“බුරු ඇඳ බොක්කේ වැටි දෙදන තුරුල් කරගෙන නිදා ගන්නා උදාසීන කාලකන්නියාට හැම දවසම අසුබ දවසකි. රා කෝම්බ කාර පාපතරයාට හැම දාම අසුබ දවස්ය. එය එසේ වුවත් රටට ජාතියට ආගමට වැඩ කරන අවංක මිනිසාට හැම අසුබ දවසක්ම සුබ දවස්ය. මරයෝග සහිත හැම අව දවසක්ම සුබ නැකැත්ය.”\

අනගාරික ධර්මපාලතුමා ජනතාව දැනුවත් කරමින් රට පුරා ගමන් කළ මාර්ග

ධර්‍මපාලතුමා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ දරුණු කළකිරීමකින් බව රහසක් නොවේ. 1915 සිට 1922 දක්වා ඉන්දියාවේ සිර කර උන් ධර්‍මපාලතුමා පෙරළා මෙරටට පැමිණියේ නොසිඳුණු බලාපොරොත්තුවලින් යුතුව යළි මෙරට දේශපාලන සමාජ ක්ෂේත්‍රයට ඇතුළු වී සිය සටන ආරම්භ කරන අදහසිනි. එහෙත් නොබෝ කලකින්ම ඒවා අතහැර දැමූ ධර්‍මපාලතුමා පිටරට බුදු දහම ප්‍රචාරය කිරීම සිය ප්‍රධාන කටයුත්ත කර ගත්තේ ය.

මෙය තමාට තවදුරටත් මේ රටෙහි තැනක් නැතැයි යන හැඟුම නිසා – කළකිරීම නිසා උපන්නක් බව නොඅනුමාන ය. මේ අවදිය තුළ සිය සිත තුළ වූ කළකිරීම, අපේක්ෂා භංගත්වය ප්‍රතිමූර්ති කර දක්වන සිද්ධියක් වැන්න 1929 දී එතුමාගේ සොහොයුරු සී.ඒ. හේවාවිතාරණ දොස්තර මහතාගේ මරණයේ දී ධර්‍මපාලතුමා හැසුරුණු ආකාරය. හදිසි අනතුරකින් මියගිය සිය සොහොයුරාගේ මළ සිරුර ගෙදර ගෙන ආ විගස ධර්‍මපාලතුමා කුඩා දරුවකු මෙන් මොරගා එවේලෙහි හඬා වැලපුණේ හුදෙක් සිය සොහොයුරා කෙරෙහි උපන් සෙනෙහස නිසා ද?

එවේලෙහි එතුමාගේ මුවින් පිට වූ වදන් අර්ථාන්විත ඒවා වෙයි. “ඉතින් අපි කාගේත් කෙරුම් ඉවරයි!” මේ යුගය තුළ ධර්‍මපාලතුමාට ඉතුරු වී සිටි එකම අනුගාමිකයා දොස්තර මහතා පමණි. ඔහු මිය ගියේ ද කිසියම් හදිසි කටයුත්තක් සඳහා කොළඹට එන ලෙස ධර්‍මපාලතුමා විසින් යවන ලද විදුලි පණිවුඩය අනුව කොළඹ එන අතර ය.

සිය අවසාන කාලයේ දී එතුමාගේ මුව’ග නිතර වූ පාඨයකි ධම්මපදයෙන් ගත් මේ පාලි ගාථාව:

අත්තදීපා විහරථ

අත්තසරණා අනඤ්ඤ සරණා

ධම්මදීපා විහරථ

ධම්ම සරණා අනඤ්ඤ සරණා

“තමා පහනක් කොට වාසය කරව. තමාගේ පිහිට විනා අනික් පිහිටක් නැත. ධර්මය පහනක් කොට වාසය කරව්. ධර්මයෙහි පිහිටක් විනා අනික් පිහිටක් නැත.”

