ප්‍රංශ විප්ලවයේ දී ජැකොබින්වරු ලූවී රජතුමා ඝාතනය කළ පසු රජතුමාගේ ස්ථානය පමණක් ඉතිරි විය. ප‍්‍රංශ විප්ලවයේ දී සිදු වූ මෙම රජතුමාගේ ඝාතනය දේශපාලන විශ්ලේෂණවල දී ව්‍යුහාත්මක තලයේ තියුණු විපර්යාසයක් සිදු කළේය. මෙම ඝාතනයට පසු සමාජයට ‘පරම පාලකයෙක්’ ආදේශ වීම ප‍්‍රබුද්ධ තලයේ අහෝසි විය. බලහත්කාරයෙන් හෝ කැමැත්තකින් තොරව පාලිතයන් පාලනය කිරීම දේශපාලන විද්‍යාවෙන් තුරන් වූයේ ප‍්‍රංශ විප්ලවයට පසුවය. රජුගේ ඝාතනයට පසුව ඔහු සතුව පැවති ස්වෛරී බලය මහජනයාට මාරු විය. නමුත් ගැටලූව වූයේ මහජනයා වෙතට විතැන් වූ ස්වෛරී බලයේ ස්වරූපය කුමක්ද යන්නය. මෙම බලය මහජනයා අතට පත්වීම නූතන සමාජයේ අත්තිවාරමයි. නූතන සමාජයේ මධ්‍යය යනු තවදුරටත් අත්තනෝමතික බලයක් සහිත රජතුමෙක් නොවේ. බලය මධ්‍යගත වන්නේ හිස්තැනකය.

ඉහත ඓතිහාසික වෙනස් වීම හරහා පැරණි වැඩවසම් සමාජයේ අත්තනෝමතික බලහත්කාරය හෝ ආධිපත්‍යය වෙනුවට ‘බලය’ අර්ථ දක්වන නව ස්වරූපයක් සමාජ-දේශපාලන න්‍යායට අවශ්‍ය විය. මිචෙල් ෆූකෝ නම් ප‍්‍රංශ ජාතික දාර්ශනිකයා ඉදිරිපත් කරන ‘බලය’ (Power) නම් සංකල්පයේ බලගතු දේශපාලන ස්වරූපය වන්නේ එමඟින් ඉදිරිපත් කරනු ලැබූ තිසීසයයි. මිචෙල් ෆූකෝට අනුව ප‍්‍රංශ විප්ලවය විසින් රාජ්‍ය නායකයා වූ රජු ඝාතනය කළාට පසුව ස්වයංක‍්‍රීයව පාලනය වන සමාජයක් බිහි විය. මෙම ස්වයංක‍්‍රීය සමාජයේ ගුරුත්ව කේන්ද්‍රය තුළ ඇත්තේ මිනිස් ආත්මය විසින්ම බාහිරට ප‍්‍රක්ෂේපණය කරන ලද ගුප්ත බලයකි. මෙම ‘බලය’ සාම්ප‍්‍රදායික සමාජයක දී මෙන් ඉහළ සිට පහළට ගලා එන්නක් නොවේ. එය පහළ සිට ඉහළට යොමු වන බලයකි. එය ක‍්‍රියා කරන්නේ සිරස් තලයකය.

ෆූකෝගේ ‘බලය’ පිළිබඳ සංකල්පය මාක්ස්වාදය බලය පිළිබඳව ඉදිරිපත් කරන පන්ති ආධිපත්‍යය සංකල්පයෙන් වෙනස්ය. ෆූකෝට අනුව පන්ති ආධිපත්‍යය යනු බලය ස්ථානීය යථාර්ථයකට ඌනනය කිරීමකි. නමුත් ෆූකෝට අනුව බලය යනු සෑම තැනකටම විසිරී ඇති ප‍්‍රපංචයකි.

මිචෙල් ෆූකෝ විසින් ‘බලය’ ක‍්‍රියාත්මක වන ආකාරය පහදා දීමට ඉදිරිපත් කරන ලද අවකාශීය සැලැස්ම ඔහු හඳුන්වන්නේ පැනොප්ටිකන් (Panopticon) යනුවෙනි. එහි දළ රූප සටහන පහත දැක්වෙයි.

Power and Discipline
Power and Discipline

 panopticon 2

 

සිරගෙදර සිටින සිරකරුවන් අතිවිශාල ප‍්‍රමාණයක් තනි පුද්ගලයකු මඟින් පාලනය කිරීමට අවශ්‍ය වන ගෘහ නිර්මාණ ආකෘතියක් මුලින්ම ගොඩනැගුවේ ජෙරම් බෙන්තන්ය. සිරගෙදර මුරකරුවා සිටින්නේ සිරගෙදර මැද ඉදිකර තිබෙන විශාල අට්ටාලයේය. ඒ වටේ වෘත්තාකාරව මහල් කිහිපයකින් යුතුව සිරකුටි තනා ඇත. ඒ තනි තනි කුටිවල වෙන වෙනම සිරකරුවන් ගාල් කර ඇති අතර, සිරගෙදර මධ්‍යයේ ඇති මුර අට්ටාලයේ සිටින මුරකරුවාව ඔවුන් සෑමදෙනාට දෘශ්‍යමාන වෙයි. මෙම තනි තනි සිරකුටිවල සිටින සෑම සිරකරුවෙකුට පෙනෙන්නේ මුරකරුවා තමන් දෙස නිරීක්ෂණය කරමින් සිටින බවය. ෆූකෝ නූතන සමාජයේ ‘බලය’ ක‍්‍රියාත්මක වන ආකාරය පහදන්නේ ‘පැනෝටිකන්’ ආකෘතිය මත පදනම් වෙමිනි.

