2005-2015 දශකය ඇතුළත ඉතා ජනප්‍රිය වූ මහින්ද රාජපක්ෂ රෙජීමය අවසන් වීමේ මධ්‍ය ලක්ෂය කුමක්දැයි විමසුවහොත් ‘දේශපාලන-ආර්ථික විද්‍යා’ පිළිතුර වන්නේ, රතුපස්වල ගැමියන්ට වෙඩි තබා ඝාතනය කිරීමයි. දේශපාලකයන් දේශපාලනය කරන්නේ මිනිසුන්ගේ අවිද්‍යාව මත පදනම් වෙමිනි. බහුතරයක් දෙනා තවමත් සිතීමට කැමැති වන්නේ, මිනිසුන් විද්‍යාව හෝ සිහිබුද්ධිය මඟින් පාලනය වන බව පිළිගැනීමට ය. මෑත දිනකදී, සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ප්‍රභාකරන්ගේ පොඩි පුතා කොටි ත්‍රස්ත ජාලයේ බේබි බ්‍රිගේඩගේ නායකයෙක් බවයි. සරත් ෆොන්සේකා මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමේදී ඔහු ගිය පාසැල වූ ආනන්ද විදුහලේත් , බෞද්ධ සංස්කෘතියේත් හැටි අපට පැහැදිලි වෙයි. 21 වැනි සියවසේ අපරාධ කරන මිනිසුන්ට තමන් කරන අපරාධ සහ තමන්ගේ සිහිය අතර නිසි පරතරයක් තබා ගැනීමේ දී බෞද්ධ අදහස් දෘෂ්ටිවාදීව ඉතා තීරණාත්මක ය.

                     අප ජීවත්වන යුගයේ බෞද්ධයෙක් යනු කවුද? සුපේෂල, ශික්ෂාකාමි, නිර්මල, අලිංගික පුද්ගලයෙක්ද? නැතහොත් මහ අනෙකා ඉදිරියේ ධීන ලෙස සියල්ලට යටත් වෙමින් අශ්ලීල රහස් ජීවිතයකින් විනෝද වන්නෙක් ද? 90 දශකයේ අගභාගයේ ප්‍රකාශයට පත් වූ ‘මාතොට’ සගරාවේ ශ්‍යාම් නමින් තමන්ව හඳුන්වා ගත් ලේඛකයා අපූරු ජනප්‍රිය ලිපියක් රචනා කළේ ය. එහි නම ‘චුටා ද රෝමියෝ’ නම් විය. ලිපියේ අන්තර්ගතය වූයේ, පාදඩයෙකු විසින් මැද පාන්තික ස්ත්‍රියක් රවටා ගන්නා සංස්කෘතික දේශපාලනය යි. නමුත් 90 දශකය තුළ කිසිවෙකු අවධානය යොමු නොකරන ලද්දේ, එම ලිපියේ ආකෘතියට (Form) යි. ගම සහ නගරය අතර පැද්දෙන මිනිසුන්ගේ ඛේදවාචී ආත්මමූලිකත්වය ප්‍රකාශ කරන ‘රාමුව’ අපට හමු වූයේ, ඉහත ලිපිය හරහා ය. 

                          ‘චුටා ද රෝමියෝ’ ලිපිය රචනා වන යුගයේ දී ‘විනෝදය’ (Enjoyment) නම් සංකල්පය පැවතියේ, ඌණ සංවර්ධිත මට්ටමක ය. සරලව කිවහොත්, 20 වැනි සියවස අග භාගයේ දී අපගේ දේශපාලනය තුළ පවා ‘විනෝදය’ පැවතියේ අවිඥාණක (එනම්, ‘දන්න දෙයක් නමුත් සිහියට ගන්න බැහැ’) තලයක ය. ගැමි තරුණයෙකු කොළඹට පැමිණි විට බටහිර සිනමාව සහ බටහිර තාක්ෂණය හා බැඳි සංස්කෘතික වටිනාකම් නිසා වික්ෂිප්ත වෙයි. එවිට, නාගරික අවකාශයක ප්‍රමිතිගත සංකේත නිවැරදිව පාවිච්චි කරන ඕනෑම කෙනෙකුව ඈත ගමකින් කොළඹට එන පිරිමියෙකුට පෙනෙන්නේ, ‘බටහිර ස්ත්‍රියක්’ ලෙසිනි. කොළඹ රාජකීය විදුහලට ප්‍රථම පන්තියේ සිට ගිය පිරිමියෙකුට ‘පියුමි හංසමාලි’ පෙනෙන විදිහට නොවේ රංජන් රාමනායකට ඇයව පෙන්නේ. 

