තත්‍යසමාන අවකශය (virtual space)  දිගින් දිගටම වර්ධනය වීමත් සමග  මිනිස් ජීවිතය රැඩිකල් වෙනසකට භාජනය වී ඇත.උදා-Facebook. එය කොතරම්ද යන්න පිරික්සා කරබැලීම දේශපාලනයට අදාළ දෙයක්ද? නැතිනම් එය හුදු තාක්ෂණික හෝ විද්‍යාත්මක දියුණුවට සමගාමීව සලකාබැලිය යුතු දෙයක්ද? බොහෝ විට තත්‍යසමාන අවකශය සහ එහි බලපෑම සාකච්ජා කරනු ලබන්නේ දෙවනුව  සදහන් කල ක්ෂේත්‍රයන්ගේ දෘෂ්ටිකෝණයෙන් පමණි. නමුත් ඊට වඩා එහි විශාල දේශපාලන වැදගත්කමක් තිබේ. ඇතැම් විට අද දවසේ දේශපාලනය කල යුත්තේ මහපොලොවේද නැතිනම් තත්‍යසමාන අවකාශයේද යන්න පවා තීරණාත්මක ගැටලුවකි. මීට අමතරව මෙම නව තත්වය මගින් ඇති කරනු ලබන බලපෑම් මොනවාද යන්න (සාමන්‍ය ජීවිතයට සාපේක්ෂව) ගවේෂණය කිරීම දේශපාලකයා ඉදිරියේ ඇති අභියෝගයකි.

මනුෂ්‍යත්වය ගමන් කරමින් සිටින අලුත් මුහුණුවරට අප විරුද්ධ වන්නේ නැත. ස්ත්‍රියට සෑම අතින්ම සමාන ස්පර්ශ කල හැකි, ශ්‍රාවයන් පවා පිට වන රොබෝ ස්ත්‍රියක් ඔබගේ ලිංගික සහකරුවා කර ගැනීම පිළිබද අපට ගැටළුවක් නැත. බොහෝ දෙනෙකු මෙවැනි අවස්ථාවක් දකින්නේ මනුෂ්‍යත්වයේ අවසානය ලෙසය. නමුත් මෙය ව්‍යාජ අදහසකි.  එසේ නම් මින් අදහස්  වන්නේ කුමක්ද? සැබෑ දේශපාලකයා අවශ්‍ය වන්නේ මෙම ගැටලුව නිරාකරණය කිරීම සදහාය. ඉහත උදාහරණය මගින් පෙන්නුම් කරන්නේ  මනුෂ්‍යත්වයේ අවසානය නොව නව මනුෂ්‍යත්වයක ආරම්භයයි. මේ මොහොතේ  සැබෑ මනුෂ්‍ය – මනුෂ්‍ය සබදතාවයන්හි පැවතිය යුත්තේ කුමන දේවල්ද යන්න අර්ථකථනය කිරීමට අවශ්‍යය. තවදුරටත් ලිංගික සබදතා පැවැත්වීම සදහා   පිරිමියෙකු සහ ගැහැණියෙකු සම්බන්ධයකට යා යුතු නොවන තැනක ඔවුන් දෙදෙනාට මනුෂ්‍යන් ලෙස කල හැකි දේ මොනවාද?

සැබෑ අනෙකා ඉවත් කර (සාරය ඉවත් කර) ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම මගින් සැබෑ අනෙකා පැවතීම නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල වලින් ආරක්ෂා වීම පුද්ගලයා අවිඥානිකව බලාපොරොත්තු වන දෙයකි. කෙසේ වෙතත් මෙහිදී මතුකළ යුතු තිසීසය වන්නේ සැබෑ ලිංගික සබදතාවය පවා ෆැන්ටාස්මැතික සම්බන්ධයක් වන බවයි. ලැකාන් ලිංගික සබදතා යනුවෙන් දෙයක් නොමැති බව පවසන්නේ ලිංගික සම්බන්ධතා වල ඇති මෙකී තත්‍යසමාන බව-virtual- නිසාය. මෙම තිසීසය ලිංගික සබදතා වලට පමණක් නොව අනෙක් සියලුම සම්බන්ධතා සදහා  ආදේශ කල හැක. ඒ අනුව මනුෂ්‍යන්- මනුෂ්‍යන් අතර පවතින ඕනෑම සම්බන්ධයක් සැබෑ සබදතා නොව තත්‍යසමාන සම්බන්ධතා පමණක් බව නිගමනය කලහැක.

