චෙක් ජාතික නවකතාකරුවකු වූ මිලාන් කුන්දෙරා ලංකාවේ ප්‍රසිද්ධ වූයේ 90 දශකයේ මුල් කාර්තුවේ ( 90-94 ) ප්‍රේමදාසගෙ බහුජන මර්දනීය යුගයේය. 94 වසරේ චන්ද්‍රිකාගේ ප්රජාතන්ත්රවාදී ආගමනය සමග ප්‍රේමදාසත්,කුන්දෙරාත් සංවාද භාෂාවෙන් අතුරුදහන් විය. කුන්දේරාගේ නවකතා සිංහලට පරිවර්තනය වූයේ මෙම අතුරුදහන් වීමට පසුව ය. ඔහුගේ නවකතා සිංහලට පරිවර්තනය කළ පුද්ගලයන්ට පවා මෙම අතුරුදහන් වීම සලකුණු නොවීය. ඉන්පසු නැවතත් 2005 සිට 2015 දක්වා මර්දනීය රාජපක්ෂ යුගයක් ආගමනය වූ මුත් කුන්දේරා යළි ගොඩ ආවේ නැත. ෆැසිස්ට්වාදය තුළ මතුවන්නේ ලේඛකයන් නොව වීරයන්ය.
‘විනෝදය’(වේදනාවෙන් තෘප්ත වීම) දේශපාලන සාධකයක් යන මානය ධනවාදය සර්වධිකාරී වූ යුගයක අපගේ සංස්කෘතික ජීවිතය වටහා ගැනීමට අදාළ වේ. සමකාලීන සිංහල විචාරක සංස්කෘතිය තුළ සහ ඊනියා වාම දූපත් තුළ මිලාන් කුන්දෙරා අමතක වීම අහම්බයක් පමණක් නොවේ. කුන්දෙරා ගැන මේ මොහොතේ කතා කිරීමට යාම තරමක අවලස්සන මාතෘකාවකි. ඔහුගේ නවකතා කියවා ඇති සිංහල පාඨකාවියට මතක ඇති නම් ඒවා නැවත කියවීමට උත්සාහ කිරීම ජුගුප්සාජනකය. ඉතාම අවංක ඇයි ප්‍රකාශිත දේශපාලන අදහස් සමග ගැටගැසී ඇති අශ්ලීල සහ ග්‍රාම්‍ය පුද්ගලික ජීවිතය නැවත මතක් කිරීම ඕක්කාරජනකය.
‘මිලාන් කුන්දෙරා’ ගෙවී යමින් පවතින යහපාලන ප්රජාතන්ත්රවාදී රෙජිමය තුළ දී කියවීම අප සිතනවාට වඩා ගැඹුරු විරෝධාකල්පයකි. අතිශය සාමාන්‍යකරණය කරන ලද මනසකට කුන්දෙරා විසින් ලබාදෙන පණිවිඩය දරාගත නො හැකි ආතතියකි. එබැවින්ම ඔහුව කියවීම මේ මොහොතේ දේශපාලනිකය.
ඔහුගේ නවකතාවල ගෘහ නිර්මාණය සකස් වී ඇත්තේ එක්තරා ප්‍රධාන ප්රතිවිරෝධයක් පාදක කොට ගෙනය. එක පැත්තක ඇත්තේ අව්‍යාජ-අවංක, ඉතිහාසයේ වාස්තවික මූලධර්මවලින් ජවලනය වන පරිසමාප්ත දේශපාලන දෘෂ්ටිවාදයකි. එය මූලධාර්මික සමාජවාදය හෝ මූලධාර්මික ධනවාදය විය හැකි ය. කාසියේ අනෙක් පැත්තේ ඇත්තේ තාර්කික මිනිසෙකුට අවලෝකනය කරගත නොහැකි තරමේ අශ්ලීල, රහසිගත පුද්ගලික ජීවිතවල දී මහ හඬින් සිනාසෙන හාස්‍ය කතා, නොසරුප් වදන්, අතිශය දරුණු ශෲංගාර ක්‍රීඩා, කැත පුද්ගලික පාවාදීම්, දිගට හරහට දුම් පානය කරමින් සහ යළි යළිත් කෝපි බොමින්, ඉවරයක් නොවන දේශපාලන සාකච්ඡා සහ කම්මුල දක්වාවත් රූටන්නේ නැතිව වියැලෙන කඳුළුය. අප ජීවත් වන්නේ මූලධාර්මික සමාජයක යන්න අමතක කරවන්නේ කාසියේ මෙම දෙවන පැත්තයි. මෙමගින් අප දෘෂ්ටිවාදයට ඉහළින් ජීවත්වන බවට ඉඟියක් හමුවෙයි. අපගේ ම ජීවිතයේ දෛනික සිනාවන් සහ කඳුළු නිසා දෘෂ්ටිවාදය- ideology– පිළිබඳ තිසීසය අපට අමතක වී යයි.
