මේ සිංහල අපගේ රටයි…
මම හිතන හැටියට බහු වාර්ගික යනුවෙන් අර්ථකතන කරන ‘ඉවසන සුළු බහු සංස්කෘතික’ (tolerant multiculturalism) රටක ‘සිංහල ජාතිය’ යන්න අධිනිශ්චය වීම ගැටළුවක් හැටියට උපකල්පනය කිරීම නිසා වෙන්න ඇති එහෙම නන්දා මාලනිය විසින්ම එම ගීතය ස්වයං-වාරණයට ලක් කරගෙන තියෙන්නේ (මුලින්ම මගේ හිතට ආපු ප්‍රශ්නය නම් ඒ කාලේ අපි ආශාවෙන් අහපු ගීතයක් අද අපට වරදකාරීත්වයක් කළේ කවුද කියන එක). සාමාන්‍යයෙන් ද්‍රවිඩ මිනිසාගේ තුවාල වූ අහංභාවය (hurt ego) ‘සිංහල ජාතිය’ යන්න නැවත නැවත කීම නිසා තව තවත් තුවාල වෙන නිසාත් එහෙම කළා වෙන්න පුළුවන්. ඒ වරදකාරී බව නිසා වෙන්න ඇති ධර්මසිරි බණ්ඩාරනායක වුනත් ස්වයං -හෙළා දැකීමකට ගිහින් තියෙන්නේ සිංහල බෞද්ධ අපි අශිෂ්ට මිනිස්සු කියන දුරට ගිහින්. බෞද්ධ මිනිස්සු හැටියට අපිට එහෙම යම් කෙනෙක් අශිෂ්ට කියල කිව්වට කලබල වෙන්න උවමනා නැහැ. බුදුන් වහන්සේට කවුරුන් හෝ බැන්න කියල ආපස්සට බනින්න ගියේ නැහැනේ. ඉවසීම කියන එක තමයි බෞද්ධ ගුණය (නමුත් ආලවකය ට දුන්නේ අවස්තා දෙකයි. ඊට පස්සේ බුදුන් වහන්සේ හෙල්ලුනේ නැහැ). ධර්මසිරි වගේ කෙනෙක් ගේ ආත්මය සුවපත් වෙන්නේ බෞද්ධ කමට බැනවැදීම තුළ නම් මම කියන්නේ මෙහෙම දෙයක්, ‘මා මත පය තබා ඔබ නිදහස් වෙන්න‘ කියන එක. ඔබගේ නිදහස තියෙන්නේ මාව හෙලා දැකීම තුළ නම් එසේ කර ඔබ නිදහස් වෙන්න කියන එක තමයි එහි සරල අර්ථය (ඒ කියන්නේ අනෙකාගේ වේදනාව බාර ගැනීම කියන ක්‍රිස්තියානි අභිනය). මම ඒක ඉගෙන ගත්තේ Silence (2016) කියන ක්‍රිස්තියානි චිත්‍රපටයෙන්. යාපනේ පුස්තකාලේ ගිණි තිබ්බේ (ඒ සඳහා මතවාදී සහයෝගය දුන්නේ) ඔය පිටරට ගිහින් ඉගෙන ගෙන ආපු සුද්දෝ වගේම ඉංග්‍රීසි කතා කරපු කොළඹින් ගිය එවුන් ටිකක් මිසක් ‘සිංහලුන්’ නෙවෙයි. ඒක අපේ ඉතිහාසය ඇතුලේ වෙච්ච වැරදි ම වැඩක්. ලොකු වරදකාරීත්වයක් එන එක වලක්වන්න බැහැ තමයි සිංහල බෞද්ධ අය හැටියට (ඒ නිසයි තමාගේ ම අනන්‍යතාවය ධර්මසිරි හෙළා දකින්නේ. ‘මෙහෙම පහත් වැඩ කරන ජාතියක මම කොටස් කරුවෙක් නෙවෙයි’ කියන එක වෙන්න ඇති ඔහු අදහස් කරන්න ඇත්තේ). එහෙම කරන්න පුර්ණ අයිතියක් එයාට තියෙනවා. මම දන්න ජර්මන් ජාතිකයෝ ඉන්නවා තමන් ජර්මන් කියල හදුන්වා ගන්න අකමැති ඔවුන්ගේ ඉතිහාසේ වරදකාරීත්ව බර වැඩි කම හින්ද.
කොහොම වුනත් සිංහලකම හෝ බෞද්ධකම හෙළා දැකීම මෝස්තරයක් වෙනවට මම විරුද්ධයි. අපි අපේ කම ගැන හීනමානයක් ඇතිකර ගන්න ඕනි නැහැ. මම හිතන හැටියට සිංහල බෞද්ධ කම හෙලා දැක්ක (එහෙම කරා නම්) එකම කෙනත් ධර්මසිරි නෙවෙයි. එහෙම හෙලා දකින අයගේ පාරේ හුගක් අය යනවා සහ යන්න හිතාගෙන ඉන්නවා පිටරට ඇහැට ඕනි විදියට. දුප්පත්කම නැත්නම් අපිළිවෙල ඉස්මතු කරලා (ෆැන්ටස්මතිකය) බටහිර ඉස්සරහ අපිව ‘අශිෂ්ටයෝ’ (පුක කහන ගැමියෝ) හැටියට පීචන් කරන එක අපේ චිත්‍රපටි කරන අයගේ පුරුද්දක්. හැබැයි පොරවල් වුන නිකමුන් ගැන – Nobodies to Somebodies යනුවෙන් කුමාරි ජයවර්ධන හඳුනා ගන්නා පශ්චාත් යටත් විජිත අය ගැන – කවුරුත් චිත්‍රපටි හදන්නේ නැහැ. (අභියෝගයක් හැටියට අවම වශයෙන් බණ්ඩාරනායක ගැන ගෝලීය චිත්‍රපටයක් හදන්න ඔහුට පෙරදිග අරගලයේ හරිගිය සහ වැරදුන තැන් ඉස්මතු කරලා. අපේ ලංකාව පැත්තෙන් පොදු ජන අරගලයක් ආව එකම තැනත් එතන. 71 අරගලය ට පෙරවදන එන්නේ එතැනින්. උවමනා නම් බටහිර අධ්‍යක්ෂක වරුන්ගෙන් උපදෙස් ගන්න කොහොමද ‘දැක්මේ ලක්ෂ්‍ය’ (gaze point) තියෙන්න ඕනි කියල).