ඔහුගේ මුවඟ වූ මේ පාලි පාඨය ඔහු තුළ වූ අනාථ භාවය නිසා පහළ වූවක් විය යුතුය. එතුමා විසින් 1931 දී පැවිදි බිමට ඇතුළු වීම මේ අනාථ භාවයේ උච්ච ම අවස්ථාව පිළිබිඹු කරන සිද්ධිය ලෙසිනි මට පෙනෙ‍න්නේ. අනගාරිකව සිටි එතුමා පැවිදි බිමට ඇතුළු වූයේ තමාට තවදුරටත් මෙරට දේශපාලන – සමාජ ක්ෂේත්‍රය තුළ අවස්ථාවක් නොමැති බව හැඟුණු නිසා විය යුතු නොවේ ද? පැවිදි වූ එතුමා මෙරට හැර ඉන්දියාවට ගොස් ධර්‍ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම කලකට පෙර එතුමා විසින් කියන ලද කියමනක් සනාථ කිරීම වැන්න. “ම විසින් කරන අවවාද පිළිගැනීමට අසතුටු නම් ඒ බව දැන් වූ විට ලංකාව අතහැර වෙන රටකට පැමිණ ජීවත්වීමට මට පුළුවන.” ඉන්දියාවට පැමිණ එහි දී මියගිය එතුමාගේ අන්තිම ප්‍රාර්ථනය වූයේ මතු ආත්මයේ දී දඹදිව ඉපදීමට යි; ලංකාවේ ඉපදීමට නොවේ.

ධර්‍මපාලතුමා සිය ජීවිතයේ අවසාන භාගයේ දී මෙවැනි කළකිරීමකට පත්වූයේ ඇයි? මෙය ස්වාර්ථ හා බැඳුණු කිසියම් පුද්ගලික අපේක්ෂා මුදුන්පත් නොවීමක්, සිඳී ගිය බලලෝභයක් නිසා ඇති වූවක් නොවේ. අනගාරිකව මුළු ජීවිතය ගත කළ සියලු යස ඉසුරු ඉවත හළ ජීවිතයක් ගත කළ එතුමාට එවැනි අපේක්ෂා නොතිබිණි. එසේ නම් මේ කළකිරීමට වෙන කිසියම් අන් හේතුවක් තිබිය යුතු ය.

ධර්‍මපාලතුමාගේ ජීවිතයේ ඉතාමත් සාර්ථක, ස්වර්‍ණමය යුගය වශයෙන් ඇඳින්විය යුත්තේ 1912 – 1914 දක්වා කාල පරිච්ඡේදය යි. එතුමා විසින් සියවසෙහි මුල දී ආරම්භ කරන ලද සියලු ව්‍යාපාර ඉතා උසස් අවස්ථාවකට පත්වූයේ මේ යුගයේ දී ය. 1912 දී බ්‍රිතාන්‍ය පාලනයට කෙළින් ම විරුද්ධව අරඹන ලද අමද්‍යප ව්‍යාපාරය මුල්කොට ගත් අධිරාජ්‍ය විරෝධි සටන මේ දෑවුරුද්දක පමණ කාලය තුළ ඉතා උච්ච අවස්ථාවකට පත්ව තිබිණ. ධර්‍මපාලතුමා සිය වාහනයට නැගී මුළු රටපුරා යමින් මුළු මහත් ජනතාව අවදිකරවා අධිරාජ්‍ය විරෝධී සටන වෙත ඔවුන්ගේ මනස යොමු කරන ලද්දේ මේ යුගයේ දී ය.

ඒ යුගය වන විට ඔහුගේ අනුගාමික වලිසිංහ හරිස්චන්ද්‍ර විසින් අනුරාධපුර ශුද්ධ භූමිය ප්‍රතිසංස්කරණය කර සිංහල වර්ගයාට ඔහුගේ ප්‍රෞඪ අතීතය දෑස් ඉදිරියෙහි මවා දී තිබිණ. මේ යුගය තුළ ධර්‍මපාලතුමා මෙරට ජනතාව විසින් කෙතරම් වීර වික්‍රමාන්විත පුද්ගලයකු සේ සලකන්ට ඇද්ද යන්න 1914 දී පමණ ඔහුත් මෙරට ආණ්ඩු කළ සුදු ආණ්ඩුකාරයාත් අතර ඇති වූ වාග් ප්‍රහාරයෙන් සිතා ගත හැකි ය. අමද්‍යප ආන්දෝලනය ගැන සාකච්ඡා කිරීම සඳහා රජ වාසලට කැඳවන ලද ධර්‍මපාලතුමා එතැනින් පිටව ආවේ ප්‍රමාද වී පැමිණි සුදු ආණ්ඩුකාරයාට බැණ වදිමිනි.

