80 දශකයෙන් ආරම්භ වී ක‍්‍රමිකව ධනවාදී පාරිභෝගික භාණ්ඩ ලෝකය තුළ අභාවයට යන දේශපාලන පක්ෂ ක‍්‍රමය තුළ ‘ජනප්‍රිය බුද්ධිමතා’ නම් සමාජ භූමිකාවක් පහළ විය. උපාලි විජේවර්ධනගේ අනපේක්ෂිත අභාවය නිසා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය ඉහත කී ජනප්‍රිය බුද්ධිමතාගේ ප්‍රතිසන්ධි ස්ථානය විය. විජේවර්ධනගේ අභිප‍්‍රාය වූයේ ජේ.ආර්.ගෙන් පසු රටේ ජනාධිපති වීමටය. නමුත් එහි ප්‍රතිවිරුද්ධ අභිප‍්‍රාය ඉටු විය. ලිබරල් පාලකයකු බිහි කිරීම වෙනුවට ‘දිවයින’ ජනප්‍රිය බුද්ධිමතුන්ගේ ලේඛනයන් මඟින් රට තුළ සිංහල ජාතිවාදය වපුරන ලද අතර එහි සුරතාන්තය ලෙස රටට අත්තනෝමතික පාලකයකු බිහි කළේය. පශ්චාත්-දේශපාලන පක්ෂ යාන්ත‍්‍රණයක් තුළ (2009 වර්ෂයේ LTTE පරාජය සමඟ පක්ෂ රහිත ශුද්ධ දේශපාලනයට සමාජයේ සුජාතභාවයක් බිහි විය.) යම් පන්තියක ලක්ෂණ සහිත ඓන්ද්‍රීය බුද්ධිමතකු වෙනුවට (මේ බුද්ධිමතා ගැන ග‍්‍රාම්ස්චි පැහැදිලි කර ඇත.) සියලූ පන්ති ආවරණය වන සාර්වත‍්‍රික බුද්ධිමතකුගේ ආකෘතිය ජනප්‍රිය බුද්ධිමතාට හිමිය. මෙවැනි ජනප්‍රිය බුද්ධිමතකුගේ ප‍්‍රකට ආකෘතියක් ලෙසින් දයාන් ජයතිලකව හඳුනාගත හැකිය. 80 දශකයේ සිට අද දක්වා යම් නිශ්චිත ඓතිහාසික ගැටලූවක් අරබයා දයාන්ගේ අපගමනයන් කෙනෙකුගේ සිහිය නැති කරවන තරම් අවුල්සහගතය. ගතිකය. මුල් පිටපත නැති වූ පිටපතක් ලෙසින් දයාන්ව හඳුන්වන්නේ නම් ඔහු දක්ෂ සිමියුලේක‍්‍රමයකි. එක පැත්තකින් ඔහු යථාර්ථය අධිප‍්‍රබන්ධගත කරයි. 80 දශකයේ දී දයාන් ඊළාම් අරගලයට පක්ෂපාත කෙනෙකි. නමුත් 21 වන සියවසේ මහින්ද චින්තන යුගයට එන විට ඔහු දරුණු සිංහල රණකාමී ජාතිවාදයේ ව්‍යක්ත ප‍්‍රකාශකයෙකි. පක්ෂ දේශපාලනයට සහ පන්ති දේශපාලනයට අනුව ගතහොත් මෙම ස්ථාවරවල උඩුයටිකුරු වීම ෆැසිස්ට් දේශපාලනයේ මුඛ්‍ය ලක්ෂණයකි. නිශ්චිත සිහිබුද්ධිය සහ තාර්කිකත්වයේ සමාජ ව්‍යවහාරය අප සතු නම් දයාන් ජයතිලක යනු නිශ්චිත ලෙස ෆැසිස්ට්වාදියෙකි. ඉතිහාසයට මැදිහත් වීම සඳහා අපට පුද්ගලවාදී මාර්ගයක් නැත. අප ලෙනින් අනුගමනය කරන්නේ නම් ඉතිහාසයට මැදිහත් වීමට අපගේ යහපත් වටිනා අදහස්වලට පමණක් නොහැකිය. ඒ සඳහා යම් ආකෘතියක් අවශ්‍යය. (Form) එම ආකෘතිය හඳුන්වන්නෙ විප්ලවවාදී පක්ෂය යනුවෙනි. මේ පක්ෂ ආකෘතිය හරහා නොගොස් පුද්ගලයන් නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම ශුද්ධ දේශපාලනය නමින් හැඳින්විය හැකිය. ලංකාව මේ නරක පුරුද්දට ඇබ්බැහි වී දැන් දශක 3ක් පමණ ගත වී තිබේ.

