ලංකාවේ වැඩ වසම් චින්තනය අභිබවා යාමට නොහැකිවීම නිසා ඇතිවූ නිදන්ගත දරිද්‍රතාවය මත ගැටගැසුනු සමාජ-ආර්ථික ගැටලුව හෙවත් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඇති වූ ආර්ථික මළ ගම මත කෝලම් නැටීමේ විගඩම අනුර කුමාර ඇතුලු ජාතික ජනබලවේගය ආරම්කර ඇත.
දැනටමත් ලංකාවේ අනාගත නොනිල ජනාධිපති වරයා වී ඇතැයි සිතා සිටිනා අනුර කුමාරත් ජාජබ යත් කරමින් සිටින්නේ කුමක්දැයි න්‍යායිකව තේරුම් ගැනීමට බලමු.


සජබ යේ සජිත්ගේ කෝලම් වලට වඩා ජාජබ යේ කෝලම් ගැන කතා කිරීම අපට වැදගත් වන්නේ ඔවුන් සමාජය සැබෑ ලෙස වෙනස් කිරීම වෙනුවෙන් ක්‍රියා කරන නව මාක්ස් ලෙනින් වාදී පක්ශයක් බව ප්‍රතික්ෂේප කර නැති නිසාය. (අප පැහැදිලිවම නව වමක් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කල යුතුයි ).
ව්‍යුහවාදය (structurlism/ post structurlism ) මත පදනම්ව සමාජය තේරුම් ගන්නා අප බාහිරින් දිස්වන කිසිදු අනන්‍යතාවයක් ඒ ආකාරයෙන් පවතින බව විශ්වාස නොකරයි. එබැවින් “ජේවීපීය” යනුවෙන් බාහිරින් පෙන්වන එයටම පොදුවූ අනන්‍යතාවයක් නැති බව ඔවුන් පිලි නොගත්තද අපි නම් දනිමු.(මාක්ස්වාදීන්,නිර්ධනීන්, පීඩිතයින්,ධනපති විරෝධීන් ආදී ලෙස) එහෙත් දේශපාලන බලවේගයක් පදනම් වන න්‍යායික මූල ධර්ම වල තිබිය යුතුය. සංගත බාවය අප ඉහත සදහන් කල ‘අනන්‍යතාවය’න් සමග පටලවා නොගත යුතුය. අපගේ න්‍යායික ආස්ථානයන් කිසි විටකත් වෙනස් වී නැති බවත් ඒ තුල න්‍යායික පරස්පරයන් නැති බවත් අවධාරනය කල යුතුය.


එබැවින් ජේවීපීය එදා පෙන්වන ලද දේශපාලන අනන්‍යතාවයන් වූ ඉන්දියන් විරෝධය, ජාතීමාමකත්වය, සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය ආදියට අද සිදුවී ඇත්තේ කුමක්දැයි අප අසන්නේ නැත. එම සටන්පාට යනු හිස් වචන මිස (signifiers) ඒවායේ කිසිදු සාරාත්මක බාවයක් එදා මෙන්ම අද ද නොපවතින බව අපි දනිමු ( යමකට එහිම වූ ස්වරූපයක් නැත- thing in itself ).
ඓතිහාසික දේශපාලන බාවිතාව තුල ඔවුන් ප්‍රදර්ශනය කරමින් සහ අත්දකිමින් සිටින දේශපාලන සත්‍ය යනු මෙම අනන්‍යතා විරහිත බව වුවද, ඔවුන්ගේ න්‍යාය සම්පූර්නයෙන්ම නියෝජනය කරන්නේ සහ මරාගෙන මැරෙන බවට කෑ ගසන්නේ මෙම ඔවුන් කියන අනන්‍යතාවයන් ආරක්ෂා කරන බවටය.( නිර්ධනයා,ධනපතියා,ජාතිය, දේශීයත්වය, බටහිර විරෝධීන් ).