ඒ අවස්ථාවෙහි ලංකාවෙන් බැහැර යාමට ද ධර්‍මපාලතුමාට සිදුවූයේ ඒ බහින්බස් වීම බව ඇතැමුන්ගේ මතය වෙයි. මේ කාලය තුළ සුදු පාලකයන් විසින් ධර්‍මපාලතුමා හිර අඩස්සියට ගැනීමට ඕනෑම වේලාවක සූදානම් ව සිටි බව එතුමා ගැන ඒ දවස්වල තබන ලද රහස්‍ය වාර්තාවලින් මොනවට හෙළිවෙයි. “සිංහල බෞද්ධයන්ගෙන් සැදුම් ලත් සේනාංකයක් කැටිව කොළඹ වැටලීම සඳහා එක් උදෑසනක ධර්‍මපාල පැමිණ ඇතැයි අසන්නට ලැබුණොත් මම පුදුම ‍නොවෙමි.” යනුවෙන් ලක්මිණ පත්‍ර කර්‍තෘ විදේශභාර ලේකම්ට ලියා දන්වන ලද්දේ මේ යුගයේ දී ය. මේ යුගයෙහි සුදු පාලකයන් තුළ බිය දැන වූ එකම පුද්ගලයා ධර්‍මපාල විය.

ධර්‍මපාලතුමා මෙරටින් බැහැර සිටි 1915 – 1922 දක්වා කාලය මේ ර‍ෙට් දේශපාලන ඉතිහාසයෙහි ඉතා වැදගත් අවදියක් වෙයි.

එතෙක් ධර්‍මපාලතුමන් අත වැඩෙමින් පැවති අධිරාජ්‍ය විරෝධී සටන හිටි ගමන් වෙනස් වී අන් අතක් බලා ගමන් කළේ මේ අවදිය තුළ දී ය; ධර්‍මපාලතුමා රටින් බැහැර සිටි මේ යුගය තුළ දී ය. එතුමා විසින් ආරම්භ කරන ලද අධිරාජ්‍ය විරෝධී සටන තුළින් දේශපාලන ක්ෂේත්‍රයට පිවිස, මේ රටේ ජනතාවගේ නියමුවන් බවට පත් වී සිටි පිරිස විසින් සංශෝධන මාර්ග තුළින් මෙරටට නාම මාත්‍ර නිදහසක් ලබා දී රටෙහි පාලන බලය තමන් අතට පත්කර ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ මේ යුගය තුළ දී ය. මේ අවදිය තුළ සිදු වූ මේ පෙරළිය සැකෙවින් හෝ වටහා නොගතහොත් ධර්‍මපාලතුමන්ගේ කළකිරීමට මූලික හේතුව අප විසින් වටහා ගත නොහැකිය.

ධර්‍මපාලතුමන්ගේ ව්‍යාපාර තුළින් ජන නායකයන් බවට පත් වී සිටි එහෙත් මේ වන විට ඒ මුල් අධිරාජ්‍ය විරෝධී සටන පාවා දී උන් ඒ නායකයනුත් සුදු පාලකයනුත් අතර මේ යුගය තුළ ඇති වූ ප්‍රතිසංස්කරණය අරභයා පැන නැගුණු මතභේද හැඳින්විය යුත්තේ සියුම් කඹ ඇදිල්ලකට ය. ඒ කඹ ඇදිල්ලෙහි පරමාර්ථය වූයේ මේ නායකයන් සම්පූර්ණ අධිරාජ්‍ය ගැත්තන් බවට පත් කිරීම යි. දේශීය නායකයන් තමන්ට තවත් වැඩි බලතල ඉල්ලා සිටි හැම විටක ම පාලකයන් ඔවුන්ට එරෙහි වූයේ ඔවුන් තව තවත් තමන්ට නතු කර ගැන්මේ අභිලාෂයෙනි.

