වාමවාදයේ හෙවත් වාමාංශික දේශපාලනයේ මෙලන්කොලියාව (Left-wing Melancholia) ලෙස හඳුනාගත හැකි තත්ත්වය වෝල්ටර් බෙන්ජමින් විසින් මුල් වරට පළමුවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ වාමාංශික බුද්ධිමතුන් විසින් නිෂ්පාදනය කරන ලද සාහිත්‍යය විමර්ශන, විචාර ලිපි, කවි සහ නවකතා විසින් ම නව පාරිභෝගික භාණ්ඩ කලාපයක් නිර්මාණය කරනු ලැබ ඇතැයි යන්න අර්ථකථනය කර ගැනිමට සමාන්තරව ය. වාමාංශික බුද්ධිමතුන්ට වාමවාදය විසින් නිෂේධනය කරනු ලබන තත්ත්වයක් තුළට ම ඇදවැටීමට සිදුවීම එක්තරා ආකාරයකට විරුද්ධාභාෂයක් මෙන්ම ප්‍රහසනයකි. මෙම ‘නව වාස්තවිකත්වය’ (new objectivity) විශේෂයෙන් නව තාක්ෂණය ඔස්සේ (රේඩියෝ, රූපවාහිනී සහ පුවත්පත්) අප වෙත කඩා පන්නනු ලබන සංඥා විසින් නිර්ධන පන්ති ජීවිතයේ දුක්ඛිත බව නව සෞන්දර්යක් බවට පත්කරයි (පිටුව 5). පසු නුතන වෙළෙඳපළ විසින් වැඩකරන පන්තියේ දෛනික ජීවිතයේ කුණු දුවිලි වැකුණ ඇඳුම බුර්ෂුවා විලාසිතාවක් බවට පත්කරයි. සාහිත්‍යය කෘති සහ බුද්ධිමතුන්ගේ ලිපි ලේඛන සහ අදහස්වලට වන්නේද මෙයම ය. එනයින් වාමාංශික බුද්ධිමතුන් විසින් වෙළෙඳපොළෙහි බුර්ෂුවා වෙළෙඳපොළ අධිකාරය තව තවත් පෝෂණය කරනු ලබන අතර මෙම අනපේක්ෂිත තත්ත්වය (ආපතික තත්ත්වය) අපි එරෙහි වීමට (අරගල කරන) උත්සාහ කරන දෙයට ම එරෙහි වීමක් (එරෙහි වන දෙය ම තවත් පෝෂණය කිරීම) ලෙස අර්ථකථනය කළ හැකි බව බෙන්ජමින් තම ජනප්‍රිය ‘කතුවරයා නිෂ්පාදකයකු ලෙස’ (The Author as Producer) නම් වු ලිපිය මගින් පෙන්වා දෙනු ලැබ ඇත. ඔහු එය තවදුරටත් මෙසේ සදහන් කරයි.
‘‘මෙම අන්තවාදී වාමාංශික බුද්ධිමතුන් හට වැඩ කරන පන්තියේ ව්‍යාපාරය වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඔවුන් පවතින්නේ බුර්ෂුවා පන්තියේ පරිහානිය සනිටුහන් කරන කැඩපතක් ලෙස ය. ඔවුන් කරන්නේ බුර්ෂුවා පන්තිය අනුකරණය (mimic) කිරීම ය. ඔවුන්ගේ උත්සාහය දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම නොව දේශපාලන දෘෂ්ටිකෝණයකින් ගත් විට කුඩා කල්ලියක් නිර්මාණය කර ගැනීම යි.’’
මෙසේ සඳහන් කිරීමට බෙන්ජමින් හට උපකාරි වන්නේ පහත සඳහන් තත්ත්ව බව පැහැදිලි ය. එහි පළමුවැන්න නම්, පවත්නා නිෂ්පාදන තත්ත්ව වෙනස් කරනු වෙනුවට ‘විමුක්තියේ තේමා’ බුර්ෂුවා නිෂ්පාදන මාදිලිය තුළට ගාල් කරන තත්ත්වය සහ බුර්ෂුවා පන්තියක් පවතින්නේ මන්ද යන ප්‍රශ්නය මෙම ක්‍රියාව හරහා අමතක වී යන බවට වන තත්ත්ව සැලකිල්ලට ගැනීමෙනි. උදාහරණ ලෙස අපි ‘මෙලන්කොලියාව’ යනුවෙන් සති අග පුවත්පතක සාකච්ඡා කරන තත්ත්වය අවසාන විග්‍රය තුළ දී බුර්ෂුවා වෙළෙඳ භාණ්ඩයක් විය හැකි බවට වන බෙන්ජමියානු අර්ථ දැක්වීම ඉඳුරා ඉවත දැමිය නොහැකි ය. මේ සඳහා ඉතාම වාස්තවික උදාහරණයක් පසුගිය දිනක එෆ් එම් රේඩියෝවක් හරහා මට ශ්‍රවණය කිරිමට ලැබුණි. එය වෙළෙඳ දැන්විමකි. එම වෙළෙඳ දැන්වීමෙන් කියැවෙන්නේ මෙවැන්නකි; සරලව ම පවසන්නේ නම්:
‘‘ඔබට නිතර වැලඳෙන ඉස් හොරිවල හෙජමොනික බව පරාජය කර ඔබගේ හිසට විමුක්තිය උදාකර දෙන්නේ … අසවල් ඉස් හොරි නාශකයයි’’.
