ස්ලාවොජ් ජිජැක් ගේ දාර්ශනික අදහස් මගින් අප සංවිධානයේ මතවාදී දේශපාලනය වර්ධනය වූ අකාරය සලකා බලන විට ජිජැක්ගේ ප්‍රධාන කෘති  තුනක් අධ්‍යයනය කිරීමේ ඉතිහාසය පිරික්සා බැලීම ඉතා වැදගත් වේ. ජිජැක්ගේ ප්‍රකාශකයාට  අනුව මෙම කෘති ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වන්නේ 1989 සිට 2014 දක්වා වූ කාල පරාසය තුලය. එම කෘති පිලිවෙලින් පහත පරිදි වේ.

  1. The Sublime Object of Ideology – දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ඨ වස්තුව -1989
  2. For They Know Not What They Do – ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා නිසා -1999
  3. The Most Sublime Hysteric -වඩා උත්කෘෂ්ඨ හිස්ටරිකයා හෙගල් – 2014

මෙම කෘති සියල්ල මුද්‍රණය  කරනු ලබන්නේ Verso නම් වාමාංශික පොත් ප්‍රකාශකයන් විසිනි. ජිජැක්ගේ ආචාර්යය උපාධි නිබන්ධනය මෙසේ කෘති 3ක් ලෙස විවිධ වර්ෂ වල එලි දැක්වීම හුදු කාලය පිළිබද ප්‍රශ්නයක් නොවේ. එය අප සංවිධානයේ දේශපාලන ඉතිහාසයේ අලුත් පරිච්ජේදයක් බිහි කිරීමට තරම් ප්‍රභල විය. ඉහත මුල් කෘති දෙක සංවිධානයට ලැබෙන්නේ අහම්බයකිනි (accidental). ඉහත කෘති  කියවීමේ අපගේ ඉතිහාසය පහත පරිදි වේ.

  1. The Sublime Object of Ideology – දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ඨ වස්තුව-1993 දී මේ පොත සංවිධානයට  හමුවන්නේ විභවි පුස්තකාලය තුලදීය . එය ලංකාවට රැගෙන විත් තිබුනේ  ඉංග්‍රීසි මාධ්‍ය ජනමාධ්‍යවේදියෙකු වන ලක්ෂ්මන් ගුණසේකර විසිනි.
  2. For They Know Not What They Do – ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා නිසා-1995 දී කැනඩාවට ගොස් ආපසු පැමිණෙන කුමුදු කුසුම් කුමාර මෙම කෘතියේ ජායාපිටපතක් රැගෙන එයි.
  3. The Most Sublime Hysteric –වඩා උත්කෘෂ්ඨ හිස්ටරිකයා හෙගල්-2015 දී මෙම කෘතිය සංවිධානයේ සාමාජිකයෙකු විසින් ලබා දෙයි. මේ වන විට අප ජිජැක්ගේ කතිකාව දන්නා නිසා මෙම කෘතිය ගෙන්වා ගන්නේ දැනුවත්වය.

මිචෙල් ෆුකෝගේ පොත් නිව්ටන් ගුණසිංහ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙනැවිත් තිබු  අතර රොහාන් පෙරේරා හරහා ඒවා සංවිධානයට පැමිණෙයි. ෆුකෝට අමතරව මාක්ස්, ග්‍රාම්ස්චි, අලතුසර්, ලැක්ලාවූ ආදී චින්තකයන්ගේ පොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුන අතර රොහාන් ඒවා සංවිධානය තුලට රැගෙන එනු ලබයි. මේ සියලු පොත් වල තිබු සංකල්ප  අපට පෙර  නිව්ටන් ගුණසිංහ ඇතුළු දේශීය ඇකඩමියාව  විසින්  ප්‍රයෝගිකව භාවිතා කල  සංකල්ප විය.සංවිධානයේ රැඩිකල් මැදිහත් වීම තුල එකිනෙකා අනෙකා කරගනිමින් සංවිධානය සහ ඇකඩමියාව ලෙස කතිකා දෙකක් ගොඩනැගෙන්නට විය. 1935 සිට ලංකාවේ ගොඩනැගුන ‘මාක්ස්වාදී රාමුව’ ප්‍රශ්න කිරීමට හැකි වන්නේ මෙම කතිකා දෙක මගිනි.

