ලංකාවේ ආර්ථික අර්බුදය රාජපක්ෂවාදී ජනප්‍රිය රෙජීමයේ මතවාදී ආධිපත්‍යය බිඳ වැටීම, රුසියන්-යුක්රේන යුද්ධය නිසා අභියෝගයට ලක් වන යුරෝපා පර්යාය, ලෝක මට්ටමේ උද්ධමන රැල්ල, බර්ලින් තාප්පය ඇද වැටීමෙන් පසු ඇමරිකාව මධ්‍යය කරගෙන හටගත් නව-ලෝක රටාව බිඳ වැටීම යනාදී මෙකී නොකී සාධක රැසක් නිසා ලිබරල් රාජ්‍ය ව්‍යුහයේ බාහිර සැකැස්ම වූ සිවිල් සමාජ යාන්ත්‍රණය ලංකාව තුළ අතාර්කික වෙමින් පවතියි.

            අර්බුදකාරී නව පසමිතුරුතා හරහා ලංකාවේ ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන-ආර්ථික විශ්ලේශකයන් පවා මාක්ස් ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. කෝවිඩ් වසංගතයට පසුව ඇති වූ ‘නව පර්යාය’ [New Order]හෝ ‘නව-සාමාන්‍ය-ජන ජීවිතය’ තුළ වඩාත්ම අභියෝගයට ලක් වූයේ, රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නය යි. රාජ්‍යය පන්ති සමාදානයේ දේවස්ථානය නම් තැනින් රාජ්‍යය යනු, දුප්පතුන්ගේ අවසන් ගිමන් හල යන තැනට යථාර්ථය අපව තල්ලු කර ඇත.

           මූලික වශයෙන්, දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රමිතිගත විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වන ජයදේව උයන්ගොඩ විසින් රචිත සංගෘහිත අපොස උසස් පෙළ ”දේශපාලන විද්‍යාව” පෙළ පොතේ මූලික න්‍යායික ගැටලුවක් අප සමඟ කැලණිය විශ්ව-විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු පහත පරිදි මතු කරන ලදී. දැන්, අපි ඔහුගේ අදහසට අවධානය යොමු කරමු.

         ‘දේශපාලන විද්‍යාවේ මුඛ්‍ය මූලධර්මය “රාජ්‍යය” (State) මිස දේශපාලන න්‍යාය හෝ දේශපාලන දර්ශනය නොවේ.’

 

          උයන්ගොඩගේ දේශපාලන විද්‍යා අත්පොත නම් කොට ඇත්තේ, ‘දේශපාලනය සහ දේශපාලන විද්‍යාව’ යන නමිනි. පොත තුළ ඇති මුඛ්‍ය ගැටලුව වන්නේ, ‘රාජ්‍යය පිළිබඳ ගැටලුවට’ ලබා දී ඇති ආන්තික ස්වභාවය යි. විශ්ලේෂණාත්මකව කිවහොත්, පොතේ නාම සූචිය තුළ ලෙනින්ගේ නම නැත. නමුත්, ජාක් ඩෙරීඩා, ජීන් ප්‍රාංශුවා ලියෝතා, හේගල්, මිචෙල් ෆූකෝ, අන්තෝනියෝ ග්‍රාම්ස්චි, බොබ් ජෙසොප්, කොන්ෆියුසියස්, බුදුන්, ශාන්ත ඔගස්ටීන්, ඇක්වයිනාස්, ඇරිස්ටෝටල් යන විශාල ප්‍රමාණයක න්‍යායවේදීන්ගේ නම් ඇත. රාජ්‍යයේ සම්භවය පිළිබඳ ප්‍රාථමික ඛණ්ඩනය මෙසේ සලකුණු කර ඇත.

      ‘රාජ්‍යය පිළිබඳ දේව නිර්මාණවාදය ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ, ඒ වෙනුවට ඉදිරිපත් කළ විකල්ප විග්‍රහයෙන් කියවෙන්නේ, එය, සමාජ විකාශනය තුළ ‘සමාජ අවශ්‍යතා වෙනුවෙන්’ ගොඩනැඟුණක් බවයි.’

