විශිෂ්ට පශ්චාත් යටත් විජිත ලේඛකයෙක් වූ වී. එස්. නයිපෝල් (1932 – 2018) වසර අසූ පහක් ආයු වළඳා අද (11) අප අතරින් වියෝවී ඇත. අපගේ ලෝකය සම්බන්ධයෙන් ඔහු වඩාත් වැදගත් වන්නේ නිර්-යටත්විජිත අසමත් භාවය විසින් යටත් විජිත ලෝකයේ සර්වාධිකාරී පාලකයින් ඉස්මතු වීමේ රෝග ලක්ෂණය නිරික්ෂණය කරන නිසාවෙනි. විශේෂයෙන් ඔහුගේ A Bend in the  River (1979) සහ Among the Believers (1981) යන කෘති තුළ මේ ලක්ෂණය මොනවට පැහැදිළි කර ඇත. මීට දශක කිහිපයකට පෙර ලියවුන ද ඔහුගේ කෘති බොහොමයක් විසින් පශ්චාත් යටත් විජිත ලෝකයේ ගැඹුරු දේශපාලන ප්‍රවණතා සහ පරස්පරතා නිරීක්ෂණ කර ඇත. නුතනත්වයේ ක්ෂිතිය සහ බටහිර ලෞකිකකරණය සඳහා ඇති ඉර්ෂ්‍යා ව විසින් පෙරදිග ආත්මය භින්නෝන්මාදි කර ඇති අතර බටහිරට වෛර කරන ගමන් ම ටොයෝටා වාහනවල යමින්, ජී-ෂොක් අත් ඔරලෝසු බඳිමින්, KFC කමින්, ඇපල් ෆෝන් කණේ ගසා ගෙන ආඩම්බරයෙන් යන දෙකට බෙදුණු  පශ්චාත් යටත් විජිත මිනිසා (hybrid subject) නයිපෝල් ගේ දැක්මට හසුවේ. මේ තත්වය ලංකාවට බෙහෙවින් අදාලය. බටහිරට බැන බැන පර්මිට් වලින් හයිලෑන්ඩර් වල යන ගමන් අපේ ලාංකික විෂය කල්පනා කරන්නේ නැවතත් ඒකාධිපතියෙක් රජ කරවන්නේ කෙසේද යනුවෙනි. ගමෙන් කොළඹ අවුත් නැවත ගමට යන සාමාන්‍ය ජනයාගේ සිහිනය ද ඒකාධිපතියෙකි. දුම්රිය වර්ජනය දා හවස කොටුවේ දක්නට ලැබුණේ අපේක්ෂා භංග ඉහත විෂය හමුදා පාලනයක් ඉල්ලන අයුරුය. සුද්දට හරි ආයේ මේක දීපල්ලා…හමුදාව දාපල්ලා…වරෙව් චන්දෙ ඉල්ලන්න ගමට…බලාගම්මු අපි… මට කැවුතු කන්න දීපල්ලා… (මිණි කන සිංහල බෞද්ධ ආත්මය) යනුවෙන් බැණ අඬ ගසන මෙම හිස්ටරික විෂය පෙන්වුවේ ‘ඊජිප්තු අරගල’ මොඩලයක ආරම්භයයි (සුද්දට හරි අයේ දෙන්න කියන්නේ අපගේ අසමත් බව වගේම අප