කොහොම වුනත් අපිව හෙළා දැක්ක හෝ පීචන් කළා කියල කිසිම විදියකින් කලබල වෙන්න හෝ පෙරළා හෙලා දකින්න හෝ ෆත්වා නියෝග දෙන්න වගේ පහත් තැනකට අපි වැටෙන්න ඕනි නැහැ (බුද්ධාගම ප්‍රශ්න කරනකොට නලින් නම් ගොඩක් කලබල වෙනවා මම දැකල තියෙනවා. හැබැයි හෙලා දකින අය එහෙම කරන්නේ බටහිර කුමන්ත්‍රණ වලට අහුවෙලා කියල හිතනවට වඩා අපි දකින්න ඕනි දෙය තමා සිංහල කම නිසා ඔවුන් ජිවිතයේ යම් දවසක රිදවාගෙන තියෙනවා කියන එක. හෙලා දැකීම එන්නෙ ම ඒ ආත්මීය වේදනාවෙන් නම් අපි ඔවුන්ගේ වේදනාව බාර ගන්න තරම් ශක්තිමත් වෙන්න ඕනි යේසුස් වහන්සේ කීවා වගේ. එතකොට ඒ වේදනාවෙන් ඉන්න අයත් අපි ලඟට එයි). ගහන කෙනා තමයි අධ්‍යාත්මිකව දුර්වල කෙනා (ගුටිකන කෙනා නෙවෙයි) කියල අපිට පෙන්වල දුන්නේ සුද්දන්ගේ ගුටිය කාගෙන නැවත නැවත දුවිලි පොළොවෙන් නැගිට්ට ගාන්ධි! කොච්චර බුද්ධාගම ගැන කතා කලත් මම නලින් තුලින් එවැනි අධ්‍යත්මික හයියක් හෝ ඉවසීමක් දැකල නැහැ. මට මතකයි මම X කණ්ඩායමේ මතවාද සමඟ ජිවත් වෙච්ච මුල් කාලේ, ඒ කියන්නේ දෙදාහේ මැද විතර, මමත් හිටියේ සුචරිතගේ මතවාදයට ටිකක් සමාන තැනක (‘බැටේ දෙන එක’ නැත්නම් ‘ගහන එක’ කලාවක් කරගත්ත ගම්ලත් කොතරම් ප්‍රාමාණික බුද්ධිමතෙක් වුනත් එයා කවදාවත් මගේ පරමාදර්ශී චරිතයක් නෙවෙයි). මට මතකයි මමත් වාද කළා මේ ගීය ජාතිවාදියි කියන තැනක ඉඳල. නමුත් අද මගේ අදහස දෙදාහේ මතයට වඩා වෙනස් කියල මට හිතෙනවා. ඒක නිසයි මම මේ සටහන ලියන්න හිතුවේ.
හොඳට අහල බලපුවම පෙනෙන දෙයක් තමයි ජාතිවාදයට උල්පන්දම් දෙන කිසිවක් එම ගියේ නැහැ කියන එක. නමුත් එම ගීය ජාතිවාදීන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇති වෙනත් පටු පරමාර්ථ වෙනුවෙන්. නමුත් ඒක ගීතයේ ප්‍රශ්නයක් නෙවෙයි. භාවිතා කරන අයගේ දක්ෂ (කපටි) කමක්. එකම දෙය නම් විශ්වීයවාදීන්ට (universalists) එම ගීතය ධනාත්මකව පාවිච්චි කරන්න බැරිවීම. එහෙම වුණා නම් අපිට වැදගත් දේශීය අන්තර්ගතයක් සාර්වත්‍රික කරගන්න තිබුණා. ගීතය පටන් ගන්නේ අපුර්ව අදහසකින්. පද රචකයා වන මහගම සේකර මෙහෙම කියනවා; ‘මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රටයි’. ඔහු පටන් ගන්නෙම අතිශය ශුන්‍ය තැනකින්. ඒ කියන්නේ ගැඹුරු සිංහල බෞද්ධ අනන්‍යතාවයක් වන අනිත්‍යයෙන්. ලාංකික භුමිය බෞද්ධයා ට හමුවූ ඉපදීම සහ මියයාම අතර පාර-භූමියක් (trans-territory) පමණයි කියන එක තමයි ගීතයේ ආරම්භක ප්‍රවේශය. මේ භුමිය ඇතුලේ තාවකාලිකව ‘අප හද පන ගැහුන ද’ අපට සදාකාලික උරුමයක් නොවන එම භුමිය යනු ලොව උතුම්ම භූමියක් යන්න (මුළු ලොව මේ රටට යටයි) සේකර අතිශය භාවාත්මකව අප වෙතට චිත්‍රණය කරනවා. එම භුමිය ඒ අනුව උතුම් වන්නේ එහි පාර ස්වභාවය නිසයි. ස්ථිර නොවන බව නිසයි. එය ස්ථිර දෙයක් (static) බවට පත් කිරීම යනු එහි අනියත, පාර, අස්ථිර (අනිත්‍ය) ස්වභාවය විනාශ කිරීමක්. ඉතින් අපි බෞද්ධ ස්ථිර භූමියක් සෙවීම අර්ථ ශුන්‍ය වැඩක්. අනිත් එක තමයි අපි බටහිර භූමි සංකල්පයෙන් (බෙදා වෙන් කිරීම, ජාතික රාජ්‍ය, තරඟකාරි බව) වෙනස්ව හිතන ජාතියක්. කන්න බොන්න පවතින්න ඕනි උනත් බෞද්ධයකුට භූමියෙන් ඇති මහා ලොකු වැඩක් නැහැ. ඔහුට හෝ ඇයට ඕනෑම භුමියක් ඔට්ටුයි අනිත්‍යයේ දුරින්. ඒකයි අපේ විශ්වීය බවේ පදනම.