“සෝබන මාලිගාව” අනගාරික ධර්මපාලතුමා රට වටා සංචාරය කළ රථය

මේ නතුකර ගැනීම සාර්ථක වූ පමණටය කඹය බුරුල් කරන ලද්දේ. මේ වනවිට මුල දී මැද පංතියකට අයිති වී සිටි මේ නායකයන් ද ධන හිමි පංතියක් බවට පෙරළී තිබිණ. එබැවින් ඔවුන්ට ද වඩා හිතකර වූයේ සටනක් නොව ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් සුදු පාලකයන්ගේ තත්වයට පැමිණීම යි. ආර්ථික – සමාජ රටාව වෙනස් කරන මූලික වෙනසක් නොවේ ඔවුන්ට අවශ්‍ය වූයේ. 1908, 1920, 1924, 1931 යන වකවානුවල සිදු වූ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සියල්ල අප විසින් වටහා ගත යුත්තේ මේ න්‍යාය ඇසුරෙනි. තමන්ට අවනත වන සුළු, අධිරාජ්‍යවාදී, කළු පිරිසක් ස්ථාපිත වනතුරු මේ කඹ ඇදිල්ල සූක්ෂ්ම ලෙස ගෙන ගිය සුදු පාලකයන්ගේ තීක්ෂණ ඥානය අපගේ ගෞරවයට ලක්විය යුත්තකි.

සත් වසක් ඉන්දියාවේ සිර අඩස්සියේ සිට පෙරළා පැමිණි අනගාරික ධර්‍මපාලතුමා මේ කඹ ඇදිල්ල වටහා ගන්නට ඇත්තේ කෙතරම් කළකිරීමකින් දැ යි අපට වටහා ගත හැකිය. තමන්ගේ පහනින් එළිය දැක, දේශපාලන ක්ෂේත්‍රයට පැමිණි නායකයන් ධනහිමි කොම්ප්‍රදෝරු පංතියක් බවට පත්ව ඒ අධිරාජ්‍ය විරෝධී සටන ඉවත දා සිටිනු දුටු එතුම‍ාගේ ප්‍රාර්ථනා සියල්ල සිඳී යන්නට ඇත.

ප්‍රතිසංස්කරණ මාර්‍ගයෙන් තමන් අතට බලය ලබාගැනීම එක ම අභිලාෂය කොට ගෙන ඇති මේ පංතියට දැන් උවමනා අධිරාජ්‍ය විරෝධී සටනක් නැත; බහු ජනතාවගේ විමුක්තිය සලසා දෙන ආර්ථික – සමාජ පෙරළියක් නැත. ඔවුන්ගේ හිත සුව පිණිස ගොඩනැඟිය යුතු ධර්මිෂ්ඨ බෞද්ධ රාජ්‍යයක් නැත. ඔවුන්ට උවමනා එකම දෙය නම් තමන්ගේ පංතියට වෙත සියලු බලය හිමිකර ගනු පිණිස රාජ්‍ය තන්ත්‍රය සිය අතට ගැනීම යි. මේ බව දුටු ධර්‍මපාලතුමා වියරු වුණු එකෙකු මෙන් සිය ව්‍යාපාරය යළි ආරම්භ කළ සැටි ඒ යුගය තුළ ධර්‍මපාලතුමා කළ කී දේවලින් මොනවට පැහැදිලි වෙයි.

1921 අප්‍රේල් මස ලංකාවට පැමිණි සැණෙන් ධර්‍මපාලතුමා කොළඹ අවට රැස්වීම් විස්සක් සංවිධානය කෙළේය. ඒ රැස්වීම් පිළිබඳ රහස් පොලිසිය විසින් තබන ලද වාර්තාවලින් කීපයක් මම ඉහතින් දැක්වූයෙමි. ඒ වාර්තා සංකල්පනා ශක්තියෙන් යුතුව කියවන්නෙකුට මේ අවදිය තුළ ධර්‍මපාලතුමා පරාජය අභිමුඛ කොට ගෙන ගිය අවසාන සටන ගැන අපූර්‍ව අවබෝධයක් ලබාගත හැකි ය. මේ සටනේ දී ඔහු තනි වූ සැටි, අධිරාජ්‍ය ගැති නායකයන් විසින් ඔහු පිටුදකින ලද සැටි, ඔහුට සවන්දීමට රැස් වූ පිරිස, සිඳුණු අපේක්ෂා විසින් ධර්‍මපාලයන් වෙත ආරූඪ කරන ලද සාහසික විලාසය මේ ආදී වූ සියල්ල රහස්‍ය වාර්තා ඇසුරෙන් මැනවින් දැක ගත හැකි ය.