සුද්දාට අවිඥානික ලෙස තවමත් ප්‍රේම කරන නිසාය (වේදනාවේ ප්‍රේමය)). නමුත් ඉහත කැවුතු කන්න ඉල්ලා සිටියේ කාගේද? එදා දිනයේ හැර අන් සෑම දිනක ම තමාව කොළඹ ගෙනා දුම්රිය සේවකයින්ගේ ය. මෙයින් අදහස් කරන්නේ දුම්රිය වර්ජනය නිවැරදි බව නොවේ (මේ වනවිට හැමෝ ම තම අයිතීන් ගැන කියනවා විනා තම යුතුකම කරන්නේ නැත). නමුත් අප ආපතික මොහොතක ක්‍රියාකරන සිංහල බෞද්ධ ක්‍රමය මෙයද යන්න ගැටළුවක් නොවේද? යම් හදිසි තත්වයකදී පෙන්විය යුතු තැන්පත් බව වෙනුවට අප කළේ කුමක්ද? කැමරා ඉදිරියේ ප්‍රචණ්ඩ ෆේස් බුක් වීරයින් බිහිවීමය. ඔවුන්ගේ ඉල්ලීම සරලය. ඔවුන් කිවේ එකම එක දෙයකි. “අපට ඉක්මනට ගෙදර යන්න දීපල්ලා. අපේ අඹු දරුවෝ බලා ඉන්නවා” (මේ මිනිසුන් ගෙදර යාමට නොහැකි වුනොත් මිණී මැරීමට වුවද සුදානම්ය)  ඉතින් ප්‍රයෝගික වාම වාදීන් මෙසේ කියනු ඇත. අන්න බලන්න අරගලය ඇතුලෙ ම නායකයෝ බිහිවෙන හැටි. එදා කැමරා ඉදිරියේ කෑ ගැසූ එක් තරුණයෙක් කියා සිටියේ ‘මට දීපල්ලා ජනාධිපති කම. මම කරලා පෙන්නන්න’ යනුවෙණි. ජනාධිපති පත් කරන්නේ මහජන චන්දයෙනි. නමුත් ඒ තරුණයා එම වරය ඉල්ලා සිටියේ ජනාධිපති ගෙන් හෝ වෙනයම් නිර්නාමික ඒජන්තයෙක් ගෙනි (ඔහු කිසිවිටක තමා ඉදිරිපිට සිටි ජනතාව ට ‘මාව පත්කරන්න’ යනුවෙන් කිවේ නැත). ඇසිය යුතු ප්‍රශ්නය නම් ඔහු මරහඬ දුන් ඔහු ඉදිරිපිට සිටි මහජනතාව ඔහුව ජනාධිපති ලෙස පත්කරනු ඇත්ද යන්නය. අප ඒ තරුණයාට මතක් කර දෙන්නේ ඔහු ඉදිරිපිට සිටි ඔහුට විසිල් ගැසූ ජනතාව විසින් පත් කරන්නේ ඔහු නොව වෙනත් පිරිසක් බවය. මන්ද මීට වඩා විසිල් ලාල් කාන්ත ට ගසන බව අප දැක ඇත. නමුත් කිසිම විටක ලාල් කාන්ත ජනාධිපති වුවේ නැත. ‘ජනතාවට’ එසේ අවශ්‍ය වුවේ ද නැත. සත්‍ය පරස්පරය එය ය.  
           