                         ‘නදීෂා හේමමාලිව’ ගම්පොළ නගරයේ හැදී පසුකාලයක කොළඹ එන මහින්දානන්ද අලූත්ගමගේට පේන විදියට නොවේ බුලත්සිංහල ගමේ ඉස්කෝලෙට පළමුව ගොස් පසුව හොරණ තක්ෂිලාවට ගිය චම්පික රණවකට පෙනෙන්නේ. රුවන් විජේවර්ධනට නිමල් කුක්ගේ කලින් පෙම්වතිය වූ ස්ත්‍රියක් හිස්ටෙරිකයි කියලා වැටහෙන්නේ නැතිව එයා එක්ක පැටලිලා ජීවිතය නූල් බෝලයක් වගේ අවුල් කර ගන්නවා. එයාගේ මාමා රනිල් ඔහුට ‘නායකයෙක් වෙන්න අවශ්‍ය නම් උදෙන්ම නැගිටින්න කියලා’ චෝදනා කරනවා. දැන් එතකොට මෙතන පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි, මේ සියලු සමාජ ස්ථර සඳහා අදාළ වන ‘විනෝදය’ කොහොමද අර්ථකථනය කරන්නේ කියලා.

                          අපි නැවත ‘චූටා ද රෝමියෝ’ ලිපියේ කතුවරයා වෙතට අවධානය යොමු කරමු. මේ ලිපියෙන් ඔහු විවේචනය කරන පාර්ශව දෙකක් තිබේ. එකක්, පන්ති විෂමතාවය යි. දෙවැන්න, එක සමාජ පන්තියකට තව සමාජ පන්තියක් ගැන තියෙන අවිද්‍යාවයි. 90 දශකය අග වෙනකම් ලංකාවේ ලිබරල් දේශපාලන සංස්කෘතියේ මූලික ලක්ෂණයක් වූයේ, ඕනෑම දේශපාලන ප්‍රශ්නයක් හැකි ඉක්මණින් සබුද්ධික, ඓන්ද්‍රීය, සංවිධානාත්මක තලයකට ගෙන ඒමේ ශක්‍යතාවය යි. උදාහරණයක් වශයෙන්, උතුරේ ජාතික ගැටලුව සබුද්ධික සිවිල් සමාජ කතිකාවකට ගෙනාවේ ඊනියා වම නොව ලිබරල් කතිකාවයි. උතුරට ‘සංවර්ධනය’ කියන රාජපක්ෂ සටන් පාඨය එන්නේ මේ ලිබරල් කතිකාවෙනි.

                       21 වැනි සියවස ආරම්භ වීමත් සමඟම ලිබරල්වාදයේ තාර්කික ඥාණය- සමාජ විද්‍යාව, රාජ්‍ය පාලනය, බුර්ෂුවා ආර්ථික විද්‍යාව -අතාර්කික වීම ආරම්භ වෙයි. සියලු දෙනා කතා කරන, සියලු දෙනා ලියන එහෙත් කිසිවකු නො කියවන සමාජයක් ඊළඟට ආරම්භ වෙයි. සමාජ යථාර්ථය සම්බන්ධයෙන් සියලු නිශ්චිතභාවයන් අවලංගු වන අතර ඒ වෙනුවට ආපතිකත්වය ආදේශ වෙයි. අණුක මට්ටමේ පරාවර්තනයක් පවා සමාජ විද්‍යාත්මක සත්‍යයක් වේ. පශ්චාත්-නූතන තත්වය යනු, මෙම ආපතිකත්වයේ ආකෘතිය සමාජ තර්කනයක් වීමයි.