එහි දී අයි.ජී.පී. විසින් ධර්‍මපාලතුමන් අරභයා කරන ලද විවරණය ඒ වකවානුව වන විට ඔහු ලබා සිටි නියම තත්වය නොමඳව හෙළිකරන්නකි යි මම සිතමි. “දැන් ඔහු ගණන් ගත යුතු පුද්ගලයෙක් නොවේ. කිසිදු බලපෑමක් කිරීමට ඔහු දැන් අපොහොසත් ය. ඔහු ඇසුරු කරන පිරිසක් හෝ ඔහු පසුපස යන අනුගාමික පිරිසක් හෝ දැන් නොමැත. 1915 ට පෙර දී නම් ධර්‍මපාල ඉතා හොඳින් සෙවිල්ලට බැලිල්ලට ලක් කළ යුතු ව සිටි නූගත් ජනයා කුපිත කළ නායකයෙක් විය.” අධිරාජ්‍ය ගැති මෙරට නායකයන් ද ඒ වන විට මේ කරුණ වටහා ගත් බව නොවේ ද සර් පොන්නම්බලම් රාමනාදන් මහතා විසින් ආණ්ඩුකාරයාට ලියා එවන ලද ලියමනින් හෙළිවන්නේ.

ඒ ලියමන ධර්‍මපාල බේරාගන්නා අදහසින් ලියන ලද්දක් වුව ද ඔවුන් ඒ වන විට ධර්‍මපාල අරභයා දැරූ ආකල්පය හොඳින් හෙළිකරන්නකි. “මම ඔහු තරුණ වියේ සිට හොඳින් දැන සිටියෙමි. ඔහු තවුසෙකි. එහෙත් කර්කෂ ගති ඇත්තෙකි. සිය රටවැසියන් මෙන්ම සංඝයා ද ඔහුගේ ඒ කර්කෂ විවේචනයට ලක්වෙයි. එහෙත් මෙරට වැසියෝ පසුගිය අවුරුදු විස්ස තුළ ඔහු කී දේට සවන් දීමට කැමැත්තක් පළ නොකළහ. ලංකාව තුළ ඔහුගේ බලපෑම බිංදුවකි.”

මෙරට යළි බෞද්ධ රාජ්‍යයක් බිහිකරනු වස් තමා විසින් පටන් ගන්නා ලද මුලු ව්‍යාපාරය ම සුනු විසුනු වී ගොස් තමා පරාජයට පත්ව ඇති සැටි ධර්‍මපාලතුමාට මේ වන විට මැනවින් පෙනී යන්නට ඇත. කළකිරීමෙන් හෙම්බත් වූ එතුමා ‘තමා ම පහනක් කොට වාසය කරව්’ යන ආප්තය පිළිගනිමින් දේශපාලන – සමාජ ක්ෂේත්‍රයෙන් ඈත් වී මෙරටින් ද සදහට ම පිට වී යාමට තීරණය කිරීම අපට වටහාගත හැකි ය. බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීම් වස් මුළු ජීවිත කාලයක් දරන ලද පරිශ්‍රමය මිරිඟුවක් පසුපස ලුහු බැඳ යාමක් සේ එතුමාට පෙනෙන්නට ඇත. එහෙත් ඒ මිරිඟුව මෙරට ජනතාව විසින් කාලාන්තරයක් යන තුරු ලුහුබැඳ යන්නක් බව ධර්‍මපාලතුමන් විසින් එවේලෙහි නොදකින්නට ඇත.

ධර්‍මපාලතුමන්ට සිය අභිමතාර්ථය වන මෙරට යළි බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීම ඉටුකර ගත නොහැකිවූයේ ඇයි? ඒ සටනේ දී ඔහු කොන්වී ගොස් ඔහුගේ ව්‍යාපාරය දඩමීමා කරගත් අධිරාජ්‍ය ගැති පිරිසකට සිය අභිමතාර්ථ සාධනය ඉටුකර ගතහැකි වූයේ ඇයි? ධර්‍මපාලතුමා බුදු දහම පිළිබඳ දැරූ ආකල්පය නිවැරදි නම්, මෙරට ඈත අතීතය පිළිබඳ ඔහුට තිබුණු අවබෝධය නිවැරදි නම් මෙවැනි ඉරණමක් ඔහුට අත්වූයේ ඇයි?

