මම මේ කියන්න යන්නේ වාර්තා චිත්‍රපටියක් ගැන. චිත්‍රපටියේ අධ්‍යක්ෂක නන්දන වීරරත්න. මේ වාර්තා චිත්‍රපටයෙන් විස්තර කරන්නේ  පලුටාවේ සිදුවූ දරුණු සිද්ධියකින් පසු වැසියන් තම දැඩි වේදනාවන් සමනය කර ගත්තේ කොහොමද යන්න ගැන.
(පළමු පින්තුරයේ ඇත්තේ පලුටාව යන නම ගිනි දැල්වෙන කහ අකුරෙන් ලියා දකුණු පස ගිනි ගොඩකි.)

පලුටාව කියන්නේ මධ්‍යම පළාතේ පුංචි ගමක් . අධ්‍යක්ෂකවරයා පවසන විධිහට මේ ගම්වැසියන් ලංකාවේ  ආදී වාසීන් වන වැඩි ජනතාව ගෙන් පැවත එන අය. නන්දන විරරත්නට අනුව මුළු ගමේම වාසගම් හතරලු  තියෙන්නේ.

පලුටාවේ ජිවත් වුනු මිනිස්සු බොහෝ විට මියෑදුනේ ස්වභාවික හේතුවකින් මහලු වියේදී, නැත්නම් ඉඳ හිට අලියෙක් මුලිච්චි වෙලා, එහෙමත්  නැත්නම් ලෙඩකින්. වසර 1987 අග  වන කොට ලෝකේ විශාලම හමුදාවකින් ලක්ෂ දෙකහමාරක සොල්දාදුවෝ ලංකාවට ගොඩ බැස්ස. ඒ ගොඩ බැස්ස ඉන්දියන් හමුදාව සටන් කළේ වන්නිකරේ ඊලම් කොටි එක්ක. ඒක මේ ගමේ නිසසල බවට බලපෑමක් කළේ නැහැ.

නමුත් 1989 වප් මස (ඔක්තෝබර්) හත් වනදා  මේ හැම දෙයක්ම වෙනස් වුනේ ගම ළඟම සිදුවුණු  බෝම්බ පිපිරීමකින්.

ඒකාලේ වෙනකොට ඉන්දියන් හමුදාව හා කොටි එක පැත්තක රටේ සටන් වදින කොට ශ්‍රී ලංකාවේ  දකුණු පැත්තේ වෙනම සිවිල් යුද්ධයක්. පිඩිත කියල කියන ජනතාව  එකට සටන් කළ යුතුව තියෙද්දී සටන් කරන්නෙ  බෙදිලා. උතුරේ අය නාසිවාදීන් වගේ. දකුණේ අය  පොල්පොට් ල වගේ.  තනිකරම ලේ ගංගාවක් සුන්දර ශ්‍රී ලංකාව පුරා  ගලා යනවා.

(මේ පින්තුරයේ ඇත්තේ පියා  නැති මිනිබිරියට මිත්තනිය ඉතිහාස කතාවක්  වැව අද්දර සිට කියන අයුරුය. ඈතින් පෙනෙන්නේ සිගිරි ගලයි.)

ඒ තීරණාත්මක දවසේ 1998 ඔක්තෝබර් 7 පලුටාව ගම  අසල බිම් බෝම්බයක් පුපුරා යනවා.   දකුණේ සිංහල සටන්කාමීන් රජයේ හමුදාවට විරුද්ධව ඇටවූ බෝම්බයෙන් ගජබා රෙජිමේන්තුවෙන් යැවූ නිරීක්ෂණ හමුදා ඛණ්ඩයක සිංහල හමුදා භටයන් දෙදෙනෙක් මිය යනවා. දෙමළ සටන්කාමීන් සමග තිබූ යුද්ධයේ මෙවැනි තත්වයකදී මැරෙන  එක සොල්දාදුවෙකුට දහ  දෙනෙක් මරණ පුරුද්දක් රජයේ හමුදාවලට තිබුණලු. හැබැයි ඒ මරණ දහ දෙනා හොයා ගන්නේ අහල පහලින්. සටන්කාමීන් හෙවත් ත්‍රස්තවාදීන් පැනල යනවා  හමුදාව එනකොට. ඉතින් හමුදාව වාඩුව අල්ලන්නේ ළඟම තියෙන ගමෙන්. මේ දවසේ ඒ අවාසනාවන්ත වළාකුල පෑයුවේ පලුටාවට.