මෙම දේශපාලන ධාරා දෙක තුල සුවිශේෂී වෙනස්කම් පැවතින. අපට ව්‍යුහවාදයේ පියා සොෂියර් වූ  අතර අනෙක් ගුරුකුලයට  ව්‍යුහවාදයේ පියා අල්තුසර්  විය. එමෙන්ම අප ‘ව්‍යුහය’ ලෙස ‘භාෂාව’ සලකන විට ඔවුන් ‘දේශපාලනය  සහ ආර්ථිකය’ මුලික ව්‍යුහය ලෙස සලකනු ලැබීය. ඔවුන් දෘෂ්ටිවාදී විචාරය ආර්ථික ප්‍රවර්ගයක් සහ පංති අධිපත්‍යයේ ප්‍රශ්නාර්ථයක් ලෙස සලකනු ලැබීය. ධනපති පංතිය, නිර්ධන පංතිය සහ මධ්‍යම පංතිය ලෙස පංති සලකුණු කිරීම මෙකී සම්ප්‍රදායික මාක්ස්වාදීන් විසින් සිදුකෙරිණ. ග්‍රාම්ස්චි ගේ දේශපාලන අරමුණ වුයේ මහජනයා සහ බුද්ධිමතුන් අතර මනෝවිද්‍යාවක් බිහි කිරීමයි. මිනිසුන්ට ඇති මනෝවිද්‍යාව සංචාලනය (manipulate) කිරීමට හැකි නම් අපට සමාජ ආධිපත්‍ය පිහිටුවිය හැකි බව ග්‍රාම්ස්චි ගේ අදහසයි. මෙම චින්තන සම්ප්‍රදායේ අන්තිම ප්‍රකාශකයා වන ලැක්ලාවූ විසින් ඉහත සදහන් කල ‘පංතිමය සාරය’ ඉවත් කිරීමට උත්සහ කරයි. හෙජමොනික අරගලයකදී මහජනයාගේ කැමැත්ත දිනා ගැනීම මිස ඔවුන්ගේ  පංතිමය මුලය කුමක්ද යන්න වැදගත් නොවේ.

නිව්ටන් ගුණසිංහ ගුරුකුලයෙන් කැඩෙන තැන සහ සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් අප වෙන් වන තැන 2015 වන තෙක් නිශ්චිත ලෙස සලකුණු කිරීමට අපට නොහැකි විය. සංවිධානය තුල මුල් කියවීම වූ  “The Sublime Object of Ideology – දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ඨ වස්තුව” කෘතිය මගින් දෘෂ්ටිවාදයට ඇති පංතිමය ස්වරූපය සහ පංතිමය ස්වරූපය නොවන දෙය ප්‍රශ්න කෙරිණ. තවද රෝග ලක්ෂණය සාර්වත්‍රික ප්‍රපංචයක් බව හදුනාගනු ලබන්නේ මෙම කෘතිය හරහාය. මෙම හදුනාගැනීම අපට ඉතා වැදගත් විය. මුලින්ම එය  වැරදි ප්‍රත්‍යහිඥානයකි (misrecognition). ලැකාන්ට අනුව රෝග ලක්ෂණය යනු මර්ධිතයේ පුනරාගමනයයි. මර්ධනය අතීතයේ සිදුවූ දෙයක් වුවත් එමගින් බිහිවන රෝග ලක්ෂණය පුද්ගලයාට මුණගැසෙන්නේ අනාගතයේදීය. රෝග ලක්ෂණය ගොඩනැගෙන්නේ ප්‍රත්‍යවේක්ෂවය. ‘රෝග ලක්ෂණය’ (Symptom) සිට  ‘සාර්වත්‍රික රෝග ලක්ෂණය’ (Synthome) දක්වා  විතැන් වෙයි. ලැකාන්ට අනුව වාස්තවික ලෝකය යනුවෙන් දෙයක් නොපවතිනවා පමණක් නොව භාෂාව සහ  ආත්මය යන ප්‍රපංච ද  නොපවතී. එමෙන්ම මහා අනෙකාද නොපවතී. ‘ආත්මය’ (S) ඉරකින් කපා සංකේතවත් කරන්නේ එය හිස්බවක් වන බැවිනි. මෙතැනදී අපට ඉතා සරළ ගැටළුවක් මතු වේ. එනම් මේ කිසිත් නොපවතින්නේ නම් පවතින්නේ කුමක්ද යන්නයි. ලැකානියානු පිළිතුර වන්නේ පවතින්නේ  ‘රෝග ලක්ෂණය’ බවයි. රෝග ලක්ෂණය Synthome ලෙස හදුනගන්නා විට එමගින් ගම්‍ය වන්නේ අපට ඇති එකම සාරයයි. අපගේ පැවැත්මට ධනාත්මක ආධාරකයක් වන්නේ සින්තෝමයයි. අපගේ ආත්මයට සංගතභාවයක් ලබා දෙන්නේ එයයි. සින්තෝමය නොමැති නම් අප උමතු භාවයට ඇද වැටේ. මන්ද සින්තෝමයට විකල්පයක් ලෙස ඇත්තේ හිස්බව වීමයි. ඔබ ආත්මයක් ලෙස ඔබගේ රෝග ලක්ෂණය පවතින ස්ථානය හදුනාගත යුතුය. එහි ඇති ව්‍යාධිවේදමය සුවිශේෂත්වය තුල එහි  ඇති  ඔබගේ පැවැත්මට  සංගතභාවයක් ලබාදෙන අංග මොනවාද යන්න හදුනාගත යුතුය.