මීට හේතුව ධර්‍මපාලතුමාගේ පෞරුෂත්වය ඉක්මවා සිටින, කිසියම් ඓතිහාසික නිසාම ධර්‍මයකට අනුකූල වූ ක්‍රියා පද්ධතියක් මෙහි දී ක්‍රියාත්මක වීම ද? ඒ ක්‍රියා පද්ධතියට එරෙහිව නැගිට සිටීමට අවශ්‍ය ශක්තිය ධර්‍මපාලතුමාට නොතිබීම ද? මේ ප්‍රශ්නවලට නියම පිළිතුරක් ලබා ගැනීමට නම් ධර්‍මපාලතුමා විසින් ක්‍රියාවට නැංවීමට තැත්කළ බෞද්ධ රාජ්‍යය ගැන, එහි සංස්කරණය ගැන, එහි ව්‍යුහය ගැන අප විසින් වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගත යුතු ය. එවිට පමණි ධර්‍මපාලයන් ඉටුකිරීමට බලාපොරොත්තු වූ කාර්යය මේ සියවස තුළ ඉටුකර ගත හැකි යථාර්ථයක් ද නැත්නම් පුහු මනඃකල්පයක් ද, සිහිනයක් ද යන්න අපට තීරණය කළ හැකි වන්නේ.

මේ සඳහා ඇති හොඳම මඟ නම් ධර්‍මපාලයන්ගේ සංකල්පයට මෙන්ම මෙරට අතීතයෙහි ‍පැවති බෞද්ධ රාජ්‍යයට ද මොඩලය වූ – ප්‍රාග් මොඩලය වශයෙන් අපට සැලකිය හැකි අශෝක බෞද්ධ රාජ්‍යයෙහි ව්‍යුහය – සංස්කරණය ගැන සලකා බැලීම යි.

 

උපුටා ගැනීම
ගුණදාස අමරසේකරගේ අනගාරික ධර්‍මපාල මාක්ස්වාදී ද? කෘතියෙනි.

“ලංකාවේ පැවැති විජිතවාදී ආර්ථික ක්‍රමයත්, අසමාන ලෙස ධනය බෙදී යාමත්, සමාජ ප්‍රතිසංස්කරණය සඳහා වූ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ඉතා ම වැඩි සැලකිල්ලක් දක්වන ලද්දේ රැඩිකල්වාදීන් විසිනි. ඔවුන් අතුරෙන් ඉතා ම සෘජුව කතා කළ තැනැත්තා වූයේ අනගාරික ධර්මපාල ය. නිතර නිතර රටපුරා සංචාරයෙහි යෙදුණ ඔහුට දුප්පත්කම හා සමාජ විෂමතා කරණ කොට ගෙන ගොවියනුත් නගරබද දිළින්දනුත් අතර ඇති වී තිබුණු පල විපාක ගැන අවබෝධයක් ලැබිණ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ධනවතුන් සෑහෙන උනන්දුවක් නොදැක්වීම ගැන ඔහු සඳහන් කළේ මහත් ශෝකයෙනි. 1906 දී දරුණු ජල ගැලීමක් ඇති වූ අවස්ථාවේ දී යටත් විජිත ලේකම්ට ලිපියක් යැවූ මහා මාලිගා වැනි මහා මන්දිරවල ජීවත්වන අපට දිළිඳු ගැමියන් විඳින භයානක දුක ගැන කිසි අවබෝධයක් ඇතිවීමට නුපුළුවනැයි කීවේය. ඊට පිළිතුරු දුන් යටත්විජිත ලේකම් “මා දුටු පමණින් නම් මට පෙනුණේ මේ දිළිඳු ගොවීන් ගංවතුරෙන් මහත් විනෝදයක් ලැබූ බව ය” යි අවඥා සහගත ලෙස සඳහන් කෙළේ ය.
කුමාරි ජයවර්ධන ‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ නැඟීම’

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ධර්මපාල තුමා ඒ දවස්වල කලේ අධිරාජ්‍ය විරෝධී සටනක්.ඒක කරන්න ලේසි වුනේ සිංහල බෞද්ධයන් එක්ක. අලුත් අනුගාමිකයන්ට දැන් තියෙන්නේ ඒකම කරන්න. බුද්ධාගම කොහොමත් ආණ්ඩුවෙන් ආරක්ෂා කරලා දීලනේ තියෙන්නේ.

Comments are closed.