මාක්ස්වාදය මත පදනම් වන්නේ යැයි කියන වාමාංශික දේශපාලන පක්ශයක න්‍යායික දේශපාලන ආස්ථානය සහ තම දේශපාලන බාවිතාව අතර න්‍යාය විරෝධයන් තිබිය නොහැකිය.(උදා:අනන්‍යතාවයන් වෙනුවෙන් මරාගෙන මැරෙන බව කියමින් තමන්ට කිසිදු අනන්‍යතාවයක් නැති බව ප්‍රදර්ශනය කිරීම න්‍යාය විරෝධීය). තමන් නියෝජනය කරන පන්ති පදනම හෝ ජනපදනම පැහැදිලි කල යුතුය. තමන්ගේ ඍජු ආර්ථික වැඩ පිලිවෙල සහ එහි කණ්ඩනයන් ඇති නම් ඒවා නිශ්චිතව දැක්විය යුතුය, එහි පරස්පරතා නොතිබිය යුතුය.ජාජබ යේ මෑත ක්‍රියාකාරීත්වය දෙස බැලූවිට එය කිසිසේත්ම තවදුරටත් ඔවුන් පෙනී සිටින බව කියන මාක්ස්වාදී පක්ශයක් නොවේ.


ජේවීපී පිලිබද නිවැරැදිම මාක්ස්වාදී අර්ථ කතනය දුන්නේ විකොස නියෝජනය කල කීර්ති බාලසූරිය සහෝදරයා වන අතර ඔහුගේ විග්‍රයට මෙයයි.


“ ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ, ඔවුන් ‘ජනතාව’ යැයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනපති පන්තියේ දුක් වේදනා තුළින්ම ය. මේ සංවිධානය සිංහල සුළු ධනේශ්වර තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන් ‘ජනතාව’ කියන්නේ, ඉහත සමාජ තීරයට ය. මාක්ස්වාදීන් විසින් ‘නිර්ධනයා’ යනුවෙන් සංකල්පගත කරන්නේ, ඉහත තට්ටුව නොවේ.”

– ජවිපෙ දේශපාලනය සහ පන්ති ස්වභාවය; 39–


කීර්ති බාලසූරිය 70 දශකය තුල ඉදිරිපත් කල විග්‍රහයෙන් පසු අවුරුදු පනහකට වඩා වයස් ගත ජේවීපී සම්බන්ධයෙන් අද අප හමුවේ ඇති ගැටලුව වන්නේ මෙය මාක්ස්වාදී පක්ශක්ද නැද්ද යන්න සොයා බැලීම නොව යූන්පී හෝ සජබ යෙන් වෙන් වෙන්නේ කෙසේද කියා දැන ගැනීමය.
න්‍යායිකව විග්‍රහ කර බැලූවිට එම පක්ශ හා ජේවීපීය අතර කිසිදු කණ්ඩනයක් ඇත්තේ නැත.

~ ලිබරල් ධනේශ්වර පක්ශ පිලිගන්නා මූලික ස්ථාවරයන්.
1.ප්‍රාග්ධනයේ නිදහස් හැසිරීම සහ ලාභය මත පදනම් වන නිදහස් වෙළෙඳ පොල සහ විවෘත ආර්ථිකය පිලිගැනීම.
2.පෞද්ගලික දේපල අයිතිය, පෞද්ගලිකත්වය පිලිගැනීම.
3. පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය පිලිගැනීම.
4. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස පිලිගැනීම සහ ආරක්ෂා කිරීම .


මෙම මූලික අංග කිසිවකින් බැහැර වන බවක් ජේවීපීය කිසිවිටකත් පවසන්නේ නැත.
ධනවාදී ආර්ථිකය කැරකෙන මෙම මූලික යාන්ත්‍රනයට කිසිදු විරෝධයක් නොදක්වන එමෙන්ම කිසිදු සාධනීය විකල්පයක් ද යෝජනා නොකරන ජේවීපීය මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමේදී අපට හමුවන අනිවාර්‍ය අතුරු ඵලයන් පමනක් නැති කරන බවට පුරසාරම් දෙයි. එනම් ඔවුන් හොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයින්, දූශිතයන් , කොමිස් කාක්කන් නැති කරන බවයි. වාහනයක් ධාවනය කරන විට දුම් පිටවීම නතර කල නොහැකිවාක් මෙන්ම, සයිලන්සරය ගලවා දැමීම කල නොහැකි වාක් මෙන්ම අඩු දියුණු ධනවාදය තුල පවතින නාස්තිය දූශනය ,සොරකම, වංචාව නතර කල නොහැකිය. එය නතර වූ පමනින්ද දැනට අන්තර් ජාතික වශයෙන් අප මුහුන දී සිටින ආර්ථික අර්බුදයට කිසිදු විසදුමක් නොලැබෙන අතර ධනවාදය තුල අතිරික්ත වටිනාකම එකතු වීම නිසා ඇතිවන සමාජ අසමානතාවය පිලිබද ගැටලු විසදෙන්නේද නැත.