වෙනත් විදියකට කිව්වොත් සේකර කරන්නේ ‘සිංහල උතුම් ම භුමිය’ (ඉන්දියානු බව, ජර්මන් බව, ඔස්ට්‍රේලියානු බව වගේ) යන ස්වාමි හැඟවුම (S1) ඉපදීම, මරණය සහ අනිත්‍ය බව නම් කොගිටෝව (සිතන මනස) හරහා කප්පාදු කරන එක (S). එවිට ඉහත පද පේළිය ලියන්න වෙන්නේ මෙහෙම. ‘මේ සිංහල අපගෙ රටයි. අප ඉපදෙන මැරෙන රටයි’ හැටියට (කියවන්න Zizek and Politics (2010) කෘතියේ 76 පිටුව). ‘අපගේ සිංහල රට’ යන්න විසින් තවත් බොහෝ දේ (අනෙත් හැඟවුම්) තීරණය කරනවා මෙම ගීතය තුල. ‘සාරවිට’ (1965) චිත්‍රපටයේ රූප රාමු වලට අනුව ඒවා නම් සමනල කන්ද, ශ්‍රී මහා බෝධිය, සමාධි පිළිමය, දිය ඇලි, පොළොව තෙමන වැව්, මුහුදු අවට බැඳි පවුරු, රණ විරුවන්, මිනි කැට යනාදී උත්කෘෂ්ට වස්තුන් ගේ (object a) පැවැත්ම තීරණය වෙන්නේ ඉහත සිංහල භුමිය නම් හැඟවුම විසින් (object a = ශිෂ්ටාචාර වෙනස. හරියට ස්ත්‍රියකගේ මුහුණේ ලපය වගේ). නමුත් මෙතැනදී එන ගැටලුව තමයි ‘සිංහල භුමිය’ ස්වාමි හැඟවුම (S1) ලෙස ගත්තොත් සහ අනෙක් හැඟවුම් උත්කෘෂ්ට වස්තූන් ලෙස (object a) ගත්තොත් ‘නිවන’ නැත්නම් ‘අනිත්‍ය’ වගේ ඒ දෙවර්ගයට ම ඔබ්බෙන් තිබෙන සංකල්පයක් අපට මනෝ විශ්ලේෂණය ඇතුලේ (සංකේත ඇතුලේ) සන්දර්භගත කරන්න බැරිවීම. ජිජැක් කියන දෙය තමයි මෙම ස්වාමි හැඟවුම් (Master signifiers) සහ අනෙත් හැඟවුම් (other signifiers) දේශපාලන ප්‍රවාහ මඟින් වෙනස් කරන්න පුළුවන් යන්න සහ එසේ කල යුතුයි යන්න (ඉහත කෘතියේ 74 පිටුව). නමුත් සිතන කාටේසියානු කොගිටෝ තත්වයක් වන නිවන හෝ අනිත්‍ය (මෙය න්‍යායිකව වැරදි කියමනක්. මොකද අනිත්‍ය යනු සැකයක් නොවෙන නිසා. අනෙක් අතට නිවන කියන තැනදී සිත පවතින්නේ නැහැ. නමුත් සංකල්ප තේරුම් ගැනීම පිණිස පමණක් ඉහත සද්භාවී සිතියම භාවිතා කරන්න) වෙනුවෙන් අපිට ලැකානියානු රූප සටහනක් දෙන්න බැහැ වගේම ඒවා වෙනස් කරන්න දේශපාලන වැඩ පිළිවෙලක් යෝජනා කරන්නත් බැහැ. උදාහරණ වශයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ (හෝ සමාජවාදය) යන්න අභියෝග කල හැකි දෙයක් (ස්වාමි හැඟවුමක්) උනාට සිතීම අවසන් වන හෙවත් කොගිටෝවේ අවසානය සනිටුහන් වෙන නිවන වගේ සංකල්පයක් අපිට දේශපාලනය තුල ස්ථානගත කරන්න බැහැ. බටහිර දර්ශනය ඇතුලේ සිතීම අවසන් වීමක් වගේ දෙයක් නැහැ. එතැනදී හේගල් ගේ විශ්වයේ රාත්‍රිය වගේ සංකල්පයක් වුනත් අසමත් වෙනවා. වේදනාව විසින් මිනිස් සවිඥානික බව ඇති කරන්නේ නම් (යේසුස් විසින් කුරුසියේ දී ඇතිකර ගන්නා තමා දෙස කිසිවෙක් බලා නොසිටි යන අවබෝධය) මුලින්ම අවබෝධය ලබන කෙනා වහලා. නමුත් නිවන යන්න හේගලියානු විෂය මුලික බව එක්ක ගැලපෙන්නේ නැහැ. එය ඩේකාට්ස් එක්ක තියන්නත් බැහැ. අනේකත්වය නිවන එක්ක සම්බන්ද කරන්නත් බැරි නිසා එතැනදී මනෝ විශ්ලේෂණය වුනත් අසමත් වෙනවා. කොහොමත් බටහිර තිබුණ ‘සියල්ල අහිමි’ වහල් භාවයක් මෙහේ තිබුණේ නැහැ (රජ්ජුරුවෝ වගේම අනිත් හැමෝමත් පන්සල් ගියා. පන්සලේ නායකයා වුණේ හාමුදුරුවෝ. එයා හිටියේ උස් ආසනයක රජ්ජුරුවෝ හිටියේ ඊට පාතින්). ඔන්න අපේ භුමියේ වෙනස. කොච්චර ලස්සන ස්ත්‍රියක් වුනත් එයාගේ ලස්සන ලපයත් එක්කම ක්‍රමයෙන් දිරාපත් වෙලා මැරිලා යනවා කියන එක තමා අපේ අවිඥානික දැනුම (කවබතා කියන්නෙත් මිට සමාන දෙයක්). ඒ වෙනස ඉහත බටහිර සංකල්ප ඔස්සේ නිර්වචනය කරන්න බැහැ (ඒ නිසා ජපන්නු බටහිර විද්‍යාව ‘උපකරණයක්’ කර ගත්තට බටහිර දර්ශනය පස්සේ දුවන්නේ නැහැ).
