මිචෙල් ෆූකෝ විසින් ඉදිරිපත් කරන ලද බලය (Power) පිළිබඳ සංකල්පය සහ එහි ආකෘතිය පැනොප්ටික ස්වරූපයක් ගන්නා බව දැන් අපි වටහාගෙන ඇත්තෙමු. ෆූකෝගේ බලය පිළිබඳ අදහස ජ්‍යාමිතික ස්වරූපයකට රැගෙන එන්නේ නම් එය කේන්ද්‍රය සහ පරිධිය වශයෙන් පහත පරිදි නිරූපණය කළ හැකිය.
‘බලය’ රූප සටහනකට ඉහත ආකාරයකට නිරූපණය කළහොත් එහි චලනය අවබෝධ කර ගැනීමට සර්පිලයක (II රූපය) රූපසටහන කරා විතැන් වීමට සිදු වෙයි. නරඹන්නකු තමාව නරඹන කේන්ද්‍රික චරිතයක් (මුරකරුවා, නායකයා, මාස්ටර් හැඟවුම්කාරකය) තම සිතීමේ මධ්‍යය කරා ගැනීම නිසා නැරඹීමේ ක‍්‍රියාවලිය ද්විමාන චලනයක් අත්පත් කර ගනියි. එනම් කේන්ද්‍රයේ සහ පරිධියේ චලනයයි. මෙය බලය පිළිබඳ සර්පිලාකාර අනන්තය දක්වා දිගු වන චලනයකි. UNP සහ ශ‍්‍රී ලංකා වැනි ද්විපක්ෂ ක‍්‍රමය යනු ශ‍්‍රී ලාංකේය සමාජයේ නිර්මාණය වූ අනවරත චලනයක් අත්පත් කරගත් බලය ආත්මය කරගත් සර්පිලයකි. මිනිස්සු මෙම සර්පිලයට ඇතුල් වී වෙන තැනකින් පිටතට ගමන් කරයි. ව්‍යුහය (Structure) සදාතනිකව පවතියි. මේ පක්ෂ දෙකට නායකයන් යනුවෙන් පිරිසක් සිටින අතර ඒ අය තමන්ව නරඹතැයි කල්පනා කරන පිරිසක් වෙනම සිටිති. මෙය සංසාර චක‍්‍රය සේ එකතැන කැරකැවෙමින් ඉහළට චලනය වෙයි.
ගැටලුව වන්නේ විප්ලවවාදී ව්‍යාපාරවලට (සහ ඕනෑම විකල්ප සංවිධාන රටාවකට මෙම රූපසටහන අදාළය) අදාළව ගත් කල ඉහත රූපික තත්ත්වය කෙසේ ක‍්‍රියා කරයිද යන්නය.
සාමාන්‍යයෙන් ලංකාවේ වමේ ව්‍යාපාරවලට (පැරණි සහ සමකාලීන භේදය නොසලකා) ‘බලය’ පිළිබඳ අදහසක් නැත. ඔවුන්ට අනුව එය තමන්ට අදාළ නොවන අනුන්ට අදාළ සංකල්පයකි. උදාහරණයක් ලෙස අනුර කුමාර නමැති ජවිපෙ නායකයාට UNPය තුළ ‘බලය’ සංකල්පය ක‍්‍රියාත්මක වන සැටි අවබෝධ වෙයි. නමුත් එවැනි තත්ත්වයක් ජවිපෙ තුළම ක‍්‍රියාත්මක වන ආකාරය නොසලකා හරියි. එසේ වන්නේ ‘බලය’ දෘශ්‍යමාන නොවන්නක් සහ පාරභෞතික දෙයක් ලෙස සැලකීම නිසාය. ‘බලය’ බඳු සංකල්පයක් ඉතාම හොඳින් ජ්‍යාමිතික රූපයකට ගත හැක්කේ සමාජ ජාල වෙබ් අඩවි තුළිනි. නමුත් එහි දී නිදහස අර්ථකථනය වන්නේ මධ්‍යයකින් තොර ජාලගත සම්බන්ධයක් (සිරස් තලය) ලෙස නිසා නැරඹීම නරඹන්නා අර්ථකථනය කරන්නේ පරාරෝපණයෙන් ඉවතට යන්නක් ලෙසිනි. අන්තර්ජාලයට ඇත්තේ ද බලය පිළිබඳ ආකෘතියම වුවත් එහි සුවිශේෂය වන්නේ කේන්ද්‍රය අතුරුදන් වී තිබීමයි.