එයින් කියවුණේ මීට සමාන අදහසකි. විශේෂයෙන් වෙළෙඳ දැන්වීම් තුළ බරසාර හඬකින් (Voice) පාරිභෝගිකයා ආමන්ත්‍රණය කරන දැන්වීම්කරු (අසන්නෝ බියපත් කරමින්) ‘හෙජමොනිය’ සහ ‘විමුක්තිය’ යන වචන දෙක ම පාවිච්චි කරයි. අනුව දශකයේ X දේශපාලනය තුළින් ලාංකික සමාජය හඳුනාගත් මෙම වචනය (‘පෘතුවිකරණය සහ හෙජමොනියේ නව ස්වරූප’ නමින් දිප්ති සහෝදරයා විසින් රචිත කෘතියක් ද තිබේ.) අවසානයේ දෙදාහේ දෙවන දශකයේ පාරිභෝගික භාණ්ඩ විකිණීමට පමණක් නොව දේශපාලනය පීචං කර දැමීම සඳහා ද භාවිතා කිරීම යම් ආකාරයක පරාජයකින් මතුවිය හැකි මෙලන්කොලික විශාදයක් මතුකළ හැකි ය. ඒ අර්ථයෙන් මෙම මෙලන්කොලියාව පිළිබඳ අදහස පසුගෝලිය ධනවාදයේ සඥා අවෂෝෂණ ශක්‍යතාව තුළින් ඉස්මතු වන්නකි. මන්ද බුර්ෂුවා නිෂ්පාදනයේ මාදිලිය දශමයකිනිඳු වෙනස් නොවී විමුක්ති දේශපාලනය විසින් උත්කර්ෂයට නංවන ලද සියලු ම සඥා වෙළෙඳපොළ විසින් අවශෝෂණය කරගනු ලැබීම අපි ඉදිරිපිට ම විද්‍යාමාන වන හෙයිනි. එනයින් කර්තෘවරයාගේ ‘නිෂ්පාදනය’ සහ ‘නිර්මාණශීලි බව’ නැවත වරක් පූර්ණ වශයෙන් විගලිතභාවයකට ගමන් කරයි.
මෙම තත්ත්වය පිළිබද අදහස් දක්වන ජිජැකියානු පාසලේ විචාරිකාවක වන ජෝඩි ඩීන් (Jodi Dean) තම ‘කොමියුනිස්ට් ආශාව’ (Communist Desire) නම් ලිපියේ මෙසේ සඳහන් කරයි.
‘‘වාමාංශයේ මෙලන්කොලියාව’ සහ ‘කතුවරයා නිෂ්පාදකයකු ලෙස’ යන විචාර දෙක තුළින් ම බෙන්ජමින් සමකාලින බුද්ධිමතාගේ පරාජයක් (compromise) වෙළෙඳපොළට අනුගත වීමත්, දෛනික ජිවිතයේ සත්‍යය විමුක්ති ස්පන්දනය වෙළෙඳපොළ වෙත පාවාදීමක් අරමුණු කරයි’’
යනුවෙන් පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ චැතර්වාදයත් (සුබසාධක රාජ්‍යයේ අවසානය) ඇමරිකාවේ රේගන්වාදයත් සමගම සනිටුහන් වූ සමානාත්මතා රාජ්‍යයේ (Egalitarianism) ඉවත්වීම හැඟවුම්කරණය කළේ සියලු තත්ත්වයන්ගේ නිර්දය වෙළෙඳපොළකරණය යි. ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන යුගය යනු නිර්බාධ වෙළෙඳපොළකරණය සහ ගෝලිය අර්ථයෙන් ‘හෙජමොනික ඉස් හොරි’ අධිනිශ්චය වෙන නරුම යුගය යි; සියලු ද්‍රව්‍යමය දේවල් ද්‍රවීය (Liquid) වන යුගය යි. සිග්මන් බරමන්ගේ වචනයෙන් කිවහොත් ද්‍රවශීල නූතනත්වයේ (Liquid Modernity) වන යුගය යි. ඉඳින් මේ යුගයේ ආරම්භය තුළ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ලිවීම අරුමයක් විය නොහැකි ය. නමුත් ගැටලුව නම් වෙන්ඩි බ්‍රවුන් (Wendy Brown) නම් විචාරිකාව සඳහන් කරන පරිදි එම නිර්බාධ වෙළෙඳපොළ අධිනිශ්චය වීමත් සමග සනිටුහන් වුණ ධනවාදයේ මෙලන්කොලික තත්ත්වය යි. (කියවන්න බ්‍රවුන්ගේ Resisting Left Melancholy නම් ඉතා ප්‍රසිද්ධ ලිපිය – 1999)
බ්‍රවුන් හඳුනාගන්නා පරිදි වාමාංශික දේශපාලනයේ පරාජය, බිය සහ ආතතිය චැතර්වාදය සමග හඳුනාගත හැකි රෝග ලක්ෂණයකි. මෙතැන් සිට වම යනු පසුගාමී ලක්ෂණ පළකරන (Backward looking), ස්වයං දඬුවම්කාරී (Self Punishing = තමාට ම දඬුවම් පමුණුවාගන්නා), අනාගත විමුක්ති දේශපාලනයක් පරිකල්පනය කරගත නොහැකි වාමවාදයේ අර්බුදයක් (Crisis of the Left) බ්‍රවුන් විසින් අර්ථකථනය කරනු ලබයි.