ෂෙලින් ට අනුව ගත්තොත් බටහිර මිනිසාට භුමිය යථාවක් උනාට අපිට ඒක එහෙම දෙයක් නෙවෙයි. බටහිර විසින් භුමිය තේරුම් ගන්නේ විනිවිදිය නොහැකි නිෂ්ක්‍රිය යථාවක් (impenetrable inert Real) විදියට. නමුත් අපිට භුමිය කියන්නේ තාවකාලික නවාතැනක් විතරයි (යථාවක් වෙනුවට එය අපිට කන්න තුනක් හොඳට ගොවිතැන් කරන්න පුළුවන් සාරභුමියක්. ඒ නිසාම එය වන්දනීය දෙයක් – ‘වන්දනීය වූ පුජනීය වූ මාතෘ භුමි ලංකා’). ආත්මයේ නිදහස කියන කාරනාවෙදි බටහිරට තියෙන්නේ භුමිය සමඟ ආතතිමය සම්භන්දයක් (gap and tension between consciousness and ground). පුද්ගල සවිඥානිකත්වය කියන තැනදී එවිට එය ඔවුන්ට දේශපාලනිකයි (ඒ නිසා භුමිය ආක්‍රමණය කරනවා. ගැහැණු දුෂණය කරනවා. මුල්ලි වයික්කාල් කියන්නේ සිංහල බෞද්ධ බවේ දේශපාලන අපගමනය). නමුත් අපිට භුමිය සමඟ තියෙන්නේ අනියත සම්භන්දයක්. එවිට අපිට එය සාන්දෘස්ටිකයි (existential). නැතනම් ලෝකොත්තරයි (ඒ කියන්නේ ආගමිකයි). මේක ෆ්‍රෙඩ්රික් ජේම්සන් වගේ කෙනෙක් තේරුම් ගත්තේ නැති නිසා ආසියාතික සාංදෘස්ටික බව ඔහුට වැටහුණේ නැහැ. අඩු තරමින් ජෙම්සන්ට ගාන්ධි මග හැරෙනවා නැත්නම් හිතාමතාම මඟ හරිනවා. බටහිර ට භුමිය ප්‍රසාරණික (expansion) දෙයක් උනාට (තේරුම් ගන්න බැරි නිසාම) අපිට භුමිය ප්‍රසාරණය කරගන්න ඕනි උනේ නැහැ (ඒ නිසාම අපිට බටහිර වගේ ගැහැණුන්ට sex කරන්න ඕනි උනෙත් නැහැ). අපේ රජවරු මුහුද දෙබෑ කරගෙන පිටට ගියත් ඔවුන් ‘අනුන්ගේ’ භුමිය අල්ලාගෙන හිටියේ නැහැ. විශාල කරගන්න හැදුවෙත් නැහැ. බටහිර ඇලෙක්සැන්ඩර් ල බිහි උනාට අපිට එහෙම උවමනාවක් තිබුණේ නැත්තේ බෞද්ධ දර්ශනයේ අභාෂය නිසා. අපිට භුමිය එක්ක ආතතිමය සම්භන්දයක් තිබුනේ නැහැ සුද්දා ඇවිත් භුමිය ලාභය එක්ක ගැටගසන කල්. අපේ සවිඥානිකත්වයට ඒක කවදාවත් බල පැවෙත් නැහැ (කොටි සංවිධානය භුමිය දේශපාලනික කරන කල්). මොකද අපි සවිඥානික වෙන්නේ අනිත්‍ය වගේ දෙයක් එක්ක. මොකද භූමියත් වෙනස් වෙනවා. අපිත් වෙනස් වෙනවා. අපේ සවිඥානිකත්වයත් වෙනස් වෙනවා (නිවන් දකින තුරු).
පැවැත්මෙන් භුමිය වෙන්කරන ‘දිව්‍යමය පරතරය’ (කාබනික ලොවට විසිකර දැමීම නම් ක්‍රියාව) විසින් ඇතිකරන ආතතිය විසින් බටහිර ආත්මය භූමියෙන් සදාකාලික ලෙස විගලිත වුනත් (ඛණ්ඩනය හෝ විගලිත වීම යහපත් දෙයක්) සිංහල බෞද්ධ අපිට එහෙම ‘විසිකර දැමීමේ’ (thrown into) ආගමික මුලයක් තිබුණේ නැහැ. ඒ නිසා අපට මාක්ස් හෝ නීට්ෂේ කියන විගලිත බව ගෙඩිය පිටින් තේරෙන්නේ නැහැ. ඒ නිසාම අපට ලෝකය තේරුම් ගන්න ‘දිව්‍යමය භාෂාවක්’ (divine language or meta-language) අවශ්‍ය වුනෙත් නැහැ. මේ හේතුව නිසා වෙන්න ඇති අපගේ අන්තරීක්ෂ බව (cosmic view) ව්‍යාප්තික නොවන්නේ සහ ස්ත්‍රිය සම්බන්ද ලෝක දෘෂ්ටිය ‘අඳුරු මහාද්විපයක් විනිවිදීම’ (penetrating a dark and a mysterious continent) වැනි දෙයකට සමාන කල නොහැක්කේ. පොළොව යට තිබෙන්නේ අවීචි මහා නරකාදිය නිසා අපිට භුමිය විනිවිදින්න අවශ්‍ය වුනෙත් නැහැ. දිව්‍යමය බව අපගේ අවසන් නිෂ්ටාව නොවුණ (නිෂ්ටාව උනේ නිවන) නිසා අපිට ඉර හඳ තාරකා වලට යන්න වුවමනා උනෙත් නැහැ. දුරේක්ෂ හදාගෙන මුළු ජීවිතේම අහස දිහා බලාගෙන අපි හිටියෙත් නැහැ. එවරස්ට් කියන චිත්‍රපටයේ (2015) බටහිර කඳු නගින්නන් කියන්නේ අපි මේ මෘගයා කෙසේ හෝ ජයගන්න ඕනි කියල (we should however beat his beast). අපගේ බෞද්ධ ජිවන ලෝකය තුළ කන්දක් යනු පරාජය කල යුතු මෘගයෙක් ලෙස දුටුවේ නැහැ. අපි