මහේෂ් හපුගොඩ මිතුරා ඔහුගේ ලිපියකින් කොටසක මවිසින් ලියන ලද “මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග” ලිපියට පිළිතුරක් ලියා තිබුණි.
ඒ “වෙනස් කල යුත්තේ යථාව ය” මැයෙන් පළවූ ලිපියකිනි.  යොමුවට මෙතනින් යන්න. 

එතැනදී ඔහු මෙවන් සාධාරණ ප්‍රශ්නයක් ද නගා තිබුණි, 

“විප්ලවීය ක්‍රියාවකදී යම් ‘සිද්ධියක්’ සිදුවීමට සංකේත පිළිවෙල උල්ලංඝනය කිරීමට (ප්‍රකෘතිය විකෘති කිරීමට) සිදුවන බව න්‍යායිකව පහදන මගෙන් අජිත් ධර්මකීර්ති මිතුරා මම එංගල්ස් කියූ දෙය පරම සත්‍යයක් ලෙස පිලිගන්නවා දැයි අසන්නේ ඇයි දැයි නොතේරේ.”-මහේෂ් හපුගොඩ  (ම.හ.)

මට වැටහී ගිය අන්දමට මහේෂ් හපුගොඩ මිතුරා  මගේ ලිපියෙන් මා අදහස් කළේ කුමක්දැයි වටහා ගෙන නැත. එය ඔවුන්ට කළ විවේචනයක් ලෙස සළකා අප වැනි විදේශ රටවල ජීවත් වන අයට නිතර එල්ලවන සුපුරුදු වාග් ප්‍රහාරයකින් පිළිතුරක් සපයා ඇත. එම වාග් ප්‍රහාරය   මා ඉහත  කී “සාධාරණ ” කතාවට පිළිතුරු දීමට කලින්ම එල්ලවූවකි.

මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. ” (ම.හ.)

මේ කතාව ඉතා සුපුරුදු එකකි. පිටරට සිටින   අප ලංකාවේ සෙල්ලම් දැමීමට කතා කරන බවක් අපගෙන් ලංකාවට  තර්ජනයක් එල්ල වන බවක් සමහරු ඇනොනිමස් ලෙස බ්ලොගයට පැමිණ චෝදනා කරති.

මහේෂ් මිතුරා  මෙසේද කියයි.

නමුත් අපගේ අරමුණ වුවේ නලින් ඉවරෙට ම ඉවර කර දැමීමක් නොව නලින් බිහි කළ ලෝකයෙන් ඛණ්ඩනයක් සලකුණු කර අපගෙන් පසු පරම්පරාවට අලුත් ලෝකයක් පෙන්වා දීමය .

ඒ දෙදෙනා ම භෞතිකව ජිවත් වන්නේ මා ජීවත් වන ලෝකයට වඩා වරප්‍රසාධිත අවකාශයක (දියුණු රටවල) වීම ද විශේෂත්වයකි. මුලින්ම මුහුණු පොත හරහා ප්‍රතිචාර දැක්වුවේ ජනා චාමින් නම් මුහුණු පොත් අරගල කරුවෙක් වන අතර අනෙක් තැනැත්තා අජිත් ය. ජනා ගේ එක් ප්‍රතිචාරයක් ජයසිරි මිතුරා විසින් SIS.lk වෙබ් අඩවියේ පළ කරන ලදී. ජනා සහ අජිත් යන දෙදෙනා ම දේශපාලනය කරන්නේ සහ සාකච්චා කරන්නේ වර්චුවල් අවකාශය ඔස්සේ ය (උදය ආර්. තෙන්නකෝන් මිතුරා ද අයිති මෙම කුලකය ට ම ය). ඔවුන්ගේ ‘වර්චුවල් දේශපාලනයේ’ කිසිදු ගැටළුවක් මට නැත (නමුත් අන්තර්ජාලය යනු සමස්තතාවය සඳහා දිවෙන යථාවක් යන ජෝඩි ඩීන් ගේ තර්කය මට පහසුවෙන් අමතක කල නොහැක. කියවන්න ‘The Real Internet’ by Jodi Dean). අපගේ ව්‍යායාමය ගැන කතා කිරීමට තරම් විවෘත වීම සහ කුහක නොවීම ගැන ඔවුන් දෙදෙනාට ම අප කෘතඥ වෙමු. නමුත් මගේ ප්‍රශ්ණය නම් ඉහත පොත හෝ ඒ පිළිබඳව ඔවුන්ගේ මැදිහත් වීම ගැන නොවේය. මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්න ය

 නව භූමියකට නිරාවරණය වූ නලින් ද සිල්වා ‘අපෝ මට නම් ඒ විදිහේ විද්‍යාඥයෙක් වෙන්න බැහැ’ යනුවෙන් මුරගාමින් ආපසු සියරට බලා යාත්‍රා කළේය. අද දවසේ අපේ අය පිටස්තර භූමියක සිටියත් මේ ‘අමුතු ඇටයේ’ සිදුවන්නේ කුමක් ද යන්න දෑස් නොපියා බලාගෙන සිටී (gaze point). මා කියන්නේ ඔබගේ නව භුමිය තුල ඔබ තවම නිදහස් නැති බවයි.”- (ම.හ.)