ඉතින් ඉහත මයික් එකට කෑ ගැසූ තරුණයා යනු අප ජිවත් වන මෙම අපේක්ෂා භංග සමාජයේ ම එක් හඬකි. ඉතින් නයිපෝල් පෙන්වන්නේ ඉහත අරාජක තත්වය හැර අන් යමක් නොවේය. එකම දෙය නම් ඊජිප්තු අරගල පැමිණීමට පෙර සිට සිදුවූ සියලු පශ්චාත් යටත් විජිත අරගල (මතු නොව රුසියානු චීන රතු අරගල පවා) දැවැන්ත අසමත් බවක් දක්වා ගමන් කිරීමය. ඉරාන විප්ලවය, පකිස්තානය බිහිවීම, අප්‍රිකානු අරගල, ලතින් ඇමෙරිකානු යන මේ සියළු අරගල අවසානයේ ධනවාදය වැළඳ ගෙන ඇත. එසේ වන විට ම එම ලිබරල් ධනේශ්වර ව්‍යුහය විසින්ම ඒකාධිපතියන් බිහිකරමින් ඇත. ඉහත තරුණයා කෑ කෝ ගසද්දී අමතක කරන කරුණ නම් ඔහුගේ ‘හඬ’ පවා ඉහත ප්‍රපංචය විසින් මිලදී ගන්නා බවයි. ඔහු ඉදිරිපිට තිබු රූපවාහිනි මයික් විසින් කරනු ලබන්නේ එයයි. ඔහු ඉදිරිපිට සිටි ජනතාව ඉල්ලුවේ හමුදාව දමා හෝ මේ සියල්ල ක්‍රියාත්මක කළ යුතු බවයි. අපේක්ෂා භංග වීම යනු එයයි. ජිජැක් පවා කියා සිටින්නේ සංකේත පිළිවෙල උල්ලංඝනය කරන්න යනුවෙනි. මේ වනවිට හැමෝම කරමින් සිටින්නේද එයයි. නමුත් ජිජැක් කතා නොකරන දෙය නම් එම උල්ලංඝනයේ වාසිය යන්නේ කාටද යන්නය. කලයුතු දෙය වන්නේ උල්ලංඝනය කිරීම නොව ආපතික නිමේෂයක වඩාත් ආත්ම සංයමයෙන් වැඩ කිරීමයි (ගාන්ධි කල දෙය). එයින් කියන්නේ තමාගේ ක්‍රියාව විසින් අතිරික්ත වාසියක් වෙනත් කෙනෙකුට (සතුරාට) ලබා නොදීමය. අන් හැමෝම මෙන් ඉහත තරුණයා ද  කෑ ගැසුවේ ගෙදර ‘උණුසුම’ (මව) වෙත යාමට තිබු හදිසියෙන් විය යුතුය. ඔහුගේ හඬ ඉස්මතු කලේ ලාංකික අපේක්ෂාභංගත්වයේ ප්‍රකාශනය විය හැකිය. ඔහුගේ ‘හඬ’ විසින් ඉස්මතු කළ සත්‍යය එය වුවත් එම හඬින් ප්‍රයෝජන ගන්නේ ඒකාධිපතියන්ය යන්න ඔහුට මතක් කර දිය යුතුය. තරුණ පරම්පරාවේ ඉහත අපේක්ෂාභංග බව විසින් සහ හදිසි කුලප්පුව විසින් නිර්මාණය කරනු ලබන්නේ එම තරුණ පරම්පරාවේ ම මරණය බව ලංකාව කිහිප වරක් උදාහරණ සහිතව ඔප්පු කර ඇත. එතැනදී ‘අසමත් බව’ යනු එම තරුණයා කරන ක්‍රියාවම ය. එම හිස්ටරික ක්‍රියාව (රැඩිකල්) විසින්ම ඔහුටත් නොදැනීම ඔහුගේ ම මරණය ට අත වැනීමය (මෙය ඇන්ටිගනි ගේ ක්‍රියාව ලෙස ජිජැක් හඳුන්වා දෙන දෙයයි. ඔහුට බිරිඳක් සිටීනම් ඔහු ගෙදර ගිය පසු බිරිඳ හෝ මව විසින් ඔහුට තේරුම් කර දෙන දෙය පහත පරිදිය. ‘කෝචිචිය නැති වුනාට අනේ ඔය බස් කොච්චර තියෙනවද. අපරාදේ ඔයා බොරුවට කෑ ගැහුවේ. බලන්නකෝ ටී. වී. එකෙත් ගියා. හැමෝටම නෝට් වුණා. ඔයා කෑ ගැහුවට මොකද පරිස්සම් වෙන්න. දන්නවනේ දේශපාලනය කියන්නේ මොකක්ද කියල’ යනුවෙන් ගැහැණිය විසින් ඔහුට භුමියේ සත්‍යය මුණ ගස්වනු ලබයි). Among the Believers වැනි කෘතීන් වල එන චරිත හරහා නයිපෝල් කරනු ලැබුවේ ඉහත තරුණයින්ගේ චින්තන අසමත් කම පෙන්වා දීමය. බොළඳ බව පෙන්වා දීමය. බොළඳ බව විසින් නිපදවන සමස්තතා වාදය (totalitarianism) ගැන පෙන්වා දීමය. ඔහු වැදගත් වන්නේ ඒ නිසාය. 
      