මේ අනුව බැලූවිට ජේවීපී ය කුමන පක්ශයක් ලෙස පෙනී සිටියද, කුමන පක්ශයක් යැයි සිතා සිටියද එය ඔවුන් අර්ථකථනය කරන වාමාංශික මාක්ස්වාදී පක්ශයක ලක්ෂණ පෙන්නුම් නොකරයි ( classical Marxist party ).

~පුද්ගලයා සහ පක්ශය මෙහෙයවීමේ සුක්කානම අහිමිවී ස්වයං පාලනයකට නතු වීම (automation)
පශ්චාත් නූතනත්වය තුල තවදුරටත් පුද්ගලයා ක්‍රියාත්මක වනුයේ සවිංඥානක තර්කනයකට යටත්ව නොවේ.


සම්භාව්‍ය ධනවාදය තුල පැවති ශ්‍රමය මූලිකව ඇතිවුනු ආර්ථිකය ක්‍රියාත්මක වූ අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහය අතර තිබූ සම්බන්ධය සම්පූර්නයෙන්ම අහෝසි වී ඇත. තව දුරටත් අධෝව්‍යුහය මගින් උපරි ව්‍යුහය පාලනය නොවන අතර උපරි ව්‍යුහය ස්වාධීන වී ඇත. මෙම උපරි ව්‍යුහය සහ අධෝව්‍යුහය අතර ඇති සම්බන්ධය නූතන ධනවාදය තුල වලංගු නොවන අතර උපරි ව්‍යුහය සම්පූර්නයෙන්ම පුද්ගල විනෝදය මත ගොඩ නැගෙන දෘෂ්ටිවාදය මගින් විස්ථාපනය වී ඇත.


ඒ අනුව පශ්චාත් නූතන සමාජය තුල පුද්ගලයා මෙහෙය වනුයේ සබුද්ධික සවිංඥානක ආත්මයක් මගින් නොව විනෝද වන පුද්ගල ආත්මය තුලිනි. එබැවින් සමාජ යථාර්ථය හෝ පුද්ගලයාගේ ජීවන යථාර්ථය පුද්ගලයාගේ ක්‍රියා කාරීත්වයට තාර්කික සම්බන්දයක් නොදක්වයි. යථාර්ථය සමග සම්බන්ධවනුයේ අපගේ විනෝදයයි.


අපි මෙය උදාහරණයක් හරහා තේරුම් ගැනීමට බලමු.


පසුගියදා චම්පික රණවකගේ පක්ශය ප්‍රවර්ධනය කිරීම සදහා රැස්වීමක් සංවිධානය කරන ලද අතර ඒ සදහා කිසිදු තාර්කික සම්බන්ධයක් නැති පුද්ගලයන්ට ආරාධනා කර තිබුණි.ඔහුගේ දර්ශනයට පක්ශ ,විපක්ශ ,සතුරා සියලු අය පැමින සිටියහ. ඒ අතර සිටි නිර්මාල් රංජිත් ආචාර්‍ය වරයා චම්පික සමග චායාරූපයකටද පෙනී සිටි අතර ඒ මොහොතේම චම්පිකගේ දේශපාලනය විවේචනය කර නිර්මාල්ගේ මුහුණු පොතේ සටහනක් ද ලියයි. එය චම්පිකටද නිර්මාල්ටද කිසි ගැටලුවක් නැත. එසේ වන්නේ ඔවුන් කරනු ලබන කිසිවක් පවතින යථාර්ථය ට සම්බන්ධ නොවන අතර සම්බන්ධ වන්නේ ඔවුන්ගේ විනෝදයටය.( චම්පිකටවත් නිර්මාල්ටවත් අර්බුද කාරී සමාජ දේශපාලන යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය නැත )
මෙම කාරනය බොහෝ දේශපාලන පක්ශ වලටද එලෙසම පොදුය.