ජිජැක් මතුකරන ‘දෘෂ්ටිවාදය’ පිළිබද නව අදහස තේරුම් ගැනීමට එකල තරමක් අසීරු විය. තවද රෝග ලක්ෂණය පිළිබද අදහස ඉහත මතුකල සාර්වත්‍රික බව තුල ග්‍රහණය කර ගැනීමට සංවිධානයට නොහැකි විය. මේ නිසා ලැකාන්ගේ පොත් ගෙන්වාගෙන කියවීමට යොමු විය. ඒ 2002-2004 කාල වකවානුවයි. ඉතා සරලමතික සාමාජිකාවක් වූ ප්‍රභා මනුරත්න මෙම කියවීම් සමග සම්බන්ධ විය. මුලින් කිසිදු  න්‍යායික දැනුමක් නොතිබූ ඇය අවසානයේ සංවිධානයේ ප්‍රධාන අක්ෂය ගලවා දැමීමට සමත් විය. ඇය නිසා අතිශය බැරෑරුම් පිරිමි තම කලිසම එළිපිටම ගලවා ගත්තේය. මෙම සිදුවීම් සදහා බලපාන සාධක මොනවාද යන්න හදුනාගැනීම සදහා න්‍යාය ප්‍රමාණවත් නොවුන නිසා දීප්ති තෝරා ගත්තේ පසු බැසීමයි. තම සතුරාට මුහුණ දීමට නොහැකි නම් ඔවුන්ගෙන් පළායන ලෙස උගන්වන්නේ බෘස් ලී ය. බෘස් ලී ගේ සටන් කලාව ඉගෙන ගන්නා කෙනෙකුට හොදින් දුවන්න පුළුවන් විය යුතුය. මුලින් විශාල කණ්ඩායමක් ලෙස තනි පුද්ගලයා  පසුපස හබා එන සතුරා ටික දුරක්  යන විට එකිනෙකා හැලෙන්නට පටන් ගනී. තවත් දුර යන විට සතුරු කණ්ඩායම තැන් තැන් වල  විඩාවට පත්ව වැටී සිටිනු ඇත. එකෙකු හෝ අපහසුවෙන්  ලං වේ නම් ඔහුට ගැසිය යුත්තේ එක් මුෂ්ටි  පහරක් පමණි. 2004 දී දීප්තිට විරුද්ධ වූ අභ්‍යන්තරික සතුරු කණ්ඩායම අද වන විට පත්ව ඇත්තේ බෘස් ලී ගේ සතුරා ගේ තත්වයටය. ඇතැමුන් හබායන විට යා යුතු මාර්ගය නොදැන බොරුවලවල් වල වැටී මියගොස්ය. ඇතැමුන් හබායාම අතහැර නැවත ගම්බිම් බලා ගොස්ය. ඇතැමුන් දීප්ති නැවත පැමිණ තමාට අනුකම්පා කර තමාව ගලවා ගන්නා තෙක් බලා සිටී. ඇතැමුන් වංකගිරි වල අතරමං වී ඇති නමුත් කෙසේ හෝ දීප්තිට පහර දීමට හීන දකිමින් සිටී. මෙසේ අතරමං වූ  එක් පුද්ගලයෙකු  වන්නේ සුමිත් චාමින්දය.