රතු පැහැයෙන් සලකුණු කරන ලද කොටසට මම මේ පිළිතුර ප්‍රතිචාරයක් වශයෙන් පළ කලෙමි. (ත්‍රිමාණ වෙබ් අඩවිය)

 මහේෂ් ,// ජනා සහ අජිත් යන දෙදෙනා ම දේශපාලනය කරන්නේ සහ සාකච්චා කරන්නේ වර්චුවල් අවකාශය ඔස්සේ // කියන කොටසට මා දන්නා පරිදි කියල කෑල්ලක් දැම්ම නම් හොඳ නැත්ද? ජනා කියන්නේ කවුද මම දන්නේ නැහැ. නමුත් මම ගැන කියනව නම් මම මොමෙන්ටම් එකේ සාමාජිකයෙක් වගේම ලේබර් පක්ෂයේ සාමාජිකයෙක්. මේ දවස් වල කෝබින් ගේ යුරෝපය පිලිබඳ ස්ථාවරයට විරුද්ධව  අයින් වෙලා ඉන්නේ. සම්පුර්ණයෙන්ම අයින් වෙන්ඩත් ඉඩ තියනවා. අන්න ඒක වුන වෙලාවක ඔය කතාව කීව නම් හරි. ඕනෙනම් ෆොටෝ එකක් එවන්නත් පුලුවන්නම් මම ඔය ඔයා කියන වර්චුවල් අවකාශ ඔස්සේ විතරක් දේශපාලනය කරන්නේ නැහැ කියල පෙන්වන්න. හුඟක් වෙලාවට මම ලිබරල් ඩිමොක්‍රටික් දේශපාලන පක්ෂයට සහයෝගය දෙන්න ඉඩ වැඩියි.

// මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’//  මම බ්ලොග් ලිපියකින් සවිස්තරාත්මක පිළිතුරක් දෙන තුරු මේ පිළිතුර  taster එකක් ලෙස ගන්න. මහේෂ් මේ කතා සාමාන්‍යයෙන් මට කියන්නේ බයියෝ රැල මගේ බ්ලොගේ කොමෙන්ට් කරන. තෝ එහෙ ගියානම් එහෙට වෙලා ඉඳපිය . එහෙ ඒවා බලාගන් . තෝ මොකටද ලියන්නේ අපි ගැන. අපි බලා ගන්නම් . තව දරුණු භාෂවෙන් පරයා වගේ වචන පවා කියමින් දානවා පොස්ට්. සමහර ඒවා මම පල කරනවා, සමහර ඒවා පළ කරන්නේ නැහැ මෝඩ වැඩි නිසා හරි කුණු හරුප නිසා හරි. ඒ ගොල්ලන්නට දුන් උත්තර ටිකක් පස්සේ දාන්නම් දැනට මෙහෙම අහමු. මාක්ස් ලන්ඩන් ඉන්න කාලේ ඔයාගේ තර්කයට අනුව පැරිස් කොමියුනය ගැන හොයන්නේ නැතිව ලන්ඩන් වල දේශපාලනය කරන්න තිබ්බ නේද? ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ ඉන්න කොට මෙක්සිකෝවේ මිසක් සෝවියට් රුසියාවේ දේශපාලනය හොයන්නේ නැතිව මෙක්සිකෝවේ එකට සම්බන්ධ වෙන්න තිබ්බ නේද? ස්ටාලින් ගෙන් මැරුම් නොකා ඉන්නත් තිබුන. ආ එතකොට ලෙනින් – ස්විට්සර්ලන්තේ අරගලයට ඒකාත්මික වෙන්නේ නැතිව මොන බම්බුවක් කලාද රුසියාවේ  දේශපාලනයට  ඇඟිලි ගගහ ?
මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ ජවිපේ සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.

— මේ ලියන්නේ එසේ වූ පොරොන්දුවේ පැහැදිලි කිරීමය.

