හිච්කොක්ගේ ප්‍රසිද්ධියට සහ ආකර්ෂණයට ලක්වූ ‍ප්‍රධාන චිත්‍රපටය වන්නේ,‘සයිකෝ’  (psycho) චිත්‍රපටය යි. ‘සයිකෝ’ චිත්‍රපටයේ කතා තේමාව එක අතකින්, පසුගිය දශක දෙකක කාලය තුළ දිග හැරී ගිය ලංකාවේ ඉතිහාස කතාව විය හැකිය. බණ්ඩාරනායක පවුලෙන් පාලන බලය රාජපක්ෂ පවුලට මාරු වීම, හිස්ටෙරික ව්‍යුහයකින් විපරිත ව්‍යුහයකට මාරු වීමකි. සීතල හැගීම් සහිත නෝමන් බේට්ස් අපට හමු වී ඇත. 

               “සයිකෝ” චිත්‍රපටයේ කතා තේමාව ඉතා සරලය. මාරියන් ක්‍රේන් යනු, හරියට ශ්‍රී ලංකාවේ ‘මේඝ මානසී’ වැනිය. මාරියන් යනු, තරමක අවුල් වියවුල්වලින් ගහණ, නාගරික නූතන කාර්යාල ජීවිතයට හුරු, එහෙත්, තම ලිංගිකත්වය රහසක් කොට ගැනීමට රුචි ගැහැනියකි. ඇගේ යටි සිත අත්හදා බැලීම් වලට ප්‍රවණතාවයක් ලෙස ඇබ්බැහි වී සිටින්නීය. තරමක විශාල මුදලක් නූතන ධනවාදය තුළ උපයා ගතහොත්, ‘නිදහස් ජීවිතයක්’ ගත කළ හැකි යැයි ඇය අනුමාන කරයි. මාරියන් තම ආයතනයෙන් මුදලක් යටිමඩි ගසා, තම පෙම්වතා සමඟ පුද්ගලික හෝටල් කාමරයක විනෝද වෙයි. පසුව, ඇය ඒ ගැන පශ්චාත්තාප වෙයි. චරිත ශුද්ධිය සදහා ඇය ඈත ගමක නිකේතනයකට ගමන් කරයි.

              මාරියන්ට ගම්බද,නිසල අඳුරු මායිමකින් ‘බේට්ස් අවන්හල’ හමු වෙයි. ඇය එහි රාත්‍රියක් ගත කරන්නට තීරණය කරයි. අවන්හලේ හිමිකරු දෘශ්‍යමාණයට අනුව, ඉතාම අවිහිංසක ය. ඇය ඔහුගේ දෘශ්‍යමාණයට යටින් ඇති සාරය (ඔහු ආබාධිත රණවිරුවෙකි) සමපේක්ෂණය කරයි. මෙම සන්දර්භය වනාහී දෘෂ්ටිවාදය පිළිබඳ සම්භාව්‍ය අර්ථකථනය යි. මතුපිටට පෙනෙන දෙයට වඩා යමක් තිරයට එහා ඇත. නමුත් මේ සියලු සමපේක්ෂණ යථාර්ථයන් බිඳ දමා, නෝමන් විසින් මාරියන් ක්‍රේන් නම් ස්ත්‍රියව ඉතා කෲර ලෙස ඝාතනය කරයි. (ඉසිප්‍රියා ඝාතනය කළේ කවුද?) මාරියන්ගේ වැරදිකාර ආශාවට නෝමන් බේට්ස් නම් සයකෝසික යථාවෙන් උත්තර ලැබෙයි. වරදක් කළ කෙනෙකුට දඬුවමක් හිමි විය යුතුය. අපේ වරදට උත්තරය පොහොට්ටුව යි.

                ‘ජොආන් කොජෙක්’ නම් ඇමෙරිකානු චින්තිකාවට අනුව මනෝ විශ්ලේෂණය යනු, නූතනත්වයේ මව් භාෂාවයි. නූතන සමාජ ව්‍යවහාරය තුළ, අප සිතන්නේ සහ කතා කරන්නේ විශ්ලේෂණ භාෂාවකි. ජ්‍යෙතිෂ්‍යය විශ්වාස කරන රටක මනෝ විශ්ලේෂණය විශ්වාස කිරීම දුෂ්කර නැත. අවිඥාණයෙන් තොර සිතුවිල්ලක් නැත.