 

            ලංකාවේ ඇකඩමික් චින්තනය තුළ එහි පැරණිතම සාමාජිකයෙක් වන උයන්ගොඩ පවා රාජ්‍යය පිළිබඳ විග්‍රහයට බුදුන් යොදා ගන්නා අතර ඉතාම මෑතකදී සොයා ගත් ඇකඩමික චින්තිකාවක් වන ‘ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ’ ඩෙරීඩා ගැන විශ්ලේෂණ ඉදිරිපත් කරන විට දී ඇගේ කටට නිරායාසයෙන්ම බුදුන් පැමිණෙයි. මීට වසර 25 කට පෙර නලීන් සුවාරිස් කළ වරද එතැන දී නිම්මි ද යළි කරයි. [2022]ඩෙරීඩා පැහැදිලිව කියා සිටින පරිදි ‘විසංයෝජනයට’ බුදුදහම සමඟ ‘කිසිම’ සම්බන්ධයක් නැත. එවැනි ඕනෑම සම්බන්ධ කිරීමක් පසු ආවර්තී [Retroactive]මිස පූර්වගාමී  නැත. සමන් පුෂ්පකුමාර කියවා ඇති පොතකින් ඒ ගැන න්‍යායික හේතුව ඉදිරිපත් කළ හැකි ය.

            ‘ First, philosophy stands on a higher level than religion because it is capable of conceptualizing religion, spiritual content; Reason is superior to image and metaphor.’

 

            විසංයෝජනය දර්ශනයකි. එය, ‘විද්‍යාමාණයන්ගේ පාරභෞතික’[metaphysics of presence] විවේචනය කරන විද්‍යාවකි. ආගම සහ දර්ශනය තුලනය කිරීම සදාචාර ක්ෂේත්‍රයට අයිති දෙයකි. ආගම මගින් දර්ශනය යටත් කිරීම ලංකාවේ චිරන්තන සම්ප්‍රදාය වන අතර එය, ඩෙරීඩා හරහා විසංයෝජනය කරනවා මිස ආගම මගින් විසංයෝජනය ප්‍රතිසන්ධානගත කිරීම නොවේ. වාග් විද්‍යාඥවරියක් ලෙස නිම්මි බුදු දහමේ සහ ජාතිවාදයේ වාගීශ්වරවාදය විවේචනය කරනු මිස, ඒවායේ සංකල්පීය හරය සමතික්‍රමණය නො කළ යුතු ය. මා දන්නා තරමින්, බුදුන් දෙසූ දහම ඇත්තේ මාගධී භාෂාවෙනි. එයට, අකුරු නැත. තිබෙන්නේ, ශබ්ද සංඥා පමණි. ඒවා, පසුව පාලියට සහ සිංහලයට අකුරු වශයෙන් එකතු වන ලදී. උදාහරණයක් ලෙස, සිංහල සහ බටහිර ලෝකය තුළ බුදු දහමේ සදාචාර දර්ශනය කියන්නේ ”මැදුම් පිළිවෙතයි”. මජ්ජිමාගම ධර්මය කියන්නේ, මැද නොව ‘මත’ ය. මතෙන්, සාරයෙන් මිදෙන ධර්මය යි. මේ පරිවර්තන දෝෂය, බෞද්ධයන්ගේ සදාචාර දර්ශනය යි. ඩෙරීඩා Logo- centrism – [experience = secondary; signifier is material .] – කියන්නේ, මේ තත්ත්වයට ය.

Refer – 30 – 47

             අපි නැවත උයන්ගොඩ වෙත එන්නේ නම්, දේශපාලන විද්‍යාව ඇතුළේ වැදගත්ම සංකල්පීයකරණය වන්නේ, ‘රාජ්‍යය’ නූතන ධනවාදී සන්දර්භය තුළ රාජ්‍යයේ පන්ති ස්වභාවය සංකල්පගත කිරීමයි. මෙය, ඉතාම විප්ලවකාරී ලෙසින් කළ මාක්ස්වාදියා වන්නේ, වී. අයි.ලෙනින් ය. ලංකාවේ නූතන වාමාංශයේ න්‍යාය සහ ක්‍රියාකාරිත්වය තුළ ද රාජ්‍යය පිළිබඳ සංකල්පගත කිරීමක් නැත. මෙය, එංගල්ස්ට පවා දුරාවබෝධ වූ තැනකි.