දක්ෂිණාංශික සහ ලිබරල් දේශපාලන චින්තනයන් තුළදී බලය, මර්දනය යනාදි සංකල්ප භාවිත වුවත් වාමාංශික දේශපාලනයන් තුළ ආධිපත්‍යය, දෘෂ්ටිවාදය යන වචන මඟහැරී යයි. මෙසේ වන්නේ ඇයි? ‘බලය’ සෑම තැනකම ඇතැයි කියන විට මිචෙල් ෆූකෝ නිවැරැුදිය. නමුත් ‘බලය’ ඕපපාතික යැයි කියන විට ඔහු පාරභෞතික කලාපයකට ගමන් කරයි.
මිචෙල් ෆූකෝ සහ ජාක් ලැකාන් අතර ‘බලය’ පිළිබඳ අර්ථකථනය වන්නේ එකිනෙකට ප‍්‍රතිපක්ෂ ආකාරයකටය. ඇත්තටම ෆූකෝ සහ ලැකාන් අතර ස්ථානගත වන බටහිර චින්තකයකු සිටියි. ඔහු ජීන් බෝද්‍රිලා නම් ප‍්‍රංශ දාර්ශනිකයාය. ඔහු විසින් නූතන ‘බලය’ පිළිබඳ සංකල්පය ශික්ෂණයෙන් වසඟය. (Seduction) දක්වා විතැන් කරයි. ඔහුට අනුව නූතන ධනවාදී සමාජයේ බල යාන්ත‍්‍රණය විරෝධයන් සමතික‍්‍රමණය කරමින් වසඟය දක්වා වේශ නිරූපණය වී ඇත. සමකාලීන මිනිසා සිදු කරන්නේ තම අනෙකාව බලයේ කේන්ද්‍රගත කිරීම වෙනුවට ඔහු/ ඇයව වසඟ (මුරුංගා අත්තේ තැබීම) කර ගැනීමයි. බොහෝ දෙනා සිතන්නේ මෙම වසඟ යාන්ත‍්‍රණය වාමාංශික හෝ විකල්ප සංවිධාන රටාවලට අදාළ නැති බවයි. අකිල විරාජ්ව රනිල් වික‍්‍රමසිංහ කෙතරම් වසඟ කරන්නේ ද එතරම්ම අතීතයේ දී කුමාර් ගුණරත්නම් ටිල්වින් සිල්වාව වසඟ කරගෙන සිට ඇත. වසඟය සහ වේශ නිරූපණය වාම සහ ධනපති යන සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂ සමතික‍්‍රමණය කරන බව අපි ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුය. ‘බලය’ නම් සර්පිලය UNPය හෝ SLFP තුළ කෙතරම් විද්‍යමානද? එතරම්ම එය ජවිපෙ හෝ වෙනත් ඕනෑම පක්ෂ ව්‍යුහයක් තුළ ද විද්‍යමානය. ‘බලය’ පිළිබඳ අදහස ලැකාන් කරා ඉලක්ක කරන විට අපිට බෝද්‍රිලාද් අතහැර දැමීමට සිදු වෙයි. ඒ මන්දයත් එය අතුරු පාරක් බැවින් සහ ඉඩකඩ ඉතුරු කර ගැනීමටය. නමුත් බෝද්‍රිලා ඉදිරිපත් කරන අදහස් අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. ඔහුගේ අදහස්වලට අනුව අපි රූපවාහිනිය නරඹනවා නොව රූපවාහිනිය අපිව නරඹනවාය. මෙමඟින් ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයන අලූත් තලයකට වර්ධනය වෙයි. ඒ අනුව Reality රූපවාහිනී වැඩසටහන් යනු ජීවිතයේ සැබෑව (Real) නිරූපණය කරන්නක් නොව ජීවිතයේ නැති දේවල් පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් කෘත‍්‍රිමව රඟ දැක්වීමකි. මීට හොඳම උදාහරණය වන්නේ Chat & Music වැනි රාත‍්‍රී රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වන ඊනියා කලාකරුවන්ගේ කෘත‍්‍රිම රංගනයන්ය. ඇත්තටම ඒ ඔවුන්ගේ ‘සැබෑ ජීවිතය’ නොවේ. ‘හිරු’ රූපවාහිනියේ Copy Chat වැඩසටහන මෙහෙය වන රංගන යනු මාධ්‍යවේදියෙක් නොව රංගන ශිල්පියෙකි. ඔහු වේශ නිරූපණ යන්ත‍්‍රයකි. ඔහු සමාජ යථාර්ථයේ සැබෑව නොහොත් යථ (Real) වේශ නිරූපණය හරහා අධිප‍්‍රබන්ධයක් (Hyper-real) බවට පත්කරයි. ඇත්තටම පශ්චාත්-නූතන මාධ්‍ය සිදු කරන්නේ යථාර්ථය නම් ප‍්‍රබන්ධයෙන් එහි ‘යථ’ ඉවත් කිරීමයි. මේ වැඩසටහන්වලට ඉදිරිපත් වන බහුතරයක් නිළියන් ඇත්තටම නිළියන් නොවේ. ඔවුන් සැබෑ ජීවිතයේ දී ලිංගික ශ‍්‍රමිකයන්ය. (දේශපාලනිකව පැරණි අර්ථයෙන් කිවහොත් මේ අය ගණිකාවන්ය) මේ අයව නූතන ජනමාධ්‍ය විසින් නිළියන් ලෙස වේශ නිරූපණය කරනු ලබයි. චිත‍්‍රපට සංස්ථාව රාජ්‍ය පරිපාලනයට යන්නේ ඇයිදැයි දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති.