මෙය ජේවීපීය හරහා තේරුම් කර ගැනීමට බලමු.

ජේවීපී ය දෙස බැලූවිට මේ වන විට අපට පෙනී යන කාරනය වන්නේ ඔවුන් දේශපාලන බලය ගෙන සමාජ-ආර්ථික ප්‍රශ්න සැබෑලෙස විසදීමට බලාපොරොත්තු වන කණ්ඩායම කට වඩා පශ්චාත් නූතන සමාජය තුල “දේශපාලන පක්ශය” යන්න වෙළද පොල තුල අලෙවි කරනය කරමින් සිටින බවකි. සමාජ යථාර්ථය සහ ජේවීපී යේ වැඩ පිලිවෙල අතර කිසිදු සංගත බාවයක් නැත. සමාජ යථාර්ථය වෙනස් කරන ( ඔවුන්ට අනුව සමාජ වාදී විප්ලවය ) පෙරටුගාමී පක්ශයක් වෙනුවට 69 ලක්ශයක ජහමනයාගේ විනෝද සාධකය මත ගොඩනැගුනු දෘෂ්ටිවාදයන් ක්‍රියාත්මක කරන විනෝද සමාගමක් බවට පත්ව ඇත .


අප මුහුන දී ඇති සමාජ යථාර්ථය යනු ධනේශ්වර ආර්ථික අර්බුදයයි. එහිදී ආර්ථික වැඩපිලිවෙල අති මූලිකය.එහෙත් ජේවීපීයේ මූලිකත්වය ඇත්තේ බලය ලබා ගැනීම යන්න පමනය, බලය ලබා ගන්නේ කුමකටද යන්නට ඇත්තේ යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැති ෆැන්ටාස්මතික (මනෝරාජික) අදහස් ය. යථාර්ථය තුල විසදාගත යුතු ආර්ථික ගැටලුවට මනෝරාජික විසදුම් ඉදිරිපත් කරමින් බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතාම පසුගාමී රාජපක්ෂ ජන පදනම ආමන්ත්‍රණය කිරීම එකම විසදුම ලෙස ක්‍රියා කරයි (ගෝඨාභය කරන ලද දේ ඔහුට වඩා හොදින් කල යුතු බව සිතීම).
මෙය ඉතිහාසය තුල පෙර නොවූ විරූ තත්ත්වයකි.තවදුරටත් තම පක්ශය මෙහෙය වනුයේ පෙරටු ගාමී පක්ශයක සවිංඥානකත්වයෙන් නොව විනෝද සාධකයන් මගිනි.එහි නායකයන්ද, පක්ශ සාමාජිකයන්ද,සමාජ ජාලා වල විපරිතයන්ගේ ක්‍රියාකාරීත්වයද පවතින සමාජ දේශපාලන යථාර්ථය සමග සමපාත වීමක් නැත. සියලු දෙනා මෙහෙය වනුයේ සහ ක්‍රියාකරනුයේ අද්භූත බලවේගයකින් මෙනි. කුමක් කුමන අරමුණකින් කරන්නේද යන්න පිලිබද කිසිවක් දන්නේ නැත,එහෙත් අධික්‍රියාකාරීය (automation ).සියල්ල පිටුපස ඇත්තේ පුද්ගල විනෝදයයි (enjoyment in psychoanalysis ). මෙම පුද්ගල විනෝදය නැමති සාධකය බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපාරයකට මෙන්ම පුද්ගල ජීවිතය තුලද සම්පූර්නයෙන්ම බැහැර කල නොහැකිය. එහෙත් මෙම විනෝදය පිලිනොගනිමින් සහ විවේචනය (critique ) කර නොගනමින් දෘෂ්ටිවාදයන් මත පදනම්ව කරනු ලබන දේශපාලනය නිශ්ඵලය. ජේවීපීයේ ප්‍රායෝගික සමාජ දේශපාලන විසදුම් සහ විනෝද සාධකය විසින් මෙහෙය වන සමාජ බලවේග අතර කිසිදු සංගත බාවයක් නැත. එම විනෝදය තම අනෙකාගේ විනෝදය රගදක්වන විපරිත විනෝද ආකෘතියකි, එවැන්නකට දිය හැකි ලගම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ විසින් රගදක්වන ලද දේශපාලන බාවිතාවයි.

