මරියානා ආගාදය වැනි ගැඹුරු, අඳුරු පතුලක සැඟව ගත් අහිංසක ජනකායක් හෝ සමාජයක් ( ගැටුම් විරහිත )  වෙනුවෙන් අපගේ දේශපාලන ව්‍යාපාරය තක්කඩි, පහළ මැද පංතික සරල මතිකයන් කිහිපදෙනෙකුට පාවා දී අද දිනට වසර 14ක් සැපිරෙයි.මීට අමතරව සුනාමිය නම් සොබාදහමේ කෲරත්වයට මැදිවී ජීවිත 45 000 ක්  පමණ විනාශ වී ගියේ ද අද වැනි දිනක ය.මේ සිදුවීම් දෙක සඳහා ඉදිරිපත් කළ හැකි ශේෂ පත්‍රය කුමක්ද? ZUනාමිය නිසා විනාශ වී ගිය ජීවිත විශාල සංඛ්‍යාව අද දින ධනවාදයෙන් මත් වී සිටින බහුතරය අමතක කර ඇත. නමුත් එක්  ධෛර්යවන්ත කාන්තාවක් අතිශය ඉදිරිගාමී නවකතාවක් මෙම ඛේදවාචකය මැදි කොට ලියා ඇත. ඒ සොනාලි දැරණියගල විසින් රචිත “ රළ” ( Wave ) නම් ප්‍රබන්ධ කතාවයි. මේ එහි සඳහන් පෙරවදනේ කොටසකි.

                 “එළැඹෙන දුක්ඛ දෝමනස්සයන් හා වේදනාවන් දරා ගැනීම සඳහා මනුෂ්‍යයා සතු ශක්තිය අසීමිතය. එසේ  වුවද, මෙම ශක්තිය මෙහෙයවීම පිණිස ඔහුට/ ඇයට සිය අධ්‍යාත්මය සමඟ බිහිසුණු හා දුක්මුසු අරගලයක යෙදෙන්නට සිදුවෙයි. මෙම   අරගලයෙන් පරාජය වීම යනු , සියදිවි නසා ගැනීම හෝ වෙනයම් ආකාරයකින් ජීවිතය විනාශ වීම විය හැකිය. එහෙත් මෙම කෘතියේ කතුවරිය වන සොනාලි ඇය මුහුණ පාන මහා ව්‍යසනයෙන් පසු සිය අධ්‍යාත්මය සමඟ ගෙන යන අරගලයේ දී එසේ විනාශ නොවේ.”

     සොනාලි ගේ නවකතාව සිංහලෙන් පළ වූ එඩිතර ම නවකතාව ලෙස මම සලකමි.  බොහෝ දෙනා ‘  සමාජය’ නම් ක්ෂේත්‍රය කලා නිර්මාණයේ දී සලකන්නේ විමුක්තිය ලැබෙන දිව්‍ය අවකාශයක් ලෙසිනි. නමුත් අපට මනෝවිශ්ලේෂණය උගන්වන්නේ ‘ සමාජය’  යනු මර්ධිත තැනක් ලෙසිනි. කෙනෙක් ‘ සමාජය’  ලෙසින් අර්ථ ගන්වන විට ඉන් අදහස් වන්නේ ඔහුගේ/ ඇයගේ   රෝග ලක්ෂණය යි. බොහෝ අයගේ කලා කෘතිවලට 71 කැරැල්ල, 89 අරගලය,  දෙමළ විමුක්ති අරගලය වැනි සමාජ ප්‍රපංච එකතු වන්නේ මේ නිසා ය. බහුතර නිර්මාණකරුවන්ට තමන්ගේ පුද්ගලික අත්දැකීම සමාජ අවකාශයෙන් තොරව ප්‍රකාශ කළ නොහැකි ය. පුද්ගල  අත්දැකීම කීමට යාමේ දී ඔවුන්ට ‘ සමාජය’ නම් අත්වාරුව අවශ්‍ය ය. සොනාලිට තම කතාව කියන්නට සමාජය හෝ දේශපාලනය හෝ පරමාදර්ශ හෝ අවැසි නැත. ඉන් අදහස් වන්නේ ඇය අදේශපාලනික යන්න නොව ඇය කොමියුනිස්ට් සටනට වඩා ගැලපෙන පක්ෂ  සාමාජිකාවක් යන්නය. ශ්‍රී ලංකාවේ පසුගිය දශක තුනක පමණ කාලය තුළ වාමාංශික අරගලයට පැමිණි බහුතරය එසේ පැමිණියේ විවාහය සඳහා හොඳ සහකරුවකු හෝ සහකාරියක සොයා ගෙන ය. දේශපාලන අරගලය ඔවුන්ට ද්විතීක විය.