ඉහත අදහස් තවදුරටත් විදාරණය කිරීම  සදහා ස්පයික් ජෝන්ස් ගේ Her (2013) චිත්‍රපටය විශ්ලේෂණය කරමු. චිත්‍රපට කතාවේ සාරාංශය මෙසේය. තියඩෝර් නම් චිත්‍රපට කතාවේ කතා නායකයා තම විවාහය අසාර්ථක වී කල්ගත කරන අතර තම පරිඝනකය සදහා නව මෘදුකාංගයක් මිලදී ගනී. එය වසගකාරීව කතා කරන ”සමන්තා” නම් කාන්තාවක් බවට පරිවර්තනය වේ. ඇය අපට නොපෙනෙන අතර කටහඩ පමණක් ඇසේ. තියඩෝර් සමන්තා සමග ආදරයෙන් බැදෙන අතර වෙනත් කාන්තාවන් කුලියට ගෙන සමන්තාගේ හඩ අසමින් ඔවුන් සමග ලිංගික සබදතා පැවැත්වීමට පවා හුරු වේ. එක් පැත්තකින් එවැනි සම්බන්ධතා සාමන්‍ය දෙයක් බව පෙන්වීමටද චිත්‍රපටය තුල උත්සහ කෙරෙයි. නමුත් පසුව සමන්තා තියඩෝර් නොමැතිවත් වර්ධනය වීමට පටන් ගනී. ඇයට තවත් පුරුෂයන් මුණගැසෙන අතර ඔවුන් සමගද කතා කරයි. චිත්‍රපටය අවසානයේ සමන්තා පරිඝනකය හැර යන අතර තියඩෝර් නැවත තනි වෙයි.

චිත්‍රපටය මගින් මතුකරනු ලබන එක් වැදගත් මානයක් වන්නේ ද්‍රව්‍යමය නොවන ශ්‍රමය(Immaterial labor/ Affective labor) නමැති  සංකල්පයයි. චිත්‍රපටයේ ප්‍රථම ජවනිකාවෙන් පෙන්වන්නේ චිත්‍රපට කතා නායකයා වන තියඩෝර් පෙම් හසුනක් කියවන ආකාරයයි. නමුත් මද  වෙලාවකට පසු අපට පෙනෙන්නේ එය තියඩෝර් විසින් වෙනත් කෙනෙක් සදහා මුදල් අය කර ලියා දෙනු ලබන ලිපියක් වන බවයි. තියඩෝර් යනු ද්‍රව්‍යමය නොවන ශ්‍රමය යොදා ගනිමින් සේවය කරන්නෙකි. චිත්‍රපටය මගින් මතුකරනු ලබන වැදගත් දෙයක් වන්නේ වර්තමානයේ ශ්‍රමය ද්‍රව්‍යමය  නොවන්නා සේම එය කටහඩහි ස්ථානගත වීමටද හැකි බවයි. මෙම ශ්‍රමය ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම අයත් වන අතර මෙම ශ්‍රමය පිළිබද විචාරය කල හැක්කේ මනෝවිශ්ලේෂණය යොදා ගැනීමෙනි. ද්‍රව්‍යමය නොවන ශ්‍රමය සම්ප්‍රදායික අර්ථයෙන් කර්මාන්තශාලාව තුල ඇති ශ්‍රමය සමග සැසදිය නොහැක. මෙහිදී භාණ්ඩයක් නිෂ්පාදනය නොවේ.