හමුදාවේ අනුපාතයට අනුව විස්සක් ඕනෑ වුනත් ඔවුන්ට විසි තුනක් ම හිටිය. මේ පිරිමි වයස දාහතරේ සිට හතළිස්  පහ දක්වා අය. පෝලිම් ගස්සල වෙඩි තියන කොට එක්කෙනෙක් වෙඩි වැදිලා වගේ වැටුන . ඒ ගමගෙදර අබේරත්න. මේ තේරුමක්  නැති සමූල ඝාතනයේ එකම සාක්ෂිය. මම අසූ ගණන් වල මේ වගේ දේවල් වෙනවා කියල ඇදහුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය වගේ රටවල. මා උපන් රටේ මෙහෙම වෙනවා කියල දැනීමත් දරුණු කම්පනයක් ඇති කරනවා.

(මේ පින්තුරයේ පලුටාව ප්‍රධාන මාර්ගය දැක්වේ.  හමුදා වහනය සිරකරුවන් රැගෙන ගිය මාර්ගයේ ගස් වල දෙපස ඇත.)

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන නන්දන වීරරත්න පලුටාවේ වැසියන්ව මුලින්ම හමුවෙන්නේ 1990. ඔහු විසින් ඉන්පසු කඩින් කඩ ගමට යමින් චිත්‍රපටිය රූගත කළා.

මියගිය අහිංසකයන්ගේ සහෝදරියන්, බිරියන් , මව්වරුන් හිතේ දැවෙන දරුණු විරහය මැඩ ගෙන පිළිතුරු දෙනවා කැමරාවට. නමුත් ඒ මුහුණු මහන්සියෙන් දුක් ගින්නෙන් වේලිලා, වැටෙන කඳුළු වලින් ඒ මුහුණු තෙත් වෙන්නේ නැහැ. 

තාත්ත නැති එක දරුවෙක් නෙමෙයි. දරුවෝ ගොඩක්. අපි දන්නවා තාත්තා නැති රණ විරුවන් ගේ ළමයි ඉන්නවා කියල. ඒ දරුවෝ විඳින දුකක් තිබෙනවා. නමුත් රට වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ දරුවන් හැටියට ඔවුන්ට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ආධාර ලැබෙනවා . පාසල් ලැබෙනවා. නමුත් මේ “ද්‍රෝහීන්” ගේ ළමයි. ඇත්තටම ඔවුන් ගේ පියවරුන් වරදක් නොකලත් හමුදාවේ වරදක සාක්ෂි වෙන ළමයි රොත්තක් මේ. උන් ගැන කවුරුත් බලන්නේ නැහැ.

නන්දන වීරරත්න කැමරාව මෙහෙයවන්නේ ඉතාම සුක්ෂම නමුත් පියකරු ලෙසට.  සංචාරකයන් වශී වෙන සුන්දරත්වය විටෙක පෙන්වන ඔහු බුදු දහමින් සැනසෙන ජනතාවක් බුදුන් පුදන නිවී සැනහුන ස්වභාවය පෙන්වන කොට හිතෙන්නේ මේ සංචාරකයන් වෙනුවෙන් කළ චිත්‍රපටියක් කියල. සිගිරි ගල නිල්වන් ජලාශය උඩින් ඈතින් පෙනෙනවා. 

මේ අතිශයින් සුන්දර දර්ශන මැදින් දිළිඳුකමින් නිරන්තරයෙන් පීඩා විඳින ගම්වැසියන් සමුහයක් නෙතට හමුවෙනවා.  තමන්ගේ සිතේ වේදනාවක්, කරදරයක් කාට හරි කියන කොට ඒකෙන්   කියන කෙනාගේ හිතට සැහැල්ලුවක් ඇති වෙනවා කියල අදහසක් තිබෙනවා. සමහර විට ඔවුන් නන්දන වෙනුවෙන් මේ කතාව කිව්වේ එනිසා වෙන්න පුළුවන්.

ඔවුන්ගේ දුක් දෝමනස්සයන් කැටිව ගෙන කඳුළු අතරින් කියවෙන කතාව අවසන් වෙන්නේ අපේ නෙතටත්  කඳුලක් උනමින්. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය එතරම්ම ප්‍රබලයි.  ඉතින් මේ වාර්තා චිත්‍රපටය අවසානයේ ලන්ඩනයේදී එක් රැස් වෙලා  අපි කතා කලා. 