කෙසේ වුවද ඔහුගේ දෘඪ විචාරකයින් (විශේෂයෙන් එඩ්වඩ් සයිද්) පෙන්වා දෙන්නේ නයිපෝල් විසින් පෙරදිග ලෝකයේ, විශේෂයෙන් ඉන්දියානු, ලතින් ඇමෙරිකානු, ඉස්ලාමික සහ අප්‍රිකානු ලෝකයේ, තිබුණ සහ තිබෙන විශිෂ්ට සාහිත්‍ය සහ සංස්කෘතික සන්දර්භයන් අමතක කර දමා ඇති බවය. විශේෂයෙන් යුරෝපීය ජාතින් විසින් හඳුන්වා දුන් චින්තනය සහ ජිවන ලෝකයේ උසස් බව පමණක් ඔහු විසින් උත්කර්ෂයට නඟා ඇති බව ඔහුට එරෙහිව ඇති ප්‍රධාන විචාරක චෝදනාවකි. ඉහත තරුණ පරම්පරාවට නුතන ලෝකයට එකපැහැර එළඹිය නොහැක්කේ නුතන යැයි ඔවුන් අත්දුටු යටත් විජිත ලෝකයේ බටහිර වටිනාකම් වලට වඩා උත්කෘෂ්ට වටිනාකම් යුරෝපීය ආගමනයට පෙර ලෝකයේ සනිටුහන් වී තිබීම හේතුවෙනි. විශේෂයෙන් ඉන්දීය පැරණි ලෝකයේ තිබු අහිංසාවාදය (non-violence) වැනි සංකල්පයක් මේ වනවිට විශ්වීය මානව වටිනාකමක් ලෙස පිළිගන්නා විට එවකට යටත් විජිත පාලකයන් එය තේරුම් ගත්තේ ගුප්ත බවක් නැත්නම් නපුංසක ගතියක් ලෙසය. නමුත් එය පෙරදිග ලෝකයේ ගැඹුරු ස්වයං අවබෝධයක් ලෙස තේරුම් ගන්නා විට බටහිර ජාතීන් මිළියන ගණනක් මිනිසුන් මරා දමා අවසානය. උදාහරණයක් ලෙස ඉන්දියානු සන්දර්භය තුළ තිබු විවිධත්වය සහ විවාදත්මක බව බටහිර ජාතීන්ට තේරුම් ගත නොහැකි විය. ‘ඔබ යනු ඔබගේ ක්‍රියාවේ ප්‍රථිපල’ (කර්ම) යන්න ඉන්දියානු සභ්‍යත්වයේ මුලය විය. ඉදින් තමන් කළ ක්‍රියාවේ ‘කර්මය’ යනු බටහිර වරදකාරිත්වය යි. අද ඔවුන් කුමක් කීවද, කුමක් කළද, කුමන තර්කය ඉදිරිපත් කළද, කුමන විද්‍යාව ඉදිරිපත් කලද ලෝකයේ අනියත, අනිත්‍ය ස්වභාවය සහ නිමාවක් නැති ශුන්‍ය බව ඔවුන්ටත් තරණය කල නොහැකිය. බටහිර වරදකාරිත්වය පිළිබද නයිපෝල් ලියා නැත්තේ නැත. නමුත් එයට අවශ්‍ය බර නයිපොල් විසින් පාවිච්චි කර ඇත්තේ ද යන්න කෙසේ වුවද සැක සහිත ය. අනෙක් අතට බටහිර චින්තනයේ සහ ප්‍රායෝගිකත්වයේ සීමාකම ඔහු මැනවින් සාකච්චා කර ඇත්තේද යන්න පවා තරමක් සැක සහිත ය. මන්ද අද වනවිට විද්‍යාවේ බටහිරට නැවත පෙරදිග දර්ශනයේ පිහිට පැතීමට සිදුව තිබීම හාස්‍යයකි. ඒ කෙසේ වුවද විචාරකයින් කුමක් කියන්නේ ද යන්න ඔහුට කිසිවිටක විශාල ගැටළුවක් වුවේ නැත. පෙරදිග ලෝකයේ දේශපාලන මුග්ධ කම චිත්‍රණය කිරීමේදී ඔහු ඉතාම වැදගත් විචාරකයෙක් පමණක් බව මෙහිදී සදහන් කරමි. එතැනදී ඔහු බටහිර කේන්ද්‍රීය ද යන්න එතරම් වැදගත් ප්‍රශ්නයක් නොවේ. ඔහු අපට කැඩපතක් වුවා පමණ ය.         
 

“ලෝකය සෑම විටම චලනය වෙමින් ඇත” යන්න නයිපෝල් ගේ වැකියකි. එම චලනය වන ලෝකයේ අප ද, අපගේ සවිඥානය ද, අනෙකා ද, යන සියල්ල ම චලනය වේ. ඉදින් සියල්ල වෙනස් වෙමින් චලනය වන විට මතවාදයක් පමණක් වෙනස් නොවී තිබිය නොහැක. පැරණි ලෙස තවදුරටත් සිතිය නොහැක. පැරණි ලෝකය අවසන්ය.     

අප ඔහුගෙන් ඉගෙණ ගනිමු…     

මහේෂ් හපුගොඩ

 

ඔබේ අදහස කියන්න...