                  ‘ඇගේ නම රතී’ නොව ඇගේ නම මෙසේ ලිවිය හැකිය; ‘මේඝ මානසී’. කෙතරම් සුන්දර අතීත නමක්ද? නමුත් ඇය නූතන ස්ත්‍රියකි. මව සහ පියා දුන් නමට වෛර කළ ඇය තමා විසින් තමාට ම නමක් භෞතීෂ්ම කර ගත්තාය. අධික වේගයෙන් කතා කරන ඇය මට හමු වූයේ, මගේ දේශපාලනයේ එක්තරා අවසානයක් සලකුණු වූ 2014  වර්ෂයේදී ය.-End of History– දේශපාලනයේ දී මට හමු වූ සිංහල ස්ත්‍රීන්ට වඩා ඇගේ සුවිශේෂ වෙනසක් විය. ඇය මා හමු වූයේ, දේශපාලනය කරන්න නොව එය ‘අවසන්’ කරන්නට ය. තමන් කරන ඕනෑම දෙයක් අවසන් කරන මානසික ඇබ්බැහියක් සමකාලීන යුගයේ ඇත. (උදා:සමාජවාදය අවසන් වීමෙන් පසු, ලිබරල් ධනවාදය අවසන් වූ පසු.) ඇය මා සමඟ කතාව පටන් ගත්තේ සරදම්කාරී ලෙසය.

               “X දේශපාලනය කියන්නේ ප්‍රෝඩාවක්. මගේ මුහුණු පොතට එක දවසක් ආවා ලස්සන නමක් තිබෙන පිරිමියෙක්. එයා කතා කළේ ප්‍රේමය, දර්ශනය, කලාව ගැන. මම ඉක්මනට එයා එක්ක හිතවත් වුණා. ඒක හරි වේගයෙන් සිදු වුණා. දවසක් එයා මට Inbox එක හරහා යෝජනාවක් කරා. එයා මට නිශ්චිත වෙලාවක් දුන්නා බම්බලපිටිය දුම්රියපොළේ අහස් පාලමේ දී හමු වෙන්න. වේලාවට කලින් මම එතැනට ගියා. මම ඈත අහස දිහා බලන් ඉන්නකොට (මම ඇඳගෙන එන ඇඳුම සහ GPS එක එයාට දීල තිබුනෙ) එයා මම ළඟ හිටගෙන ‘කොහොමද කියලා’ ඇහුවා. ‘තට්ටයෙක්’. කැත, අවලස්සන තට්ටයෙක්. මිනිහා මං ඉදිරිපිට බැගෑපත් වුණා. ඔන්න ඔහොමයි ඔයාගේ පක්ෂයේ පිරිමින් අපි වගේ අයව රවට්ටන්නෙ! මට ඔයා ගැනත් තියෙන්නේ පිළිකුලක්”.[Time Frame – 2011 – 2012]

      

         මම- ඔයා ඒ තට්ටයව අතහැරියද?

           ඇය– නැහැ, මම එයාට ආදරය කරන්න ගත්තා.

         මම– ඇයි ඒ?

            ඇය– මට ‘ඔයාව’ පිළිකුල් කරන්න ඕනේ හින්දා.

         මම– තට්ටයා පිරිමියෙක්ද?

              ඇය– නැහැ, තට්ටයා පිරිමියෙක්වත්, ස්ත්‍රියක්වත් නෙවේ. පුරුෂ

           හිස්ටරිකයෙක්. (නූතන නමක්!- Modern Name.)

         මම– ඔබ කවුද?

                ඇය– පුරුෂ මනසක් තියෙන, ස්ත්‍රී ශරීරයක් තියෙන සංක්‍රාන්තිකයෙක්. මම වගේ අයට ගැලපෙන්නෙ ‘යමක්’ අවසන් කළ හැකි පිරිමින්. ඌ මගේ ‘ආදරය’ ඉවර – End Of Art – කරා.