                           ආපතික තර්කනය සබුද්ධිකත්වය ආක්‍රමණය කරන විට විභේදන දෙකක් ඇති වෙයි. (1) පන්ති දේශපාලනය සැබෑවේ -real -තලයට ගමන් කරන අතර එහි ආපසු පැමිණීම අතාර්කික ව්‍යුහයක අන්තර්ගතයක් වීම. (2) ලිබරල් සබුද්ධිකරණය වඩ වඩාත් විශේෂඥ උපදෙස් ලබා දෙන විද්‍යාත්මකභාවයකට ඌනනය වීම. ඉහත අන්ත දෙකෙහි සම්ප්‍රයුක්තය අපට මෙසේ පැහැදිලි කළ හැකි ය. පවතින බල සබඳතා ව්‍යුහයට අභියෝග එල්ල කළ හැක්කේ, ආන්තික සමාජ-කණ්ඩායම් වලට පමණි. (සමලිංගික, සුළු ජාතික අරගල, කාන්තා අරගල) නමුත් මෙම සමාජ කණ්ඩායම්වල අරගල පවතින ධනවාදී ක්‍රමය අවශෝෂණය කර ගන්නවා විනා අන් යමක් සිදු නොවේ. අප නොසිතන ආකාරයකට සමාජ ක්‍රමය පවත්වාගෙන යන බල හවුල- Power bloc – නිල අනන්‍යතාවය (Official identity) සහ අශ්ලීල යටි පැත්ත (Obscene underside) වශයෙන් අභ්‍යන්තරයෙන් දෙකට බෙදී ඇත. සමාජ ක්‍රමයට හෝ පවතින ධනවාදයට මිනිසුන් සහයෝගය දෙන්නේ, මෙම ස්ව-උල්ලංඝනයට දෙන අවකාශය නිසා ය. පවතින ක්‍රමයට නින්ද්‍රාසහගත ලෙස ශ්‍රමය ලබා දෙන්නෙකුම, ‘රන්ජන් රාමනායක’ විසින් බඳින්න පෙර ස්ත්‍රියක් සමඟ ගුද රමණයේ යෙදී විඳින ප්‍රමෝදය සහිත පටිගත හඬපටය හරහා තමා ක්‍රමයට ලබා දුන් ‘දෙය’ යළිත් අවශෝෂණය කර ගනියි. කම්කරුවා තමන්ගේ අනන්‍යතාවය කම්කරුවෙකු ලෙස වටහා නොගෙන තමන් ද ‘ගුද රමණ’ ලබා දීමේ විභවයක් සහිත ආත්මයක් බවට පොළා පනින නිසා දෘෂ්ටිවාදය කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙයි. පැරණි ධනවාදය කල්පිත ලිංගික අල්ලස් නොදුන් මුත් ‘පශ්චාත්-නූතන ධනවාදය’ ඔබට අශ්ලීල ලෝකයක් අලුතින් නිපදවයි. පවතින ක්‍රමයේ සමස්තය යනු, නිෂ්පාදනය සහ අශ්ලීලත්වය යන දෙකේම එකතුවයි. 

                        අපි දැන් නැවතත් ‘චුටා ද රෝමියෝ’ ලිපියේ අන්තර්ගතයට අවධානය යොමු කරමු. ලිපියේ ඉලක්කය වී ඇත්තේ පහළ මැද පන්තියේ පිරිමින් ය. සමහර විට, එම තත්වය ලුම්පන් නිර්ධනයා දක්වා දිගු විය හැකිය. 2005 වර්ෂයේ අගෝස්තු මාසය වන විට ලුම්පන් නිර්ධනයෙකු ඉහත ලිපියේ කතුවරයාව හඳුන්වන ලද්දේ ‘අපේ කාලයේ ලෙනින්’ කෙනෙක් ලෙස ය. ‘චූටා ද රෝමියෝ’ ලිපිය විසින් අමතනු ලබන්නේ, පහළ පන්තිවල පිරිමින්ව ය. ලිපියේ මාර්ගෝපදේශ ලබා දෙන්නේ, ඉහළ පන්තියේ ස්ත්‍රීන්ව රවටා යාලු කරගෙන පසුව විවාහ වීමයි.