පසු කාලයක පෙරටුගාමී සමාජවාදීන් ලෙස ජවිපෙන් කැඩී යාමට ප්‍රථම පුබුදු ජයගොඩ ප්‍රමුඛ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්  විසින් ක්වන්ටම් භෞතිකය ගැන පොතක් ලියා තිබුණු බව පැවසුවෙමි.  මට මතක විධිහට එහි නම “ක්වන්ටම් ලෝකයේ දයලෙක්තිකය” වැනි එකකි. එහි අවසානයේ ක්වන්ටම් භෞතිකය පිලිබඳ දැනුම මාක්ස්වාදී අදහස් වලට විරුද්ධ නොවන බවට තර්කයක්ද  ගෙන එයි. මේ පොත හොඳ එකක් වන්නේ අවශ්‍ය අවස්ථාවේ එය පළ කල  නිසාය. ඒ ජවිපෙ ප්‍රකාශනයක් ලෙසය. ක්වන්ටම් භෞතිකය පිලිබඳ අදහස්, නවීන විද්‍යාවේ දියුණුව මෙන්ම පෙරදිග දර්ශනය එකට මුහුවුණු නව දර්ශනයකින්  එල්ල විය හැකි  පහර ගැන ඔවුන් සිටියේ අවබෝධයකින් බව එම පොත පළ කිරීමෙන් පෙනී යන්නේ නැත්ද? එංගල්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයේ හි සාක්ෂි හා තර්ක යල්  පැනගිය ඒවා සෝවියට් දේශය කාලයේදීම වටහා ගෙන තිබුණි.  වී ජි අපනාසියෙව් විසින්  ඒ පිලිබඳ අදහස් වඩා දියුණු කරන්නට සිතා දයලෙක්තික    භෞතිකවාදය සහ නවීන විද්‍යාව මැයෙන් ග්‍රන්ථයක් පළ කලේ එම
නිසාය. (මෙහි සංක්ෂිප්ත  පරිවර්තනයක් පියසේන මහනිල්ගම මහතා විසින් කරන ලදී – ප්‍රගති ප්‍රකාශන – මොස්කව්. )

නමුත් සෝවියට්  දේශයේ භෞතික  විද්‍යාඥයන් ගැන සඳහන් කරනවා නම් ඔවුන් මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්  ගේ කළු කුහර (black holes) වල ක්‍ෂිතිජ සීමාවේ  (event horizon) පරමාණුක උප  අංශුන් (subatomic particles) විහිදවිය හැකි බවට වූ ප්‍රමේය (Hawkins radiation) පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. ඒ දයලෙක්තික භෞතිකවාදයට අනුව එවැන්නක් සිදු නොවෙතැයි තර්ක කරමිනි. නමුත් ගණිතමය අපෝහනයෙන්  පසු ඔවුන්ට පසුව එය පිලි ගන්නට සිදු වුනි.

මා භෞතික  විද්‍යාවේ ක්වන්ටම් භෞතිකයේ  අරී අට මග ගැන සඳහන්  කලේ මහේෂ් මිතුරාට  පටිච්ච සමුප්පාදය ගැන කතා කිරීමට ආරාධනා කිරීමට  නොවේ.

මා කියුවේ මෙයයි.

” තව දුරටත් අපට මිනිස් පරිණාමය පිලිබඳ ඩාර්වින් ගේ මතය පරීක්ෂණ හා නිගමන මගින් තහවුරු කල හැකි වුවත්  විශ්වයේ පරිණාමය ඉතා කුඩා අන්ශුන්ගේ හැසිරීම දක්වා ලඝු කිරීමේදී මුලික ඓතිහාසික භෞතිකවාදයේ  සඳහන් කරුණු වල බිඳ වැටීම වැළැක්විය නොහැකිය.”

 මා ඔබලාට එකඟ වෙමින් මෙසේද ලියුවෙමි.

“දිප්ති කුමාර  හා මහේෂ් හපුගොඩ ආදරය ගැන කියන්නේ එනිසා විය යුතුය. මට වැටහෙන ආකාරයට  ඔවුන්ට අනුව (හෝ ජිජැකියානු දර්ශනය තුල) ආදරය හා මිනිස් සම්බන්ධතා වර්ධනය කිරීම තුලින් ධනවාදය අවසන් කිරීමේ අඩිතාලම ගොඩ නගා ගත හැකිය. ප්‍රති-දීප්ති හා ප්‍රති-මහේෂ් වෙනත් ප්‍රති-විශ්වයක වෛරය (පන්ති වෛරය) අත්හදා බලනවා විය හැකිය.”

ඇත්ත වශයෙන්ම කියනවා නම් මාක්ස් ගේ කාලයේ පතල් කම්කරුවන්ගේ ජිවන තත්වයෙන්  උත්පාදනය වුනු අදහසක් වන පන්ති වෛරය තව දුරටත් මානව හිමිකම් ගැන ප්‍රබල මතවාදයක් ඇති මේ කාලයේ තවදුරටත් වලංගු නැත යයි මම සිතමි. ඒ මගේ පෞද්ගලික මතයයි. එනිසාම ඔබලාගේ අදහස මෙහිදී නිවැරදියයි සිතමි. වෙනත් විශ්වයක එසේ අත්හදා බලනවා යයි කිවේ වෙනත් විශ්වයක් ඇත්තේද යන්න අප තවමත් නොදන්නා නිසාය. නමුත් ඒ සඳහා  සම්භාවිතාවක්  ඇති බව අමතක නොකරන්න.