2005 පලවූ LLP සගරාවක සුමිත් ජිජැක් ගේ දෙවැනි පොතේ නම සදහන් කරයි. “සල්වෝජ් ජිජැක්ගේ දෙවන කෘතියේ නම ‘ඔවුන් කුමක්ද කරන්නේ යැයි ඔවුන් නොදන්නා නිසා’ යන ජේසුස් වහන්සේගේ ප්‍රකාශයයි. මෙම ලිපිය එවකට සංවිධානයේ සිටි තිලක් කෝදාගොඩගේ ලිපියකට එරෙහිව ලියන ලද්දකි. එහි මාතෘකාව ‘ඔහු කුමක්ද ලියන්නේ යැයි ඔහු නොදන්නා නිසා’ ”. යමෙකු චින්තකයෙකු නිවැරදිව අධ්‍යයනය කරනවා නම්  එම චින්තකයාගේ චින්තන ප්‍රවර්ග නිවැරදිව හදුනා ගත යුතුය. එවිට එම චින්තකයා මෙන් කතිකාව හැසිරවීමට හැකි වේ. එසේ නොමැති විට සිදුවන්නේ චින්තකයාව අනුකරණය කිරීම පමණකි. සුමිත් ලියන මාතෘකාව දෙවන වරට ඔහුටත් වලංගු වේ. ජිජැක් ගේ චින්තනය ගැන පුළුල් අවබෝධයක් ලැබීමට නම් ඔහුගේ 3 වැනි පොත කියවිය යුතුය. සුමිත් පළමු පොත කියවා නැත. දෙවන පොතත් කියවා නැත. දෙවන පොත නව පෙරවදනක් සමග සංස්කරණය වන්නේ 2008 දීය. දීප්තිට එරෙහිව ලියන ලිපියේ සම්පුර්ණ හරයම දෙවැනි පොත නිසා අවලංගු වෙයි. අවසාන වශයෙන් සුමිත්ට ජිජැක් ගේ කිසිදු කෘතියක් අවබෝධ වී නොමැත. ඒ වෙනුවට ඔහු ජිජැක් අනුකරණය කරමින් ජනමාධ්‍ය වල අවධානය දිනා ගැනීමේ උත්සාහයක යෙදෙයි.

නිව්ටන් ගුණසිංහ විසින් නලින් ද සිල්වා සහ  ගුණදාස අමරසේකර යන අය කතිකාවෙන් බැහැර කල යුතු බව 1991දී  ‘මාවත’ සගරාවට ලියයි. නමුත් ජිජැක්ගේ මාක්ස්වාදී දෘෂ්ටිවාදී විචාරය මගින් ඔවුන් වැනි ජාතිවාදීන් බිහිවන්නේ ඇයිද යන්න පැහැදිලි වේ. පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය සහ දෘෂ්ටිවාදය අතර සම්බන්ධය තේරුම් ගත හැක. ධනවාදය යනු ආර්ථිකමය දෙයක් නොව දෘෂ්ඨිවාදී සංවිධානයක් බව පැහැදිලි වේ. ජිජැක් දෙවැනි කෘතිය හරහා සිදුකරන්නේ දෙවියන් වහන්සේ අනුකරණය කිරීම නොවේ. ඔහු ජේසුස් වහන්සේට වඩා දෙයක් කියයි. දෙවියන්ගේ ප්‍රකාශය තුල ඇති අඩු වූ දෙය (subtraction) කුමක්ද යන්න ජිජැක් සොයා ගනී. දෙවියන්ගේ නියෝජිතයාට ඇණ ගසන රෝම සොල්දාදුවන් ගැන දෙවියන්ගේ සිතීම වන්නේ ‘ඔවුන් දන්නවා නම් මම ඔවුන් ගලවා ගැනීමට පැමිණි කෙනා බව’ යන්නයි. රෝම සොල්දාදුවන් දෙවියන්ගේ නියෝජිතයාට  ඇණ ගසන්නේ වරදකාරීත්වයක් නොමැතිවය. ඔවුන් සැබෑවටම මේ දෙවියන්ගේ නියෝජිතයා බව නොදනී. මේ නිසා ඔවුන්ට සමාව දීම සාධාරණය. නමුත් දැන් සිටින්නේ රෝම සොල්දාදුවන් නොවන බව ජිජැක් පවසයි. දැන් ඉන්න කෙනා බුද්ධිමත්ය. ඔවුන් වැරදි වැඩක් කරන විට එය වැරද්දක් බවට සවිඥානිකය.ඔවුන් සත්‍ය සහ තමා අතර පරතයක් තබා ගනී. ජිජැක් මේ පුද්ගලයා හදුන්වන්නේ නරුමයා (Cynic) ලෙසය. සුමිත් චාමින්ද යනු නරුමයකි. ඔහු දීප්ති ගැන බොරු කියන්නේ දැන දැනය. එහි අරමුණ සමාජ බලය ලබා ගැනීමයි.

