Tamils

සමන් වික්‍රමආරච්චිගේ දෙවන නවකතාව වන “අප්පච්චී ඇවිත්” පාඨකයන් අතර මේ වනවිට සැරිසරමින් පවතී.ලංකාවේ සිංහල සාහිත්‍යය ඉතිහාසය ගැන අවබෝධ ඥානයක් ඇති කෙනෙකුට අනුව “අප්පච්චි ඇවිත්” යනු කලා කෘතියකට වඩා මනෝ භාවයන් පිළිබඳ විශ්ලේෂණයකි. නවකතාව යනු කුමක්ද? යන ප්‍රශ්නය අරභයා ගුණදාස අමරසේකර ගොතන ප්‍රබන්ධයට අපි මුලින්ම සවන් දෙමු.

“ නවකතාව යන වචනය පොත් ප්‍රසිද්ධ කරන්නන් විසිනුත් ඇතැම් පොත් ලියන්නන් විසිනුත් , ඇතැම් පොත් කියවන්නන් විසිනුත් ඕනෑම කතාවක් අඩංගු පොතකට යොදනු ලැබේ.

නවකතාකරුවෙකු මිනිසත් බව පිළිබඳ අපට අලුත් අවබෝධයක් ලබාදීමට නම් ඔහු සිය කෘතිය මගින් එක්තරා වැදගත් පරමාර්ථයක් බලාපොරොත්තු විය යුතුය. මේ නවකතාකරුවා බලාපොරොත්තුවන පරමාර්ථය ඔහුගේ ‘දර්ශනය’ යන්නේ හැඳින්වීම නරක නැත.

ඇතැම් පුවත් එදිනෙදා ජීවිතයේ අපට අත්දැකිය හැකි ඒවාය. තවත් ඒවා බොහෝ කලාතුරකින් සිදුවන ඒවාය. බොහෝ කලාතුරකින් සිදුවන පුවත් වැඩි වශයෙන් අභව්‍ය ඒවා වෙයි.මෙවැනි දේ නවකතාකරුවාට ප්‍රයෝජනවත් නොවේ. නවකතාකරුවා ජීවිතේ පුදුම දේ හෙළි කරන විජ්ජාකරුවෙක් නොවේ. ඔහු සාමාන්‍ය ජීවිතය මෙසේය යි දක්වන්නෙකි. එබැවින් ඔහුට අවශ්‍ය වන්නේ එදිනෙදා ජීවිතයේ සිදුවන සිදුවීම්ය. කලාතුරකින් සිදුවන සිදුවීම් අවශ්‍ය වන්නේ නවකතාකරුවාට නොව පුවත්පත් කරුවාටය. මිනිසුන්ගේ කුතුහලය ආදී පහත් හැඟීම් ඇවිස්සීම පිණිස ඒ පුවත්, පුවත්පත් කරුවා උපයෝගී කරගනී. මේ කාරණය  අරභයා චෙස්ටටන්  නම් දාර්ශනිකයා ඉතා වැදගත් කියමනක් කියා තිබේ. එනම් සාමාන්‍ය මරණය ‘සා දුකින් මැරෙනවාට’ වඩා දුක් මුසුය යන්නය.මෙම කියමෙනෙන් කියවෙන අර්ථය කුමක්ද?කලාතුරකින් වන සිදුවීමක් වන ‘සා දුකින් මැරීම’ සාමාන්‍ය මරණය,පමණා දුක්මුසු නැත. එසේ වන්නේ ඇයි? ‘සා දුකින් මැරීම’ ගැන අසන විට අප තුළ ඇති වන්නේ අනුකම්පාවට වඩා කුතුහලයකි. එබැවින් සාමාන්‍ය මරණය අපට එයට වඩා දුකක් ගෙන දේ.” -විනෝදය හා විචාරය ,ගුණදාස අමරසේකර ,පිටුව 62-63

 

සමන්ගේ නවකතාව තුළ කියවන්නියකට පළමුවෙන් හමුවන්නේ අමරසේකරගේ ඉහත නිර්වචනයට අනුව තිබෙන අභව්‍ය සිදුවීමකි. උගත් මධ්‍යම-පාන්තිකයෙක් හේතුවකින් තොරව පටන් ගන්නා තැනදීම තම බිරිඳ සහ දියණිය ඝාතනය කරයි. එය පුවත්පතක කුතුහලය අවුස්සන පුවතකි. නමුත් කතා පුවත දිගටම වර්ධනය වන විට එය දෛනික ජීවිතයේ ‘චරිතය’ විකාශය වීමකි. කතා වස්තුව යනු චරිතයක ක්‍රියාකාරීත්වයයි. මාර්ටින් වික්‍රමසිංහ නවකතාව ගැන සිය අදහස් දක්වන විට ඔහු තුලනාත්මක අධ්‍යයනයක යෙදේ. ඔහුට අනුව ජාතක කථාව තුළ චරිතය ගොළුය.  එනිසා චරිත විකාශයක් නැත. අපට මේ නිසා ජාතක කතා යනු චරිත නැති කතා ලෙසින් හඳුනාගත හැකිය. නවකතාව තුළ චරිත අපට හමුවවෙයි. උදාහරණයක් ලෙස ‘ගම්පෙරළිය’ නවකතාව තුළ අපට නන්දා-පියල් සහ ඔවුන්ගේ මනෝභාවයන් හමුවෙයි.