         ‘ රාජ්‍යය ගැන කතාව සම්පූර්ණයෙන්ම අතහැර දැමිය යුතු බවත්, ‘රාජ්‍යය’ යන වචනය වැඩ පිළිවෙළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට, ‘ප්‍රජාව’ යන වචනය ආදේශ කළ යුතු බවත් එංගල්ස් බෙබෙල්ට යෝජනා කරන ලදී. කොමියුනය තවදුරටත් වචනයේ නියම අර්ථය අනුව රාජ්‍යයක් බව පවා එංගල්ස් ප්‍රකාශ කරන ලදී. එහෙත්, මාක්ස් ‘කොමියුනිස්ට් සමාජයේ අනාගත රාජ්‍යය’ ගැන පවා කතා කළේය. ඒ අනුව, කොමියුනිස්ට් ක්‍රමය යටතේ පවා රාජ්‍යයක අවශ්‍යතාවය ඔහු පිළිගත් සැටියක් පෙනේ. රාජ්‍යය සහ එය හැකිළී යාම ගැන මාක්ස්ගේ අදහස් එකක් වූ බවත්, ඉහත උපුටා දක්වන ලද මාක්ස්ගේ කියමන අදාළ වන්නේ, හැකිලී යාමේ ක්‍රියාදාමයට පසුව පවතින රාජ්‍යයට බවත්, කරුණු වඩාත් සමීප ලෙස පරීක්ෂා කළ බැලූ කල පෙනේ.’

 

            ලංකාවේ නූතන වාමාංශය විමර්ශනය කරන විට දී පැහැදිලිව පෙනෙන සාධකයක් වන්නේ, ඔවුන්ට ‘රාජ්‍යය’ පිළිබඳව අදහසක් – idea – නැති බවයි. එබැවින්, ඔවුන් නොදැනුවත්ව පෙනී සිටින්නේ, මධ්‍යම පන්තිය වෙනුවෙනි. අප සමඟ මතවාදී අරගලයේ යෙදෙන අනෙකුත් වාමාංශික සංවිධාන සහ වෘත්තිය සමිති (මෙයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද ඇතුළත් කළ යුතුය) අතර මුඛ්‍ය වෙනස වන්නේ, රාජ්‍යය පිළිබඳව අපට අදහසක් තිබීමත්, අන් අයට නො තිබීමත් ය. මෙතැනදි, ‘නරෝද්නිකයන්ගේ ආර්ථික අන්තර්ගතය සහ ඊට විචාරයක්’ යන කෘතිය තුළ ලෙනින් ‘සංස්කෘතිය’ ගැන විප්ලවකාරී නිර්වචනයක් ලබා දෙයි.

             ‘සංස්කෘතිය යනු, නිශ්චිතව මධ්‍යම පාන්තික හැර අන් කිසිවක් නොවේ. එය. දූෂණය හැර අන් කිසිවක් නොවේ.’ 

  • පිටුව, 9 –

 

            ‘රාජ්‍යය’ පිළිබඳව සහ සංස්කෘතිය පිළිබඳව අපට තියුණු න්‍යායගත කිරීමක් නැතිනම්, අප ‘අරගලය’ සමයේ සමාජය ඉදිරියට රැගෙන ආ 60%- 20% සටන් පාඨය පුස්සක් වීමට ඉඩ තිබුණි. මෙම සමීකරණයේ සරල සමාජ විද්‍යාව මෙසේ ය. රටේ වැඩ කරන ජනකායෙන් 60% කට රාජ්‍යයේ වගකීමක් නැත. ඉතිරි 20% වෙනුවෙන් වැටුප් ගෙවමින් සහ සේවා සලසමින් රක්ෂණය කරයි. එම නිසා, ලෙනින් සමඟ අපගේ ජීවත් වීම එක්සත් වෙයි. (එනම්, චින්තනය සහ ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ වීම.) අපි ලෙනින්ගේ තියුණු උද්ධෘත දෙකක් ‘රජය සහ විප්ලවය’ කෘතියෙන් මෙලෙසින් උපුටා දක්වමු.

         ‘ කෞට්ස්කි මෙසේ කියයි; දැනට අපි විරුද්ධ පක්ෂයක් වෙමු. අපි බලය අල්ලා ගත් පසු කවුරුන් වෙමුද යන්න එවිට බලමු- අහෝ! විප්ලවය අතුරුදහන් වී ඇත. අවස්ථාවාදීන්ට අවශ්‍ය වූයේ ද එයම ය.’

 

           ‘ ප්‍රස්තුත ප්‍රශ්නය ප්‍රතිපාක්ෂිකතාවයවත්, සාමාන්‍ය දේශපාලන අරගලයවත් නොව විප්ලවය යි. විප්ලවය යනු, පවතින රාජ්‍යය විනාශ කර එය බහුතර වැඩ කරන ජනතාවට අවශ්‍ය පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමයි.’

 

             අපි ඉහත තත්ත්වය සමකාලීන අරගල භූමියට ආදේශ කරමු. අරගලයේ යටිපෙළ කුමක්ද?