ස්ටුවට් හෝල් විසින් පාවිච්චි කරනු ලබන මෙම ‘වාමවාදයේ අර්බුදය’ නමැති වචනය බ්‍රවුන් උපුටා දක්වන්නේ පහත අර්ථ සමගිනි.
‘වමේ අර්බුදය යනු එහි අභ්‍යන්තර ඛණ්ඩනයෙන් (Internal derisions) හෝ ඇකඩමියාවේ බිඳී යාම් තුළවත් දක්ෂිණාංශික දේශපාලනයේ දක්ෂ අලංකාරික හෝ මූල්‍ය ශක්තිය තුළවත් සොයාගත හැකි දෙයක් නොව නව යුගයට ගැළපෙන පරිදි දේශපාලන විවේචනයක් සහ ආචාරධාර්මික දේශපාලන දැක්මක් නිෂ්පාදනය කරගැනීමට නොහැකිවීම තුළ දක්නට ඇති දෙයකි’ යන හෙගල්ගේ නිර්වචනය ඇය (බ්‍රවුන්) මුලින් ම උපුටා දක්වයි. ස්ටුවට් හෝල්ට අනුව ඉතාම තීරණාත්මක ලෙස චැතර්වාදයට පසු වාමාංශික දේශපාලනය ගමන් කරන අනන්‍යතා දේශපාලනය (Identity politics) (හාඩ් සහ නෙෆ්‍රිට අනුව සාර්වත්‍රික දේශපාලනයේ වැටීම මෙන් ම) මෙම රෝග ලක්ෂණයේ ආරම්භය යි.
ලාංකික අර්ථයකින් මෙම ‘අනන්‍යතාවට ආපසු යාම’ (return to the national essence) ‘ධර්මිෂ්ඨ සමාජය’ තුළින් මෙන්ම සරච්චන්ද්‍රගේ බොහෝ නාට්‍ය තුළින් ද සිදුවන අයුරු අපිට නිරීක්ෂණය කළ හැකි ය. මෙම තත්ත්වය පරාජයේ ආතතිය සහ අසාර්ථකත්වයේ බියෙන් පලා යාමකි.
ඉහත අනන්‍යතා දේශපාලනය පශ්චාත් යටත් විජිත සන්දර්භයක ජීවත් වූ ලංකාව තුළ වඩාත් හොදින් මුල්බැස්සවීමට පශ්චාත් ජේ. ආර්. විචාරකයන්ට ඉඩ-කඩ ඇති විය. ඔවුන් අවධාරණය කළේ ඉන්දියාව ඉංග්‍රීසි ආධිපත්‍යයට හොඳින් මුහුණ දුන්නේ තම දෘඪ අනන්‍යතාවක් නිසා බවත් බෞද්ධ සංස්කාතියේ සුමට බව නිසා අපිට එසේ කළ නොහැකි වූ බවකි. (කියවන්න ‘ධර්මිෂ්ඨ සමාජය – 37 පිටුව)
‘හින්දු සංස්කෘතිය තරම් බෞද්ධ සංස්කෘතිය ගිහි ජීවිතයේ හැම අංශයක් ම දැඩි ග්‍රහණයට හසු කර පාලනය නොකරයි. ගිහි බෞද්ධයාට මෙයින් ලැබෙන චිත්ත නිදහස ඇගයිය යුතු නමුත් එහි ප්‍රතිඵලය වූවේ සිංහල සංස්කෘතිය ලිහිල් වූ සමාජ සංවිධානයක් වීම ය.’