                            ඉහළ පන්තියේ ස්ත්‍රීන්ව අල්ලා ගැනීම දැනුම පැත්තෙන් ගත් කල පහළ පන්ති පිරිමියෙකුට අඩුවක් ජනනය කරන්නකි. ‘චුටා ද රෝමියෝ’ ලිපියේ කතුවරයා ඉබාගාතේ යන සිංහල-බෞද්ධ පිරිමියාට තම ලිපිය හරහා ‘දැනුම’ ලබා දෙන මුත් ඔහු මාස්ටර්වරයෙක් (Master) වීමට උත්සාහ දරන්නේ නැත. ගැහැණුන් රැවටීම සඳහා කතුවරයා ලබා දෙන්නේ අයිතිකරුවෙකු නැති නිෂ්ක්‍රීය හෝ උදාසීන දැනුමකි. ලිපිය තුළ ඔහු ආදේශ වන්නේ ‘කුඩා චූටාට’ වන අතර උපදෙස් දෙන්නේ මෙවන් කෙනෙක් මැද පාන්තික ස්ත්‍රියක් දැලේ දාගන්නේ නම් ඇයව රැවටීමට ‘රෝමියෝ’ වැනි ශේක්ස්පියර් චරිතයක් බවට රූපාන්තරණය විය යුතු බවයි. වසඟය සහ වේශ නිරූපණය පිළිබඳ කතිකාවක් කතුවරයා නිපදවන මුත් ඔහු කතිකාවේ ‘අයිතිකාරත්වය’ ලබා ගන්නේ නැත. ඔහු සහ කතිකාව අතර පරතරයක් ඇත. එබැවින්, ලිපියේ කතිකාව ආයාසයකින් තොරවම ‘විශ්වවිද්‍යාල කතිකාවක්’ (University Discourse) බවට පරිවර්තනය වෙයි.

                          දැන් අපට ගැටලුවක් ඇත. විශ්වවිද්‍යාල කතිකාව යනු කුමක්ද?  ඔබ යම්කිසි රෝග තත්වයක් තුළ වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ යැයි සිතන්න!  එවිට, වෛද්‍යවරයා කරන්නේ ඔබ පරික්ෂා කිරීම පමණි. ඔබට තිබෙන්නේ අක්‍රියාකාරීව වෛද්‍යවරයා ඉදිරියේ හැසිරීම පමණි.  ඔබ ඔහු ඉදිරිපිට වෛද්‍ය දැනුම සතු වස්තුවක් පමණි. එතැනදී, ඔබට ආත්මමූලිකත්වයක් නැත. ඔබ  සිතන්නෙක් නොවේ. අවසානයේ සිදු වන්නේ, වෛද්‍ය කතිකාව ඔබට නිරෝගී වීමට ප්‍රතිකාර නිර්දේශ කිරීම පමණි.

                      ධනවාදී නිෂ්පාදනයේ එක්තරා මොහොතකට පසුව ධනවාදී සමාජ-ක්‍රමය පවත්වාගෙන යාමට මාස්ටර්වරයෙකු අනවශ්‍ය වෙයි. මාස්ටර් යනු, යමක් තව කෙනෙකුගේ ශ්‍රමය පාදක කොටගෙන නිපදවන්නා ය. ශ්‍රමිකයා යනු, මෙම නිෂ්පාදනය සඳහා ශ්‍රමය ලබා දී ඉන් ‘වේදනාත්මක සතුටක්’ රැස් කරන්නා ය. ඉහත සන්දර්භයට අනුව ධනපතියා / මාස්ටර් අත ප්‍රාග්ධනය රැස් වන අතර ශ්‍රමිකයා හෝ සේවකයා අත විනෝද ආර්ථිකයක් සංවිධානය වෙයි. ඉතිහාසයේ එක් මොහොතකට පසුව සේවකයා/ ශ්‍රමිකයා/ වහලා විසින් ඔහු ගැනම කල්පනා කරන්නේ තාක්ෂණවේදියෙක් ලෙසිනි. ඔහු මෙසේ සිතයි. “ මේ බඩු හදන්නෙ මම, නමුත් ප්‍රයෝජනය ගන්නේ වෙන කෙනෙක්. මේක මටම තනියම කරන්න බැරිද?”  වහලා මෙය කළ වහාම නිෂ්පාදනය අවසන් වන අතර තමන්ගේ පරිමිත නිදහසෙන් පතන ලද අපරිමිත නිදහස ද අහිමි වී යයි. ‘සෝවියට් දේශය’ යනු, පශ්චාත්-වහල් සමාජයක දී විනෝදය මිය යන ආකාරය යි.