දෙවැනි කාරණය නම් මහේෂ් හපුගොඩ  ජයසිරි අලවත්ත සමග ඉදිරිපත් කල “ජිජැක් අධ්‍යයනය” පොතේ බුදු දහම ගැන ලියන දේ බලන්න.  (පිටුව 101, 105-107) . ජිජැක් බුද්ධාගම ගැන කතා කළ බව සත්‍යයකි. නමුත් මේ  පහුගිය අවුරුදු ගණන මුළුල්ලේ මේ කියන දේ සියල්ල ලිබරල් හා වාමාංශික සගයන් වරින්වර පවසන දේමය. බොහෝවිට ෆේස්බුක් එකේ මේ මතවාද පිරි තිබේ. අද ලංකාව සම්බන්ධව ගතහොත්  වැඩිපුරම දේශපාලන ආගම් වාද  සංවාද ලයික් අන්ලයික්  ඇති මේ ෆේස් බුක් හි පිරී රි සිටින පිරිස හරහාය. එනිසා ජිජැක් කීවා කියා ඔබලා  සාකච්ඡා කරන මේ බුද්ධාගම සම්බන්ධ දේ  අලුත් දෙයක් නොවේ. ඒ විවේචන බොහොමයක් හුවමාරු වේ.   බොහෝ කතෝලික හා මුස්ලිම් පිරිස් මේ අයුරින්ම බුද්ධාගම පිළිබඳ  අදහස් පල කරන අතර ඔවුන් ගේ ආගම වඩා ප්‍රගතිශීලි බවක් පෙන්වයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ කතෝලික  දමිළ ප්‍රජාව හින්දු  ප්‍රජාව තරමකටම දරුණු පීඩනයකට ලක්වූ බව සැබෑය.
නමුත් කතෝලික සිංහල ප්‍රජාවේ (මා දන්නා අතලොස්සක් හැරෙන්නට) හෝ මුස්ලිම් ප්‍රජාවේ බහුතරය සිටියේ යුද්ධය පැත්තේ මිස අනිත් පැත්තේ නොවේ. එනිසා බහුතරයක්  (සිංහල)  බෞද්ධ භික්ෂූන් ගේ   හා බෞද්ධයන් ගේ යුද සහාය සිංහලයා  ජාතියක් වශයෙන් කළ දෙයකි.

ආචාර්ය ද සිල්වා මහතාට  ගණිතඥයෙකු වශයෙන් තිබෙන දැනීම හා භෞතික විද්‍යාව පිළිබඳ ඔහුගේ දැනීම මත ඔහු විසින් ඒ දිනවල සමාජවාදය පැත්තෙන් අභිනික්මන් කිරීම වටහාගත හැකිය. එසේනම් ඔහු ගේ ස්ථාවරය ප්‍රශ්න කිරීමේදී හපුගොඩ මිතුරා කියන පරිදි “නමුත් අපගේ අරමුණ වුවේ නලින් ඉවරෙට ම ඉවර කර දැමීමක් ” නලින් ඉවර කර දැමීමක් ගැන නොව මා  කතාකලේ  ආචාර්ය නලින්  ද සිල්වා ට  ද හමුවුණු සමාජවාදී  අදහස් වල දුර්වල තාවයන් ආමන්ත්‍රණය කිරීම ගැනය.

ඔබ යුද්ධයක් කරන්නේ යයි සිතන්න. දේශපාලනික හා ආර්ථික පැත්තෙන් ඔබේ මතයන් ඉදිරියට යනවා යයි සිතන්න, නමුත් විද්‍යාව හා දර්ශනය පැත්තෙන් ඔබේ පැත්ත (flank ) විවරව තිබේ නම් සතුරා පහර දී පෙරමුණ කඩන්නේ එතැනය. ඒ සිදුර වසා ගැනීම භාර ඔබටය.

ජිජැක් හරහා නලින් ද සිල්වා මහතාගේ ලෝකය කියවීමට නම් මහේෂ් යොදා ගත යුතුව තිබුනේ ජිජැක් ගේ පැරලක්ස් වීව් ය. (parallax view)   (ඔහු එම වචනය  ත්‍රිමානය පල කල වෙනත් ලිපියක උපයෝගී කරගෙන තිබේ – යථාර්තවාදී යුතෝපියාවේ අවසානය )  ඌරා ගේ මාළු ඌරා ගේ පිටේ තබාගෙනම කපනවා නම් මට කිව හැක්කේ ඔහුට “Copernicus, Darwin, Freud …and many others ” (parallax view ) පිටු 165-169 ද  Toward A New Science Of Appearance පිටු 169-173 නැවත කියවන ලෙසය.

“Quantum physics posits as the ultimate reality not some primordial elements but, rather, a kind of string of “vibrations,” entities which can only be described as desubstantialized processes; cognitivism and system theory focus on the mystery of “emerging properties” which also designate purely processual self-organizations, and so on.” -Zizek –  parallax view

ස්ලොවොයි ජිජැක් විසින් ඒ පොතේ ක්වන්ටම් භෞතික විද්‍යාවේ සොයා ගැනීම් තමන්ගේ දේශන වලට එකතු කරන්නේම එංගල්ස් වැනි අයෙකු තව දුරටත් ලෝක සමාජවාදී කඳවුරේ නැති නිසා බව මගේ හැඟීමයි.