~නූතන බලය යනු කුමක්ද ?


ජේවීපී යේ බලය පිලිබද අදහසද ඉතා පසුගාමීය, ඔවුන් තවම අභ්‍යාස කරන්නේ ප්‍රංශ විප්ලවයට පෙර පැවති රාජ්‍යත්වයට සම්බන්ධ බල පිරමිඩයේ ඉහල සිට පහලට ක්‍රියාත්මක වන බල සම්බන්ධයකි. නමුත් නූතන බලය යනු බලපිරමිඩයේ ඉහල සිට පහලට ක්‍රියාත්මක වන බලයක් නොව පහල සිට ඉහලට ජනතාව හරහා ක්‍රියාත්මක කරනු ලබන නව බල ආකෘතියකි. එය අනුර කුමාර හිතන පරිදි ක්‍රියාත්මක වන බලයක් නොවේ. බලය අභ්‍යාස කල හැක්කේ ජනතාව තුලිනි. සමාජය වෙනස් කිරීම සදහා ජනතාව තුල චින්තන විප්ලවයක් සිදුකල යුතු යැයි අප කියන්නේ ඒ නිසයි. එසේ නොමැතිව ජහමනයා ඇන්දීමෙන් ලබා ගන්නා බලය යනු සමාජය වෙනස් කිරීමට අවශ්‍ය නූතන බලය නොවේ.( එය කුමක්දැයි තේරුම් ගැනීමට හොදම උදාහරණය රාජපක්ෂලා අභ්‍යාස කල බලයයි).

ජේවීපී ය යනු තවදුරටත් සමාජය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරන පක්ශ ආකෘතියක් නොව ධනවාදී වෙළද පොල තුල අලෙවි වන පක්ශ ආකෘතියකි. ඔවුන් වර්ධනය කරන්නේ ධනවාදයට විකල්පයන් නොව ධනවාදයේ සුලභ ආශාවන් ය. ‘පක්ශය’ යන්නම වෙළද පොල තර්කනයට ගෙන ඇත. සමාජය වෙනස් කරන පෙරටු ගාමී පක්ශ ආකෘතිය වෙනුවට ධනවාදය තුල විනෝද වන පුද්ගල ආත්මයන් සතුටු කිරීම යන්න තෝරාගෙන ඇත.


රාජපක්ෂලාගේ රැස්වීම් ජහමනයාගෙන් පුරවපු බැවින් ජේවීපීයත් එය කරන්නේය, ලංකාවේ ග්‍රාමීය ගැහැනුන් රාජපක්ෂලා අත පත ගෑ නිසා අනුර කුමාරවත් ගැහැනු අත පත ගාන බව පෙන්නන්නේය,
රාජපක්ෂලා සමග යුධ විරුවන් සිටියේය, දැන් යුධ විරුවන් සිටින්නේ ඔවුන් සමග බව පෙන්වයි, එදා මුදලාලිලා සිටියේ රාජපක්ෂලා සමග වුවද දැන් ඔවුන් සිටින්නේ ජේවීපීය සමග බව පෙන්වයි, එදා ජාතිවාදීන් හිටියේ රාජපක්ෂලා සමග වුවද අද සිටින්නේද ජේවීපීය සමගය, බහු ජාතික සමාගම් රනිල් එක්ක නොව ඊට වඩා හොදට අනුර කුමාර සමග ගනු දෙනු කරන බව කියයි,ඇමරිකාව ඉන්දියාව රනිල්ට වඩා හොදට ජේවීපීය සමග වැඩ කරනවා යන්න පෙන්වීම ජේවීපීයේ ප්‍රධාන දේශපාලන උපක්‍රමයයි.


< පෙරලා දැමිය හැකි අපෙන් පරි බාහිර ධනවාදය නැමැති සතුරෙක් ඇත්තටම පවතින්නේද ?


පශ්චාත් නූතන ධනවාදය යනු තවදුරටත් එලියේ අපිට පරිබාහිරව පවතින ධනවාදයක් නොවේ, එබැවින් ධනවාදයට බාහිරින් කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු පක්ශයකටද පැවතිය නොහැක .
ජේවීපීය තවම සිතන්නේ ධනවාදය යනුවෙන් අපට එලියෙන්,පරිබාහිරව, දුෂ්ඨ වූ යමක් පවතිනවා කියාය.එලෙසම අප ඒ පිලිබද සවිංඥානක වීමෙන් සහ ධනවාදයට විරුද්ධ වීමෙන් අපට ධනවාදයෙන් ගැලවිය හැකි බවයි.


