පෙරවදන: ප්‍රවීන ලේඛක සමන් වික්‍රමාරච්චි විසින් රචිත ‘අප්පච්චි ඇවිත්’ නවකතාව සන්දර්භ ගත කල හැක්කේ සෞන්දර්යාත්මක නවකතාවකට වඩා පර්යේෂණාත්මක සායනික (experimental clinical text) අත්හදා බැලීමක් ලෙස ය. ලාංකික සාහිත්‍යයේ එකතැන පල්වීම දෙස බැලූ කල එය අතවශ්‍ය වූ අත්හදා බැලීමකි. නවකතාවේ අනුභුතියේ සීමාව සලකුණු කරන්නේ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය මඟිනි. එම සීමාව තුල සිටිමින් ම රචකයා පියාගේ භ්‍රාන්තිමය ප්‍රාදූර්භුත වීමෙන් ගැලවීගත නොහැකි පුතෙක් අරභයා වූ තම අද්දැකීම විදාරණය කරනු වස් විශාල වපරියක තම විශ්ලේෂී දැනුම මෙහෙයවයි.

ඒ අරුතින් මෙම නවකතාව විසින් අප දන්නා යථාර්තවාදී ශානරය විද්‍යාත්මක ලෙස (අත්තනෝමතික ලෙස නොව) ඉක්මවා යයි. ඇතැම් තන්හි ලේඛකයා අධියථාර්ථ රීතිය පවා අත්හදා බලයි. එය මානසික රෝගියකුගේ පාර-අනුභූතික අත්දැකීම (transcendental experience) පථිතයක් තුලට ගෙන ඒම නම් දුෂ්කර කාර්යය හා සලකා බලන කල්හි එය වැදගත් ප්‍රවේශයකි. අනෙක් අතට මිනිසාගේ ‘අතිමූලික නොහැකියාව’ නම් දාර්ශනික කරුණ විදාරණය කිරීමේදී ද සමන් වික්‍රමාරච්චි යථාර්ථ රීතියට ඔබ්බෙන් තම ලේඛණය ස්ථානගත කරයි. නිශ්ශංක සහ ඔහුගේ වටපිටාව සැදී ඇති යථාර්තය (reality) සහ ඔහු මානසිකව අත්දකින අධියථාර්ත අද්දැකීම (virtuality) අතර පාර ස්වභාවය (trans nature) රචකයා මහත් සංයමයෙන් අප වෙත ප්‍රධානය කරයි. අවශ්‍ය නම් ඔහුට එය අශ්ලීල කෘතියක් කර විකුණා ගැනීමට ඉඩ තිබුණා වුවත් ඔහු එවන් ලාභ තැනකට පසුබැස නැත. අද දවසේ බොහොමයක් ලේඛකයින් විසින් සංකේතනය උල්ලංඝනය කලත් ඔවුන් එසේ කරන්නේ වෙළදපොළ තර්කණයට යටත් ව ය. බුදුන් විවේචනය කලත් ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ වඩා යහපත් අධ්‍යාත්මයක් මිනිසාට උරුම කිරීම නොව උල්ලංඝනය ඔස්සේ ලාභ ලැබීම ය. ජනප්‍රිය වීම ය. නමුත් සමන් ගේ ව්‍යායාමය ඒ දෙකම නොව ශානර සීමා අත්හදා (testing the generic boundaries) බැලීම වේ. මේ නවකතාව වැදගත් වන්නේ එතැනිණි. ඒ පසුබිම තුල මා මේ ලිපිය සන්දර්භ ගත කරන්නේ ගිලි ඩෙලුස් විසින් විසි වන සියවසේ විස්තර කරන ලද ඇතැම් න්‍යායික ප්‍රවේශයන් කිහිපයක් සහ ඩෙලූස් පිළිබද ජිජැක් ගෙන එන ඇතැම් විචාර මත කිහිපයක් මෙම නවකතාව තේරුම් ගැනීම සඳහා භාවිතා කිරීමටයි. වෙනත් විදියකින් කිවහොත් සමන් විසින් අත්හදා බලන ඊඩිපස් සත්‍යය දෙස විසිවන සියවසේ විචාරකයෙක් ප්‍රති ඊඩිපස් ප්‍රවේශයක් ඔස්සේ ලෝකය දුටුවේ කෙසේද යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. එසේ නැත්නම් කිසිදා නොපැමිණෙන අප්පච්චි කෙනෙක් වෙනුවෙන් තම ආත්මය කැප කර ඒ වෙනුවෙන්ම මියැදීමට යන මෙලන්කොලික රෝගියෙක් දෙස අසමමිතික ස්ථානයක සිට බැලීමයි. (parallax view). 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ අදහසක් හැබැයි මෙතැන් ටිකක් තේරෙන්නේ නැහැ “අසමමිතික ස්ථානයක සිට බැලීමයි. (parallax view)” මෙතැන් මේ (parallax view) කියල භාවිතා කළේ ඒ නමින් තිබෙන චිත්‍රපටය නිසාද එහෙම නැත්නම් එකම වස්තුව ස්ථාන දෙකක් සිට නිරීක්ෂණය අක්රන් බව කීමටද ?

Comments are closed.