වූඩි ඇලන් විසින් නිර්මාණය කළ ‘බ්ලු ජැස්මින්’ (Blue Jasmine-2013) නම් සිනමා කෘතිය, සමකාලීන ධනවාදයේ මදය පිළිබඳව මැනවින් අනාවරණය කරයි. චිත්‍රපටයේ කතා නායිකාව වන ජැස්මින් යනු, නිව්යෝර්ක් නගරයේ වාසය කරන සමාජශීලී ධනවත් කාන්තාවකි. ඇයගේ සැමියා වන හල් යනු, සටකපට වැඩවලින් ධනවත් වු මූල්‍ය සමාගම් අධිපතියෙකි. චිත්‍රපටයේ කතාව අපට කියවෙන්නේ අතීතාවලෝකනයේ සමුහයක් ලෙසිනි. සුඛෝපභෝගී පහසු ජීවිතය නිසා ජැස්මින් තම සැමියාගේ වංචනික ලෝකය ගැන තකන්නේ නැත. නමුත් එක්වරම හිරේට වැටෙන හල් පසුව හිරගෙදරදීම සියදිවි නසා ගැනීමෙන් පසුව, තමන්ගේ දුප්පත් සහෝදරිය සමඟ ජීවත්වීමට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට පැමිණීමට ඇයට සිදු වෙයි.
ඇය සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට පැමිණ අවිචාරවත්,අරාජික ජීවිතයක් ගත කරන තම සොහොයුරිය සමඟ ජීවත් වූවත්, ඇය හැසිරෙන්නේ තමන් ඊට කලින් ජීවත් වූ පොහොසත් ජීවිතයේ සන්දර්භය තුළයි. චිත්‍රපටයේ නියම හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ, ආඛ්‍යානයේ මද දුරක් ගමන් කරන විට දැන ගන්නා කරුණක් නිසාය. චිත්‍රපටයෙහි මුල කොටසේදී, ප්‍රේක්ෂිකාව සිතන්නේ, හල් විසින් කරන ලද බදු වංචාවක් නිසා ඔහු සිරභාරයට වැටුණු බවයි. නමුත් අපට පසුව වැටහෙන්නේ, හල්ගේ ජාවාරම්කාර ජීවිතය බලධාරීන්ට හසුකර දී ඔහුව හිරේ යවන්නේ ජැස්මින් විසින්ම බවයි. එම අඳුරු තීරණයට හේතුව ලෙස චිත්‍රපට ආඛ්‍යානය අපට හේතුවක් නිර්මාණය කරයි. ඊට අනුව, හල් යනු, වනචාරී ගතිගුණ සහිත විවිධ ස්ත්‍රී සබඳතා ඇති පුද්ගලයෙකි. ඔහු තීරණය කරන්නේ, යම් මොහොතකට පසු ජැස්මින් අතහැර වෙනත් ගැහැනියක් සමග විවාහ වන්නටය.
හල්ගේ විනාශය ඔහුට අත්පත් කර දීමෙන් පසුව, ජැස්මින් සතුව පවතින ධනවාදී ෆැන්ටසියට ඇති භක්තිය අංශුමාත්‍රයකින්වත් අඩු වන්නේ නැත. ධනවාදය අවසන් වුවත්, ඒ වෙතට ආයෝජනය කර ඇති ෆැන්ටසිමය අන්තර්ගතය – unconscious desire-ජැස්මින් තුළ බිඳුවකින් හෝ අඩු වන්නේ නැත. ‘සංකේත ලෝකය’ තුළ ඇය ග්‍රීක වීර චරිතයක් මෙන් මහත් විනාශයක් බිහි කළ මුත්, ඇගේ පරාරෝපණයට අදාළ ෆැන්ටසි ආකෘතිය විනාශ වන්නේ නැත. ඇය ඇයගේ ධනවාදය විනාශ කළ මුත්, ඉන් ඇය ලද අනන්‍යතාවය අතහරින්නට සූදානම් නැත.
අප අපගේ ජීවිතයේ තේරුම ගොතා ගන්නේ සංකේතීය මහා අනෙකාගෙනි. යම් මොහොතක, මෙම අර්ථය ලබාදෙන සංකේත මහා අනෙකා සහමුලින්ම විසිරී ගියද එයට සහයෝගය දෙන ෆැන්ටාස්මැතික මදය සාරාත්මකයක් ලෙස ශේෂ වෙයි. ජැස්මින් තම සැමියාව පාවා දුන් වහාම ඇයගේ ධනවාදයේ භෞතික කොන්දේසි (මුදල් සහ සමාජ බලය) විසිරී යන මුත්, ඊටත් වඩා භෞතික වූ දෙයක් ඇය තුළ ශේෂ වෙයි. එය නම්, ධනවාදයට සහයෝගය දුන් ඇගේ ආත්මය යි. ඇගේ ‘ධනවාදය’ විනාශ වූ විගස ධනවාදය පිළිබඳ ඇගේ ෆැන්ටසිය අධිභෞතික සාරයක් ලෙස මතු වෙයි. එමඟින් ඇති වන වේදනාව ධනවාදය මඟින් ඇති කරන වේදනාවට වඩා ආතතිගතය. චිත්‍රපට කතාව තුළ ඇය ඇයගේ අතීත ධනවාදී ජීවිතය සමඟ භ්‍රාන්තිමය ආකාරයට ස්වයං කථනයක (තනියෙන් කතා කිරීම) යෙදේ. ඇගේ ෆැන්ටසි ආයෝජනයේ ගැඹුර කෙතරම්ද යත් ඇයට ඇගේ ලෝකයෙන් පිටත දේවල් නොඇසෙයි.
ජැස්මින්ට අහිමි වී ගිය ධනවාදය පිළිබඳ ඇගේ මනෝභ්‍රාන්තීන් යනු, හුදු මෙලන්කෝලික ප්‍රතික්‍රියාවක් පමණක්ද? LTTE-යෙන් තොර, තම්බීන්ගෙන් තොර, වම්මුන්ගෙන් තොර ”ශුද්ධ ධනවාදයක්” සිංහල මිනිසුන් පසුගිය දශක දෙකක් තිස්සේ ප්‍රාර්ථනා කරන ලදී. දැන් අපට කරන්නට ඇත්තේ, ජැස්මින් පරිදි මෙම ශුද්ධ ධනවාදය පාවාදීම නොවේද? ඉන්පසු උදා වන්නේ, අපගේ ෆැන්ටාස්මැතික විඳවීම් අන්තර්ගතය නොවේද? [Ideology]
//TTE-යෙන් තොර, තම්බීන්ගෙන් තොර, වම්මුන්ගෙන් තොර ”ශුද්ධ ධනවාදයක්” සිංහල මිනිසුන් පසුගිය දශක දෙකක් තිස්සේ ප්‍රාර්ථනා කරන ලදී. // නිවැරදියි. මේක පවා දෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ
ඒ එක්කම ත්‍රිමාණ යේ ඔබ සැමට සුභ නව වසරක් . ඉදිරියේදී වඩා වේගයෙන් වැඩ කිරීමට දිරි දෙන වසරක්
Comments are closed.