හොඳයි කුමක්ද මේ සුවිශේෂ ආකෘතිය?

බැලූ බැල්මට බොහොමයක් ලිබරල්වාදීන් පුරුද්දට මෙන් පොදු ලක්ෂණ අධිනිශ්චය කරමින් කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය තුල්‍ය කරයි. කෙනෙකුට මෙහි අන්තගාමී රසය විඳීමට අවශ්‍ය නම් අරුණී ශෂීරෝ නම් සිංහල-බෞද්ධ ලිබරල්වාදීනියගේ බ්ලොග් සටහන් කියවිය හැකිය. ඇය නැවත නැවතත් අවධාරණය කරන්නේ කොමියුනිස්ට් සහ ෆැසිස්ට් රෙජීමයන් තුළ පැවති අතාර්කික භීෂණයේ සමානත්වයයි. මෙම රෙජීම දෙක තුළම සමූල ජනඝාතන, ආතාර්කික නඩු විභාග, සාමූහික සිරගෙවල් පැවතියේය. මේ රෙජීම දෙකම අතාර්කික ලෙස මාධ්‍ය නිදහස දඩයම් කළේය. එසේ නම් මෙම රෙජීම දෙකටම පොදු නිර්ණායකය වන්නේ එක ආකෘතියක්ද? එකක් පන්ති සතුරා (Class enemy) අවධාරණය කරන විට අනෙකා එතැනට දමන්නේ යුදෙව්වාය. මෙතැන දී පන්ති සතුරා යන විශේෂණය වෙනුවට යුදෙව්වා යන පදය දැමීම අප හිතන තරම් අහිංසක විස්ථාපනයක් නොවේ. එමඟින් අප හිතනවාට වඩා රැුඩිකල් වෙනසක් අපගේ චින්තනය තුළ ප‍්‍රාදූර්භූත කරයි.

නාසිවාදය ඉතා දැනුවත් ලෙස පන්ති අරගලය වාර්ගික අරගලය මඟින් විස්ථාපනය කරයි. ඒ අනුව නාසිවාදය සැබෑ අරගල භූමිය පිළිබඳ බුද්ධිමය සලකුණු මකා දමයි. මෙතැන දී කොමියුනිස්වාදය පැත්තේ සිට නාසිවාදය පැත්තට ගමන් කරන විට වෙනස් වන්නේ ආකෘතියයි. (පක්ෂ සංවිධානය) මෙම ආකෘතිමය වෙනස හරහා නාසිවාදය සමඟ සම්බන්ධ දෘෂ්ටිවාදී ගුප්තකරණය අපට හමුවෙයි. එමඟින් දේශපාලන අරගලය වාර්ගික ගැටුමක් ලෙස ඌනනය කරයි. පන්ති පසමිතුරුභාවයන් ඉහත ඌනිතකරණය හරහා සොබාවික බාහිර වාර්ගික සතුරෙක් ලෙසින් ඉතිහාසකරණය කෙරේ. (ජාතිවාදී බුද්ධිමතාගේ බුද්ධිමය මහිමයේ සාරය වන්නේ මෙම ඉතිහාසකරණයයි) මෙම බාහිර වාර්ගික සතුරාගේ චේතනාන්විත සමාජ ක්‍රියාව ලෙසින් ජාතිවාදී බුද්ධිමතා හඳුනා ගන්නේ සමාජයේ සුසංවාදී සමස්තයේ සමතුලිතභාවය බිඳ දැමීමය. එනිසා මෙම වාර්ගික සතුරා වන දෙමළා (මෙරට දී) අපගේ අධ්‍යාත්මික සතුරෙකි. ෆැසිස්ට් බුද්ධිමතාගේ නියම වර්ණය අපට හමුවන්නේ සමාජ සංගතභාවයේ සිදුර වසා දමන ෆැන්ටසි අර්ධයේදීය. මාක්ස්වාදයට අනුව පන්ති අරගලය යනු අපගේ සමාජ ජීවිතයේ ක්ෂිතිජය තීරණය කරන අවසාන අර්ථය නොවේ. මෙහි දී අප අවධානය යොමු කළ යුත්තේ ආකෘතිකරණය නම් ක්‍රියාවලියට නොවේ.