මිචෙල් ෆූකෝ අපට පහදන්නේ තනි සිරකුටිවල සිටින සිරකරුවන් තම ශරීරය හික්මවන්නේ අර මුරකරුවාගේ ‘නැරඹීම’ සමපේක්ෂණය කරමින්ය. මුර කුටියේ ඇතුළත මුරකරුවා ඇත්තටම හිටියත් නැතත් සිරකරුවන් මුරකරුගේ ‘නැරඹීම’ තමන් තුළට අභ්‍යන්තරීයකරණය (බාහිර ආධිපත්‍යය තම අභ්‍යන්තරය තුළට අවශෝෂණය කිරීම) කරයි. එමඟින් බහුතර සිරකරුවන් මනාව ශික්ෂණය වෙයි. එය සිරගෙදර මිනිසුන් පාලනය කිරීමේ ඉතාම කාර්යක්ෂම මාදිලිය බවට පත්වෙයි. මිචෙල් ෆූකෝ අපට පහදන්නේ නූතන සමාජය සහ එහි සංස්ථාපිත තුළ දී [පවුල, පාසල, විශ්වවිද්‍යාල, පන්සල, සිරගෙදර, ඉස්පිරිතාල, දේශපාලන පක්ෂ, රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල] ‘බලය’ ක‍්‍රියාත්මක වන අදෘශ්‍යමාන ස්වරූපය පැනොප්ටිකානු ආකෘතිය බවයි.

මෙමඟින් අපට බැසගත හැකි නිගමනය කුමක්ද?

මිචෙල් ෆූකෝට අනුව මිනිසුන් ශික්ෂණය (හික්මවීම) වන්නේ වෙනත් කෙනකු (මේ වෙනත් කෙනා මෙම උදාහරණයේ දී ජේලර්වරයෙක් වුවත් ඒ සඳහා ආයතන ප‍්‍රධානියෙක්, පක්ෂයක ප‍්‍රධානියෙක්, සැමියෙක්, බිරිඳක්, ගුරුවරයෙක් වශයෙන් විවිධ සමාජ භූමිකා ආදේශ විය හැකිය) අපි දෙස බලා සිටිනවා යන අනුමානය නිසාය. ඊළඟට මුර කුටිය තුළ සැබැවින්ම කෙනෙකු සිටියත් නැතත් මෙම යාන්ත‍්‍රණය සිදු වන නිසා නූතන ‘බලය’ යන ප‍්‍රපංචය ක‍්‍රියාත්මක වන ආකාරය දෘශ්‍යමාන හෝ යථාර්ථය නම් තිරය මත වැටෙන හෙවණැල්ලක් නොවේ. රජුගේ ඝාතනයට පසු ‘පාලකයා’ යන සංකල්පයේ රැඩිකල් වෙනසක් අප මෙහි දී අපේක්ෂා කළ යුතුය. පැරණි අර්ථයට අනුව පාලකයා විසින් පාලිතයා බලහත්කාරයෙන් පාලනය කරනු ලබයි. නමුත් නූතන පාලකයා යනු අපගේ කැමැත්ත (මෙහි පුළුල් අර්ථය අපට බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දක්වා දිගු කළ හැකිය) මත නිෂ්පාදනය වෙයි. මිචෙල් ෆූකෝ බලය පිළිබඳ අදහසට අනුව නූතන සමාජ ‘ශික්ෂිත සමාජය’ ඒවා ශික්ෂණය කරන්්නන් අනුභූතික තලයේ දී බාහිරින් අපිට හමු වුවත් එවැනි අය අපගේම විඥාන නිෂ්පාදනයන් මිස බාහිර චරිත නොවේ. ‘බලය’ පිළිබඳ මෙම නව අදහස නිසා ‘නිෂ්පාදන මාදිලිය’ තුළ අපිට හමුවන ආධිපත්‍යය පිළිබඳ මාක්ස්වාදී අදහස විවේචනයට ලක් වෙයි. මන්දයත් ‘පාලකයා’ යනු පන්ති බලයක් නොව පීඩිතයාගේම සමපේක්ෂණ අනුමානයක් නිසාය. නූතන සමාජය තුළ CCTV කැමරාවක් සහ ආයතන හෝ පක්ෂ නායකයකු අතර වෙනසක් නැත. CCTV කැමරාවක් ඇති තැන මිනිසුන් ස්වයං-විනයකට ලක් වෙයි. විප්ලවවාදී පක්ෂයක් විසින් කාඩර්වරුන් විනයගත කරන මාදිලියේ X කිරණ පිටපතක් නූතන CCTV කැමරා ආකෘතිය මඟින් අපිට හෙළිදරව් වෙයි. හික්මවීමේ තාක්ෂණයන් හෝ ස්වයං-නවෝත්පාදන චර්යාවන් යනු ආත්මීය නිෂ්පාදන මිස බාහිර මර්දනකාරී ප‍්‍රතිරූපවල මෙහෙයවීමක් නොවේ.

