එක්සන්මොබයිල් තෙල් නිධියක්

 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති චන්දය දිනා අවසානය. ඔහු ගේ චන්ද ප්‍රමාණය,  ප්‍රධාන විරුද්ධවාදිනිය  වූ හිලරි ක්ලින්ටන් ට  ලැබුණු මුළු ඇමෙරිකා  එක්සත් ජනපද ජනප්‍රිය චන්ද ප්‍රමාණයෙන් මිලියන්  3 කින් පමණ අඩු වුවද ඉලෙක්ටොරල් ක්‍රමයෙන් ඔහු ට  ජය ගැනීමට හැකිවිය.  නමුත් ප්‍රශ්නය එය නොවේ. පසුගියදා සී අයි ඒ සංවිධානයේ ඉවත්ව යන ලොක්කා  වන ජෝන් බ්‍රෙනන් ගේ ප්‍රකාශය බලන්න. ඔහු කීවේ “ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව ගැන දන්නේ නැත “ යනුවෙනි.

ඔහුගේ ප්‍රකාශයෙන් ඩොනල්ඩ් හා අමෙරිකන් රහස් ඔත්තු සේවා අතර ඇති  දැඩි පරතරය මෙන්ම විශ්වාසය බිඳ වැටීමද  පිළිඹිබු වේ.  මෙය එතරම් හොඳ සලකුණක් නොවේ. ඇමෙරිකානු ඔත්තු සේවා රුසියාව විශ්වාස කරන්නේ නැත. සෝවියට් දේශය පැවති වසර 70 පුරා එය ඔවුන්ගේ ප්‍රධාන සතුරු අඩවිය විය. ගොර්බචෝව් හා යෙල්ට්සින් සිටි ඉතා සුළු කාලයක් තුල ඔවුන් ගේ බිය දුරු වී තිබුනද වඩා බලවත් ව්ලදිමීර් පුටින් පත්වීමෙන් පසු ඒ බිය තවත් කිහිප ගුණයකින් වැඩි විය.

 රුසියාවට  ද්‍රෝහී වුනු ඔත්තුකරු ඇලෙක්සැන්ඩර් ලිත්විනෙන්කෝ බ්‍රිතාන්‍ය භුමිය තුල මරා දැමීමත් සමගම ඒ බිය බ්‍රිතන්‍ය ඔත්තු සේවා වලටද බෝවිනි. බටහිර ඔත්තු සේවා පුටින් අඩු තක්සේරු කළ නොහැකි බව වටහා ගත්තේ එහිදීය. සෝවියට් පාලන  සමයේ කේජිබි ඔත්තු සේවයේ නිර්මාතෘ (මුලින් එන්කවඩ NKVD )  දෙර්ෂින්ස්කිගේ එක පිළිවෙතක් වූයේ ද්‍රෝහී වූ ඔත්තුකරුවන් කෙදිනක හෝ මරා දැමීමයි. පුටින් අනුගමනය කරන්නේ කවුද යන්න මින් බටහිර ඔත්තුසේවා වලට පැහැදිලි විය.

මේ අතරේදී හිටපු බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් විසින් ට්‍රම්ප් 2013 දී රුසියාවට  ගිය විට රුසියානු ගණිකාවන් සමග හැසිරුණු ආකාරය සහිත වීඩියෝ පුටින් සතුව තිබෙන බව හෙළි කළේය. එය දරුණු ප්‍රකාශයකි. ඒවා භාවිතා කර පුටින් ට ට්‍රම්ප් ව බ්ලැක්මේල් කල හැකිය.  එවැනි  විශේෂ  පුද්ගලයෙකු සමග සාමාන්‍ය  ගණිකාවන් සිටින්නේ නැත. එක්කෝ ඔවුන් මිල අධික එස්කෝර්ට් සේවයක අය විය යුතුය. නැත්නම් රුසියානු ඔත්තු සේවයේ (FSB) නිලධාරීන් වන සුරූපී කාන්තාවන්ය. මෙය සාමාන්‍ය ඔත්තු සේවා  උපක්‍රමයකි.