            බහුතරය අද දේශපාලනය ගැන කතා කරන්නේ ජීවිතය නිර්මාණශීලී කරන දෙයක් ලෙසිනි. මෙම   තත්වය ජීවිතය කලා කෘතියක් වැනිය යන මිචෙල් ෆුකෝගේ ආප්තයට සමපාත වෙයි. 2004 X ව්‍යාපෘතිය පරාජය කරන ලද්දේ ජීවිතය නිර්මාණශීලී කිරීම දේශපාලනය සමඟ සමපාත කර ගත් පිරිසකි.

           Freud සහ කාල් මාක්ස් සංකලනය කොට තනාගත් Freudo- මාක්ස්වාදයේ [20 වැනි සියවස මුල දී ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය කේන්ද්‍ර කර ගනිමින්]  මුලික ප්‍රවාදය වූයේ ලිංගිකත්වයේ නිර්මාණශීලී ජවය ධනවාදී සමාජ ක්‍රමය විසින් මර්දනය කරන නිසා එය නිදහස් කිරීමට සටන් කළ යුතු ය යන්නයි.  එහි යටි පෙළට අනුව ධනවාදය කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට නම් මිනිසුන්ගේ ( සමහර සතුන්ගේ පවා ) ලිංගික ආශාව මර්දනය කළ යුතුය යන්නය. මේ හේතුව නිසා විසිවැනි සියවසේ බිහි වූ බොහෝ විමුක්ති ව්‍යාපාරයන් ( යටත්විජිත වාදයට එරෙහි ජාතික විමුක්ති ව්‍යාපාරයන් පවා)  ලිංගික විමුක්තිය දේශපාලන තේමාවක් ලෙස සකස් කළේ ය. නමුත් විසිවැනි සියවස අවසන් වන විට ( විශේෂයෙන් 68 ප්‍රංශ ශිෂ්‍ය අරගලය, හිපි ව්‍යාපාරය) මෙම ලිංගික විමුක්ති ව්‍යාපාර අසහනයෙන් අවසන් විය. දේශපාලනය ලිංගික විමුක්තිය මත භූගත කිරීමට දරන ලද උත්සාහය අසාර්ථක එකකි. ඒවා අවසන් වශයෙන් ගමන් කරන ලද්දේ ඉන්දීය යෝගි වරුන්ගේ නාභියේ දිශාවට ය.

               X දේශපාලනයේ විමතිකයන් විසින් 2004/12/26 දිනත්, ඊට පසුවත්   තමන්ගේ දේශපාලන ජීවිතයේ ( විශේෂිත ලෙස මෙය ඔවුන්ගේ ලිංගික ජීවිතයට ද අදාළ ය.)   ප්‍රධාන බාධකය හෝ මර්දකයා ලෙස වටහා ගත්තේ දීප්තිව ය. යම් කිසි පුද්ගලයෙකුගේ හෝ යම් කණ්ඩායමක ලිංගික හෝ දේශපාලන තෘප්තියේ බාහිර බාධාවක් ලෙසින් බාහිර කෙනෙක් වටහාගැනීම 2004 වැනි යුගයක ඉතා  අපූර්ව සිදුවීමක් විය. සිදු වූයේ කුමක්ද යන්න ගැන බහුතරය අන්ධභූත ජාතක දේශනා කළ අතර සුළුතරයක් ( පැරණි වම සහ තරුණ වම ) ගැටලුව වාම උද්ඝෝෂණ තලය තුළ විග්‍රහ කළේ ය.

                ශ්‍රී ලංකාව තුළ ‘ මර්දනය’ ( Repression ) යන්න නිර්වචනය කරන විට ඉන් අදහස් කරන්නේ එය දේශපාලනිකව සහ සදාචාරාත්මක ලෙස, නරක දෙයක් ලෙස සලකාය. යම් කෙනෙකු දෙසට ඇඟිල්ල දිගු කර එයා මාව මර්දනය කළා කී පසු අර්ථකථනයට වෙනත් ඉඩක් නැත. අද  දින අප ‘ මර්දනය’ යන්න න්‍යායිකව වටහා ගමු.