උදාහරණයක් වශයෙන් ඔහු හයිඩෙගර්, ඩෙලුස්, බදියු සිදුවීමක් (event) අරභයා කරන විවරණයන් තුන අදාළ කර ගත හැකිව තිබුණි.

මම ඒ පරිච්ඡේද දෙක මෙහි පරිවර්තනය කරන්නට යන්නේ නැත . කවුරුන් හෝ  අවශ්‍ය යයි කීවොත් මිස මහේෂ් සහ අලවත්ත දෙදෙනා ඒ ගැන මටත් වඩා සුදුස්සන්ය. මේ වාක්‍යය  පමණක් උදාහරණයක් වශයෙන් ගනිමු. ජිජැක් කියන්නේ භෞතිකවාදයට  පමණක් මනස හා විඥානය (consciousness)  නම් ප්‍රපංචයන් විග්‍රහ කළ හැකි බවය. විඥානවාදය අසභ්‍ය බවත් එය සැමවිටම සහ කල්තබාම (always-already) ඉහත කී  ප්‍රපංචයන් යථාවක් හා තාත්වික දෙයක් ලෙස (reifi) නිගමන කර ඇති බවය. (පි. 169) ආචාර්ය නලින් ද සිල්වාට මෙය මග හැරී ඇත.

ඉහත කී ලිපියන් අනතුරුව මහේෂ් හපුගොඩ තවත් ලිපියක කෙළවර මට පිළිතුරු දී තිබුණි. මම ඉන් කොටසක්  පමණක් පළ කරමි.

ඉතිරිය පහත ලිපියෙන් බලන්න.
“බාහිර ලෝකයේ පවතින්නේ ද ඇතුලත මෙන්ම නපුරු ලෝකයක්” ත්‍රිමාණ ඔන්ලයින්  සඟරාවේ මේ යොමුවෙන් කියවිය හැකිය. 
//එම රටවල සිදුවන දේ ගැන අවම සවිඥානික බවක් ඇති ඔවුන් මෙහේ සිදුවන සියලු දේ සමග අනන්‍ය වේ (රීටා සමග ඇන්ඩි අනන්‍ය වුවා සේම). පැයෙන් පැය ලංකාවේ සිදුවන දේ ගැන ඔවුන් දැනුවත් ය. නව තත්වයට ඇද වැටීම බාධා කරන සහ පරණ තත්වය සමග අනන්‍ය වීමට ඔවුන් භාවිතා කරන තිරය වනාහී මුහුණු පොතයි. ඔවුන් බොහෝ විට මේ රටේ සිටින අරගලකරුවන්ටත් වඩා ‘රැඩිකල්’ (අධි-රැඩිකල්) අය වන අතර මෙහේ සිටින අයට ඔවුන් කියන්නේ පොන්න පිරිමි (නාකි පොන්න පිරිමි) යනුවෙන් ය….රටේ මතවාදය සකසන්නේ නැතුව කුමක් කලත් වැඩක් නැත. //-හපුගොඩ 

 