ට්‍රම්ප් කිවේ ස්ටීල් බොරු  කාරයෙකු බවත් රුසියාව එවැන්නක්  කලේ නැති බවත්ය. තරුණියන් සමග සිටියේ නැති බවක් ඔහු කීවේ නැත. රුසියාවද  එය ප්‍රතික්ෂේප කළේය. එසේම  ස්ටීල්  නමැති හිටපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු කරුවෙකු  මේ චෝදනා එලි දැක්වූ බවද ඔවුහු  හෙළි කළහ.  මේ නිසා මරණ බියෙන් ස්ටීල් දැන් සැඟවී සිටි. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ විදේශ සේවයේ (MI6) ප්‍රධානියා වන “ඇලෙක්ස් යන්” මේ හෙළිදරව්ව භාවිතා කරමින් ප්‍රකාශ කළේ රුසියාව බටහිර දේශපාලන නායකයන්ගේ, පක්ෂවල , රජයන්හි පරිගණක හැක් කරන බවත් ප්‍රධාන තර්ජනයක් බටහිරට එල්ලවී ඇති බවත්ය.

ඇමෙරිකා  එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය  අතර “විශේෂ සම්බන්ධතාවයක් ” ඇති බව බ්‍රිතාන්‍ය දේශපාලකයන් නිතර පවසති. රීගන් හා තැචර් අතර, බුෂ් හා බ්ලෙයාර් අතර මෙන්ම කැමරන් හා ඔබාමා අතරද එය එසේ විය. නමුත් තෙරේසා  මේ හා ට්‍රම්ප්  අතර එවැනි සම්බන්ධයක් ඇතිවේ යයි විශ්වාසයක් බ්‍රිතාන්‍ය සිවිල් සේවය තුල නැත. මේ අනුව කිසියම් භයානක තත්වයක් වර්ධනය වී තිබේ. ඒ ට්‍රම්ප් ට එරෙහිව ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය  ඔත්තු සේවා හා ආරක්ෂක සේවා  පෙළ ගැසීමයි.  තමන් ආරක්ෂා කරන උදවිය හෝ ඔවුන්ගේ ජාතියක් සමග ගැටුම් ඇතිකර ගැනීම නුවණ ට හුරු නොවන බව තම ජිවිතයෙන් වන්දි ගෙවමින් ලෝක දේශපාලන නායිකාවක් පෙන්වා දුන්නාය. ඒ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිය.

බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නිළධාරි තන්ත්‍රය දැන් වඩාත් බිය වී ඇත්තේ මෙම ට්‍රම්ප් – පුටින් සම්බන්ධයටය. මුලදී රුසියානු හැකරුන් ඇමෙරිකාවේ දේශපාලනයට අත ගසන බව ක්ලින්ටන්ට හා ඔබාමාට ඔත්තු සේවා විසින් දැනුම් දුන්නද ඔවුන් ඒවා වැඩි තැකීමකට ගත්තේ නැත. රුසියාව ක්‍රිමියා ව අල්ලා ගැනීමෙන් පසු රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක ඔවුන් තවත්  දීර්ඝ කළහ.  ක්‍රිමීයා වේ රුසියානු හත්වැනි නාවික හමුදාව ස්ථානගත කර ඇති බැවින් ක්‍රිමියාව නැටෝවට ලබාදීමට රුසියාව කැමති වන්නේ නැති බව යුරෝපය වටහා ගත්තේ නැත. ඉන්පසු උක්රයිනයේ බෙදීමට රුසියාව  හවුල් කියා තවත් සම්බාධක පැනවුණි.  මෙහි පෙරමුණ ගත්තේ කැමරන් ගේ බ්‍රිතාන්‍ය රජයයි. යුරෝපා සංගමයෙන්  බ්‍රිතාන්‍යයේ නික්ම යාමට අඩිතාලම වැටුනේ මෙහිදීය.

එසේ වූයේ කෙසේද කියා බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබුනේ නැත. යුරෝපා සංගමයෙන් නික්ම යාමේ චන්දය දිනීමෙන් පසු යුකේඅයිපී පක්ෂයේ නායක ව සිටි නයිජල් ෆරාජ් මෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ බොරිස්  ජොන්සන් ද  එක්තරා ධනවත් ලන්ඩන් වැසියෙකු  ගේ සාදයකට සහභාගී වුහ. ඒ බ්‍රිතානයේ පදිංචි ඇලෙක්සැන්ඩර්   ලේබෙදෙව් ය. බ්‍රිතාන්‍යයේ නොමිලේ බෙදන වැඩි දෙනා කියවන එව්නින්ග් ස්ටෑන්ඩර්ඩ් හා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් වල අයිතිකරු ඔහුය. එසේම ඔහු විශාල මුදල් ප්‍රමාණයක් ෆරාජ් ට දුන් බවට රාවයක් පැතිරී තිබුණි. ලේබෙදෙව් පූටින් ගේ යහළුවෙකි. රුසියාවට එරෙහි සම්බාධක දැමීමට මුල් වුනු කැමරුන් විසි වුනේ එලෙසය.