පොදු සමාජය තුළින් අප වෙතට පටවා ඇති චාරිත්‍ර-වාරිත්‍ර වලට දැඩි ලෙස කීකරු වෙමින් පුද්ගලික ජීවිතය තුළ දී අශ්ලීල ලෙස විනෝද වීම යන විරුද්ධාභාසය කුන්දෙරාගේ නවකතාවල හරය නොවේ. නිල වශයෙන් ප්‍රකාශිත පාලක අදහස් සමග නරුමවාදී පරතරයක් තබා ගැනීමට පුද්ගලික රහස් ජීවිතයකට ගමන් කිරීම සමකාලීන යුගයේ මෝස්තරයක් බව අවිවාදිතය. දෘෂ්ටිවාදයෙන් ඉවතට ගමන් කිරීමට අපට අමතර දුරක් ගමන් කිරීමට සිදු වෙයි. අප දෘෂ්ටිවාදයක පැටලී නො සිටින බව අපටම සහතික වන්නේ අපටම ආවේණික පුද්ගලික අශ්ලීල ජීවිතය තුළදී ය. අශ්ලීල ස්වපීඩා-පරපීඩා විකල්ප ලිංගික සම්බන්ධයක දී අපට දැනෙන්නේ මර්දනකාරී සමාජයෙන් අප මොහොතකට හෝ නිදහස් බව ය.නමුත් දෘෂ්ටිවාදය නැති යැයි අප සිතන තැන්වල ඇත්තේම දෘෂ්ටිවාදයයි. අදේශපාලනික නිදහස් පුද්ගලික අසම්මත රහස් ජීවිතය යනු නිල දේශපාලන මර්දනයක කාසියේ අනෙක් පැත්තයි. වෙනත් ආකාරයකට කිවහොත් දේශපාලන අන්වීක්ෂයක තබා අප ඉහත කී අව්‍යාජ, රැඩිකල්, උමතු පුද්ගලික සබඳතා, මිත්‍රකම් පරීක්ෂාකර බැලුවොත් ඒවා කෙතරම් විකාර සහගත ලෙස ව්‍යාජ, රැවටිලිකාරද යන්න විද්‍යාමාන වනු ඇත.
ඒ අනුව කුන්දේරාගේ නවකතා මඟින් ප්‍රකාශයට පත්වන මධ්‍යම- පන්තික රැඩිකල්, අසම්මත ශෘංගාර ජීවිතය යනු මූලධර්මවාදී සමාජ-ආර්ථික ව්‍යුහයක බාල නිර්මාණ මිස අන් දෙයක් නොවේ. ප්‍රේමදාස රෙජිමයෙ වඩාත් මර්දනකාරී යුගය වූ 90-93 යුගයේදී ඊට විකල්ප ලෙස ගොඩ නගන ලද ‘විභවි’ සංස්කෘතික ආයතනය තුළ හටගත් අව්‍යාජ, උණුසුම්, මනස්කාන්ත මිනිස් සහ ලිංගික සබඳතා යනු ප්‍රේමදාස සාර්වාදීකරයේම සරැවපිත්තල අනුකරණයන් ය. ප්‍රේමදාස රෙජීමය අවසන් වූ වහාම බෝම්බ වේගයටත් වඩා වේගයෙන් ‘විභවිය’ තුළ හටගත් මානව සබඳකම් ද වාෂ්ප විය. (Double Life)
‘විභවි’ සංස්කෘතික මධ්‍යස්ථානය තුළ බුද්ධිමතා වූයේ සුනිල් විජේසිරිවර්ධන ය. එහි ආයතනික සංවිධායකවරිය වූයේ ශ්‍යාමා ජයවර්ධනය. ‘විභවිය’ තුළ සාකච්ඡා කළ බුද්ධිමය මාතෘකා ( සංස්කෘතික විවිධත්වය, වාර්ගික වෙනස, චිත්‍රපටයක අර්ථය, මැද පාන්තික විරෝධී රැඩිකල් ලිංගික පර්යේෂණ, පොත් කියවීම, ප්රජාතන්ත්රවාදී ඉවසීම, සංවාදය තුළ ඉඩ දීම, පොත් පරිවර්තනය, ස්ත්‍රිවාදය, පශ්චාත්-නූතනවාදය…) සමග අධික ලෙස අනන්‍ය වූයේ ශ්‍යාමාය. එහි සිටි අනෙක් පිරිමින් සහ විභවි කතිකාව අතර නරුමවාදී පරතරයක් පැවතියේ ය. චිත්රි ශිල්පී තේනුවර එකල රැඩිකල් ලිංගික ප්‍රේම සම්බන්ධයක් ශ්‍යාමා සමග පටන් ගත් අතර එය විවාහයකින් කෙලවර වියයුතු බවට ශයාමා නිගමනය කළා ය. තේනුවර එවැන්නක් සිදුවිය නොහැකි බව සපථ කළ විට ඒ ගැන කමිටුවක් ‘විභවිය’ පත් කළේය. කමිටුවේ නිගමනය මෙසේ ය. ලිංගික සබඳතා පවත්වන වැඩිහිටියන් අනිවාර්යෙන්ම විවාහ විය යුතු යැයි සිතීම බොළඳය. ශයාමා නොදැන සිටියේ විභවිය තුළ බිහි වූ උණුසුම් බැඳීම් පූර්ව-විප්ලවවාදී රුසියන් නවකතාවල හමුවන ප්‍රේම කතා මත පදනම් නොවූ බවයි. පුද්ගලයකු සමග නිදා ගන්නා විටදී පවා අප අමතක නොකළ යුත්තේ අප සම්මත සදාචාර දෘෂ්ටිවාදයෙන් නිදහස් නැති බවයි.