               ‘මර්දනය’ නම් ප්‍රපංචය සලකා බලන විට අප හැරෙන්නේ යම් පීඩකයෙක් දෙසටය. මෙම  පීඩකයා බාහිරින් පෙන්විය හැකි අනුභූතික පීඩකයෙකි.2004 සිදුවීමේ දී මෙම බාහිර පීඩකයා වූයේ දීප්ති ය. නමුත් ගැටලුව වූයේ ඉන් පසුව ඔවුන්ට වූයේ කුමක්ද යන්න ය. බාහිර පීඩකයා නැති විට ඔවුන්ට ඉතාම නිර්මාණශීලී ලෙස දේශපාලනය කිරීමට ඉඩ තිබුණි. නමුත් එසේ වීම වෙනුවට ඔවුන් දීප්ති අනෙකා කරගෙන ජීවත් වෙයි.

                 ඉහත තත්ත්වය වටහා ගැනීමට අවශ්‍ය අයට ‘ මර්දනය’  නම් සංකල්පය වඩා පුළුල් ලෙස දේශපාලනිකව විස්තාරණය කළ යුතු ය. Freud ‘ මර්දනය’  ගැන ඉදිරිපත් කළ නිර්වචනය තුළ මෙවන් ආකාරයක විශාලනයක් කරයි. යම් පුද්ගලයෙක් මර්දනය ගැන පැමිණිලි කරන විට ම ඊට පූර්වයෙන් යම් කල්පිත විනෝදයක් ( Enjoyment ) විඳිය යුතු ය.

                 මිනිසාට සොබාදහමෙන් කැඩී ශිෂ්ට වීමට යාමේදී තමන් සිටි මුල් සත්ව ( මේ පවා කල්පිතය ) ලෝකයෙන් කැඩී වෙන් වීමට සිදු වේ. ඒ නම් මිනිසාට මිනිසකු වීමට යම් කැපකිරීමක් කිරීමට සිදුවේ. මේ  හේතුව නිසා ශිෂ්ඨ ලෝකය තුළ ජීවත් වන මිනිසා යම් අඩුවක් අත්විඳි. මෙම අඩුව පිරවීමට හැකි එකම ආකාරය භාෂාව නැතහොත් එහි තැනුම් ඒකකය වන හැඟවුම්කාරකය යි.අවාසනාවකට මෙන් මිනිසා බොහෝ විට හැඟවුම්කාරකය ඉක්මවා කලින් පැවති තත්වයට යාමට උත්සාහ කරයි. ‘ විනෝදය’ නැතහොත් වේදනාවෙන් සතුටු වීම යනුවෙන් මනෝවිශ්ලේෂණය තුළ හඳුනා ගන්නේ මෙම තත්ත්වයයි.

                    2004 සිදුවීම යනු, X කණ්ඩායම සමාජයට ඉදිරිපත් කළ හැඟවුම්කාරක වලට සීමා නොවී එය ඉක්මවා යෑමට දරන ලද තැනකි.එසේ කරන ලද්දේ අපරිමිත විනෝදය සඳහා ය. එවැන්නක් කල්පිත  ලෝකයක් තුළ මිස සැබෑ ලෝකයක් තුළ නොමැත.

                   X කණ්ඩායමට ඇතුළත් වූ බහුතරයට වෙනත් සංවිධානයක නො තිබූ විශාල නිදහසක් හිමි විය. ඒ තුළ ප්‍රේම කිරීමේ සිට නිල් සිනමාව නැරඹීම දක්වා පුළුල් වපසරියක නිදහස හිමිවිය. දේශපාලනය කිරීමට එන අය ඊට ආදේශ වන්නේ පවතින සමාජය ගැන කලකිරීමෙන් වන නිසා ඉහත කී  නිදහසවල් සමහරුන් බලාපොරොත්තු වන්නේ ද නැත.( 2005 – 2014 දක්වා වූයේ කලින් තිබූ නිදහසවල් ඛාදනය වී ඒ නිදහස කිහිප දෙනෙකුට පමණක් හිමි වීම යි. ) එසේ නම් තමන්ව මර්දනය වනවා යැයි කියන ප්‍රවාදය ආවේ කොතැනින්ද ?