මිනිසුන් ශික්ෂණය වන්නේ ආත්මීය තලයක මිස වාස්තවික තලයක නොවේ නම් මිනිසුන් ශික්ෂණය වන්නේ මන්ද? නූතන බලයේ අදෘශ්‍යමාන තැන වන්නේ එතැනයි. නූතන සමාජයේ යාන්ත‍්‍රණය තුළ විවිධ ශික්ෂණ යාන්ත‍්‍රණ (පාසල, හිරගෙදර, ඉස්පිරිතාලය, කාර්යාලය, බැරැුක්කය, පක්ෂය) නොමැත. ඇත්තේ එකකි. එය සිදු වන්නේ CCTV ආකෘතියෙනි. එනම් යම් යම් ආධිපත්‍යයන් මිනිසුන් සොයා යනවා මිස ආධිපත්‍යය මිනිසුන් හඹා යනවා නොවේ. මෙහි දී දිශානතිය මාරු වී ඇත. මිනිසුන් මර්දනකාරී ආධිපත්‍යයට කැමැත්ත පළ කරන්නේ මන්ද?

මිචෙල් ෆූකෝගේ ‘බලය’ [Power] පිළිබඳ අර්ථකථනය අපිට පහත පරිදි සාරාංශගත කළ හැකිය.

 

”බලය සඳහා කැමැත්ත ඇති අයට ඒ සඳහා අවශ්‍ය දැනුම බලය විසින්ම හඳුන්වා දෙනු ලැබේ. මින් අදහස් වන්නේ දැනුම හෝ ඥානය නිතරම නූතන යුගයේ කරන්නේ බලයේ මහඟු ප‍්‍රතිඵලවලට උදව් දීමයි. දැනුම නැතිව බලය පාවිච්චි කළ නොහැකිය. අවසන් විග‍්‍රහයක දී දැනුම විසින් ‘බලය’ උත්පාද කරනවා හැර අන් යමක් නොකරයි.”

 

පුද්ගලයකු අනෙකෙකු දෙස බලා සිටීමෙන් (බලය සහිත කෙනෙකු) ස්වයං ශික්ෂණයකට ලක් වෙයි. එම ශික්ෂණය උත්පාදනය කරන්නේ බාහිර ආයතනයක් නොව තමා විසින්ම බව ද දැන් අප දන්නෙමු. එසේ නම් මේ අප දෙස නරඹමින් සිටින ‘අනෙකා’ (Other) යනු හුදු කල්පිතයක් පමණක් නොවේද? අප දෙස දිගටම නරඹමින් සිටින අනෙකෙකු පිළිබඳ අදහස යනුම අපගේ සිහිනයක් වීමට නොහැකිද? පුද්ගලයකු හික්මවී ක‍්‍රියා කරන්නේ අනෙකා පිළිබඳ කල්පිතයක් හරහා නම් අපට මාක්ස් හරහා එන ‘මර්දනය’ (Repression) යන සංකල්පයට නව මානයක් ගොනු වෙයි. සරල ලෙස කියන්නේ නම් මෙම ස්වයං-මර්දනයෙන් තොරව (මා දෙස නරඹන අනෙකා යනු මගේම කල්පිත නිර්මාණයක් යන අදහස – මෙය පවුලේ සිට පක්ෂය, රාජ්‍යය කරා දිගු වෙයි) ‘දේශපාලනය’ (පාලනය යන අදහස) යන අදහසට තේරුමක් එන්නේ නැත. දැන් අපට ‘බලය’ පිළිබඳ මිචෙල් ෆූකෝගේ අදහසෙන් ඔබ්බට ගමන් කිරීමට සිදු වෙයි. මිනිසුන් සිහියකින් තොරව තමන්ට බාහිර අනෙකුන්ට යටත් වීම තුළ ශික්ෂණයට වඩා වැඩි මනත් දෙයක් ඇත. ඒ සඳහා අපට ෆ්‍රොයිඞ් විසින් හඳුන්වා දුන් මනෝ විශ්ලේෂණය දෙසට හැරීමට සිදු වෙයි.

දීප්ති කුමාර ගුණරත්න

 foucalt 2

– ඉතිරිය; මර්දනය අප රුචි කරන්නේ එමඟින් ආත්මයට එකතු වන ශෘංගාරය නිසාය –

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...