                             ‘චූටා ද රෝමියෝ’ ලිපියේ කතුවරයා නගරය සහ ගම අතර වැනෙමින් සිටින පුරුෂ ආත්මමූලිකයන්ට වැදගත් පවුල්වලින් එන ගැහැණුන් රවටා ගන්නා විධික්‍රමය පිළිබඳ දැනුමක් නිපදවයි. එහි අනෙකා වන්නේ, විනෝදය ආත්මකොටගත් නව-ලුම්පන් පන්ති සාමාජිකයන් ය. (විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, රජයේ සේවකයන්, හමුදා සාමාජිකයන්, විශ්ව-විද්‍යාල ගුරුවරුන්……) මේ අය වනාහි සංකේත යථාර්ථය තුළ අවක්ෂේපණයන් ය. ඔවුන් අමු ය. ඔවුන්ව සංස්කෘතිකරණය කළ යුතු ය. සංස්කෘතිය දේශපාලනික වන්නේ මේ නිසා ය. 

                      ‘මාස්ටර් කතිකාව’ තුළ සිටින  මාස්ටර් වෙනුවට විශ්ව-විද්‍යාල කතිකාව තුළ පවතින්නේ ‘දැනුම’ යි. මේ දැනුම මාස්ටර්වරයෙකු ඉදිරිපත් කරන දැනුමෙන් සපුරා වෙනස් ය. විශ්ව විද්‍යාල කතිකාව තුළ ඔබට ලැබෙන දැනුම යම්කිසි මැදිහත්කරුවකු හරහා එන පණිවිඩයකි. මෙවන් කතිකාවක් පරිහරණය කරන පුද්ගලයෙකු කතා කරන්නේ මෙසේ ය. “සත්තාවට වඩා සත්‍යය මූලිකයි කියන එක හරිම වැදගත් අදහසක්. ඒත් ඒ අදහස මගේ එකක් නොව සොක්‍රටීස්ගේ අදහසකි. තව දෙයක් තියෙනවා කියන්න. හෛඩගර් කියනවා ඔය කිව්ව සොක්‍රටීස්ගේ අදහස පවා ඔහුට එන්නේ ප්‍රාග්-සොක්‍රටික යුගයකින් කියලා. නමුත් කාන්ට් කියනවා සත්තාව කියන්නේ කරුණු එකතුවකට විතරයි කියලා” .

                      ඉහත විශ්ව-විද්‍යාල කතිකාවේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ, තමන් කියන අදහසේ වගකීම වෙන කෙනෙකුට භාර දී තමන් අක්‍රියාකාරී පුද්ගලයකු වීමයි. කතිකාව ඔහු තුළින් ප්‍රකාශ වනවා මිස පුද්ගලයා වගකීම භාරගෙන කිසිවක් නොකියයි. යමෙකු එසේ කියයි නම් එවැනි අය මාස්ටර්වරයෙක් ලෙස හංවඩු ගසා බිය වද්දන අතර එවැනි අය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ විවිධත්වයේ සතුරන් ලෙස හංවඩු ගසයි. අනෙක් පසින්, විශ්ව-විද්‍යාල කතිකාවේ පුරෝගාමින් දැනුම හරහා යමින් අනෙකාගේ විනෝදයේ උපකරණයක් වන නිසා මේ අය රහසින් ‘විපරිත මාස්ටර්වරුන්’-Perverted Master- බවට රූපාන්තරණය වෙයි. මොවුන්ගේ කතිකාවේ සත්‍යය වන්නේ, රහසින් දැනුමට තමන් සම්බන්ධ බව පෙන්වා දීමයි.

