ්ඩාර යනු ද කුරුණෑගල කොල්ලන් ය. ආත්ම මූලිකත්වය සහ ආර්ථික ව්‍යුහය අතර මෙම ඛණ්ඩනය දේශපාලන උපරි ව්‍යුහයේ ඛණ්ඩනය මඟින්ද තහවුරු වෙයි.

                ඕනෑම ධනවාදී ආර්ථිකයක ප්‍රාග්ධනයේ මූලික රූපකාරය වෙනස් වූ විට, එම ආර්ථිකයේ උපරි ව්‍යුහය ( පුළුල් අර්ථයෙන්,සංස්කෘතිය) සතු ආකෘතිය ද වෙනස් වෙයි. එපමණක් නොව, ධනවාදී දෘෂ්ටිවාදී ෆැන්ටසියට අදාළ භූගෝලීය අධිනිශ්චයද විචලනය වෙයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය සුවිශේෂ කොට ගතහොත් ‘වාණිජ ප්‍රාග්ධනය’ අධිනිශ්චය වූ 20 වැනි සියවස වෙනුවට අද අප තෝරාගෙන ඇත්තේ ‘මූල්‍ය ප්‍රාග්ධනයේ’ ආධිපත්‍යය යි. එසේ වන විටම, සමාජ ව්‍යුහයේ අභ්‍යන්තර තර්කනය ද වෙනස් වෙයි. අප යෝජනා කරන්නේ, මෙම අධිනිශ්චය දැන් ‘දකුණෙන්’ වයඹට මාරු වී ඇත යන්න ය.

            ලංකාවේ තවම නිල සමාජ සබඳතා තුළ ‘දකුණ’ තහවුරු වී ඇති මුත්, ‍ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය ව්‍යුහය වයඹ තර්කනය මඟින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතියි. මෙම තත්ත්වය  වම/ දකුණ භේදය තුළ හඳුනාගත නොහැකිය. නමුත් ‘මූල්‍ය ප්‍රාග්ධනය’ තහවුරු වෙමින් යන සමාජයක ධනවාදී ආර්ථික ව්‍යුහයේ භූගෝලීය ඛණ්ඩනයක් ද සිදු වෙයි. එනම්, ප්‍රාග්ධනය සමුච්චකරණයට අදාල මිනිස් ආත්මයේ භූගෝලීය පිහිටීමේ විස්ථාපනය යි.

                 ලංකාවේ ‘රුපියල්’ මුදල් වලට බැංකුවල ලැබෙන පොලී අනුපාතික දළ වශයෙන්, 6%-8% පරාසයක පවතී. නමුත් පුද්ගලයෙකු නිශ්චල දේපළවල ආයෝජනය කරන්නේ නම්, තමන් මිලට ගන්නා දේපොළවල වටිනාකම වසරකට 20%කින් වර්ධනය වේ. ලක්ෂ 5000ක් වැනි මුදලක් වසර පහකදී එකතු කර ගන්නා පුද්ගලයෙකු, කොළඹ නගරයට සමීප ස්ථානවලින් නිවාස 12ක් (තට්ටු නිවාස ද ඇතුළත්ව) මිලට ගන්නේ නම් ඔහු සතු වාර්ෂික වත්කම්වල වටිනාකම වසරකට 20%කින් වැඩි වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත එකතැන පල්වීම රදා පවතින්නේ, බැංකුවල මුදල් තැන්පත් කරනවාට වඩා මුදලක් නිශ්චල දේපොළ මත ආයෝජනයෙන් ලබාගත හැකි වීම තුළ ය. අනිත් කාරණය වන්නේ, ලංකාවේ එකතු වන සල්ලි තම තමන්ගේ නිවාසවල රඳවා ගැනීම නිසා මුදල් සංසරණය අවම තත්ත්වයකට පත් කිරීමයි. (මේ හුදු කළු සල්ලි ආර්ථිකයේ ගැටලුවක් නොවේ.