මතවාදය සකසන්නේ නැතිව කුමක් කලත් වැඩක් නැත යන්නට මම එකඟය.  මම යුගෝස්ලාවියානු කතාවක් පොල්කට්ටෙන් එපිටට පොතේ  ලිවූ වෙලේ (“යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්” ලිපිය) ස්ලෝවේනියානු ජාතික ජිජැක් ගේ පොත්  හා ලිපි කියවන ලෙසට උපදෙස් දුන්නේ දීප්තිය. (පොතේ පෙරවදන ඔහුගේය)
ඊට කලින් ජිජැක් ගැන මා දැන සිටියේ  ලන්ඩනයේ අනිත් අය ලෙසම ගැලරියට නටන දර්ශනවාදියෙකු ලෙසිනි. සවුත් බෑන්ක් සෙන්ටර් හි ඔහුගේ දේශනයකට දෙකකටද ගොස් තිබේ. ජිජැක් ගේ අදහස් පිළිබඳව  ගැඹුරු  අධ්‍යයනයක් පටන් ගත්තේ ඉන්පසුවය.  වසර දෙකකට පමණ පෙර  දීප්තිට ජිජැක් ගේ ග්‍රන්ථ  දෙකක් ලන්ඩනයේ ෆොයිල්ස් පොත්හලින් ගෙන යැව්වේද කෘතගුණ පළ කරන්නටය. අසා බලන්න.
නමුත් හපුගොඩ තවදුරටත් මෙසේ ලියයි. හැබැයි මා මෙය දුටුවේ හඬා වැටීමක් ලෙසය. “ගමෙන්  කොළඹට පැමිණි මට නුඹ සිනහසෙන්නේද අජිත් මිතුර ” යනුවෙන් අසන්නේ හපුගොඩ ය. ඔහුගේ අහම තුවාල වී ඇත. මා කොළඹ ගමයා ලෙස බ්ලොග් අඩවිය නම් කරන ලද්දේ කුමක් හෙයින්ද යයි ඔහුට සිතෙන්නේ නැත්ද?
//අජිත් ධර්මකීර්ති මිතුරා විසින් මා අසන ලද ‘අප දෙස බලා සිටීම නිසා ඔබට ඔබගේ සත්‍ය (නව) යථාර්තය අහිමි වී යා හැකි නොවේද?’ යන පැණයට තරමක් කේන්ති ගොස් ඇති ආකාරයේ පිළිතුරක් කොමෙන්ටුවක් ලෙස ගොනු කර ඇති බව දුටුවෙමි. //-හපුගොඩ 
 සාමාන්‍යයෙන් කොමෙන්ටු දිග නැති නිසා  යමෙකුට එසේ සිතීම සාධාරණය. 
//ඔහු එංගලන්තයේ ලේබර් පක්ෂයේ සාමාජිකයකු බව සහ නව භූමියේ යථාර්තය සමග අනන්‍ය වී ඇති බව එම පිළිතුරේ සඳහන් ව ඇත. එය ඉතාමත් සතුටු දායක දෙයකි. එය මා දැන සිටියේ නැත. ඇත්ත වශයෙන් ඔහු කියන පරිදි මා කිව යුතුව තිබුණේ ‘මා දන්නා පරිදි’ යනුවෙන් ය. අජිත් ඇත්ත වශයෙන් මා අනුභූතික තලයේ බොහෝ දේවල් දන්නේ නැත. ඔබ ගැන මා කිසිවක් දන්නේ ද නැත.  ලෙනින් ගැන බොහෝ ඇසූ පිරූ අයෙක් ද නොවේය (වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  ‘වැඩේ’ කළ බව නම් මම දනිමි). අනෙක නම් අජිත් විසින් මා ‘ගොඩයෙක්’ ලෙස නම් කිරීමට ආසන්නයේ ඇති බව ඔහුගේ ව්‍යංග අර්ථයයි. මන්ද එවන් ප්‍රශ්න අසන්නේ ඔහුගේ කොමෙන්ටු වල ඉන්නා පල් ගොඩයන් ය යන්න ඔහුගේ මතය ය. මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ. දේශපාලනික ලෙසය. සහෝදරත්වයෙන් ය. අනෙක එවන් ප්‍රශ්න ඇසූ සහ එම කෘතිය ගැන සඳහන් කල හැමට ම මා එම ලිපිය තුල කෘතඥ විය. ඔබ අපේ අදහස් සමග එකඟ වීම ගැනද ඉතාම කෘතඥ වෙමි. සංවාදයක් ඇතිවීම කොතරම් හොඳද අජිත්. කෙසේ වුවත් මා ‘ගොඩයෙක්’ ලෙස නාමකරණය වීමට මා බිය නැත (මිනිසුන් එයට බය වන්නේ ඇයි?). මන්ද සත්‍යය එය වන නිසාය. රාවය ට ලියන කාලයේ සිට මා යෝජනා කරමින් සිටින දෙය පසුබිම් කරගෙන මා ‘ගොඩයෙක්’ ලෙස එංගලන්තයේ වාසය කරන අරගල කරුවෙක් විසින් නම් කිරීම කොතරම් අපූරු දෙයක් ද අජිත්? ඔබ ලංකාවට ආ දිනක මා ජීවත් වන කෑගල්ලේ ගමට දවසක් ඇවිත් යන්න. එවිට ඔබට සාපේක්ෂව මා කොතරම් ඈත අව-වරප්‍රසාධිත ගමක ජිවත් වන්නේ ද යන්න ඔබට තේරුම් යනු ඇත. නමුත් මම ඒ ගැන නහයෙන් අඬන්නේ නැත (අව