සමන්තා සහ තියඩෝර් ආත්මීයකරණය වන්නේ කටහඩ (voice) හරහාය. මෙහිදී පරිඝනක කටහඩ ලිංගිකකරණය වේ. අපට ඩිජිටල් උපකරණ සමග ඇත්තේ සරාගී බැදීමකි. ඒවා තුල ඩිජිටල් ලුබ්ධිමය අතිරික්තයක් ඇති බව අපට සිතෙයි. චිත්‍රපටය තුල තියඩෝර්ගේ ඇස් වසා ඔහුව නගරය පුරා ඇවිදවන දර්ශනය මගින් ප්‍රේක්ෂකයාටද ඇස් බැදගෙන ඇවිදීමට අවස්ථාව ලබා දෙයි. ප්‍රේක්ෂකයාට ඔවුන්ගේ ලිංගික සම්බන්ධය නොපෙනෙන අතර ඇසීමට පමණක් අවස්ථාව උදා කරයි. ලැකානියානු අදහසට අනුව ලිංගික සබදතා යනුවෙන් දෙයක් නොමැත යන්නෙන් අදහස් වන්නේ මෙම තත්වයයි. චිත්‍රපටය නරබනු ලබන ප්‍රේක්ෂකයා සැබෑ ලිංගික සබදතාවයක් නැරබීමට ආශා වනවාට වඩා කැමති වන්නේ ලිංගික සම්බන්ධය කතාව හරහා අත්විදීමටය. කතාව විසින් ප්‍රේක්ෂකයාට ෆැන්ටසියක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදා කරයි.

සැබෑ ජිවිතයේ ඇති ගැටළු වලින් මිදීම සදහා මිනිසුන් වඩ වඩා තත්‍යසමාන ලෝකය වෙත ගමන් කරයි. Facebook වැනි සමාජ ජාල මාධ්‍යක් තුල අප අත්දකින පවුල් යනු ඉතා සාමාකාමී, සුන්දර සහ සාර්ථක පවුල්ය.  මුල්කාලීනව තම පවුලේ විශේෂ අවස්ථා මිතුරන් සමග Facebook හරහා හුවමාරු කරගත්හ. නමුත් වර්තමානය වන විට තත්වය හාත්පසින්ම වෙනස් වී ඇත. අද පවුලකට සාර්ථක විය හැක්කේ facebook වැනි සමාජ අවකාශයක ජනප්‍රිය පවුලක් බවට පත් වීමෙන් පමණි. ඔවුන්ට මෙම කෘතීම අවකාශයේ හුවමාරු කරගත හැකි පවුල් ජීවිතය හැර සැබෑ පවුල් ජීවිතය යනුවෙන් දෙයක් නොමැත. මෙහි ඇති ගැටලුව වන්නේ මෙම  විතැන් වීම අප අර්ථකථනය කරන්නේ කෙසේද යන්නයි. මෙය ධනවාදයේ ප්‍රතිඵලයක් නම් ධනවාදය අවසන් වීමෙන් පසු පෙරලා පැරණි සම්බන්ධතා වෙත පුද්ගලයාට යා හැකිද? මීට පිළිතුර වන්නේ නැත යන්නයි.

ධනවාදයට පසු නැවත පැරණි මිනිස් සබදතා ගොඩනැගෙනු ඇතැයි යන විශ්වාශය කාගේද? එය බොහෝ විට ධනවාදය සමග නිසි ලෙස සම්බන්ධ වීමට නොහැකි වීම නිසා ඊට වෛර කරන පුද්ගලයන්ගේය. ධනවාදය සමග එකතු වීම, තත්‍යසමාන අවකාශයට පිවිසීම මගින් පුද්ගලයා එක්තරා නිදහසක් අත්විදියි. නමුත් මෙම නිදහසට සීමාවන් පවතී. සැබෑ මනුෂ්‍ය සබදතා නොමැති නිසා එය සෑම විටම පුද්ගලයාට කාංසාවක් සහ වරදකාරීත්වයක් ඉතුරු කරයි. අනාගතයේ දේශපාලකයා අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ මෙවැනි ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දීම සදහාය. නමුත් දේශපාලනයට සෑම මොහොතකම අනාගතය ගොඩනැගීම මිස වර්තමානයේ ජීවත් වන පුද්ගලයන්ට පිළිතුරු දීමට නොහැකි වී තිබේ.