ආකෘතිය යන වචනය වැරදියට වටහා ගන්නා පුද්ගලයකුට මෙසේ වැටහී යාම නරක ඇත. කලාව, සාහිත්‍යය, සිනමාව, ආගම, විද්‍යාව යනු අපගේ ජීවිතය ගැන අප විසින්ම තනන ලද විවිධ ප‍්‍රබන්ධය. අපගේ සදාචාර දෘෂ්ටිය විය යුත්තේ සමාජයක් තුළ ජීවත් වන විවිධ ජාතින්, විවිධ කුල, විවිධ ලිංගිකයෝ එක හා සමාන ලෙස සුසංවාදීව ජීවත් වීම පරිකල්පනය කිරීමයි. මේ සෑම කෙනෙකුටම තමන්ගේ කතාව කීමට සමාන අවස්ථාවන් තිබිය යුතුය.

නමුත් අවාසනාවකට මෙන් හැමදෙනාගේම කතා ඇසීමට අනිත් අය සූදානම් නැති බව නොපෙනීම පුදුමයට කාරණයකි. සියලුදෙනාට කතා සාප්පුවක් දැමිය හැකි ආකෘතියක් පිළිබඳ ලිබරල් ෆැන්ටසිය දයලෙක්තික සහ නිශ්ක‍්‍රීය නැත. ආකෘතිය සමඟ ආකෘතිවාදය පටලවා ගත යුතු නැත. විවිධ අන්තර්ගතවලට ඉඩ දෙන පොදු ආකෘතියක් අප මේ ජීවත් වන සමාජයේ දී සොයාගත නොහැකිය. ප‍්‍රශ්නවලට තුඩු දෙන පොදු ආකෘතිය යන්නට ඉඩක් නොදෙන්නේ පන්ති පසමිතුරුභාවය නම් ප‍්‍රපංචයයි. සමාජයේ ජීවත් වන විවිධ මිනිසුන්ට අප  දෑත් දිගු කළ විට ඔවුන් අපගේ දෑත් බදා ගන්නේ නිදහස් උත්සවය හෝ මඟුල් ගෙයක් හෝ මාධ්‍ය හමුවක දී පමණි.

”මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන රහස් සිතිවිලි කොච්චර දුරකට ඔවුන්ගේ ජීවිත පැවැත්මට අදාළ වෙනවාද කියන කාරණාව ගැන මම ගොඩක් කල් ඉඳන් හිත හිතා හිටියේ.” – ආචාර්ය ඉන්දිරා ජොන්ක්ලස්, රාවය, 2017/11/12 සංවාදය මෙහෙයවීම මහාචාර්ය සුලෝචන වික‍්‍රමසිංහ –