නමුත් පශ්චාත් නූතන ධනවාදය යනු එලෙස බාහිරව පවතින්නක් නොවේ , එය පවතින්නේ අප සියලු දෙනාගේ අභ්‍යන්තරය තුල නැතහොත් ආත්මීයත්වය තුලය. එබැවින් ධනවාදයට එරෙහිව කෑ ගසන සියලු දෙනාම තමන්ගේ කෑ ගැසීම හරහා තමන් ධනවාදයේ හතුරන් බව පෙන්නුවද එවැන්නක් සැබවින් සිදුවන්නේ නැත. සිදුවන එකම දෙය වන්නේ තව තවත් ධනවාදයට ආකර්ශන වී,එහි ගොදුරු බවට පත් වී ධනවාදයේ පතුලටම ඇද වැටීමය. ධනවාදයේ ගිලී ඇති බව කොතරම් වසන් කිරීමට හැදුවද ඒ හැම විටම පෙනෙන්නේ ඔවුන් ධනවාදය තුල කොතරම් විනෝද වනවාද කියාය.
(අප සියලු දෙනා ඉන්නේ ධනවාදය තුලය, අපට ජීවත් වීමට ධනවාදයට පරිබාහිර පිටත ලෝකයක් නැත. අනුර කුමාර branded shirts අදින්නේ ඔහුගේ විරුද්ධ වාදීන් කුලප්පු කිරීමට බව කිව්වද ඔහු එම ඇදුම් වලට දක්වන ආශාව ඔහු දෙස බැලූවිට තේරුම් ගත හැක. ඔහු කොතරම් සිහිබුද්දියෙන් වැඩ කරන සංවිඥානක පුද්ගලයකු බව කියන්නට උත්සාහ කලද ඔහුගේ අවිංඥානක ආශාවෙන්, ඔහු විනෝද වන අවිංඥානක ධනවාදී ආත්මයෙන් ඔහුට පලා යා නොහැකිය. ඔහු ඇතුලු ජේවීපීය ප්‍රතික්ෂේප කරන්නේ මෙම කටුක සත්‍යයි. ඔවුන් නරුම වාදී වන්නේ මෙතැනදිය. අප සියලු දෙනා බාහිරව සහ අභ්‍යන්තරිකව ධනවාදයට ගැට ගැසී ඇත. නව අරුතකින් විමුක්තියක් ලැබීම යනු මෙය තුලම සිටිමින් මෙය අභ්‍යන්තරිකව බිද වැට්ටවීමයි).

මෙම අභ්‍යන්තරිකව මෙහෙය වන ධනවාදය කුමක්ද යන්න තේරුම් ගැනීම සහ ඉන් ගැලවීමේ දේශපාලන ප්‍රවේශයක් සොයා ගැනීම යනු ලෝක දේශපාලනයේ සුසමාදර්ශී ප්‍රවේශයකි, (paradigm shift ) නවතාවයකි. එමෙන්ම ඉතා දුශ්කර ව්‍යායාමයකි. එම අභියෝගයට මුහුණ දෙන නූතන වම හමුවේ ප්‍රධාන සතුරු කදවුරු දෙකක් ඇත, එකක් වන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තරය තුල සිට මෙහෙය වන නව ධනවාදය වන අතර අනෙක් සතුරු කදවුර වී ඇත්තේ, එලියේ ධනවාදයක් පවතින්නේ යැයි සිතා එය බිද දැමීමට කටයුතු කරන සම්ප්‍රදායික ගතානුගතික ඊනියා වාමාංශික කදවුරයි (නැති සතුරෙකුට එරෙහිව සටන් කරන බව කියන).
මේ කදවුරු දෙකම අභිවන්නේ කෙලෙසද යන්න නූතන වම හමුවේ ඇති අභියෝගයයි. ඉන් මෙපිට සැබෑ සමාජ වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

චන්දන රණසිංහ.

ඔබේ අදහස කියන්න...