මෙම ‘ලිහිල්’ බව වඩාත් දෘඪ සමස්ථතාවාදයක් බවට පරිවර්තනය කිරීම 80 සහ 90 දශකයේ ලාංකික අනන්‍යතා දේශපාලනයේ කාර්ය බවට නිරායාසයෙන් පත්විය. ජීවිතයේ සියලු අවශ්‍යතා සමස්ථතාවාදී (Totalize) කිරීම සෝම හාමුදුරුවන් අතින් සිදු වූ අතර චින්තනය දෘඪකරණය කිරීම නලින් ද සිල්වා අතින් සිදු විය. මේ ‘නව – තත්ත්වය’ තුළ ලාංකික වම තව දුරටත් මෙලන්කොලික විශාදයේ පතුලට ම ගිලී ගියේ ය. මෙම නව දෘඪකරණය තුළ ‘අමනුෂ්‍යයන්’ නිර්මාණය කිරීමේ කාර්යභාරය ජනතා විමුක්ති පෙරමුණ, දේශ විමුක්ති ජනතා ව්‍යාපාරය සහ විමල් වීරවංශ යනාදි ප්‍රපංච විසින් නිර්ලෝභීව බාරගනු ලැබූ අතර රාජ්‍යය පාර්ශ්වයෙන් එය: රන්ජන් විජේරත්න, කහ බළල්ලු, ප්‍රා සහ කොළ කොටි යනාදි ප්‍රතිචාරාත්මක මාංශ භක්ෂක කාණිවල්කරණ (Cannibalism carnival) ව්‍යාපාර වෙත තල්ලු වී ගියේ ය. මිනී ඔළු ලී රිටවල්වල ගසා අමුණා පෙළට තිබූ අතර ඔළුව කඳින් වෙන් කර මාර්ග දෙපස, පාලම් ඇඳි මත සහ වටරවුම්වල පේළියට තබා ප්‍රදර්ශනය කළේ ය. සැමගේ ම ආදර්ශය වූවේ කෙමරුජ් මාදිලිය යි.
දෙමළ ප්‍රතිචාරාත්මක දේශපාලනය ද ජෙම්සන් සඳහන් කරන පශ්චාත් විජිතවාදි මාංශ භක්ෂක දේශපාලනය වෙතට ම ඇදී ගිය අතර ද්‍රවිඩ වාමාංශික ප්‍රවණතා සම්පූර්ණයෙන් ම ඝාතනය කළේ ය. ඉහත අනන්‍යතා දේශපාලනය තුළ විජය කුමාරණතුංගට ද හුස්ම ගැනීමට ඇති අවස්ථාව ද අහිමි කළේ ය. ලාංකික ‘ලිහිල්’ සංස්කෘතිය අවසානයට ගමන් කළේ කොතැනට ද? ජයදේව උයන්ගොඩ අසන රිදී තිරයේ සිහින කුමරාගේ හිසට වෙඩි තැබුවේ මෙවන් සන්දර්භයක් තුළ ය. කාලෝ ෆොන්සේකා විසින් තම බෑනාට (රන්ජන්) ‘පරෙස්සමෙන් කට පාවිච්චි කරන්න’ යැයි පවසන්නේ නිකමට නොවන බව දැන් පැහැදිලි ඇතැයි සිතමු. මන්ද ස්ටුවට් හෝල් සඳහන් කරන පරිදි දැන් ක්‍රියාත්මක වන්නේ සාර්වත්‍රික වාමාංශික වටිනාකම් නොව අනන්‍යතා පදනම් කරගත් මාංශ භක්ෂක (එකිනෙකා මරා ගන්නා) පාතාල වටිනාකම් ය. වෝල්ටර් බෙන්ජමින් සඳහන් කරන පරිදි මෙම තත්ත්වය වාමවාදයේ පරාජය නම් ‘ශූන්‍යතාවයේ කාලය’ (Empty time) දරාගැනීමට තරම් මිනිසාට ශක්තියක් නොමැති විම තුළින් හටගන්නා විශාදයකි. මිනිසා වඩාත් ශක්තිමත් විය යුත්තේ ශුන්‍යතාව තරණය කිරීම (Traversing The Nothingness) නම් අවස්තාව ට මුහුණ දීමටය.
V Party
“පෘතුවිකරණය සහ හෙජමොනියේ නව ස්වරූප” පොත මිලදීගැනීමට පුලුවන් කොහෙන්ද
අදාල පොත අවසන් වී ඇත. ඉදිරියට යලි මුද්‍රනය කිරීමට ඉඩ ඇත.
Comments are closed.