පසුගිය දශකයක පමණ කාලය ඇතුලත කලාව සම්බන්ධයෙන් ලංකාව තුළ අභ්‍යන්තරිකව විපර්යාසයක් සිදු වෙමින් පවතී. මේ දශකය තුළ අප අත්විඳි අනුභූතීය මෙසේ මෙසේ විදාරණය කළ කිරීමට හැකය. තවදුරටත් මහජනයාට ලංකාවේ කලාකෘති ප්‍රයෝජනවත් වන්නේ නැත. බොහෝ දෙනා මෙම ප්‍රවණතාවය සලකන්නේ සමාජ පරිහානියක් ලෙසිනි. මෙම තත්ත්වය ගැටලුව වැරදියට වටහා ගැනීමකි. උදාහරණයක් ලෙස රාජිත දිසානායකගෙ නාට්‍යය ගැන විග්‍රහ ඉදිරිපත් කරන විචාරකයන් ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ ඒවා තුළ ‘චරිත’ නැති බවයි. මෙය සැබෑවකි. චරිත බිහි වීමට නම් ස්ථාවර අනෙකෙක් සිටිය යුතුය. සමකාලීන අනෙකා වංචනිකයෙකි. ඔහු /ඇය අස්ථිරය, චපලය, කුහකය. මේ නිසා චරිතයක් ගොඩ නැංවීම කළ හැක්කේ පරිකල්පනීයව පමණි. ලියනගේ අමරකීර්තිගේ නවකතාවන් පරිකල්පනීය තලයක ක්‍රියාත්මක වෙයි. ඒවා තුළ ඇත්තේ උන්නතිකාමය අවුස්සන චරිතයක සරල විකාශයකි. එම නවකතාවලට සංකේතීය අනෙකෙක් අවශ්‍ය නැත. මෙම තත්ත්වය සමකාලීන නවකතාකරුවන් බොහෝ ප්‍රමාණයක් වටහා ගැනීමට අදාළ කරගත හැකි සුත්‍රයකි. නමුත් අප ඉදිරිපත් කරන්නේ කතා වස්තුවක් නම් එතැනදී අද්‍යතන කලාකරුවා මුහුණ දෙන බුද්ධිමය අභියෝගයක් ඇත. රාජිත දිසානායක, ධනංජය කරුණාරත්න වැනි නාට්‍යකරුවන්ගේ නාට්‍ය පෙළ තුළ අපට හමුවන්නේ චරිත නොව පූර්ව-චරිතය (Proto – characters).මේ පුර්ව- චරිත යනු චරිතයක් වීමට පෙර පවතින මනෝභාවයන්ය.

අනෙක් අතට නවකතාව නිර්වචනය කිරීමේදී අප හඳුනාගන්නා මූලෝපායික අදහසක් සමකාලීන ගෝලීය ධනවාදී සමාජ සබඳතා විශ්වයකදී අතහැර දැමීමට සිදුවේ. එය නම් බාහිර යථාර්ථය නිරූපණය කිරීම හෝ එය විශ්ලේෂණය කිරීමයි.සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චී ඇවිත්’ නම් කෘතිය එක අතකින් සිංහල නවකතාවේ අවසානය ලකුණු කරයි. ඉන් අදහස් වන්නේ නවකතාව සතු සෞන්දර්ය මානය සහ යථාර්ථය ප්‍රතිඉදිරිපත් කිරීමේ මානය යන ප්‍රමිතිගත මාන දෙකම සමන් අතහැර දමා ඇති බවයි. 