 

1.ආණ්ඩුව වෙනස් කරන්න!

2. ධනපති සමාජ-ක්‍රමය එලෙසම තබාගෙන එය පාලනය කරන පාලකයන් වෙනස් කරමු. ඔවුන් ඒ අනුව, විරෝධය දක්වන්නේ, system එකට නොව system එකේ ආකෘතියට ය.[Form]

 

              අරගලකරුවන් අතරින් කෙනෙකු ජනාධිපති නොවී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ මන්ද? වික්‍රමසිංහගේ සටන් පාඨය මෙසේ ය.

 

1.ආණ්ඩුව වෙනස් කිරීම පසුවට [content]; රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රථමව.[Form].

Capital = Form of Government.

 

2. රාජ්‍ය ධනවාදය මගින් පාලනය වන රාජ්‍යය වෙනුවට ප්‍රාග්ධනය මගින් පාලනය වන ‘රාජ්‍යයක්’ ආදේශ කිරීම. (ඔහු අද සිටින්නේ, මේ දෙවැනි පියවරේ ය. මෙම පියවර හරි ගියොත්, 20%-60% අනුපාතය රැඩිකල් විපර්යාසයකට ලක් වෙයි.)

 

            සැබැවින්ම, අපගේ ජීවිත වෙනස් වන්නේ, ඉහත පළමු පියවර අනුගමනය කිරීමෙන් සහ දෙවැනි පියවරේ දී විප්ලවීය උපක්‍රම තේරීමෙනි.

             කාල් මාක්ස්ගේ ආර්ථික විද්‍යාව පිළිබඳ කෙස් පැලෙන තර්ක විතර්ක මතු කරමින් සිටින ආර්ථික විද්‍යා මහාචාර්යවරුන්ට, තමන්ගේ භෞතික ජීවිතයේ පදනම වන පවතින දේශපාලන-ආර්ථිකය විචාරය [ideology]කිරීමේ කිසිදු වුවමනාවක් නැත.

               ඊට පරස්පරව, අපි ලෙනින්ගේ උපක්‍රම තේරීම යාවත්කාලීන කරමින් සිටින්නෙමු. අපට අවශ්‍ය වන්නේ, කුණු ගඳ ගසන සමකාලීන පුද්ගලික ජීවිතය ලාලසාවකින් වැළද ගැනීමට නොවේ. ඊට ප්‍රතිපක්ෂව, අපට අවශ්‍ය ලෙනින් සමඟ විප්ලවයකින් අපගේ ජීවිත උන්මුල ලෙස වෙනස් කිරීමට ය. එලෙස කිරීමේ දී අප සෙල්ලම් කළ යුත්තේ, කෙරෙන්ස්කි සමඟ මිස (රාජ්‍යය වෙනස් කිරීමට උත්සාහ දරන්නා) ජනතාවාදීන් සහ ජනප්‍රියවාදීන් සමඟ සුරතල් වීම තුළ නොවේ. විප්ලවය යනු, මිනිසුන්ගේ අදහස් වෙනස් කිරීම හෝ ධනපති සදාචාරය වෙනස් කිරීම හෝ ඊට අප ආදේශ වීම නොවේ. විප්ලවය යනු, පැරණි රාජ්‍ය යන්ත්‍රය තබා ගන්නවා ද නැතහොත්, එය විනාශ කර ඒ වෙනුවට අලුත් එකක් ඇති කරනවා ද යන්න වේ. විප්ලවය සංයුක්ත වන්නේ, පැරණි රාජ්‍ය යන්ත්‍රයේ ආධාරයෙන් නව පන්තිය – ලංකාවේ නම් ජවිපෙ හෝ පෙරටුගාමීන් – විසින් කරන අණ දීමෙන් හෝ ආණ්ඩු කිරීමෙන් නොවේ. විප්ලවය සංයුත්ත වන්නේ, එම පන්තිය එම යන්ත්‍රය සුන් කර, නව යන්ත්‍රයේ ආධාරයෙන් අණ දීමෙන් සහ ආණ්ඩු කිරීමෙනි. කෞට්ස්කි මාක්ස්වාදයේ මෙම මූලික අදහසෙන් ඉවතට ලිස්සා යයි. වැඩ කරන ජනයා අරගල කළ යුත්තේ මැද පන්තිය සමඟ නොව ‘රාජ්‍ය බලය’ ඝනීභවනය වීමට එරෙහිව ය.