මේ ගමට යුධ සෙබළුන් පැමිණියේ අසල තිබූ පැල්හවැර ගජබා රෙජිමේන්තුවේ හමුදා අණුකණ්ඩයෙන්. එම 1990 වසර අවසන් වනවිට සිංහල ත්‍රස්තවාදීන්  යැයි සැක  කල සියල්ල සමූල ඝාතනය කිරීමෙන් අනතුරුව සෙබළුන් දෙමළ ත්‍රස්තවාදීන් මර්දනයට උතුරට පිටත් කෙරුනා.

(පලුටාවේ ඝාතනයේදී දරුවන්, සැමියන්, සහෝදරයන් අහිමි වූ කාන්තාවන්)

එවකට ගජබා රෙජිමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කය  භාර අණදෙන නිලධරයා වුයේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතායි. (ඔහු මේ සිදුවීමට සම්බන්ධයක් ඇතැයි  මේ ලිපියෙන් අදහස් කෙරෙන්නේ නැති බවත් පැහැදිලිව කිව යුතුයි)

පලුටාව

(ළා කොළ පැහැති  නව ගොයමින් පිරුණු සුන්දර පලුටාව ගම)

මට නම් ඛේදවාචකය හැටියට පෙනුනේ සෝමවංශ අමරසිංහ මහතාගේ හා ජවිපෙ භූමිකාව. එදා පැවති දේශපාලන ත්‍රස්තවාදය පටන් ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය අවතක්සේරු කරන්නට බැහැ. දයා පතිරණ, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ එල් ඩබ් පණ්ඩිත, එජාප නිලතල දරන්නන් වැනි  බොහෝ අය මරා දැමුණා.  හමුදාවේ සිට නිවසට එන අය මරා දමන්නට ජවිපෙ යයි කියන කොටසකින් නියෝගයක් එවුනා. නොයෙකුත් අනීතික හමුදා කණ්ඩායම් හා රජය  පැත්තෙන් එකට දහයේ නොව එකට  සියයේ අනුපාතයට තරුණයින් මරා දැමුණා හෝ අතුරුදහන් කෙරුණා.  සමහර අය ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබූ අහිංසකයින්. ජවිපෙ හිතවාදීන් ට තර්ජන එල්ල වුණා. ත්‍රිම විතාන, විජේදාස ලියනාරච්චි ආදීන් දරුණු වධ දී මරා දැමුණා. 

එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අය බිම් බෝම්බයක් තබා බියගුළුව  සැඟවුණා. ගම්  වැසියන් මරණ බව ඔවුන් නොදැන සිටින්නට විධිහක් නැහැ. ද්‍රවිඩ කොටිනුත් මේ දේම කළා. බිම්  බෝම්බ තබා පැන ගොස් හමුදාව දෙමළ ගම විනාශ කළ පසු ඒවා රූපගත කර බටහිර රටවල පෙන්වා මුදල් රැස්  කිරීම ඔවුන් කළා.  මිනිසුන් සැඟවී  සිටින කෝවිලක සිට ඉන්දියන් හමුදාවට පහරදී, ඉන්පසු ඉන්දියන් හමුදාව ඒ පහර දුන් තැනට ප්‍රති ප්‍රහාර එල්ල කරන විට එතැනින් පැන ගිය දෙමල සටන්කාමීන්, පසුව පැමිණ  ෂෙල් පහරින් මැරුණු මිනිසුන් වීඩියෝ කරන විට එයට විරුද්ධ වූ  කෙනෙක් තමා වෛද්‍ය නිර්මලා රාජසිංහම් (තිරාණගම) . ඔවුන් (ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සටන්කාමීන් )  ඇයව යාපනයේ දී මරා දැමුවේ ඒ නිසයි.

 ජවිපෙ ප්‍රසිද්ධ නායක සෝමවංශ අමරසිංහ හා නිල නොවන නායක කුමාර් ගුණරත්නම් ඉන්පසු උතුරේ යුද්ධයට හමුදාවට සහය දීමට ජවිපෙ මෙහෙය වූවා. මේ ගම වැනි තැනක වුනු සමුලඝාතන වලට විරුද්ධව  එදා හඬ නැගුවා නම් බොහෝ විට පසුව සිදුවූ දෙමළ වැසියන් ඝාතනය මග හැර ගන්නට ඉඩ තිබුන. 

