ෆැන්ටසිය ආශාවේ සිර වූ තැන් ලිහිල් කරන්නට දරන සියලු උත්සාහයන් අවසන් වන්නේ, ‘ආශාව’ නිරුවත්ව අප ඉදිරියේ ප්‍රදර්ශනය වීමෙනි. ‘ලාංකීය ධනවාදය’ මුළු මහත් 21 වැනි සියවස පුරාම ෆැන්ටසිමය වශයෙන් අසාර්ථක ව්‍යාපෘතියකි. 21 වැනි සියවස ආරම්භ වූයේ, එළිෆන්ට්පාස් පරාජයෙනි. ඉන්, සිංහල රාජ්‍යය දෙදරා ගියේය. වසර 2005 දී, උභයාර්ථයක් ජනිත කරමින් මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙන ලදී. පුද්ගලික ෆැන්ටසීන්ට උපරිම ඉඩක් ලබා දෙමින් LTTE යට එරෙහි යුද්ධය 2009 වර්ෂයේ දී සිංහලයාට ජයග්‍රහණය ලබා දෙමින් අවසන් විය. දේශපාලන අරගලය පොදු අවකාශය නම්, ආශාව පුද්ගලික එකකි. 2010- 2015 ගත වූයේ, පුද්ගලික ෆැන්ටසි සාගරයක ය. ආශාව යනු, තෘප්තිමත් කරගත හැකි යථාර්ථයක් ලෙස සියලු දෙනා දුටුවේය. රාජපක්ෂලා පමණක් පුද්ගලිකව විඳින ප්‍රහේලිකාමය විනෝදය සැමට ලබා දිය හැකි බව පෙන්වමින් 2015 දී  ‘යහපාලනය’ ආරම්භ විය. එම කාලය තුළ ෆැන්ටසියට තිබූ සියලුම ඉඩකඩ විනාශ විය. ඉන්පසු, දිලිත් ජයවීර මතවාදී තලයේ දී ඉදිරිපත් කළ, පොළව මට්ටමේ දී බැසිල්ගේ ඉරණම තීන්දු කළ පාරිභෝගික භාණ්ඩය වූ ‘ගෝඨාභය’ 2019 දී වේදිකාවට පැමිණෙන ලදී. මෙම පුද්ගලික පාරිභෝගික භාණ්ඩය සිංහල ඩයිස්පෝරාව පවා මුසපත් කරවන ලදී. නමුත්, කෙටි කලකින් ස්වභාවික අහඹු විපතක් වූ කෝවිඩ් වසංගතය පැමිණි අතර ඉන් ආර්ථිකය ද බිඳ වැටී ‘අරගලය’ නම් පුද්ගලික ෆැන්ටසිය බිහි විය. කෙටි කලකින්, එය ද අවසන් විය. දැන්, අප ජීවත් වන්නේ ෆැන්ටසි අවසන් වූ යුගයක ය.[End of Fantasies]

       කෙනෙකු ෆැන්ටසි ලෝකයකින් බිමට කඩා වැටෙනවා යනු, ඔහු හෝ ඇය ආශාවේ ක්ෂේත්‍රයට ඇද වැටීමයි. අපට රනිල් වික්‍රමසිංහ මගින් නිරූපණය වන්නේ, ආශාවේ ඔක්කාරජනක පැවැත්මයි. සියල්ල නැවත මුල සිට පටන් ගැනීමට බල කෙරී ඇති අතර සිංහල ආශාවේ මර උගුලෙන් ගැලවීමට අලුත් ෆැන්ටසියක් ද අනුර කුමාර හරහා ආරෝපණය වෙමින් පවතියි.

      සමකාලීන සිංහල ෆැන්ටසියට තෝරා ගැනීම් දෙකක් ඇත. එකක්, අනුර කුමාර ය. අනෙක, විදේශගත වීම ය. ඉහත විකල්ප දෙකට අමතරව ඇත්තේ, ආශාවේ ගමන් පථය පමණි.

අපි දැන් ඉතාලි නව-යථාර්ථවාදයේ (Neo-realism) සිනමාව දෙසට හැරෙමු.

      සාමාන්‍යයෙන්, ජහමනයන් සිතන්නේ ආශාව සහ දේශපාලන ක්‍රියාකාරීත්වය ඇත්තේ අන්ත දෙකක බවයි. ඒ අනුව, ආශාව පුද්ගලික වන අතර දේශපාලන අරගලය පොදුජන අවකාශයකි. මින් අදහස් වන්නේ, කෙනෙකුගේ ආශාව යම් මොහොතකට පසුව දේශපාලන ක්‍රියාකාරිත්වය අභිබවනය කරන බවයි. ඉතාලි නව – තාත්විකවාදයේ සුවිශේෂත්වය වන්නේ, එහි දී අවධාරණය වන්නේ මර්දනකාරී වටපිටාවක දී අධික අතෘප්තියක් සහ තෙහෙට්ටුවක් ආශාවේ මුහුණුවරින් ඉදිරිපත් කිරීමයි. මේ අර්ථයෙන්, ආශාව යනු, අතෘප්තිය යි. නව තාත්වික සන්දර්භය තුළ හොලිවුඩ්වල දී මෙන් හුදෙකලා පුද්ගලයන්ව හුදෙකලා කොට නොපෙන්වා ඔවුන්ව සංයුක්ත අරගලයක් තුළ සන්දර්භගත කරයි. නව තාත්වික සිනමා ආඛ්‍යානවල දී අපට සම්මුඛ වන්නේ, ෆැන්ටසි පිළිතුරු වලින් සෑහීමකට පත් නොවන ආශා කරන ආත්මයන් ය. ඒ අනුව, ආශාව පරිපූර්ණ කිරීම නොහැකියාවකි.