නරුමයා එසේ වන්නේ ඇයිද යන ගැටලුව තමාට හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වූ බව ජිජැක් දෙවන පොතේ පෙරවදනේ සදහන් කරයි.ඔහුගේ සොයා ගැනීමට අනුව  මිනිස්සු නරුම වන්නේ විනෝද වීමටය. විනෝද වන විට හේතුව අදාළ නොවේ. විනෝද වන නරුම ආත්මය අර්ථය වෙනුවට අනර්ථය වැළද ගනී.විනෝදයේ පදනම අවිඥානික වේ. තමන් කරන්නේ කුමක්දැයි නොදන්නා කමින් මිනිසුන් ලාභයක් ලබයි. මෙවැනි සමාජයක ජීවත් වීම සදහා  ලැබෙන වන්දිය යනු මෙම විනෝදයයි (Pleasure in Pain). සමකාලීන සමාජය තුල දෘෂ්ටිවාදයට අප ඇතුළු වන්නේ අවිඥානිකවය.  පුද්ගලයාගේ  පංතිය නිසා ඔහු දෘෂ්ටිවාදයේ ගොදුරක් වනවා යනු මිත්‍යාවකි.එමෙන්ම දෘෂ්ටිවාදය යනු ආර්ථිකමය ප්‍රවර්ගයක් නොවේ. එය මිනිසුන්ගේ අවිඥානයේ නිෂ්පාදනයකි.  ප්‍රභා මනුරත්න වේදනාවෙන් සතුටු වන කෙනෙකු බව තේරුම් ගැනීමට සංවිධානයට අවුරුදු 14ක්  ගතවිය.

කාලය නිරපේක්ෂ දෙයක් නොව සාපේක්ෂ දෙයකි. ජිජැක් සහ අප එකම කාලයක් තුල ගවේෂණය කලේ එකම  ප්‍රපංචයකි. නමුත් එම කාලය තුල  නිර්මාණය වූ අවකාශයන් එක හා සමාන නැත. ජිජැක්ට ප්‍රභා මනුරත්න , සුමිත් චාමින්ද වැන්නන් හමු නොවූ අතර ඔහුට හමු වුයේ මාර්ලන් දොලාර් වැනි සගයන්ය. මේ නිසා ජිජැක්ගේ කාලයට වඩා අපගේ අපගේ කාලය ගත වුයේ ඉතා සෙමින්ය.  ඔරලෝසුව අනෙක් පැත්තට කරකවා ගැනීමට සිදුවූ අවස්ථා බොහොමයකට අප මුහුණ දුන්නෙමු. නමුත් අද අප සිටින්නේ ජිජැක් හා සමගාමීවය. කාලය ඉක්මනින් ගත වූ නිසා ජිජැක් වයෝවෘද්ධ වුවද අප සිටින්නේ තවමත් තරුණ අවධියකය. මේ නිසා ජිජැක්ගේ සීමාවන්ද සමතික්‍රමණය කරමින් ඔහු බලාපොරොත්තු වූ කොමියුනිස්ට් සමාජය ගොඩනැගීමේ කොටස්කරුවන් වීමට  අනාගතයේදී අපටද හැකි වනු ඇත.

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Zizek is an overrated “philosopher.” Would love to hear him read Mein Kampf in his fluent German. Avoid this man. He’s part of the problem, not a solution.

Comments are closed.