              පැරණි සමාජයේ අගතීන් අප අලුතින් ගොඩ නඟන්නට යන නව- ලෝකය මතට හෙවනැල්ලක් සේ ඇද වැටීමට නියමිත බව ලෙනින් විචක්ෂණ ලෙස පහදයි. සිය ‘රාජ්‍යය සහ විප්ලවය’ කෘතියේ පස්වන පරිච්ඡේදයේ දී, ලෙනින් විසින් මාක්ස්ව මෙසේ උපුටා දක්වන ලදි.

            ‘ අප හදන්නට යන අලුත් සමාජය ආර්ථික, සදාචාරමය සහ බුද්ධිමය යන සෑම අතින්ම තම මව්කුස වූ පැරණි ධනේශ්වර සමාජයෙන් ගෙන ආ උපන්ලප වල මුද්‍රාව තවමත් දරන්නේ ය. දේශීය උදාහරණයකින් කිවහොත්, තනන්නට හැදූ අලුත් ‘ස්ත්‍රී X සමාජයේ’ සාමාජිකයන්ම සුනිලා සහෝදරියගේ කම්මුලට එල්ෆින්ස්ටන් රඟහලේ දී නිල් වන්නට පහර දුන් සුනිල් විජේසිරිවර්ධනගේ උපන් ලප මුද්‍රාව තවමත් දරන්නේ ය.’

  • මාක්ස් –

 

             මාක්ස් කොමියුනිස්ට් සමාජයේ ‘ප්‍රථම’ නැතහොත්, අවවර්ධිත යුගය ලෙස හඳුන්වන්නේ, ධනේශ්වර සමාජය නම් මව්කුසින් මේ දැන් දහවල් ආලෝකයට බිහි වුණු සහ පැරණි සමාජයෙන් ගෙන ආ උපන් ලපවල මුද්‍රාව සෑම අතින්ම දරන සමාජය යි. කොමියුනිස්ට් ක්‍රමයට, එහි පළමු අදියර නැතහොත්, පළමු අවධිය වන විටම සම්පූර්ණයෙන්ම මේරූ තත්ත්වයකට පත් වීමට සහ ධනපති ක්‍රමයේ සම්ප්‍රදායන්ගෙන් නැතහොත්, සලකුණු වලින් මුළුමනින්ම නිදහස් වීමට නුපුළුවනි. ඇත්ත වශයෙන්ම, සොබාදහම සහ සමාජය යන දෙකෙහිම පැරැන්නෙහි ශේෂයන් ‘නවකය’ තුළ රැකී පවතින බව අපට ජීවිතයේ පියවරක් පියවරක් පාසා හමුවන දෙයකි.

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. විසංයෝජනය හා බුදු දහම අතර සම්බන්ධයක් ඇති බව මම කිසිසේත්ම පවසා නොමැති බව පවසමි.

  2. මෙය ඉතා හොන්ඩ අලිපියක් බව මගේ වැටහීමයි. රාජ්‍යය පිලිබඳ අදහස මෙනම් රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳවද ලෙනින් මාක්ස් ට වඩා ඉහල තැනක සිටියේය. ඔහුට රාජ්‍ය බලය ලබා ගත හැකි වූයේද එහෙයිනි.
    නමුත් අනිකුත් දීප්ති ගේ ලිපි මෙන් මෙහිද ශ්‍රී ලංකාවේ අයෙකු පිලිබඳ විවේචනයක් රිංගව ඇත. ඇත්තම කියන්නේ නම් එය ලිපිය ඉදිරිපත් කරන තාර්කික අදහස් හා ලිපියේ වටිනාකම අඩු කරවන්නකි. සුනිලා අබේසේකර ගේ (දැන් අප අතර නැටි) අවසරයකින් තොරව මේ පල කිරීම පුද්ගලිකත්වය උල්ලංඝණය කිරීමකි. //දේශීය උදාහරණයකින් කිවහොත්, තනන්නට හැදූ අලුත් ‘ස්ත්‍රී X සමාජයේ’ සාමාජිකයන්ම සුනිලා සහෝදරියගේ කම්මුලට එල්ෆින්ස්ටන් රඟහලේ දී නිල් වන්නට පහර දුන් සුනිල් විජේසිරිවර්ධනගේ උපන් ලප මුද්‍රාව තවමත් දරන්නේ ය.//

  3. සමාවෙන්න “මෙය ඉතා හොඳ ලිපියක් බව මගේ වැටහීමයි” යනුවෙන් නිවැරදි විය යුතුය.

Comments are closed.