අද අප ජීවත් වන්නේ පිළිතුරු නොමැති සමාජයකය. ඔබට කල හැක්කේ ප්‍රශ්නය හරියට ඇසීම පමණි. වාමාංශිකයන් ලෙස මේ මොහොතේ පිළිතුරක් යෝජනා කිරීම අපව උගුලකට හසු කරවයි. අපට කල හැක්කේ ගැටලුව නිසි ලෙස අර්ථකථනය කිරීම පමණි. සමාජ ප්‍රශ්න සදහා ඕනෑ තරම් පිළිතුරු Facebook හි අපට හමුවෙයි. මේ නිසා පිළිතුරු, විකල්ප යනු යුගයේ විලාසිතාවක් පමණකි. එමගින් ප්‍රශ්නයට විසදුමක් යෝජනා නොකරන අතර ප්‍රශ්නය තව දුරටත් වර්ධනය කෙරෙයි. ඒ අනුව මෙවැනි යුගයක අපට අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය අර්ථකතනය කරන දේශපාලනයකි. අනාගත පරපුර නව සමාජයක් කරා ගමන් කරන්නේ එලෙස නිෂ්පාදනය වන දැනුම පාදක කරගනිමිනි.

අපත් සමග දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනා පෙරළා අපගෙන් බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ ප්‍රශ්න වලට විසදුමකි. ඒ සදහා අප අපොහොසත් වන කල ඔවුන් පෙරළා අපව ප්‍රශ්න කරයි. නමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අපගේ දේශපාලනය යනු දේශපාලනයයි. යු. එන්. පී එක නිවසක් නැති පුද්ගලයන්ට නිවාස ලබා දෙන්නා මෙන් ආර්ථිකයක් නැති පුද්ගලයෙකුට ආර්ථිකයක් ගොඩනැගීම හෝ අධ්‍යාත්මයක් නැති පුද්ගලයෙකුට අධ්‍යාත්මයක් ගොඩනැගීම අපට කල නොහැක. ඒ වෙනුවට අප ඉලක්ක කරන්නේ ශිෂ්ටාචාරයේ දියුණුවයි. ලාංකික අනාගත පරපුරේ අනාගතයයි. පවතින තත්වය තුල එවැනි පරපුරක අනාගත කුමක් වනු ඇද්දැයි ඔබට පහදා දිය යුතු නැත. නමුත් අපගේ මැදිහත් වීම යනු මෙම තත්වය අනාගතයේ වෙනස් වීමට අවශ්‍ය මැදිහත් වීම මේ මොහොතේ සිදු කිරීමයි. කෙසේවෙතත්  මෙම පිළිතුර පවා පිළිතුරක් නොවන බව අවධාරණය කල යුතුය.

සමන්තා වැනි තරුණියක් සමග පෙමින් වේලෙන පුද්ගලයන් වෙසෙන සමාජයක් කරා ලංකික සමාජය ඉතා වේගයෙන් ගමන් කරමින් පවතී. සියලු දෙනා අද දවසෙන් වැඩි කාලයක් ගෙවා දමන්නේ සයිබර් අවකාශයේය. ඔවුන් නැවත සැබෑ අවකාශයක් කරා රැගෙන ඒමට නොහැක. එසේ නම් අප අපගේ දේශපාලනය සංකීර්ණ මානයන්  වෙත රැගෙන යා යුතුය. එය අප ඉදිරියේ ඇති විශාල අභියෝගයකි. ඔබ අපගේ දේශපාලනය සමග අනන්‍ය වන්නේ නම් ඒ කුමන හේතුවක් නිසාද යන්න දැන් ඔබටම විශ්ලේෂණය කල හැක. එමෙන්ම ඔබට අපගේ අරමුණ පිළිබද අවබෝධයක් ලැබෙන්නට ඇති බව අප විශ්වාස කරන්නෙමු. ඔබ මේ දායක වෙමින් සිටින්නේ අනාගත දේශපාලනයේ ප්‍රධාන පක්ෂයක් වෙනුවෙන් බව නුදුරු අනාගතයේදීම ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.

Film එක බලන්න !

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...