                         ඉහත තත්ත්වය විශ්ලේෂණය කළ විට අපට වැටහී යන්නේ, ‘චුටා ද රෝමියෝ’ ලිපියේ අප්‍රකාශමාණය හරහා යම් දැනුමක් ලුම්පන් අවිද්‍යාත්මක සමාජ ස්ථරයකට ලැබුණු බවයි. නමුත් එම දැනුමේ අයිතිකාරයා තමන් බව එහි කතුවරයා එළිපිට පිළිගන්නේ නැත. ඔහු ඒ බව රහසින් ඉඟි කරයි. එහි අතුරුඵලය වන්නේ, මැද පාන්තික ස්ත්‍රීන් ඉදිරිපිට දෙකට බෙදුණු ආත්මයක් බිහි වීම පමණි. මේ දෙකට බෙදුණු ආත්මයන්ට විනෝද විය හැක්කේ, විපරිත මාස්ටර්වරුන් හරහා පමණි. ඒ අර්ථයෙන් ගත් කළ, කුඩු චූටා නම් චරිතයක් ‘රෝමියෝ’ නම් රූපකයක් හරහා පහළ මැද පාන්තික සහ ලුම්පන් පිරිමින්ට ඉහළ මැදපංතියේ ස්ත්‍රීන්ගේ ආත්මමූලික අවිද්‍යාවන් පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා දෙයි. විශ්ව-විද්‍යාල කතිකාවට ඒ අනුව වශී වන්නේ, හිස්ටෙරික මැද පාන්තික ස්ත්‍රීන්ය. තියුණු මට්ටමේ ‘හිස්ටෙරිකයෙකු’ හමු වූ වහාම විශ්ව-විද්‍යාල කතිකාව දෙසන පිරිමින්ගේ කලිසම් ගැලවී යාම අනිවාර්ය ය. එය පිරිමි අපට කළ නොහැක්කකි.

                           විශ්ව-විද්‍යාල කතිකාව හරහා නොගොස් නූතන ජාතිකවාදී ධනවාදී සමාජ සැකැස්ම විසංයෝජනය කරන්නේ කෙසේද? විශ්ව විද්‍යාල කතිකාවේ නියෝජිතයන් බොහෝ විට කරන්නේ, දේශපාලනික නිවැරදි හැසිරීම් යෝජනා කිරීමයි. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ, පවතින ක්‍රමය සුජාතකරණය වී ඇති කාසියේ අනෙක් පැත්ත පෙන්නන ලෙස ය. මෙය ඉතා බියකරු ක්‍රීඩාවකි.

                             භාෂාව යනු, සත්තාවේ ගෘහය යන හෛඩගර්ගේ අදහස වියෝජනය කර භාෂාව යනු ෆැක්ටේරියක් නැතහොත් කම්හලක් යන මාක්ස්වාදී අදහස අපගේ ඉදිරි විග්‍රහයට පාදක කරගන්නේ නම්, සත්තාව සහ ‘වඩා-සත්තාව’ යන අසම්පාතය අපට හඳුන්වා දිය හැකි ය.

                              ‘දෙවෙනි ඉනිම’ යනු, ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යකි. මැද පාන්තික පවුලක තරුණයෙක් නිසා පහළ පන්තියේ තරුණියකට දරුවෙකු ලැබෙන අතර පසුව පන්ති අසමිතිය නිසා තරුණයා ඇයව අතහැර තමන්ට ගැළපෙන කෙනෙක් සමඟ විවාහ වෙයි. කතාව ලියන්නේ, ඇඹිලිපිටියෙන් කොළඹ ආ පිරිමියෙකි. කතාව වැඩිපුර බලන්නේ, කඩුවෙල, මහරගම හෝ හෝමාගම වැනි ජාතිකවාදය පැතිරී ගිය ප්‍රදේශවල ය. දැන් මේ ගැන අපට කළ හැකි විවේචනයක් නැත.