සමනල කන්ද නැග්ගේ සිරි පතුල වඳින්න විතරක් නෙවෙයි ඒක වැඩවසල ඉන්න කන්දටත් ගරු කරමින්. ඉතාම වැදගත් දෙය නම් ‘දෙවියන්ගේ දිව්‍යමය නොවන දෙය’ (දෙවියන් තුලම ඇති නපුර) වගේ ෂෙලින් කියන අතිශය පරස්පර දෙයක් අපගේ ලෝකයේ තාර්කික වුණේ නැහැ. අපගේ දරුවන්ට ජිවිත කාලය පුරාම කොච්චර බටහිර දැනුම පෙව්වත් වැඩක් වෙන්නේ නැත්තේ ඇයි කියල දැන් ඔබට තේරෙන්න ඕනි. ඉතින් මහාචාර්ය නලින් දිගටම අහන දේ තමයි ‘කෝ උඹල බටහිර දැනුමෙන් මොකක්ද කරලා තියෙන්නේ’ කියන එක (මේකට උත්තර දෙන්න තව සියවසක් ගියත් අපිට බැරි වෙන්නේ අපි ඔහුගේ ප්‍රවාදය හරියට තේරුම් ගන්නේ නැති නිසා) අපිට පුළුවන් බටහිර කියන එක කොපි කරන්න විතරයි. ඉන් එහාට යන්න බැහැ. අඩුම වශයෙන් මේ දැනුම් කාණ්ඩ (knowledge categories) දෙක සහ ඥාන-විභාගය අතර පාලමක් හදන්නේ නැතුව අනාගතයේ මුකුත් කරන්න බැරි වෙයි. “දෙවියන් යනු සම්පුර්ණයෙන් දෙවියන්ම නොවේ. ඔහුගේ පුර්ණ අනන්‍යතාව වෙත ඔහුට ම ළඟා විය නොහැක. ඔහු තුල ම ඇති විනිවිදිය නොහැකි මදය ඔහුවත් නොදනී” (The Abyss of Freedom – 1997) වැනි සද්භාවී වාක්‍යයක් (ontological statement) බෞද්ධ ලෝකයක් තුල තේරුම් ගන්නේ කෙසේද යන්න තේරුම් කරදිය හැකි පණ්ඩිතයෙක් වේ නම් මා ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙන ගැනීමට මොහොතක් වත් පසුබට වෙන්නේ නැහැ.
බටහිර අර්ථයෙන් ලිංගික වෙනස (sexual difference) කියල කියන්නෙත් මේ ‘දෙවියන් වන දෙය’ සහ ‘නොවන දෙය’ අතර ඇති පරතරයට (බලන්න ඉහත Abyss of Freedom හි 7 පිටුව). ඒ කියන්නේ භුමියේ විනිවිදිය නොහැකි දෙයට ම කියන තවත් නමක් තමයි ස්ත්‍රිය කියන්නේ (Shelling explicitly sexualizes the relationship between Existence and its Ground, conceiving Ground as the impenetrable “feminine” foundation of the male Word (page 07). පුරුෂ දෙවියන්ගේ වචනය විසින් තමයි ලිංග භේදය ඇතිකරන්නේ. ඉතින් අපිට කෝ පුරුෂ දෙවියෙක්? දේව වචනය කියල සංකේත විශ්වයක් අපි දන්නේ නැහැ. බටහිර අර්ථයෙන් ගත්තම ඉතින් ‘අපිව මෙලොවට විසිකර දමා ඇති’ භුමිය නිශ්ශබ්දයි, නිසොල්මන්. එය ආගන්තුක දෙයක්. බටහිර පිතෘ මුලික ලෝකය මේ නිශ්ශබ්ද බවට බියයි (යථ). මොකද නිශ්ශබ්ද දෙය ඕනිම වෙලාවක පුපුරලා යන්න පුළුවන් (කාන්තාරේ සුළි කුණාටු වගේ). ඉතින් මර්ධනය අවශ්‍යයි. ඔන්න මෙතැනින් බටහිර විෂයමුලික බව පටන් ගන්නවා (the origin of subjectivity). ගොදුර ස්ත්‍රිය (ස්වභාවික බව). විෂයමුලික බව එක්ක සවිඥාණය (consciousness) පටන් ගන්නවා. නිෂ්පාදනය පිරිමි ආත්මය (සංස්කෘතිය). ඉතින් අනාත්ම වාදයක (ආත්මයක් නැති බව) ඉන්න අපිට ලෝකය තේරුම් ගන්න ඉහත විදියට බැහැ. ස්ත්‍රිය කියන්නේ අපිට භූමියක් නෙවෙයි. විනිවිදින්න ඕනි දෙයකුත් නෙවෙයි (රන් ආභරණ වලින් සැරසිලා ස්ත්‍රියකට උතුරේ සිට දකුණට පා ගමනින් අතීත ලංකාවේ යන්න පුළුවන් වෙලා තිබුණේ ඒකයි. යටත් විජිත ලංකාවේ විදේශ ගැහැණියකට මුහුදු වෙරළේ නාන්න වත් අද බැහැ. ඔන්න ආශාවේ බටහිර කියන විපරීත විකාශනය). ඒ නිසා කැමරා ස්ත්‍රියගේ ශරීරයට යවල බලන්න ඕනි කමක් අපිට තිබුණේ නැහැ (සිංහල වෙදකමේ තියෙන්නේ වා, පිත්, සෙම්, රෝග වලට බාහිරින් ශරීරයට ගන්නා බෙහෙත් මිසක් ශරීරය කපල කොටලා කරන වෙද කමක් නොවෙයි). අදටත් අපේ වෛද්‍ය ළමයි ශරීර කපන එකට එච්චර ආස නැහැ. මේ කෙටියෙන් පැහැදිලි කළේ අපේ ලෝක දෙකේ ප්‍රශ්නය. අපිට බටහිර විදියට හිතන්න බැරි ඇයි කියන එක.