Bicycle Thieves- 1948

      ඉහත ආශාවේ සන්දර්භය වටහා ගැනීමට අපි වික්ටෝරියෝ ඩිසිකාගේ ‘බයිසිකල් හොරු’ (Bicycle Thieves- 1948) සලකා බලමු.

      ‘බයිසිකල් හොරු’ චිත්‍රපටය ඓතිහාසිකව ස්ථානගත වන්නේ, දෙවන ලෝක යුධ යථාර්ථය තුළ ආර්ථිකව සහ සමාජීයව පතුලටම කඩා වැටුණු යුගයකදී ය. මෙහි ප්‍රධාන චරිතය වූ ‘අන්තෝනියෝ’ මහා ආර්ථික-සමාජීය අවපාතය තුළ තනියෙන් නැගී සිටීමට උත්සාහ කරන්නෙකි. ඔහුට අවශ්‍ය වන්නේ, සාමූහික විසඳුමක් නොව පුද්ගලික වීරයෙක් වීමටය. විරැකියාව රජ කරන එම යුගයේ දී බයිසිකලයකින් කරන රැකියාවක් ඔහුට හම්බ වෙයි. ඔහු ඉන් උන්මාදයට පත් වෙයි. අන් අයට වඩා ඉහළින් සිටීමට උත්සාහ කරයි. වැටුපෙන් ලබන මුදලින් හොඳ ආහාර වේලක් ගන්නා ආකාරය ඔහු ෆැන්ටසිකරණය කරයි. දරිද්‍රතාවයෙන් ගොඩ එම ඔහු සලකන්නේ, පුද්ගලිකකරණය වූ හුදෙකලා තනි ව්‍යාපෘතියක් ලෙස ය. එහිදී ඔහුට අමතක වන්නේ, තමන් උකස් තැබූ ඇඳ ඇතිරිලි වලින් බයිසිකලයේ පොලි සල්ලි ගෙවූ බවයි. බයිසිකලයෙන් ගොඩ යන්නට අන්තෝනියෝ දරන උත්සාහය අවසන් වන්නේ, එය හොරෙක් සොරකම් කිරීමත් සමඟය. ධනවාදය ඔබට ෆැන්ටසි වස්තුව හරහා දෙන පොරොන්දුව මෙහි දී බිඳ වැටෙන අතර නැවත ආශාව උත්පාද වෙයි. බයිසිකලය නැති වීමත්, එය සෙවීමට දරන වෑයම් සියල්ල නිරර්ථක වීමත් නිසා නැවත රැකියාව කිරීමට බයිසිකලයක් අවශ්‍ය නිසාත්, අන්තෝනියෝට බයිසිකලයක් සොරකම් කිරීමට සිදු වෙයි. එහිදී, ඔහු පිරිසකට හසුවන අතර නින්දාවට පත් වෙයි.

       ධනවාදය සතු විශේෂ හැකියාව වන්නේ, ‘පුද්ගලවාදී ෆැන්ටසියක්’ විසින් දේශපාලන තත්ත්වය ශුද්ධ ආර්ථික එකක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි. අන්තෝනියෝ අවසානය දක්වා තමන්ව ආයෝජනය කරන්නේ තනිවම ගොඩ යාමෙන් තමන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමයි. නමුත් එය අවසන් වන්නේ, සොරකමකින් සහ නින්දාවකිනි. කෙසේමුත්, ෆැන්ටසියකින් ආශාව වෙත පසුබැසීම ඉතා වේදනාකාරී අත්දැකීමකි. මන්ද, පැවැත්ම යනු, වේදනාවක් නිසා ය.

      ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා පවතින පුද්ගලවාදී ෆැන්ටසි අතරින් වඩාත්ම ජනප්‍රිය එක වන්නේ, බටහිර රටකට විගාමික වීමයි. එය, ඉතාම උත්කර්ෂිත විකල්පය ලෙස බොහෝ දෙනා තෝරා ගනිති. උදාහරණයක් ලෙස, ජනප්‍රිය ගායක නලින් පෙරේරාගේ දුව වූ ස්වේතා විසින් youtube වෙතට නිකුත් කරන ඇගේ මෙල්බන් ජීවිතය ඉතා රසවත්ය; මනරම්‍ ය. ආශාවට මෙතරම් විසඳුම් තිබේදැයි සිතන තරමට ඇගේ විවාහයේ රස කතා රසාලිප්තය. නමුත්, මීට දශක දෙකකට පමණ පෙර මෙල්බන් වලට මෙවැනිම පුද්ගලික ෆැන්ටසි සාගරයක ගිලී ගිය ”ස්වේතලාට” සිදුවී ඇති දෙය කුමක් ද කියා ගවේෂණය කළා නම් අපට ලැබෙන පිළිතුර කුමක්ද?

     අප සිනමාව නරඹනවා නොව සිනමාව අපව නරඹන්නේ යැයි මොහොතකට සිතුවහොත්, ඉන් ස්වේතා වැනි අයට කෙතරම් මාර්ගෝපදේශ ලැබිය හැකිද? 

ජනවාරි මස අග දී අපගේ සිනමා පන්තිය ආරම්භ වෙයි. ඒ සඳහා එකතු වන්න! 

මෙහෙයවීම: දීප්ති කුමාර ගුණරත්න
පුශ්පජිත් ජයසිංහ.

පටන්ගැන්ම: 2024 ජනවාරි මාසයේ සිට.

කාලය මාස තුනයි.

පහත අංකයට කතා කරන්න.
0774950204

 

ඔබේ අදහස කියන්න...