Novel Jean

සමකාලීන ධනවාදී ආශාවන් ඇති සාමාන්‍ය මිනිසා තවදුරටත් තමන්ගේ ඉන්ද්‍රියයන් පිනවීමට කලාකෘති පිටුපස යන්නේ නැත. ඒ සඳහා ඔවුන් යන්නේ ලේසර් කිරණ පිටුපසය. ඒ නිසා සමකාලීන ‘නවකතාවට’ සමාජ සබඳතා තුළ සුජාතකරණය වීමට හැකි වන්නේ එක් කොන්දේසියක් යටතේ පමණි. එනම් කලාව දාර්ශනික සහ නවීකරණය කිරීමෙන් පමණක් අපට රසිකයා ගේ අවධානය යළි ලබා ගැනීමට හැකිය. මෙම නවකතාව ලංකාව තුළ නවකතාව දාර්ශනික මට්ටමට ඔසවා තැබීමට දරණ ලද පළමු වන අසම්මත උත්සාහයයි.එහි  තරමක ගොරහැඩි  බවක් දක්නට ලැබේ.න්‍යාය  ප්‍රබන්ධකරණය කිරීම චරිත වල ප්‍රබන්ධ ලක්ෂණ තහවුරු කිරීමට වඩා දුෂ්කරය.

කෘතිය විසින් ප්‍රබන්ධගත කිරීමට උත්සාහ කරන න්‍යාය වන්නේ ‘සයිකෝසියාවයි.’ සයිකෝසියාව යනු අප අවට පවතින යතාර්ථය වෙනුවට යම් පුද්ගලයකු අලුතින් පුද්ගලික යථාර්ථයක් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඒ අනුව සයිකොසියාව  පිළිබඳ න්‍යාය විසින් යථාර්ථයේ පවතින ප්‍රබන්ධ මානය වෙනස් ආකාරයකට තහවුරු කරයි. මේ පහත පළවන්නේ නවකතාවේ දෙබසක්  (යථාර්ථය පුද්ගලීකරණය කිරීම).

“ස්වාමීනි මාගේ සේවාදායකයා උමතු  කෙනෙක්. නමුත් ඔහු උමතුභාවය සුවිශේෂ එකක්.අපි බොහෝ දෙනෙකුට මේ උමතුව තියෙනවා. අපි යථාර්තය කියන්නේ අපම නිර්මාණය කරන දෙයක්. කෙටියෙන් කිවහොත් ෆැන්ටසියක්. උමතු නොවීමට අපට ෆැන්ටසියක් අවශ්‍යයි.( සමාජවාදය, ස්ත්‍රිය, යහපාලනය).විත්තිකරු ලියා තිබෙන මේ පොත ගත්තොත් ඔහු කරන්නේ තමාගේ පියා ප්‍රතිනිර්මාණය කිරීමක්. මෙතැන ඉන්නේ ඔහුගේ සැබෑ පියා නෙවෙයි. මේ ඉන්නේ ඔහුගේම නිර්මාණයක් වන ෆැන්ටාස්මතික පියෙක්.”-අප්පච්චි  ඇවිත් පිටුව 144,145

ඉහත ඓතිහාසික සන්දර්භයේ  සිදුවූ වෙනසට පසුව කලාව තවදුරටත් පැවතිය හැක්කේ බුද්ධිමය තලයක මිස වින්දන තලයක නොවේ. වින්දන තලය පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය විසින් අත්පත්කරගෙන ඇත. පරාරෝපණයෙන් ගැලවීමට ඇද යුගයේ කිසිවකු Spa අවන්හලකට යනවා මිස නාට්‍ය ශාලාවකට යන්නේ නැත. අද දවසේ රසිකයා නවකතාවක් කියවන්නේ  සමාජය ගැන ඉගෙන ගන්නට නොවේ. තමන්ව  අවිඥානිකව පාලනය වන අගතීන් වටහා ගැනීමට නවකතාව සැහේ නම් නූතන රසිකාවිය එවැනි නවකතා දෙසට හැරණු ඇත. අද දවසේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ ‘යථාර්ථය’ ජයග්‍රහණය කිරීමට නොවේ. ඒ වෙනුවට එතැනට ආදේශ වී ඇත්තේ ‘ආශාව’ පිළිබඳ ගැටලුවයි.කෙනෙක්  අද දවසේ තමන්ගෙන්ම අහන්නේ “මගේ ආශාව කාගේ ආශාවක් ද?” යන්නයි. එතැනදී සියලු දෙනා පියාගේ  ආශාව දෙසට යොමු වීම අහම්බයක් නොවේ. ගැටලුව වන්නේ මෙම පියාගේ ආශාව ඔහුගේ ආශාවක්  නොව ‘තමන්ගේම ප්‍රබන්ධයක් වීමයි’. යථාර්ථය මෙතරම් ත්‍රස්තවාදී වී ඇත්තේ මේ නිසාය. ‘අප-සිතන-යථාර්ථය’  සහ සැබවින්ම පවතින බාහිර යථාර්ථය අතර පිහිටන්නේ සයිකෝසිකයාගේ ආත්මමූලිකත්වයයි. මේ නවකතාවේ හරය සහ ආකෘතිය ඇත්තේ එතැනය.

Deepthi kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.