යථාව (the Real) සහ සංකේතනය (Symbolic) කියන ලැකානියානු පාර සංකල්ප අපට මේ පොළොවේ පැල කරන්නත් බැරි ඉහත පාර භාෂාවේ ප්‍රශ්නය නිසාමයි. ලැකානියානු යථ කියන්නේ ‘ඇරඹුමට පෙර ඇති දෙය’ (දෙවියන්ට පෙර ඇති දෙය). Before the beginning හැටියට ෂෙලින් හඳුන්වන ‘දෙවියන් පැමිණීමට පෙර තිබුණ දෙවියන්ටත් අවුලක් වෙච්ච අපිළිවෙල’ තමයි බටහිර යථාව. ඉතින් මේක තේරුම් ගන්න සද්භාවී එළඹුමක් අපේ බෞද්ධ සංකල්ප ලෝකය තුල නැහැ. බුදුන් වහන්සේ කියන්නේ ලෝකයේ මුල සහ අග හොයන්න යන්න එපා, ඒක තේරුමක් නැති දෙයක් කියල. ඒ කියන්නේ විශ්වය අනන්තයි සහ අචින්ත්‍යයි කියන එක. හෙව්වත් ඇති වැඩක් නැහැ කියන එක. බටහිර ගණිතය තියෙන්නේ මෙම යථාව ගවේෂණය කිරීමේ ‘උපකල්පන වලින් පිරුණ උපකරණයක්’ (වෙනත් විදියකට කිව්වොත් මිත්‍යාවක්) ලෙස. පරම සත්‍යක් ලෙස නෙවෙයි. එම සංකල්ප පවා නිරන්තරයෙන් වෙනස් වෙන බව දකින ලංකාවෙන් බිහිවූ දක්ෂ මිනිසෙක් වූ නලින් බටහිර විද්‍යාවේ මූලය ප්‍රශ්න කරන්නේ ඒ නිසා. ඒ කියන්නේ ඔහුට බැරි වෙනවා එම බටහිර ස්වභාවික ලෝකය නම් යථාව තේරුම් ගැනීමේ ‘වෙනස්වන උපකරණය’ (භෞතික විද්‍යාව සහ ගණිතය) සංකේත විශ්වයක් තුලට ගේන්න. වෙනත් විදියකට කිව්වොත් ‘දෙවියන්ගේ වචනයට පෙර ලෝකය’ (ආරම්භයට පෙර අවුල) බුදුන්ගේ වචනය සමග ගලපාගන්න පුළුවන් වීම තමයි අපේ දර්ශනය සහ බටහිර යා කරන පාලම විය යුත්තේ. අපි මතක තියාගන්න ඕනි කොතරම් අස්ථිර වුනත් බටහිර එම ‘වෙනස්වන සහ නොපැහැදිලි උපකරණ’ එක්ක භෞතික ලෝකයේ ගොඩක් දුර ගිහිල්ල තියෙනවා කියන එක. අද අපිට බටහිර සම්පුර්ණයෙන් බැහැර කරන්න බැහැ. මොකද ඔවුන්ගේ උරුමයකුත් තියෙනවා ලෝකයට දායාද කරපු. කොහොමත් අපිට අතීත ලෝකය නැවත හදන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. නමුත් අපිට අතීතයෙන් ගතහැකි සදාචාරාත්මක උරුමයක් තියෙනවා නම් අපි ඒක නුතන ලෝකයට ගන්න ඕනි කියන එක විතරයි මෙතන අදහස් කරන්නේ.
අපි ආපහු ගීතයට යමු. සේකර කරන දෙය තමයි පළමු පදයේ ‘සිංහල’ (අයිතිය) බව දෙවන පදයෙන් නිශේදනය කරන එක. එහෙම කරන්න ඔහුට පුළුවන් වෙන්නෙ ම පළමු පදය ඇතුලේ ‘සිංහල’ බව මතු කිරීම නිසාම යි. ඒ කියන්නේ ‘සිංහල නොවන කෙනෙකුට’ එම පැවැත්මේ නිශේදනය නොතේරිය හැකි නිසා. දෙවන පදයේ ‘මරණය’ කියන්නේ හැමෝටම (සිංහල, දෙමළ, මුස්ලිම්) පොදු ධර්මතාවක් වුණත් සිංහල බෞද්ධ අනිත්‍ය බව ආගමික මූලයක් හැටියට හැමෝට ම අදාල නැහැ කියන එක මෙතනදී වැදගත් (අපි අනෙක් අයගෙන් වෙන්වන හැඟවුම). අනිත් එක මහ ජාතිය හැටියට අපි විසින්ම අපි ජිවත් වන භුමියේ අනිත්‍යය සටහන් කරන එක තවත් වැදගත් අපි කවුද කියන එක අනිත් අයට ප්‍රක්ෂේපනය කිරීමේදී. සේකර මෙම ගීතයේ මතු කරන වැදගත් දාර්ශනික අදහස සිංහලුන් ගේ මෙම ජිවිතයේ අනියත බව (මරණය සමග ඇති දාර්ශනික සම්බන්දය) නම් එය අප නොගැයිය යුත්තේ ඇයි? සිංහල බෞද්ධයින් ලෙස අපගේ ආත්මය පුබුදුවන එම ගිය ජාතිවාදී වන්නේ කෙසේද යන්න අද දවසේ මාක්ස්වාදීන් පැහැදිලි කර දෙන්නේ නම් මා ඉතා සතුටු වෙනවා. අපගේ ශිෂ්ටාචාරය තුල අප ගොඩනගන ලද සියල්ල අප බටහිර මතවාද ඉදිරියේ පාගා විසිකර දැමීම යනු සාර්වත්‍රික බව ද (universalism)? එහෙම ගත්තොත් සමාධි, අවුකන පිළිම වහන්සේලා ජාතිවාදී වන්නේද? අපි ඒවා පෙන්වීමත් වාරණය කළ යුතුද? මහාචාර්ය පරණවිතාන විසින් මහත් ආයාසයෙන් මතුකර ගත් සීගිරි ගී ජාතිවාදී ද? බටහිර මතවාද (මාක්ස්වාදය හෝ ලිබරල් ධනවාදය) ඉදිරියේ එසේ අප හිස නමන්නේ නම් (කප්පාදු වන්නේ නම්) එවිට අප යනු බටහිරන් දෙන සෑම දෙයක්ම එහෙම පිටින්ම ගිලදමන මුග්ධයින් පිරිසක්ද? එවිට අප යනු කවුද? ජේ. ආර්. ගේ දරුවන් පමණක් ද? බටහිර මතවාද ගෙඩි පිටින් කරේ තබාගත් උමතු රෝගීන් පිරිසක්ද?