චන්ද්‍රිකා ආගමනය සමග ප්රජාතන්ත්රවාදය තහවුරු වූ වහාම තේනුවර විසින් ශ්‍යාමාව අතහැර ” කුමුදුනී සැමුවෙල්” නම් ස්ත්‍රීවාදිනිය (රැඩිකල් ?) සමග විවාහ වී මේ වනවිට සතුටින් දරුවන් ලැබ ප්‍රීතිමත් ජිවිතයක් ගත කරයි. ඉන්පසු ශ්‍යාමා විකල්ප සංස්කෘතිය (තක්කඩි, කුහක, අවස්ථාවාදී) තුළ දිය වී ගිය අතර රුවන්වැලිසෑයක් වූ ‘තේනුවර සෑය’ ඇයගේ මතකය (රත්නවල්ලිය) මකා දමමින් ඉදි වී ඇත.
ප්‍රේමදාස රෙජීමය සහ විභවිය අතර පරතරය අහසට පොළොව මෙන් දුරස්ථය. නමුත් මහේක්ෂ ජීවිතය සහ ක්ෂුද්‍ර ජීවිතය ලුහු කරන රැඩිකල් ජීවිතය වන්නේ ස්ත්‍රීවාදයයි. එබැවින් සැබෑ ප්රජාතන්ත්රවාදය පවතින්නේ ඉහත ආයතන දෙකම අසමත් වන ස්ත්‍රී අවකාශයක ය. අර්බුදකාරී මහේක්ෂ දැලක පැටලෙන තේනුවර හෝ සුනිල් ආරාමවාසී පවුල් ජීවිතයකට ගමන් කළේ ප්රජාතන්ත්රවාදී ස්ත්‍රී ශරීර විනිවිදිමෙන් ය. අද ඒ ස්ත්‍රීන් මහලු ය ; හුදෙකලා ය . මහත්වරුන් බුද්ධිමතුන් බවට රූපාන්තරණය වී ඇත.
මා මේ සාකච්ඡා කරන්නේ අහිංසක ස්ත්‍රියක් නපුරු පිරිමින් රංචුවකට ගොදුරු වූවා නොවේද? යන ලිබරල් තිසීසය නොවේ. ‘විභවිය’ තුළ ලස්සන ප්‍රාර්ථනා තිබුණා නම් ඒ තිබුණේ ශ්‍යාමාට පමණක් බව පසුකාලීනව තහවුරු විය. ‘විභවි’ වැනි ආයතනයක් ‘මහාඅනෙකා’ ලෙස සලකා බැලූ විට එමගින් බිහි වූ අශ්ලීල විනෝද-ආර්ථිකය ශ්යාමාගෙන් තොරව වටහා ගත නො හැකිය. ශ්‍යාමා දේශපාලන ගුරුවරියක් වන්නේ මෙම ලුබ්ධිය-ආර්ථිකය විචාරය කිරීමේ අවියක් ලෙසිනි.
අප දෘෂ්ටිවාදයකට යටත් වන්නේ හෝ එහි ග්‍රහණයට නතු වන්නේ දෘෂ්ටිවාදය අපට අර්ථය දෙන ස්ථානයේදී නොව අප සැබැවින්ම ක්‍රියාකාරීවන ස්ථානයේදීය. කුන්දෙරාගේ නවකතා අතුරින් ඉතාම ජනප්‍රිය නවකතාව වන ‘පියාපතක් වන් සැහැල්ලු ජීවිතයක්’ (The unbearable Lightness of Being ) අරභයා ‘ඉතැලෝ කැල්විනෝ’ නම් සාහිත්‍ය විචාරකයා සහ ප්රබන්ධකරුවා මෙසේ පවසයි.( ඡේදයේ ඇත්තේ නවකතාවේ චරිතයක් වන France ගේ මව ව ඇයගේ සැමියා හදිසියේ අතහැරීමට අදාල ක්ෂතියයි.)