මුලදී බැරැක් ඔබාමා රුසියන් හැකරුන් ගේ කතාවට  හෝ රුසියාව ඇමෙරිකානු චන්දයට අත පොවන බවට  වූ වාර්තා එතරම් පිළිගත්තේ නැත. හිලරි ක්ලින්ටන් පැරදුනු පසු හදිසියේම ඔහු රුසියානුවන් පිටුවහල් කරමින් මේ කතා/වාර්තා  සියල්ල පිළි ගත්තේය.

මෙයට ආසන්නම හේතුව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පත් කිරීමකි. ඇමරිකාවේ මීළඟ රාජ්‍ය ලේකම් (secretary of State) ලෙස ට්‍රම්ප් පත් කළේ රෙක්ස් ටිලෙර්සන් ය. (Rex Tillerson) රෙක්ස් ටිලර්සන් යනු එක්සන්මොබයිල් නම් අති විශාල ඛනිජ තෙල් කොම්පැනියේ   (නව බල ශක්ති සෙවීමට ප්‍රසිද්ධ  ව්‍යාපාරයකි) රුසියාව සමග තිබු සම්බන්ධතාවයේ  ප්‍රධානියාය. (CEO) එසේම ඔහු එම ව්‍යාපාර සමුහයේ ප්‍රධාන විධායක නිලධරයාය.

ට්‍රම්ප් සහ ලෝක රූ රැජින තරඟයේ සාමාජිකාවන්

රුසියාවේ ආර්ක්ටික් මුහුදු  ප්‍රදේශයේ, රුසියාවට අයත් කළු මුහුදු සීමාවේ (Black Sea) සහ සයිබීරියාවේ ඇති විශාල තෙල් නිධි සමුහයක් තිබේ. මේවා තවමත්  අත නොගසා ඇති ඩොලර් බිලියන් ගණනක්  වටිනා ස්වභාවික ධන්ස්කන්ධයකි. වසර 2013 හා 2014 කාලයේ එක්සන්මොබිල් කොම්පැනිය රුසියාවේ රොස්නේෆ්ට්  සමග පර්යේෂණ යෝජනා ක්‍රම කිහිපයක් මේ තෙල් නිධි සඳහා නිම කළහ. ට්‍රම්ප් ලෝක රූමතිය තේරීමේ තරඟයට රුසියාවට ගියේ 2013 දීය.  ඒ රුසියන් බිලියන් ඩොලර් ධනවතෙකු වන අරස් අගලරෝව් සමග ලෝක රුප රැජිණිය තේරීමේ තරඟයට සහභාගී වන්නටය. ඒ අතරම ඔහු රුසියානු ඔත්තු සේවයේ රුමතියන් කිහිප දෙනෙකු සමග සිටින්නටද ඇත.

නමුත් මේ ගමනේදී  එක්සන්මොබයිල් මිතුරාගේ තෙල් කොම්පැනිය සමග පුටින් ගේ සම්බන්ධතාවය  කර කරන්නට ඔහුට හැකිවුණි. සයිබීරියාවේ තෙල් හැරීමට ඩොලර් බිලියනයක් වටිනා ගිචිසුමක් රුසියාවේ ප්‍රධානතම තෙල් කොම්පැනිය වන  රෝස්නෙෆ්ට්  සමග අත්සන් කිරීමට  ලැහැස්ති වන්නේ මේ අනුවය. මේ ගිවිසුම ඩොලර් බිලියනයක විශාල එකක් වුව පමණක් නොව ඩොලර් බිලියන් ගණනක ආදායමක් ද  උපදවන්නකි.  නමුත් සම්බාධක එන්නේ මේ අතරය. ක්ලින්ටන්-ඔබාමා සම්බාධක වලට යුරෝපා සංගමයද සහය දුනි. මෙහිදී සම්බාධක වලට ජර්මනියේ ඇන්ජෙලා මර්කෙල් මුලදී එකඟ  නොවූ බවද සඳහන් කල යුතුය. ඒ මෙර්කල් හා ජර්මන් බස කතා කරන  පුටින් අතර තිබෙන සමිපතාවය   නිසාය.  එසේම ජර්මනියේ ගෑස්  හා තෙල් අවශ්‍යතා වලින් භාගයක් ම සපයන්නේද රුසියාව නිසාය. නමුත් මෙහිදී පෝලන්තය හා බ්‍රිතාන්‍යය ඉතා තදින් සිටියහ. ඉහත කී ගිවිසුම අත්සන් කිරීම තහනම් වුනි.