වෙනත් බොහෝ ස්ත්‍රී සාමාජිකාවන් ලෙසම ඇයත් සංවිධානය වෙනුවෙන් තේ කොළ, සීනි රැගෙන ආවාය. ගුණාත්මක දුප්පත්කමක ගිලී සිටි ඇය සොච්චම් මුදලක් සංවිධානයට ලබා දුන්නාය. ‘රොහාන් මගේ සල්ලි ටික ඉවර කරා’ යැයි ඇය මහ දිග කතාවක් කීවාය. මට එවැනි කතා නිශ්ශබ්දව බොහෝ වේලාවක් අසා සිටීමට හැකිය. රටේ සමාජ, ආර්ථික ගැටලු හැර අන් සියල්ල ඇය කතා කළාය. ඇය ‘කවියට’ බෙහෙවින් රුචිය. හදවතින් කෲර සෑම දෙනාම මේ යුගයේදී, කවියන් ය. හදවතින් කෲර පොත් ප්‍රකාශකයන් පවා මේ යුගයේදී කවියට භක්තිමත් ය. ග්‍රාම්ස්චි තමන්ගේ ගම සාදීනියාව කීවත්,සිංහල ග්‍රාම්ස්චි තමන්ගේ ගම සඟවයි.

               ‘මේඝ මානසී’ මගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඇයට අනුව, ඇයට සියල්ල අවසන් (End) කිරීමට අවශ්‍යය. ඇය විවාහ නොවීමට හේතු සෙව්වාය. පිරිමින්ගේ ශාරීරික ඇදකුද සෙව්වාය. පාඩම් උගන්වන විට, වෙනත් දෙයට අවධානය යොමු කර මගෙන් බැනුම් අසා ඉන් තෘප්තිමත් වූවාය. සැබැවින්ම, ඇය නූතනවාදී ආත්මයකි. මාරියන් ක්‍රේන් මෙන්, ඇගේ පළමු දැක්ම තුළ ඇය ක්‍රීඩාශීලී අනෙකෙකි. කොක් හඬලා සිනහා වන ඇය ඉදිරියේ, බොහෝ පිරිමින් වකුටු වනු මම දැක ඇත්තෙමි. දිනක් ඇය මට මෙසේ කීවාය.

             “මම ඔයාගේ මනෝවිශ්ලේෂණයට වෛර කරනවා”.

                සංවිධානයට බැඳී වැඩිකල් යන්නට මත්තෙන්, අප දෙදෙනා අතර රණ්ඩුවක් පටන් ගත්තේය. මා යෝජනා කරන පොත් ඇය නොකිය වූ අතර ඒ ගැන විවිධ මුසාවන් ප්‍රචාරය කළා ය. මේ ගැන ඇයට තදින් බැණ බැඳුණු මොහොතක, ඇයගේ දෙනෙතින් කඳුළු රූටන්නට විය.

          “ගෑනු ළමයි නවකතා කියවනකොට නරක් වෙනවා කියලා අපේ අම්මා චූටි කාලෙ මගේ අතට සැරෙන් ගැහුවා”. අවසන් වශයෙන්, මම ඇගෙන් මෙසේ විමසුවෙමි.

           “ඇයි ඔයා මෙහෙ ආවේ?”

            “දන්නේ නැහැ…… 

            දේශපාලනය අවසන් කරන්න!”

            “ ඒ කිව්වේ?”

            “මගේ ජීවිතෙන්

            දේශපාලනය අහක් 

              කරන්න”.

        

              එක්තරා ජර්මානු දාර්ශනිකයෙක් තම දාර්ශනික කෘතිය පටන් ගන්නේ ‘ෆ්‍රෙඩිරික් ජෙම්සන්’ නම් මාක්ස්වාදියාගේ අදහසක් උපුටා දක්වමිනි.

          “මිනිසුන්ට මේ කාලයේ පහසුවෙන් පරිකල්පනය කරන්න පුළුවන් උල්කාපාතයක් වැදිලා ලෝකයේ විනාශ වීම ගැන. නමුත් ඔවුන් කිසිවකුට අද අප මේ ජීවත්වන සමාජ-ආර්ථික දේශපාලන ව්‍යුහය වෙනස් කිරීමක් ගැන කුමන හෝ පරිකල්පනයක් කිරීම බැරි දෙයක්”.

ඉන් අදහස් වන්නේ අපේ සමාජ ක්‍රමය ඇතුළෙන් වෙනස් කළ නොහැකි බවත්, එය සිදුවිය හැක්කේ ඊට බාහිරින් එන උල්කාපාත, වසංගත රෝග වැනි ස්වභාවික විපත් හරහා පමණක් බවත්ය. මේ හේතුව නිසා, අවසානයක් ගෙන දෙන ඕනෑම දෙයකට මිනිසුන් වශී වෙයි. උදාහරණයක් ලෙස, හෙරොයින්, කැසිනෝ ක්‍රීඩාව දැක්විය හැකිය.