මා කියන්නේ ඉහත ගීතය කිසිසේත් අප ස්වයං-වාරණය නොකළ යුතු බවයි (tolerant multiculturalism). ‘සිංහල’ බව යනු අප අනෙකාගෙන් වෙන්කරන හැඟවුමයි. අපගේ අනන්‍යතාවයයි. එය අපගේ ‘වෙනස’ (difference) වන අතර අපගේ ලස්සන යනු එයයි (beauty is difference). අප කවුද යන්න අනෙකා වෙත ප්‍රක්ෂේපනය කිරීමට අප බිය විය යුතු නැත. අපගේ ‘වෙනස’ අප බහු-සංස්කෘතික බව හමුවේ ඉවසිය යුතු නොවේ (ජාතිවාදයට පදනම් සැකසෙන්නේ මෙම ඉවසීම නිසාය. යහපාලන ආණ්ඩුව නියම බහු සංස්කෘතික නියෝජිතයෙක් වන බැවින් වඩා වඩා ජාතිවාදී ඉඩකඩ උදාවෙමින් ඇත). එම ‘වෙනස’ අහෝසි වූ සැනින් අපද අහෝසි වී යන බව ජිජැක් ගේ සහ මැගෝවන් ගේ මතයයි. එකම දෙය නම් එම ‘වෙනස’ වෙනුවෙන් අනෙකා මරා දැමීමට අප එරෙහි වීමයි (අප නලින් ගෙන් වෙන් වන්නේ මෙතනදීය). එතැනදී අප ‘සිංහල’ (සාන්දෘස්ටික අදහස නැත්නම් වික්‍රමසිංහගේ ‘ගම් පෙරළියේ’ ජිනදාස අදහස් කරන දෙයට සමාන දෙයක්) මිස සිංහලේ (අනෙකාගේ ‘ලේ’ පිපාසිත වැම්පයර් ත්‍රී විල් අනන්‍යතා දේශපාලනික අදහස) නොවේය. එමෙන්ම අප දෙමල හෝ මුස්ලිම් වන්නේ ද නොවේය (චතුස්කෝටිකය අනුව ගතහොත් චිරාත් කාලයක් අප එකිනෙකා සම්මිශ්‍ර වී ඇති බැවින් අප ඔවුන් නොවන්නේ ද නොවේය. එහෙත් එම මිශ්‍ර වීම තුලම ඇතැම් සුවිශේෂී ලක්ෂණ වියැකී නොගිය හෙයින් අප ඔවුන් වන්නේ ද නොවේය). ඔවුන් අප විය යුතු ද නැත. ඔවුන් අපගෙන් වෙනස් ය. අප ඔවුන් විය යුතු ද නැත. නමුත් අපිට එකතු විය හැකි තැන් නැත්තේද නැත. එපමණකි.
තවත් කීමට දේ ඇතත් දැනට මේ ඇතිය. නමුත් එකක් කිව යුතුය. ලංකාවේ පොරවල් මාක්ස්වාදය තියා මොකක්වත් අපේ රටට වුවමනා විදියට ගලපා ගත්තේ නැත (failure in adaptability). මෙම ගලපාගැනීම කිරීමට ජේ. ආර්. ට ධනවාදය සම්බන්දයෙන් නොහැකි වුවා වගේ ම මාක්ස්වාදය සම්බන්දයෙන් වම්මුන්ටද අදහසක් තිබුණේ නැහැ. විජේවීර සහ බොහෝ අය වරද්දා ගත්ත තැන මේක (ඒ කියන්නේ මේ ‘භූමිය’ තේරුම් නොගැනීම. එහි වන්දිය තමයි මිනිස් ජිවිත දහස් ගණනක් වීම). වමේ අය මතක තියාගත්තොත් හොඳයි හේගල් කියන අපිට නොතේරෙන බටහිර දාර්ශනිකයා බටහිර පුනරුද සම්ප්‍රදායෙන් කැඩෙනවා කියන එක. ඔහු තේරුම් ගත්ත දෙය තමයි ස්වභාව ධර්මය සහ සම්ප්‍රදාය කියන දෙකම හේතුව මඟින් විනිවිදින්න බැහැ කියන සත්‍යය (Nature and Tradition are impenetrable stuff). වචනයට (Light of Logos) බැහැ ඒවා පසාරු කරගෙන යන්න. ආගම අබිං කිව්ව ගමන්ම වමේ වැඩේ ඉවර වුණා ලංකාව ඇතුලේ. ආලෝකය විසින් පසාරු කරන්නේ නැති නිසා හේගල් ඒවාට කිව්වේ ‘විශ්වයේ රාත්‍රිය’ කියල (night of the world). ඉතින් මේ කියන ටිකවත් අපේ බෞද්ධ මනසට තේරෙන්නේ නැහැ. මොකද ප්‍රපංචයීයව අපිට හේතුවේ රාත්‍රියක් වත් විනිවිදින ආලෝකයක් වත් නැති නිසා. අපිට තියෙන්නේ දුකට හේතුවක් වන තෘෂ්ණාව පමණයි. තෘෂ්ණාව ට හේතුව උපාධානය… යනාදී වශයෙන්. ඉතින් සිදුවෙච්ච දෙය තමා වමේ දේශපාලනය උපේක්ෂාව ගැන කතා කර කර හිටිය බෞද්ධ සම්ප්‍රදාය විසින් කප්පාදු කළා විතරක් නෙවෙයි විනාශ ම කරලා දැම්මා. ප්‍රභාකරනුත් වලපල්ලට ගියා (ජපාන සෙන් බුද්ධාගමත් තම බටහිර අනෙකාට මේ දේම කරපු හැටි බලන්න Silence කියන Martin Scorsese ගේ ඉතා වැදගත් චිත්‍රපටය). එහීදී මෙයිජි යුගය නියෝජනය කරන ජපන් පාලකයා බටහිර පාදිලි වරයාට කියන්නේ ‘ඔබව වෙනස් කලේ මම නොවේ. මෙම භුමිය නම් මඬ වගුර’ බවයි. ඒ මඬ වගුර (swamp) ඇතුලේ තමයි සාන්තුවර බුද්ධාගම රාක්ෂ වෙස් ගන්නේ. ඉතින් මුල්ලි වයික්කාල් කියන්නෙත් මඬ වගුරක් තමයි.