                             ‘දෙවෙනි ඉනිමේ’ උත්ප්‍රාසාත්මක පැත්ත අපට හමු වන්නේ YouTube  හරහා එන වල් කතා මඟින් ය. ‘දෙවෙනි ඉනිම’ කතාවේ චරිතවල නිශ්චල ඡායාරූප යොදා ගෙන චිත්‍රකතාවල ආකෘතියෙන් මේ චරිත පිළිබඳ වල් අන්තර්ගතයක් නිර්නාමිකයන් පිරිසක් නිර්මාණය කර ඇත. ඉන් එක කතාවක හිමාලි සයුරංගි ලෙස්බියන් කෙනෙක් වී වෙන චරිත වලට දිව දැමීමට කතා කරයි. අප මේ ලිපිය පටන්ගත් ආන්තික ජන කොටස්වල (සමලිංගික, සුළු ජාතික) අශ්ලීල ලිංගික ජීවිතය ගැන ජාතිකවාදීන් රහසින් ගොඩනඟන ෆැන්ටසීන්වලින් ‘දෙවෙනි ඉනිම’ මාලා නාටකය ඉතාම අශ්ලීල ව නැවත ලියා ඇත. එමඟින්, කතාවේ බල-සබඳතා ව්‍යුහය කුඩුපට්ටම් වී ඇත. එමඟින්, විනෝදය දේශපාලන සාධකයක් යන්න තහවුරු වෙයි.

                         විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘පාංශු’ චිත්‍රපටයට අදාළ ලිබරල් සංවාද කිහිපයක් YouTube එක හරහා නරඹද්දී එහි ප්‍රශ්න විචාරකයෙකු වූයේ, ඩබ්ලිව් ජයසිරි ය. ‘අනූෂා සොනාලි’ නම් නිළියක් වෙනත් වීඩියෝවක ජයසිරිට චෝදනා කරමින් කියා සිටින්නේ, තමන්ට ඔහු ලිංගික වශයෙන් අනවශ්‍ය යෝජනා කළ බවයි. අනෙක් අතට, එම වීඩියෝවේ ම සිටින අනෙක් පුද්ගලයා විදේශ රටවලට නීතිවිරෝධී ව මිනිසුන් පටවන  ජාවාරමකට හසු වූ විප්ලවවාදියෙක් බේරා ගැනීමට එම ජාවාරම නිසා ම ඊට ගොදුරු වූ පුද්ගලයෙකුට එරෙහිව පොලිස් චන්ඩි දැමීමට ගිය පුද්ගලයෙකි. විසාකේසගේ චිත්‍රපටය යනු, අතුරුදහන් වූ මිනිසුන්ට අනුකම්පා කරන ලිබරල් සාංදෘෂ්ටික චිත්‍රපටයකි. එක්තරා මිනිසුන් වර්ගයක් අවමානුෂික කරන පුද්ගලයන් ම විසාකේස සමඟ ඒ ගැනම කතා කිරීමට ඒම ගැන විසාකේසගේ නොදැනුවත්භාවය ජනතා විමුක්ති පෙරමුණට භාරදිය යුතු ද? නැතහොත් විසාකේස ඒ වගකීම භාර ගන්නේ ද? මෙය අපගේ ෆැන්ටසි වස්තුවේ සාරය අපටම සම්මුඛ වීමක් ද? පානිනී විජේසිරිවර්ධන විසින් රචිත “රාජපක්ෂ ආණ්ඩුවේ සහ ධනපති සාපරාධීභාවයේ නිර්මිතය- කොරෝනා පුපුරා යාම” ලිපිය කෙතරම් යථාර්ථයට දුරස් ද? ඔහු සිතන්නේ ධනවාදය ඇත්තේ අපට පිටතින් ඇති යථාර්ථය තුළ බවයි. නමුත් ජයසිරි, ‘දෙවෙනි ඉනිමේ’ වල් කතා ලියන මිනිසුන් හොඳින් දන්නේ ක්‍රමයට වඩා සහයෝගය දෙන්නේ ධම්මික පෙරේරා හෝ අෂ්රෝෆ් ඕමාර් නොව අපම බවයි. අපගේ යක්ෂාවේෂය ඔවුන්ගේ ප්‍රාග්ධන එකතු කිරීමට වඩා අවමානුෂික සහ භයානකය. ‘අප’ සිටින්නේ කපාලය තුළ පමණක් නොව යථාර්ථය තුළ ද අප සිටියි. 

Deepthi kumara  Gunarathne

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...