මිනිසුන්ගේ ජීවිතවලට ගුප්ත පැවැත්මක් තිබේ යැයි අප නිගමනය කරන්නේ නම් ඉන් අදහස් වන්නේ එම අදහස් ද සමාජ-ක‍්‍රමයේම නිෂ්පාදන බවයි. තතු එසේ නම් පන්ති අරගලය යනු සමාජීයත්වයේ ආකෘතියයි. අප අත්විඳින  ඕනෑම සමාජ ප‍්‍රපංචයක් අප සිතනවාට වඩා කලින් වර්ණ ගැන් වී ඇත්තේ පන්ති අරගලයෙනි. සරල ලෙස කියන්නේ නම් ආකෘතිය යන්නද අන්තර්ගතයකි. එබැවින් යම් අන්තර්ගතයක් දරා සිටින ආකෘතිය උදාසීන එකක් නොවේ. එය අප සිතීමටත් පෙර ක‍්‍රියාකාරී වී ඇත. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් ආකෘතිය පන්ති සතුරාව සංවාදශීලි සම්භාෂකයකු කිරීම තම පසමිතුරාව තරගකරුවකු කිරීමකි.

මා නිතර පක්ෂ දේශපාලනයෙන් කෙටි කතා ලිවීමට ඇති නිදහස ආරක්ෂා කිරීමට, ඉන් නික්ම ගිය පුද්ගලයකු පසුගිය දශකයක කාලය තුළ ජනප්‍රිය බුද්ධිමතකුගේ තැනට වැටී, ‘රාවය’ කතුවරයාගේ ආරාධනයෙන් තීරු ලිපි රචකයකු බවට රූපාන්තරණය වී ඇත. මේ ඔහු දෙමළ ජනඝාතක යුද්ධයට අදහස් පිටුබලය දුන් නලීන් ද සිල්වා අමතන ආකාරයයි.

”මා මෙහි දී ‘අපේ ලෝකය පිළිබඳ මගේ සිතිවිලි’ යන මාතෘකාව මේ තීරු ලිපිය සඳහා යොදාගන්නේ මගේ ජනප්‍රියතම ලාංකේය චින්තකයා වන මහාචාර්ය නලීන් ද සිල්වාගේ ප‍්‍රකට ‘මගේ ලෝකය’ කෘතිය සිහිපත් කරවමිනි.”

ඉහත ජනප්‍රිය බුද්ධිමතාගේ ෆැන්ටසි රූපය දෙමළ ජනයාගේ ජනඝාතක යුද්ධයේ දෘෂ්ටිවාදී ප‍්‍රකාශකයා සහ මිනීමරුවාය. අපගේ ජනප‍්‍රිය බුද්ධිමතා විධිමත් දේශපාලනයෙන් (පක්ෂ ආකෘතියෙන්) ඉවත් වූයේ කෙටි කතා ලිවීමට සහ නිදහස් ගැහැනුන්ට ආදරය කිරීමටය. ඔහු සිතුවේ ඔහුගේ නිදහස් ආදරය සඳහා බාහිර බාධාව මම බවයි. දැන් ඔහුට කිසිදු බාහිර බාධාවක් මෙලොව නොමැති අතර තිබෙන්නේ අභ්‍යන්තර ස්වයං බාධාවකි. ජනප්‍රිය බුද්ධිමතකුගේ භූමිකාවට පණ පොවන අපගේ වීරයා දැඩි ලෙස ආශක්ත වී ඇත්තේ ෆැසිස්ට්වාදියකුටය. ස්ත‍්‍රීන්ගේ ආත්මගත ස්වභාවය අනුව ඔවුන් ෆැසිස්ට්වාදීන්ට පේ‍්‍රම කරත්, ෆැසිස්ට්වාදයේ ගුප්ත සමලිංගික මානය හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙය විය හැකිය. ෆැසිස්ට්වාදීන්ට බොහෝ දෙනා අවිඥානකව ආශා කරන ෆැන්ටසි මානය විශ්ලේෂණය කළ හැක්කේ කෙසේද? සහතික වශයෙන්ම ප‍්‍රතිවිරෝධවලින්, පසමිතුරුභාවයෙන් සහ අසමානතාවලින් තොරව ‘සමාජයට’ පැවතීමට නොහැකිය. ෆැසිස්ට්වාදීයා, මෙම ගැඹුර සත්‍යය වසන් කරන මායා පටලයක් නිෂ්පාදනය කරයි.

DKG

 

ඔබේ අදහස කියන්න...