ඉතින් අපි හමුදාවට චෝදනා කරනවද , දේශපාලකයන්ට චෝදනා කරනවද , මෙහෙයවන්නාට චෝදනා කරනවද කියල මට හිතා ගන්න බැහැ. මේ ලිපියේ අරමුණ මුළු හමුදාවකටම චෝදනා එල්ල කිරීම  නොවේ. හමුදාව කියන්නේ මනෝමුලික ආයතනයක්. එවැන්නක් පිහිටුවීම හෝ විසුරුවා හැරීම රජයකට හෝ ජනතාවකට කරන්න පුළුවන්. මේ මගේ අදහස පවසා  කාලයකට කලින් පල කෙරුව ලිපියක් . දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී රජය බිඳ වැටුනට පස්සේ කළු හිරකරුවන්ට වධ දුන් හා මරා දැමූ   පොලිස් නිලධාරියෙකු සාක්කි දුන්නා. එම නිලදරුවා  කඳුලින් තෙත් කරමින් කළු සිරකරුවන් ඔහුට සමාව දුන්නේ ඔහු කළේ අණ පිලි පැදීම පමණක් කියා.

මේ සමුලඝාතනයෙන් මාස  14 කට පසු එවකට පැවති රජය මරණ සහතික නිකුත්  කරලා එක පවුලකට රුපියල් 50,000 බැගින් වන්දියක් ලබා දුන්නා. ගැමියන්  එම මුදලින් ඝන්ඨාර කුළුණක් ඉදි කර තිබෙනවා. මරණ සහතික වල දක්වා ඇත්තේ මේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවකදී මිය ගිය අය වශයෙන්.   

මා දකින්නේ මේ චිත්‍රපටිය යථාර්තවාදී සිනමාවක අති ප්‍රබල නිරුපණයක් ලෙසින්.

බටලන්ද ඝාතන ගැන චෝදනා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය දැන් අතුරුදන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටවල තියනවා. ජනතා විමුක්ති පෙරමුණ එයට සහයෝගය දීල තිබෙනවා. ඇතැමුන් චෝදනා කරනවා මේ කරන්නේ හමුදාව එල්ලන්න වැඩක් කියල. නැහැ,  මුළු හමුදාවක්  එල්ලන්න කාටවත් බැහැ.  නමුත් සංහිදියාවක් ඇති කරන්නට හැමෝටම පුළුවන්. වේදනාව සමනය කර ගන්නට උදව් කරන්න පුළුවන්. එනිසා මෙවැනි දෙයකට දායක වුනු පක්ෂ දෙකකින් එහෙම කමිටුවක් බිහි කර ගැනීමම ජයග්‍රහණයක්. 

සමහර විට අපට මේ සොල්දාදුවන් සහ ගැමියන් මුණගස්වා අර පියවරු නැති ළමුන්ට තෑගි ටිකක් දුන්නා නම් හොඳයි කියලත් මට හිතෙනවා.  ඒකෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත් ඇත්ත. නමුත් දුක තුනී වෙන්න පුළුවන්. රටේ ජනතාවට සත්‍යය පහද දෙන්න පුළුවන්.

“චිත්‍රපටිය අවසාන වන එක රූප රාමුවකි. තනි කොකෙකු අඳුරු දියේ නොසැලී බලා සිටි. ඒ අසල දියේ වැටී බිඳී ගිය ගහකි. මා සිතන පරිදි මේ පින්තුරයෙන් අතිශයින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. ලෝකයේ තනිවූ බිඳී ගිය සිතක් සහිත රුවක් මගේ මනසේ මැවේ.”

– ඉදිරිපත් කර ඇති චිත්‍ර වාර්තා චිත්‍රපටයේ රූප රාමු වලින් ගත්  ඒවාය.
– අධ්‍යක්ෂක වරයා විසින් චිත්‍රපටියේ ඩිවිඩි වෙළඳපලට ළඟදීම නිකුත් කරනු ඇත.

Ajith Dharmakeerthi
අන්තර්ගතයේ වගකීම රචකයා සතුය.

ඔබේ අදහස කියන්න...