මිචෙල් ෆූකෝ මාක්ස්වාදයටත්, මනෝ විශ්ලේෂණයටත් එකසේ විරුද්ධය. ඔහුට අනුව මෙම චින්තනයන් දෙකම අතීතයට අයිතිය. නමුත් ෆූකෝට මෙම චින්තනයන් දෙක මඟහැරී යාම නිසා සිදු වූ අපගමනය කුමක්ද?
අපි දැන් සංයුක්ත උදාහරණයකට යමු.
බහුතර දෙනා පිළිගන්නා පරිදි LTTE සංවිධානය යනු ශරීරයන් ශික්ෂිත කිරීමට අදාළව ගත් විට ප‍්‍රමිතිගත සමාජ ව්‍යාපාරයකි. මෙසේ සිතන්න LTTE දුරදිග විහිදුම් බළකායේ සන්නද්ධ භටයෙක්ට සංවිධානය රාජකාරියක් භාර දෙයි. ඔහුගේ රාජකාරිය වන්නේ ‘මුලතිව්’ යුද හමුදා කඳවුරේ අභ්‍යන්තරව වාසය කරන හමුදා නිලධාරීන්ව නිරීක්ෂණය කිරීම යයි උපකල්පනය කරන්න! කල් තබාගත හැකි ආහාර සහිත මෙම සන්නද්ධ LTTE ගරිල්ලා භටයා ඉතා උස ගසකට නැඟ එහි ශක්තිමත් අට්ටාලයක් සකස් කර කිලෝ මීටර් කිහිපයක දුර සිට මෙම හමුදා කඳවුර නිරීක්ෂණය කරයි. දැන් මෙම රාජකාරිය දින ගණනක් ගත වන එකකි. එක් දිනෙක ඔහු අමුතු යමක් දකියි. හමුදා කඳවුරේ ගොඩනැඟිල්ලකින් ඉවතට යන උසස් හමුදා නිලධාරියෙක් හමුදා සොල්දාදුවරියක් සමඟ කඳවුරෙන් ඈත හුදෙකලා ගසකට මුවා වී ලිංගික රමණයකට සූදානම් වෙයි. ඇත්තටම ඔවුන් ඉන්පසු ලිංගික සබඳතා පවත්වයි. මේ දර්ශනය තම දුරේක්ෂය හරහා නරඹන LTTE ගරිල්ලා භටයාට තිබෙන්නේ ශරීරයක් පමණක් නොවේ. ඔහුට/ ඇයට ශරීරයක් ද තිබේ. LTTE සංවිධානයට අනුව ගරිල්ලා භටයාගේ විනයගත කර ඇත්තේ ශරීරය පමණි. ඔවුන්ගේ හමුදා විනය පුහුණු කරන අභ්‍යාස පාසලට අනුව මෙවැනි අහඹු සිදුවීමක් කලින් පුරෝකථනය කිරීමට ද නොහැකිය.