” France ගේ පියා විසින් ඇගේ මව හදිසියේ අතහැර දැමීම නිසා දොළොස් හැවිරිදි France සිටියේ දැඩි සැකයකිනි. මව තම කුඩා දරුවාට හොරෙන් සිදුවීම මුමුණමින් සිටියත් ඒ රහසින් ය. තම පියා තම මවගෙන් වෙන් වූ දිනයේ දී France සහ මව හදිසි කටයුත්තක් සඳහා නගරයට ගමන් කළෝය. ගමන අතරතුරේ දී France තම මව කකුල් දෙකෙහි දමා සිටින්නේ එකිනෙකට වෙනස් කුට්ටම් දෙකක එක බැගින් බව නිරීක්ෂණය කරයි. මේ නිසා ඔහු සිටියේ දැඩි විමතියෙනි. ඔහුට අවශ්‍ය වන්නේ ඇයව නිවැරදි කරවන්නටය. ‘අම්මා දමාගෙන සිටින්නේ වැරදි සපත්තුවක්’ යයි ඇයට කියන්නට ඔහුට අවශ්‍ය ය. නමුත් ඔහුගේ ප්රශ්නය නිසා ඇය මහත් ලෙස බිඳවැටීමකට ලක් වේ යැයි ඔහු අනුමාන කරයි. නගරය තුළ ඔවුන් දෙදෙනා පැය දෙකක් පමණ සංචාරය කරන අතර එම මුළු කාලය තුළම ඔහුගේ මවගේ වැරදි සපත්තුවකට ඔහුගේ අවධානය යොමු වී තිබුණත් එම වැරැද්ද ගැන ඔහු ඇයට කියන්නේ නැත. ඔහු තම ජීවිතයේදී පළමුවරට ‘වේදනාව’ පිළිබඳව උගත්තේ එදිනය.”
කුන්දෙරා ‘පුද්ගලික වේදනාවක්’ හරහා සාර්වත්රික ගැටලුවක් වෙතට අපගේ අවධානය යොමු කිරීම ගැන කැල්විනෝ කුන්දෙරාට ප්රශස්ති කරයි. කැල්විනෝට වෙනස් ව අප කුන්දෙරා විසින් ඉහත ඉදිරිපත් කරන ‘වේදනා’ මොහොත මනෝවිශ්ලේෂණ තලයකට රැගෙන ආ යුතුය. France පවුල නම් සංස්ථාපිතයේ දෘෂ්ටිවාදයට ගැට ගැහෙන්නේ එහි අර්ථය, එනම් මවගේ ස්ථානයට නොව නොකීම- නම්- ක්‍රියාව හරහා විඳින වේදනාව හරහා ය. කුන්දේරාගේ නවකතා දෘෂ්ටිවාදය නිවැරදි ස්ථානයේදී විචාරයට බඳුන් කරන බව උක්ත උදාහරණයෙන් පැහැදිලි වේ.
කුන්දේරාගේ නවකතා මතුපිටින් පහුරු ගාන අයට දැනෙන්නෙ ඔහුගේ චරිත පුද්ගලික ජීවිතයේදී අශ්ලීල ලෙස විනෝද වන බවයි. මර්දනකාරී බාහිර සමාජ යථාර්ථයක් පවතින විට එහි කාසියේ අනෙක් පැත්ත වන්නේ ඊනියා අව්‍යාජ ලිංගික සබඳතාය. නැතහොත් ස්වඋල්ලංඝනයන් ය. ගැටලුව වන්නේ අපගේ දෘෂ්ටිවාදී ෆැන්ටසිය ගැට ගැසී ඇත්තේ මර්දනකාරී නිල දෘෂ්ටිවාදයට නොව අපගේ අශ්ලීල රහසිගත පුද්ගලික ජීවිතයට බව නොවැටහීමයි. විචාරය විය යුත්තේ ජාතිවාදය හෝ මර්දනය නොව එමගින් සහතික කරන නිදහස් පුද්ගලික ජීවිතයයි. අප මර්දනකාරී ආධිපත්‍යයන් ට ඇලුම් කරන්නේ එමගින් සපයන අර්ථය නිසා නොව එමගින් පොරොන්දු වන අශ්ලීලත්වය නිසාය.
Deepthi Kumara Gunaratne
-ඊළඟ කොටස පසුව-