              මර්දනය ගැන සාකච්ඡා කිරීමේ දී අපට වැදගත් ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට අවශ්‍ය ය. එකක් නම් ආශාවයි ( Desire ) .  අනෙක හඹා යාමයි ( Drive ) .ආශාවට වෙනස්ව හඹායාම අස්වාභාවිකය. හඹා යාම යනු, වස්තුවක් රහිතව යම් හිස් බවක් වටා මානසික ශක්තිය ( Libido ) භ්‍රමණය වීමකි. එමගින් උපදින්නේ ආශාවට ප්‍රතිවිරුද්ධව  අතෘප්තියකි, අසහනයකි.වේදනාවෙන් සතුටු වීමක් හඹා යෑම් වලදී අපේක්ෂිත ය. මර්දනය නම් ක්‍රියාවලිය විඥානය තුළ බෙදුම් රේඛාවක් අවිඥානය ලෙස සලකුණු කරන්නේය. මර්දනය විසින් නිපදවන්නේ අතෘප්තියයි. ශිෂ්ටාචාරය  විසින් තහනම් කර ඇතැයි උපන්‍යාසගත කරන්නේ මෙලෙස ආකෘතිය විසින් නිපදවන වේදනාත්මක සතුට යි. මේ හේතුව නිසා ඕනෑම මර්දනයක් යම් අවිඥාණයක් ප්‍රාර්ථනා කරයි. ඒ අනුව පළමු එන්නේ වේදනාත්මක සතුට යි. දෙවනුව එන්නේ මර්දනය යි.  දීප්ති ”X නම් දෙය” මට තහනම් කර ඇතැයි අනුමාන කිරීමට පෙර එම X නම් දෙය හරහා අදාළ පුද්ගලයා අවිඥානිකව අතෘප්තිමත් විය යුතු ය.

                     ‘ ධනවාදය’ සූත්‍රගත කිරීමේ දී මාක්ස්ට ‘ ප්‍රාථමික සමුච්චනය’ යනුවෙන් සංකල්පයක් අවශ්‍ය විය. එපරිදිම මානසික ආර්ථිකයේ දී ‘ මර්දනය’  නම් සංකල්පයක් අවශ්‍ය වන්නේ ආත්මයට දරාගත නොහැකි ආත්ම මූලිකත්වයක් හරහා ආත්මය වේදනාවක් විඳින විට ය. යමෙකු යම් අශ්ලීල ප්‍රමෝදයක් රහසින් විඳින විට ඒ සඳහා යම් සීමාවක් බාහිරින් සලකුණු කර ගත යුතුය.  මේ සංකේත නීතිය යි. නැතහොත් විනෝදය උතුරා ගොස් ආත්මය මිය යයි. කෙනෙකු බාහිරින් තම විනෝදයේ සීමා කරුවා ලෙස දීප්තිව හඳුනාගන්නා විට ( මර්දකයා) දීප්ති නොමැතිනම් ඒ විනෝදය ද වාෂ්ප වන බව දැනගත යුතු ය.

                       යම්කිසි පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් තම අතෘප්තියට සීමාවක් යොදා ගැනීම සඳහා බාහිර ඒජන්තයෙකු, සතුරෙකු ලෙස හඳුනාගැනීම වර්ගවාදී දේශපාලනයේ ම  ප්‍රවර්ගයකි.2004 වර්ෂයේ දී යම් පිරිසක් අතින් සිදු වූයේ ඉහත ක්‍රියාවලිය යි. එය කෙතරම් අන්තවාදී වූයේද යත් දීප්ති= හිට්ලර් යන සූත්‍රයට පවා ඔවුන් එළඹිණි.  ඒවා කෙතරම් මනෝවිකාර ද යන්න දැන් බොහෝ දෙනෙකුට වැටහී ඇත.

                      සමහර දේවල් සිදු වීම අපගේ පැත්තෙන් යහපත්ය. අපගේ ගමන කනත්තෙන් හෝ නන්දිකඩාල් වලින් අවසන් නො වූයේ  දීප්තිට සැබැවින් ආදරය කළ මිනිසුන් සංවිධානය තුළ නො සිටි නිසා ය. ඔවුන් බහුතරය ඇඟ බේරා ගත් අය වූ අතර ටික දෙනෙක් අවස්ථාවාදයේ ගොදුරු බවට පත්විය. අතෘප්තිය දීප්තිව ගලවා ගත් අතර  අනාගතයේ දී ද අතෘප්තිය විසින් ඔහුව ගලවා දෙනු ඇත. අද අපට අවශ්‍ය වන්නේ සංවිධානයට ආදරය කරන මිනිසුන් මිස තමන්ගේ සායම වෙනුවෙන් ඇඟ බේරා ගන්නවුන් නොවෙයි. දීප්තගේ නම හරියට සඳහන් කර ලංකාවේ ඕනෑම මධ්‍යම පාන්තිකයෙකුට (  නිශ්චිත මාසික වැටුපක් ලබන ) ඔහුට පහර දෙන්න යැයි අපි ඔවුන්ට ආරාධනා කරන්නෙමු. නියම යුද්ධය හැලි වලං පොඩි කරගෙන අපි කුස්සියෙන් ම පටන් ගනිමු.

X Lover

ඔබේ අදහස කියන්න...