වරප්‍රසාධිත තත්වය විකුණා ගෙන කෑමට මට වුවමනා නැත). වෙනත් රටක සිට අප කරන දෙයක් ගැන ප්‍රශ්න ඇසීම සඳහා ඇති ඉඩ මෙයින් වාරණය කිරීමට කිසිසේත් මා අදහස් කරන්නේ ද නැත. අපෙන් ප්‍රශ්නයක් ඇසීම පැහැදිළිව ම ගෞරවයකි. මන්ද ‘දීප්ති නම් එසේ නොඅසන’ බව ඔබ කියා ඇත. ඒ ඔහු මට වඩා සංස්කෘතික සහ නාගරික (සහ දේශපාලනික) නිසා විය හැක. අජිත්, දේශපාලනයේදී මම ඔබට සම්බන්ද වන්නේ දුරක් තබා ගෙන නොවේ. ඒ නිසා මගේ ඇත්ත ප්‍රශ්නය මා ඔබෙන් අසමි. මේ මොහොතේ ද එම ප්‍රශ්නය වෙනුවෙන් මා පෙනී සිටිමි. මන්ද එය බොහෝ දෙනෙකුට අදාළ ප්‍රශ්නයක් වන බැවිණි. වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය (authenticity – අව්‍යාජ බව නැතහොත් සත්‍යතාවය) හැර ඔබට සත්‍ය ලෙස සම්බන්ද විය හැකි අන් මඟක් මා නොදනිමි. //
මේ මා කොමෙන්ටු වශයෙන් මා දුන් පිළිතුරයි. (සංශෝධනය කර පළ කර ඇත) 
මහේෂ් සහෝදරයා, මට තවම පොත ලැබිල නැති නිසා ඒ ගැන කියන්න බැරිය . //මම එම ප්‍රශ්නය ඇසුවේ කෙසේවත් ඔබගේ අහම තුවාල කිරීම පිණිස නොවේ – හපුගොඩ // මගේ “අහම ” ලෙහෙසියෙන් තුවාල වන එකක් නොවේ. නමුත් මගේ බ්ලොග් ලිපිය විවේචනයක් ලෙස සැලකීමෙන් ඔබේ “අහම” තුවාල වී තිබුණි. ඔබ  අර පිටරට සිට ඒ රටේ වාමාංශය සමග වැඩ නොකර ලංකාවේ රෙද්දස්සේ අත දමන්නේ ඇයිද යන බයි (අපි ටොයියන්ගේ  පැත්තට වගේ කතා කලොත්), ජවිපෙ – (අපි පෙරටුගාමී සමාජවාදී පැත්තට වගේ කතා කලොත් ), පෙරටුගාමී සමාජවාදී (අපි ජවිපෙ පැත්තට වගේ  කතා කලොත්), ටොයි (අපි බයි  පැත්තට වගේ  කතා කලොත්) යන ප්‍රශ්නයම ඇසීමෙන් ඔබ පෙන්නුම් කලේ එයයි. // වමේ දේශපාලනයේදී තත්‍යතාවයේ මාර්ගය // මෙය  අමු බොරුවකි. ඔබට මා සමග සම්බන්ධ වීමට මම වමේ දේශපාලනය පමණක් කළයුතු නම් ඔබ සිටින්නේද විජේවීරගේ ස්ටලින්වාදී ආකෘතිය තුල සිරවිය. අනික මේ රටේ ලේබර් පක්ෂයේ සිටින සමහරක් ලංකාවේ වාමාංශයට  එහා බොරු කාරයෝය.
උදාහරණයක් වශයෙන් මම එන්ෆිල්ඩ් උතුර (ජෝන් රයන් මන්ත්‍රිනියගේ අඩවිය ) ලේබර් පක්ෂයේ CLP (Constituency Labour party) එකේ විධායක කමිටුවේ භාණ්ඩාගාරික ලෙස විශාල වැඩි චන්ද ගණනකින්  තේරී පත් වුනේ අවුරුද්දකට කලින්ය. නමුත් කෝබින් ගේ පැත්තෙන් පැමිණි අයිරිෂ් ජාතික ලේකම්වරිය මරියා මැකොයි ජෝන් රයන්ගේ කණ්ඩායම සමග දොර වසාගෙන ගහගත් ගිවිසුමකින් මගේ තනතුර  අහිමි විය. ඇගේ හේතුව වුයේ පස් දෙනෙකුගේ කාරක සභාවේ පිරිමින් හතර දෙනෙකු සිටින නිසා සම්ප්‍රදායික ලෙස භාණ්ඩාගාරික පදවිය ගැහැනියකට දිය යුතු බවය. (කලින් අවුරුදු තුනේ සිටි තැනැත්තිය වැඩි වැඩක් කල අයෙකු නොවේ) නමුත් ලේක්ම්වරියට දෙවන වර පත්වීමට අවශ්‍ය චන්ද ගණන සාදා ගැනීමටත් ඇගේ පැත්තේ කෙනෙක් වෙන තනතුරකට දම්මවා ගැනීමටත් මගේ තනතුර  බිලිදී තිබුණි. ඒ තනතුරු  කිහිපයක් රයන්ගේ පැත්තට දීමෙනි. මම එදා එයට දැඩි ලෙස විරුද්ධ වුනෙමි. ජෝන් රයන් විශ්වාස කළ නොහැකි බවත් ඇය අවශ්‍යම අවස්ථාවක අනිත් පැත්තට යන බවත් පැවසුවෙමි. . දැන් රයන් ස්වාධින වී ඇත. (කම්කරු පක්ෂයෙන් ඉවත්ව) මට දිගට හරහට මුහුණු පොතේ  ලේබර් කට්ට්ටිය රික්වෙස්ට් එවති. ලේකම් තුමිය  නැවතත්  දිගට හරහට  ඊමේල් එවන්නේ මට නැවත  පැමිණෙන්නට  කියාය. එම අය හා ලංකාවේ අය අතර වෙනස කුමක්ද?