වෘත්තීය විප්ලවවාදි කාඩර්වරුන් පුහුණු කිරීමේ දී අධ්‍යයන වැඩසටහන තුළ අපට යථාර්ථයෙන් ‘යථ’ ඉවත් කළ හැකිය. නමුත් සැබෑ තත්ත්ව තුළ දී යළි අපට ‘යථ’ මුණගැසෙයි. දුරේක්ෂයෙන් තමන් නරඹන දර්ශනය හරහා ගරිල්ලා භටයා ලිංගිකකරණය වෙයි. මින් ගම්‍ය වන්නේ කුමක්ද? අපේ අධ්‍යයන පාඨමාලාවලින් ඉවත් කරන අපේම ‘අනෙකා’ (Other) සංකේත විශ්වය තුළ දී යළි මුණගැසෙන බවයි.
සිංහල හමුදා නිලධාරියා සහ සෙබළිය අතර ඇති වන පරපීඩා ලිංගික ජවනිකා නිසා LTTE ආත්මය දෙකඩ වෙයි. එකක් හමුදා කඳවුරේ වාස්තවික හැඩ රටාවන් නරඹන තාර්කික ආත්මයයි. එය ඥානය වර්ධනය කරයි. නමුත් එය ප‍්‍රබන්ධයකි. එසේ වන්නේ ඉහත අප විග‍්‍රහ කළ ලිංගික ජවනිකාව දුටුවාට පසු LTTE ගරිල්ලා භටයාට අවිඥානික ආශාවක් ඇති වන නිසාය. මෙම ආශාව ගැන කරන අධ්‍යයනයක් මිලිටරි විද්‍යාව විසින් අත්හිටුවන්නේ එය එම විද්‍යාවේ අන්තර්ගතයට අදාළ නැති නිසාය.
දැන් අපට කරුණා, විමල් වීරවංශ, වාසු හෝ වෙන ඕනෑම වාමාංශික විමතිකයකුගේ ‘ආත්මය’ (Subject) බිහිවන ක‍්‍රියාවලිය ගැන ප‍්‍රාථමික අවබෝධයක් ඇත. 97 වර්ෂයේ දී මුලතිව් හමුදා කඳවුර යටත් කර ගැනීමේ සටන සඳහා ඉහත ගරිල්ලා භටයා ලබා දුන් වාස්තවික තොරතුරු LTTEයට උපායික වශයෙන් වැදගත් වීමට ඉඩ ඇත. නමුත් එම ගරිල්ලා භටයා ශරීරයෙන් විනෝද වීම නිසා හටගත් ආත්මය ගැන අවබෝධයක් ටොසී ඔත්තු සේවයට ලැබෙන්නේ නැත.
අප දෙස නරඹමින් සිටින (කල්පිතයක් ලෙස හෝ) අනෙකෙකු (බලය හෝ ආධිපත්‍යයේ ප‍්‍රතිරූප – ගුරුවරයා, නායකයා, පියා) සංකේත විශ්වය තුළ යම් අඩුවක් හෝ අපගමනයක් දෘශ්‍ය කළ වහාම එම නැරඹුමට ලක් වෙමින් සිටින පුද්ගලයා තුළ ශික්ෂණයට අමතරව අශ්ලීල විනෝදයක් ද (Enjoyment) හට ගනියි. ශිෂ්ටත්වයේ දෘෂ්ටිකෝණයෙන් නැරඹූ විට අපත්, ගරිල්ලා භටයත් වහාම කරන්නේ මෙම අශ්ලීල සාරය සිහි කටයුතු ලෝකයෙන් ඉවත් කිරීමයි. නමුත් හමුදාවට එරෙහිව ශික්ෂණය වන නියම LTTE ආත්මය වන්නේ කඳවුර ගැන වාස්තවික දත්ත රැස්කරන ආත්මය නොවේ. නියම LTTE ආත්මය වන්නේ අර අනෙකාගේ අශ්ලීල ජවනිකාව හරහා ශෘංගාරකරණය වන ආත්මයයි. මේ ආත්මය යළි යළිත් උත්සාහ කරන්නේ අර අහම්බයෙන් දුටු ජවනිකාව යළි යළිත් නැරඹීමටය. ඒ අනුව හමුදා මර්දනය LTTE සැබෑ ආත්මය පසින් ආශා කරන වස්තුවකි. ෆූකෝගේ ‘බලය’ පිළිබඳ සංකල්පයේ පාරභෞතික ක්ෂේත‍්‍රය අපට හමුවන්නේ මෙම මංසන්ධියට පසුවය. ‘බලය’ තම වාස්තවික බල රටා අධිනිශ්චය කරන අතර එහි අධ්‍යාත්මික පක්ෂය අමතක කරයි.
දීප්ති කුමාර ගුණරත්න