                  කොළඹ නගරයේ ප්‍රධාන මාවත් වන රොස්මිඩ් පෙදෙස, ග්‍රෙගරි පෙදෙස, බාන්ස් පෙදෙස, ටොරින්ටන් අවට, වෝඩ් පෙදෙස, විජේරාම අසළ , කුරුදුවත්ත අවට ප්‍රදේශය 2005ට පසුව නාවල නිහාල්ගෙන් මුදාගත් පසු , එම ප්‍රදේශවල පදිංචි වී සිටි හුදෙකලා පවුල්වල විශ්‍රාමික  පිරිමින් එම ඉඩම් අධික මිල ගණන්වලට විකුණා (කෝටි 250- 300 දක්වා) දමා පසුව පන්නිපිටිය සහ බත්තරමුල්ල අවට ප්‍රදේශවල නැවත ස්ථානගත වී ඇත. ඔවුන් සතු විශාල මූල්‍ය සංචිත බැංකුවල දමා ඇත. එම පිරිමින් ඒ මුදල්වලින් මාසිකව යම් ප්‍රමාණයක් වියදම් කරන්නේ, Spa සම්බාහන ආයතන සඳහා ය. 174 බස් රථය ගමන් කරන මෙම මාවත දිගේ සහ ඒ අවට පමණක් ආරක්ෂක අංශ වාර්තා අනුව SPA 1747 පමණක් පිහිටා ඇත. මෙම Spa සඳහා තරුණියන් පැමිණෙන්නේ, ඇඹිලිපිටිය, අකුරැස්ස, රක්වාන, අනුරාධපුරය වැනි ඈත ගම් වලින් ය. ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනයේ ව්‍යුහය එක පැත්තකින් නිශ්චල දේපළ මත ආයෝජනය වන අතර අනෙක් පසින් ලුබ්ධි ව්‍යුහය ‘බොරදිය පොකුණ’ ආකෘතියක හිර වී ඇත. Spa අයිතිකාරයා තමන් ළඟ රාශිගත වන මූල්‍ය ප්‍රාග්ධනය Toyota-V8 මෝටර් රථයක් සඳහා ජපානයට අපනයනය කිරීමෙන් කතාව අවසන් වෙයි.

එසේ නම්, ‘බොරදිය පොකුණ’ ෆැන්ටසිය යනු කුමක්ද?

            ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ මූලික කතා ව්‍යුහය අපට මෙසේ සාරාංශගත කළ හැකිය. කොළඹ නාගරික උගත් මධ්‍යම පන්තික පිරිමියා තමාට ලිංගික පර්යේෂණ කළ හැකි ස්ත්‍රියව ෆැන්ටසිකරණය කරන්නේ ඈත ගම් වලිනි. කැලයට සමීප ගම්වල ස්ත්‍රීන් සමඟ, උගත් ස්ත්‍රියක් සමඟ කළ නොහැකි ඕනෑම ලිංගික පර්යේෂණයක් කිරීමට හැකි යැයි නාගරික පිරිමියා අනුමාන කරයි. චිත්‍රපටයේ කෞෂල්‍යාගේ භූමිකාව  නොහොත් ගෝතමී විසින් අභිනය කරන්නේ, මෙම ෆැන්ටාස්මැතිකය යි. මානසික ආර්ථිකය සම්බන්ධයෙන් තත්වය මෙසේ වුවත්, දේශපාලන ආර්ථිකය පැත්තෙන් ගැටලුව සංකීර්ණය.

            ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය විසින් යථාර්ථය සහ ප්‍රතිරූපය-image– අතර සම්බන්ධය අප නොසිතන දුරකට රැගෙන යයි.

  1. චිත්‍රපටියක් මූලික යථාර්ථය පරාවර්තනය කරයි. (උදා:බඹරු ඇවිත්
  2. චිත්‍රපටයක් බාහිර යථාර්ථය විපරිත කරවයි. (උදා: හංස විලක්)
  3.  චිත්‍රපටියක් යථාර්තයක් නැති බව පෙන්වයි. (උදා: Matrix
  4. චිත්‍රපටය බාහිර කිසිදු යථාර්ථයකට සම්බන්ධ නැත. එමගින් නිරූපණය වන්නේ, ශුද්ධ වේශ නිරූපණයකි.-Inception.