                ‘ආලෙන්කා සුපැන්ජිත්’ නම් දාර්ශනික ස්ත්‍රිය දුම්බීම ගැන දාර්ශනික අදහසක් මෙසේ පළ කරයි.

              “දුම්පානය කරන කෙනෙක් සෑම විටම දුම්පානය නැවැත්වීම ගැන අදහසක නිමග්න වෙනවා. දුම්පානකයා විනෝද වෙන්නේ-වේදනාව- දුම්බීම හෝ නිකොටින් නම් රසායනිකයා හරහා නොවේ. ඔහු විනෝද වෙන්නේ දුම්පානය කවදා හෝ දිනක නතර කරනවා යන අදහස (විභවතාවය) මත සිටගෙනයි. ඉන් සිදුවන්නේ, ඔහුට දිගටම දුම්පානය කිරීමට අවශ්‍ය කරන යුක්ති සහගත සාධකයයි. එනම්, ඔහු දුම්පානය කරනවා හෝ නතර කරනවා නොව, ඒ සිතුවිලි දෙක අතර දෝලනය වීමෙන් විනෝද වීමයි. සමකාලීන යුගයේ බුද්ධිමය විලාසිතාව වී ඇත්තේ ද යමක් ‘අවසන් කිරීම’ පිළිබඳ ෆැන්ටසි ගොඩනැගීමයි”.

              ‘මේඝ මානසීට’ අවශ්‍ය වී ඇත්තේ අනාගතයක් නැති, විසඳුමක් නැති ජීවිතයට අවසානයක් ය. ඇය විවිධ පිරිමින්ගෙන් සොයන්නේ, ඇගේ ජීවිතයට අවසානයක් ය. මම ඇගේ දේශපාලන ජීවිතය අවසන් කළ අතර විවිධ කවියන්, නවකතාකරුවන්, සිනමාකරුවන්, විචාරකයන්, උත්සව සංවිධායකයන් ඇගේ ජීවිතය විවිධ තලවල අවසන් කරමින් සිටිති. ඇගේ මුහුණු පොත පිරී ඇත්තේ, ඇගේ ජීවිතය විවිධ මට්ටමින් අවසන් කරන උල්කාපාත පිරිමින්ගෙන් ය. ඉහත අප කී සියලුම අනන්‍යතාවයන් සහිත විප්ලවවාදී පිරිමියෙකු වූ ‘විමල් කැටපේආරච්චි’ නිසා ඇය සුරතාන්තයට පත්වී ඇත.

                  අප කරන කිසිදු දෙයක අභ්‍යන්තර ප්‍රති-විරෝධතාවයන් නිසා එය අවසන් කිරීමට අපට ආත්ම ධෛර්යයක් නැත. එය අප වෙනුවෙන් අනෙකෙකු කළ යුතුය. එමඟින්, අපි අපගේ සැබෑ නිදහස විනාශ කර ගන්නෙමු. සිගරට් බොන මිනිසා තම ව්‍යාජ නිදහස නැතිකර ගැනීමට වෛද්‍යවරයකු හමු වෙයි. ඔහු විසින් දෙන අවවාද නිසා සිගරට් බීම අතහැර දැමීම නම් සැබෑ නිදහස වෙනුවට, තවදුරටත් සිගරට් බීම නම් ව්‍යාජ නිදහස තෝරා ගන්නෙමු. ‘මේඝ මානසී’ ඉතා හොඳින් දන්නේ, තමන්ගේ ජීවිතය බොරුවක් බවයි.  එය අවසන් කිරීමට ඇයට අවශ්‍ය ය. නමුත් ඊට අධිෂ්ඨානයක් ඇයට නැත. ඇය තමන්ගේ ගැලවුම පිටත සිටින පිරිමින්ට ප්‍රක්ෂේප කරයි. එවිට, ඇගේ ජීවිතය හැම දිනම එකම සිදුවීමක් වටා පුනරාවර්තනය වෙයි. ඇය විනෝද වන්නේ, ඇයවම විනාශ කරමින් ය. නූතන සමාජයේ මව් භාෂාව මනෝවිශ්ලේෂණය යැයි අප කියන්නේ මේ නිසා ය.

 -දීප්ති කුමාර ගුණරත්න-       

 

ඔබේ අදහස කියන්න...