ඉහත ගීතයේ වෙනස්වන අනන්‍යතාව ගැන කතාකරන කොට තව හොඳ උදාහරණයක් මගේ මතකයට ආවා. කැසබලන්කා (Casablanca – 1942) කියන පරණ චිත්‍රපටයේ වික්ටර් ලැස්ලෝ විසින් නාසීන් ඉදිරියේ ගායනා කරන්නේ ප්‍රංශ ජාතික ගීය (තමා ආසන්නයේ ම ඇති අවිය). ඔහුගේ රට වන චෙකොස්ලෝවැකියානු ජාතික ගීය නෙවෙයි. එතැනදී ඔහුගේ අනන්‍යතාවය යනු වෙනස් වන දෙයක් (එය ද නොවේ. වෙනත් දෙයක්ද නොවේ. ඒ දෙකම නොවන්නේ ද නොවේ. ඒ දෙකම නොවන්නේ නොවේ ද නොවේ). පවත්නා නාසී මර්ධනය හමුවේ වුවද ලැස්ලෝ කිසිවිටක තම චෙකොස්ලෝවැකියානු අනන්‍යතාව සඟවන්නේ නැහැ. නමුත් ඔහු විශ්වීය බව සමඟ සමබන්ද නොවී සිටින්නේත් නැහැ (ඔහු නොවේ. එහෙත් ඔහු නොවන්නේ ද නොවේ). ඔහු මොරොක්කෝ වැසියෙක් නොවනවා සේම ඇමෙරිකානුවෙකු වන්නේ ද නැහැ. නමුත් මර්ධනයට ලක්වූ හැමෝම වෙනුවෙන් ඔහු සටන් නොකර සිටින්නේ ද නැහැ (neither an insider nor an outsider). මර්ධනය හමුවේ ඇති එකම දෙය ජාතිකත්වය කියල ඔහු දැනුවත්. ජර්මන් මර්ධනය හමුවේ සමස්ත චිත්‍රපටයේ හැමෝම තම අනන්‍යතාවයන් රැක ගන්න උත්සාහ කරනවා (යුදෙව්වන්, රුසියානුවන්, ප්‍රංශ ජාතිකයින්). චේ ගෙවාරා පවා හිටියේ පාර-ජාතිකත්වයක. ඔහුට ජාතියක් තිබුණෙත් නැහැ. නැත්තෙත් නැහැ. (ඇත්තේ ද නැත. නැත්තේද නැත) වෙනත් විදියකට කිව්වොත් මව නොවේ, මව නොවන්නේ ද නොවේ වගේ ‘දයලෙක්තික නොවන’ දෙයක් තමයි ජාතිකත්වය. ගෝලීයකරණය තුල සියල්ල අහෝසි වී යනවා යන සරලමතික අදහස ඇතුලේ තවත් අපිට ඉන්න බැහැ. මොකද ධනවාදයට බැහැ සියල්ල කප්පාදු කරන්න (Capitalism cannot castrate everything!). ඇත්තටම අද වනවිට සිද්ද වෙන්නේ කප්පාදු නොවූ දෙය විසින් ධනවාදය නැවත කප්පාදු කිරීම. ආසියාතික චීන අධිපති ධනවාදය සහ ඉන්දියාව ඔස්සේ වෙන්නේ ඒක නෙවේද? අපි මෙහෙම කියමු. “අධිපති (පුරුෂ) රෝමය බිඳ වැටුණේය. ‘සුර පප්පා’ කතාවේ හැටියට කප්පාදු නොවූ ගෝල් දේශය දිගට ම පැවතුනේය”.
McGowan, T. (2016). Capitalism and Desire: The Psychic Cost of Free Markets. Columbia University Press. New York. Sharpe, M. & Boucher, G. (2010). Zizek and Politics: A Critical Interrogation. Edinburgh University Press. Edinburgh.
Zizek, S. (1997). Abyss of Freedom/Ages of the World. University Press of Michigan. USA.
Zizek, S. (2001). Did Somebody Say Totalitarianism? Five Interventions in the (Mis)Use of a Notion. Verso. London.
Zizek, S. (2010). On Belief: Thinking in Action. Routledge. London.
චිත්‍රපට:
Attenborough, R. (1982). Gandhi. Goldcrest Films/Columbia Pictures. USA.
Curtiz, M. (1942). Casablanca. Warner Brothers. USA.
Scorsese, M. (2016). Silence. Paramount Pictures. USA.
නලින් ගේ ලිපිය