දෙවැනි  උදාහරණය නම් මේ ලේබර් පක්ෂයේ බහුතර සාමාජිකයන් රැස්වීම වලට  එන්නේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමට මිස සමාජවාදයක් හැදීමට නොවේ. සමාජවාදයේදී හැමෝම වැඩ කල යුතු බවත් රැකියා සපයුතු බවටත් උන්ට ගණනක්  නැත. මේ බෙනිෆිට් ගන්නට බදු වැඩි කළ යුතුය. ඔවුන්ගේ  අදහස මහා පරිමාණ කර්මාන්ත හා බිස්නස් වලින්ද  රැකියා කරන අයගෙන්ද බදු ගසා තමන්ගේ බෙනිෆිට් හෙවත් සහනාධාර වැඩි කර ගැනීමටය.  අප වැනි රැකියා කරන (මා ඉංජිනේරුවෙකි) අය කෙරෙහි කිසියම් ප්‍රතිවිරෝධයක්ද සමහරුන්ගේ තිබුණි. මට ඇත්තටම එය විහිළුවක් විය. මෙවැනි “තද” වාමාංශික කිහිප දෙනෙක් මට චන්දය නුදුන් බවද දනිමි. මෙහෙම වාමාංශික කණ්ඩායමකින් කෝබින්ට කළ හැකි රෙද්දක්  නැත. එනිසාම  මේ වැඩ වලින් යමෙකුගේ දේශපාලන තත්‍යභාවය මැනීමත් විහිළුවක්‌ නොවන්නේද?
අප ලංකාව දෙස බලන්නේ  ජර්මනිය , රුසියාව වැනි රටවල් දෙස බලන ආකාරයෙන්මය. තමන් වසර දහනමයක් එක දිගට  ජීවත්වූ මව් රට මෙන්ම වසර හයහමාරක් ජීවත්වූ රටද වැදගත්ය.  ජර්මන් බිරිඳක් සිටින නිසා හා නිතර යන එන නිසාත් ඒ රටේ දේශපාලන තටහ්වය වැදගත්ය. රුසියාව පිළිබඳව ගත්තත් එලෙසමය. ඉතින් ඇත්ත වශයෙන්ම මට හපුගොඩ මිතුරාට එකඟවිය හැකි තැනක් තිබේ. කවුරුන් හෝ ලෙනින් ට හෝ මාක්ස්ට ඔය කතාව  කීවා නම්.
මහේෂ් කියන්නේ “වෙනත් රටවල් ගැන කතා කලත් ලෙනින් තමන්ගේ භූමියේ  ‘වැඩේ’ කළ බව නම් මම දනිමි.” ඔහු තමන්ගේ භුමිය කියන්නේ රුසියාවට විය යුතුය. මහේෂ් ඔහු සිටියේ ස්විට්සර්ලන්තයේය.  ඊට කලින් ලන්ඩනයේය. තම පැත්තට බොල්ෂෙවික් යන වචනය ලෙනින් නිර්මාණය කළේද ලන්ඩනයේ දීය (1903). ඉතින් ඔහුට හෝ මාක්ස්ට ඔබගේ අවවාදය පරිදි මේ රටවල අරගලයට ඒකාත්මික වී මෙහෙ විප්ලවය කළා නම් පළමුවන ලෝක යුද්ධයද මග හරවා ගන්නට ඉඩ තිබුණි. එහෙම නම් ලෙනින් ට ජර්මනුන්ගෙන්  මුදල් ගැනීමට අවශ්‍යතාවයක් ඇති වන්නේද නැත.
ගිය ඔක්තෝබරයේ මම දීප්තිට මගේ පොත ගැන කතාවක්  කිරීමට ආරාධනා කළ අවස්ථාවේ ඒ ගැන දැනගත් කිහිප දෙනෙක් දැඩි විවේචනයක් ඉදිරිපත් කළහ. ඒ ඔහු කිසියම් බලවන්තියකගේ අතකොළුවක් ලෙස මීඩියා ආයතනයක වැඩ කරන බව පවසමිනි. මම ඔවුන්ට කීවේ මට වැදගත් ඔහුගේ ගැඹුරු විවේචනය හා අදහස් මිස ඔහු කාත් සමග හෝ කරන අල්ලන සෙල්ලන් නොවන බවයි.
  
ඔබලා  කිසියම් මතවාදයක් ගොඩ නැගීමට කරන බලවත් වෙහෙස මම දනිමි. ඒ පිළිබඳව මගේ ස්තුතිය ඔබලාට හිමිය. ශ්‍රී ලංකාවේ මේ කාර්යය ඉතා අසීරු බවද දනිමි. සියල්ල දත් සර්වඥ ලා ලංකාවේ වැහි වැහලා සිටින බවද දනිමි. කෙසේ නමුත් ඔබලාට එල්ල කරන  සුළු විවේචනයකින් අපට, “ඔබලා  ඉන්න  රටේ (එංගලන්තයේ) දේශපාලනය  කරන්න , මෙහේ අපි කරන  අමාරු ක්‍රියාව ප්‍රශ්න නොනගා ඉන්න” යයි කීමෙන් අදහස් වන්නේ ඔබලා සිටින ස්ථාවරය තවමත් දුර්වල බව මිස වෙනෙකක් නොවේ.  
  
විවේචනයන් ගෙන්  නොසැලී ඉදිරියට යාමට සුභ පතමි.
අජිත් ධර්මකීර්ති

ඔබේ අදහස කියන්න...