 

            ‘බොරදිය පොකුණ’ යනු, ඇඟලුම් සේවිකාවකගේ යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නැති යථාර්ථයක් පෙරබිමට රැගෙන එන්නකි. එනම්, යථාර්ථයේ අසම්පූර්ණ බව පිළිගෙන, ඒ අඩුව පිරවීමට උත්සාහ දැරීමකි. නාගරික පිරිමියකු තමන් සිටින භූගෝලයෙන් පිටත තැනක (පිටස්තර භූගෝලයක) සිටින ස්ත්‍රියක් දූෂණය කිරීමෙන් වඩාත් තෘප්තියක් ලැබෙතැයි අනුමාන කරයි. ඇත්තටම, එම ස්ත්‍රියද එම පිරිමි ෆැන්ටසිය සමඟ අනන්‍ය වෙයි.

                සමාජයක් වඩ වඩා මූල්‍යකරණය වනවිට (භෞතික දේවල් නිෂ්පාදනය කිරීම වෙනුවට අධ්‍යාත්මික සබඳතා නිෂ්පාදනය කිරීම- සමාජ  ප්‍රතිනිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදනයෙන් ජාතිය, ආගම, ප්‍රජාවට මාරු වීම), මූල්‍ය සම්පත් සහ බාහිර යථාර්ථය අතර සම්බන්ධ සහමුලින්ම අහෝසි වෙයි. එනම්, යථාර්ථය පිළිබඳ වටිනාකම් න්‍යාය සහ මූල්‍ය සම්පත් පිළිබඳ වටිනාකම් න්‍යාය අතර සම්බන්ධය බිඳ වැටෙයි. ඉන් අදහස් වන්නේ, මූල්‍යකරණයේ දී කිසිදු නීතියක් වලංගු නොවන බවයි. මූල්‍ය සම්පත් ස්වකීය වූ යථාර්ථයක් ගොඩනඟයි. කොළඹ නගරයේ තැන් තැන් වල අවිධිමත්ව ගොඩනැංවෙන තට්ටු නිවාස සංකීර්ණයන් ලංකාවේ ආර්ථිකයට සම්බන්ධයක් නැත. ඒවා, විවිධ වේශ නිරූපණයන් ය. නමුත් මුදල්වලින් මුදල් මවන මෙම තත්‍ය-සමාන යථාර්ථය මත ලාංකික සාමාන්‍ය මිනිසාගේ දෛනික යථාර්ථය තීන්දු වෙයි. මහා බැංකු වාර්තාවලට මේ තට්ටු නිවාස ගැන වැඩි දෙයක් කීමට නොහැකිය. ඒවායේ බොහෝ අයිතිකරුවන් විදේශිකයන්ය. ඔවුන් ආයෝජනය කර ඇත්තේ ද නීතියට රහසින් උපයාගත් මුදල් ය. ‘අපගේ මාතෘ භූමිය විදේශිකයන්ට විකුණන්න එපා යයි’ බෙරිහන් දෙන අය නොදන්නේ දැන් අප විකුණන්නේ ‘භූමිය’ නොව අහස බවයි.

                 එසේ නම්, මහින්ද රාජපක්ෂ නොදැනුවත්ව ඡන්දය ඉල්ලීමට ජොනීගේ ගම වන කුරුණෑගලට යාම අහම්බයක් නොවේ. කුරුණෑගල ආත්මයන් කොළඹ ආර්ථික ව්‍යුහය තුළ ඉක්මනින් ඉදිරියට එන්නේ කෙසේද? හේන් ගොවියාගේ සමපේක්ෂණ ඥානය (කුඩු චුටා) කොළඹ දී තීරණාත්මක වන්නේ කෙසේද? 

 -දීප්ති කුමාර ගුණරත්න-

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.