ඩොලර් බිලියනක වෙළඳාමක්  අහිමි වන විට ධනවත් ව්‍යාපාරයක් නිකම් බලා සිටීද? තෙල් යනු අද ද ලෝකයේ දේශපාලනය තීරණය කරන ඉතා බලවත් සාධකයකි. ඒ සඳහා ලෝක යුද්ධ , ප්‍රාදේශීය  යුද්ධ, සියදිවි නසා ගැනීම්, ඝාතන බොහොමයක් සිදු වී තිබේ. හිලරි  ක්ලින්ටන් හා ඔබාමා බලාපොරොත්තු නොවූ දෙය වන්නේ මින් පසුවය.

රුසියාවේ හැකරුන් කිහිප දෙනෙක් සිටින්නට ඇත . නමුත් ට්‍රම්ප් හැම ප්‍රාන්තයක්ම ජය ගන්නේ නිකන්ම  නොවේ. ඇමෙරිකාවේ මැතිවරණ වලට මුදල් අවශ්‍ය. එම මුදල් ධනවත් ව්‍යාපාර කිහිපයකින්ම පොම්ප කෙරිණි.  එසේම රුසියානු  මාධ්‍ය සියල්ලක්ම පාහේ සහය දුන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප්  ටය.  ව්ලදිමීර් පූටින් සහය පල කළ අශ්වයා තරඟයෙන් දිනුවේය. දිනූ ට්‍රම්ප්, එක්සන්මොබයිල්හි  ටිලර්සන් තමන්ගේ  රාජ්‍ය ලේකම් ලෙස නම්  කළේය.

ට්‍රම්ප් ගේ පළමු කාර්යය රුසියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම  විය හැකිය. ඉන්පසු රොස්නෙෆ්ට් හා එක්සන්මොබයිල් අතර බිලියනයේ තෙල් හෑරීමේ ගිවිසුම  අත්සන් කල හැකිවනු ඇත.

 සෝවියට් දේශය බිඳ වැටුනේ එහි අභ්‍යන්තරයෙනි. එනම් රට වටේ  කොතරම් පීඩනයක් තිබුනද ලෝකයේ කිසිම රටක උදව්වකින් තොරව  පැවතීමට හැකියාවක් ද ඔවුන්ට තිබුණි. රටක පැවැතීමට සියලුම අත්‍යවශ්‍ය සම්පත් සෝවියට් දේශය සතුව තිබුණි. නමුත් මිහයිල් ගොර්බචෝව් ඒ සියල්ල වෙනස් කලේ පැවතුන පාලන තන්ත්‍රයට එරෙහිව යමිනි. ඉන් පලගත් එකම රාජ්‍ය ආයතනය කේජිබි රහස් ඔත්තු සේවයයි. ඔවුන් රටේ සම්පත් කොල්ල කෑ අතර තමන්ගේ යහළුවන් අතරද කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් අතරද බෙදා ගත්හ.  අවසානයේ ඔවුන් ගෙන්ම  කෙනෙක් රටේ  ජනාධිපති වී මේ කොල්ලකෑම්  වලට කිසියම් තිතක් තැබිය.

සමහර විට පූටින් ගේ අභිප්‍රාය ඇමෙරිකා එක්සත් ජනපදය එහිම ජනාධිපතිවරයෙකු අතින් කඩා බිඳ දැමීමද?  නේටෝ සංවිධානය බිඳ දමා විසුරුවා හැරීමද? සියලුම බටහිර ආරක්ෂක සේවා හා රහස් ඔත්තු සේවා ට්‍රම්ප්  සමග ප්‍රශ්න ඇති කරගන්නා සෙයක් පෙනෙන්නේ ඇයි?

මේ පාලන තන්ත්‍ර හා නිලධාරීන්ට මෙන්ම තම රටේම ප්‍රසිද්ධ  ධනවතුන්ට  එරෙහිව ට්‍රම්ප් ට කටයුතු කළ හැකි වෙයිද? මට නම් පෙනෙන්නේ වැඩිදුර යාමට ප්‍රථම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එනු ඇති බවයි. එය පරාජය වුවහොත්  (එනම් ට්‍රම්ප් ඉන් ජය ගත්තොත්) ඇමෙරිකානු ආරක්ෂක  සේවාවන්ට ට්‍රම්ප් ට වඩා  දැඩි ආරක්ෂාවක් දිය යුතු තරමට  ඔහු සතුරන් ඇති කරගෙන තිබේ යයි පෙනේ.

මුලාශ්‍ර:
1. CIA boss John Brennan says Donald Trump “doesn’t understand Russia”
2. MI6 chief used Trump dossier details in key speech on Russia.

ඔබේ අදහස කියන්න...